උත්පත්තිය

විකිපීඩියා වෙතින්

මෙලොව සිටින සෑම අම්මා තාත්තා කෙනකුගේම එකම පැතුම වන්නේ තමන්ට ලැබෙන දරුවා නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත කෙනකු වනු දැකීමය. දරුවකු නොලැබුණු මවුපිය දෙපළගේ ඒකායන අපේක්ෂාව තම ලෙයින් මසින් දරුවකු ඉපදෙනු දැකීමයි. දරුවකු ලැබුණු අය ඔහු උස් මහත් කොට සමාජයේ ඉහළ ස්ථානයකට ගෙන ඒමට ඉතා වෙහෙස මහන්සි වී ක්‍රියා කරන අතර, දරුවකු නොලැබුණු අයට යහපත් දරුවකු ලබා ගැනීම සඳහා විවිධ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති ආදිය සිදු කරනු ලැබේ.

බුදු දහමට අනුව මවු කුසයක කළලයක් සකස්වීම සඳහා කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතු ය. ඒ බව බුදුන් වහන්සේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේ දී ද, තවත් සුත්‍ර කිහිපයක දී ද දේශනා කර ඇත. ඒ බව “තිණ්ණං ඛො පන භික්ඛවේ සන්නිපාතා ගබ්භස්ස චක්කතන්ති හෝති . . . යථෝ ච වො භික්ඛවේ මාතා පිතරෝ සන්ති පනීතා හොන්ති. මාතා ච උතුනි හෝති ගන්ධබ්බො ච පච්චු පට්ටිතො හොති. එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සා චක්ඛන්ති හොති” ආදී වශයෙන්,

“මහණෙනි, කරුණු තුනක් එක්වීමෙන් ගැබ් ගැනීම සිදු කැරෙයි. . . යම් අවස්ථාවක දෙමවුපියෝ සම්බන්ධ වෙත්ද, නැතහොත් කායික වශයෙන් එක්වෙත්ද, මව ද ඔසප් වුවද නැතහොත් ගර්භාෂය පිරිසුදු වී ඇත්ද ගන්ධබ්භයකු එළැඹියේ වේද, මේ කාරණා තුන එක්වීමෙන් ගැබ් ගැනීම සිදු වෙයි” යනුවෙන් දේශනා කර තිබේ.

මෙහි දැක්වූ පළමු කාරණය නම්, “මාතා පිතරො සන්නි පනීතා හොන්ති” වශයෙන් අම්මාගේ සහ තාත්තාගේ කායික වශයෙන් එක්වීමයි. නැතහොත් ජන්මානු සංයෝගයක් විය යුතුයි. ගන්ධබ්බයකු පැමිණීම යන්නෙන් කුමක් අදහස් කෙරෙයි ද? මුලින්ම සකස් වූ කළලය විකාශනය වීමට නම් නැතහොත් වර්ධනයවීමට නම්, හෙවත් දරුවකු බවට පත්වන්නට නම් එයට කිසියම් මානසික ශක්ති ධාරාවක් ඇතුළුවීම අත්‍යවශ්‍ය වේ. එම මානසික ශක්තිය තවත් කෙනකුට ඉපදවිය හැකි එකක් නොවේ. මෙම විශ්වයේ සෑම ස්ථානයකම තැනින් තැනම විවිධ ශක්තීන්ට අයත් ජීවීහු සිටිති. එම ජීවිහු විවිධ මානසික මට්ට්ම්වලට ද අයත් වෙති.

මෙම ජීවීන් කාලයෙන් කාලයට මිය යන අතර යළි උපදිනු ඇත. බොහෝ විට එම ජීවීන් මෙම අභ්‍යවකාශයේ තාවකාලික උත්පත්ති ලබා ගෙන සිටින අතර ඔවුහු ඉතා සියුම් ශරීර දරන අය වෙති. සියුම් ජීවිත නිසා තමන්ට කැමති මව් කුසක පිළිසිඳ ගැනීමට ඔවුනට හැකියාව ඇත. මනුෂ්‍ය ආත්මයක් ලැබීමට අවශ්‍ය තරම් පුණ්‍ය කර්ම කර ඇත්නම් එම කර්ම ශක්තියට අනුව පිළිසිඳ ගැනීම සිදුවෙයි. එහි දී එම කුසල බලයට අනුව තමන්ට ගැලපෙන මවු කුසයක් තෝරා ගැනීමේ අයිතිය ද ඔවුන් සතු ය. විශේෂයෙන් ම මෙහිදී සැළකිය යුතු දෙයක් නම් සංසාරික වශයෙන් එම ජීවියා හා දෙමවුපියන් අතර සම්බන්ධයක් පැවතීම ද අවශ්‍ය බවයි.

එමෙන්ම එම මව්පියන්ගේ යහපතට මෙන්ම අයහපතට උපදින අයත් සිටින බව ද සැලකිය යුතු ය.

මෙලෙස පිළිසිඳ ගන්නා ජීවියාගේ කුසල ශක්තිය එම මවුපියන්ගේ ශක්තීන් හා ගැලපීම ද අවශ්‍ය කැරේ. එලෙසම මවුපියන්ගේ කුසල ශක්තීන් දරුවාගේ කුසල ශක්තීන් සමග ද ගැලපීමක් සිදු විය යුතුයි. එය ඔරොත්තුදීමක් ද අවශ්‍ය කැරේ. එසේ නොවුවහොත් කළලය විනාශවීම හෙවත් ගබ්සාවීම සිදු වෙයි.

මෙහි දී සැලකිය යුතු තවත් කරුණක් නම් කලාතුරකින් මෙන් පුණ්‍ය ශක්තිය හීන වූ මවුපියන් හට කුසල තත්ත්වයෙන් හා වාසනාවන්ත බවින් යුත් දරුවන් උපදින අතර, පුණ්‍ය ශක්තිය වැඩි මව්පියන් හට කුසල තත්ත්වයෙන් හා වාසනා ශක්තියෙන් අඩු දරුවන් ඉපදිය හැකි බවයි. මීට උදාහරණ රැසක් බුද්ධ ශාසනය තුළින්ම ගෙනහැර දැක්විය හැකිය. සෝපාක චරිතය මීට හොඳ උදාහරණයකි. කුසලයෙන් පිරුණු මවුපියන්ට අවාසනාවන්ත දරුවන් ඉපදිය හැකි බවට උදාහරයක් ලෙස දේවදත්ත, අජාසත් වැනි අය දැක්විය හැකිය.

අපට ඇතැම් විට අසන්න ලැබෙන කාරණයක් නම් යමකුට දරුවන් නොලැබෙන බවයි. එහෙත් ඒ අය ‘සරු’ බවින් යුක්ත නම් අභ්‍යවකාශයේ සිටින ගන්ධබ්බයන්ට ආරාධනා කොට දරුවකු ලබා ගත හැකියි. යමකු මෙබඳු ආරාධනාවක් කළ විට මවගේ කුස පිළිසිඳ ගැනීමට සුදුසු පරිදි පිරිසුදු බවින් යුතු නම් (අවශ්‍ය පරිදි මවගේ ඔසප්වීම සිදුවී ඇත්නම්) මවුපිය දෙදෙනා කායික වශයෙන් එක්වීමක් සිදුවී කළලයක් පිහිටා ඇත්නම්, ඒ කලලයට ගැලපෙන ගන්ධබ්බයකු පැමිණීමට බෙහෙවින් ඉඩකඩ තිබේ.

පුණ්‍යවන්ත ගන්ධබ්බයන් සැරිසරන විශේෂ ස්ථාන තිබෙන බව ද දත යුතු ය. විශේෂයෙන් ම වැඩිපුරම මෙබඳු ගන්ධබ්බයන් රැස්වන ස්ථාන වශයෙන් ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාළිගය ප්‍රධාන වේ.

ඊට අමතරව අප රටේ පෞරාණික බෞද්ධ අගයන්ගෙන් පිරුණු වෙනත් සිද්ධස්ථාන ඇසුරු කරමින් ද එබඳු පුණ්‍යවන්ත ගන්ධබ්බයන් රැස්වන බව සැළකේ. මෙවැනි ප්‍රසන්න වටිනා පුණ්‍යභූමිවලට ගොස් මෙම ගන්ධබ්බ කායිකයින්ට පිරිසිදු චේතනාවෙන් ආරාධනය කළහොත් බොහෝ විට එම මවු කුªසයට ඒමට ඔවුහු කැමැති වෙති. තවද සංසාරික කර්ම විපාක අනුව වෙනත් ණයකාරයන් පැමිණීමේ අවකාශ ද නැත්තේ නොවේ.

අප ඉහත සඳහන් කළ පරිදි පුණ්‍යවන්ත මවුපියන්ට පාපතර දරුවන් උපදින අවස්ථා ඇත. ඇතැම් විට මන්ද බුද්ධික, ආබාධිත දරුවන් ඔවුන්ට දාව ඉපදිය හැකිය. ඒ ඔවුන් සංසාරික වශයෙන් ණයකාරයන් නිසා වන්නට ද බැරි නැත.

අපේ සමාජයේ දරුවන් නැති අය විවිධ බෝධි පූජා ආදිය පවත්වමින් දෙවියන්ට භාරහාර වෙමින් සෙත්කවි ආදිය ඔප්පු කරමින් දරුවන් ලබා දෙන ලෙස අයැද සිටින අවස්ථා බොහෝ ය. මෙහි දී කිව හැක්කේ එවැනි පුද සත්කාර බෝධි පූජා ආදියෙන් තම බලාපොරොත්තු බොහෝ දුරට ඉෂ්ට සිද්ධ වන බවයි. එහෙත් සත්ව හිංසාවේ යෙදෙමින්, මත්පැන් පානය කරමින්, අදත්තාදානයේ හැසිරෙමින්, දස අකුසල්හි යෙදෙමින් මවුපිය දෙදෙනා වැරදි ලෙස ජීවිතය ගෙන යමින් මෙම බෝධි පූජා ආදිය සිදු කොට දරු ඵල අපේක්ෂා කරන්නේ නම්, එය කවරදාකවත් ඉටු නොවනු ඇත.

මෙම ක්‍රියාවලිය බෞද්ධ ඉතිහාසය තුළින් ද සනාථ කළ හැකියි. මහාවංශයේ 22 පරිච්ඡේදයේ 24 සිට 50 ගාථාවල ද, සත්ථප්පකා සිනියේ 338 සිට 341 පිටුවල සඳහන් වන කතා තුළින් ද එය දැක්විය හැකිය. කාවන්තිස්ස රජ දවස කෝටපබ්බත හෙවත් කොටගල නම් විහාරයේ ‘නා නා පුඤ්ඤකරො’ නම් වූ ඉතා පින්වත් සාමණේරයන් වහන්සේ නමක් වැඩ විසූහ. උන්වහන්සේට එම නම ලැබී ඇත්තේ විවිධ පින්කම් කරන යන අරුතිනි. මෙම වකවානුවේ ආකාශ චෛත්‍යයේ අංගනයට නැගීමට පියගැට පෙළක් සාදමින් තිබූ අතර, මුන්වහන්සේ ද ඊට දායක වෙමින් ගල් පඩි තුනක් සකස් කොට, පූජා කොට ඇත. මෙම ගල් පඩි මෙම ස්ථානය වෙත ඔසවා ගෙන ඒම නිසා බරපතල උදරාබාධයක් උන්වහන්සේට වැළඳිණි. කෘතගුණ දන්නා සෙසු භික්ෂූන් වහන්සේ නා නා පුඤ්ඤකරෝ සාමණේරයන් වහන්සේ තිස්සමහාරාමයේ කාමරයක හොවා ප්‍රතිකාර කොට ඇත.

මේ අතර කාවන්තිස්ස මහ රජුගේ බිසව - තරුණ විහාර මහා දේවි කුමරිය, මහා සංඝයා වහන්සේ විෂයයේ දන්පැන් පිළිගන්වා, “ස්වාමීනි, මට මේ රට ජාතිය සහ බුදු සසුන ආරක්ෂා කිරීම සඳහා පින්වත් වීර කුමාරයකු බිහි කිරීමට ආශාවක් තිබේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු මැනව“ යි පවසා සිටියාය.

මෙහි දී උන්වහන්සේ ප්‍රකාශ තර ඇත්තේ තිස්සමහාරාම පිරිවෙනේ ඉතාම පින්වත් උත්සාහවන්ත සාමණේරයන් වහන්සේ නමක් රෝගාතුරව ඔත්පලව සිටින බවත්, උන්වහන්සේ ගේ රෝගය සුවපත් කළ නොහැකි බවත්, අපවත් වන්නට කලින් උන්වහන්සේ වෙත ගොස් දේවියගේ කුස පිළිසිඳ ගන්නා ලෙස ආරාධනා කරන ලෙසත් උපදෙස් දී ඇත.

බිසව එම උපදෙස් පරිදි එසේ කර ඇති අතර, රෝගී නා නා පුඤ්ඥකරෝ සාමණේර නම එම ඉල්ලීම කිහිප විටක් ම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අවසානයේ දේවියගේ බැගෑපත්වීම මත සහ රට, ජාතිය ආරක්ෂා කර ගැනීමේ යුග මෙහෙවර සඳහා අවසානයේ දේවියගේ ඉල්ලීම පිළිගෙන ඇත. බිසව ද මහත් සන්තෝෂයට පත්ව උන්වහන්සේට වැඳ නමස්කාර කර මාලිගය වෙත ගොස් ඇත. මේ අතර නා නා පුඤ්ඤකරෝ සාමණේර හිමියන් අපවත් වී ඇති අතර, විහාර මහා දේවිය මාලිගය කරා ගමන් කරමින් සිටියදීම එම ගන්ධබ්බයා ඇගේ කුස පිළිසිඳ ගෙන ඇත.

මෙම ඓතිහාසික කතාව දුටුගැමුණු රජුගේ උත්පත්තිය බව අමුතුවෙන් කිව යුතු නැත. මෙහි දී අපට පෙනී යන්නේ වර්ෂයක් දෙකක් ගන්ධබ්බ අවස්ථාවේ නොසිට මියගිය සැණින් කුස පිළිසිඳ ගත් බවකි.

මේ අනුව පින්වත් කෙනකු පින්වත් ගන්ධබ්බයකුට තම කුසට එන්නැ’යි ආරාධනා කළ විට එය එසේම සිදුවන බව අපට පෙනී යයි. ගන්ධබ්බ යනුවෙන් අදහස් කැරෙන්නේ උපතක් බලාපොරොත්තුව සිටින තාවකාලික තත්ත්වයකි.

එය එක අතකින් අන්තරා භවයක් යැයි කීවොත් එහි වරදක් නැත. නමුත් අද අන්තරා භවය යන්න අර්ථ නිරූපණය කරන්නේ වැරැදි අයුරින් බව පෙනී යයි.

මෙයට තාවකාලික භවය යැයි කීවද වරදක් නොවේ. ස්ථිර වශයෙන් යම් තැනකට යන තුරු තාවකාලික වශයෙන් සිටීමකි. මෙම තාවකාලික භවය හරියට අහසේ පාවෙන වළාකුලක් වැනිය. ඔහුට අවශ්‍ය නම් කලින් භවයේ ස්වරූපය මවා ගැනීමට ද හැකිය. ඒ අය ජීවත් වන්නේ සහ පවතින්නේ ප්‍රීතිය භුක්ති විඳීමෙනි. ආහාරය ඔවුනට මනෝමය දෙයකි.

සතුට හා ප්‍රීතිය ආහාර කොට ගනිති. සුවඳ වැනි ඉතා සියුම් දෑ ආහාර කොට ගන්නා අය ද වෙති. ඒ ඒ අය ස්වකීය කර්ම ශක්තීන්ට අනුව විවිධ විය හැකියි. ලෝක විෂය වාගේම සත්ව විෂය ද අචින්ත්‍යයි. ඒවා ගැන කල්පනා කර සිත සිතා තීරණ ගත නොහැකියි. බුදුරජාණන් වහන්සේ කෙනකුට පමණක් එය වටහා ගත හැකි වෙයි. මේ සම්බන්ධව දුර දිග නොසිතන ලෙස බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කර ඇත්තේ එනිසයි.

කර්ම නියාමය ඉතා සියුම් වූවකි. යහපත්ව ඉපැදුණු අහිංසක කුමරුවා බාහිර බලපෑම් නිසා අංගුලිමාල නම් දරුණු පුද්ගලයකු විය. අජාසත්ත කුමරු ද දේවදත්ත ගේ බලපෑම මත නපුරු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු විය. මෙය සිදුවන්නේ කර්මයටත්, කර්ම ඵලයටත් අනුව ය.

"https://si.wikipedia.org/w/index.php?title=උත්පත්තිය&oldid=269550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි