ඌවේ ස්‍යාමවංශික නිකාය

විකිපීඩියා වෙතින්

ආරම්භය: මහනුවර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ සමයේ පටන්ම ස්‍යාමවංශික නිකායේ මූලස්ථානය පැවතියේ මහනුවර ය. උපසම්පදාව ලැබීම සඳහා එම මූලස්ථානය වෙත යාම උපසම්පදා අපේක්ෂිත සියම් නිකායික සාමණේරයන් වහන්සේගේ සිරිතව පැවතිනි. උපසම්පදා විනය කර්මය ශාසනයේ ඉතා වැදගත් කටයුත්තක් වීම නිසා එහි ලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දීමට බෞද්ධයෝ පුරුදුව සිටියහ. එහෙත් එම උසස් කටයුතු සිදු වන අයුරු සියැසින් දැක බලා සතුටු වීමට මහනුවරට යන්නට සිදුවීම බොහෝ දෙනකුට දුෂ්කර කටයුත්තක් විය. ඌව පළාත අති දුෂ්කර ප්‍රදේශයක් වීමත් බෙහෙවින් දුප්පත් ජනතාව වීමත් මීට හේතුවිය. මේ නිසා ප්‍රදේශයේ කිසියම් විහාරස්ථානය උපසම්පදා විනය කර්මයක් සිදු වන්නේ නම් එය විශාල ප්‍රයෝජනයක් වන්නේ යැයි ඌව පළාත් බොහෝ දෙනෙක් අදහස් කළහ. මේ නිසා ඌවේ ජිනසාසනෝපකාර සමිතියත් ඌවේ ප්‍රභූවරුන් කිහිපදෙනෙකුත් පාළුගම කළබුළුලන්ද විහාර පාර්ශ්ව දෙකේ භික්ෂූන් වහන්සේගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් 1939 මාර්තු 03 වන දින වැලිමඩ කළබුළුලන්ද පුරාණ විහාරස්ථානයේ දී ඌවේ ස්‍යාමවංශික නිකාය ආරම්භ කරන ලදී.

මූලස්ථාන: වැලිමඩ කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය හා වැලිමඩ කළබුළුලන්ද පුරාණ විහාරය ඌවේ ස්‍යාමවංශික නිකායේ මූලස්ථාන දෙකයි. වර්ෂයෙන් වර්ෂය පාළුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථ ශ්‍රී සුමංගල උපෝසථාගාරයේදී හා කළබුළුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්ඛිත උපෝසථාගාරයේදී උපසම්පදා විනය කර්මය පවත්වනු ලැබේ.

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා:

1.අතිගරු බොරගොල්ලේ ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

2. අතිගරු අඹේවෙල ශ්‍රී ඤාණරතන සාරානන්දාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

3.රාජකීය පණ්ඩිත අතිගරු ඌවේ පඤ්ඤානන්ද සීලරතනාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

4.රාජකීය පණ්ඩිත අතිගරු පාලුගම ශ්‍රී සුමංගල සෝමානන්ද සුමනසාරාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

5. අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ අතිගරු අඹේවෙල ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාරාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

6.ශාස්ත්‍රපති අතිගරු වැටහිරේ ශ්‍රී සුමන ප්‍රඥාසේඛර සෝරතාභිධාන ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

"https://si.wikipedia.org/w/index.php?title=ඌවේ_ස්‍යාමවංශික_නිකාය&oldid=498079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි