ඕල්ස් වෙල් දැට් එන්ඩස් වෙල් (නාට්‍යය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
1623 දී ප්‍රකාශිත ෆර්ස්ට් ෆෝලියෝ වෙතින් ගැනුණු ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් හි පළමු පිටුවෙහි අනුචිත්‍රයක්.

ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් යනු විලියම් ෂේක්ස්පියර් විසින් රචිත නාටකයකි. 1604 සහ 1605 අතරතුරදී එය ලියැවුනු බවට විශ්වාස කෙරෙන අතර,[1] ප්‍රථමයෙන්ම 1623 දී ෆර්ස්ට් ෆෝලියෝ හි පළ කරන ලදි.

මුලින්ම මෙම නාටකය වර්ගීකරණය කෙරුණේ ප්‍රහසනයක් ලෙසින් වුවද, වර්තමානයේදී ඇතැම් විචාරකයන් විසින් මෙම නාටකය ඔහුගේ එක් ගැටලු නාටකයක් ලෙසින් සැලකෙනුයේ, එය ශෝකාන්තයක් හෝ ප්‍රහසනයක් හෝ ලෙසින් සුකෘත ලෙසින් වර්ගීකරණය කෙරීම උගහට බැවිනි.

පාත්‍රවර්ගයා[සංස්කරණය]

  • පැරොල්ලේ, බර්ට්‍රම්ගේ අනුගාමිකයෙක්
  • කැපිලෙට් යන වාසගමැති, ෆ්ලෙරෙන්ස්හී මහලු වැන්දඹුවක්
  • ඩයනා, වැන්දඹුවගේ දුව
  • රූසියෝං හි සිටුවරියගේ ගබඩාභාරකරු
  • වයොලන්ටා සහ මරියානා, වැන්දඹුවගේ අසල්වැසියන් සහ මිතුරියන්
  • ඇබිත්තියෙක්
  • සොල්දාදුවන්, සේවකයන්, කුලවතුන්, සහ රාජසේවකයින්


සාරාංශය[සංස්කරණය]

හෙලේනා යනු අනාථ තරුණියෙකි. ඇයගේ පියා ප්‍රසිද්ධව සිටි වෙදැදුරෙකුකි. සිය පියාගේ මරණයෙන් පසු ඇය රොසලින් සිටුවරියගේ කාරුනික රැකවරණය යටතේ ජීවත්වන්නීය. ඒ අතර ඇය බලාපොරොත්තු රහිත ලෙස සිටුවරියගෙ පුතු බර්ට්‍රම් වෙත ආදරයෙන් බැදේ. නමුත් කෙතරම් රූමත් හා ගුණ යහපත් වුවත් හෙලේනාට බර්ට්‍රම්ගේ අවධානය දිනාගැනීමට නොහැකිවන්නේ ඇය වංශවත් පවුලකින් පැවතෙන්නියක් නොවන නිසාය. මේ අතර ප්‍රංශයේ රජු යටතේ සේවය කිරිම සඳහා ප්‍රංශ රාජ සභාවට යාමට බර්ට්‍රම්ට සිදුවේ. පසුව රජු අසනීපයෙන් පෙලෙන බවට ආරංචියක් රට පුරා පැතිර යාමත් සමඟ හෙලේනා ද ප්‍රංශයට ගොස් එහිදී තම පියාගේ වෛද්‍ය ශාස්ත්‍රය භාවිතා කිරීමෙන් රජු සුවපත් කරවන්නීය. එයට ප්‍රතිඋපකාරයක් ලෙස රජු තම රාජධානියෙන් ඇය කැමති කවර අයෙකු හෝ ඇයගේ ස්වාමියා ලෙස තොර ගැනීමට වරමක් ඇයට ලබාදෙයි. ඇය බර්ට්‍රම් තම ස්වාමියා ලෙස තොරා ගනී. නමුත් බර්ට්‍රම් මෙම විවාහය පිලිකුල් කරන අතර විවාහයෙන් ටික දිනකට පසු ඔහු පැරොල්ස් නම් වූ තම කපටි අනුගාමිකයා සමඟ පලායන්නේ ෆ්ලොරන්ස් හි ආදිපාදවරයාගේ බල ඇණියට බැඳි සටන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

Shks boydell46.jpg

ඒ නිසා හෙලේනා ආපසු සිටුවරිය වෙත පැමිණෙන අතර එහිදී ඇයට බර්ට්‍රම්ගෙන් ලිපියක් ලැබේ. එහි සඳහන් වන්නේ ඔහු හෙලේනාගේ ස්වාමියා වීමට නම්, ඇය කෙසේ හෝ බර්ට්‍රම් පළඳින පාරම්පරික මුඳුව ඔහුගෙන් ලබාගත යුතු වන අතර ඔහුගේ දරුවෙකු ඇයගේ කුස පිලිසිඳ ගත යුතු බවය. බර්ට්‍රම් විශ්වාස කරන්නේ හෙලේනාට කිසි දිනෙක එම අරමුනු ඉටු කර ගත නොහැකි බවය. මෙය අසා දුක්වන හෙලේනා සැනසීමට සිටුවරිය උත්සාහගන්නේ ඇය හෙලේනාට ආදරය කරන නිසාත් ඇය එම විවාහය අනුමත කරන නිසාත්ය. එනමුදු ඇයගේ එම තැත ව්‍යර්ථ වේ. අවසානෙයේදී දුකින් පීඩිත මෙම තරුන කත රොසලින්හි සිටුවරියගෙ නිවසින් නික්ම යන්නීය.
මේ අතර ෆ්ලොරන්ස් හි බර්ට්‍රම් ද ආදිපාදවරයාගෙ හමුදාවේ ජෙනරල් වරයෙකු බවට පත් වේ. හෙලේනාද ෆ්ලොරන්ස් නගරයට පැමිණෙන අතර එහිදී ඇයගේ සැමියා එහි සිටින කාරුණික වැන්දඹු කාන්තවකගේ තරුණ දියණිය හා සබඳතාවක් පැවත්වීමට තැත් කරන බව ඇයට අසන්නට ලැබේ. හෙලේනා ඩියානා නම් වූ මෙම දියණියගේ ද උදව් ඇතිව උපායශීලීව බර්ට්‍රම්ව රවටා ඔහු අත තිබූ මුඳුව ලබාගනී. ඔහු එය ඩියානාට ලබා දෙනුයේ තම ආදරයේ සංකේතයක් ලෙසය. එසේම ඔහු ඩියානාව හමුවීම සඳහා රාත්‍රී කාලයේදි, ඇයගේ නිවසට හොර රහසේම ඇතුල්වන අතර එහිදී ඩියානා වෙනුවට හෙලේනා හා ආදරයෙන් බැඳෙනුයේ ඇය හෙලේනා බව කිසිසේත්ම හඳුනානොගනිමිනි. හමුදාවේ සාමිවරයන් දෙදෙනකු විසින් පැරොල්ස් නිවටයෙකු හා දුර්ජනයෙකු බව හෙළි කිරිම නිසා ඔහු බර්ට්‍රම්ගෙන් වෙන්වේ. මේ අතර හෙලේනා මියගිය බවට ආරංචියක් ෆ්ලොරන්ස් වෙත ලැබෙන අතර, යුද්ධයද අවසන් වීමට ආසන්න නිසා බර්ට්‍රම් නැවතත් ප්‍රංශයට පැමිණේ. එවිට ඔහු නොදැනුවත්වම හෙලේනා ද ඩියානා හා වැන්දඹු කාන්තාව සමඟ ප්‍රංශයට පිවිසේ.
රොසලින්හි සැවොම හෙලේනාගේ මරණය ගැන ශෝකවන අතර රජුද එම අවමංගල්‍යයට සහභාගි වේ. එහිදී ඔහු විසින් ලාෆෝ නම් වූ වයස්ගත, පක්ශපාතී සාමිවරයෙකුගේ දියණිය විවාහ කර ගනීමට බර්ට්‍රම්ට අවසර ලබාදේ. එම අවස්ථාවේදී රජු විසින් තමන් කලකට පෙර හෙලේනා තම ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ඇයට තුතියක් ලෙස ලබාදුන් මුඳුවක් බර්ට්‍රම් පැලඳ සිටිනු දකී.(මෙය හෙලේනා විසින් ඩියානාහට ලබා දුන් අතර ඩියානා විසින් එය තම ආදරවන්තයා වූ බර්ට්‍රම්හට ලබා දී ඇත ) මුඳුව පිලිබඳව රජුගේ ප්‍රශ්න කිරීම හමුවේ බර්ට්‍රම් අසරණ වේ. එවිට ඩියානා හා ඇයගේ මව, කරුණු පැහදිලි කර දීමට ඉදිරිපත් වේ. හෙලේනාද මෙහිදි පෙනී සිටින අතර ඇය තම ස්වාමියා හට පවසා සිටිනුයේ තමා ඔහුගේ කොන්දේසි සියල්ලම ඉටු කළ බවය. එයින් සෑහීමකට පත්වන බර්ට්‍රම් ඇයට යහපත් ස්වාමි පුරුෂයෙකු වීමට පොරොන්දු වන අතර, අවසානයේදී මේ නිසා සැවොම සතුටු වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

Bocaccioගේ Decameron නම් වූ කථාව මත මෙම නාට්‍ය පදනම් වී ඇත. විලියම් ෂේක්ස්පියර් මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් වන විලියම් පේන්ටර්ගේ "Palace of Pleasure" නම් වූ කෘතිය කියවා ඇති බවට විචාරකයෝ අනුමාන කරති. මෙම නාට්‍යයෙහි එන "අවසානය යහපත් නම් සියල්ලම යහපත්" යන්න, ආප්තෝපදේශයක් මත පදනම් වී ඇති අතර එහි අදහස වන්නේ අවසාන ප්‍රථිපලය යහපත් වන තුරාවට කිසිදු ගැටලුවක් සැලකිල්ලට ගත නොයුතු බවය.

රඟ දැක්වීමේ ඉතිහාසය[සංස්කරණය]

Restoration වකවානුවට පෙර මෙම නාට්‍යය රඟදැක්වීම පිලිබඳ කිසිදු වාර්තාවක් නොමති අතර පලමුවරට එය රඟදැක්වීම පිළිබඳ වාර්තාවන්නේ 1741දී Goodmans Fieldsහිදී වන අතර දෙවන්න එයට වසරකට පසු ඩියුරි ලේන් හිදී වාර්තා වන අතර එහිදී එය අවාසනාවන්ත නාට්‍යයක් ලෙස ප්‍රසිද්ධ විය.හෙලේනාගේ චරිතය රඟදක්වන පේග් වොෆින්ට්න් (Peg Woffington) මෙහිදී සිහිසුන්ව ඇද වැටී ඇති අතර ප්‍රංශයේ රජුගේ චරිතය රඟ දැක්වූ නළුවා හදිසි මරණයකට ගොදුරු වී ඇත. කෙසේ වුවද හෙන්රි වුඩ්වර්ඩ් (Henry Woodward) විසින් ගැරික් යුගයේදී පැරොල්ස්ගේ චරිතය ප්‍රසිද්ධ කිරීමට උපකාරි වන අතර ඉන්පසු දශක කිහිපයක් පුරාවට කඩින් කඩ දර්ශන රඟදැක්වුනි. බර්නාඩ් ශෝ හෙලේනා ගේ චරිතය නොමඳ පැසසුමට ලක් කර ඇත්තේ ඇයව හෙන්රික් ඉබ්සන්ගේ (Henrick Ibsen) "A Dolls House" හි එන නෝරා මෙන් වත්මන් යුගයේ කන්තවක් ලෙස දකිමිනි.
එනමුදු වික්ටෝරියානු සමාජය හෙලේනාගේ චරිතය අවිනීත හා නින්දිත චරිතයක් ලෙස හෙලා දකින ලදි. එලන් ටෙරීට අනුව නම් ඇය ඉතා අශෝබන ලෙස පිරිමින් දඩයම් කරන්නාවූ චරිතයකි. 1896දී ෆෙඩ්‍රික් S. බෝස් "ගැටලුසහගත නාට්‍යය" යන පදය හදුන්වාඩීමත් සමගම එය මෙම නාට්‍යය මෙන්ම හැම්ලට්, ට්‍රොයිලස් හා ක්‍රෙසිඩා යන්නාදී නාට්‍යයන් හැඳින් වීම සඳහා යොදා ගැනුනි.

