කාලෙඩ් මෙෂාල්

විකිපීඩියා වෙතින්

කාලෙඩ් මෙෂාල් (උපත 1956 මැයි 28) හමාස් සංවිධානයේ වත්මන් නායකයාය. බටහිර ඉවුරේ රමල්ලා නගරයට උතුරින් පිහිටි සිල්වාඩ් නම් ප්‍රදේශයේදී මෙෂාල් උපන්නේය. 1967 වසරේ සය දින යුද්ධයෙන් පසු ඔහුගේ පියා සිය පවුල සමඟ කුවේටයට සංක්‍රමණය විය. මෙසේ කුඩා අවධියේම උපන් බිම හැරගිය මෙෂාල් කුවේටයේදී ද්වීතීයික අධ්‍යාපනය හදාරා කුවේට් සරසවියට ඇතුළුව, විද්‍යාවේදී උපාධියක් ලැබීය. තරුණ කාලයේම දේශපාලනය සම්බන්ධ වූ මෙෂාල් 1987 දී හමාස් සංවිධානය පිහිටවනු ලැබූ දින සිට එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 1991 ගල්ෆ් යුද්ධය වෙනතුරු කුවේටයේ රැඳී සිටි මෙෂාල්, ඉනික්බිති ජෝර්දානයට ගියේය. 1997 වසරේදී ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය විසින් කරන ලද උත්සාහයකින් ඔහු ගැලවුනේ ජෝර්දානයේ හුසේන් රජුගේ මැදිහත් වීමෙනි. 1999 වසරේදී, හුසේන් රජුගේ අභාවයෙන් පසු සිහසුනට පත් දෙවන අබ්දුල්ලා රජු හමාස් සංවිධානය තහනම් කල අතර, මෙෂාල් එරටින් පිටව කටාරයට පැමිණියේය. 2001 සිට දශකයක කාලයක් මෙෂාල් ජීවත් වූයේ සිරියාවේය. 2011 වසරේදී සිරියානු රජය විවේචනය කරමින් ඔහු එරටින් පිටව ආවේය. දැනට ඔහු කටාර් සහ ඊජිප්තුව යන රටවල දිවි ගෙවයි.

හමාස් සංවිධානයේ ආරම්භයේ පටන් එහි දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු වූ මෙෂාල් 1996 දී එහි සභාපති ධූරයට පත් විය. මේ අතර 2004 වසරේදී අබ්දුල් අසීස් අල්-රන්තිසි ඝාතනය වූ පසු හමාස් සංවිධානයේ ප්‍රධානතම නායකයා බවට මෙෂාල් පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=කාලෙඩ්_මෙෂාල්&oldid=470157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි