කොට්ටිඹුල්වල ලෙන් විහාරය

විකිපීඩියා වෙතින්

ගමන් මග හා විස්තරය[සංස්කරණය]

සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශය තුළ බලංගොඩ නගරයේ සිට සැතපුම් 2 ක් පමණ කල්තොට මාර්ගයෙහි ගමන් කර එම ස්ථානයේ සිට සැතපුම් 6 ක් පමණ ගෙවා ගිය විට වැලිගෙපොළ මංසන්දිය හමුවේ. එතැන් සිට සැතපුම් 4 ක් පමණ හටන්ගල මාර්ගයෙහි ගිය තැන කොට්ටඉඹුල්වල රජ මහා විහාරය දැක ගත හැක.


මෙම ලෙන් විහාරය තුල බුදුන් වහන්සේගේ සැතපෙන බුදු පිලිම වහන්සේ නමක් වැඩ සිටී. විහාර ලෙනේ සිතුවම් හා සිරි පතුලක් මෙහිදී දැක ගත හැක.


මෙම ප්‍රදේශයේ ඓතිහාසිකත්වය පිළිබඳව සැලකීමේ දී ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ බලංගොඩ මානව සංස්කෘතිය තෙක් ඈතට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාදක හමුවී ඇත. බෙල්ලන් බැදි පැලැස්ස හා බලංගොඩ මානවයා අතර සම්බන්ධතාවයේ දී මෙම ප්‍රදේශය ආසන්නයේ පැවති නිසා මානව ජනාවාස පවතින්නට ඇත. මේ අනුව අනුරාධපුර යුගයේ මුල් කාලයේ ජනාවාස වී තිබු බවට සැක නැත.

එසේ වුවද රාජකීයයන් මෙම ප්‍රදේශයේ පාලන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා මැදිහත් වීම පිළිබඳව ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාධක නොමැත.

රුහුණු ප්‍රදේශයෙන් බෙල්ලන් බැදි පදලැස්ස හරහා කොට්ටඉඹුල්වල දක්වා ජන සංක්‍රමණයක් ඇති වන්නට ඇත. ඉන් අනතුරුව මේ ප්‍රදේශය ජනාවාස වන්නට ඇත. කොට්ටඉඹුල්වල මුලින්ම ආරණ්‍ය සේනාසනයක්ව පැවත තිබේ. මෙම ප්‍රදේශයේ මුලින්ම ආරණ්‍ය සේනාසනයක් බවට පත් කරනු ලැබුවේ වට්ඨගාමිණී අභය රජුගේ මාමා කෙනෙකු ලෙස සලකන අභය රාජ විසින් බව පැවසේ. මොහුගේ මුල් නාමය අභය රාජ නොවේ.මෙම ගුහාව අසල පිහිටි ගල්පාය නගරයට පිඬු පිණිස හැසිරෙන විදර්ශන භික්ෂූන්ගේ විවේකස්ථානයක් ලෙස පැවති බව ‘සබරගමුවේ පැරණි ලියකියවිලි‘ නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව අපට කිව හැකි වන්නේ අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය ආරණ්‍ය භික්ෂුවගේ වාසස්ථානයක් සේම සංචාරක භික්ෂුන්ගේ විවේකස්ථානයක් පැවති බවයි.

වලගම්භා හෙවත් වට්ඨගාමිණී අභය රජු ( ක්‍රි.පු. 103 ) රාජ්‍යයට පත් විය. මොහු ඛල්ලාඨනාග රජුගේ සොහොයුරාය. සිය සොහොයුරු මරා රජ කම ලබා ගැනීම සඳහා උත්සහ කළ මහා රත්ථක මරණයට පත් කොට වලගම්භා රජ කමට පත් වූයේ කරදර සහිත යුතයකය. රාජාභිෂේකයෙන් මාස පහක් ගිය පසු තිස්ස නැමැති බමුණෙක් කැරැල්ලක් ආරම්භ කළහ. මේ සමගම ද්‍රවිඩ සෙනෙවියන් සත් දෙනෙක් හමුදා රැගෙන රට ආක්‍රමණය කළහ. මෙම සටනින් පරාජයට පත් වලගම්බා රජු පලා ගොස් සැගවී කැළයේ තැනින් තැන ඇවිදිමින් හමුදාව රැස් කරන්නට විය.

මෙහිදී කොට්ටඉඹුල්වල අසල තිබෙන ලෙන් දොර කදුවෙල ගල් ගුහා වල මෙන්ම කොට්ටඉඹුල්වල ද වලගම්බා කුමරු සඟවී සිටි බව ජනප්‍රවාදයයි. මෙසේ සිටින අතර විහාරාධිපතීන් වහන්සේගේ සහාය ඇතිව කොට්ටඉඹුල්වලින් යුද්ධ හමුදාවක් රැස් කරවා ගෙන එතනින් හම්බගමුවට ගොස් එහි කොටවෙහෙරේ විසූ තෙරුන් වහන්සේ ගේද සහයෝගයෙන් තවත් සේනාවක් ලබා ගෙන පිහිටි රට බලා යන අතර මගදී එකතු වූ සේනාවන්ද සහාය කොට ගෙන දමිළ සංහාරය කොට ත්‍රිසිංහලය එක්සේසත් කිරීමෙන් පසු සේනා සංවිධානය කිරීමෙහිලා ප්‍රථමයෙන්ම තමා හට උපකාර කළ කොට්ටඉඹුල්වල විහාරාධීපතීන් වහන්සේට අභයරාජ යන ගෞරව නාමය දී විහාර ගල මුදුනට නැග ශක්තිමත් පුරුෂයෙකු ලවා ලෝකඩ තම්මැට්ටමක් ගස්වා අවට ඇසෙන භූමි ප්‍රදේශය ශාසනාන්තර්දානය දක්වා විහාරය විරස්ථායි වනු වස් උන් වහන්සේට පිදූ බව පිළි ගැනේ.

නුවර යුගයේ දී කොට්ටඉඹුල්වල විහාර සඟ පරපුරට අයත් කොට්ටඉඹුල්වල අනොමදස්සී තෙරුන් වහන්සේ මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කොට ප්‍රකාරයක් බැන්දවීමත් රිදී 1285 ක් බර පැණින් ගනේගම අරමන්පල විහාරයේ දහතුන් රියන් දාගැබක් තැනවීමත් , එම විහාරයෙහිම ප්‍රතිමා වහන්සේලා තුන් නමගේ වැඩ නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත් කොට එහි පිං මහනුවර මහ වාසලට අනුමෝදන් කරවුහ. මේ අසා ප්‍රසන්න වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ ස්වකීය රාජ්‍යෝදයෙන් දස වැනි වර්ෂයේ ( ශ්‍රී.බු.ව. 1341 – ක්‍රි.ව. 1808 ) උදුවප් මස ශතවත් ලත් බදාදා මෙම විහාර ශාසනන්තර්ධානය දක්වා පවත්නා ශටියට ගොඩ මඩ අක්කර පහළොස් දහසක් පමණ හිමි වන සේ රජුගේ ශ්‍රී නාමය රනින් කෙටූ තඹ සන්නසක් පරිත්‍යාග කළහ. අට කොනේ මායිම් යොදා දී තිබෙන මේ සන්නසෙහිපුරාතන පටන් කොට්ටඉඹුල්වල අනෝමදස්සී උන්නාන්සේගේ වර්ග පරම්පරාවේ සාමනේර උපසම්පදා උන්වහන්සේලා විසින් මෙම විහාරයට පුද ඕලක්කන් (පූජා) පවත්වන ලද බවත් මෙම ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍යය පරම්පරාවෙන් පැවත එන සංඝයාද මෙම විහාර දෙකේ වත් පිළිවෙත් කර එයින් ලැබෙන ප්‍රත්‍යයන් සිව්පසය සඳහා ප්‍රයෝජනයට ගත යුතු බැව් කොට්ටඉඹුල්වල තඹ සන්නසේ දක්වා ඇත.

ආරක්ෂාව සහිතව මෙහි තිබෙන වලගම්බා රජු කළ පටන් මේ දක්වා මේ විහාර සග පරපුර ගැන තොරතුරු සඳහන් පුස්කොළ සීට්ටුව ඉතා වැදගත් ලියවිල්ලකි. මෙහි සංඝ නාමාවලියෙහි සඳහන් පරිදි එහි සිටි විහාරාධිපතීන් වහන්සේලාගේ නම් මෙසේ දැක්වේ. මුලින්ම අභයරාජ, උභයකුල, පාරිශුද්ධ, දේවමිත්‍ර, ශීලවන්ත, මාන්නගුරු,සමනල, මතීසාගල, ශීලරක්ෂිත, බුද්ධදාස, ශීල, මහා ධර්ම ගුරු,අනුරද්ධ, ධමේශ්වර, සිද්ධාර්ත, පුංචි බණ්ඩාර, රත්නපාල, වේ. මෙහි ඇතැම් නාමයන් ගැන සලකන විට මෙම ලිපිය ලක්දිව අතීතයේ ‍‍ථෙරවාදී මහායාන නිකායන් බලපෑ අයුරු හා සීතාවක රාජසිංහයන්ගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රාජෝපාදයෙන් සවැන්න දක්වා භික්ෂු ශාසනය සිල්වත් තැනලාට පැවරී තිබූ අවධියෙහි තත්වයන් මැනවින් වටහා ගත හාකි කැඩපතක් බඳුය.

ඉහත කාලයෙන් පසු වර්ථමානය දක්වා කොට්ටඉඹුල්වල විහාරයෙහි කටයුතු කළ විහාරාධිපතීන් වහන්සේලා කීප දෙනෙක් වෙයි. ඔවුන් මෙසේය. තඹලගමුවේ රනපාල, තඹගමුවේ බුද්ධ රක්ඛිත, වර්ථමානයේ විහාරාධිපති ලෙස වැඩ සිටින්නේ තඹගමුවේ රෝහණ රතනපාල ස්වාමීන් වහන්සේය. එයට අමතරව නැදුම්ගමුව සුමනසාර හිමි වැඩ වාසය කරති. මෙයින් අපට පෙනී යන්නේ සංඝ පරපුර යම් කිසි සම්ප්‍රදායානුකූල ක්‍රමයක් ඔස්සේ පවත්වාගෙන එන බවකි.

හයවන පැරකුම්බා කළ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට සබඳතාවයක් තිබූ බව සඳහන් වේ. එහි සිටි මංගල තෙරුන්ට රජතුමා පැවරූ සබරගමු ලක්ෂමණ මහ (සමන්) දේවාලයේ පිරිත් මුරයට මෙම විහාරයේ සංඝයාද සහභාගි කර ගැනීමෙන් පෙනේ. මෙම රජ වරුන්ට අමතරව ශ්‍රී විජයරාජසිංහ හා ශ්‍රි වික්‍රමරාජසිංහ යන නරපතී හු මෙහි දියුණුව සඳහා ආධාර උපකාර කරන ලද බව සැලකේ.

කොට්ටඹුල්වල විහාරය යටතේ පාලනය වන විහාර සංඛ්‍යාවක් තිබේ. ඒවා කීහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. පැල්මඩුල්ලේ ගනේගම විහාරය, ගලපාත විහාරය, ලෙන්දොර, ඉහල ගලගම විහාරය, අලුත්නුවර දේවාලයේ පිරිත් නිලය, රත්නපුර සමන් දේවාලයේ පිරිත් නිලය, බොල්තුඹේ රජමහා විහාරයේ පිරිත් නිලය, අම්මඩුව දේවාලය මේ දේවාල වලින් කිහිපයකි. මේ ආකාරයෙන් බලන කළ කොට්ටඉඹුල්වල රජමහා විහාරය මූලස්ථානයක් වශයෙන් පැවති බව පෙනේ. මේ අනුව ඉතා ඉහල අන්දමින් හොඳ පාලනයක් පැවති ඉතා දියුණු විහාරයක් ලෙස තිබූ බව අපට වටහා ගත හැකි වේ.

මෙයට අමතරව කොට්ටඉඹුල්වල විහාරයෙහි ආගමික සාමාජික හා සංස්කෘතික කටයුතු රාශියක් සිදු කරන ලද බව පෙනේ. මහනුවර දළඳා මාලිගයේ දියවඩන නිලමේ තෝරා පත් කර ගන්නා ඡන්දයේ දී මෙම විහාරයට එක් ඡන්දයක් හිමි වේ. එසේම සබරගමුවේ සෑම විහාරයකම ඡන්දයක් මගින් කිසියම් නිලයක් තෝරා පත් කර ගැනීමේ දී ඡන්දයක් කොට්ටඉඹුල්වල විහාරයට හිමි වේ. ශ්‍රී පාද සමය ආරම්භ කිරීමට ප්‍රථමව පිරිත් කියනු ලැබේ. එම අවස්ථාවට කොට්ටඉඹුල්වල විහාරයෙන් සංඝයා වහන්සේ නමක් යා යුතුය. එම කටයුත්ත වෙනුවෙන් ශ්‍රී පාදාස්ථානයට අයත් ඉඩම් වලින් කොටසක් මෙම විහාරයට හිමි වේ.

පුරාණ කාලයේ ඇසල පෙරහැර පැවත තිබේ. එම පෙරහැර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවතුණ බව කිව හැකිය. මේ සඳහා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී කරවා තිබේ. උඩරට හා පහතරට නැටුම් කණ්ඩායම් කිහිපයක් සහභාගී කරවා ගෙන ඇති අතර මේ පෙරහැර විහාරය වටා සංචාරය කර තිබේ. දින කිහිපයක් ඉතා අලංකාර ලෙස කඩ සල්පිල් වලින් හා විශාල ජන සහාභාගීත්වයකින් පැවත ඇත. එහෙත් මෙම පෙරහැර අවසන් වරට පවත්වා ඇත්තේ මෙයට ශත වර්ෂයකට පමණ පෙර බව පැවසේ.

මෙම විහාරයට ඉඩම් අක්කර 24 දාහකට පමණ ආදායම් තිබේ. මේවායින් ඉඩම් ප්‍රමාණයක් බද්දට දී ඇත. එමගින් විහාරයට අදායම් හිමිවේ. තවත් ඉඩම් ප්‍රමාණයක් රාජකාරී ක්‍රමයට පවරා දී තිබේ. මෙම ඉඩම් භුක්ති විදින ජනතාව විහාරයේ රාජකාරි කටයුතු කළ යුතු වුහ. පෙනුම යනුවෙන් දිනයක් වේ. එදාට මෙම පිරිස පැමිණ විහාරයේ කටයුතු කළ යුතුය. ඒවා නම් විහාරය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම, හුණු ගෑම, වහල සකස් කිරීම, අදී රාජකාරී වේ. මෙයට අමතරව හේවිසි ගැසීම , තම්මැට්ටම් කටයුතු, වලං සෑදීම, මුර කිරීම, ආදී කටයුතු වේ. සෑම පෝය දිනකම හේවිසි ගැසීම සිදු කෙරේ.

