ඉන්හ්යොන් අගබිසව

විකිපීඩියා වෙතින්
(ඉන්හ්යෝන් අගබිසව වෙතින් යළි-යොමු කරන ලදි)
ඉන්හ්යොන් අගබිසව
인현왕후
ජොසොන් රාජවංශයේ අගබිසව
නිල කාලය1681 – 5 මාර්තු 1688
පූර්වප්‍රාප්තිකයාඉන්ග්යොං අගබිසව
අනුප්‍රාප්තිකයාබු-ඔක් අගබිසව (බලයෙන් පහ කළ)
නිල කාලය1694 – 16 සැප්තැම්බර් 1701
පූර්වප්‍රාප්තිකයාබු-ඔක් අගබිසව (බලයෙන් පහ කළ)
අනුප්‍රාප්තිකයාඉන්වොන් අගබිසව
උපත15 මැයි 1667
යෝජු නගරය, ග්යොංගි පළාත, ජොසොන්
මරණයNot recognized as a date. Years must have 4 digits (use leading zeros for years < 1000). (වයස Error: Need valid year, month, day)
චංදොක් මාලිගය, කොරියාව
භූමදානයම්යොංර්යුං, ග්යොංගි පළාත
වල්ලභයාජොසොන්හි සුක්ජොං
පවුල් වංශයයෝ‍හ්‍යුං මින් (උපත)
පියාමින් යූ-ජුං
මවසොං ආර්යාව
ඉන්හ්යොන් අගබිසව
හංගුල්인현왕후
හන්ජා仁顯王后
ප්‍රතිශෝධිත රෝමානුකරණයInhyeon Wanghu
මැකූන්–‍රයිෂවර්Inhyŏn Wanghu

ඉන්හ්යොන් අගබිසව (හංගුල්: 인현왕후, හන්ජා: 仁顯王后) (15 මැයි 1667 – 16 සැප්තැම්බර් 1701) යනු ජොසොන්හි සුක්ජොං රජුගේ දෙවන අගබිසව වූ අතර, ජොසොන් රාජවංශයේ සුප්‍රකට අගබිසෝවරුන් අතරින් අයෙකි. ඇගේ ජීවිතය ආශ්‍රයෙන් නොයෙකුත් කොරියානු ඓතිහාසික නාට්‍ය බිහි වී ඇත.

චරිතාපදානය[සංස්කරණය]

යොහ්‍යුං මින් වංශයේ උපත ලැබූ ඇය මින් යු-ජුංගේ (හංගුල්: 민유중, හන්ජා: 閔維重)[1] (1630–1687) ‍දෙවන දියණිය ලෙස ඔහුගේ දෙවන බිරිඳ වූ ඉයුන්ජින් සොං වංශයේ සොං ආර්යාවට උපත ලැබී ය.[2]

1681දී, 14වන වියැති ඇය සුක්ජොං රජුගේ දෙවන අගබිසව ලෙස විවාහ වූවා ය. නමුත් සෝ-උයි[3] ජෑං ඔක්-ජොං 1688දී පුත්‍රයකුට උපත දීමත් සමග ගිසා වියත් ශෝධන (기사사화) යනුවෙන් හඳුන්වන රුධිර වැගිරීම් සංහාරයක් ඇති විය. මේ සමයේ, සුක්ජොං රජුට සිය වැඩිමහල් පුත්‍රයාහට ("පළමු පුතු" යන අරුතැති වොන්ජා යන තනතුරෙන් හඳුන්වයි) "කිරුළහිමි කුමරු" තනතුර ලබා දී ජෑං බිසව සෝ-උයි සිට හුයි-බින් තනතුර දක්වා උසස් කිරීමට අවශ්‍ය විය.[4]

නමුත් මෙම ක්‍රියාවට, ඉන්හ්යොන් අගබිසවගේ සහාය ලත් සොං සි-යොල් ප්‍රමුඛ නොරොන් පක්ෂය එකඟවූයේ නැත.[5] නමුත් මේ පත්කිරීමට ජෑං උපබිසවගේ සහාය ලත් සොරොන් පක්ෂය සහාය දැක්වූහ. මෙයට විරුද්ධ වූවන් කෙරෙහි සුක්ජොං රජු කෝප වූ අතර, සොං සි-යොල් ඇතුළු බොහෝ දෙනෙක් මරා දමන ලදී. ඉන්හ්යොන් අගබිසව සහ ඇගේ පවුලේ සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනා පිටුවහල් කරන ලදී. ඉන්හ්යොන් අගබිසව බලයෙන් පහකෙරිණි. අනතුරුව ජෑං සෝ-උයි උපබිසව ජෑං හුයි-බින් බවට පත් වී අනතුරුව, තෙවන අගබිසව බවට පත්වූවා ය..

පසුකලෙක 1694දී, සිය කෝපාවිෂ්ට ක්‍රියාව පිළිබඳ පසුතැවුණ සුක්ජොං රජු ඉන්හ්යොන්ගේ තනතුර නැවත පිහිටවූ අතර, මේ සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ, සොරොන් පක්ෂය (මෙම සිදුවීම ගප්සුල් හ්වංගුක් (갑술환국,甲戌換局) ලෙස හඳුන්වයි) ඇයව නැවත මාලිගයට කැඳ වූ අතර නැවත අගබිසව තනතුරෙහි ඇයව පිහිටුවන ලදී. ජෑං බිසව නැවත හුයි-බින් තනතුර දක්වා පහත හෙළන ලදී.

1701දී, 34වන වියේ දී, ඇය රෝගි වූ අතර හඳුනානොගත් රෝගයකින් ඇය මියගියා ය. (ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඇයට වස ලබා දුන් බවයි)

සුක්ජොං රජු ඉන්හ්යොන් අගබිසව වෙනුවෙන් වැළපෙන අවස්ථාවේ ඔහුට ඉන්හ්යොන් බිසව ලෙයින් පෙඟුණු සොබෙක් වස්ත්‍රයක් හැඳසිටිනු සිහිනෙන් දුටු බව පැවසේ. සුක්ජොං ඉන්හ්යොන්ගෙන් ඇය මියගිය අයුරු විමසුවේලු. එවිට ඇය කිසිවක් නොපවසා ජෑං හුයි-බින්ගේ මාලිගාව පෙන්වූයේලු.[6] අවදි වූ සුක්ජොං ජෑං උපබිසවගේ කුටිය දෙසට ගියේ ය. එහි ළඟාවන විට ඔහුට සංගීත නාදයක් සහ සිනහසෙන හඬක් ඇසුණු බව පැවසේ. මෙයට හොරෙන් සවන් දුන් ඔහු ජෑං හුයි-බින් ඇගේ කුටිය තුළ යකැදුරු පූජකවරියක් සමග අගබිසවගේ මරණය යාඥා කරමින් පඹයකුට ඊතලවලින් පහරදෙනු දුටුවේ ය. මෙය අනාවරණය කරගත් පසු, සුක්ජොං රජු විසින් ජෑං උපබිසවට වස දී මරණයට පත්කරන ලදී.[7]

ඉන්හ්යොන් අගබිසවගේ පරිවාර කාන්තාවක් විසින් ඉන්හ්යොන් වංග්හු ජොන් (හංගුල්: 인현왕후전, හන්ජා: 仁顯王后傳, ඉන්හ්යොන් අගබිසවගේ කථාව) නැමැති ග්‍රන්ථයක් ලියන ලද අතර, අදටත් එය පවතී. ඉන්හ්යොන්ගේ දේහය ග්යොංගි පළාතේ ම්යොංර්යුං (명릉,明陵) නම් ස්ථානයේ භූමදානය කෙරුණු අතර පසුකලෙක සුක්ජොං දේහය ද ඒ ආසන්නයේම භූමදානය කරන ලදී. සුක්ජොං රජුට දාව ඇයට දරුවන් සිටියේ නැත.

සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • හ්යෝග්යොං සුක්සොං ජංසුන් වොන්හ්වා උයියොල් ජොංමොක් ඉන්හ්යොන් වංග්හු
  • 효경숙성장순원화의열정목인현왕후
  • 孝敬淑聖莊純元化懿烈貞穆仁顯王后

පවුල[සංස්කරණය]

  • පියා
    • මින් යු-ජුං (හංගුල්: (민유중), හන්ජා: 閔維重)
  • මව
    • ඉයුන්ජින් සොං වංශයේ සොං ආර්යාව (හංගුල්: 은진 송씨, හන්ජා: 恩津 宋氏)
  • සහෝදර/සහෝදරියන්
    • මින් ජින්-හු (හංගුල්: 민진후, හන්ජා: 閔鎭厚) (1659–1720), මියොංසොං අධිරාජිනියගේ මුත්තණුවන්ගේ පියාගේ පියාගේ පියා ය.
    • මින් ජින්-වොන් (හංගුල්: 민진원, හන්ජා: 閔鎭遠) (1664–1736)
    • මින් ආර්යාව (හංගුල්: 민씨, හන්ජා: 閔氏), මින් යු-ජුංගේ වැඩිමහල් දියණියයි
    • මින් ආර්යාව (හංගුල්: 민씨, හන්ජා: 閔氏), මින් යු-ජුංගේ තෙවන දියණියයි

අමතර කරුණු[සංස්කරණය]

ඉන්හ්යොන්ගේ වැඩිමහල් සොහොයුරා වූ මින් ජුන්-හුගේ මී-මී-මී-මිණිපිරිය පසුකලෙක ඉන්හ්යොන්ගේ සුළු හදාගත් මී-මී-මී-මුණුපරා වන අනාගත කොරියානු අධිරාජ්‍යයේ ගෝජොං අධිරාජයා සමග විවාහ වී සුප්‍රකට මියොංසොං අධිරාජිනිය බවට පත් වේ. ගෝජොං අධිරාජයාගේ මව වූ යොහ්‍යුං ආර්යාව ද යොහ්‍යුං මින් වංශයේ සාමාජිකාවකි. (ඉන්හ්යොන්ගේ දෙවන සොයුරා වූ මින් ජින්-වොන්ගේ මී-මී-මිණිපිරියකි)

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "අභ්‍යන්තර කුමාර යොයැං" (여양부원군) යන නාමය ලබා දී ඇත.
  2. "ඉයුන්සොං ආර්යාව, අභ්‍යන්තර කුමරුගේ කුමරි බිසව" (හංගුල්: 은성부부인) යන නාමය ලබා දී ඇත.
  3. සෝ-උයි යනු රජුගේ උපබිසෝවරුන් සඳහා පැවති 3වන උසස්ම තනතුරයි.
  4. බින් (පරිවර්තනය කෙරෙන්නේ "රාජකීය වංශවත් බිසව" යනුවෙනි) යනු රජුගේ උපබිසවක් සඳහා හිමි වූ උසස්ම නිලයයි. එය අගබිසවගේ නිලයට පමණක් දෙවැනි විය.
  5. http://academic.naver.com/view.nhn?doc_id=16555216&dir_id=0&page=0&query=Gisa%20Hwanguk&ndsCategoryId=10102&library=94
  6. https://archive.org/stream/historyofkorea02hulbuoft#page/160/mode/2up
  7. https://archive.org/stream/historyofkorea02hulbuoft#page/156/mode/2up
පූර්වප්‍රාප්තිකයා
ඉන්ග්යොං අගබිසව
ජොසොන්හි අගබිසව
1681 - 5 මාර්තු 1688
අනුප්‍රාප්තික
බු-ඔක් අගබිසව (ධුරයෙන් පහකළ)
පූර්වප්‍රාප්තිකයා
බු-ඔක් අගබිසව (ධුරයෙන් පහකළ)
ජොසොන්හි අගබිසව
1694 - 16 සැප්තැම්බර් 1701
අනුප්‍රාප්තික
ඉන්වොන් අගබිසව
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්හ්යොන්_අගබිසව&oldid=473330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි