කෘමිනාශක මඟින් පරිසරයට සිදු කරන බලපෑම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කෘමිනාශක භාවිතය මඟින් පරිසරය වෙත ඉලක්කගත නොවූ බලපෑම් සිදු විය හැක.

විසිර විදීම මඟින් ක්ෂේත්‍රයට යොදනු ලබන කෘමිනාශකවලින් 98%ක් ද වල් නාශකවලින් 95%ක් ද ඒවායේ ඉලක්කගත ජීවී විශේෂය වෙත ළඟා වීම වෙනුවට වෙනත් ජීවී විශේෂ, වාතය, ජලය, අවසාදන සහ ආහාර වෙත එක් වීම සිදු වන බව සොයා ගෙන ඇත. කෘමිනාශක ඒවායේ නිෂ්පාදන ස්ථානයන්හි දී සහ ගබඩා ටැංකිවලින් පරිසරයට මුදා හැරෙන විට, ඒවා කෘෂිකාර්මික බිම්වලින් ඉවතට ගලා යන විට, ඉවත හෙළු විට, වාතයට විසිරවීම කළ විට සහ ඇල්ගී විනාශ කිරීම සඳහා ජලයට විදීම සිදු කළ විට යන අවස්ථාවන්හි දී පස සහ ජලය දූෂණය කරයි. ඉලක්කගත ප්‍රදේශයෙන් පිටතට කිසියම් කෘමිනාශකයක් සංක්‍රමණය වීම සඳහා එහි රසායනික ගුණ බලපායි. ඒවා වනුයේ අදාල රසායනිකය පස සමඟ බැඳීමට දක්වන හැකියාව, එහි වාෂ්ප පීඩනය, එහි ජල ද්‍රාව්‍යතාවය සහ කාලයත් සමඟ ස්වභාවිකව බිඳ වැටීමට අදාල සංයෝගය දක්වන ප්‍රතිරෝධීතාව යනාදියයි. මේ හැරුණු විට කෘමි නාශක යොදන ලද පසෙහි වයනය, එහි ජලය රඳවා ගැනීමේ හැකියාව, එහි අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය යන සාධක ද කෘමිනාශක පැතිරීයාම කෙරෙහි බලපායි.

ඇතැම් කෘමිනාශක ගෝලීය උණුසුම් වීමට සහ ඕසෝන් ස්ථරය හායනයට ද බලපායි.

ද්විතීයික පළිබෝධක පැතිරීම නිසා ඇතිවන පාරිසරික බලපෑම්[සංස්කරණය]

රසායන ද්‍රව්‍යය භාවිතය නිසා, කෘමිනාශක වලින් ඉලක්ක නොකෙරෙන ජිවීන් පවා නැසීම සිදුවිය හැක. සමහර අවස්ථාවක වසංගත කෘමීන් ‍හා එම කෘමීන් පාලනය කරන ඵලදායී පරපෝෂිතයන් හෝ විලෝපීයන් (Predator) කෘමිනාශක භාවිතයෙන් නැසිය හැක. ගෝවා පවුල කා දමන කෘමියෙක් වන ඩයමන්බැක් කාවාන් මර්ධනයට යොදන පයිරෙකොයිඩ් කෘමිනාශකය හා ජෛව වසංගත පාලනය සසඳා කල අධ්‍යයනය පෙන්වා දී ඇත්තේ මෙවැනි ප්‍රතිඵලයකි. කෘමිනාශක භාවිතයෙන් කෘමීන් පාලනය කරන විලෝපිතයන් නැසීම නිසා නැවතත් කෘමි පරපුර ඇතිවන බවයි. මෙම ප්‍රතිඵලය ජෛවපාලන ක්‍රමයේදී ඇති නොවීය. එලෙසම වැඩිහිටි මදුරුවන් පාලනය කිරීමට යොදාගන්නා කෘමිනාශක නිසා මදුරුවන් තාවකාලිකව පාලනයවේ. නමුත් මෙමඟින් දිගු කාලීනව එම මදුරු පරපුර නැවත ඇතිවීම හා ස්වභාවිකව ඔවුන් පාලනය කරන සාධක වලට හානි කිරීමටද සමත්වේ. මෙසේ කෘමිනාශක භාවිතයෙන් කෘමි පරපුර වැඩි ප්‍රමාණයකින් ඇතිවීමේ සංසිද්ධිය "වසංගත පුනර්ජීවනය" (Pest resurgence) ලෙස හැඳින්වේ.


විලෝපිකයන්ගේ හානිවීම නිසා "ද්විතියක වසංගත පැතිරීම" යන සංසිද්ධියද ඇතිවේ. එනම් පරපෝෂිතයන්ගෙන් හා විලෝපිකයන්ගෙන් හානිවීම නිසා කලින් හානිකර නොවු කෘමි වර්ග වලින් හානි සිදුවීමයි. ඇමරිකාවේ ඇස්තමේන්තු ගත කල වැඩිම හානි කරන පලිබෝධකයන්ගෙන් තුනෙන් එකක් ද්විතීයික පලිබෝධක විය. මෙම කෘමිනාශක භාවිතය නිසා පසුකාලීනව විශාල ප්‍රශ්න ඇති විය. "වසංගත පුනර්ජීවනය" හා "ද්විතීයික වසංගත පැතිරීම" යන සංසිද්ධි දෙකේදීම කෘමින් ගේ ස්වභාවික සතුරන් (විලෝපිකයන් හා පරපෝෂිතයන්) කෘමින්ට වඩා කෘමිනාශක වලට වැඩියෙන් ගොදුරුවීමේ නැඹුරුතාවයක් ඇති බව සනාථ වී තිබේ.

කෘමිනාශක මඟින් සිදුවන වායු දූෂණය[සංස්කරණය]

කෘමිනාශක මඟින් වායු දූෂණය සිදු විය හැක. කෘමිනාශක ප්ලවනය සිදු වන්නේ කෘමිනාශක කුඩා අංශු ලෙස වාතයෙහි අවලම්භනය වීමේ දී සුළඟ මඟින් ‍ඒවා අපවිත්‍ර කරමින් අනෙකුත් ප්‍රදේශවලට ගෙන යාමෙනි. බෝග සඳහා යොදන ලද කෘමිනාශක අසල වූ ප්‍රදේශවලට වාෂ්ප වීම හෝ සුළඟ මඟින් යාම සිදු විය හැකි අතර එමඟින් වන ජීවිතය සඳහා තර්ජන ඇති විය හැක. එමෙන්ම විදින ලද කෘමිනාශක බිඳිති ‍හෝ අංශු දූවිලි ලෙස සුළඟ මඟින් අනෙක් ප්‍රදේශවලට යාම හෝ සුළ‍ඟේ ගසා ගෙන යන දූවිලි වැනි අංශුවල තැන්පත් වී වෙනත් ප්‍රදේශවලට යාම සිදු විය හැක. භූමි විසිර විදීම මඟින් අවකාශ විසිර විදීමට වඩා අඩු කෘමිනාශක ප්ලවනයක් ඇති කරයි. ගොවිතැන්කරුවන්ට තම වගා බිම් වටා හිස් ඉඩම් හෝ සදාහරිත ශාක වැනි බෝග නොවන ශාකවලින් යුත් අවරෝධක ප්‍රදේශ ඇති කළ හැක. මේවා සුළං කඩන ලෙස ක්‍රියා කරන අතර කෘමිනාශක අවශෝෂණය කර ගනී. එමඟින් කෘමිනාශක අනෙකුත් ප්‍රදේශවලට ප්ලවනය වීම නතර ‍වේ. මෙවැනි සුළං කඩන නෙදර්ලන්තයේ දී ගොවිතැන් සඳහා නීතිමය අවශ්‍යතාවයක් වේ.

ගොවි බිම්වලට ඉසින හා පස දුම් ගැස්සීම සඳහා යොදා ගන්නා කෘමිනාශක මඟින් වාෂ්පශීලී කාබනික සංයෝග ලෙස හඳුන්වන රසායනික සංයෝගයන් නිදහස් විය හැකි අතර ඒවා අනෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟ ක්‍රියා කර ඕසෝන් නැමැති දූෂකයක් සාදයි. මුළු ඕසෝන් නිෂ්පාදනය ආසන්න වශයෙන් 6%කට පමණ හේතු වන්නේ මෙම සංසිද්ධියයි.


කෘමිනාශක මඟින් සිදුවන ජල දූෂණය[සංස්කරණය]

එක්සත් ජනපදයේ සෑම දියපාරකම සහ ළිංවලින් 90% ක වඩා ප්‍රමාණයක කෘමිනාශක අඩංගුවීම නිසා ජලය දූෂණය වී ඇති බව එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව (USGS) විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබේ. භූ ගත ජලයේ සහ වැසි ජලයේ කෘමිනාශක ද්‍රව්‍යයවල කොටස් සොයාගෙන තිබේ. එක්සත් රාජධානියේ කරන ලද අධ්‍යයනයකින් ගංගා ජලයේ සහ භූගත ජලයේ ඇතැම් සාම්පල්ව කෘමිනාශක සාන්ද්‍රණය තිබිය යුතු සීමාව ඉක්මවා පානීය ජලයේ තිබෙන බව පෙන්වා දී ඇත.

