කලපු කකුළුවන් තර කිරීම

විකිපීඩියා වෙතින්

ආර්ථික වශයෙන් වඩාත් වැදගත් වූ කලපු කකුළුවන් ශ්‍රී ලංකාවේ සෑම කලපුවකම දකින්නට ලැබුණ ද බස්නාහිර , වයඹ , උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල වඩාත් සුලබ ය.

කූඩු

කූඩුවේ සැකිල්ල ජලයට ඔරොත්තු දෙන ලී වර්ගයකින් තනා ඇතුළට ජලය කාන්දු වෙන ලෙස උණ පතුරු හෝ ලෑලි වලින් ආවරණය කර තනාගනු ලබයි . නැතිනම් සදා ගත් ලී සැකිල්ල සෙන්ටිමීටර පහක සිදුරු ඇති ප්ලාස්ටික් දැලකින් ආවරණය කිරීමට ද පුලුවන . කූඩුවේ භාගයකට වඩා ජලයේ ගිලෙන ලෙස සවිකර ග්‍රෑම් 90 - 150 අතර බරකින් යුත් වතුර කකුළුවන් දමනු ලබයි . අඩි 2.5ක් දිග 2ක් පළල උස අඩියක් පමණ වන කූඩුවක වතුර කකුළුවන් විස්සක් පමණ තරකිරීම හැකි ය.

පොකුණු

රොන්මඩ සහිත මැටි පස හෝ සම්පූර්ණ මැටි පස සහිත ප්‍රවාහන පහසුකම් සහිත බිමක් කකුළුවන් ඇති කරන ටැංකි සෑදීම සදහා යොදා ගනී. කකුළුවන් තර කිරීම සඳහා යෝග්‍ය ලවණතාව සහිත ජලය තිබීම ඉතාම වැදගත් ය.

වර්ග මීටර 200ක පමණ ඉඩක අඩි හතරක් පමණ ගැඹුර වන ලෙස ටැංකිය සකස් කරයි. මිලිමීටර් විස්ස සිදුරු සහිත දැළක් අඩි දෙකක් උසට සමීපව සමාන දුරින් සිටවූ ලී ආධාරයෙන් ටැංකිය වටා සවි කරයි. එහි පහළ කොටසේ ඇතුල් පැත්තෙන් අඩියක් පමණ උසට පොලිතින් වලින් ආවරණය කරන්නේ කකුළුවන් පැන යෑම වැළැක්වීමටයි.

උෂ්ණත්වය 23 -32 0C අතර ද ලවණතාව 15 - 30 ppt අතර ද ද්‍රව්‍ය ඔක්සිජන් 4 ppm ද pH අගය 8 - 8.5 අතර ප්‍රශස්ත මට්ටමක තිබීම කකුළුවන් තර කරන ටැංකියක දී සළකා බලනු ලබයි.

කකුළුවන් දැමීමට පෙර ටැංකිය හොඳින් වියලා හෙක්ටයාරකට ටොන් එකක් වන පරිදි දිය ගැසූ හුණු පොකුණ පුරා විසුරුවා හළ යුතුය. ඉන් පසු අඩි භාගයක් පමණ උසට ජලය පුරවා කාබනික පොහොර හෙක්ටයාරකට ටොන් දෙකක් පමණ වන ලෙස යෙදිය යුතුය. එවිට ජලය කොළ පැහැයට හැරී ඇල්ගී වර්ධනය මනාව සිදුවේ. එමගින් කකුළුවන්ට ආරක්ෂාව සැපයේ. ජලය තද කොළ පැහැ වූ පසු දිනකට අඩි භාගය බැගින් ටැංකිය පුරවා අඩි තුනක් පමණ ජලය පිරවූ පසු කකුළුවන් දැමිය හැක.

උෂ්ණත්ව කම්පන වලින් කකුළුවන් මියයාම වැලැක්වීම සඳහා ටැංකියට දැමීමට පෙර උන් එම ජලයට හුරු කළ යුතුය . කකුළුවන් ප්ලාස්ටික් බකට් එකකට දමා ඔවුන් තෙත් වන තුරු ටිකෙන් ටික වතුර දමා විනාඩි දහයක් පමණ බකට් එක ටැංකියෙහි පාවෙන්නට තබයි. ඉන් පසු කකුළුවන් ටැංකියට බසින ලෙස බකට් එක ඇලකර උන් ටැංකියට මුදාහැරීම කළ යුතුය.

වර්ග අඩියක⁣ට කකුළුවන් දෙකක් වන ලෙස යෙදීම සිදුකරයි. ටැංකියට කකුළුවන් මුදාහැරීම කළ යුත්තේ උදේ කාලයේදී ය.

කකුළුවාගේ දේහ ස්කන්ධයෙන් 10%ක් වන ලෙස වේල් දෙකකට බෙදා දිනපතා ආහාර සැපයීම සිදුකළ යුතුය . ඉවතලන මාළු , මස් කොටස් , දුඹුරු බෙල්ලන් ආහාර ලෙස බහුලව ලබා දෙන අතර වර්තමාන වෙළෙඳපලෙහි විශේෂයෙන්ම කකුළුවන් සඳහා යොදන සත්ව ආහාර ද මිලදී ගැනීමට ඇත.

අස්වනු නෙළීමේ ක්‍රම කිහිපයක් පවතී. ජලධාරා ක්‍රමය භාවිතයේදී ජල ධාරාවට එරෙහිව ගොස් එක්රැස් වියහැකි කකුළුවන් ගෙන් සියයට 98%ක්ම තර කකුළුවන් ය. ඔවුන් අතංගු මගින් අල්ලලා ගත හැකිය. ඔසවන දැල් භාවිතයෙන් හා ටැංකිය හිස් කිරීමෙන් ද අස්වනු නෙළීම කළ හැක.