එළු සඳෙස් ලකුණ
බුදු තෙරුන් විසින් රචිත පද්‍ය ග්‍රන්ථයකි.දඹදෙණි යුගයට අයත් ‘එළු සඳස් ලකුණ’ අපට දැනට දකින්නට ලැබෙන, කාව්‍ය ශාස්ත‍්‍රයේ ඡන්දස් පිළිබඳ සිංහලෙන් ලියැවී ඇති පැරණිතම කෘතිය යි. පද්‍ය බන්ධනය වූයේ ඡන්දස් අනුව වූ විරිත්වලිනි. එබැවින් පද්‍ය කාව්‍යකරණය උදෙසා ඡන්දස් සහ අලංකාර එක සේ වැදගත් විණි. අලංකාර ගැන සියබස්ලකරින් ලියැවී තිබිය දී ඡන්දස් විස්තර කෙරෙන ග‍්‍රන්ථයක අඩු ව පිරිමැසී ඇත්තේ එළු සඳස් ලකුණෙනි.
‘පිණිපා කොටින් සතර - සඳස් ලකුණු නෙළුවේ පවසම් පොරණ ඇජරන් - ගිය මගනැලුප් හෙ මෙසේ’
මේ මුල් ගීය තුළ ම නමස්කාරය ද සමඟ අපේක්ෂිත කාර්යය සහ එහි විධි ක‍්‍රමය ද පිඬු කොට දක්වා තිබේ. මෙසේ සිංහල ඡන්දස් ලක්ෂණ දක්වනුයේ පුරාණ ආචාර්යවරයන්ගේ ආලාප (වචන) මාර්ගයෙන් යැයි පැවසීමෙන් මෙයට පෙර පැවැති සම්භාව්‍ය කෘති පිළිබඳව ද යම් අදහසක් පළ කෙරේ. මෙහි ‘සඳස් ලකුණු නෙළුවේ’ යැයි කීමෙන් ‘සිංහලයේ ඡන්දස් ලක්ෂණ’ යන්න අවධාරණය වේ. තව ද මේ යෙදුම ‘එළු සඳස් ලකුණ’ යන ග‍්‍රන්ථ නාමය සඳහා ද පාදක වී තිබේ. කතුවරයාණන් මෙයට යෙදු නම මෙය බවට කෘතියේ කිසිදු තැනක සඳහන් නො වේ. ග‍්‍රන්ථාවසානයෙහි එන ගීයක ‘එමෙනි මා නිය අසකින් කළ විරිත් මිණිමල්’ යනුවෙන් සඳහන් වීමෙන් කතුවරයා මෙයට යෙදූ නම ‘විරිත් මිණිමල’ වී දැයි සැක සිතේ. ග‍්‍රන්ථාවසානයේ සඳහන් ‘විමලග සසුන් වැසි වූ බද නම විසින් දුටුයේ’ යන්නෙන් කියැවෙන පරිදි බද හෙවත් භද්‍ර නම් වූ භික්ෂුන් වහන්සේ නමක විසින් මේ කෘතිය රචනා කරන ලද බැව් පැහැදිලි වේ. මේ හැර උන් වහන්සේ හෝ උන්වහන්සේ වැඩ විසූ විහාරය හෝ වෙනත් තොරතුරක් හෝ මේ කෘතියේ වත් අන් කිසිදු මූලාශ‍්‍රයක වත් දකින්නට නැත. පැරැණි සාහිත්‍ය ග‍්‍රන්ථයන් ගෙන් පමණක් නො ව කව් සිළුමිණෙන් ද කතුවරයා මේ කෘතිය සඳහා නිදර්ශන පාඨ සපයා ගෙන තිබේ. එබැවින් මෙය දඹදෙණි සමයේ අග භාගයට අයත් නිර්මාණයක් විය යුතු ය. එළු සඳස් ලකුණ ගී 118 කින් යුක්ත ව ප‍්‍රබන්ධය වී තිබේ. නිදර්ශන ගී ඇත්තේ ග‍්‍රන්ථයේ අන්තර්ගතය වූ එකී ගීවලට අමතර ව ය. මේ කෘතියේ අන්තර්ගතය සංඥා විධි ගී ලකුණු, සිව්පද ලකුණු, දෙපා ලකුණු සහ ගී සිව්පද ලකුණු වශයෙන් ප‍්‍රධාන කොටස් පහකට බෙදී යේ. සංඥා කොට්ඨාසය ලඝු - ගුරු භේදය පැහැදිලි කිරීමෙන් ආරම්භ වී මාත‍්‍රා, ගණ, යවහන් දෝෂ, එළිසමය වැනි කරුණු පැහැදිලි කරයි.
ගී ලකුණු - පියුම්, මත්වල, උමතු, කව්, බමර, යාගී, දුවඟ, යොන්, කාරිකා, තොහොල්, බහල්මත්, නළු, සසපුලුතු, ගජගැමි යනුවෙන් වූ ගී විරිත් පැහැදිලි කෙරේ. සිව්පද ලකුණු - සඳ, සිරි, මැදුම්, පිහිටි, සුපිහිටි, උතු, සෙල්, ගජ, රැඳි, රවුළු, තෙනෙත්, හිරු, මී, මදු යන විරිත් සහ ඒවායේ තවත් ප‍්‍රභේද විස්තර වේ.
දෙපා ලකුණු නම් පෙර කී සිව්පද ගී විරිත් ම සහිත ව එකී සිව්පදවලින් අර්ධයක් හෙවත් දෙපදයක් සේ පද්‍ය රචනා කිරීම ය. ගී සිව්පද සිතිලි ගී, කඩවක් ගී, සැහැලි ආදි වශයෙන් විවිධ විරිත් ගනී.
එළු සඳස් ලකුණෙ සඳහන් ගී විරිත් ඉදිරි ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා.. මේ ලිපිය කියවලා ඉතිරි ලිපි ලියන්න ඔයාලගේ අදහසත් කියන්න.