කල්පය

විකිපීඩියා වෙතින්

කල්පය (මාගධී: කප්ප, සංස්කෘත: कल्प) යනු යම්කිසි කාල පරාසයක් ගැන සඳහන් කිරීමට යොදාගන්නා වචනයකි. කල්පයක් යනු බෞද්ධ හා හින්දු විශ්ව විද්‍යාවේ, සාමාන්‍යයෙන් ලෝකයක් හෝ විශ්වයක් නිර්මාණය වීම සහ නැවත නිර්මාණය වීම අතර දිගු කාල පරිච්ඡේදයක් ලෙසද ඇතැම් උගතුන් විසින් පෙන්වා දෙයි.[1]

බුදුදහම[සංස්කරණය]

"කප්ප" යනු යම්කිසි කාල පරාසයක් හැඳින්වීමට මාගධී භාෂාවේ භාවිතා වන වචනයයි. එම වචනය සංස්කෘත බසින් හැඳින්වෙන්නේ "කල්ප" ලෙසයි. කල්පයකට උදාහරණයක් ලෙස ගත හැකි "ආයුෂ කල්පය" යනු යම් සත්වයෙකුගේ ආයුෂය සමාන වන කාල පරාසය වේ. මේ අනුව වත්මන් මිනිසාගේ ආයුෂ කල්පය අවුරුදු 120 ක් පමණ ලෙස හැඳින්විය හැක. "සාර අසංඛය කප්ප" යනු මහා බෝසතාණන් වහන්සේ රාගක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය සිදුකරන ආකාරය තේරුම් ගැනීමට ගතවූ කාලයයි. එනම් දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සුමේධ තවුසාව සිට ගෝතම බුදුරදුන් ලෙස නිවන් දැකීමට ගත වූ කාල පරාසය සාර අසංඛය කප්ප යනුවෙන් හැඳින්වේ.

"මහා බද්ධ කල්පය" යනු අවුරුදු ගණනින් සංඛ්‍යාත්මකව කිව නොහැකි තරම් දිගු කාලයකි. මෙය බොහෝ දෙනා "මහා භද්‍ර කල්පය" ලෙස වරදවා සම්මත කරගෙන තිබේ. මෙසේ වීමට හේතුව "බද්ධ" යන මාගධී පදය "භද්‍ර" ලෙස සංස්කෘතයට පෙරළා තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදුරජාණන් වහන්සේ විනය නීතියක් මගින් බුදු දහම සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීම තහනම් කර ඇත්තේ එයින් එම පදවල නිවැරදි අරුත සැඟවී යා හැකි බැවිණි. සියලු සත්වයන් සංසාරයට බැඳි, බැඳී ආ කාලය හෙවත් සසරට බද්ධ වී සිටි අති දීර්ඝ කාලය "මහා බද්ධ කල්පය" යනුවෙන් හඳුන්වයි. මෙහි "භද්‍ර" හෙවත් යහපත් යන අර්ථයක් කිසිසේත්ම අඩංගු නොවේ.

මුල් බුද්ධාගමේ පාලි භාෂාවෙන්, කල්ප යන වචනය කප්ප ස්වරූපය ගන්නා අතර, බුද්ධාගමේ උපකල්පනය කරන ලද පැරණිතම ග්‍රන්ථය වන සුත්ත නිපාතයේ සඳහන් වේ. මෙයින් කියැවෙන්නේ "කප්පටිතා: කාලය ඉක්මවා ගිය තැනැත්තා, රහතන් වහන්සේ" ගැන ය.[2][තහවුරු කර නොමැත] බෞද්ධ අත්පිටපත්වල මෙම කොටස ක්‍රි.පූ. අවසන් සහස්‍රයේ මැද භාගය දක්වා දිවයයි.

ගෞතම බුදුන් වහන්සේ පෙර කල්පවල ගණන් කළ නොහැකි තරම් බුදුවරු වැඩ සිටි බව ප්‍රකාශ කළහ: විපස්සී බුදුන් කල්ප 91 කට පෙර, සිඛී බුදුන් කල්ප 31 කට පෙර සහ වර්තමාන කල්පයේ පෙර බුදුවරු තිදෙනෙකි.[3] උන්වහන්සේ තම ඉගැන්වීම් වර්තමාන කල්පයට සීමා කරයි, එහි කාලසීමාව උන්වහන්සේ ගණිතමය වශයෙන් නිර්වචනය නොකරයි, නමුත් උපමාවක් භාවිතා කරයි.

කල්ප යන්නෙහි තවත් නිර්වචනයක් වන්නේ බුදුන් උපන් කාලයයි. සුන්න කල්ප සහ අසුන්න කල්ප යනුවෙන් කල්ප වර්ග දෙකකි. සුන්න කල්පයන්හීදි බුදුවරුන් පහළ නොවේ. අසුන්න කල්පයන්හී බුදු වරු එක් වහන්සේ නමක් හෝ පහළ වන අතර එවැනි කල්ප පහකි.[4]

  1. සාර කල්ප - එක් බුදුවරයෙකු පමණක් පහළ වන කාලය
  2. මණ්ඩ කල්ප - බුදුවරු දෙනමක් පහළ වන කාලය
  3. වර කල්ප - බුදුවරු තෙනමක් පහළ වන කාලය
  4. සාරමණ්ඩ කල්ප - බුදුවරු සිව්නමක් පහළ වන කාලය
  5. බද්ද කල්ප - බුදුවරු පස්නමක් පහළ වන කාලය

හින්දු ධර්මය[සංස්කරණය]

හින්දු ආගමේ, කල්පයක් වසර බිලියන 4.32 ට සමාන වේ, "බ්‍රහ්මා ගේ දිවා කාලයක්" හෝ මහායුග දහසකි. සෑම කල්පයක්ම යුග චක්‍ර 71ක් (වසර 306,720,000) පවතින මන්වන්තර කාල 14කට බෙදා ඇත. පළමු හා එක් එක් මන්වන්තර කාලයට පෙරාතුව සත්‍ය යුග (වසර 1,728,000) දිගට සමාන සන්ධිස්ථානයක් (සන්ධ්‍යාව) වේ. කල්පයකට පසුව සමාන ප්‍රමාණයකින් යුත් ප්‍රලය (විනාශය) මගින් බ්‍රහ්මාගේ දිවා රාත්‍රියක් සෑදේ. මහාභාරතයට අනුව බ්‍රහ්ම මාසයක එවැනි දිවා රාත්‍රී තිහක් හෙවත් වසර බිලියන 259.2 ක් අඩංගු වේ. බ්‍රහ්මාගේ වවර්ෂ පනහක් ගෙවී ගොස් ඇතැයි සැලකෙන අතර, අප දැන් සිටින්නේ ශ්වේත-වරාහ කල්පයේ හෙවත් ඔහුගේ පනස් එක්වන වසරේ පළමු දිනයේය. මෙම කල්පය අවසානයේ ගින්නෙන් ලෝකය විනාශ වේ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Chapter 36: The Buddhas in the three periods of time". Buddhism in a Nutshell Archives. Hong Kong: Buddhistdoor International. සම්ප්‍රවේශය 2014-12-21.
  2. Sn 373
  3. Gogerly, Rev. Daniel John; Silva, Rev. David de; Scott, Rev. John (1870). "Budhism: A Lecture delivered before the Colombo Young Men's Christian Association". Journal of the Ceylon Branch of the Royal Asiatic Society. Colombo. 1867–70, Part I: 91–92 (f.n. 4).
  4. The Commentary of Buddhavamsa
  5. "Story of Pralaya". Wisdom Library. සම්ප්‍රවේශය 9 November 2021.
"https://si.wikipedia.org/w/index.php?title=කල්පය&oldid=499311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි