කමත

විකිපීඩියා වෙතින්

ගොයම් කැපීම කළ කුඹු‍රේ උස පෙදස කමත ලෙසින් යොදා ගැනේ.කමත යන වචනය "කලතේ" යන හෙළ වදනින් බිඳී ආවකි. "කළවිට"ලෙස ද කමත හදුන්වන අතර එය දෙමළ බසින් පැමිණියකි.

කමත් වර්ග[සංස්කරණය]

ගොවීන් සාම්ප්‍රදායිකව භාවිත කළ කමත් වර්ග තුනක් දක්නට ලැබේ.

එනම්,

  1. බිම් කමත
  2. ගල් කමත
  3. වෙල් කමත් යනුවෙනි.
  • බිම් කමත - බිත්තර වී වෙන්කර ගැනීමට හොඳම බිම් කමතයි. මීට මූලිකත්වය හිමිවේ
  • ගල් කමත - ස්වභාවිකව පිහිට තිබෙන කළු ගල් තලාව ගල් කමත ලෙස හැදින්වේ.
  • වෙල් කමත - වෙල් කමත යොදාගනු ලබන්නේ හදිසි අවස්ථාවන්හිදීය.උදාහරණ ලෙස වසංගත රෝග,කුර ලෙඩ ,බෝවෙන රෝග පැතිරී යාම් තිබෙන විටය.

කමත තුළ කටයුතු සිදුවන ආකාරය[සංස්කරණය]

1.නිමිති බැලීම

2.කමත කැපීම

3.අරක්වස්තු තැන්පත් කිරීම

* කටු හක්බෙල්ලෙක්
* යකඩයක් 
* කොහොඹ පෝරුවක්
* තොළබෝ , හීරැස්ස,දිවි කදුරු,නික,දෙහි කොළවලින් එකකින් කොළ හත බැගින් .

4.අළුහන් වැඩීම කමතේ වට ඇඳීමෙන් පසුව කොටස් හතරකට හෝ අටකට දිග අතට පාද බෙදා රූප සටහන් ඇදීම.එනම් යතුර ,උකුණු දැත්ත,කෙවිට ,බෝලත්ත, කටුමානත්ත,උදැල්ල,නගුල ,ලාහ,කටු හක්ගෙඩිය ආදී කමතේ දී භාවිතා කරන උපකරණවල රූප සටහන් ඇදීම .ඉලක්කම් හා විවිධ දේවා‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂර ද සටහන් කරයි.


5.කමතට ගොයම් දැමීම.

6.ගොයම් මැඩීම.

7.කාටුව ගැසීම හා බැත රාහි කිරීම.කමත මැදට බැත ඵකතු කිරීම.

8.බැත ගැරීමේ චාරිත්‍රය.බැතයට වැඳ දෝතින් බැත අහුරු තුනක් කුල්ලට දමා අනතුරුව තුන් පැත්තකට වැඳ දෝත් නවයක් කුල්ලට දමා ඵය බැත කන්දට හැළීමය.

9.බැත කන්ද වැඩීමේ චාරිත්‍රය

10.වෙනිය කැපිල්ලේ චාරිත්‍රය.කුල්ල ගෙන අරක්වළ සමීපයට ගොස් අරක් වළේ වු ද්‍රව්‍ය ගෙන කුල්ලටදමා ගනී.පසුව පිදුරු වෙනිය ගැට ගසා තිබූ තැනට පැමිණ වෙනිය හා පොළව අතරින් කුල්ල රිංගවා කුල්ල වෙනිය වටා තුන් වරක් ගෙන ගොස් බිම තබා වෙනියේ ගැටය ලිහා වෙනිය කුල්ලට දමා ගනී. ඵයට වැඳ වෙනිය ලිහා මැඩුහන් ඉවතට දැමීම සිදු කිරීම වෙනිය කැපීමේ චාරිත්‍රයයි.(කහඳගමගේ පියසේන - 1999- "රන්වන් කරල්")

11.යාල්ලීම (මැනීම) ආරම්භයේදී ලා‍හ පුරවා "ලාහයි" කියමින් ගෝනියට දමා ගනී. ඵසේ අටදක්වා ගණන් කරමින් මැනීම කරයි.නමුත් නව වැන්න පුරවා ගත්පසු නවය නොකියා "අට හොදයි" කියා දමා ගනී. කමතේදී නවය නපුරු ලෙස සලකයි.දහ වැනිය ලාහ ගෝනියට දැමූ පසු "පෑලයි" කියන අතර තල් කොළ පෙට්ටියෙන් ගල් කැටයක් ගෙන කමතෙහි තබා නැවත වතාවක් ලාහයි,දෙකයි,තුනයි, ආදී වශයෙන් මැනීම සිදු කරයි. අවසානයේදී ගල් කැට සංඛ්‍යාව අනුව අස්වැන්න කොපමණද කියා තීරණය කරයි. [[රූපය:Kamatha[1].jpg]]

12.කිරි ඉතිරුම් මංගල්ලේ

උදෑසන ඉර පෑයු වේලාවේ සිට ඉර මුදුන් වන වේලාව දක්වා කාලය මීට යොදා ගනී. මෙහිදී අයියනායක,කඩවර,පුල්ලෙයාර,ගලේබණ්ඩාර,ගොපල්ලා කියන දෙවිවරුන් පස් දෙනා ප්‍රධාන වේ.

13.තටු තැබීම ගොවියා යුතුකම් ඉෂ්ට කරන අවස්ථාවක් ලෙස ‍මෙය ගැනේ. හත් ගොල්ලක් සඳහා තටු තැබේ.ගමේ වෙදරාල ,ගමේ කපුරාල , ගමේ ප්‍රධානියා ,වෙල් මුලාදෑනියා, ගුරුවරයා යන පස් දෙනාද ඉතිරි ගොටු දෙක මව්පියන් හා භාර්යාව දරුවන් වෙනුවෙන්ය.ඉන් පසුව සියලු දෙනා ඵක්ව කිරිබත් ආහාරයට ගනී.

14.ඉස්මලු පෙරහැර (බැත ගෙනයාම) මෙසේ ගෙනයන බැත වී බිස්සට දමන්නේ කට්ටකුමංඡල් අල්ලා "සබ්බ පාපස්ස අකරණං "යන ගාථාවද කියමිනි.

15.පැන් වැඩිල්ල කමතේ සියලු කටයුතු අවසන් වන්නේ පැන් වැඩිල්ලෙන් පසුවය. නැවුම් වළදකට පොල් වතුර දමා, පසුව පොල්කිරි ස්වල්පයක්ද මිශ්‍ර කර ගනී.සුදුහදුන් කැබැල්ලක් ඵම දියරයෙන් උරච්චි කර අත් කහද මිශ්‍ර කරගනී.පසුව අරක් වල හාරා ආරම්භයේදී ඵහි තැන්පත් කළ අරක් වස්තු සියල්ල කුල්ලට දමාගෙන කමත වටා තුන් වරක් ගමන් කරයි.පසුව කොහොඹ කොළ ඉත්තක් ගෙන නැවුම් වළදට දමා සාදාගත් මිශ්‍රණය කමත පුරා ඉසීම සිදු කිරීම පැන් වැඩීමයි.

කමත් භාෂාව[සංස්කරණය]

1.බරු ඇට -වී ඇට 2.ඵළවෙනවා -පොත්ත ඉවත්වෙනවා 3.අත්තම -ශ්‍රමය හුවමාරුව 4.නඩලං කෙළීම -කිසිදු අර්ථයක් නැතිව දුව පැන සෙල්ලම් කිරීම 5.බෝල් අත්ත -කමත අතුගෑමට ගන්නා මෙවලම


6.බෝල් තියනවා -අතුගෑම 7.අරක් මුත්තා - ගෝලාකාර කළු ගලකි 8.උකුණු දැත්ත - පිදුරු ගස් පාදා ගන්නා රිට 9.ලාහ - වී මැනීමට ගත් ‍මෙවලමකි 10. කලප්පන්න - මෙවලම් හෙවත් උපකරණ 11.අතලය -කුඩා කළය 12.මැඬුවම් -හොදින් මඬීනා ලද ගොයම් ගස් 13.රාහි කරනවා -ඵක්තැන් කිරීම 14.කරත්ත මල්ල -වී දමන විශාල මල්ල 15.පට මල්ල - කට පළල් උසින් අඩු පං මල්ල 16.කුඩිල්ල - කමතේ වැඩ කරන විට සිටීමට හදන පැල .මෙය මාතර -ගුබ්බෙ , උඩරට - යාල අත්ත , පානම - ලැගුම් පොළ , වන්නියෙ - වාඩිය,

         වෙල්ලස්සෙ -පුරන්නාව , මොරවක් කෝරලේ - කුස්සි බෝය

17.උප්පිඩ - ගොයම් කපනා විට අතට ගන්නා ප්‍රමාණය 18.මහප්පිඩ - උප්පිඩ කිහිපයක ඵකතුව 19.පැඟිරි - බුලත් (පැඟිරි බෝයක් - බුලත් විටක්) 20.කටුවන - හුණු 21.සේදැරි

කමත් තහංචි සහ පිළිවෙත්[සංස්කරණය]

  • ශබ්ද නගා කතා කිරීම තහංචිය.
  • කමත් භාෂාවෙන් පමණක් කතා කළ යුතුය.
  • ගැහැණුන් කමතට නොපැමිණිය යුතුය.
  • පාවහන් හා හිස් වැසුම් පැළදීම නොකළ යුතුය.
  • රංඩු දබර වීම, ඇණ කොටා ගැනීම , ණය තුරහ වී ඉල්ලා ගැනීම හෝ ණය තුරස් ගැන කතා කිරීම ,මගුල් තුලා කතා බස් කිරීම ‍හෝ දීග තීන්දු කිරීම වලංගු නැත.
  • කෙළ ගැසීම නොකළ යුතුය.
  • ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා, කොළ පාගන්නේ නැත.
  • කිල්ලට අසුවෙච්ච කිසිවෙකුට කමත් භූමියට ඇතුළු වීමට තහංචිය.(උපත් කිල්ල, මරණ කිල්ල,වැදුම් කිල්ල පමණක් නොවේ මාස් කිල්ලට හසුවු කිසිම අයෙකුටවත් පැමිණීම තහංචිය.)
  • වසංගත වැළැදුනු ඇත්තන්ට ,බෝවන රෝග හෝ දෙවියන්ගේ ලෙඩ හැදුණු අය හට කොහොඹ කොළ හා කහ මිශ්‍ර ස්නානයට පෙ‍ර ඵ්ම තහංචය.
  • කමත් භූමිය උඩින් මළ මිනියක් ගෙනයාම තහංචය.
  • කමත් භූමියේ සිටින කුරගානා බඩගානා සත්ත්වයන් මැරීම තහංචිය.
  • කමතේ සිට මස් , මාළු හෝ කිළි ජාති අනුභවය තහංචිය.
  • රා ,අරක්කු බීම හෝ ගෙන ඒම තහංචිය.
  • කමතේ බැත පයින් එකතු කිරීමද නොකළ යුතුය.
  • බුලත් විට හැපීම තහංචි නැතත් බුලත් කෙළ ගැසීම තහංචිය.
  • ඈණුම් ඇරීම ,ඇග මැලි කැඩීම තහංචිය.

පරිශීලන ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

1.කහඳගමගේ පියසේන - (1999) " රන්වන් කරල්" , චතුර මුද්‍රණ ශිල්පියෝ, 142,අවිස්සාවෙල්ල පාර, වැල්ලම් පිටිය.

2.දළුපොත කුමාර මහින්ද - (2002) " කමතේ වගතුග" , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ,675,මරදාන පාර ,කොළඹ 10.

3. මඩකුඹුරේ නෝමන් සිරිපාල - (1994) '' කමත් හෑල්ල '' , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 675, පී. ද ඇස්. කුලරත්න මාවත, කොළඹ 10.

"https://si.wikipedia.org/w/index.php?title=කමත&oldid=625446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි