එමිලි ඩිකින්සන්

විකිපීඩියා වෙතින්
1846 දෙසැම්බර් හෝ 1847 මුලදි මවුන්ට් හොලිඕක් හීදි (රසායන ආලේපිත තහඩුවක මුද්‍රණය කරන ලද) පින්තූරයකින් ගන්නා ලද්දකි. මෙය ඩිකින්සන්ගේ ළමා වියට වඩා පසු කාලයක යයි විශ්වාස කෙරෙන පින්තූරයකි.

එමිලි ඩිකින්සන් (1830.12.10 - 1886.05.15) ඇමෙරිකානු කිවිඳියකි. මැසචුසෙට්හි, ඇම් හර්ට්ස් හි දැඩි සමාජ සම්බන්ධතා සහිත සාර්ථක පවුලක දැරියක වූ ඇය විරාගි හුදෙකලා ජීවිතයක් ගත කළාය. තරුණ කාලයේ අවුරුදු හතක් ඇම්හර්ස්ට් විද්‍යායතනයේ අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව මවුන්ට්හෝල් යෝක් සෙමනේරියේ සුලු කාලයක් ගත කළාය. අනතුරුව ඇයගේ පවුලේ නිවස වූ හෝම්ස්ටඩ් හි නතර වූවාය. ඇයගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම ඇය ඇම්හර්ට්ස් වලින් පිටතට ගියේ ඉතා කලාතුරකිනි. එසේම නිවසින් ඈතට ගමන් කළේ නැත. ඇයගේ අසල්වාසීන් සහ එම ප්‍රදේශයේ අය ඇය සාමාන්‍ය ලෝකයාගෙන් වෙනස් වූ ගති පැවතුම් ඇති තැනැත්තියක ලෙස සැලකූ අතර ඇය සුදු ඇඳුම් ඇඳීම රුචි කළාය. ඇය අමුත්තන් හමුවීමට කැමැත්තක් නොදැක්වූවාක් මෙන්ම පසු කාලයේ ඇගේ කාමරයෙන් පිටතට හෝ නොගියාය. එබැවින් ඇය මිතුරු සබඳතා පවත්වාගෙන ගියේ ලිපි හුවමාරු කිරීමෙනි.

ඩිකින්සන් විශාල කෘතින් ප්‍රමාණයක් කළ කිවිඳියකි. ඇයගේ එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයකින් ඇය ප්‍රකාශයට පත් කළේ දුසිමකට අඩු ප්‍රමාණයකි. ඇය ජීවත්ව සිටියදි ප්‍රකාශයට පත් කළ ඇගේ කෘතින් ප්‍රකාශකයින් විසින් සැළකිය යුතු ප්‍රමාණයකට වෙනස් කරන ලද්දේ එම යුගයේ සම්ප්‍රදායික කවියේ නීති රීති ආරක්ෂා කිරිම සඳහාය. යුගයේ හැටියට ඇගේ කවි සුවිශේෂි විය. ඒවායේ අඩංගු වූයේ කෙටි පදයි. සාමාන්‍යයෙන් මාතෘකාවලින් තොරය එමෙන්ම බොහෝ විට ඇගේ කාව්‍ය රචනා මරණය සහ අමරණීයත්වය කේන්ද්‍ර කොට රචනා විය. ඇය විසින් මිතුරන්ට ලියු ලිපි වලින් මෙම කාරණා ඔවුනට කා වැද්දුවාය.

ඇය දැන හඳුනාගෙන සිටි මිතුරන් ඥාතීන් බොහෝ දෙනෙකු ඇයගේ කෘතින් සහ ඇය විසින් කරන ලද රචනා ආදිය ගැන දැන ගෙන සිටින්නට ඇත. එසේ වුවත් 1886 දී ඇගේ මරණයෙන් පසු ඇයගේ සොයුරිය වු ලැවිනියා විසින් ඩිකින්සන්ගේ කෘතින් එකතුව සොයා ගන්නා තෙක් ඇයගේ කෘතින් වල ප්‍රමාණය පිළිබඳ කිසිවෙකු දැන සිටියේ නැත. ඇයගේ ප්‍රථම කවි එකතුව 1890 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇයගේ පෞද්ගලික හිතවතුන් දෙදෙනෙකු වූ තෝම්ස් වෙන්ට්වර්ත් හිගින්සන් සහ මේබල් ලුමිස් ටොඩ් විසිනි. ඔවුන් දෙදෙනාම ඒවා බොහෝ සෙයින් සංස්කරණය කළහ. 1955 වර්ෂයේ දි ප්‍රථම වරට සම්පූර්ණ වූත්, වෙනස් නොකරන ලද්දාවූත් ඇයගේ කවි එකතුවක් පළ විය. එය ද පොයම්ස් ඔෆ් එමිලි ඩිකින්සන් නම් වූ අතර විද්වතෙකු වූ තෝමස් එච්.ජෝන්සන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. 19 සියවසේ අග සහ 20 සියවසේ මුල ඇයගේ කෘතින් අසතුටු දායක ලෙස විවේචනයට භාජනය වුවද දැනට ඩිකින්සන් සළකනු ලබන්නේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු කිවිඳියක ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=එමිලි_ඩිකින්සන්&oldid=465089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි