ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම

විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ. .

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

ශ්‍රී ලංකාවෙහි සාමය සහ සාමාන්‍ය තත්ත්වය ඇතිකරලීම සඳහා වූ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන උතුමාණෝ සහ ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු රජීව් ගාන්ධි උතුමාණෝ 1987 ජූලි මස 29 වැනි දින කොළඹ දී හමුවී,

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීම, වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් සේ සළකා, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විසඳාලීමේ උග්‍ර අවශ්‍යතාවය පිළිගනිමින්, ශ්‍රී ලංකාවෙහි වෙසෙන සියළුම ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ආරක‍ෂාව, සමෘද්ධිය සහ සෞභාග්‍යය ළඟාකර ගැනීම සඳහා,

මෙහි පහත දැක්වෙන ගිවිසුමට අද දින එළඹුනහ.

1.1 ශ්‍රී ලංකාවෙහි ඒකීය භාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිමට අපේක‍ෂා කරන හෙයින් ද,

1.2 ශ්‍රී ලංකාවෙහි, අනෙකුත් ජාතීන් අතර, සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්(මරක්කල) සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුත් බහුවිධ සමාජයක් ඇති බැව් පිළිගන්නා හෙයින් ද,

1.3 සැළකිල්ලෙන් පෝෂණය කළයුතු වූ එකිනෙකට වෙනස් සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතාවයක් එක් එක් ජනවාර්ගික කොට්ඨාශයට ඇති බැව් පිළිගන්නා හෙයින්ද,

1.4 දෙමළ භාෂාව කථා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාශයන් සමඟ එකට මෙතෙක් ජීවත් වූ නැගෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස තිබූ බැව් පිළිගන්නා හෙයින් ද,

1.5 ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවයට ආධාර වන්නා වූ බලවේගයන් ශක්තිමත් කිරීම හා සමානාත්මතාවයෙන් සහ සමඟියෙන් යුතුව ජිවත්වෙමින්, සමෘද්ධිය ළඟා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන්ට ස්වකීය අභිමතාර්ථයන් ඉටු කරගත හැකි අයුරු ශ්‍රී ලංකාවේ බහු ජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුක්ත වූ බහුවිධ සමාජ ස්වරූපය ආරක‍ෂා කිරීම පිළිබඳ අවශ්‍යතාවය දන්නා හෙයින් ද,

2. මෙසේ සම්මත කරති:

2.1 සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ එකිනෙකට සම්බන්ධවීමටත් උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජය යෝජනා කරන හෙයින්,

2.2 මෙහි පහත 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීමේ දින සිට, 2.3 වැනි ඡේදයෙහි සඳහන් ජනමත විචාරණය පවත්වනු ලබන දිනය දක්වා වූ, අතුරු කාලපරිච්ඡේදය වශයෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදය තුළ උතුරු සහ නැගෙනහිර පළාත් ඡන්දයෙන් තෝරාපත් කරනු ලබන එකම පළාත් සභාවකින් යුත් එකම පරිපාලන ඒකකයක් වනු ඇත. එවැනි ඒකකයක් සඳහා එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇත.

2.3 (අ) නැගෙනහිර පළාත උතුරු පළාතට සම්බන්ධවූ එක් පරිපාලන ඒකකයක් වශයෙන් පැවතෙමින් ඉහත 2.2 වැනි ඡේදයෙහි සඳහන් අයුරු උතුරු පළාත සමඟ දිගටම ඒකාබද්ධව පාලනය කරගෙන යා යුතු ද නැතහොත්

(ආ) නැගෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතුද,

යන්න නැගෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988 දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක්, ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය.

2.4 ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා හෝ වෙනත් හේතූන් නිසා ස්වකීය වාසස්ථාන හැරයාමට සිදුවූවන් හට එවැනි ජනමත විචාරණයකදි ඡන්දය දීමේ අයිතිවාසිකම හිමිවනු ඇත. ඔවුන් කළින් සිටි ප්‍රදේශවලට ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලනු ඇත.

2.5 එම ජනමත විචාරණය, අග්‍ර විනිශ්චයකාර තැනගේ ප්‍රධානත්වයෙන් වූද, ශ්‍රී ලංකා රජය විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් සහ නැගෙනහිර පළාතෙහි දෙමළ භාෂාව කථා කරන ජනයාගේ නියෝජිතයින් විසින් නම් කරනු ලැබ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයෙකුගෙන් යුත් කමිටුවක පරීක‍ෂාව යටතේ පත්වනු ඇත.

2.6 ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා සාමාන්‍ය බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත.

2.7 රටෙහි පවත්නා නීතිය අනුව ඉඩදිය හැකි රැස්වීම් සහ අනෙකුත් අන්දමේ ප්‍රචාරක කටයුතුවලට ජනමත විචාරණයට පෙර ඉඩ කඩ ලබා දෙනු ඇත.

2.8 මීළඟ මාස තුන ඇතුළත දී, කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර, පළාත් සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දියානු නිරීක‍ෂකයින්ට ආරාධනා කැරෙනු ඇත.

2.9 1987 අගොස්තු මස 15 වැනි දින වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසි අවස්ථාව ඉවත් කෙරෙනු ඇත. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පැය 48 ක් ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියළුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත් කරනු ලබන බලධාරින්ට, ගිවිසගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව, භාර දෙනු ඇත.

සටන් නවත්වාලීමෙන් සහ සටන්කාමී කණ්ඩායම් විසින් අවි ආයුධ භාරදීමෙන් පසු 1987 මැයි මස 25 වැනි දිනදී මෙන් යුද හමුදාව සහ සියළුම ආරක‍ෂක නිලධාරීන් කඳවුරුවල බැරැක්කවලට සීමා කර තබනු ඇත. අවි ආයුධ භාරදීමේ සහ ආරක‍ෂක නිලධාරීන් බැරැක්කවලට ආපසු යෑමේ ක්‍රියාවලිය සටන් නැවැත්වීම කි්‍රයාත්මක වි පැය 72 ක් ඇතුළත අවසන් කරලිය යුතුය.

2.10 උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල නීතිය කි්‍රයාත්මක කිරීමේ සහ ආරක‍ෂාව පවත්වාගෙන යෑමේ කාර්යයන් සඳහා රටෙහි අනෙකුත් ප්‍රදේශවල යොදා ගන්නා රාජ්‍ය සංවිධානයන් සහ පටිපාටීන්ම ශ්‍රී ලංකා රජය විසින් උපයෝගී කරගනු ඇත.

2.11 ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත සහ අනෙකුත් හදිසි අවස්ථා නීති යටතේ දැනට අත්අඩංගුවේ සිටින දේශපාලනමය සහ අනෙකුත් සිරකරුවන්හට ද, සටන්කාමීන්හට ද මෙකී නීති යටතේ චෝදනා ලැබ නඩු පවරනු ලැබ සහ / හෝ දඩුවම් කරනු ලැබ ඇති පුද්ගලයනහට ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පොදු ක්ෂමාවක් දෙනු ඇත. සටන්කාමී තරුණයින් රටෙහි ජන ජීවිතයෙහි ප්‍රධාන කි්‍රයාවලියට ආපසු පමුණුවාලීම සඳහා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විශේෂ පරිශ්‍රමයක් දරනු ඇත. මෙම කි්‍රයාවලියට ඉන්දියාවේ සහාය ලැඛෙනු ඇත.

2.12 ඉහත විධි විධාන ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන ඒ අනුව කටයුතු කරනු ලබනු ඇත. අනෙකුත් සියල්ලන් විසින්ද එසේ කටයුතු කරනු ඇතැයි රජය අපේක‍ෂා කරයි.

2.13 මෙම තීරණයන් සඳහා වූ මූලික රාමුව පිළිගනු ලබන්නේ නම් ශ්‍රී ලංකා රජය විසින් අදාල යෝජනා වහාම කි්‍රයාත්මක කරනු ඇත.

2.14 මෙම යෝජනා ඉන්දියානු රජය විසින් සහතික කරනු ලබන අතර ඒවා කි්‍රයාත්මක කිරීමෙහි ලා සහාය වනු ඇත.

2.15 1986. 05. 04 වැනි දින සිට 1986. 12. 19 වැනි දින දක්වා වූ කාලය තුළ සාකච්ඡා කරන ලද යෝජනාවන් පිළිගත යුතුය යන කොන්දේසියට මෙම යෝජනා යටත් වේ. අවසාන නිගමනයකට නොඑළඹෙන ලද ඉතිරි කරුණු මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් සති හයක් ඇතුළත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් නිරාකරණය කරගත යුතුය. මෙම යෝජනා කි්‍රයාත්මක කිරීමෙහිලා ඉන්දියානු රජය කෙළින්ම ශ්‍රී ලංකා රජයට සහායවනු ඇත යන කොන්දේසියට ද ඒවා යටත්ය.

2.16 ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවල මෙම මූලික රාමුව ශ්‍රී ලංකාවෙහි සිටින කිසියම් සටන්කාමී කණ්ඩායමක් විසින් නොපිළිගනු ලැබුවහොත් ඉන්දියානු රජය පහත සඳහන් අයුරු කි්‍රයා කරනු ඇතැයි යන කොන්දේසියට ද මෙම යෝජනා යටත් වේ.

(අ) ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවයට, දේශපූර්ණත්වයට සහ ආරක‍ෂාවට අහිතකර කාර්යයන් සඳහා ඉන්දියානු භූමිය ප්‍රයෝජනය නොගනු ලබන බව සහතික කිරීමට අවශ්‍ය සියළු පියවර ඉන්දියානු රජය විසින් ගනු ඇත.

(ආ) ද්‍රවිඩ සටන්කාමී කටයුතු ලංකාවට බලපෑම වලක්වාලීම සඳහා ඉන්දියානු නාවික / වෙරළාරක‍ෂක හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වනු ඇත.

(ඇ) මෙම යෝජනා කි්‍රයාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් යුද්ධාධාර ඉල්ලා සිටි විටකදී ශ්‍රී ලංකා රජයට එවැනි යුද්ධාධාර දීමෙන් ඉන්දියානු රජය සහාය වනු ඇත.

(ඈ) තමිල්නාඩුවෙහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් ශ්‍රී ලංකාවට ආපසු එවීමත් සමඟම මෙරට වාසය කරන ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම ඉන්දියානු රජය විසින් කඩිනම් කරනු ඇත.

(ඉ) උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන සියළුම ජනවාර්ගික කොටස් වලට අයත් තැනැත්තන්ගේ ආරක‍ෂාව සහ සුරක‍ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

2.17 මෙම ගිවිසුමෙන් අදහස් කරනු ලබන ඡන්ද විමසීමේ කි්‍රයාවලියට නිදහස්ව, පූර්ණව සහ සාධාරනව සහභාගී වීම උතුරු සහ නැගෙනහිර පළාත්වල සිටින සියළුම ඡන්දදායකයින්ට ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත. මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජයට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇත.

2.18 සිංහල භාෂාව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය භාෂාව විය යුතුය. දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවන් ද රාජ්‍ය භාෂාවන් වනු ඇත.

3. අත්සන් තැබූ විට මෙම ගිවිසුම සහ ඒ සමඟ ඇති ඇමුණුම කි්‍රයාත්මක විය යුතුය.

එක්දහස් නවසිය අසූහතක් වූ ජූලි මස විසි නව වැනි අද දින ශ්‍රී ලංකාවෙහි කොළඹ දී සත්‍ය වු පිටපත් දෙකකින් සකස් කරන ලද මෙයට අපගේ අත්සන් සහ මුද්‍රා තැබුවෙමු.

ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

රජීව් ගාන්ධි ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය


ඇමුණුම


1. ගිවිසුමේ 2 වැනි ඡේදයෙහි සහ එම ඡේදයෙහි අනු ඡේදයන් හි සඳහන් ජනමත විචාරණය ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණන් විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු මැතිවරණ කොමිෂන් සභාවෙහි නියෝජිතයකු විසින් නිරීක‍ෂණය කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

2. එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ලබන ඉන්දියානු රජයේ නියෝජිතයකු විසින්, ගිවිසුමෙහි 2.8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීම නිරීක‍ෂණය කරනු ඇතැයි රාජ්‍ය නායකයෝ දෙදෙනා එකඟ වෙති.

3. පළාත් සභා ඡන්ද සාධාරනව පැවැත්විමට වාතාවරණය ඇතිකරලනු සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල ග්‍රාමාරක‍ෂකයින් විසුරුවා හැරීමටත් එම පළාත්වලින් උපයෝගී හමුදා පිරිස් ඉවත් කර ගැනීමටත් ශ්‍රී ලංකා ජනාධිපති උතුමාණෝ එකඟ වෙති.

ජනවාර්ගික ප්‍රචණ්ඩ කි්‍රයා නිසා ඇතිවූ එවැනි උපයෝගී හමුදා පිරිස් ශ්‍රී ලංකාවෙහි නිත්‍ය ආරක‍ෂක හමුදාවනට ජනාධිපතිතුමා විසින් ස්වකීය අභිමතය පරිදි අන්තර්ග්‍රහණය කරනු ඇත.

4. ගිවිසගත් පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන බලධාරීන්ට ද්‍රවිඩ සටන්කාමීන් විසින් ස්වකීය අවි ආයුධ භාරදිය යුතුයැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති. ශ්‍රී ලංකා රතු කුරුස හමුදාවෙහි සහ ඉන්දියානු රතුකුරුස හමුදාවෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් දෙදෙනෙකු හමුවෙහි අවි භාරදීම සිදුකළ යුතුය.

5. සටන් නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දීය රජයේ සුදුසුකම්ලත් නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ඉන්දු - ශී්‍ර ලංකා නිරීක‍ෂණ කණ්ඩායමක් විසින් 1987 ජූලි මස 31 වැනි දින සිට පරීක‍ෂා කරනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.

6. සටන් නැවැත්වීම සහතික කිරීමටත්, එය කි්‍රයාත්මක කිරීමටත් ගිවිසුමේ 2.14 සහ 2.16 (ඇ) වගන්ති අනුව ඉන්දීය සාම බලඇණියකට අවශ්‍ය වේ නම් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් ආරාධනා කරනු ඇතැයි ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟ වෙති.


1987 ජූලි 29

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදී එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන් කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩී යාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

5. උතුමාණෙනි, ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර එළැඹී ගිවිසුම නිවැරදි ලෙස දැක්වෙන බැව් කරුණාවෙන් සනාථ කළ මැනවි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

මෙයට, හිතවත්, රජීව් ගාන්ධි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ෙජ්. ආර්. ජයවර්ධන උතුමාණෝ කොළඹ.


ශ්‍රී ලංකා ජනාධිපති

1987 ජූලි 29

උතුමාණනි,

පහස සඳහන් අයුරු කියැවෙන 1987 ජූලි මස 29 වැනි දින දරණ ඔබේ ලිපියට ඔබගේ අවධානය යොමුකරවනු මැනවි.

උතුමාණනි,

අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ අප දෙරට අතර පවත්නා අපගේ මිත්‍රත්වය ගැන අප දන්නා හෙයින්ද, මෙම සම්ප්‍රදායික මිත්‍රත්වය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිගන්නා හෙයින්ද අප එකිනෙකාගේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාවය සහ ආරක‍ෂාවට අහිතකර කටයුතු සඳහා අපගේ දේශ භූමි යොදා ගැනීමට ඉඩ නොදීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විසින් යළි සහතික කිරීම අත්‍යවශ්‍යය.

2. ඉන්දියාව සැලකිලිමත්වන කරුණු පහත සඳහන් අයුරු නිරාකරණය කරලීමට අපගේ සාකච්ඡාවලදි එය අරමුණු කොට ගෙන ඔබ එකඟ විය.

(අ) විදේශීය හමුදා පිරිස් සහ රහස් තොරතුරු කාර්ය මණ්ඩල සිටීම ඉන්දු - ලංකා සබඳතාවලට අහිතකර නොවන බැව් සහතික කිරීම සඳහා ඔවුන්ගේ උචිතභාවය සහ ඔවුන් උපයෝගි කර ගැනීම පිළිබඳව ඔබතුමා සහ මා අතර ඉක්මනින් එකඟත්වයක් ඇතිකරගනු ඇත.

(ආ) ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ති්‍රකුණාමලය හෝ ශ්‍රී ලංකාවෙහි අන්කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවල ප්‍රයෝජනය සඳහා ලබා නොදෙනු ඇත.

(ඇ) ති්‍රකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරවූ හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් කි්‍රයාත්මක කරනු ඇත.

(ඈ) විදේශීය ගුවන්විදුලි ප්‍රචාරක සංවිධානයන් විසින් ශ්‍රී ලංකාවෙහි පිහිටුවනු ලබන විවිධ පහසුකම් ප්‍රසිද්ධ ගුවන් විදුලි ප්‍රචාරයන් සඳහා වූ පහසුකම් විනා යුද කටයුතු හෝ රහස් තොරතුරු රැස් කිරිම සඳහා වූ හෝ ඒවා නොවන බවට සහතික කිරීම සඳහා එකී සංවිධාන සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම් සමාලෝචනය කරනු ඇත.

3. ඒ අන්දමින් ම ඉන්දියාව විසින් ද

(අ) ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙන්නාවූ හෝ ඛෙදුම්වාදය හෝ රටින් කැඩියාම අනුගමනය කරන්නාවූ සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් නෙරපා හරිනු ඇත.

(ආ) ශ්‍රී ලංකාවේ ආරක‍ෂක හමුදාවන් සඳහා පුහුණුවීමේ පහසුකම් සහ හමුදාවනට අවශ්‍ය භාණ්ඩ සැපයීම් සලසා දෙනු ඇත.

4. ඉහත 1 වැනි ඡේදයෙහි සඳහන් අරමුණු හේතුකොටගෙන පොදුවේ බලපාන කරුණු අඛණ්ඩව සමාලෝචනය කිරීම සඳහා ද විශේෂයෙන්ම මෙම ලිපියෙහි සඳහන් අනෙකුත් කරුණු කි්‍රයාත්මක කිරීම පිළිබඳව පරීක‍ෂා කිරීම සඳහා ද හවුල් උපදේශක සංවිධානයක් ඇති කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

ඉහත සඳහන් කරුණුවලින් අප දෙදෙනා අතර ඇති කරගත් සම්මුති නිවැරදි ලෙස දැක්වෙන බැව් සනාථ කරමි.

උතුමාණනි, මගේ අතිශය ගෞරවය පිළිගනු මැනවි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති

ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය, අතිගරු රජිව් ගාන්ධි උතුමාණෝ නවදිල්ලිය.