එක්සත් ජනපදයේ යටත්විජිතවාදී ඉතිහාසය

විකිපීඩියා වෙතින්

මුල් කාලීන ජනපදවල දුර්වලතා[සංස්කරණය]

දැන් එක්සත් ජනපදය නම් ප්‍රදේශයේ ස්පාඤ්ඤය විසින් ජනපද කිහිපයක් ආරම්භ කරන ලදී. මෙම මුල් උත්සාහයන් කීපයක් අසාර්ථක විය. 1526 දී ලූකස් වස්කේ ඩි අයිලෝන් (Lucas vazquez de Ayllon) විසින් වර්තමානයේ ජොර්ජියා නැතහොත් දකුණු කැරොලිනා නම් ප්‍රදේශයෙහි මිගුවෙල් ඩි ගුවාඩලුප් නම් ජනපදය ආරම්භ කරන ලදී. එය පැවතුණේ සුලු කාලයක් පමණි. සමහර විට මෙම සිද්ධිය වැදගත් ලෙස පෙනී යන්නේ එක්සත් ජනපදයේ වර්තමාන සීමාවන් තුළ අප්‍රිකානු වහලුන් ප්‍රථම වතාවට සේවයේ යෙදවු අවස්ථාව ලෙසයි. පැන්ෆිලෝ ඩි නර්වාඑස් 1528 දී ෆ්ලොරිඩාවෙහි ජනපදයක් ආරම්භ කිරීමට උත්සාහ කළේය. නර්වාඑස් ගවේෂණ චාරිකාව ව්‍යසනයකින් කෙළවර වූ අතර හතර දෙනෙකු පමණක් 1536 දී මෙක්සිකෝවට ගියහ. බටහිර ෆ්ලොරිඩාවෙහි පෙන්සකෝලා නම් ස්පාඤ්ඤ කොළණිය 1561 දී සුළි සුළඟකින් විනාශ විය. 1570 දී ආරම්භ කරන ලද ඇජසන් (Ajacan) මීසම ඊළඟ වසරේ අසාර්ථක විය.

ප්‍රංශය විසින් ජනපද කීපයක් ඇති කරන ලද නමුත් කාළගුණික හේතු, ලෙඩ රෝග හෝ අනිකුත් යුරෝපීය බලවතුන් සමග සිදු වූ සටන් නිසා ඒවා අසාර්ථක විය. ප්‍රංශ භට කණ්ඩායම් වලින් සැදුණු කුඩා කණ්ඩායම් 1562 දී චාර්ලිස් ෆොර්ට් ගොඩනැංවීම පිණිස දකුණු කැරොලිනාවෙහි පැරිස් දූපතේ රඳවනු ලැබූහ. ප්‍රංශයෙන් නැවතත් අවශ්‍ය පහසුකම් නොලැබුණි. අවුරුද්දකට පසු එය අතහැර දමන ලදී. වර්තමාන ෆ්ලොරිඩාවේ ජැක්සන් විල් නමින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයේ 1564 දී කැරොලින් කොටුව ස්ථාපිත කළ නමුත් එය පැවතියේ අවුරුද්දක් පමණි. ශාන්ත ඔගස්ටින් වෙතින් පැමිණි ස්පාඤ්ඤවරුන් එය විනාශ කරන ලදී. 1604 දී මේන් හි ශාන්ත ක්‍රොයික්ස් දූපත කෙටි කලක් පැවතුනු ප්‍රංශ කොලණියක් විය. එය නිතර නිතර ලෙඩ රෝග වසංගතවලට ගොදුරු විය. සමහර විට එය ශීතාද රෝගය විය හැක. 1685 දී ශාන්ත ලුවි බලකොටුව ටෙක්සාස්හි ආරම්භ කළ නමුත් 1688 වන විට එයද නැතිවී ගියේය.

ඉංග්‍රිසින් වඩාත් අසමත් වූ අවස්ථා ලෙස සටහන් වන්නේ "Lost colony of roanoke" (1587 - 90) නම් වූ මේන් හි කැරොලිනා සහ පොප්හැම් ජනපදවල සිද්ධියයි. ඇමෙරිකාවේ බිහිවුණු පළමු ඉංග්‍රිසි දරුවා වූ වර්ජිනියා ඩෙයා බිහිවී ඇත්තේ ඉහත කී රොනොක් ජනපදයෙහිය - ඇගේ ඉරණම ද අප්‍රකටය

ස්පාඤ්ඤ ජනපද[සංස්කරණය]

ෆ්ලොරිඩාව[සංස්කරණය]

ස්පාඤ්ඤ ෆ්ලොරිඩාවෙහි කුඩා ජනාවාස කීපයක් පිහි‍ෙටවු නමුත් ඒවායින් බොහොමයක් ඉතා ඉක්මණින්ම අතහැර දමනු ලැබිනි. මෙයින් ඉතා වැදගත්ම ජනපදය වූයේ 1565 දී පිහිටවනු ලැබූ “සෙන්ට් ඔගස්ටින් ෆ්ලොරිඩා” වයි. එය නොකඩවා කෙරුනු පහර දිම් වලට සහ ගිණී තැබීම් වලට නිරන්තරයෙන්ම ගොදුරු වු අතර පදිංචිකරුවන් බොහෝ දෙනෙක් මැරුම් කෑහ. මිෂනාරිහු 1655 වන විට 26000 ක ස්වදේශික පිරිසක් තම ආගමට හරවා ගත්හ. එහෙත් 1656 දී ඇතිවූ කැරැල්ල සහ 1659 දී ඇති වූ වසංගත රෝගයක් නිසාත් ජනපද විනාශ විය. කුඩා මුරපොල වලට පමණක් නොව සෙන්ට් ඔගස්ටින් වෙත පවා කොල්ලකරුවෝ නිර්දය ලෙස පහර දුන්හ. බ්‍රිතාන්‍යයෝ සහ ඔවුන්ගේ ජනපද නොකඩව‍ා ස්පාඤ්ඤය සමගද එහි ජනපද හා මුරපොළ වල් සමග ද නොකඩවා සටන් කළහ. 1702 දී සහ 1704 දී දකුණු කැරොලිනාව මහා පරිමාණ ආක්‍රමණයක් දියත් කළ අතර එය ස්පාඤ්ඤ මිෂනාරි ක්‍රියාකාරකම් සාර්ථක ලෙස විනාශ කළේය. සෙන්ට් ඔගස්ටින් විනාශ නොවි ඉතිරි වූ නමුදු, ඉංග්‍රිසින් හා එක් වූ ‘යමසි’ (Yamasi) වැනි ඉන්දියන් වරු ෆ්ලොරිඩාව පුරා වහලුන් සොයා ආක්‍රමණයක් මෙහෙයවූයේ ප්‍රදේශයේ ස්වදේශික ජනතාවගෙන් බොහො දෙනෙකු ඝාතණය කරමින් හෝ වහලුන් ලෙස අල්ලා ගනිමිනි. 1740 දි සෙන්ට් ඔගස්ටින් අල්ලා ගන්නා ලදි. ඔවුන්ගේ ප්‍රධාන ආහාර මූලාශ්‍රය වූයේ ගංඟා වලින් අල්ලා ගත් මාලු සහ දඩයම් කර ගත් සතුන්ය.

බ්‍රිතාන්‍යයින් සහ ස්පාඤ්ඤවරු දශක කිහිපයක් තිස්සේ එකිනෙකාට පසමිතුරුව සිටියහ. ස්පාඤ්ඤ ෆ්ලොරිඩාවේ පැවති සටන් ලෝක ව්‍යාප්ත අරගලයක කොටසක් විය. 1700 මැද භාගයේදි ආක්‍රමණික සෙමිනොල්ස් (Seminoles) වරු ඉතිරිව සිටි ස්වදේශික ඉන්දියන්වරු ඝාතණය කළහ. බ්‍රිතාන්‍යයින් 1763 දී ෆ්ලොරිඩාවේ බලය අල්ලා ගන්නා විට එහි ස්පාඤ්ඤවරු 3000 ක් පමණ සිටියහ. ඉතා ඉක්මණින් ඔව්හු සියලු දෙනාම පාහේ ඉවත් වූහ. 1783 දී ස්පාඤ්ඤයට නැවත බලය අල්ලා ගැනීමට හැකිවූ නමුදු ස්පාඤ්ඤ ෆ්ලොරිඩ‍ාවට නැවතත් පදිංචිය පිණිස මිනිසුන් හෝ මිෂනාරි යැවීමක් නොකළේය. 1819 දී එක්සත් ජනපදය එහි පාලන බලය තම අතට ගත්තේය.

කැලිෆෝර්නියා (1765 – 1821)[සංස්කරණය]

ස්පාඤ්ඤ ගවේශකයින් 1500 වර්ෂවල සිට1700 වර්ෂයේ මැද භාගය දක්වා කැලිෆෝර්නියා වෙරළ දිගේ යාත්‍රා කළ නමුත් ජනාවාස පිහිටුවීමක් සිදු නොවීය.

18 වෙනි ශත වර්ෂයේ අන්තිම කාර්තුවේදී පමණ කැලිෆෝර්නියාවේ පළමු යුරෝපීය ජනපද බිහිවීම ආරම්භ වුනේය. රුසියාවෙන් සහ (සමහර විට) බ්‍රිතාන්‍යයෙන් ශාන්තිකර වෙරලේ ලොම් සඳහා ඇති කරන සතුන් සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුවට ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ස්පාඤ්ඤය තම හමුදාවන්ද ගව පට්ටිකරුවන්ද එක් කර ගනිමින් දකුණු සහ මධ්‍යම කැලිෆෝර්නියා වෙරල දිගේ කතෝලික ධර්මදූත ව්‍යාපාරයන් කිහිපයක් දියත් කළේය. ෆ්රැන්සිස්කන් පූජකයෙකු වූ ජුනිපේරො සෙරා 1769 දී සැන් ඩියෙගෝ ඩි අල්කාලා සමග ධර්ම ප්‍රචාරක කටයුතු දාමය ආරම්භ කළේය. මෙම ධර්ම ප්‍රචාරක මෙහෙයුමට ප්‍රත්‍යන්ත දේශවල පිහිට වූ මධ්‍යස්ථාන කීපයක්ද ඇතුලත් විය. ඒවායේ අරමුණ වූයේ ඒ ප්‍රදේශයේ සිටි මුල් ජන්ම පිරිස ක්‍රිස්තියානියට හරවා ගැනීමයි. මෙම තත්වය ස්පාඤ්ඤ වරුනට අමතර වාසියක් වූයේ එම ප්‍රදේශය සම්බන්ධයෙන් ඔවුනට තිබූ පැරණි හිමිකමයි. මෙම චාරිකාවන් මගින් යුරෝපීය තාක්ෂණය, සත්ව පාලනය, කෘෂිකර්මය, එම ප්‍රදේශවලට හඳුන්වා දුන් අතර, ප්‍රදේශවාසීන් ඔවුනගේ සුලු වැඩ කටයුතු සඳහා යොදවා ගන්නා ලදි. ඉතා චාම් සහ සාමකාමී අතීතයක සිත් ගන්නා බොහෝ සළකුණු මාවත් සහ මීසම් ගොඩනැගිලි සඳහා තිබුනේය. “මීසම් පුනරුත්ථාපන ක්‍රමය” ගෘහ නිර්මාණ ශිල්පීය ව්‍යාපාරයකි.

19 වෙනි ශත වර්ෂයේ මුල් කාර්තුවේදී මිෂනාරිවරුන්, සතුන් ඇතිකරන්නන් සහ හමුදා භටයින්ගෙන් දකුණු හා මධ්‍යම කැලිෆෝර්නියා වෙරල තීරය සෙමෙන් සෙමෙන් එහෙත් නොකඩවා ජනාවාස විය.1820 වන විට ධර්ම දූත චාරිකා දාමයක් මගින් ස්පාඤ්ඤ බලය සටහන් විය. මේවා සැන්දියාගෝ වලින් ආරම්භ වී අද කාලයේ සැන්ෆ්‍රැන්සිස්කෝ ‍ෙබාක්ක නමින් හැඳින්වෙන ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වෙමින් මීසම් වල සිට සැතපුම් 20 සිට 50 දක්වා රට අභ්‍යන්තරයට පැතිරුනේය. මෙම කලාපයට පිටතින් 200000 සිට 250000 පමණ ස්වදේශික අමෙරිකානුවන් ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවිතය ගත කරමින් සිටියහ. 1819 දී අත්සන් කරන ලද ඇඩම් - ඔනිස් ගිවිසුම මගින් ස්පාඤ්ඤ අයිතිවාසිකම් වල උතුරු සීමාව 42 වැනි සමාන්තර රේඛාවට ගැලපෙන ලෙස ලකුණු කරන ලදි. එය අද කාලයේ කැලිෆෝනියා ජනපදයේ උතුරු මායිම ලෙස ස්ථිරව දැක්වේ. ස්පාඤ්ඤවරු (පසුව මෙක්සිකානුවෝ) විශාල ඉඩම් කොටස් පවරමින් කැලිෆෝර්නියාව ජනාවාස කිරීමට දිරි දුන්නෝය. මේවා පසු කලෙක ගව සහ බැටලුවන් ඇති කරන ගෙවිපලවල් විය. 1840 වන විට ස්පාඤ්ඤ ජනගහණය 10,000 ක් පමණ විය.

බ්‍රිතාන්‍ය ජනපද[සංස්කරණය]

කාරණා කීපයක් මුල් කරගෙන 17 වෙනි සියවස ආරම්භයේදී එංගලන්තය ඔවුන්ගේ ප්‍රථම (සාර්ථක) උත්සාහය ආරම්භ කළේය. මෙම කාල සීමාව තුල ස්පාඤ්ඤ ආක්‍රමණවල තර්ජනය යටතේ ප්‍රොතෙස්තන්ත යුද ලෝලීත්වය සහ එළිසබෙත් රැජින කෙරේ තිබුණු භක්ත්‍යාදරයද නිසා පණ පෙවුනු ජාති මාමක හැඟීම් ඇති විය. කෙසේ වෙතත් මෙම කාලයේ යටත් විජිත අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව නිල වශයෙන් උත්සාහයක් ගෙන තිබුනේ නැත. ඒ වෙනුවට සුලු වශයෙන් සහ විවිධාකාර ක්‍රමයන් යොදා ජනපද ආරම්භ කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක විය. වෙළඳ ව්‍යාපාර, ජනගහණය අධික වීම, සහ ආගම නිදහසේ ඇදහීමට තිබුණු ආශාව වැනි ප්‍රායෝගික හේතු ඒ ඒ විෂයයන්ට අදාළ භූමිකාවන් රඟ පෑවේය.

දඬුවම් වලට භාජනය වූ ජනපදිකයින්[සංස්කරණය]

1610 දශකයේ සහ අමෙරිකානු විප්ලවය සිදු වුණු කාලය තුල බ්‍රිතාන්‍යය විසින් ඇස්තමේන්තු ගත කළ අපරාධවලට දඬුවම් නියම කළ පුද්ගලයින් 50000 ක් බ්‍රිතාන්‍ය ඇමෙරිකන් ජනපද වලට නැව් මගින් යවනු ලැබූහ. මේෆ්ලවර් (Mayflower) ළඟාවීම පළමු සිරකරුවන්ගේ පැමිණීම පෙරදාතම කළේය.

චෙසපීක් බොක්ක ප්‍රදේශය[සංස්කරණය]

පළමුවැනි ජේම්ස් විසින් ලන්ඩන් සහ ප්ලිමත් සමාගම් වලට 1606 දී දුන් පවරාදීම්. කහ පාටින් යුත් ප්‍රදේශය සමාගම් දෙකට පවරා දෙන ලදි.මෙයින් එක සමාගමක්වත් සැතපුම් සියයක් තුල ඔවුනොවුන්ගේ ජනාවාස ඉදි නොකළ යුතුය යන කොන්දේසිය මත පැවරීම සිදු කරන ලදි. ජේම්ස්ටවුන් ප්‍රදේශය 'J' අකුරෙන් පෙන්වා ඇත.

ජේම්ස්ටවුන්[සංස්කරණය]

චෙසපීක් බොක්කේ කුඩා ගඟක් අසළ 1607 දී පිහිටුවන ලද පළමු සාර්ථක ජනපදය ‍"ජේම්ස්ටවුන්" වෙයි. මේ සඳහා මුදල් සැපයීම සහ සම්බන්ධීකරණය කරන ලද්දේ ලන්ඩන් වර්ජිනියා කොම්පැණි නම් වූ සමාගමයි. එය රත්‍රන් සෙවීම අරමුණු කර ගත් ඒකාබද්ධ කොටස් සමාගමක් විය. අධික මරණ සංඛ්‍යාවත්, ලෙඩ රෝග සහ ආහාර හිඟයට අමතරව ඉන්දියන්වරු සමග කෙරුණු සටන්ද හේතුවෙන් එහි පළමු අවුරුදු කීපය අති දුෂ්කර විය. රත්‍රන් ලැබුනේද ස්වල්ප වශයෙනි. මෙම දුෂ්කරතාවයන්ගෙන් කොළණිය යාන්තමට මිදුනේ දුම්කොළ වගාව දෙසට යොමු වීමෙනි. 17 වෙනි ශත වර්ෂය අවසාන භාගයේදී පමණ වර්ජිනියාවේ අපනයන ආර්ථිකය විශාල ලෙස දුම්කොළ මත පදනම් විය. අලුත් ධනවත් පදිංචිකරුවෝ විශාල ඉඩම් ලබා ගැනීම සඳහා පැමිණියහ. ඔවුහු විශාල ලෙස වගා කරමින් වහලුන් සහ සේවකයින් පිටරටින් ගෙන්වූහ. 1676 දී බේකන්ගේ කැරැල්ල ආරම්භ විය. එහෙත් එය රාජකීය නිලධාරීන් විසින් මැඩ පවත්වන ලදි. බේකන්ගේ කැරැල්ලෙන් පසු අප්‍රිකානු වහලුන් වෙනුවට ඉංග්‍රීසි සහ අයර්ලන්ත සේවකයින් ගෙන්වා ගන්නා ලදි. ඔවුන් වර්ජිනියාවේ ප්‍රධාන කම්කරු බලකාය විය.

ආරම්භයේ සිටම ජනපද පාලනය කළ යටත් විජිත සභාව විසුරුවා හරින ලදි. එහෙත් 1630 දී නැවත පිහිටුවන ලදි. එය රාජකීය ආණ්ඩුකාරයෙකු සමග බලය බෙදා ගන්නා ලදි. වඩා ප්‍රාදේශීය මට්ටමක් මත ආණ්ඩු බලය පළාත් බද (County) උසාවි වලට පවරනු ලැබීය. වාණිජ වගාවන් කරන්නන් හැටියට චෙසපීක් වගාවන් සම්පූර්ණයෙන්ම රඳා පැවතියේ වෙළඳාම මතයි. නාවික පහසුකම් ගඟ මාර්ගයෙන් ලෙහෙසියෙන්ම ලැබීම නිසා කුඩා නගර කීපයක් පමණක් බිහි වූ අතර විශාල නගර වර්ධනය නොවිය. වැවිලිකරුවෝ කෙළින්ම බ්‍රිතාන්‍යයට නැව් ගත කළහ. උපරිම මරණ සංඛ්‍යාව සහ ඉතා තරුණ ජනගහණය ජනපදය තුල මුල් කාලයේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් විය.

මධ්‍යම ජනපද[සංස්කරණය]

වර්තමානයේ නිව්යෝර්ක්, නිව්ජර්සි, පෙන්සිල්වේනියා සහ ඩෙලවෙයා යනාදී නම් වලින් හැඳින්වෙන රාජ්‍ය්‍යන් අඩංගු වූ මධ්‍යම ජනපද, ආගමික, දේශපාලනික, ආර්ථික සහ ජනවාර්ගික ආදී විවිධත්වයන් විශාල ප්‍රමාණයක ලක්ෂණ විදහා දැක්විය. බොහෝ ඕලන්ද සහ අයර්ලන්ත සංක්‍රමණිකයෝ ලෝංග් අයිලන්ඩ් සහ කනෙක්ටිකට් වල මෙන්ම එම ප්‍රදේශයේද පදිංචි වුහ. මෙම සංක්‍රමණයන්ටපෙන්සිල්වේනියා ලන්දේසීන්ද ඇතුළත් වූහ.

පහළ දකුණ[සංස්කරණය]

දකුණු ප්‍රදේශ ජනපද තුළට චෙසපීක් කලාපයේ වගා ජනපද වර්ජිනියා, මේරිලන්ඩ්, සහ (සමහර වර්ග කිරීම් මගින් ඩෙලවෙයාර් ද) සහ පසුව උතුරු සහ දකුණු කැරොලිනා සහ ජෝර්ජියාව වශයෙන් බෙදුණු පහළ දකුණු ප්‍රදේශ ද ඇතුළත් විය.

කැරොලිනා ජනපදය[සංස්කරණය]

වර්ජිනියාවේ දකුණේ ඉංග්‍රිසි ජනපද ඇති කිරීමේ පළමු ප්‍රයත්නය වූයේ කැරොලිනා පළාතයි. එය පෞද්ගලික වැඩ පිළිවෙලක් විය. ඒ සඳහා මුදල් ආයෝජනය කරන ලද්දේ ඉංග්‍රිසි වංශාධිපති ඉඩම් හිමියන් පිරිසකි. ඔවුන් 1663 දී කැරොලිනා ජනපද වලට රාජකීය අධිකාරිය පත්‍රයක් ඉල්ලා තිබුනේ දකුණේ නව ජනපද, ජේම්ස්ටවුන් මෙන්ම ඉතා ලාභ උපදවන ස්ථානයන් වේ යැයි අපේක්ෂාවෙනි. 1670 වන තෙක් කැරොලිනාව ජනාවාසයක් නොවීය. ඒ වන විටත් පළමු ප්‍රයත්නය අසාර්ථක වී තිබුනේය. ඊට හේතුව වූයේ දකුණට සංක්‍රමණය වීමට පෙළඹවීමක් නොවූ හෙයිනි. පසුව ඉහත කී වංශාධිපතිහූ ඔවුන් ළඟ ඉතිරිව තිබු ප්‍රාග්ධන එක් කොට එම ප්‍රදේශයට ජනාවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එම මුදල් යෙදවූහ. මෙම ව්‍යාපෘතියේ නායකත්වය දැරුවේ ජෝන් වෙස්ට් නැමැත්තාය. මෙම ව්‍යපෘතිය මගින් ආරක්ෂිත මෙන්ම සාරවත් භූමි ප්‍රදේශයක් තෝරා ගන්නා ලදි. එය පසුව චාර්ල්ස්ටන් නම් වූ ප්‍රදේශයයි. (මුල් නම - චාර්ල්ස් ටවුන් = එංගලන්තයේ දෙවැනි චාර්ල්ස් නමින්) මෙසේ ප්‍රධාන භූමියේ ඉංග්‍රිසි ජනපද පිහිටුවීම ආරම්භ විය. දකුණු කැරොලිනාවේ මුල්ම පදිංචිකරුවන් ආහාර ද්‍රව්‍ය, මුව හම් සහ ඉන්දියානු සහ කැරිබියානු වහලුන් වෙළඳාම වැනි ලාභ දායි වෙළඳ ව්‍යපාර පිහිටුවා ගත්හ. ඔවුන් ප්‍රධාන වශයෙන් බාර්බඩෝස් හි ඉංග්‍රිසි ජනපද වලින් පැමිණියේ අප්‍රිකානු වහලුන් ද සමගිනි. බාර්බඩෝස් දිවයින, උක් වගාවන් වලින් යුත් ධනවත් දූපතක් විය. එය වතු වැවිලි ක්‍රමයට කෘෂිකර්මාන්ත කටයුතු වල අප්‍රිකානුන් විශාල සංඛ්‍යාවක් යෙදවූ පැරණිම ජනපද වලින් එකක් විය. බටහිර අප්‍රිකාවේ වී වගා කරන පෙදෙස් වලින් පැමිණි අප්‍රිකානු ජාතිකයින් මාර්ගයෙන් 1690 ගණන් වලදි වී වගාව හඳුන්වා දෙන ලදි. පැරණි යටත් විජිත කාල සීමාව මුලුල්ලේම උතුරු කැරොලිනාව ප්‍රත්‍යන්ත දේශයක්ව පැවතුනි.

පළමුවෙන් උතුරු කැරොලිනාව දේශපාලනික වශයෙන් බෙදුනේය. එහි ජනවාර්ගික සංයුතියට මුල් පදිංචි කරුවන්ද බාර්බඩෝස් වලින් පැමිනි ධනවත් වහල් හිමි ඉංග්‍රිසි පදිංචි කරුවන් කණ්ඩායමක් සහ හ්‍යු ගුනොට්ස් නම් ප්‍රංශ භාෂාව කථා කරන ප්‍රෙතෙස්තන්තවාදින් පිරිසක් ද ඇතුලත් වූහ. විලියම් රජුගේ යුද්ධය සහ ඈන් රැජිණගේ යුද්ධය නම් වූ යුගවල නොකඩවාම වාගේ පැවති දේශසීමා යුද්ධ වැවිලිකරුවන් හා වෙළඳුන් අතර ආර්ථික සහ දේශපාලනික විභේදනයකට බල පෑවේය. 1715 දී යමසි යුධ ව්‍යසනය දශක ගණනාවක දේශපාලන කැළඹිලි තත්වයකට හේතු විය. 1729 වන විට ඉඩම් හිමිකාර රජය බිඳ වැටි තිබුනි. හිමිකරුවෝ ජනපද දෙකම බ්‍රිතාන්‍ය රජයට විකුණා දැමූහ.

නව එංගලන්තය[සංස්කරණය]

පිල්ග්‍රිම්ස්[සංස්කරණය]

පිල්ග්‍රිම්ස් යනු කුඩා ප්‍රොතෙස්තන්ත නිකායකි. එංගලන්තය සහ නෙදර්ලන්තය එහි මූලස්ථානය විය. මින් එක් කණ්ඩායමක් මේෆ්ලවර් හි නැගී යාත්‍රා කොට පැමිණ සුලු කලකට නිව්යෝර්ක් හි නැවති අනතුරුව මැසචුසෙට්හි පැලපදියම් වූහ. මේෆ්ලවර් ගිවිසුම සකස් කිරීමෙන් පසු ඔවුහු 1620 දී ප්ලිමත් කොළනිය නම් ජනපදය පිහිටවූහ. ඉහත ගිවිසුමෙන් ඔවුනට ස්වයං පාලනය සඳහා පුළුල් බලතල ලැබුනි. මෙම ප්ලිමත් ජනපදය පසුව මැසචුසෙට්ස් බේ ජනපදය සමග ඒකාබද්ධ විය. ඔවුන්ගේ ප්‍රධාන නායකයා විලියම් බ්‍රැඩ්ෆර්ඩ් විය. කනෙක්ටිකට් ජනපදය ඉංග්‍රිසි ජනපදයක් වූ අතර එය පසුව එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රාන්තය විය. මුලින්ම රිවර් (River) ජනපදය ලෙස හැඳින් වූ එම ජනපදය 1636 මාර්තු 3 දින ප්‍යුරිටන් ප්‍රභූන් වෙනුවෙන් වූ ක්ෂේමස්ථානයක් ලෙස සකස් කරන ලදි. නැරැගැන්සෙට් සැකෙම් කැනොනිකස් (Narragansett sachem Canonicus) විසින් පරිත්‍යාග කරන ලද භූමියේ දේවධර්මධරයෙකු, බැප්ටිස්ට් දේශකයෙකු සහ භාෂාවේදියෙකු වූ රොජර් විලියම්ස් විසින් 1630 දී Providence plantation ආරම්භ කරන ලදි. මැසචුසෙට් නිව් ජනපදයේ ආගමික හිරිහැර වලින් මිදි පලා යන රොජර් විලියම් ඔහුගේ අනුගාමික පදිංචිකරුවන් සමග සැමවිටම සමාන අයිතිවාසිකම් දිය යුතු යයි කියන ව්‍යවස්ථාවක් මත "හෘදය සාක්ෂියේ නිදහස" සහ "සිවිල් දේවල්" පාලනය සඳහා එකඟ විය.

ප්‍යුරිටන් නිකායිකයින්[සංස්කරණය]

පිල්ග්‍රිම්ස් වරුන්ට වඩා විශාල කණ්ඩායමක් වූ ප්‍යුරිටන්වරු 400 ක් පදිංචිකරුවන් සමග 1629 දී මැසචුසෙට් බේ කොළනිය ආරම්භ කළහ. නව ලෝකයේ නව පිරිසිදු දේවස්ථානයක් නිර්මාණය කරමින් එංගලන්ත පල්ලිය හැඩ ගැස්වීම අපේක්ෂා කළ ප්‍යුරිටන් වරුන් නම් මෙම කණ්ඩායමයි. අවුරුදු 2 ක් තුල අතිරේක පදිංචිකරුවන් 2000 ක් පැමිණයහ. ප්‍යුරිටන්වරු ආගමික පැත්තට අතිශයින් නැඹුරු වූ සමාජයීය වශයෙන් එකට බැඳුනු, දේශපාලනික වශයෙන් නව අදහස් ඇති සංස්කෘතියක් නිර්මාණය කළ අතර අද ද එක්සත් ජනපදයේ පැවතෙන්නේ එයයි. මෙම නව භූමිය ගැලවුම්කාරයින්ගේ දේශයක් වේ යයි ඔවුන්ගේ බලාපොරොත්තුව විය. සැබෑ ආගමක් අපේක්ෂාවෙන් ඔව්හු එංගලන්තයෙන් පිටමංවී පැමිණ මුලු යුරෝපයටම ආදර්ශයක් වන පරිදි දැඩි ආගමික භක්තියෙන් යුතු සාධාරන රාජ්‍යයක් නැතහොත් සාන්තුවරයන්ගේ දේශයක් ඇ‍ෙමරිකාවේ ඇති කිරීමට උත්සාහ ගත්හ. ආගමික සාධාරණත්වය රාජ්‍යයේ සහ පල්ලියේ වෙන් වීම සහ එංගලන්ත පල්ලිය සමග සබඳතා නැවැත්වීම ආදිය ගැන දේශනා කළ රොජර් විලියම් රටින් පිටුවහල් කරන ලදුව රෝඩ් අයිලන්ඩ් ජනපදය ආරම්භ කළේය. පසුව එය ප්‍යුරිටන් ප්‍රජාවෙන් වෙන් වූ අනෙක් ආගමික සරණාගතයින් සඳහා ක්ෂේම ස්ථානයක් විය. මෙපරිදිම ඈන් හචින්සන් නම් ඇන්ටිනොමියනිස්ම් දේශිකාව ද රෝඩ් දිවයින වෙත පිටුවහල් කරනු ලැබීය.

ප්‍යුරිටන් නිකායික නව එංගලන්තය ආර්ථික වශයෙන් එහි මුල් ආරම්භකයන්ගේ බලාපොපොරොත්තු මල්ඵල ගැන්වූයේය. චෙසපික් කලාපයේ තිබූ මුදල් ඉලක්ක කර ගත් වගා ක්‍රමය ප්‍යුරිටන් ආර්ථිකයට වෙනස් විය. තනි තනි වගාකරුවන් ඔවුන්ගේ ඉලක්කය විය. මෙම වගා කරුවන් ඔවුන්ට සෑහෙන තරම් ආහාර භෝග නිෂ්පාදනය කොට ඔවුන්ට අවශ්‍ය, එහෙත් නිෂ්පාදනය කර ගත නොහැකි භාණ්ඩ සඳහා ඔවුන්ගේ අතිරික්තය හුවමාරු කර ගත්හ. නිව් එංගලන්තයේ තිබුණූ ආර්ථික ස්ථාවරය සහ ජීවන තත්වය චෙසපික් ප්‍රදේශයට වඩා උසස් විය. අනෙක් අතට සුළු වැටුපක් දීම නැතහොත් ආහාර සැපයීමේ ක්‍රමය මත නවාතැන් සැපයිය හැකි ඕනෑම කෙනෙකුට අවුරුද්දක කාලයට නගරයේ දිළිඳු පවුල් කුලියට දීමේ හැකියාව නිව් එංගලන්තයේ නගර ප්‍රධානින්ට තිබුනේය. ගොවිතැන් සංවර්ධනය සමග නව එංගලන්තය ඉතා වැදගත් වාණිජ සහ නැව් තැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් විය. දකුණු ප්‍රදේශයේ සහ යුරෝපය අතර කෙරෙන වෙළඳ ගණුදෙනුවල ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස එය සේවා සැපයුවේය.

බ්‍රිතාන්‍ය කොළණිවල ඒකාබද්ධ වීම[සංස්කරණය]

පොදු ආරක්ෂාවක්

ජනපද වාසීන්ට බ්‍රිතාන්‍ය පුරවැසියන් ලෙස ඔවුන්ගේ හවුල් අනන්‍යතාවය මතක් කර දුන් එක් අවස්ථාවක් වූයේ 1740 - 48 කාලයේ යුරෝපයේ ඇතිවූ ඕස්ට්‍රියානු අනුප්‍රාප්තික යුද්ධයයි. මෙම සටන පිළිබඳ තොරතුරු ජනපද තුළට ගලා ආවේය. එහිදි එය හැඳින්වූයේ "ජෝර්ජ් රජුගේ යුද්ධයයි" යනුවෙනි. බොහෝ සටන් යුරෝපයේදී සිදු විය. බ්‍රිතාන්‍ය ජනපද හමුදා ප්‍රංශ කැනඩාවට පහර දුන්හ.

ආරක්ෂාව ව්‍යාප්තිය සහ ඉන්දියානු කටයුතු නිරීක්ෂණය කරන මහා කවුන්සිලයක් මගින් ජනපද ඒකාබද්ධ විය යුතු යයි බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් 1754 වර්ෂයේ ඇල්බෙනි කොංග්‍රසයේදී යෝජනා කළේය. යටත් විජිත නීති සම්පාදක මණ්ඩලය මගින් සහ දෙවැනි ජෝර්ජ් රජු විසින් සැලසුම ප්‍රතික්ෂේප කල අවස්ථාවේදි පැහැදිලි වූ කරුණක් වූයේ උතුරු ඇමෙරිකාවේ ජනපද ඒකාබද්ධ වීමක් කරා ගමන් කරමින් සිටින බවයි.

ප්‍රංශ සහ ඉන්දියානු සටන්


ඉන්දියන් යුද්ධ කාලයේ - ජොර්ජ් වොෂින්ටන් "හත් අවුරදු යුද්ධය" යනුවෙන් හැඳින්වුනු මහා යුරෝපීය යුද්ධයේ ඇමෙරිකානු ව්‍යාප්තිය ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධය විය. (1754 - 1763)

යුද්ධය හඳුන්වන ලද්දේ "ප්‍රංශ සහ ඉන්දියන්" වශයෙනි. මක්නිසාද කියතොත් බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයින් එකිනෙකාට එරෙහිව දශක ගණනක් තිස්සේ සාර්ථකව ගැටෙන්නට සැලැස්වූ ඉරොක්වා කල්ලිය (Iroquois Confederacy) බ්‍රිතාන්‍ය වැඩි බලයක් අත් කර ගනිමින් සිටින බව දැක සම්පූර්ණයෙන්ම ප්‍රංශ ජාතිකයින්ගේ පැත්ත ගත් හෙයිනි. මෙම ප්‍රයත්නය සාර්ථක නොවුනු අතර ප්‍රංශ ජාතිකයින් පරාජයට පත් විය. 1763 පැරිස් ගිවිසුමේදි ප්‍රංශය විසින් ඔවුන්ගේ විශාල ප්‍රදේශයක පැතිරුණු උතුරු ඇමෙරිකන් ආධිපත්‍ය බ්‍රිතාන්‍යයට පවරා දෙන ලදී.

ඕනෑම ප්‍රයත්නයක් දරා ප්‍රංශයට එරෙහි යුද්ධය ජය ගත යුතු යයි ජේෂ්ඨ විලියම් පිට් තීරණය කළ අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ උතුරු ඇමෙරිකානු ජනපදිකයින්ට ප්‍රංශ සහ ඉන්දියානු යුද්ධය යන්න අලුත් වැදගත් කමක් පෙනුණේය. "ලෝක යුද්ධයක්" යනුවෙන් නම් කළ හැකි ස්ථානවලින් එකක් ලෙස ප්‍රථම වතාවට ඇමෙරිකාව පත් විය. යුද්ධ කාලයේදි බ්‍රිතාන්‍ය හමුදාව සහ නිලධාරීන් ඇමෙරිකානු ජීවිත කෙරෙහි වැඩි වශයෙන් සැළකිල්ලක් දැක්වීමෙන් පැහැදිලි වූයේ බ්‍රිතාන්‍ය කොළණි යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටස් වන බවයි. (මෙම කොළණි හෙවත් ජනපද වලට මුල් ජනපද දහතුනද ඇතුලත් විය. මේවා සියල්ල පසුව එක්සත් ජනපදය බිහිවීමට පදනම විය) යුද්ධය නිසා වෙනත් මාර්ග වලින්ද ඇමෙරිකන් එක්සත් භාවය පිළිබඳ හැඟීම වැඩි විය. එය කිසිදාක තම ජනපදයෙන් පිටතට නොගියා යයි සිතිය හැකි පිරිමි මහාද්වීපය පුරා ගමන් කර වීමට සැළැස් විය. ඒ යන අතර වාරයේ විවිධාකාර එහෙත් ඇමෙරිකන් පසු බිම සහිත තවත් මිනිසුන් සමග එකට එක් වී සටන් කිරීමට සිදු විය. යුද්ධය පැවති මුලු කාලය පුරාම බ්‍රිතාන්‍ය නිලධාරීහු ඇමෙරිකන්වරුන් යුද්ධය සඳහා පුහුණු කළ අතර එය පසු කාලයේ ඇමෙරිකන් විප්ලවයට රුකුලක් විය. (මෙසේ පුහුණුව ලත් එක් සුවිශේෂ පුද්ගලයෙකු වූයේ ජෝර්ජ් වොෂින්ටන්ය) ආණ්ඩුවේ නීති සම්පාදකයින්ට සහ නිලධාරින්ටද යුද්ධය සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සහභාගි වීමට සිදු විය. මහද්වීපය පුරා පැතිරුණු යුද්ධය වෙනුවෙන් එසේ කිරිමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය විය හැකිය. බ්‍රිතාන්‍යයේ සහ ජනපද වාසීන් පොදු සතුරෙකු වෙනුවෙන් එක් වී සටන් කර ජයග්‍රහණය කළහ. තම මව් රට‍ට ජනපද වාසින්ගේ තිබුණු පක්ෂපාතිත්වය පෙර කිසිදාක නොතිබුණූ තරමට දැඩි විය. කෙසේ වෙතත් වෙන්වීම ආරම්භ වෙමින් තිබුනි. බ්‍රිතාන්‍ය අගමැති වූ ජේෂ්ඨ විලියම් පිට් ජනපදවල හමුදා යොදා ගෙන බ්‍රිතාන්‍යයෙන් බදු මුදල් ආධාර ලබා ගෙන ජනපද තුල යුද්ධ කිරීමට තීරණය කළේය. මෙය යුද්ධ කාලීන සාර්ථක උපක්‍රමයක් වූ නමුත් යුද්ධය අවසාන වූ පසු දෙපැත්තම කල්පනා කළේ යුද්ධය විසින් අනිත් පාර්ශවයට වඩා තමනට විශාල විනාශයක් ගෙන ආ බවයි. යුරෝපයේ අනික් හැම රටකටම වඩා අධික ලෙස බදු ගෙවූ බ්‍රිතාන්‍ය ජනතාව කොළණි විසින් රාජකීය භාණ්ඩාගාරයට ගෙවන්නේ සුලු බදු ප්‍රමාණයක් පමණක් බව කේන්තියෙන් පෙන්වා දුන්හ. තමන්ගේ වුවමනාවට වඩා යුරෝපීය අවශ්‍යතාවයක් වෙනුවෙන් තමන්ගේ දරුවන් යුද්ධ කොට මිය ගිය බව ජනපද වාසීහු පිළිතුරු දුන්හ. ජනපදිකයින්ගේ නුසුදුසු විනයානුකූල නොවූ හැසිරීම් රටාව නිසා එම සෙබලුන් දුබල වුණු බව බ්‍රිතාන්‍යය කියා සිටියේය. මෙම අරගලය පසුව සිදුවු ඇමෙරිකන් විප්ලවය නැමැති සිදු වීම් දාමයේ එක් පුරුකක් විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට බැඳීම[සංස්කරණය]

ජනපද එකිනෙකට බොහෝ වෙනස් වූවද ඒවා එතෙක් නමට පමණක් සීමා නොවූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් විය.

සමාජීය වශයෙන් බොස්ටන්, නිව්යෝර්ක්, චාර්ල්ස්ටන්, සහ ෆිලඩෙල්පියා ආදි නගර වල යටත් විජිත ප්‍රභූවරු තමන් බ්‍රිතාන්‍යයන් සේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කෙදිනකවත් එංගලන්තයට ගොස් නොතිබුනේ වී නමුදු ඇඳුම් වලින්, නැටුම් සහ ආචාර සමාචාර විධි වලින් බ්‍රිතාන්‍යයන් අනුකරණය කළහ. මෙම පිරිස ජෝර්ජියන් ක්‍රමයට විශාල මන්දිර තැනූහ. තෝමස් චිපන්ඩේල්ගේ ගෘහ උපකරණ මෝස්තර අනුකරනය කළ අතර යුරෝපයේ බුද්ධිමත් පිරිස අනුගමනය කළ අවබෝධතා ඥාණය ලබා ගැනීම වැනි කාර්යයන්ටද සහභාගි වූහ. එහි ඔවුන්ගේ බොහෝ දෙනෙකුට යටත් විජිත ඇමෙරිකාවේ වරාය ආශ්‍රිත නගරයන් ඇත්තටම බ්‍රිතාන්‍ය නගරයක් විය.

ජනපදවල දේශපාලන ව්‍යුහයේ බොහෝ අංශයන් විවිධාකාර ඉංග්‍රිසි දේශපාලනික සම්ප්‍රදායයන් මත හැඩ ගැසුනි. මෙයින් කොමන්වෙල්ත්මන් සහ 19 සියවසේ ලිබරල් වාදින්ගේ සම්ප්‍රදායයන් වඩාත් කැපී පෙනුනේය. ජනපදවල පාලන ක්‍රම ඒ කාලයේ බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව ආදර්ශයට ගෙන සකස් කළ ඒවා බව බොහෝ ඇමෙරිකානුවන්ට පෙනි ගියේය. ඒ අනුව රජුට අනුරූපව ජනපද වල ආණ්ඩුකාරයාද එංගලන්ත පාර්ලිමේන්තුවට කොළනි සභාද (Coloniol assembly) බ්‍රිතාන්‍ය සාමී මණ්ඩලයට ආණ්ඩුකාර කවුන්සිලයද අනුරූප විය. ජනපදවල නීති සංග්‍රයන්ද ඉංග්‍රිසි නීතියට එක එල්ලේම සමාන විය. ඇත්තෙන්ම ඉංග්‍රීසි පොදු නීතිය (Common Law) පවතින්නේ කැනඩාවෙහි පමණක් නොවේ. එය වර්තමාන එක්සත් ජනපදයේ ද ව්‍යවහාර වේ. කල්යාමේදී මෙම දේශපාලන ආදර්ශයන් අර්බුදයට ලක් විය. විශේෂයෙන් දේශපාලන නියෝජනය සහ ඇමෙරිකානු විප්ලවයට මුල් වූ නව පරපුර අතර එකඟතාවයක් නොතිබුණි.

වෙනස් කම්වලට වඩා බොහෝ සමාන යයි ජනපදවාසීන් තේරුම් ගත් තවත් කරුණක් වූයේ විශාල ලෙස බ්‍රිතාන්‍ය භාණ්ඩ ආනයනයයි. 17 වෙනි සියවසේ අග සහ 18 වෙනි සියවසේ මැද භාගය වන විට බ්‍රිතාන්‍ය ආර්ථිකයේ සීඝ්‍ර වර්ධනයක් වෙමින් පැවතුනි. එරටට පාවිච්චි කර අවසාන කළ නොහැකි තරම් ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයේ කුඩා කම්හල් විසින් නිපදවමින් තිබුනේය. තමන්ගේ භාණ්ඩ වලට හොඳ වෙළඳ පොළක් සෙවු බ්‍රිතාන්‍යයෝ උතුරු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපද ඒ සඳහා සුදුසු යයි තේරුම් ගෙන ඒ ප්‍රදේශවලට කෙරෙන තමන්ගේ අපනයන වෙළඳාම 1740 සහ 1770 කාලය තුල 360% කින් වැඩි කළේය. බ්‍රිතාන්‍ය වෙළඳුන් ඉතා නොමසුරුව ණය පහසුකම් ආදිය ප්‍රදානය කළ හෙයින් ඇමෙරිකානුවන් විශාල ලෙස බ්‍රිතාන්‍ය බඩු මිළට ගත්හ. නෝවාස්කෝශිකාවේ සිට ෆ්ලොරිඩාව දක්වා සියලුම බ්‍රිතාන්‍ය පුරවැසියෝ ඉංග්‍රිසි ජාතිකත්වයේ පොදු අනන්‍යතාවය පෙන්වමින් බ්‍රිතාන්‍ය නිෂ්පාදනයන් මිළ දී ගත්හ.

යටත්විජිතවාදී දිවි පැවැත්ම[සංස්කරණය]

නව එංගලන්තය[සංස්කරණය]

නව එංගලන්තය ජනාවාස කිරීමේදි ප්‍යුරිටන්වරු ගොවියන්ගේ සහ ඔවුන්ගේ පවුල් වලින් සැදුම් ලත් ස්වයං පාලන ආගමික සංවිධාන නිර්මාණය කළහ. ඉහළ පෙලේ දේශපාලනඥයින් පිරිමි පදිංචි කරුවන්ට හෝ ඉඩම් හිමියන්ට ඉඩම් දුන්හ. ඔව්හු පසුව ඒවා ඔවුනොවුන් අතර බෙදා ගත්හ. විශාල ඉඩම් කොටස් සමාජයේ ඉහළ පැළැන්තියේ අයට දුන් නමුත් සෑම සුදු මිනිසෙකුටම තම පවුලේ අවශ්‍යතාවය පිරිමැසීමට සෑහෙන ඉඩම් තිබුනි. එමෙන්ම තවත් වැදගත් කරුණක් වූයේ සෑම සුදු මිනිසෙකුටම නාගරික සභාවේදි කථා කිරීමේ අයිතිය තිබීමයි. නාගරික සභාව බදු අය කළේය. පාරවල් තැනුවේය. නගරයේ කටයුතු කර ගෙන යාමට නිලධාරින් තෝරා ගත්තේය.

ප්‍යූරිටන්වරු විසින් ආරම්භ කරන ලද පෙර කී දේවස්ථානයට නව එංගලන්තයේ සියලු නිවැසියන් සම්බන්ධ නොවූහ. එයට හේතුව දෙවියන් වහන්සේ විසින් පාපයෙන් ගලවා ගැනීම සඳහා තෝරා ගන්නේ විශේෂිත මනුෂ්‍යයින් සුලු පිරිසක් පමණක්ය යන ප්‍යුරිටන් විශ්වාසයයි. ඒ වෙනුවට දේවස්ථානයේ සාමාජිකයන් ඉදිරියේ කැමැත්තෙන් පරික්ෂාවක් පිණිස ඉදිරිපත් වන අයට එහි සාමාජිකත්වය සිමා විය. ඔවුන් හඳුන්වන ලද්දේ ‘තෝරා ගනු ලැබු’ නැතහොත් ‘සාන්තුවරු’ වශයෙනි. එමෙන්ම මෙම පිරිස නව එංගලන්ත ජනපදයේ ජනගහණයෙන් 40% කට අඩු පිරිසක් විය.

ගොවිපල ජීවිත[සංස්කරණය]

නව එංගලන්තයේ වැඩි දෙනෙකු ගොවියෝ වූහ. මෙම කුඩා ගොවි පවුල් මෙන්ම ඉංග්‍රිසි පවුල් තුල ද දේපළ හා බිරිඳ සම්බන්ධ සම්පූර්ණ බලය පුරුෂයා සතු විය. විවාහ වූ විට ස්ත්‍රියට ඇයගේ විවාහයට පෙර තිබූ නම ද පෞද්ගලික අනන්‍යතාවයද අහිමි විය. එයින් අදහස් වූයේ ඇයට දේපළ අයිති කර ගත නො හැකි බවත්, නඩු කිමට මෙන්ම වැන්ඳඹුවක් වූ පසුව වුව ද දේශපාලන කටයුතුවල යෙදිය නොහැකි බවත්ය. සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහි කර ඔවුන් බලා කියා ගැනීමත් ස්වාමි පුරුෂයාට උදව් කිරිමත් ස්ත්‍රී පක්ෂයට පැවරුණු කාර්යභාර්ය විය. බොහෝ ගැහැණු මෙම කාර්යයන් කර ගෙන ගියහ. 18 වෙනි සියවසේ මැද භාගයේදි ගැහැණු සාමාන්‍යයෙන් ඔවුන්ගේ වයස අවුරුදු විස්සේ දී විවාහ ජීවිතයට ඇතුලු වූ අතර දරුවන් හයේ සිට අට දක්වා ප්‍රමාණයක් බිහි කළහ. මොවුන් ගෙන් බොහෝ දෙනෙක් වැඩි හිටි වියට පත් වන තෙක් ජීවත් වූහ. ලොම් නූල් කැපීම, ස්වීටර් සහ මේස් ගෙතීම, ඉටි පන්දම් සහ සබන් නිපදවීම, කිරි වලින් බටර් නිෂ්පාදනය වැනි තම පවුලේ අයට අවශ්‍ය බොහෝ ද්‍රව්‍ය ගොවිපලවල ස්ත්‍රීන් විසින් නිෂ්පාදනය කරන ලදි.



දිගු කාලීන ආර්ථික වර්ධනය[සංස්කරණය]

බොහෝ නව එංගලන්ත දෙමාපියන් ඔවුන්ගේ පුතුන්ට ඔවුන්ගේම ගොවිපලවල් ආරම්භ කිරීමට උදව් කළහ. පුතුන් විවාහ වූ විට පියවරු ඔවුනට තෑගි වශයෙන් ඉඩම් ද, සත්ව පාලනය කිරිමට අවශ්‍ය සතුන් ද, නැතහොත් ගොවි උපකරණ ආදිය දුන් අතර දියණියන්ට ගේ දොර උපකරණ ගොවිපලවලට අවශ්‍ය සතුන් නැතහොත් මුදල් දුන්හ. විවාහ යෝජනා වැනි විධිමත් ක්‍රම විවාහ සම්බන්ධයෙන් බොහෝ විට භාවිතා නොවීය. සාමාන්‍යයෙන් ළමයින් කාළේ ඔවුන් දන්නා අඳුනන තමන්ගේ වත් පොහොසත්කම්වලට සහ ආගමට ගැලපෙන සහකාරිය සොයා ගැනීමය. දරුවන්ගේ විවාහය සම්බන්ධයෙන් නිෂේධ බලය දෙමාපියන් සතු විය.

ප්‍රදේශයේ ගස් බහුලව තිබුණු බැවින් නව එංගලන්තයේ ගොවි පවුල් සාමාන්‍යයෙන් දැවයෙන් කරන ලද නිවාස වල ජීවත් වූහ. සාම්ප්‍රදායික නව එංගලන්ත නිවසක් මහල් එකහාමාරක උසකින්ද ශක්තිමත් විශාල හතරැස් දැවයෙන් කෙරුණු රාමුවකින්ද යුක්ත විය. මේවා ආවරණය කිරීමට දැව හෝ පුවරු යොදා ගන්නා ලදි. විශාල උදුනක් ද සහිතව දුම් කවුලුවක් නිවසේ මැද තිබුනි. එය ඉවුම් පිහුම් කටයුතු වලට මෙන්ම ශීත කාලයේ නිවාස උණුසුම් කිරීමටද ප්‍රයෝජනයට ගන්නා ලදි. පහළ මාලයේ එක පැත්තක ශාලාවක්ද සාමාන්‍ය පොදු කටයුතු සඳහා වූ කාමරයකින්ද යුක්ත විය. පවුලේ අය වැඩ කළේත් කෑම කෑවේත් මෙම පොදු කාමරයෙහිය. ශාලාවට යාබදව ඇතුලු සාලයක් විය. මෙය අමුත්තන්ගේ හා විනෝද වීමට යොදා ගත් අතර නිවෙස් අගනාම ලී බඩුද දෙමාපියන් නිදන ඇඳද එහි තිබුනේය. ළමයින් උඩු මහලේ කුඩා කාමරයේ නිදා ගත්හ. ශාලාවේ එක පැත්තක හෝ එසේ නැතිනම් නිවසේ පසු පස තැනූ කුඩා මඩුවක මුලු තැන් ගෙය විය. මෙම ජනපද වාසි පවුල් වල සංඛ්‍යාව වැඩි වීම නිසා කුඩා නිවස නිතරම කලබලකාරී විය. පෞද්ගලිකත්වයක් නොතිබුණි.

18 වෙනි ශත වර්ෂය වන විට ‍මෙම ජීවන ක්‍රමය අර්බුදයට ලක් වෙමින් තිබුනේ ප්‍රදේශයේ ජනගහනය එක් පරම්පරාවක් තුළ දෙගුණයකින් තරම් වැඩි වූ බැවිනි. එය 1700 දී 100000 ක්ද 1725 දී 200000 ක්ද වූ අතර 1750 වන විට 3,50,000 ක් විය. මෙසේ වුයේ ගොවිපල නිවාසවල ළමයින් සංඛ්‍යාව අධික වීමයි. බොහෝ දෙනෙකු ජීවත් වූයේ අවුරුදු හැට දක්වා පමණි. මැසචුසෙට් කනෙක්ටිකට් සහ රෝඩ් අයිලන්ඩ් හි ජනපද වාසීන් ඔවුන්ගේ ඉඩම් ගොවීන් අතර තව දුරටත් බෙදීම නොකඩවා කර ගෙන යාම නිසා ඉතිරි වූ ඉඩම් පවුලක වුවමනා පිරිමැසිමට ප්‍රමාණවත් නොවීය. නිදහස් ගොවිජනතාවගේ සමාජයක් යන ආදර්ශය මෙම ජනගහනය වැඩි වීම හෙතුවෙන් නව එංගලන්ත ජනපදය තුළ තර්ජනයට ලක් විය.

සමහර ගොවීන් මැසචුසෙට්හි සහ කනෙක්ටිකට් ප්‍රාන්තවලින් ගොවිපලවල් ඇති කිරීම සඳහා ඉඩම් ප්‍රතිපාදන ලබා ගත්හ. නැතහොත් නිව් හැම්ප්ෂයර්වල විශාල ව්‍යපාරිකයන්ගෙන් ඉඩම් මිළදී ගත්හ. පසුව 'වර්මොන්ට්' ලෙසින් හැදින්වුනේ මෙම නිව් හැම්ප්ෂයර් ප්‍රදේශයයි. අනෙකුත් ගොවීහු කෘෂිකර්මාන්තයේ විවිධ ක්‍රම අත්හදා බැලූ අය වූහ. ඔවුහු රෙඩ් ක්ලවර් (Red Clover) සහ තිමති ග්‍රාස් (Timothy - grass) වැනි පෝෂ්‍ය ගුණයෙන් අධික ඉංග්‍රිසි තණ කොළ වර්ග වැවූහ. මේවා සතුන්ට ද අලවගාවට ද වැඩි ආහාර ප්‍රමාණයක් සැපයීය. මෙයින් නිෂ්පාදන ප්‍රමාණය ඉහල ගිය අතර එය කුඩා ගොවිපලවලට වාසිදායක විය. ඔවුහු තමන්ගේ සතුන් සහ තණ බිම් එකිනෙකාට ණයට දුන්හ. නූල් කැපීම පුලුන් පිරවූ ඇති රිලි සහ ඉරිඟු ඇට නෙලීම වැනි කාර්යයන්හිදි ඔවුහු එක් වී වැඩ කළහ. පිටින් පැමිණි නව කෘෂිකාර්මික ක්‍රමවේදයන් සහ ආර්ථික සහයෝගීතාවය යන කරුණු නව එංගලන්තයේ සාමාන්‍ය ගොවි සමාජ 19 වෙනි ශත වර්ෂය දක්වා සුරක්ෂිතව පවත්වා ගෙන යාමට හේතු වූ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් විය.

නාගරික ජීවිත[සංස්කරණය]

ලුණු පෙට්ටි ආකාරයේ නිවාස - 1650 න් පසු නිව් එංගලන්තයේ ආරම්භ කරන ලදී.

1750 වර්ෂය වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති ගොවිපල ආශ්‍රිත ජනතාවට විවිධාකාර ශිල්පීන්, සාප්පු හිමියන් සහ වෙළෙඳුන් තමන්ගේ සේවාවන් සැපයූහ. කම්මල්කරුවෝ, කරත්ත රෝද සාදන්නන්, වඩු කාර්මිකයින් යනාදීහු ගම්බද පෙදෙස්වල තමන්ගේ සේවා ස්ථාන පිහිටුවා ගත්හ. ගොවිපල ප්‍රජාවට අවශ්‍ය දේවල් නිෂ්පාදනය හා අලුත් වැඩියාවන් ඔවුන් අතින් සිදු විය. වෙළෙඳුන් විසින් රෙදි, ලෝහ උපකරණ සහ ජනෙල් වීදුරු වැනි ඉංග්‍රීසි නිෂ්පාදන මෙන්ම සීනි සහ උක් පැණි ආදි බටහිර ඉන්දීය නිෂ්පාදන විකිණීම සඳහා අලෙවි සැල් පිහිටුවන ලදි. සාප්පු හිමිකරුවෝ ඔවුන්ගේ ආනයනික භාණ්ඩ විකුණා මුදල් වෙනුවට ධාන්‍ය සහ වෙනත් ප්‍රාදේශීය නිෂ්පාදන, ලී සෙවිලි තහඩු, පීප්ප නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලෑලි, සහ පොටෑෂ්ද ලබා ගත්හ. මෙම ප්‍රාදේශීය වෙළඳ ද්‍රව්‍ය අත්ලාන්තික් වෙරළ දිග පිහිටි කුඩා සහ මහ නගර වෙත නැව් ගත කරන ලදී. ව්‍යාපාර ගැන උනන්දුවක් තිබූ ඇතැම්හු බඩු ගැල් ගෙන යන මාවත්හි අශ්ව ඉස්තාල සහ තෑබැරුම්ද පිහිටුවූයේ මෙම ප්‍රවාහන ක්‍රමයේදී සේවා සැපයීම සඳහාය.

මෙම නිෂ්පාදන ද්රව්යයන් බොස්ටන්, මැසචුසෙට්හි සලෙම් කනෙක්ටිකට්හි නිව් හැවන් සහ රෝඩ් දිවයිනේ නිව්පෝර්ට් සහ ප්රොවිඩන්ස් යනාදි වරායන් ආශ්රිත නගර වලට ප්රවාහනය කිරීමෙන් පසු වෙළඳුන් විසින් ඒවා බටහිර ඉන්දීය කොදෙව් වෙත අපනයනය කරන ලදි. එහිදී එම ද්රව්ය උක්පැණි (මොලෑසස්) සීනි, රත්රන් කාසි සහ විනිමය බිල් පත් සඳහා හුවමාරු කෙරුනි. නැවත මෙම ඉන්දීය දූපත් වල භාණ්ඩ නිව් එංගලන්තයේ කර්මාන්ත ශාලා වෙත ගෙන යන ලදී. එහිදී අමු සීනි කැට බවට පත් කෙරුනි. සීනි සහ උක් යුෂ වලින් 'රම්' නැමති මත් පැන් නිෂ්පාදනය සිදු විය. රත්රන් සහ විනිමය බිල්පත් එංගලන්තය වෙත යවන ලදී. එහිදී ඒවා නිෂ්පාදිත භාණ්ඩ සමග හුවමාරු කර එම නිෂ්පාදන භාණ්ඩ නැවතත් ජනපද කරා නැව් ගත කරන ලදි. මේවා සීනි සහ රම් සමග ගොවීන්ට විකුණන ලදී.

තවත් නිව් එංගලන්තයේ වෙළඳුන් පිරිසක් අත්ලාන්තික් වෙරළ තීරයේ බහුලව තිබුණු මත්ස්ය සම්පතෙන් ප්රයෝජන ගැනීමේ අරමුණ ඇතිව මාලු ඇල්ලීමේ යාත්රාවන් විශාල ප්රමාණයක් වෙනුවෙන් මුදල් යෙදවූහ. එයින් අල්ලා ගත් මැකරල් සහ කොඩ් මත්ස්යයින් බටහිර ඉන්දීය දූපත් වලට සහ යුරෝපයට ප්රවාහනය කරන ලදී. සමහර වෙළෙන්දෝ උතුරු නව එංගලන්තයේ ගංගා සහ වෙරළ ආශ්රිතව පැතිරි තිබුණු දැව සම්පතෙහි අධික සේ ලාභ ලැබූහ. එම වෙළඳුන් නැව් කර්මාන්තයට සහ ගොඩනැගිලි තැනීමට අවශ්ය තුනි ලැලී නිෂ්පාදනය කරන ලී මෝල හිමියන් සඳහා මූල්ය අධාර සැපයූහ. නිව් එංගලන්තයේ සිටි සියගණනක් නැව් නිෂ්පාදකයින් මූදූ යාත්රා (නැව්) තනමින් ඒවා බ්රිතාන්ය සහ ඇමෙරිකානු වෙළඳුන්ට විකිණූහ.

බොහෝ වෙළඳුන්, කෘෂි කර්මාන්තයේ නියැලෙන්නට අවශ්ය දෑ සැපයීමෙන් අධික ලෙස ධනවතුන් බවට පත් වූහ. ඔවුහු වරාය ආශ්රීත නගරවල ඉහළ සමාජයේ වැජඹෙන්නන් බවට පත් වූහ. සාමාන්ය ගම්බද ගොවිජනතාවට මෙන් නොව මොවුහු එංගලන්තයේ උසස් පැළැන්තිය පිළිබිඹු කරන්නෝ වූහ. ඔවුන් ජෝර්ජියන් ක්රමයට අති ශෝභන මහල් නිවාස තැනවූහ. මෙම ජෝර්ජියානු නිවාස වල මැද ප්රධාන දොරටුවේ සිට දෙපැත්තට සමාන ගණනකින් යුක්තව ජනෙල් යොදා තිබුණි. නිවස අභ්යන්තරයේ පැසේජයක් තිබුණු අතර, පුස්තකාලය කෑම කාමරය, සාලය, ප්රධාන නිදන කාමර ආදී වශයෙන් වෙනස් ආකාරයේ කාමර පැසේජය දෙපස තිබුනි. ගැමි සුළු ගොවින්ගේ නිවෙස්වල බහු කාර්ය කාමර මෙන් නොව මෙම කාමර විශේෂිත කාරණා සම්බන්ධයෙන් වෙන වෙනම සකස් කළ ඒවා විය. මෙම ජෝර්ජියානු නිවෙස්වල පිරිමි ප්රධාන වශයෙන් පුස්තකාලය වැනි ඇතැම් කාමර පාවිච්චි කළ අතර ගැහැණු බොහෝ විට මුලු තැන් ගෙය පාවිච්චි කළහ. මේවායේ නිදන කාමර දෙමාපියන්ගේ සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි දෙවැනි තට්ටුවේ පිහිටුවා තිබුනේය.

සංස්කෘතිය හා අධ්‍යාපනය[සංස්කරණය]

- මැසචුසෙට්ස් ශාලාව, හාවඩ් විශ්වවිද්‍යාල‍යයේ දැනට නිරුපද්‍රිතව තිබෙන පැරණිතම ගොඩනැගිල්ල, නේවාසිකාගාරයක් ලෙස නිමවා ඇත්තේ 1718-1720 කාලයේදී

ප්‍රාථමික අධ්‍යාපනය නව එංගලන්තය පුරාම ව්‍යාප්තව තිබුණි. මුල් කලීන ප්‍යුරිටන් පදිංචිකරුවෝ බයිබලය ඉගෙනිම අත්‍යවශ්‍ය බව විශ්වාස කළහ. එබැවින් කුඩා කාලයේදීම ළමයින් කියැවීම පිණිස උගන්වන ලදී. සෑම නගරයක්ම ප්‍රාථමික පාසලක් සඳහා ගෙවිය යුතු බව දන්වා තිබුණි. මෙම නීතිය නිසා එංගලන්තයේ බොහෝ ළමයි යම් ආකාරයක විධිමත් අධ්‍යාපනයක් ලත් අය වූහ. සියයට 10 ක ප්‍රමාණයක් ද්වීතියක පාසැල් අධ්‍යයනය ලැබීමේ වරප්‍රසාද ලත් අතර විශාල නගර වල භාෂා පාසැල් සඳහා අරමුදල් ලබා ගත්හ. බොහෝ පිරිමි ළමයි ඔවුන්ගේ පියවරුන්ගෙන් පුහුණුව ලබා ගත් අතර ශිල්පීය දැනුම ලබා ගත්තේ ශිල්පීන් යටතේ ආධුනිකයන් ලෙසින් පුහුණු වීමෙනි. ගැහැණු ළමයි සුලු පිරිසක් විධිමත් පාසැල් වලට ගියහ. ඉතිරි බොහෝ අය නිවසේදීම කිසියම් අධ්‍යාපනයක් ලදහ. එසේ නැතහොත් ස්ත්‍රීන් විසින් නිවෙස්වලම උගන්වන (Dame school නමින් හැඳින්වෙන) පාසැල් වලින් කියවීමේ හා ලිවීමේ මූලික හැකියාව ලබා ගත්හ. 1750 වන විට නව එංගලන්තයේ සියයට අනූවක් පමණ ගැහැණූ සහ සියයට සීයක්ම වාගේ පිරිමින් ද කියවීමේ හා ලිවීමේ හැකියාව ලබා සිටියහ. නව එංගලන්තයේ බොහෝ දේවස්ථාන දේවගැතිවරුන් පුහුණු කිරීමේ විද්‍යාල පිහිටුවන ලදී. මේ අතර ප්‍යුරිටන්වරු උසස් අධ්‍යනය ලැබීම සඳහා උසස් අධ්‍යයන ආයතන ආරම්භ කළහ. 1636 දී ආරම්භ කළ හාවර්ඩ් අධ්‍යයන ආයතනය 1701 දී ආරම්භ කරන ලද සේල් කොලිජිය ද එවැනි ආයතන විය. පසුව බැප්ටිස්ට් සභාවේ අය 1764 දී බ්‍රවුන් විශ්ව විද්‍යාල අසල රොඩ් අයිලන්ඩ් කොලෙජ් නම් විද්‍යාපීඨය ද තවත් සභාවක දේව ගැතිතුමෙකු 1769 දී ධාර්ට්මත් විද්‍යාපීඨය ද ආරම්භ කළේය. උසස් අධ්‍යනයට හිමිකම් ඇත්තේ ධනවතුන්ට පමණයි කියන්නට මෙන් එම අධ්‍යාපන ආයතනට ස්ත්‍රී පක්ෂය නොමැතිව පිරිමි අය කීප දෙනෙක් පමණක් ඇතුළත් වූහ.

නව එංගලන්තය අගනා ශාස්ත්‍රීය කෘතින් බොහෝමයක් නිර්මාණයන් කළේය. සත්‍ය වශයෙන් කියතොත් අනිකුත් ජනපද සියල්ලේම එකතුවට වඩා වැඩි නිර්මාණ ප්‍රමාණයක් නව එංගලන්තයේ නිර්මාණය විය. මෙම කෘතිවලින් බොහොමයක් ඉතිහාස කථා, ආගමික දේශන, පෞද්ගලික සටහන් ආදිය විය. ඒවා ලියන ලද්දේ දේවගැතිවරුන් විසින් හෝ ආගමික විශ්වාසයන්ගෙන් උද්‍යෝගීමත් වූ අය විසිනි. බොස්ටන් දේවගැතිවරයෙකු වූ කොට්න් මාතර් "මැග්නේලියා ක්‍රිස්ටි ඇමෙරිකා" නම් (ඇමෙරිකාවෙහි ක්‍රිස්තුස් වහන්සේගේ මහා ක්‍රියාවන්) කෘතිය පළ කළේය. ඒ අතර ජොනතන් එඩ්වර්ඩ් 1754 දී (A careful and strict Enquiry Into) නම් දාර්ශනික කෘතිය ලිවේය. එමෙන්ම සංගීතයද ආගමික තේමාවලින් යුක්ත විය. ඒ මන්ද යත් නව එංගලන්තයේ දැඩි ආගමික විශ්වාසයන් විසින් ආගමික නැඹුරුවක් නොමැති හෝ ලෞකිකත්වයට නැඹුරු වූ කලා කෘති තහනම් කරන ලද බැවිනි. මෙයට නාට්‍යයද ඇතුලත් විය.

ආගම[සංස්කරණය]

ක්‍රිස්තියානි ආගම් චාරිත්‍ර, වාරිත්‍ර, විධික්‍රම යනාදිය භාවිතා කිරීමේ නිදහස සොයා සමහර සංක්‍රමණිකයන් මුල් යුගයේ අමෙරිකාවට පැමිණියාහ. මේවා එකල යුරෝපයේ තහනම් කර තිබුණු අතර එසේ කරන්න‍න්ට වදහිංසා පමුණුවනු ලැබිණ. එහි රාජ්‍ය ආගමක් නොතිබීමත් ප්‍රෙතෙස්තන්තවරුන්ට ප්‍රධාන බල අධිකාරියක් නොමැති වීමත් හේතුවෙන් ජනපද වල ආගමික කටයුතු වල ස්වරූපය විවිධ විය.

ආගමික පුරුදු තහවුරු කිරිමට ගත් උත්සාහයන් හැඳින්වූයේ "මහා පිබිදීම" යනුවෙනි. ඊසාන දිග ප්‍රොතෙස්තන්ත පුනරුත්ථාපන ව්‍යාපාරයක් හැඳින්වීම පිණිස එම විවාද සම්පන්න යෙදුම භාවිතා විය. 1730 සහ 1740 දශක වලදි මෙය සිදු විය. පිල්ග්‍රම්වරුන්ගේ දැඩි දේවධර්ම මූලයන් කරා ආපසු යාමද සහ ෆියර් ඔෆ් ගොඩ් (දෙවියන්ට ඇති බිය - ogod) නැවත නව ජීවනයක් ලබා දීමද අපේක්ෂා කළ මැසචුසෙට් දේශකයෙකු වූ ජොනතන් එඩ්වර්ඩ් එම ව්‍යපාරය ආරම්භ කිරීමට මුල් විය. ඉංග්‍රිසි දේශකයෙකු වූ ‍ජෝර්ජ් වයිට්ෆීල්ඩ් සහ තවත් සංචාරක දේශකවරු එම ව්‍යපාරය නොකඩවා ඉදිරියට ගෙන ගියහ. ඔව්හු ජනපද පුරා යමින් පුදුමාකාර අන්දමින් ආවේගශිලිව දේශනා පැවැත්වූහ. එඩ්වර්ඩ් සහ ඒ සමාන දැඩි ආගමික භක්තියක් යුත් අනෙකුත් දේශකයින් තමන් "නව ආලෝකය" ලෙස හඳුන්වා ගත්හ. එය "පැරණි ආලෝකය" නම් කණ්ඩායම සමග වෙනස් වීමක් පෙන්නුම් කළාක් මෙනි. "මෙම පැරණි ආලෝක" කණ්ඩායම නව කණ්ඩායමේ ව්‍යාපාරය අනුමත ‍ෙනාකළහ. ඔවුන්නොවුන්ගේ මත වාදයන් ප්‍රචලිත කිරීම පිණිස දෙපාර්ශවයම අධ්‍යාපන ආයතන කොලිජි ආදිය පිහිටවූහ. ප්‍රින්ස්ටන් සහ විලියම් කොලෙජ් ආදි ආයතන ඒවාට ඇතුළත් විය. මහා පිබිදීම ප්‍රථම වැදගත් ඇමරිකානු සිදුවිමක් ලෙස නම් කරනු ලැබීය.

මේ හා සමාන අභ්‍යන්තර කොටස් කෙරෙහි විහිදුනු ආගමික ව්‍යපාරයක් ජර්මන් සහ ඕලන්ද රෙපරමාදු අයගෙන් ස්වල්ප දෙනෙකු අතරේද ඇති විය. 1770 දශකයේදි බැප්ටිස්ට්වරු (ඔවුන්ම ආරම්භ කළ බ්‍රවුන් විශ්ව විද්‍යාලය තිබුණු) උතුරේද, දකුණේද සීඝ්‍රයෙන් වර්ධනය වූහ. දකුණේදි ඇංග්ලිකන් ආයතනයේ කලින් ප්‍රශ්න වලට භාජනය නොවූ සදාචාර අධිකාරිය ඔවුන්ගේ අභියෝගයන්ට ලක් විය.

මධ්‍ය - අත්ලාන්තික් ප්‍රදේශය[සංස්කරණය]

නිව් එංගලන්තය මෙන් නොව මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශය එහි ජනගහණය වර්ධනය කර ගත්තේ නව සංක්‍රමණිකයන්ගෙනි. 1750 වන විට නිව් යෝර්ක්, නිව් පර්සි සහ පෙන්සිල්වේනියා ජනපද වල ඒකාබද්ධ ජනගහණය 300,000 ක් පමණ වන තෙක් ඉහල ගොස් තිබුනේය. 1750 වන විට ස්කොට් - අයර්ලන්ත ජාතිකයන් 60000 ක්ද ජර්මන් ජතිකයන් 50000 ක්ද බ්‍රිතාන්‍ය උතුරු අමරිකාවේ ජීවත් වීම සඳහා පැමිණියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පදිංචි වූයේ මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශයේය. පෙන්සිල්වේනියා ජනපදයේ නිර්මාතෘ විලියම් පෙන් ඔහුගේ ආගමික නිදහස සහ ඉඩම් සින්නක්කර හිමිකාරීත්වය ආදි ප්‍රතිපත්ති මගින් ආගමනිකයන් ආකර්ශනය කර ගත්තේය. සින්නක්කර ක්‍රමය මගින් ගොවීන්ට ඉඩම් නොමිලේ මෙන්ම බදු වලින් තොරවද ලැබුනේය. ප්‍රථමයෙන් ප්‍රධාන වශයෙන් ආගමනිකයන් ගලා ආවේ අයර්ලන්තයෙනි. ඔවුන් ස්කොට් - අයිරිෂ් ජාතික ප්‍රෙස්බිටේරියන්වරුද ඇතැමෙක් අයර්ලන්ත කතෝලිකයන්ද වූහ. දෙවැනි ප්‍රධාන ආගමික පිරිස් පැමිණියේ ජර්මනියෙනි. ඔවුන් ආගමික යුද්ධ සහ ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ පැවති ආර්ථික ගරා වැටීම් තත්වය හේතුවෙන් එසේ පැමිණියහ.

ජීවන ක්‍රම[සංස්කරණය]

මධ්‍ය කොළණිවල (ජනපද) ගොඩනැගිලිවල ගෘහනිර්මාණ ශිල්පය එහි ජනතාවගේ විවිධත්වය පිළිබඳ පිළිබිඹුවක් විය. ඇල්බෙනි හා නිව්යෝර්ක් සිටි යෙහි ගොඩනැගිලි වලින් වැඩි ප්‍රමාණයක් උස් ගේබල් සහ ගඩොලින් කළ බාහිර කොටස් වලින් යුක්ත වූ අතර ඕලන්ද පල්ලි අටපට්ටම් හැඩයෙන් යුක්ත විය. පෙන්සිල්වේනියාවේ ජර්මන් සහ වේල්ස් ජාතිකයන් කැපූ ගල් උපයෝගි කර ගනිමින් ඔවුන්ගේ මව් බිමේ පැවති ක්‍රම අනුගමනය කරමින් ගොඩනැගිලි ඉදි කළ අතර ඒ ප්‍රදේශයේ බහුලව තිබුණු දැව සම්පත ගැන අවධානය යොමු නොකළහ. මීට එක් උදාහරණයක් නම් පෙන්සිල්වේනියාවේ ජර්මන් ටවුන් නගරයයි. එහි ගොඩනැගිලි වලින් 80% ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ව‍ාගේ ගලින් නිම කරන ලද්දේය. අනික් අතට ස්කොට් - අයර්ලන්ත ජාතිකයන් අමෙරිකාවේ බහුලව තිබුනු දැව සම්පත තෝරා ගත් අතර ඔව්හු ලී කොට යොදා ශක්තිමත් නිවෙස් තැනූහ.

ලී බඩු වල මෝස්තරවලට ද ජන වාර්ගික සංස්කෘතික ලක්ෂණ බලපෑවේය. ගම්බද එක්තරා ක්‍රිස්තියානි නිකායක සාමාජිකයින් මේස, පුටු, අල්මාරි යනාදි ලී බඩු වල චාම් සැහැල්ලු බව අපේක්ෂා කළ අතර අත්‍යාලාංකාර මෝස්තර යෙදිමෙන් බැහැර වූහ. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් එවැනි අලංකාර ගෘහභාණ්ඩ පාවිච්චි කළහ. ඉහත විස්තර කල ක්‍රිස්තියානි නිකායිකයින්ගේ (Quakers) සහ බ්‍රිතාන්‍ය වෙළඳුන්ගෙන් ලත් මහා ධනස්කන්දය නිසා පිලඩෙල්පියා නගරය ලී බඩු වෙළඳාමෙහි ප්‍රධාන මධ්‍යස්ථානයක් විය. පිලඩෙල්පියා අල්මාරි, කැබිනෙට්ටු නිෂ්පාදකයින් ශෝබන ලාච්චු සහිත උස් අල්මාරි තැනූහ. ජර්මන් ශිල්පීහු ඉතා සංකීර්ණ කැටයම් සහිත මෝස්තර ඔවුන්ගේ අල්මාරි සහ වෙනත් ගෘහ උපකරණවල යොදා මල් සහ කුරුල්ලන්ගේ රූපද සිතුවම් කළහ. ජර්මන් කුඹල්කරුවෝද ජෝගු, පිඟන්, මුට්ටි ආදි නිෂ්පාදන දාමයක් ඉතා අලංකාර සහ සම්ප්‍රදායික මෝස්තර ඇතුළත් කරමින් නිෂ්පාදනය කළහ.

ස්ත්‍රී පක්ෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි ජනවාර්ගික වශයෙන් එය විවිධාකාර ස්වරූපයන් ගත්තේය. නව එංගලන්තයේ පියුරිටන් පදිංචිකරුවන් අතරේ තිබුණු සිරිතක් නම් ඔවුන්ගේ බිරින්දෑවරු ඔවුන් සමග ගොවි බිම් වල වැඩ නොකිරීමයි. එසේ වුවද පෙන්සිල්වේනියාවේ ජර්මන් ජනාවාස වල බොහෝ ගැහැණු ගොවිබිම් වල සහ අශ්ව ගාල් වල වැඩ කළහ. ජර්මන් සහ ඕලන්ද ආගමනිකයෝ ඔවුන්ගේ දේපළ පාලනය පිළිබඳව ගැහැණුන්ට අවස්ථාව සලසා දී තිබුනේය. මෙය එකල ඉංග්‍රිසි නීතියෙන් අවසර දී නොතිබුනු කරුණකි. ඉංග්‍රිසි ජනපද වාසි බිරියන්ට මෙන් නොව ජර්මන් සහ ඕලන්ද බිරින්දෑවරුන් ඔවුන්ගේම රෙදි පිළි සහ වෙනත් දෑ අයිති කර ගෙන තිබුණු අතර ඔවුන්ගේ විවාහය සමග ගෙන ආ දේපළ නිෂ්කාෂණය කිරීම සඳහා ලිඛිතව කැමැත්ත ප්‍රකාශ කිරීමේ හැකියාව ද සළසා තිබුණේය.

ගොවිපලවල්[සංස්කරණය]

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ජනවාර්ගික වශයෙන් විවිධ වෙනස් කම් තිබුණි. උදාහරණයක් වශයෙන් ජර්මන් ගොවියෝ ඔවුන්ගේ නගුල් ඇදිමට අශ්වයින්ට වඩා ගවයින් යොදා ගැනීමට කැමැත්ත දැක්වූහ. ස්කොට් - අයර්ලන්ත ජාතිකයන් ඌරන් සහ ඉරිඟු මත පදනම් වූ ගොවි පල ආර්ථිකයක් නිර්මාණය කළහ. අයර්ලන්තයේදි ස්කොට් - අයර්ලන්ත ජාතිකයන් ඔවුන්ගේ කුඩා ඉඩම් කැබලි වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් ඉතා මහන්සි වී වැඩ කළහ. අමෙරිකාවේ ජනපද වලදි ඔවුන්ගේ අරමුණ යොමු වූයේ මිශ්‍ර වගාවන් වෙතයි. මෙම උපක්‍රමය ක්‍රියාවේ යොදවමින් ඕව්හු මනුෂ්‍ය පරිභෝජනය සඳහා මෙන්ම සතුන්ගේ කෑම සඳහාද ඉරිඟු වගා කළහ. විවිධාකාර වූ පසු බිම් සහිතව පැමිනි නොයෙක් අතින් බුද්ධිමත් වූ ගොවීන් ඔවුන්ගේ ගොවි බිම් වලින් උපරිම ප්‍රථිපල නෙලා ගැනීමට නව ක්‍රමවේදයක් අනුගමනය කළහ. 1750 කාලයේදි මෙම නව ක්‍රමවේදයන් භාවිතා කළ ගොවීන් අත් දෑකැති සහ ලොකු දෑකැති වෙනුවට තිරිඟු, බාර්ලි වැනි වගාවන්හි අස්වැන්න නෙලීමට ක්‍රැඩ්ල් දෑකැති භාවිතා කළහ. මෙම උපකරණය ලී කූරුවලින් යුක්ත වූ අතර අස්වනු එකතු කිරීමේදි ඉතා පහසු උපකරණයක් විය. මෙම උපකරණයෙන් පෙරට වඩා තුන් ගුණයක් වේගයෙන් වැඩ කළ හැකි විය. ගොවීහු ඔවුන්ගේ ගොවි බිම් සාරවත් කිරීම පිණිස ගොම වැනි පොහොරද හුණුද එකතු කරමින් ශෂ්‍ය මාරු ක්‍රමද අනුගමනය කළහ.

1720 ට කලින් මධ්‍ය අත්ලන්තික් ප්‍රදේශයේ බොහෝ ජනපද වාසීහූ කුඩා පරිමාණයේ ගොවිතැන් කටයුතු කළ අතර ආනයනික නිෂ්පාදන ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වලට ඉරිඟු, තිරිඟු සහ පිටි විකුණා මුදල් උපයා ගත්හ. නිව්යෝර්ක් හි ආරම්භ කරන ලදුව යුරෝපයට ආනයනය කළ ලොම් ඇඳුම් ව්‍යාපාරයෙන් එම කලාපයට මහත් ධනස්කන්දයක් ලැබුනේය. 1720 න් පසු ජාත්‍යන්තර වශයෙන් පිටි සඳහා ලැබුණු ඉල්ලීම් හේතු කොට ගෙන මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශයේ වගා කටයුතු වල ප්‍රබෝධයක් ඇති විය. යුරෝපයේ ඇති වූ අධික ජනගහනය හේතුවෙන් පිටි සඳහා ඉල්ලුම අධික විය. 1770 වන විට තිරිඟු බූසලයක මිළ 1720 දී තිබුනාට වඩා දෙගුණයක් විය. ගොවීන් ඔවුන්‍ගේ හණ සහ ධාන්‍ය නිෂ්පාදනය පුලුල් කළේ ඒ වන විට අයර්ලන්තයේ හණ රෙදි නිෂ්පාදනයට හණ සඳහා විශාල ඉල්ලුමක් තිබුනු බැවිනි. බටහිර ඉන්දීය කොදෙව් වලින් ධාන්‍ය සඳහා හොඳ ඉල්ලුමක් තිබුනේය.

ළඟදී පැමිණි ඇතැම් ආගමනිකයන් ගොවි බිම් මිළ දී ගෙන ඉහත කී අපනයන වෙළඳාමෙහි කොටස් කරුවන් බවට පත් වූහ. එහෙත් බොහෝ ජර්මන් සහ ස්කොට් - අයර්ලන්ත ආගමනිකයන්ට කෘෂිකාර්මික කටයුතුවලදී කුලී කරුවන් ලෙස වැඩ කිරීමට බල කරනු ලැබීය. වෙළෙන්දෝ සහ ශිල්පීහු ආදීන්ද මෙම නිවාසද නොමැති වූ කම්කරුවන් රෙදි සහ වෙනත් දෑ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගත්හ. ව්‍යාපාරිකයෝ වැඩි වශයෙන් ලොම් සහ හණ ආදිය ගොවීන්ගෙන් මිළ දී ගෙන අලුතින් පැමිණෙන ආගමනිකයන් රැකියා සඳහා බඳවා ගත්හ. මොවුන් අයර්ලන්තයේදි සහ ජර්මනියේදි රෙදි පිළි කර්මාන්තයන්හි නියැලුනු පුද්ගලයෝ වූහ. විශාල පරිමාණයේ වගාකරුවන් සහ වෙළෙන්දෝ ධනවතුන් වූ අතර කුඩා පරිමාණ ගොවියෝ සහ ශිල්පීන් තම එදිනෙදා වියදම් පමණක් පියවා ගත් පිරිසක් වූහ. 1750 වන විට මධ්‍ය අත්ලාන්තික් ප්‍රදේශයේ ජනවාර්ගික පසු බිම හා ධනය ආදී පැතිවලින් කොටස්වලට බෙදුනේය.

දකුණු ජනපද[සංස්කරණය]

දකුණු ජනපද වල ප්‍රධාන වශයෙන්ම ඉහළින් සිටියේ දකුණු කැරොලිනා, වර්ජිනියා සහ මෙරිලන්ඩ් ජනපද වල වහලුන් හිමි ධනවත් වැවිලිකරුවන්ය. මෙම වැවිලිකරුවන්ට අති විශාල වතු යායවල් තිබුණු අතර ඒවායේ වැඩ කරන ලද්දේ අප්‍රිකානු වහලුන්ය. 1750 දී දකුණේ ජණගහනය වූ (650,000) හය ලක්ෂ පනස් දාහෙන් 250000 ක් නැතහොත් සියයට 40 ක් වහල්ලු වූහ. වැවිලිකරුවෝ සාමාන්‍ය සුළු ඉඩම් හිමි ගොවීන් සහ කුලීකරුවන් අතර ඉහලින් වැජඹීම සඳහා ඔවුන්ගේ ධනය පාවිච්චි කළහ. ඡන්ද කාලවලදී ඔවුහු ගොවීන්ට රම් තෑගි කළ අතර ජනපද නීති වල පාලනය සඳහා බදු පහත හෙළන බවට පොරොන්දු වූහ.

වැවිලි[සංස්කරණය]

1720 දශකයේ බොහෝ දුෂ්කරතා විඳිමින් ඇතැම් විට අහාර හිඟයෙන් පෙළෙමින් ආරම්භ කරන ලද වතු වගාවේ දෙවැනි පරම්පරාව ජෝර්ජියන් පන්නයට විශාල මන්දිර තැනීම ආරම්භ කළහ. අසුන් පිට නැගී මුවන් දඩයමේ ගියහ. දකුණු ජනපදවල ධනවත් ස්ත්‍රීහු බ්‍රිතාන්‍ය සංස්කෘතිය හා මුසු වූහ. ඔවුන් බ්‍රිතාන්‍ය සඟරා කියවූහ. බ්‍රිතාන්‍ය මෝස්තරයේ ඇඳුම් ඇන්දාහ. අලංකාර සැන්දෑ තේ පැන් සාදයන් පැවැත් වූහ.

විවාහ වීමෙන් පසු ගැහැණුන් කළ යුතු ප්‍රධාන කරුණ වූයේ දරුවන් බිහි කිරීම සහ පවුල් වෙනුවෙන් කැපවීමයි. කාර්ය බහුල නැව් තොටු නගරයක් වූ චාර්ල්ස්ටන් හි "ටවුන් හවුස් " නම් නිවාස වල ජීවත් වූ ධනවත් වී වගාකරුවන් ගෙන් යුක්ත දකුණු කැරොලිනාව මෙම කාර්යයන්හිදී ඉතා සාර්ථක විය. වර්ජිනියාවේ ජේම්ස් නදිය ඉවුර දිගේ දුම් කොළ වගා බිම්වල සහ මේරිලන්ඩ් හි ඇනාපොලිස් වැනි නගරවල ක්‍රියාකාරී සමාජ උත්සව පැවැත්වීම ද නොකඩවා සිදු විය.

වහල්ලු[සංස්කරණය]

දකුණේ ඉන්ඩිගෝ, දුම් කොළ ආදී කර්මාන්තයන්හි සහ කුඹුරුවල වැඩ කළ අප්‍රිකානු වහල්ලු ගෙන එන ලද්දේ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවෙනි. මොවුන් අන්තිම දිළින්දන් වූ අතර යාන්තමට දිවි ගැට ගසා ගැනීමට තරම් ආදායමක් ලද්දෝ වූහ. මෙම අඩු ආදායම් තත්වය එක්සත් ජනපදයේ දකුණු පෙදෙස්වල තවමත් පවතී. යටත් විජිත යුගය තුළ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ වහල් සේවය අතිශයින් අමානුෂික හා දුෂ්ඨ විය. ඔවුන්ට නීතිමය අයිතියක් නොතිබුණි. 1700 දී 9600 ක් පමණ වහල්ලු චෙසපීක් කලාපයේද සිය ගණනක් කැරොලිනාවේද සිටියහ. ඊළඟ දශක පහ තුළ තවත් අප්‍රිකානුවන් 170,000 ක් පමණ පැමිණියහ. 1750 වන විට බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ සහ කැරොලිනාවේ 250,000 කට වඩා වහල්ලු සිටියහ. ඔවුන් මුලු ජන ගහණයෙන් සියයට 60 ක් පමණ විය. පූර්ව කොළණි යුගයේ ප්‍රථම ජන සංඝණනයේදී 697,681 ක් වහලුන් හා 59,527 ක් නිදහස් කලු ජාතිකයින් සිටි බව වාර්තාවේ. මොවුන් එකතුව ගත් කළ මුළු රටේ ජණගහනයෙන් 20% ක් පමණ විය. දකුණු කැරොලිනාවේ බොහෝ වහල්ලු අප්‍රිකාවේ උපන් අය වූහ. වර්ජිනියාවේ සහ මෙරිලන්ඩ් හි භාගයක් එම ජනපදවල උපත ලබා ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Colonial_America