ජලය මත කෘමිනාශක පැතිරීමේ අර්බුදය හයිඩ්‍රොලොජි ට්‍රාන්ස්පොට් මොඩල් නම් ක්‍රමයක් මගින් නිරතුරුවම අධ්‍යයනය කරමින් එම රසායන පැතිරීම, ගංගා, ඇළ දොළවලදී සිදුවන අවසාන ප්‍රතිඵලය පරීක්ෂාකරනු ලැබේ.1970 තරම් ඈත කාලයේදී කෘෂි රසායන පරිසරයට විහිදීම පිළිබඳව මාත්‍රා විශ්ලේෂණයක් පවත්වන ලදී. එහි පරමාර්ථය වූයේ මතුපිට ජලයට කෙතරම් ප්‍රමාණයක් කෘෂි රසායන එක් වී ඇත්දැයි කල්තියා පැවසීමයි.

කෘෂිරසායන ජලයට එකතුවන ප්‍රධාන මාර්ග හතරක් ඇත. කෘෂි රසායන ඉසීමේදී සුළං මගින් විසිරී යා හැකිය. පසට කාන්දුවිය හැකිය. සේදීයාමෙන් ජලයට පත් විය හැක. අත්වැරදීමකින් හෝ නොසැලකිල්ල නිසා පිටාරයාමට පිළිවන. පස සෝදා යාමෙන් ජලයට එකතුවිය හැක. කෘෂි රසායන ජලයේ දියවීමේ හැකියාව, ජල පද්ධති තිබෙන ස්ථානයට රසායන පාවිච්චිකරන ස්ථානයේ සිට ඇති දුර, කාලගුණය, පසේ පස් වර්ගය, වැඩෙන වගාවේ ස්වභාවය සහ කෘෂි රසායන ඉසීමට භාවිතා කරන ක්‍රමය යනාදී කරුණු ජල දූෂණය සඳහා කෘමිනාශක බලපෑමේ හැකියාව පිළිබඳ සාධක ලෙස සැළකිය හැකිය.

එක්සත් ජනපද පාරිසරික ආරක්ෂක ඒජන්සිය මගින් මහජනයා පාවිච්චි කරන ජලයේ තිබිය යුතු කෘෂි රසායන උපරිම සාන්ද්‍රණය පිළිබඳ නිගමනයන් කර තිබේ. එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයද මේ හා සමාන ක්‍රියාමාර්ග ගෙන ඇත.

කෘමිනාශක මඟින් සිදුවන පාංශු දූෂණය[සංස්කරණය]

කෘමිනාශක නිෂ්පාදනයේදි දී භාවිතා කරන බොහෝමයක් රසායනික ද්‍රව්‍ය ස්ථිර පාංශු අපවිත්‍ර කාරක වේ. ඒවායේ බලපෑම දශක ගණනක් පුරාවට පැවතිය හැකි අතර පස සංරක්ෂණයට දරුණු ලෙස බලපෑ හැකිය.

කෘමිනාශක භාවිතය මඟින් පසෙහි සාමාන්‍ය ජෛව විවිධත්වය අඩු කරනු ලබයි. රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීමෙන් හොඳ පාංශු තත්වයක් ඇති වන අතරම පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය වැඩි ජල වැළැක්වීමක් ලබා දෙයි. මෙය කාන්තාර වසර වලදී ගොවිපලවල ඵලදාව ඉහල නැංවීමට උදව් වේ. කාබනික ගොවිපලවල් විසින් ඔවුන්ගේ සමකාලීන අනෙක් කොටස්වලට වඩා 20%-40%ක පමණ ඵලදාවක් ලබා දෙයි. පසෙහි ඇති කුඩා කාබනික ද්‍රව්‍ය අන්තර්ගතයක් විසින් යෙදුම් පෙදෙස අතහැර යන කෘමිනාශක ප්‍රමාණය වැඩි කරන අතර එයට හේතුව වන්නේ කාබනික ද්‍රව්‍ය එකට බැඳී කෘමිනාශක බිඳ දැමීමට උදව් වීමයි.

කෘමිනාශක පාරිසරික බලපෑම - ශාක[සංස්කරණය]

නයිට්‍රජන් තිර කිරීම යනු උස ශාකවල වැඩීමට අවශ්‍ය සාධකයක් වන අතර එයට පසෙහි ඇති කෘමිනාශකවලින් බාධා එල්ල කරනු ලැබේ. කෘමිනාශක DDT , මෙතිල් පැරතියන් හා විශේෂයෙන් Pentachlorophenol යනාදිය legume-rhizobium රසායනික සංඥාකරණය සමඟ අන්තර් ගැටීම් පෙන්නුම් කරයි. මෙම සහවක රසායනික සංඥාකරණයේ මන්දනය නිසා නයිට්‍රජන් තිර වීම අඩු වන අතර එමඟින් බෝග ඵලදාව ද අඩු වේ. මෙම ශාකවල මූල ගැටිති ඇති වීම මඟින් සෑම අවුරුද්දක දීම කෘතීම නයිට්‍රජන් පොහොරවලින් ලෝක ආර්ථිකයට ඩොලර් බිලියන 10ක් ඉතිරි කර දෙයි.

කෘමිනාශකවලට මී මැස්සන් ජීවිතක්ෂයට පත් කළ හැකි අතර එමඟින් පරාගනය අඩු වීම, ශාක පරාගනය සිදු කරන කෘමීන් නැති වී යාම සිදු විය හැකි අතර ඒ හරහා මී මැසි ජනපද හිටි හැටියේ අතුරුදහන් වන ජනපද බිඳ වැටීමේ කැළඹීම ඇති කළ හැක. USDA හා USFWS මඟින් තක්සේරු කර ඇත්තේ එක්සත් ජනපදයේ ගොවිතැන්කරුවන්ට ඔවුන්ගේ වගා පරාගනය වීම අඩු වීම නිසා වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන 200 දක්වා පාඩු වන බවයි. මෙයට හේතුව කෘමිනාශක යොදා ගැනීම වන අතර මේ නිසා එක්සත් ජනපදයේ මී මැසි ජනපදවලින් 1/5ක් පමණ නැතිවී ගොස් ඇති අතර අතිරේක 15%ක් පමණ අපදාවලට ලක් වී ඇත.

කෘමිනාශකවල පාරිසරික බලපෑම - නොනැසෙන කාබනික දූෂක (POPs)[සංස්කරණය]

නොනැසෙන කාබනික දූෂක (POPs) යනු රසායනික, ජීව විද්‍යාත්මක හා ප්‍රභා සංස්ලේෂක ක්‍රියාවලි හරහා පාරිසරික ජීර්ණය වීම්වලට ප්‍රතිරෝධයක් දක්වන කාබනික සංයෝග වේ. මේ හේතුව නිසා ඒවා පරිසරයේ නොනැසී පැවතෙන බව හා විශාල පරාසයක ව්‍යාප්ත වීමේ හැකියාව හා මනුෂ්‍ය හා සත්ව පටකවල ජෛව සංචිත ලෙස , ආහාර දාමවල ජෛව විශාලක ලෙස පවතින බව හා මනුෂ්‍ය සෞඛ්‍ය හා පරිසරය මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව නිරීක්ෂණය කර ඇත.

1995 මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන පාලනය කිරීමේ කවුන්සිලය (GC) POPs අධ්‍යයනය කිරීමට තීරණය කළ අතර මූලිකව පහත POPs 12 සමන්විත ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලදී. ඒවා අශුද්ධ දුසිම (Dirty Dozen) ලෙස හැඳින්වේ. aldrin, chlordane, DDT, dieldrin, endrin, heptachlor, hexachlorobenzene, mirex, polychlorinated biphenyls, polychlorinated dibenzo-p-dioxins, polychlorinated dibenzofurans, හා toxaphene.[1] එතැන් සිට මෙම ලැයිස්තුව පිළිගැනීමට බඳුන් වූ අතර එයට පිළිකා කාරක පොලි චක්‍රීය ඇරොමැටික හයිඩ්‍රොකාබන (PAHs) හා සමහරක් බ්‍රෝමිනීකෘත ගිනි වැළැක්වීමේ ද්‍රව්‍ය මෙන්ම tributyltin (TBT වැනි) කාබනික ලෝහ සංයෝග ද ඇතුළත් විය.

‍POPs නිර්මාණය කරන සංයෝග කාණ්ඩ PBTs (Persistent, Bioaccumulative and Toxic) ලෙස ද වර්ගීකරණය කර ඇත. එසේත් නැති නම් TOMPs (Toxic Organic Micro Pollutants) ලෙස ද වර්ගීකරණය කෙරේ.

බොහෝමයක් POPs වර්තමානයේ දී හෝ අතීතයේ දී භාවිතා කරන ලද්දේ කෘමිනාශක ලෙසය අනෙක්වා කර්මාන්ත සැකසුම්වල දී හා ද්‍රාවක, PVC හා ‍‍ඖෂධ වැනි විශාල පරාසයක භාණ්ඩ නිෂ්පාදනයේ දී භාවිතා වේ. POPs නිෂ්පාදනය වීමේ ස්වාභාවික ප්‍රබව ස්වල්පයක් තිබුණත් බොහොමයක් POPs නිර්මාණය වනුයේ මනුෂ්‍යයන් විසින් සිදු කරන කාර්මික ක්‍රියාවලිවල දී සිතා මතා හෝ අතුරු නිෂ්පාදන ලෙසයි.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Environmental_effects_of_pesticides