වෙසක්, පොසොන්, ඇසල පෝය දිනවල මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ විහාරය කරා පැමිණේ. මෙම විහාරයේ සෑම අවුරුද්දකම කඨින පිංකම ඉතා උසස් අන්දමින් සිදු කෙරේ. එහි දී ගම වටා කඨින චීවරය වඩම්මනු ලැබේ. (පොගුරුගම සතර පේරුවේ)

මෙම විහාරස්ථානය පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යටතට ගෙන ඇති අතර දැනට විහාරය පුජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. මේ හැරුනු විට මෙහි දහම් පාසලක්, ග්‍රාම සංවර්ධන සමිතියක් පවත්වා ගෙන යයි. එසේම සමිති සමාගම් කිහිපයක් විහාරය තුල පැවැත්වේ. මේ ආදී ලෙස සමාජ සංවර්ධන කටයුතු රාශියක් විහාරය මගින් කර ගෙන යාම විහාරයේ දියුණුවටත් සංවර්ධනයටත් ඉතා වැදගත් බව කිව හැක.

ස්මාරක සාධක හැදින්වීම[සංස්කරණය]

විහාර ගෙය[සංස්කරණය]

ඉතා මනරම් කුඩා කදු ගැටයක් කොට්ටඉඹුල්වල පිහිටා තිබේ. මෙම කදු ගැටය වටා කුඹුරු යායෙන් හා වන ලැහැබෙන් වට වී පවතී. මෙම කදු ගැටය මුදුනට වන්නට ගල් ගුහාවක් පිහිටා ඇති අතර එය කොට්ටඉඹුල්වල විහාරය ලෙස හැඳින්වේ. අටකලන් කෝරලේ කඳවෙල් පත්තුවේ කඳු මත පිහිටා තිබෙන මේ පැරණි ගල් විහාරය වලගම්බා සමයට පෙර ආරම්භ කරන ලද්දක් බව පුරා විද්‍යා සාධක වලින් පැහැදිලි කළ හැකිය. මේ අනුව අපට පැහැදිලි වන්නේ ගල් විහාරය වලගම්බා රජුට පෙර සිට භාවිතයට ගැණුනු බවකි. මෙම ගල් විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ නිසා ගල් ගුහාවද මදක් විශාල බවක් ගනී. අනුරපුර පොලොන්නරු යුගයේ බිහි වූ සෑම ගල් ගුහාවකම කටාරමක් යොදනු ලැබේ. එය යෙදීමට හේතුව නම් වර්ෂා කාලයේ දී ගුහාව තුලට ජලය ඒම වැලැක්වීමයි. කටාරම නිසා උඩින් වැටෙන ජලය කටාරම දිගේ පැත්තකට ගලා යයි. මෙය එක්තරා බුද්ධි වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය. එයට හේතුව නම් මේ ගැන සිතා බලා අවශ්‍ය පියවර ගෙන තිබීමයි.

කොට්ටඉඹුල්වල විහාරයේ ද කටාරමක් කපා ඇත. එම නිසා මෙහි පැරණි බවක් ඇතැයි සිතිය හැකිය. වලගම්බා රජතුමා විසින් කරවන ලද විහාරය ලෙසට දැනට අනුමාන කරනු ලබන කුඩා විහාරයත් ප්‍රධාන විහාර ගෙයි ඔත් පිළිමයේ සිරසට ආසන්නයේ පිහිටා ඇත. මෙය මහල් දෙකකින් යුක්ත වන අතර පහත මාලයට වඩා ඉහල මාලය කුඩාවට නිර්මාණය කර තිබේ. මෙම කුටියේ දිග පළල අඩි 14 x 7.5 වේ. මෙහි ඉදිරිපස හෙවත් උතුරු පසට වන්නට බිත්තියේ මැද ආරුක්කු හැඩයේ දොරක් යොදා ඇති අතර එය උසින් අඩි 6 ක් ද පළල අඩි 2 අඟල් 4 පමණ වන අතර බිත්තියේ ඝණකම අඟල් 18 ක් වේ. මෙම පළමු මහල අඩි 8 ක් උස වන අතර බිත්ති තනිකරම මැටි බදාමයෙන් සාදා ඇති බව කිව හැකිය.

මෙහි දෙවන මහලේහි දිග පළල අඩි 13 x 6.5 වන අතර අඩි 5ක් උස වේ. මෙම කුටියේත් උතුරු පසට වන්නට ආරුක්කු හැඩයේ කවුළුවක් ඇති අතර කාමර දෙකකින් එකක වත් උළුඅහු යොදා නැත.

මෙලෙස කුඩාවට ඉදි කළ විහාර ගෙය පසු කාලය වන විට ඉතා දියුණු තත්වයට පත් වී තිබේ. එය රජවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනයට පත් වූ ආකාරය පළමු පරිච්ජේදයේ දී පෙන්වා දී ඇති අතර එය වර්ථමානයේ දක්නට ඇති තත්වය මින් ඉදිරියට සාකච්ඡා කරමි. විහාර ගෙය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදිය හැකිය.

* ඇතුල් ගෘහය

* අන්තරාලය

* මණ්ඩපය

* ඇතුල් ගෘහයට දකුණු පසින් ඇති කුටිය

* ඇතුල් ගෘහයට වම් පසින් ඇති කුටිය

ඇතුළු ගෘහය[සංස්කරණය]

ඇතුළු ගෘහය ඉතා විශාලව නිර්මාණය කර ඇති අතර බිත්ති ඉතා ඝනකමින් යුක්ත වේ. බිත්තියක ඝනකම අගල් 30 පමණ වේ. ගල් කුහරයක් තුල බිත්ති තුනකින් නිර්මාණය කර ඇත. මෙහි දිග අඩි 89 අඟල් 3 ක් වන අතර පළල අඩි 17 අඟල් 6ක් වේ. පිළිම ගෙයින් උතුරුපස බිත්තියෙන් ඇතුළු වීම සඳහා දොර තුනක් නිර්මාණය කර තිබේ. මෙයට යොදා ඇති උළුඅහු අඩි 1×1 ඝනකමින් යුක්තව නිර්මාණය කර තිබෙන අතර මුදුනත ආරුක්කු තුනකින් යුක්තව ඉතා අලංකාර ආකාරයෙන් සාදා තිබෙණු දක්නට ලැබේ. බිත්ති නිර්මාණයේ දී කුඩා ගල් කැට යොදා ගෙන මැටි බදාමයෙන් බිත්ති සකස් කර ගත් ආකාරය පෙනේ. කපරාලුව සඳහා වැලි මැටි යොදා ඒ මත හුණු මැද තිබෙණු දක්නට ලැබෙන අතර පොළවට මෑතදී පිඟන් ගඩොල් යොදා තිබේ.

අන්තරාලය[සංස්කරණය]

අන්තරාලය වූ කලී ඇතුළු ගර්භයෙන් උතුරු දිශාවට වන්නට සාදා ඇති අතර එය සෘජුකෝණාශ්‍ර හැඩයෙන් යුක්ත වේ. එහි දිග හා පළල අඩි 89 3” x 7′ 6” වේ. මෙම කොටස ඉතාමත් අලංකාර ආකාරයෙන් සාදා තිබේ. අන්තරාලයේ උතුරු නැගෙනහිර හා බටහිර යන බිත්ති වෙනුවට අඩි 3ක් පළල හා අඟල් 21 ඝනකම ඇති කුළුණු 12 ක් උස අඩි 5 වන අකාරයට සාදා එම උස සට්ටමේ සිට ආරුක්කු ආකාරයට එම සියළුම ස්ථාන වලින් ඇතුළු විය හැකි ආකාරයට නිමවා තිබේ. මෙම කුළුණු අලංකාර ආකාරයට නිර්මාණය කර තිබෙණු දක්නට ලැබේ. අන්තරායෙහි අඩි 10ක් පමණ උසින් ලී බාල්ක යොදා ඒ මත ලෑලි වලින් සිවිලිම සකස් කර තිබේ. අන්තරාලයෙහි දකුණු බිත්තියේ උළුඅස්සට උඩින් ක්‍රි. ව. 1808 වර්ෂය යොදා ඇති අතර එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙම විහාරය අවසන් වරට ප්‍රතිසංස්කරණය කළ වර්ෂය වේ. පොළව සඳහා සිමෙන්ති බදාම යොදා සිමෙන්ති මැද ඇති ආකාරය දැක ගත හැක.

මණ්ඩපය[සංස්කරණය]

මණ්ඩපය ඉතා විශාලව නිර්මාණය කර තිබෙණු දක්නට ලැබේ. මණ්ඩපය සඳහා අන්තරාලයෙන් උතුරු පස නැගෙනහිර හා බටහිර යන පැති තුනම අයත් වේ. අන්තරාලයේ උතුරු පස කොටසේ දිග පළල අඩි 89.3” x 8′ වන අතර නැගෙනහිර පස කොටස දිග පළල අඩි 16′.6” x 12′ වේ. බටහිර පස කොටස දිග පළල අඩි 16′.6” x 34′.9” ලෙස ගණන් ගත හැකි වේ. මේ කොටස නැගෙනහිර හා බටහිර බිත්ති වලින් නිර්මිත වන අතර උතුරු පස එක ළඟ නිමවන ලග රවුම් කුළුණු දෙකකින් යුක්තව කණු ජෝඩු දහයකින් සකස් කර ඒ මත යට ලීය තබා තිබේ. විහාරය තුළට ඇතුළු වීම සඳහා ඉදිරි පසින් අඩි 10 අඟල් 6ක් පමන වන දොරටු දෙකක් ඇති අතර අනිත් හිඩැස් ලැටිස් යොදා අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. දොරටු තුනට ළඟා වීම සඳහා පඩි පෙල් පේලි දෙකක් නිර්මාණය කර ඇති අතර අන්තරාලය හා මණ්ඩපය යන කොටස් දෙක සඳහා උළු යොදා දැවයෙන් නිර්මාණය කර තනි පලයේ වහලක් නිර්මාණය කර ඇත.

ඇතුල් ගෘහයට දකුණු පසින් කුටිය

මෙම කුටිය දිග අඩි 12 ක් වන අතර බටහිර පස බිත්තියේ පළල අඩි 17 අඟල් 6ක් වන අතරම නැගෙනහිර පස පළල අඩි 12 ක් පමණ වේ. මෙයට හේතුව වන්නේ ගල නැගෙනහිරට නැමී ඇති නිසා වේ.

මෙම කුටියට ඇතුළු වීම සඳහා දොරවල් දෙකක් වෙයි. එක් දොරක් උතුරු බිත්තියෙන් වන අතර බටහිර බිත්තියේ ගර්භ ගෘහයෙන් ඇතුළු විය හැකිය.

ඇතුල් ගෘහයට වම් පසින් ඇති කුටිය

මෙම කුටියේ විශේෂ වැදගත් කමක් දැක ගත හැකිය. එයට හේතුව ඉතා අලංකාර උළුඅස්සක් ඇති නිසාය. කුටිය තුළට ඇතුළු වීම සඳහා උතුරු දෙසින් දොරටු රැසක් වේ. දකුණු පස ඇති ‍දොරටුව ඝණකම ඇති ලෑලි උළුඅස්සක් වන අතර වම් පස ඇති උළුඅස්ස ගල් වලින් නිමවා තිබේ. මෙය අඩි 8ක් පමණ උස් වන අතර උළුඅස්සේ ඝණකම අඟල් 18 ක් පමණ වේ. උළුඅස්ස යටටම වන්නට වාමණ රූප දෙකක් ඇති අතර මුදුනේ හරි මැදින් මකර හිසක් පමණක් නෙලා ඇත. මේ හැරුණු කොට බොරදම් යොදා පලාපෙති මොස්තරයෙන් අලංකාර කර තිබේ. මෙම කුටියේ දිග පළල අඩි 34.9” x 15′ වේ.

බටහිර බෝධිය[සංස්කරණය]

බෝධිය විහාරයෙන් බටහිර දිසාවේ විහාරයට ඉතාම ආසන්නයේ පිහිටා ඇති අතර එය වටා බැම්මක් බැඳ තිබේ. මෙහි දිග පළල අඩි 21′ .8” x 21′.6” වන අතර බැම්මේ උස අඟල් 44 ක් වේ. බැම්ම ගඩොල් වලින් බැඳ සිමෙන්ති වලින් කපරාලු කර තිබෙන අතර එය මුදුනේ මුළු හතරින් ඉහලට නැගුනු අඟල් 35 ක් පමණ උස වන කණු හතරක් නිර්මිතය. එක් කණුවක පහළ කොටස අඟල් 6 x 6 ක් වන අතර ඉහළ කොටස අඟල් 5 x 5 පමණ වේ. මේ අනුව කණුවක් ඉහළට යන විට කුඩා වන ආකාරයට නිර්මාණය කර තිබේ. උතුරු පස බැම්මේ ඉහළින් මල් ආසනයක් අඩි 5ක් දිග උස අඩි 3ක් යුක්තව සාදා තිබේ. එම බැම්මේ පොළව මට්ටමේ දී හරි මැදින් අඩ කවයක් ආකාරයකට සිමෙන්තියෙන් නිර්මාණය කර ඇත. මෙහි උතුරු හා බටහිර පසට වන්නට පොළොව මට්ටමේ දී අඟල් 15 ක් ඝනකමින් යුත් බැම්මක් නිර්මාණය කර ඇති අතරම එම බැම්ම මත කණු පහක් සාදා තිබේ. මෙම කණු අලංකාරය සඳහාත් මිනිස්සුන්ගේ අරක්ෂාව සඳහාත් නිර්මාණය කර තිබෙන බව කිව හැකිය. පැරණි බෝධිය මෙය වන අතර මෙහි කාලය නිර්ණය කිරීමට නිශ්චිත ශාක්ෂි නොමැත.

නැගෙනහිර බෝධිය[සංස්කරණය]

විහාරයෙන් නැගෙනහිරට වන්නට ඇති බෝධිය විහාර ලෙන් ගල් කුට්ටිය අවසන් වන ස්ථානයේ ඇති අතර උතුරු, බටහිර සහ දකුණු පස පමණක් බැම්ම නිර්මාණය කර තිබේ.නැගෙනහිර පස ගල් කුට්ටියෙන් වැසී පවතී.

උතුරු පස බැම්ම අඩි 5′ x 6” උස වන අතර දිග අඩි 30 කි. බටහිර බැම්ම අඩි 30 ක් දික් වන අතර එය පඩිපෙල් ආකාරයට නිර්මාණය කර තිබෙණු දැක ගත හැක. දකුණු බැම්ම අඩි 15 ක් යුක්ත වන අතරම බෝධිය කරා විහාර මිදුලේ සිට පැමිණීමට පියගැටපෙලක් උතුරු පස බැම්ම දිගේ නිර්මාණය කර තිබේ. මෙම පඩිපෙළ හරහා කණු දෙකක් නිර්මාණය කර ගන්ඨාරය සවි කර ඇත. මෙය සවි කරන්නට ඇත්තේ බෝධිය වන්දනා කිරීමේ දී ඝන්ඨා නාදය පවත්වමින් බෝධි පුජා පැවැත් වීම සඳහා විය හැකිය.

ධර්ම ශාලාව[සංස්කරණය]

බණ ශාලාව පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු පසින් අඩි 30 ක් පමණ පහත මාලයකය. බණ ශාලාව වටා නැගෙනහිර හැරෙන්නට අඩි 2ක් පමණ ඝණකමැති විශාල ගල් බැම්මක් සාදා තිබේ. මෙය බණ ශාලාවේ ආරක්ෂාව සඳහා යෙදූ බව කිව හැකිය. මෙම මළුවේ නැගෙනහිර පසට වන්නට ශාලාව නිර්මාණය කර තිබේ. බණ ශාලාව 1900 දී පමණ සාදා ඇති කිව හැක. මෙහි පවතින නිර්මාණ ලක්ෂණ ගැන කථා කිරීමේ දී පෙනී යන්නේ පොළව මට්ටමේ සිට අඩි 1ක් පමණ උසට අත්තිවාරම සකස් කර ඇති බවයි. මෙය නිර්මාණය කර තිබෙණුයේ බිත්ති 8 කින් යුක්ත වන ආකාරයට. බිත්ති අඩි 3 අඟල් 6ක් පමණ උස වන සේ ගලින් නිර්මාණය කර ඉන් ඉහල කොටස සම්පූර්ණයෙන්ම ලැටිස් ගසා අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. දකුණු බිත්තිය අඩි 47ක් දිග වන අතර එහි හරි මැදින් අඩි 5ක් දොරක් යොදා තිබේ. බටහිර පස එක් බිත්තියක් අඩි 37 ක් දිග වන අතර එහි හරි මැදින් දොර යොදා නිමවා ඇති අතර බටහිර දෙ‍වෙනි බිත්තිය අඩි 12 අඟල් 6 ක් දිග වේ.උතුරු පස පළමු බිත්තිය හා තුන්වෙනි බිත්තිය පළල එක සමාන වන අතර එක් බිත්තියක් අඩි 17.6 න් සමන්විතය. උතුරු පස දෙවනි බිත්තිය අඩි 12.6 ක් දිග වන අතරම එහි හරි මැද අඩි 6ක් වන ප්‍රධාන දොරටුව පිහිටා තිබේ. නැගෙනහිර පස දොරටු නැති අතර එම බිත්ති දෙක බටහිර බිත්ති හා සමාන වේ. ශාලාව මධ්‍ය‍යේ අඩි 15 x 15 වන අට්ටාශ්‍රාකාර අඩි 1.6 පමණ උස වන මණ්ඩපයක් නිර්මාණය කර ඇති අතර මෙය බණ හා පිරිත් සජ්ජායනා කිරීමේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිර්මාණය කර තිබෙණු දැකිය හැක. වහලය රඳා පැවතීම සඳහා මණ්ඩපයේ නැගෙනහිර හා බටහිර පස කණු හතර බැගින් අටක් නිර්මාණය කර ඇති අතර මේවා ඔප මට්ටම් කරන ලද හතරැස් ගල් කුට්ටි යොදා නිමවා ඇත. කණු අඩි 15ක් පමණ යන තෙක් අඟල් 18 x 18 ඝනකමින් යුක්තවද ඉන් ඉහළ කොටස අඟල් 14 x14 ප්‍රමාණයෙන්ද සකස් කර තිබෙණු දැකිය හැකිය. වහලය පළ 7 කින් යුක්ත වන අතර උළු සෙවිලි කර තිබේ. වඩිම්බු ඉතා සිත් ගන්නා ආකාරයෙන් යොදා ඇති නිසා මෙය දකින අයෙකුට මණරම් නිර්මාණයක් සේ හැඟේ.

පැරණි ආවාස ගෘහය[සංස්කරණය]

පැරණි පන්සල් ගොඩනැගිල්ල පිළිබඳව ඓතිහාසික සාධක නොමැති අතර මෙය කුමන කාලයේ නිර්මාණය කළ ගොඩනැගිල්ලක්ද යන්න ස්ථීරව කිව නොහැක. කෙසේ වෙතත් ජනප්‍රවාදයට අනුව මෙම ගොඩනැගිල්ල රජ කාලයේ සිට පැවත එන බව පිළිගැනේ. දැනට මෙම ගොඩනැගිල්ලේ ඉතිරිව පවතින්නේ අඩක් පමණි.එයට හේතුව නව පන්සල් ගොඩනැගිල්ල සෑදීම සඳහා කඩා ඉවත් කර තිබීමයි. දැනට ශේෂව පවතින කොටස කාමර තුනකින් හා ගර්භයකින් සමන්විත වේ. ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු පසින් අඩි 60ක් පමණ පහතින් වේ. සක්ක බැම්මෙන් බැඳ ඇති බිත්තියක් අඩි 2ක් පමණ ඝනකමින් යුක්ත වන අතර වහල සඳහා සිංහල උළු භාවිතා කර තිබේ. ගර්භ ගෘහයේ සිට වම් පැත්තට වන්නට පිහිටි කාමරය අඩි 15.6 දිග වන අතර පළල අඩි 12 ක් වේ. මේ සඳහා දකුණු පසින් දොර තබා ඇති අතර උතුරු පසින් ජනේලයකින් සමන්විතය. ජනේල් උළුඅස්ස ඉතා ඝණකම ඇති දැවයෙන් සාදා ඇති අතර උස අඟල් 34 ක් හා පළල අඟල් 28 ක් වේ. ගර්භයෙන් දකුණු පස කාමර දෙකක් ඇති අතර එක් කාමරයක් අඩි 10 – 12 වන අතරම කාමර දෙකම එක සමාන වේ. දොර ජනේල් වම් පස කාමරයේ වාසය කල කුටි ලෙස සැලකිය හැකිය.

ගර්භ ගෘහයට ඇතුළු වීම සඳහා උතුරු පසින් ප්‍රධාන දොරටුව ඇති අතර එය අඩි 5ක් පළල වන අතර උස අඩි 7 ක් පමණ වේ. මෙහි මුදුන ආරුක්කු හතරකින් සමන්විත වන ආකාරයට සකස් කර ඇති අතර ගර්භය මධ්‍යයේ ඉතා සූක්ෂම කැටයම් යෙදූ ලී කුළුනක් වහලයේ බර තබා ගැනීම සඳහා යොදා ගෙන තිබේ. එහි නෙළුම් මල් මොස්තරය හා පලා පෙති මෝස්තර වලින් අලංකාර කර තිබේ. මෙයට අමතරව තවත් ඔප මට්ටමින් කරන ලද කුළුණු තුනක් ගර්භයේ දකුණු පසට වන්නට සිටුවා ඇති අතර ඒවාද වහලයේ බර දරා ගැනීම සඳහා උපකාර වේ. මින් කොටස් කඩා දැමීමේ දී වහලය රඳා තැබීම සඳහා බොරු කණු තුනක්ද ඉහතින් සඳහන් කළ කුළුණු තුනට සමානව දකුණු පස කුටි ඉදිරිපිට සවි කර තිබෙණු දැකිය හැකිය. අඩි 3ක් පමණ පොළව මට්ටමින් ඉහළට එසෙවෙන ආකාරයට අත්තිවාරම් සකස් කර ඇත.

සම්පූර්ණයෙන්ම පැරණි ගොඩනැගිල්ල තිබුණු ආකාරය අසා දැන ගත් පරිදි මැද මිදුලක් සහිතව දැනට ඉතිරිව පවතින ගොඩනැගිල්ලට අමතරව මුළුතැන් ගේ ගබඩාව කාමරය සහිතව කාමර හයක් තිබු බවට තොරතුරු ලැබිණි. මේ අනුව අපට පැවසිය හැක්කේ එදා අද මෙන් ඉතා අංග සම්පූර්ණ ශාලා වලින් යුක්තව මනා දැනුමකින් යුක්තව ගොඩනැගිල්ල නිර්මාණය කර තිබුණු බවයි.

නව ආවාස ගෘහය[සංස්කරණය]

මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය ඉතා මෑත කාලයට අයත් වේ. මෙය නිර්මාණය කිරීමේ දී උපයෝගී කර ගෙන ඇත්තේ ගල් සහ ගඩොල් වේ. අත්තිවාරම කළු ගලින් හා සිමෙන්ති බදාමයෙන් නිමවා ඇති අතර බිත්ති ගඩොල් හා වැලි මැටි උපයෝගී කර ගෙන කපරාලුව සදහා සිමෙන්ති බදාම උපයෝගී කර ගෙන තිබේ. උළුඅහු සඳහා 4 x 3 උළුඅහු ලී භාවිතා කර ඇති අතර වහලය සඳහා ඉරා ගනු ලැබූ යට ලී පරාල හා රීප්ප භාවිතා කර පළ හයක් වන සේ උළු සෙවිලි කර වහලය සකස් කර තිබෙණු දැන ගත හැකිය.

මෙම ගොඩනැගිල්ල පැරණි පන්සල් ගොඩනැගිල්ලට දකුණු පසින් ඉතා ආසන්නයේ ම සකස් කර ඇති අතරම මෙහි ගර්භය මුළුතැන් ගෙය, ගබඩා කාමර දෙක, දාන ශාලාව හා කුටි හයකින් සමන්විත වේ. ගර්භයේ සිට දාන ශාලාව දක්වා අඩි 4ක් පමණ පළල අඩි 20.2 x 18.3 වන අතර උතුරු පසට වන්නට ප්‍රධාන උළුඅස්ස පිහිටුවා ජනේල් උළුඅස්සක් තබා තිබේ. මේ හැරුණු විට නැගෙනහිර පසට උළුඅස්සක් ඇති අතර බටහිර පසින් ජනේල් උළුඅහු දෙකක් තබා තිබේ. ගර්භයට දකුණු පසින් කුටියක් වන අතර එහි දිග පළල අඩි 15 x 15 වන අතර නැගෙනහිර පස කොරිඩෝවට දොර තබා තිබෙන අතර ජනේල් උළුඅස්ස බටහිර දෙසට යොමු කර තිබේ. ඉහත කුටියට දකුණු පසට වන්නට ගබඩා කාමරයක් වේ. එය දිග පළල අඩි 20 x 10 වේ. එහි දොර උළුඅස්ස උතුරු පසට කොරිඩෝවට යොමු කර ඇති අතර ජනේලය බටහිර පසට යොමු කර තිබේ. මෙම ගබඩා කාමරයට නැගෙනහිරට වන්නට දිග පළල අඩි 10×5 කුඩා ගබඩා කාමරයක් ඇති අතර මෙහි දොර උතුරු පසට කොරිඩෝවට යොමු කර ඇත. මේ ගබඩා කාමර දෙකේ දීර්ග කාලීනව තැම්පත් කරණු ලබන බඩු භාණ්ඩ තැම්පත් කිරීම සඳහා උපයෝගී කර ගනු ලබන ගබඩා කාමර ලෙස හැඳින්විය හැකිය. ඉහත ගබඩා කාමරයට නැගෙනහිරින් කුටි තුනක් වන අතර එක් කාමරයක් අඩි 13 x 10 වේ. මෙහි දොර උළුඅහු දෙකම උතුරු පසට වන්නට කුටි දෙකක් තිබෙන අතර එක් කාමරයක් දිග පළල අඩි 10 x10 වන්නා සේම අනෙක් කුටිය අඩි15×10 ප්‍රමාණයෙන් යුක්ත වන්නා සේම දොර උළුඅහු දකුණු දෙසට කොරිඩෝවට යොමු කර ඇති අතර ජනෙල් දෙක උතුරු පසට හරවා ඇත.

මුළුතැන් ගෙය දිග පළල අඩි 21.6 x13 ප්‍රමාණයෙන් වන අතර දකුණු පස දකුණට වන්නට විමිණිය අඩි 5.6 දිග හා පළල අඩි 3.6 නිර්මාණය කර තිබේ. මේ සඳහා දොර උළුඅහු දෙකක් ඇති අතර එක් දොරක් නැගෙනහිර පසට වන්නටත් අනෙක උතුරු පසින් දාන ශාලාවට වන්නටත් තබා තිබේ. ජනෙල් උළුඅහු දෙක නැගෙනහිර හා දකුණු පසට වන්නටත් තබා තිබේ.

මුළුතැන් ගෙයට උතුරු දෙසට වන්නට දාන ශාලාව පිහිටා තිබෙන අතර එය දිග අඩි 36.6 හා පළල අඩි 19 වේ. මේ සඳහා දොර උළුඅහු තුනක් තබා තිබෙන අතර එකක් උතුරු පසට නැගෙනහිර හා බටහිර දෙසට යොමු කර තිබෙන අතර එම පැති තුනටම ජනෙල් උළුඅහු තුනක් ද තබා තිබේ. දාන ශාලාවේ ගිණිකොන දෙසට වන්නට අඩි 10 x 10 ප්‍රමාණයෙන් වෙනම ගබඩා කාමරයක් නිර්මාණය කර තිබේ. මේ සඳහා බටහිර දෙසට උළුඅස්සක් තබා ඇති අතර මෙම ගබඩා කාමරය එදිනෙදා මුළුතැන් ගෙට අවශ්‍ය වන බඩු භා භාණ්ඩ ගබඩා කර තබන කාමරය ලෙස හඳුන්වා දිය හැකිය.

ස්ථූපය[සංස්කරණය]

අනුරාධපුර පොලොන්නරු යුග නියෝජනය කළ රජවරුන් විසින් විශාල දාගැබ් නිර්මාණය කරන ලදහ. එහෙත් මහනුවර යුගයේදී විශාල දාගැබ් නිර්මාණය නොකෙරෙණු අතර විහාරය අභ්‍යන්තරයෙහි කුඩා දාගැබ් සාදන ලදී. මෙයට හේතුව වන්නට ඇත්තේ වාණිජ සමාජයක් ඇති වී තිබූ නිසාත් දේශපාලන ඒකීයත්වයක් නොපැවතුන නිසාත් විය හැකිය.

මෙම විහාරයේ ඇති දාගැබ් විහාරය තුල පැරණි විහාරය අභියස නිර්මාණය කර තිබේ. මෙය නිර්මාණය කරන ලද්දේ 1 නව බුවනෙකබාහු රජු විසින් මින් පසු කාලයේ විසූ කොට්ටඉඹුල්වල විහාර සඟපරපුරට අයත් කොට්ටඉඹුල්වල අනොමදස්සි හිමි විසින් දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත. අඩි දෙකක් පමණ උස වෘතාකාර මණ්ඩපයක් මත නිර්මාණය කර ඇති අතර පේෂා වලලු තුනකින් යුක්ත වේ. මෙහි විෂ්කම්භය අඩි 11 ක් පමණ වේ. ඉහළම පේෂා වලල්ල මත පලාපෙති මොස්තරයකින් අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වන ගර්භය අඩි 7 අඟල් 3කින් යුක්ත විෂකම්භයකින් යුක්ත වේ. හතරැස් කොටුව අඩි 2 ක් උස් වන අතර එක් පැත්තක පළල අඩි 3 කි. දේවතා කොටුව හා කොත්කැරැල්ල අඩි 3.5 උසින් යුත්තය. මේ අනුව කිව හැක්කේ මෙහිදී විහාරය තුළම කුඩා දාගැබ් නිර්මාණය කර ඇති බවකි.

බිතු සිතුවම් සාධක

කොට්ටඉඹුල්වල විහාරයෙහි හරි අඩක් පමණ බිතුසිතුවම් වලින් ග්‍රහණ වේ. මෙම සිතුවම් වලින් බොහෝමයක් දැනට මැකී යාමේ තර්ජනයකට ලක් වී පවතී. විහාරයේ කටාරමට යටින් ඇද තිබෙන ක්‍රමයෙන් මැකී යන චිත්‍ර ඇති බව සපරගමු දර්ශනයෙහි සඳහන් වේ.

මේ සිතුවම් මාතෘකා කිහිපයක් ඔස්සේ ඇඳ ඇති බැව් පෙනී යයි. මෙම මාතෘකා පොදුවේ ගෙන බැලීමේ දී මෙලෙස දැකිවිය හැකිය.

* ජාතක කතා

* සොලොස්මස්ථාන

* බුද්ධ චරිතය හා සම්බන්ධ තොරතුරු

* ශාසනික ප්‍රවෘත්ති

* අපාය දර්ශන

* දිව්‍යලෝක

* දේවරූප හා ඓතිහාසික පුද්ගල රූප

* සැරසිලි මෝස්තර

ඉහත මාතෘකාවන් ගැබ් කර ගත් විශාල සිතුවම් ප්‍රමාණයක් විහාරයේ ඇඳ තිබෙණු දක්නට ලැබේ. මේවා සියුම්ව අධ්‍යයනය කිරීමෙන් එකල පැවති සමාජ හා ආර්ථික තත්වය වටහා ගත හැකිය.

සිතුවම් අධ්‍යයන පහසුව සඳහා විහාරය කොටස් බෙදා ගත් ආකාරය පහතින් සඳහන් වේ.

* ඇතුළු ගෘහය

* ඇතුළු ගෘහයේ පැරණි විහාරය

* අන්තරාලය හෙවත් බරාදය

* මණ්ඩපය

* ඇතුළු ගෘහයට නැගෙනහිරින් පිහිටි දේවාලය

* ඇතුළු ගෘහයට බටහිරින් පිහිටි සූවිසි බුදුන් සහිත උප කුටිය

* පිටතට පෙනෙන කටාරමට යටින් වූ බිත්තිය.

මේ බෙදීමට අනුව 1,2,3,5,6, යන කුටි තුළ සිතුවම් ඇති අතර අංක 4 තුළ කිසිම සිතුවමක් නොමැත. බරාඳයේ ඉතා පැහැදිලි සිතුවම් ඇති අතර ඒවා විහාරයට ඇතුළු වන්නට මූණ ගැසෙන සේ නිර්මාණය කර තිබේ.මෙම කුටි අතරත් බිත්ති බොහෝමයක සිතුවම් ඇඳ නැති අතර එම බිත්ති සුදු හුණු පිරියම් කර තිබෙණු දක්නට ලැබේ. 7 වෙනි සිතුවම් කඩ විහාරය ඇතුලට නොපෙනෙන අතර විහාරයේ පිටත සිට නැරඹීම සඳහා කටාරමට යටින් බිත්තියේ නිර්මාණය කර ඇත. මෙය ඇතුළු ගෘහයේ උතුරු බිත්තියේ අන්තරාලයේ පියස්සෙන් ඉහළ කොටස වේ.

ඇතුළු ගෘහය[සංස්කරණය]

ප්‍රධාන විහාර ගෙයි සිතුවම් හැඳින්වීමේ දී ඔත් පිළිමයට ඉදිරියෙන් දැව පුදසුන් හතරක් වේ. එහි නැගෙනහිර පස පුදසුන් තුනෙහි සොළොස්මස්ථාන නිර්මාණය කර ඇත. දැව පුදසුන් වල චිත්‍ර නිර්මාණය කිරීමත් කොට්ටඉඹුල්වල විහාරයට පොදු වූ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.

නාගදීපය ( වත්මන් යාපනයේ) එම පූජනීය ස්ථාන අතරින් දෙවැන්නයි. මෙම පුජනීය ස්ථාන නිරූපනය කිරීම සඳහා පෙන ගොබ විදහා ගත් නාගයින් විශාල සංඛ්‍යාවක් ස්ථූපය වන්දනා කිරීමට යත්න දරණ ආකාරය එම ස්ථානයේ විශේෂත්වයයි. මෙලෙස නාගයින් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ නාග දීපය හඳුනා ගැනීම සඳහා යයි කිව හැකිය. එයට හේතුව සිතුවමට යටින් නාගදීපය ලෙස නම් කර තිබීමයි. මෙම අවස්ථාව නිරූපනයේ දී රේඛා හැසිර වීම මෙන්ම කහ හා සැදිලිං ගම් රතුපාට අතර ප්‍රතිරෝධීතාව සටහන් කරණු පිණිස දුඹුරු වර්ණය මදක් සංකලනය කිරීම යන කරුණු වලින් පෙනී යන්නේ මෙය කෘතහස්ත සිත්තරුවකුගේ නිර්මාණයක් බවයි.

ශ්‍රී පාදය සොලොස්මස්ථාන අතුරින් එකක් ලෙස සඳහන් වේ. වන්දනා කරුවන් දෙදෙනෙකු මෙහි ශ්‍රී පාදයට නැගීම චිත්‍රයට නගා තිබේ. සමනල මුදුනේ ඇති කුටියක් තුළ ශ්‍රී පතුල ඇද දක්වා තිබේ. කඳු මුදුනේ සිට එල්ලෙන දං වැලෙන් පෙන්නුම් කෙරෙනුයේ වන්දනා කරුවන් විසින් නැගිය යුතු දුෂ්කර මාර්ගයයි. වන්දනා කරුවාගේ අතේ වතුර සෙම්බුවක් දක්නට ලැබේ. රෙදි පොදිය හා ගමනට උවමනා බඩු භාණ්ඩ උරහිස මත තබාගෙන යයි. ඔහුගේ බිරිඳ ලෙස සිතිය හැකි කාන්තාවක් නව ගුන වැලක් ගනිමින් භාවනානුයෝගීව ඔහු පසු පස ගමන් කරයි. සැදැහැවතුන් දෙදෙනා විශාලව දැක්වීමට උත්සහ කරනු ලබන අතර මුළු නිර්මාණය කෙරේම අවධානය යොමු නොකරයි.

සොළොස්මස්ථානයට අයත් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අලංකාර ලෙස නිර්මාණය කර ඇත. වන්දනා කරුවන් මහාබෝධියට පුද පූජා කරන ආකාරය නිර්මිතය. පසඟ පිහිටුවා වදින රූපයට පසු පසින් වාඩි වී සිටින්නා එක් අතකින් දිග මිටක් සහිත කොඩියක් ද අනෙක් අතින් පුවක් මලක්ද ගෙන සිටී. මොහු සිය හාම් පුතා හා බිරිඳ සඳහා පූජා වස්තු ගෙන යන සේවකයෙකු විය යුතුය. පසඟ පිහිටුවා වදින පුද්ගලයන් හා සේවකයන් ඇඳ සිටින ඇදුම් තත්කාලීන සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින්ගේ හැසිරීම් රටා වල වෙනස දැක්වේ. ගස්වල අතුපතර දැකිවීමේ රටාමය ක්‍රමය 18 වැනි සියවසේ දෙගල් දොරුව හා දඹුලු චිත්‍ර වල භාවිත ක්‍රමය වෙයි. එසේ වුවත් ගස්වල කඳන් හා ගඩොලින් කළ මළුව නිරූපණයේ දී යතාර්ථවාදී බවත් පෙන්නුම් කරයි. මානව රූප වල මුදුනේ රේඛා හා උතුරු සළුවල පොටවල් දැක්වීමේ දී සුළු අඳුරු කිරීමක සේයාවක් දැකිය හැකිය.

කතරගම හා සේල චෛත්‍ය වන්දනා කිරීමේ සිතුවමේ දී විවිධ වෘතීන් වලට අයත් සේ සැලකිය හැක. වන්දනා කරුවන් කතරගම කිරි වෙහෙර වෙත ළඟා වන අයුරු නිරූපිතයි. මෙහි වන්දනා කරුවන් තිදෙනා ජාතීන් තුනකට අයත් බැව් පෙනේ. වම් කෙළවර සිටින හිස වසා ගත් කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් විය හැකිය. කහ වතක් හැඳ අතින් දිය කෙන්ඩියක් ගෙන සිටින තරබාරු පුද්ගලයා බ්‍රාග්මණයෙකු ලෙස සැලකිය හැකිය. එම රූපයේ කුණ්ඩලාභරණ හා දැලි රවුලු නිර්මාණය කර තිබේ. ඉරි වැටුනු රෙද්දක් අමුඩ ගසා ගෙන තලප්පාවක් බැඳ සිටින පුද්ගලයා පොරොවක් අතින් ගෙන අනිත් අතින් පැන් කෙන්ඩිය දරා සිටී. ඔහුගේ පැහැය කුණ්ඩලාභරණ සහ ඔහු ගෙන යන දේ වලින් පෙනී යන්නේ ඔහු ද්‍රවිඩ වතු කම්කරුවෙකු හා වැද්දෙකුගේ ගොවියෙකු ලෙස පෙනී යයි. දකුණු කෙළවරේ සිටින සිව්වැනි පුද්ගලයා තලෙළු පැහැය හා ඇදුම් හා කොණ්ඩයෙන් පෙනී යන්නේ සේල චෛත්‍ය දෙසට වන්දනා කරන සිංහල බෞද්ධ කාන්තාවක් ලෙස සැලකිය හැකිය. එක් එක් පුද්ගලයාගේ වාර්ගික ලක්ෂණ චිත්‍රණය කිරීමට කලා කරුවා සමත් වී ඇත. සිතුවම් ඉතා පැහැදිලිව මනහරව චිත්‍රයට නගා තිබීම ඉතාම දැකුම්කළුය.

තිස්ස මහා විහාර වන්දනයේ දී සැදැහැවත් බෞද්ධයින් දෙපලක් විසින් මල් අතින් ගෙන වන්දනා කිරීම නිරූපනය කර තිබේ.

ජේතවන වන්දනයේ දී මල් කිනිත්තක් ගත් සැදැහැවතියක් ස්ථූපය වෙත යන අයුරු නිරූපිතයි. 20 වන සියවසේ කලා රීති අනුව නිරූපිත වුවද මහනුවර සිත්තර සම්ප්‍රදාය සිහි ගන්වන ලක්ෂණ ඇති බැව් පාර්ශ්ව චිත්‍රයේ නෙත ඉදිරියට හැරෙන සේ ඇඳ තිබීමෙන්ද පසු කාලය සඳහා රක්ත වර්ණ යෙදීමෙන්ද ප්‍රකටව පෙනේ.

මේ ආකාරයෙන් සොලොස්මස්ථාන නිරූපනය කර ඇති අතර බටහිර පස පුදසුනෙහි විවිධ මල් වලින් යුතු මල් පෝච්චි හතරක් විවිධ ආකාරයෙන් නිරූපනය කර ඇත. මෙය එක් එක් ප්‍රමාණයෙන් නිරූපිතය.

ප්‍රධාන පිළිමගේ සිවිලිම කොටස් දෙකක් යටතේ සිතුවම් ඇඳ ඇත. ඔත් පිළිමයට ආසන්නයේ ඇති පළමු කොටසෙහි කහ හා සුදු පාටින් යුත් විශාල මල් සහිත ලියවැල් රාමුවකින් යුක්ත වේ. රේඛා යෝජනයේ ඇති අසංයත විපුලතාවත් අසීමිත ප්‍රාණවත් බවත් කේවල වර්ණමය වර්ණ යෝජනය පිළිවෙලත් සිහියට නගන්නේ හිමෙව් පියෙස නිරූපනයේ දී දක්නට ලැබෙන ජන කළ ශක්තිය හා එම ප්‍රකාශන විලාශය මැයි මෙම ලියවැල ඉතා ප්‍රාණවත් අන්දමින් ඉතා පැහැදිලිව ලයාන්විත ආකාරයට සියුම් තැන් ඉතා සූක්ෂම අන්දමින් නිර්මාණය කර තිබීමෙන් පෙනී යන්නේ කලා කරුවා තුළ තිබූ මා හැගි නිපුණතාවයයි. මෙහි වර්ණ සංයෝජනයද මැනවින් එකිනෙකට ගැලපෙන ආකාරයට වර්ණ ගන්වා ඇත. දැනට මෙයින් සුළු කොටසක් මැකී ගොස් ඇත.

සීලිමෙහි අනික් කොටසේ රෝස මල් රටා හා ලියවැලක් මධ්‍යයේ අනෝතත්ත විල හා ඉන් පිටවන සතර මහා ගංඟා කේන්ද්‍ර කොට ගත් හිමාලය වන පරිසරය ඇතුළත්ය. මෙම කොටසෙහි සත්වයින්ද විල්, දොළ, ගිරි, ශිඛර, වෘක්ෂ ලතා ආදිය නිර්මාණය කර තිබේ. හිමාලය පිහිටි අනෝතත්ත විලෙහි

* නැගෙනහිර – සිංහ මුඛය

* දකුණින් – හස්තියා මුඛය

* බටහිරින් – වෘෂභ මුඛය

* උතුරින් – අශ්ව මුඛය

සිව් මුඛයෙන් සතර මහා ගංගාවෝ ගලා යති. මේ තේමාව දඹුළු ලෙනේ පිළිම ගෙයත් අලංකරණය සඳහා මහනුවර යුගයේ දී යොදා ගෙන ඇත. මෙම තේමාව පසු තලයක දක්වා අවිච්චින්නව පවත්නා අයුරු දැක්වෙන සාධකයක් අයුරින් කොට්ටිඉඹුල්වල ලෙන් විහාර ගේ මුළු සීලිමේ ඇති අනෝතත්ත විල කේන්ද්‍ර කොටගත් හිමව් පියෙස දර්ශනය දැක්විය හැකිය.

මෙහි නිරූපනය කර ඇති පරිදි නෙළුම් සහිත විලේ දිශා සිව් කොනේ සතුන්ගේ ශිර්ෂ ඇඳ දක්වා තිබේ. මෙය චතුර් දිශාවට මුහුණ ලා සතුන් සතර දෙනෙකු ඇඳ ඇති සාම්ප්‍රදායික සිතුවම් වලට වඩා වෙනසක් ඇත.සත්ව මුව තුළින් නිකුත් වන ජලය ජල වටා කරකැවී මහා නදීන් ලෙස ගලා යයි. මෙම තේමාව නිරූපිත වෙනත් අවස්ථාවල ඇති පරිදි එක් ගංගාවක් උතුරු දෙසටත් අනෙක් ගංගා තුන බටහිර දෙසටත් ගලා ගොස් වෙනත් විල් වලට වැටී පැතිර යන අවස්ථාවට වඩා මෙහි වෙනස්ය. මෙහි කඳු වන පෙත් පොකුණු හා ඇත් පන්තියෙන් යුත් හිමව් පියස අනෝතත්ත විලෙහි සිට ගත් පසට පැතිර යයි.

මෙයට අමතරව මෙම කොටසෙහි වසු පැටියෙකුට කිරි පොවන අවස්ථාවක් නිරූපිතය. මෙම හිමාල වනයෙහි ගව දෙනක් තම පැටියාට වලිගය දිවෙන් පිරිසිදු කරමින් පැටියා සුරතල් කරන අයුරු ඉතා ස්වාභාවික හා සෙනෙ‍හෙස දනවන අයුරු නිරූපිතය. උන්ගේ සිරුරුවල ස්වභාවික ලෙසත් එම ස්ථානයට අවශ්‍ය පරිදි ගස් වැල් නිර්මාණය කර ඇත. සිතුවම් බෝඩරය ජ්‍යාමිතිය මෝස්තරයෙන් සරසා ඇත. මෙම සිතුවම ඉතාමත් ප්‍රිය ජනක සිතුවමක් ලෙස හැඳින්විය හැකිය.

තවත් ස්ථානයක හිමව් පියෙස්සෙහි එක් ස්ථානයක් කොටස් තුනකට බෙදා ඉහළ කොටුවේ පදුරකි. මැද කොටුවේ වල් ඌරු රංචුවකි. අනිත් කොටුවේ කෙතක් දක්නට ලැබේ. මෙහි කෙසෙල් පදුරෙහි ඉතා බහුලව සෑදුනු කෙසෙල් කැන් රාශියක් හා මොරෙයියන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. කෙත ඉතා සරුසාර ඵලදාවයෙන් යුක්තව නිර්මාණය කර තිබේ. වල් ඌරන් පැටව් සමග විශාල සංඛ්‍යාවක් ඇත. මෙයින් පෙන්නුම් කරන්නට අදහස් කරන්නට ඇත්තේ ස්වයංපෝෂිත සමාජයක් වන්නට ඇත. ඒ වගේම හිමාලය සෑම දෙයින්ම සරුසාරව ඇති බව පෙන්වීමටද අදහස් කරන්නට ඇත. තවත් අපට සිතිය හැකි මෙකල කොට්ටිඉඹුල්වල ගම මෙවැනි සරුසාරත්වයෙන් පවතින්නට ඇත කියා ය. මෙකල මෙම ගමේ දක්නට ලැබුණු සත්වයන් ගවයා , ඌරා වගේම කෙසෙල් ගස් කුඹුරු වතු පිටි මෙහි නිර්මාණය කරන්නට ඇති කියා සිතිය හැකිය. ඒවා ඒ ආකාරයෙන්ම නිර්මාණය කරන්නට ඇත්තේ නිතර දෙවේලේ දක්නට ලැබුණු නිසා විය හැකිය. සීගිරියේ කාන්තාවන් නිර්මාණයේ දී කාන්තාවන් අධ්‍යනය කර ඇති බව පැවසේ. මේ හැරුණ විට ප්‍රධාන පිළිමගේ උතුරු නැගෙනහිර හා බටහිර බිත්ති සම්පූර්ණයෙන්ම සුදු හුණු පිරියමින් යුක්ත වේ.

ඇතුළු ගෘහයේ පැරණි විහාරය[සංස්කරණය]

ප්‍රධාන පිළිම ගෙයි ඔත් පිළිමයට ඉතා ආසන්නයේ කුඩා උප කුටියක් ඇත. එම කුටිය සිතුවම් ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි නැගෙනහිර බිත්තියේ නැගෙනහිර දෙසට හැරී වන්දනා කරන ස්වරූපයකින් ඇඳ ඇති ඉදිරි පසට මුහුණලා තිරස් අතට අඳිනා ලද රහතුන් වහන්සේලා දෙපලක් නිර්මාණය කර තිබේ. උතුරු බිත්තියේ මැදින් දොරටුවක් ඇති අතර ඒ දෙපස රාජ සහිත නිල ඇදුමින් සුරසුනු සක් පිඹින්නන් දෙදෙනෙකු සිතුවම් කර තිබේ. බටහිර බිත්තියේ තිරස් අතට රහතුන් වහන්සේලා දෙනමක් සිතුවම් කර ඇත. ඉහළින් නිර්මාණය කර ඇති රූප වලට සමාන ලක්ෂණ දරයි. යටින් ඇඳ ඇති රූප මුහුණේ එක් පසක් පමණක් දැක්වෙන සේ ඇඳ ඇති දෝතින් මලක් ගෙන සිටින සේ නිර්මිතය. කොටස් තුනකින් යුක්ත වන සේ සීලිම නිර්මාණය කර ඇත. මැද කොටස රතු පසුතලයක් මත කහ, කොළ, හා සුදු වර්ණ යොදා නිමවන ලද මල් හා ලියකමින් ඔපවත් කර ඇත. දෙපස ජනෙල් දෙකෙහි එබදු ලිය කම් ඇතත් එබදු පසුතලයක රතු, කොළ, හා කහ වර්ණවලින් ඒවා ඇඳ ඇත. රහතුන් වන්සේලා නිරූපනයේ දී බුදුන් වෙත ගමන් කරන පෙරහැරෙහි රහතුන් වහන්සේලා මල් ගෙන වඩිති. එම සිත්තම සාම්ප්‍රදායික ශෛලියේ පරිහානි අවස්ථාවක් පිළිබිඹු කරයි. තොල් යුගලයෙහි විශාලත්වය , නිකටෙහි විශාලත්වය රූප රේඛා පිළිබඳව සැලකිල්ලක් නොමැති කම සම්ප්‍රදායික මධ්‍ය කාලීන කලා ලක්ෂණ බොහෝ සෙයින් පරිහානි තත්වයක් මින් නිරූපනය වන බව පෙනේ. මෙම පිළිමගෙයි සීලිම අලංකාර කර ඇත්තේ සෑම ලියකමක්ම විකසිත වන විශාල අන්නාසි මලකින් යුත් අලංකාර ලියවැල් මොස්තරයකිනි. මෙහි දක්නට ලැබෙන ශෛලිය මෙන්ම වර්ණ සංයෝජනයද ප්‍රධාන ලෙනෙහි සීලිම් සැරසිල්ලට වඩා වෙනසක් දක්නට ලැබේ. මෙහි ඇඳ ඇති රේඛා සම්පූර්ණ කර තිබේ. වර්ණ යෝජනයේ ද පැහැදිලි වෙනසක් දැක ගත හැක. රූප ඉතා ප්‍රමාණවත් අන්දමින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.

අන්තරාලය හෙවත් බරාදය[සංස්කරණය]

විහාරයේ ප්‍රධාන කුටියේ උතුරු බිත්තියේ පිට පැත්ත හෙවත් බරාදයේ දකුණු පස බිත්තියේ සිතුවම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. මෙම බිත්තියෙහි ප්‍රධාන දොරටු තුන සිත්තම් කරන ලද වරම් දෙව්රූවලින් යුක්ත වේ. ඒ දොරටු මත තොරණ වෙයි. තොරණ් දෙකක ප්‍රධාන මෝස්තරය හිරු මඩල හා සඳ මඩල රටා වන අතර ඒවා දෙපස කින්නරාංගනා රූප ඇඳ තිබේ. තෙවැන්නේ අණ්ඩාකාර රාමුවක් තුළ ඇඳ ඇති පියාසර රූ දෙකකි. මෙම දොරටු තුනෙහි ස්කෝනම් වල පලා පෙති මෝස්තරයෙන් අලංකාර වී පවති. මෙම බිත්තිය වමේ සිට දකුණට තිරස් තීරු දෙකක් අතරත රජ කළ බුදු දහමට විශේෂ අනුග්‍රහයක් දැක් වූ රජවරුන් හා බිසෝවරුන් ද රාජකීය කාන්තාවන් හා පුරුෂයින්ද ප්‍රධාන දායික දායිකාවන් ද නිරූපනය කර ඇති අතර පිළිවෙලකට නොමැති වුවත් කවලමේ සිතුවම් කර තිබෙනු දක්නට ලැබේ. ඉතා විශාලව නිර්මාණය කර ඇති මානව රූප වල නම් සඳහන් කර ඇති අතර එම නම් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

* විශාඛා දේවී

* චන්ද්‍රා දේවී

* පදුම දේවී

* බ්‍රහ්මදත්ත රජතුමා

* ජෝතිය සිටානෝ

* ජටිල සිටානෝ

* උත්පල සිටානෝ

* පණ්ඩිත පරාක්‍රමබාහු රජු

* විමලධර්ම රජු

* ධන සිටානෝ

* සුනීත සිටානෝ

* ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

* ධර්මාශෝක රජතුමා

* පද්මාවතී දේවී

* මිගාර සිටානෝ

* මහාමායා දේවී

* නන්දා දේවී

* අනේපිඬු සිටානෝ

* දෙවන පෑතිස්ස රජු

* දුටුගැමුණු රජු

* කීර්ති ශ්‍රී රජු

* තලතා දේවි

* අමරා දේවී

* කෝසල මල්ලිකා

* රාජසිංහ රජු

සම්පූර්ණ ශරීරය ආභරණ වලින් සැරසී සිටි ඉරියවුවෙන් යුක්ත වේ.

නැගෙනහිර පස උප කුටියේ උතුරු බිත්තියේ පිට පැත්ත වෙන වෙනම එකට ආසන්නයේ ඇදි සිතුවම් දෙකක ආසනයක් මත හිඳ ගත් රජකු වෙත යුධ භටයෙකු විසින් සිරකරුවෙකු ගෙන එනු ලබන සේ නිර්මාණය කර ඇති සිතුවම් දෙකම එකම ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර ඒ හැරුණු විට මුළු බිත්තියම සුදු පාටින් යුක්ත වේ. මෙම ඇඳ ඇති සිතුවම් මෑතකදී කළ නිර්මාණයක් ලෙස සංස්කෘතික ත්‍රිකෝණයෙන් කළ ග්‍රන්ථයේ සඳහන් කරයි. මේ සිතුවම කුමක් සඳහා නිර්මාණය කළා දැයි පැහැදිළිව කිව නොහැකි වුවත් විහාරයට පොදු වූවක් සේ දැක්විය හැකිය. මෙය මෙකල පැවති රාජ නීතියක් වන්නට පුළුවන.

බටහිර පස උප විහාර කුටියේ උතුරු පස බිත්තියේ පිට පැත්ත සිතුවම් නිර්මාණය කර නොමැත.

ප්‍රධාන පිළම ගෙයි ඉදිරිපස ඇති බරාදයේ සීලිම සම්පූර්ණ ලෙස විත්‍ර වලින් අලංකාර කර තිබේ. සිවිලිම බාල්ක යොදා ලෑලි වලින් සාදා ඇති නිසා කොටු 21 කින් සමන් විත වේ. මේ සිතුවම් කිසියම් මාතෘකාවක් යටතේ අඳින ලද චිත්‍ර කොටස් තුනකින් යුක්ත වේ. ඉන් මුල් තුනෙහි නැගෙනහිර පසින් ආරම්භ කර ඇඳ ඇත්තේ මාර විජය චිත්‍රයයි. එහි මාරයා බටහිර පසින් යුද්ධයට පැමිණ නැගෙනහිර දෙසට පලා යනු ආකාරයෙන් නිර්මිතය ඊළඟ ජනේල තුනෙහි නම් වශයෙන් සඳහන් කර ඇති අපාය තුනක දඬුවමට යටත් වුවන් දැන්වෙයි. මෙහි සඳහන් ආකාරයට

* කටු ඉඹුල් නරකය

* රෞරව නම් නරකයෙහි යම රජු නඩු අසයි

* ඔසුපත් නරකය

ආදිය ලෙස වේ.

ඊලඟ පනෙල් තුනේ මහාද්වීප, සමුද්‍ර, ගංගා, හා ගිරි පර්වත ද විවිධ මිනිස් වර්ග ද සහිතව මිනිස් ලොව නිරූපිතය. පනේල 21 මැද චිත්‍ර පනේලයෙහි තේමාව වී ඇත්තේ විචිත්‍ර නෙළුම් පොකුණ හා කල්පදෘමය ද ඇතුළත් විවිධ රත්නයෙන් විභූෂිත ශක්‍ර භවනයි. ශක්‍රයාගේ මාලිගය දෙපස දෙවියන් විසින් වන්දනා කරනු ලබන අසුරයන් විසින් මුර කරනු ලබන සිළුමිණි සෑය යන චෛත්‍ය නිර්මාණය කර ඇත. ඊළඟ පනේල පෙළ සූර්්‍යය භවනය,චන්ද්‍ර භවනය හා තවත් දිව්‍ය භවන පහක්ද ඒවාහි ආධිගෘහිත දේවතාවන් හා දිව්‍ය ගාන්ධර්ව රූපවලින් ද සමලංකෘතය. අවසන් පනේල හය අනෝතත්ත විල කේන්ද්‍ර කොට ගත් හිමාල අඩවිය පසුබිමේ ඇඳ ඇති ජාතක කථා සඳහා වෙන් කර ඇත. මෙම ගිරි ශිඛර හා වන පෙතින් ආකූල පසුබිම තුළින් විද්දන්ත ජාතකය හා වෙස්සන්තර ජාතකයත් රසවාහිනියේ එන දහම් සොඩ වස්තුවත් මෙහි නිරූපනය කර තිබේ.

අපාය දර්ශන සිවිලිමේ ඇදීම වෙනත් විහාර වල දැක ගැනීමට නොහැකි අතර කොට්ටිඉඹුල්වල පොදු වූ ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය. වෙනත් විහාර වල අපාය දර්ශන පහත ස්ථානයක දක්වන අතර මෙහිදී ඉතා උසස් කොට සිවිලිමේ ඇදීම විශේෂ ලක්ෂණයක් සේ සැලකිය හැකිය. ඒ වගේම අපාය, මහද්වීප, ගංගා, මනුෂ්‍යලෝක, දිව්‍ය ලෝක හා හිමාලයීිය දර්ශන ඇතුළත් බෞද්ධ ලෝක විභාගය මෙයින් පිළිබිඹු කරන බව සදහන් කළ හැකිය.

මණ්ඩපය[සංස්කරණය]

මණ්ඩපයෙහි කිසිම සිතුවමක් ඇඳ නැති අතර එම කොටස සුදු හුණු පිරියම් කර තිබෙණු දැක ගත හැක.

ඇතුළු ගෘහයට නැගෙනහිරින් පිහිටි දේවාලය

මෙම පිළිම ගෙයිද ප්‍රධාන පිළිම ගෙයි මෙන් දැව පුදසුනෙක සිතුවම් නිර්මාණය කර තිබේ. මෙහි සස ජාතකය නිර්මාණය කර ඇත.එහි එන මහළු බමුණා නැවත නැවත ඇඳ දක්වා ඇත. බමුණාට සිවලාත්, වදුරාත්, කොකාත්, හාවාත් මුණ ගැසෙන අවස්ථා වෙන් වෙන්වමත් අවසානයේ දී ශක්‍රයා සාවාගේ රුව සඳ මඩලේ ඇදීමත් සිතුවම් කර ඇත. මෙහි උතුරු හා බටහිර බිත්ති තිරස් තීරු දෙකක් අතට දෙකට රහතුන් වහන්සේලා යයි සිතිය හැකි අතින් වැටකේ මලක් ගෙන සිටී. එයට අමතරව පූජා භාණ්ඩ සහිත වට්ටි අතින් ගත් දානපතියන් නිර්මාණය කර ඇත. නැගෙනහිර කොටසෙහි කාන්තාවන් සිව් දෙනෙකු විසින් පෙරටු කර ගන්නා ලද පිරිමියෙකු සහිත පිරිසක් හිසින් පූජා භාණ්ඩ ගෙන එනු චිත්‍රනය කර තිබේ. මැද සිටින තැනැත්තා කඩුවක් හා සැරයටියක් ගෙන සිටින අතර දොර අසල සිටින තැනැත්තා නිරුවත් උඩුකය සහිත සක් පිඹින්නෙකි.

මහනුවර යුගයේ හා ඊට පෙර බෞද්ධස්ථාන වල නිරූපනය වෙමින් පැවති සම්ප්‍රදායික වස්තු විෂයයන් නම් මුරකරු හා සක් පිඹින්නායි. සාමාන්‍යන් බ්‍රග්මණයෙකු වූ සක් පිඹින්නා අමුඩ ගසා ගෙන තලප්පා බැඳ සිටිනු මෙහි නිරූපිතය. අනිත් අතට මුරකරු අර්ධ යුරෝපීය ඇඳුමින් සැරසී සිටී.

මේ කුටියේ සිලීම සඳහා යොදා ගෙන ඇත්තේ සාම ජාතකයේ එන කතාය. පැරණි කතා මේ සඳහා යොදා ගෙන ඇත. මෙහි එන සිද්ධි මීගසම්මුඛ නදිය හා අතු ගංගා මගින් වෙන් කර තිබේ.

වැදි නායකයෙකුගේ දියණියක් වන පාරිකා තවත් නායකයෙකුගේ පුතෙකු හා විවාහ වී තපසට වන වැදි ඔවුන් බ්‍රග්මචාරීව වනයේ ජීවත් වේ.‍ඔවුන්ගේ පෙර කර්ම ඵල වල ප්‍රතිඵලයක් ලෙස අන්ධ වන බව බවත් ඔවුන් රැක බලා ගැනීම සඳහා පුතෙකු ලබා ගත යුතු බවත් දෙවියෙකු ඔවුනට දැනුම් දෙයි. ඔවුනට මේ අනුව සාම කුමරු ලැබෙන අතර දෙවියා කී පරිධි දෙමාපියන් අන්ධව ගිය කළ ඔහු ඔවුන් පෝෂණය කරමින් සිටී. එක් රූපයකින් පෙන්නුම් කරන ආකාරයට පාරිකාවෝ විවාහ වීමට සූදානමින් සිටී. අලංකාර ඇදුමින් සැරසුනු පාරිකාවන් දෙපස යෙහෙළියන් දෙදෙනෙකු සිටී. සිද්ධියට පසුබිම්ව ඇත්තේ නදියක් අසබඩ වූ වනගත ගමකි. එහි පසුබිම සුදුපාටින් ඇති අතර ගස් වල අතු කොළ පාටින් යොදා තිබේ.

ඇතුළු ගෘහයට බටහිරින් පිහිටි සූවිසි බුදුන් සහිත උප කුටිය

මෙම පිළිම ගේ තුළ නැගෙනහිර , දකුණ හා බටහිර බිත්ති වලට යාබදව සූවිසි බුදුවරයන් නිර්මාණය කර තිබේ.මෙහි පළමු බුදුන් වහන්සේට වන්දනා කරනු ලබන රහතුන් වහන්සේලා පෙලක් උතුරු බිත්තියේ නිර්මිතය. මෙය නූතන චිත්‍රයකි.

මෙය හැරුණාම උතුරු පස බිත්තියෙහි දොරටු දෙක අතර මේ ගුහාවේ ඇති සූවිසි බුදුවරයන් වහන්සේලා නිර්මාණය කළා යයි විශ්වාස කරනු ලබන නේවාසික භික්ෂුන් වහන්සේගේ රූපය චිත්‍රනය කර තිබේ.එහි සඳහන් වන පරිධි මෙම හිමියන්ගේ නම සඳහන් කර ඇත්තේ මලිදුව ගුණානන්ද හිමි ලෙසය. මෙම සිතුවම් දෙක ඇරුණාම ඉතිරි බිත්ති සියල්ලම සුදු හුණු අලේප කර ඇත.

මේ කුටියේ සිවිලිම ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබේ. සිවිලිම හතර වටේට ලිය වැලක් යොදා රාමුව අලංකාර කර තිබේ. මෙහි මෙම රාමුව දකුණු පස සිට උතුර දක්වා තිරස් අතට තීරු හතරකට වෙන් කර එම තීරුව ඉතා අලංකාරවත් අන්දමින් නෙළුම් මල් යොදා තිබේ. මෙම නෙළුම් මල් අතර හිඩැස් පිරවීම සඳහා ක්මාවට සමාණ සංඛේතයක් ඇතුලත් කර ඇත.

පිටතට පෙනෙන කටාරමට යටින් වූ බිත්තිය

කටාරමට පහළින් මාලකයේ දේව රූප පන්තියක් හා බුද්ධ චරිතයේ සිදුවීම් කිහිපයක් නිර්මාණය කර තිබේ. මේ හැරුණ විට අනික් බිත්ති සියල්ලම සුදු පාටින් යුක්තය.

මින් පසුව මෙම සිතුවම් සඳහා යොදා ගත් වර්ණ පිළිබඳව අවධානය යොමු කරද්දී අනුරාධපුර යුගයේ දී ඉතා සීමිත වර්ණ ප්‍රමාණයක් යොදා ගත් අතර පොළොන්නරු යුගයේ දී ද සීමිත වර්ණ ප්‍රමාණයක් යොදා ගෙන ඇත. එහෙත් නුවර යුගයේ සිතුවම් සඳහා වර්ණ රාශියක් යොදා ගත් බව අපට පැහැදිලිය. මේ අනුව කොට්ටඉඹුල්වල විහාරයේ සිතුවම් සඳහා වර්ණ රාශියක් සංකලනයෙන් යොදා ගත් බව පැහැදිළිව පෙනේ. මෙහි දී යොදා ගත් වර්ණ මෙසේ සඳහන් කළ හැකිය.

* කළු

* රතු

* නිල්

* රෝස

* කොළ

* දුඹුරු

* සුදු

* කහ

* තැඹිලි

දැවයෙන් කළ පුදසුනේ සිතුවම් වල පසුතලය සඳහා රතු යොදා ගෙන ඇති අතර අළු, තද නිල්, ආදී වර්ණ යොදා ගෙන සිතුවම් නිර්මිතය. විවිධ පසුබිම් සඳහා විවිධ වර්ණ යොදාගෙන තිබේ. මෙයට අමතරව රහතුන් වහන්සේලා සැදැහැවතුන් වැනි උදවිය කහ පාටින් ද වැද්දන් නරකයෙහි සිටින මිනිසුන් සඳහා කළු හා දුඹුරු වර්ණයද යොදා ගෙන තිබේ. ප්‍රධාන පිළිමගේ සිවිලිමේ හිමාල අඩවියේ චිත්‍රය සඳහා බෝඩරය වර්ණ දෙකකින් යුක්ත වේ. පසුතලය සඳහා තද රතු වර්ණයත් රූප සඳහා දළ වර්ණයත් ය. ඇතැම් අවස්ථා වල රූප මනාව ඉදිරිපත් කිරීම සඳහා කළු වර්ණය යොදා ගෙන තිබෙනු දක්නට ලැබේ.

මෙවැනි වර්ණ රාශියක් යොදා ගැනීම ලංකාවේ වෙහෙර විහාර වල දක්නට ලැබෙන්නේ ඉතා විරළ ආකාරයෙන් බව කිව හැකිය. ජාතක කතා සඳහා තද වර්ණ යොදා රහත් රූප සක් පිඹින්නා අලංකාර කර ඇත. ඉදිරි පස බරාදයේ සිවිලිම හා පිට බිත්තිවල ඇති කල්පිත රූප වල 19 වැනි සියවසේ යොදා ඇති පොදු වර්ණ වන රතු, සුදු, නිල්, අළු,කොළ, දුඹුරු හා රෝස වැනි වර්ණ රාශියක් යොදා ගනී. මේ අනුව අපට පෙනී යන්නේ දඹුළු ලෙන් විහාර සිතුවම් වලට මදක් සමාන වූත් 18 වැනි සියවසේ මහනුවර යුගයේ රීතිය. රේඛා යෙදීම පසුතලය වර්ණ භාවිතය බොහෝ සෙයින් සමාන වුත් මහනුවර යුගයේ උඩරට සම්ප්‍රදායට අයත් ලක්ෂණ දරණ සිතුවම් හා පහතරට සම්ප්‍රදායට අයත් බටහිර ජාතීන්ගේ ඇදුම් පැළදුම් වලට සමාජ ලක්ෂණ දරණ සිතුවම් ද ඇති අතර 18 ,19 සියවස් වලට අයත් සිතුවම් කලාවක් කොට්ටඉඹුල්වල විහාරයෙහි දක්නට ලැබෙන බව කිව හැකිය.

මූර්ති සාධක හැඳින්වීම[සංස්කරණය]

මූර්ති සාධක හඳුන්වා දීමේ දී මූර්ති ප්‍රමාණයක් ඉතිරිව ඇති බව කිව යුතුය. දැනට පවතින මූර්ති එතරම් විනාශභාවත්වයට පත් වී නොමැති අතර අධ්‍යයනයට පහසු වන ආකාරයට ඉතිරිව ඇත. මෙම මූර්ති අතර බුදු පිළිම, දේව රූප, සඳකඩ පහණ හා සිරි පතුල හඳුන්වා දිය හැකිය.

හිඳි පිළිම[සංස්කරණය]

ලංකාවේ බුද්ධ ප්‍රතිමා වල ආරම්භය පිළිබඳ නිශ්චිත නිගමනයට පැමිණ නැත. එම නිසා මූලික මත දෙකක් ඉදිරිපත් ව ඇත.

* ඉන්දියාවට පෙර ක්‍රි.පූ 3 දී ලංකාවේ පිළිම ඇති වූ බව

* ඉන්දියාවට සමගාමීව ලංකාවේ ඇති වූ බව

ප්‍රථම මතය ඉදිරිපත් කරන ඩී. ටී. දේවේන්ද්‍ර හා සිරි ගුණසිංහ මූලාශ්‍ර ගත සාධක ඇසුරින් අදහස් දක්වති. මහා වංශයේ සඳහන් ආකාරයට ක්‍රි.ව 4 සියවසේ රජ කළ ජෙට්ඨතිස්ස රජතුමා දේවානම් පියතිස්ස රජු විසින් සකසන ලද හිදි පිළිමයක් ථූපාරාමය ලඟ තිබී ප්‍රාසීන තිස්ස පබ්බතයට ගෙන ගිය බව මහාවංශයේ හා ථූප වංශයේ සඳහන් ආකාරයට මහාථූපයේ ධාතු ගර්භය තුළ දුටුගැමුණු රජු බෝධියක් සාදා එය වටේට ආසන තුනක් තබා නැගෙනහිර දෙසට බුදු පිළිමයක් තැම්පත් කළ බව එය රනින් කළ බව පැවසේ. ක්‍රි.ව 1 සියවසේ වසභ රජු ( 67- 111) ශ්‍රී මහා බෝධිය ළඟ බුදු පිළිම රාශියක් සාදා තැම්පත් කළ බව කියවේ. කෙසේ වෙතත් කිසිදු වාර්ථාවක් සනාථ වන පුරා විද්‍යා සාධක හමු වී නොමැත.

දෙවැනි මතය ඉදිරිපත් කරන සෙනරත් පරණ විතාන හා ආනන්ද කුමාරස්වාමි දෙදෙනා මහ ඉලුක්පල්ලමේදී සොයා ගත් පිළිමය පිළිබඳකඹුරුපිටියේ වනරතන හා වල්පොල රාහුල හිමියන් මේ මත දෙක පිළිබඳව මිශ්‍ර අදහස් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මිහිදු හිමියන් පැමිණීමෙන් පසු ක්‍රි.ව 1 සියවස හා ඒ ආසන්න පසු කාලය දක්වාම ඉන්දියාවේ වගේම ඇතැම් සං‍ඛේත බුදුන් වෙනුවට යොදාගත් බවට සාධක තිබේ.

කොට්ටඉඹුල්වල විහාරයේ හිදි පිළිම ගැන හඳුන්වා දීමේ දී වැඩි ප්‍රමාණයක් ඇත්තේ හිදි පිළිම වේ. ප්‍රධාන විහාරගේ ඇතුල් ගෘහයේ බටහිර පස බිත්තියට ආසන්නයේ දැව පුදසුන පසු පස හිදි පිළිමයක් වේ. මෙම පිළිමය මුචලිංග නාග දරණය සිහිපත් කරන පිළිමයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිළිමයේ උස අඩි 2 අඟල් 3ක් වන අතර පළල අඟල් 22 ක් පමණ වේ. පිළිමය ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර නුවාවකින් සමන්විත වේ. සිව්රේ රැළි දිය රැල්ලක ආකාරයට යොදා ඇති අතර සිරස් පතක් යොදා තිබේ. කන් ශෛලිගත ආකාරයෙන් නිමවා තිබේ. දෙපා වීරාශනයේ වැඩ සිටින අතර දෙඅත් සමාධි මුද්‍රාවෙන් නිර්මිත වේ. මුචලංග නාග රාජයා දරඬුහයක් ගසා ගෙන සිටින අතර මුළු පිළිමයම ආවරණය වන සේ පසු පසින් පෙණය පුප්පාගෙන සිටී. මෙම නිර්මාණයම රුක්අත්තන වැනි බාල දැවයෙන් නිමවා ඒ මත ඉතා සියුම්ව අඹරා පදම් කර ගත් මැටි බදාම විශේෂයකින් දැව කොටස වැසී යන සේ නිර්මාණය අලංකාර ලෙස සාදා තිබේ. විහාර ගෙයි දකුණු බිත්තිය දෙසින් පෙලට සිත්තම් කරන ලද හා අඹන ලද බුදු රූ තුනකි. ඉන් එකක මුචලිංග නාග දරණය තුළ වැඩ සිටින බුදුන් වහන්සේ දැක්වේ.

පැරණි විහාර කුටියේ ඇති පිළිමය[සංස්කරණය]

ඉතා අලංකාරමත් ආසනයක් මත වැඩ හිදින මෙම ප්‍රතිමාව අඩි 2.5 ක් පමණ උස වන අතර පළල අඩි 2ක් පමණ වේ. ආසනය බොරූම් යොදා අලංකාරය වැඩි කර ගෙන තිබේ. පිළිමයේ සිරස්පතක් යොදා ඇති අතර කන් ශෛලිගතව නිර්මාණය කර තිබේ. ඒකාංශ පරූපනයෙන් යොදා ඇති සිවුරේ දිය රැල්ලක් අකාරයෙන් රැළි නිර්මාණය කර ඇත. ගාම්භීර ස්වභාවයකින් යුක්ත මුහුණෙහි මුඛයත් නාසයත් අතර තිරස් අතට විහිදුනු රේඛාවක් ඇති අතර යටි තොල විශාලවද උඩු තොල කුඩාවටද නිර්මාණය කර තිබේ. කෙස් ගැටිති ආකාරයට යොදා තිබෙන අතර චීවරයට පිටින් නුවාවද යොදා අලංකාර කර තිබේ. වීරාසනයෙන් යුක්තව පාද පිහිටුවා තිබෙන අතර සමාධි මුද්‍රාවෙන් යුක්තව දෙඅත් පිහිටුවා තිබේ. පිළිමයෙහි සිරස හා ගෙල පසු කාලයේ නිර්මාණය කර ඇති බව දැක ගත හැකිය. එයට හේතුව සොරුන් විසින් නිදන් හෑරීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස කඩා බිද දමා තිබීම නිසාය. පිළිමයට පිටු පසින් රැස් වළල්ල නිර්මාණය කර තිබෙන අතර එය එතරම් අලංකාරවත් බවක් නොමැත.

පිළිමයට ඉහළින් ඉතා අලංකාර මකර තොරණක් ඇත. ප්‍රධාන පිළිම ගෙයි පසෙක ඇති එකලා කුටියේ මකර තොරණේ තරබාරු මකරුන් හා දිගු ගෙල සහිත කීර්තිමුඛ රූපය මුජපගේ මකර තොරණ සිහියට නංවන නමුත් මෙම විහාර දෙකෙහි සිත්තම් එකිනෙකට වෙනස්ය. මකරුන්ගේ මුඛයෙන් පිටවන ගිණි ජාලාව අලංකාර මල් යොදා එහි අලංකාරය වඩ වඩාත් ඔප් නංවා තිබේ. මකර තොරණේ කුළුණු බොරදම් හා මල් වලින් පුරවා නිර්මාණය කර ඇත.

වම් පස කුටියේ පිළිමය[සංස්කරණය]

මෙම කුටියේ දකුණු පසට වන්නට හිදි පිළිම තුනක් නිර්මාණය කර ඇති අතර ප්‍රමාණයෙන් සුළු සුළු වෙනස් කම් හැරුණු විට එකම ලක්ෂණ වලින් යුක්ත වන ආකාරයට සාදා තිබේ. දකුණු පස පිළිමය උස අඟල් 42 ක් වන අතර පළල අඟල් 40 ක් පමණ වේ. මැද ඇති පිළිමය උස අඟල් 56 හා පළල අගල් 51 කින් යුක්ත වන අතර වම් පස ඇති පිළිමය දකුණු පස පිළිමයේ ප්‍රමාණයෙන්ම වේ. මැද පිළිමය ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබේ.

එතරම් උස නොවු ආසන මත පිළිම තුනම සාදා තිබේ. ඒකාංශ පරූපනයෙන් පොරවා ඇති චීවරය දිය රැලි ආකාරයෙන් සමන් විත වේ. ඝණ හුවාව පිළිම තුනෙහිම දැක ගැනීමට හැකිය. පාද වීරාසන ඉරියව්වෙන් පිහිටුවා තිබෙන අතර දෙඅත් වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා ඇති සමාධි මුද්‍රාවෙන් තිබෙනු දැකිය හැක. මුහුණ භයංකාර පෙනුමකින් යුක්ත වන අතර නාසය හා මුඛය අතර තිරස් රේඛාවක් යොදා නිර්මාණය කරන අතරම යටි තොල ඝනව හා උඩු තොල කුඩාව දෙකන් ශෛලගත ස්වභාවයෙන් ද කෙස් කැරලි ආකාරයෙන් ද සිරස් හා මින් ඉහත දී සඳහන් කළ පිළිම වලට වඩා වෙනස් ආකාරයෙන් නිර්මාණය කර තිබෙණු දැකිය හැකිය. එය කුමන හේතුවක් නිසා වෙනස් වූවාද කියා පැවසීම අපහසුය. ඉහත පිළිම වල සිරස්පත අතේ ඇගිළි පහ ලං කර ගත් ආකාරයෙන් ද මේ පිළිම තුනේ සිරස් පත ඇඟිලි පහ ඈත් කර ගත් ආකාරයෙන් වැනි ස්වභාවයෙන් යුක්ත වේ. මෙහි දෙනෙත් දේදුනු හැඩයෙන් නෙත් වඩාත් විවෘත කර ගත් ආකාරයෙන්ද , ගෙල හා හිස සිලින්ඩරාකාර ස්වභාවයෙන් ද , නිකට වඩාත් ඉදිරියට මතු වන ආකාරයෙන් ද නිර්මාණය කර තිබේ. මෙම පිළිම තුනද බාල දැවයෙන් මූර්තිමත් කර අඹරා පදම් කර ගත් මැටි විශේෂයකින් පිට ඔපවත් කර තිබේ. පිළිම තුනෙහිම මදක් පසු පසින් බිත්තියෙහි රැස් මාලා නිර්මිත වේ.

දකුණු පස කුටියේ සූවිසි බුදුවරයන්[සංස්කරණය]

මෙම කුටිය තුළ බුදුපිළිම විසිහතරක් නිර්මාණය කර තිබෙන අතර ප්‍රථම බුදු පිළිමය හිටි පිළිමයක් වන අතර ඉතිරි පිළිම විසිතුනම හිදි පිළිම වේ. මෙම පිළිම නිරිමාණය කළා යයි පවසන්නේ මලිදූව ඝනනන්ද හිමි විසිනි. දෙවනි පිළිමයේ සිට පිළිම 22 ක් එකම ආකාරයට නිමවා ඇති අතර විසි වැනි සිඛිත නම් බුදු පිළිමයේ වෙනසක් දැක ගත හැකි වේ.

පිළිමයක උස අඟල් 33 ක් පමණ වේ. දෙපා පිහිටුවීමේ දී යටි පතුල් දෙකම පෙනෙන ආකාරයට පිහිටුවා දෙඅත් පිහිටුවීමේ දී සමාධි මුද්‍රාවෙන් යුක්ත වන ලෙස නිර්මිතය. එතරම් උස නොවූ ආසනයක් මත වැඩ හිදින පිළිම වහන්සේ සිවුර ඒකාංශ පාරුපනයෙන් තනි රේඛාවක් මතු වන ආකාරයට අනුරාධපුර යුගයේ සිවුරු රැලි ශෛලියට නිර්මිතය. ගෙල සහ මුහුණ නිර්මාණයේ දී සිලින්ඩරාකාර ආකාරයට ද නිකට මතු වන ආකාරයටද නෙත් ඉතා විශාලවද නිර්මිත වේ. ඇහි බැම දේදුණු හැඩයක් ගන්නා අතරම කන් ශෛලී ගත ස්භාවයක් ගනී. මෙහි ඇති සෑම පිලිමයකම සිරස් පත කොතක ආකාරයෙන් නිර්මාණය කර තිබේ. පසු පසින් හේත්තු වීම සඳහා ආසනයක් සාදා ඇති අතර බුදු රැස් මාලා ඉතා කළාත්මක ආකාරයට සාදා තිබෙනු දැකිය හැක. විසි වැනි පිළිමයේ දෙපා හා සිරස් පත මෙහි පිළිම වලට සමාන වන අතර සිවුරේ රැළි, දෙඅත්, මුහුණේ ස්වභාවය ආදිය වම් පස කුටියේ පිළිම තුනට සමාන වේ. මෙහි එක් පිළිමයක් පමණක් මෙලෙස නෙලන්නට ඇත්තේ කුමටද කියා සාධක හමු වී නොමැත. අපට සිතිය හැකි කරුනු කිහිපයක් මෙම පිළිමය වෙනත් ස්ථානයකින් ගෙන විත් මෙම ස්ථානයේ තැම්පත් කළාය. නැත්තම් මෙහි පිළිම සෑදීමට පෙර මේ පිළිමය මෙම ස්ථානයේම තිබුණාද, එසේත් නොමැති නම් මෙම පිළිමය වෙනත් කළා කරුවෙකු අතින් නිම වුවා ද කියා ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙම සෑම පිළිමයක් ඉදිරිපිට ම ගිහියෙකුගේ හෝ සතෙකුගේ මූර්තියක් දැක ගත හැකිය. මේ සෑම පිළිමයක් ඉදිරියෙන්ම පිළිම හඳුන්වා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

* දීපංකර – සුමේධ තවුසා පළමු විවරණය ලැබු පරිදි

* කොන්ඩඤ්ඤ නම් බුදු එකල අප බෝසත් විජිතාවි නම් චක්‍රවර්ති රජව

* මංගල නම් බුදුන් එකල අප බෝසත් සුරුචි නම් බ්‍රහ්මණව

* සුමන නම් බුදු එකළ අප බෝසත් අතුල නම් දව්‍ය නාගරාජව

* රේවත නම් බුදුන් එකල අප බෝසත් අතිදේව නම් බ්‍රහ්මණව

* සෝභිත නම් බුදු එකල අප බෝසත් සුජාත නම් බ්‍රහ්මණව

* අනෝමදස්සි නම් බුදු එකල අප බෝසත් මහේශාක්‍ය නම් යක්ෂ සේනාධිපතිව

* පදුම නම් බුදුන් එකල අප බෝසත් රවිරංග සිහරාජව

* නාරද නම් බුදුන් එකල අප මහා බෝසත් ධ්‍යාන ලාභී තාපසව

* පියමතුරා නම් බුදුන් එකල අප බෝසත් ජටිල නම් මගරැවටිව

* සුමේධ නම් බුදුන් එකල අප බෝසත් උත්තර නම් මානවකව

* සුජාත නම් බුදුන් එකල අප බෝසත් චක්‍රවර්තී රජව

* පියදස්සී නම් බුදුන් එකල අප බෝසත් කාශ්‍යප නම් බ්‍රහ්මණ මානවකව

* අනෝමදස්සී නම් බුදුන් එකල අප බෝසත් සුෂි නම් බ්‍රහ්මණ තාපසව

* දම්ම් දස්සී නම් බුදුන් එකල අප බෝසත් ශ්‍රක්‍ර දේවේන්ද්‍රව

* සිද්ධාර්ථ නම් බුදුන් එකල අප බෝසත් මාපාල නම් තාපසව

* තිස්ස නම් බුදුන් එකල අප මහා බෝසත් සුජාත නම් තාපසව

* ඵුස්ස නම් බුදුන් එනල අප බෝසත් විජිතාවි නම් රජව

* විපස්සි නම් බුදුන් එකල අප බෝසත් අතුල නම් දිව්‍ය නාගරාජව

* සිඛිත නම් බුදුන් එකල අප බෝසත් අරින්ද නම් රජව

* වෙස්සභු නම් බුදුන් එකල අප බෝසත් සදසීන නම් රජව

* කකුසඳ නම් බුදුන් එකල අප බෝසත් ඛේම නම් නරපති පැවදිව

* කෝනාගම නම් බුදුන් එකල අප බෝසත් පර්මක නම් නරේන්ද්‍රව

* කාශ්‍යප නම් බුදුන් එකල අප බෝසත් ජෝතිපාල නම් බ්‍රහ්මණව විවරණ ගත් සේක

හිටි පිළිම[සංස්කරණය]

ප්‍රධාන විහාර ගෙයි බටහිර පස බිත්තියට ආසන්නයේ දැව පුදසුන පිටුපසින් මුචලිංග නාග දරණයට දෙපැත්තතේ හිටි පිළිම තුනක් වේ. මුචලිංග නාග දරණයට වම් පැත්තේ හා දකුණු පැත්තේ ඇති පිළිම දෙකෙහි නිර්මාණ ලක්ෂණ සමාන වේ. පිළිම දෙකම පද්ම පීඨයක් මත වැඩ සිටි. සමභංග ඉරියව්වෙන් පිළිම දෙකම නිර්මාණය කර තිබේ. ඒකාංග පරූපනයෙන් ඇති අතර චීවරය දිය රැල්ලක ආකාරයෙන් නිර්මිතය. ඝණ නුවාව පිළිම දෙකේම වේ. මුහුණෙහි සිනහවක් දැක ගැනීමට නොමැති අතර ගෙල හා මුහුණ සිලින්ඩරාකාර ස්වරූපයක් ගනී. යටි තොල විශාල වන අතර උඩු තොල කුඩා වේ. ඇස් විශාලව ඇති අතර ඇහි බැමි දේදුනු හැඩයෙන් යුක්තය. දෙකන් ශෛලිගත ස්වභාවයක් ගනී. දකුණු පස පිළිමය උස අඩි 5ක් පමණ වන අතර එහි සිරස් පත තිබුණු ලක්ෂණ ඇති අතර එය දැනට ඉතිරිව නොමැත. වම් පස පිළිමය අඩි 4 අඟල් 6ක් පමණ උස වන අතර එහි සිරස් පත වේ. එම සිරස්පත කොත් කැරැල්ලක ආකාරයෙන් නිර්මාණය කර ඇත. වම් අත වැලමිට ළඟින් නමා ඉහළට ඔසවා සිටින විට වැල මිට ළග සිට දෙපා දක්වා ඉතා අලංකාරමත් ආකාරයෙන් සිවුරේ රැල්ලක් නිර්මාණය වී ඇත. ඉහලට එසවූ අතෙහි අඟිලි හකුලා ගෙන සිටින අතර දකුණු අත වැල මිට ළඟින් නමා අභය මුද්‍රාවෙන් සිටී.

වම් පස පිළිමය ආසන්නයේ ම ඉතා ගාම්භීර පිළිමයක් ඇති අතර එහි උස අඩි 4ක් පමණ වේ. පද්ම පීඨයක් මත වැඩ සිටින පිළිමය සමභංග ඉරියව්වෙන් ඇත. මෙහි වම් අත පහළටම නෙලවා ඇති ආකාරයට නිර්මිත දකුණු අත අභය මුද්‍රාවෙන් සිටී. ඒකාංශ පාරූපයෙන් යුක්ත වන පිළිමයේ සිවුරේ අමුතුම ආකාරයට නිර්මිතය. එයත් දිය රැල්ලක ආකාරයෙන් සාදා ඇතත් අනෙක් පිළිම වල රැළි දැක ගැනීමට හැකිය. නුවාවක් වන අතර ගෙල හා හිස සිලින්ඩරාකාර වේ. යටිතොල විශාලවද උඩු තොල කුඩාවටද කන් ‍ශෛලිගතව ද නිර්මිත වන අතර සිරස් පතක්ද වෙයි.

මෙම පිළිම තුනම නිර්මාණය කිරීමේ දී උපයෝගී කර ගෙන තිබෙන්නේ එකම අමු ද්‍රව්‍ය බව කිව හැකිය. දැවයෙන් අවශ්‍ය රූපය නෙලා ගෙන ඉන්පසුව ඉතා සියුම්ව අඹරා පදම් කර ගත් මැට්ටකින් දැව මූර්තිය වටේ ආලේප කර අවශ්‍ය හැඩය ලබා ගෙන තිබේ.

සූවිසි බුදු කුටියේ ප්‍රථම දීපංකර බුදුන්ගේ මුර්තිය හිටි පිළිමයක් ලෙස නිර්මාණය කර තිබේ. මේ පිළිමයේ ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර සිවුරේ රැළි රහිත වේ. උස අඟල් 53 ක් පමණ වේ. සිරස් පත ඇති අතර දකුණු අත ඉදිරියට දිගු කර එක් ඇඟිල්ලක් ඉදිරියට දක්වා අනිත් ඇඟිලි තුන නමාගෙන සිටී. මෙම පිළිමය සඳහා අමුද්‍රව්‍ය ලෙස තනිකරම මැටි බදාමයෙන් නිර්මාණය කර තිබේ.

සැතපෙන පිළිම[සංස්කරණය]

සැතපෙන පිළිම අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගවලදී ඉතාමත් අඩු ප්‍රමාණයක් නිර්මාණය විය. එහෙත් නුවර යුගයේ දී ඉතා වැදගත් ස්ථානයක් ලෙසට සැතපෙන පිළිම වලට හිමි විය. ගල් ගුහා තුළ පිළිම විශාල ලෙස නිර්මාණය වන්නට විය.

කොට්ටඉඹුල්වල විහාරයේ ගර්භ ගෘහය තුළ දකුණු දිශාවට වන්නට ගල ආරම්භ වන ස්ථානයේ අඩි 3ක පමණ ආසනයක් මත ඉතා විශාල සැතපෙන පිළිමයක් නිර්මාණය වී තිබේ. ආසනය නිර්මාණයේ දී ගල් ගඩොල් හා මැටි භාවිතා කර දකින පුද්ගලයාට ප්‍රියභාවයක් උපදවන ආකාරයට සාදා තිබේ. ඒ මත පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. සම්පූර්ණ පිළිමයේ උස අඩි 45 ක් පමණ වන අතර පළල අඩි 8ක් පමණ වේ. සිරස්පත ඉතා කලාත්මක ආකාරයට සාදා තිබේ. සිරස්පත නිර්මාණයේ දී දැවයෙන් සාදා ඒ මත මැටි බදාමය ගා අලංකාර කර තිබේ. මෙය අඟල් 34 පමණ උස වේ. සිරස්පත සාදා පිළිමයේ හිස මුදුනින් ඇතුළට සවි කර තිබේ. හිස අඩි 6ක් පමණ උස වේ. ඇස් ඉතා විශාලව පිහිටුවා ඇති අතර ඇහි බැම් දේදුණු හැඩයට සාදා තිබේ. යටි තොල මහතවද උඩු තොල කුඩාවටද සාදා ගෙන ඇති අතර දෙකන් ශෛලිගත ක්‍රමයටම සාදා තිබෙණු දැකිය හැකිය. මුහුණෙහි එතරම් භියකරු බවක් දැක ගැනීමට නොහැක. කෙස් කැරලි ආකාරයට නිර්මාණය කර ගෙන තිබේ. ගෙල හා හිස සිලින්ඩරාකාර ආකාරයට නිර්මිත වේ. දකුණු ඇලයෙන් සැතපී සිටින අතර දකුණු අත කොට්ටය සහ හිස අතර රඳවා ගෙන සිටී. මෙහිදී කොට්ටය හිසෙහි බරට එබුණු ආකාරයක් දැක ගත හැකිය. එය කලා කරුවා අධ්‍යයනයක් ඇතුව කළ බව සිතිය හැකිය. හිස මදක් ඉහළට එසවුණු ආකාරයෙන් සිටින අතර වම් අත වම් ඇලපත දිගේ රඳවා ගෙන සිටී. චීවරය ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර ඝණනුවාවක් නිර්මාණය කර තිබෙණු දැකිය හැක. චීවරයේ රැළි දිය රැල්ලක ආකාරයෙන් නිමවා ඇත. දෙපා පිහිටුවීමේ දී ඇඟිලි එක සමානව පිහිටුවා තිබේ. සමහර පිළිම වල දෙපා පිහිටුවීමේ දී අසමානව පිහිටුවා ඇත. මේ සඳහා උගත් මත දෙකක් වේ.

එනම්

* ඇඟිලි සමානව පිහිටුවීම බුදුන්ගේ සැතපීම හුවා දක්වයි.

* ඇඟිලි අසමානව පිහිටුවීම බුදුන්ගේ පරිනිර්වානය දක්වයි.

ඒ කෙසේ වෙතත් සමහර උගත්තු ඇඟිලි අසමානව තබා ගැනීමෙන් දක්වන්නේ බුදුන්ගේ සැතපීම බව පවසයි. එයට හේතුව සැතපීමේ දී දෙපාවල එකම අවයව එකට තබා ගැනීම අපහසු නිසා ඇඟිලි මදක් පසු පසට වන ආකාරයට තබාගෙන සිටී. කෙසේ වෙතත් මේ සඳහා පැහැදිලි හා නිවැරදි මතයකට එළඹ නොමැති නිසා කුමක් හරිද කුමක් වැරදිද කියා පැවසිය නොහැක.

මෙම පිළිමයේ දෙපා පිහිටුවීමේ දී වම් පාදයට වඩා මදක් කුඩා වන ආකාරයට දකුණු පාදය නිමවා තිබේ. එයට හේතුව වම් පාදයේ බර වැටීම නිසා දකුණු පාදය එබී ඇති බව පෙන්වීම සදහායි. එහෙත් අනුරාධපුර යුගයේ දී දෙපා එක සමානව නිර්මාණය කර තිබේ. මෙය තාක්ෂණයේ දියුණුවක් ලෙස පෙන්වා දිය හැක.

පිළිමය නිර්මාණයේ දී අමුද්‍රව්‍ය ලෙස ගල් ගඩොල් හා මැටි භාවිතයෙන් නිර්මාණය කර ගෙන තිබේ. චීවරයේ රැළි නිර්මාණයේ දී ඝණකම ඇති නූලක් භාවිතා කර රැල්ල අවශ්‍යය ආකාරයට නූල තබා ඒ මත නූල හා පිළිමය අතර සබඳතාව ඇති කිරීම සඳහා නූලට උඩින් තීන්ත ආලේප කර තිබේ.

විශ්ණු දේව ප්‍රතිමාව

ගර්භ ගෘහයට වම් පසින් ඇති උප කුටිය තුළ නැගෙනහිර පසට වන්නට මේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙණු දැකිය හැකිය. මෙය උස අඟල් 80 ක් පමණ වේ. වාහනය වන මොණරාගේ පිටෙහි නැග සිටී. අත් දෙකත් ඉදිරියට දිගු කර ඇති අතර වම් අත්ල පහළට සිටින සේද දකුණු අත්ල ඉහළට සිටින සේ ද නිමවා තිබේ. මෙයට අමතරව එක් පැත්තක අත් තුන බැගින් තවත් අත් හයක් නිමවා තිබේ. යටි කය ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසා තිබෙන අතර උඩු කය වස්ත්‍ර නොමැති අතර ආභරණ විශාල ප්‍රමාණයකින් සරසා තිබේ. හිසට ඉතා අලංකාරවත් ඔටුන්නක් පළඳවා ඇති අතර දෙකන් සඳහා රවුම් කරාඹු දෙකක් පළඳවා තිබේ. මෙම පිළිමයට පසෙකින් වානරයෙකුගේ රූපයක් නිර්මාණය කර ඇත. මෙයද දැවයෙන් නිර්මාණය කර ඒ මත මැටි බදාම ආලේප කර අලංකාරය ගෙන තිබෙණු දැකිය හැක.

ශ්‍රී පතුල[සංස්කරණය]

බුදු හිමියන් පිරිනිවන් පෑමෙන් පසු ශත වර්ෂ ගණනාවක් යන තෙක් පිළිම නිර්මාණය නොවීය.එම කාලය තුළ බුදු හිමියන් වැදීම සදහා සංඛේත රාශියක් වූහ. ඒ අතරින් විශේෂ වැදගත් ස්ථානයක් ශ්‍රී පතුලට හිමි විය.

කොට්ටඉඹුල්වල විහාරයට බටහිර දෙසින් අඩි 200 ක් පමණ දුරින් ශ්‍රී පතුල කුඩා ගල් කුලක් මත කොටා තිබේ. මේ ගල මුදුණ වර්ග අඩි 392 පමණ වේ.

ශ්‍රී පතුලේ ප්‍රමාණය අඩි 5 අඟල් 9 ක් හා පළල අඩි 2 අගල් 11 ක් පමණ වේ. විහාරයෙන් බටහිර දෙස ගලක කොටු සිරිපතුලකුත් ඇති බව සපරගමු දර්ශනයේ සඳහන් කරයි. මෙහි වම් පතුල දැක ගත හැකි අතර ඇඟිලි අගල් 10ක් පමණ වන සේද අනෙක් ඇගිලි දිග අගල් 19 ක් හා පළල අඟල් 7 පමණ වන සේ නිර්මිතය. ශ්‍රී පතුලට ආසන්නයේ තුන් පැත්තකින් අඩි 2 උස අඟල් 10ක් පමණ වන හතරැස් ගල් වලින් අඩි 2ක් පමණ උස වන සේ බැම්මක් නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය. මෙය ශ්‍රී පතුලේ ආරක්ෂාව සඳහාත් ශක්තිමත් බව වැඩි වීම සඳහාත් සාදන්නට ඇතැයි සිතිය හැක. බැම්මේ දිග පළල අඩි 8 x 6 ක් පමණ වේ. 1808 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද කෘත්‍යයක් බැව් කොට්ටඉඹුල්වල තඹ සන්නසෙහි සඳහන් වේ.

සඳකඩ පහන[සංස්කරණය]

සඳකඩ පහන සංවර්ධනයට පත් වු කලා කෘතියක් වශයෙන් සඳහන් කළ හැකිය. අනුරාධපුර යුගයේ දී ඉතාම හොඳ සඳකඩ පහන් නිර්මාණය වූ අතර පොළොන්නරු හා දඹදෙනි කුරුණෑගල යුග වලත් නුවර යුගයේ දීත් සංවර්ධනයට පත් විය. කොට්ටඉඹුල්වල ඇති සඳකඩ පහන පොළොන්නරු නුවර යුග දෙක අතර යුගවල ඇති වූ සඳකඩ පහනට නෑකම් කියන එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු දෙසින් ඇතුළු විය හැකි ප්‍රධාන දොරටුව අභියස පඩිපෙළ පාමුලය.

මෙය මුලින්ම කුඩා වෘන්ත දෙකක් ඇති වන ආකාරයටත් ඉන් පසුව අර්ධ වෘන්තය ඇති වන ආකාරයට සාදා අර්ධ වෘත්තය මත වෘත්ත පහක් පමණ සිටින සේ ගලින් නිමවා තිබේ. මෙහි දිග පළල අඟල් 56×46 ක් වේ. හයවෙනි සිරි පැරකුම්බා රජු කොට්ටිඉඹුල්වල රජ මහා විහාරයද මේ රජු විසින් ප්‍රතිසංස්කරණය කරවා අලංකාර පිය ගැට පෙළක් තැනවූයේය. මේ පියගැට පෙළ දෙපස කුඩා ගල් කණු දෙකක රැල් අතර කොටා තිබෙණ ගෙවී ගිය ශිලා ලිපි දෙක පිය ගැට පෙළ කරවූ මේ අජුගේම ලේඛනයක් විය හැකි බව ඤානවිමල හිමියන් පවසයි. පඩිපෙළ කරවූ රජු හයවෙනි පැරකුම්බා නම් සදකඩ පහන කරන්නට ඇත්තේ මෙම රජු බව සිතිය හැකිය. එසේ නම් මේ සඳකඩ පහන කෝට්ටේ යුගයේ නිර්මාණය වු කලා කෘතියක් බව කිව හැක. එහෙත් පැහැදිළි හා පුරා විද්‍යාත්මක සාධක හමු නොවේ.

මෙම විහාරයේ ඇති සිතුවම් නුවර යුගයට බොහෝ සෙයින් සමාන වූත් එම සිතුවම් වලින් වෙනස් වූත් ප්‍රාදේශීය ලක්ෂණ වලින් යුතු සිතුවම් ප්‍රමාණයක් ඇති බව නිගමනය කළ හැකිය.

මූර්ති අධයනයේ දී ඒවා බොහෝ සෙයින් නුවර යුගයේ ඇති දිය රැලි ආකාරයට සිවුරේ රැලි නිමවා තිබේ. මුහුණු වල ලක්ෂණ ආදිය බොහෝ සෙයින් නුවර යුගයේ පිළිම වලට සමාන වේ. සූවිසි බුදුවරයන්ගේ පිළිම විසිතුනක් අනුරාධපුර යුගයේ පිළිම ලක්ෂණ ගනී. එහෙත් මේවා නිර්මාණය කර තිබෙන්නේ අනුරාධපුර යුගයේ නොවන බව පැහැදිළි වේ. කෝට්ටේ යුගයේ හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් සදකඩපහන නිර්මාණය කළ බවත් 1808 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශ්‍රී පාද ලාංඡනය කරවූ බවත් කිව හැකිය. මේ අනුව අපට නිගමනය කළ හැක්කේ කොට්ටේ හා නුවර යුගයේ දී මූර්ති නිර්මාණය කළ බවයි.

උපුටාගැනීම්[සංස්කරණය]

සුන්දර බලංගොඩ අඩවියෙන්