විචාරාත්මක අර්ථකථන[සංස්කරණය]

මෙම නාට්‍යය ශේක්ස්පියර්ගේ ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධ වූ බවට සාධක නොමැති අතර පසුවද ඔහුගේ අවධානයට ලක් නොවූ නාට්‍යයයන්ගෙන් එකක් ලෙස එය සඳහන් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ සුරංගනා කතාමය තර්ක ස්වභාවය හා හෙළා දකින සුළු යථාර්ථවාදය යන දෙකෙහි නව සංකලනයක් ලෙස එම නාට්‍යය පැවතීම නිසා විය හැකිය. කිසිවෙකුටත් ආදරය කිරිමට නොසිතෙන වර්ගයේ චරිතයක් ලෙස පෙන්වාදී ඇති බේට්‍රම් හට හෙලේනාගේ සිත තුල ඇතිවන අමරණීය ආදරය, නාට්‍යය පිටපතකින් පැහැදිලි කිරීම අපහසු වුවද, එය රඟදැක්වීමේදී පැහැදිලි ලෙසම කඩවසම් පුද්ගලයෙක් බේට්‍රම්ගේ චරිතය නිරූපණයට යොදාගැනීමෙන් හා තවමත් කෙනෙකුට තම හදවත පුදදීමට සූදානම් නැති අව්‍යාජ හා නොදැනුවත් චරිතයක් ලෙස ඔහුගේ චරිතය විකාශයට පත්කිරීමෙන් හෙලේනාගේ ආදරය සාධරණීයකරණය කිරීමට රඟදක්වන්නාට හැකිවනු ඇත. අවසාන ජවනිකාවේදී ඔහුගේ සිත වෛරයෙන් ආදරයට පෙරලෙන අතර එකම වාක්‍යකින් පසු ඇතිවන්නාවූ මෙම වෙනසින් ඔහු මොහොතින් මොහොතට වෙනස්වන්නාවූ විවිධාකාර හැඟිම් වලින් පිරි පුද්ගලයෙක් ලෙස පෙනීයයි. මනෝමය තාත්විකත්වය අගය කිරීමට පුරුදුවී ඇති නළුවන්ට නම් මේනිසා මෙම චරිතය නිරූපනයේදී අපහසුසගත තත්වයකට මුහුනදීමට සිදුවනු ඇත. අවසාන ජවනිකාවේදී ඔහු හෙලේනාට යහපත් ස්වාමියෙකු වීමට පොරොන්දු වන නමුදු ඔහු එම පොරොන්දුව ලබාදෙන්නේ ඔහුට "හැකිනම්" ඔහු එය ඉටුකරන බවටය. මේ නිසා ඔහු ඉන්පසු පවසන වදන් වන "ස්වාමීනී, ඇයට මගේ වරද මෙතරම් පැහැදිලිව මට ඒත්තුගැන්වීමට හැකිනම් මමද ඇයට සදාකාලිකවම දැඩිව ආදරය කිරීමට පොරොන්දු වෙමි", යන්න කිසිදු සැබෑ අභ්‍යන්තරමය වෙනසක් පිලිබිඹු නොකරයි. National theatreහිදී 2009දී ඉදිරිපත්කල රඟදැක්වීම්වලදී බේට්‍රම් මෙම පොරොන්දුව සාමාන්‍ය පරිදි ලබාදෙන නමුදු නාට්‍යය අවසන්වන්නේ ඔහු රැවටිලිකාර මඳහසකින් යුතුව හෙලේනා හා අතිනතගෙන ප්‍රේක්ෂකයාට මුහුනලා සිටීමෙන්ය. අවසාන වශයෙන් මින් හැඟවෙන්නේ රජු ඉදිරියේදී තම ප්‍රතිරූපය බේරාගැනීමට පමණක් ඔහු මෙම පොරොන්දුව ලබාදුන් බවය.

සබැඳුම්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ස්නයිඩර්, සූසන් (1993). "හැඳින්වීම". දි ඔක්ස්ෆර්ඩ් ෂේක්ස්පියර්: ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල්. ඔක්ස්ෆර්ඩ්, එංගලන්තය: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය. පිටු. 20–24. ISBN 978-0-19-283604-5.