Jump to content

ඇසළ පසළොස්වක පෝය

විකිපීඩියා වෙතින්

ඇසළ පසළොස්වක පෝය, යනු ඇසල මස පසළොස්වක තිථියට අනුරූපී පෝය දිනයයි. මෙම දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයකි.

වැදගත්කම

[සංස්කරණය]
  • සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
  • සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමනය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පොහොය දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
  • ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රතම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කොට වදාළේද ඇසල පොහොය දිනයකයි.
  • විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද පෙර වස් විසීම ඇසල පොහෝ දිනටයි.
  • ගන්ධබ්බ රුක්මුලයේදී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වැනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම් බණ වදාළේත් ඇසළ පුණු පොහෝ දිනයක දීය.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂාව සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුණු පොහෝදිනයක ය.
  • බු. ව. 236 වැන්නෙහි අනුබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. බු. ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් සපනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.
  • බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කන්තක චෙතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය පළමු වස් එළඹීම සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක ය.
  • බු. ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රඳුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදුකරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. එසේම උතුරු සළ නැකතින් මහ සෑයෙහි ධාතු නිධානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්යය මැද සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයක ය.
  • බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කර ගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය. විශේෂයෙන් ලාංකික ජනයාගෙන් වැඳුම් පිදුම් ලබන නාථ , ස්කන්ධ කුමාර , පත්තිනි ආදී දෙවියන් උදෙසා පුද පූජා පවත්වා දේව වරප්‍රසාද ලබාගෙන ශ්‍රී සමෘද්ධිය අයත් කර ගනු පිණිස ඈත අතීතයේ සිට ම මහනුවර, ශ්‍රී ජයවර්ධනපුර, අලුත් නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුරය, කතරගම ආදී නගර ග්‍රාමයන් හි පිහිටි දේවස්ථානයන් හි වාර්ෂික වශයෙන් පැවැත්වෙන දේව පූජා පෙරහර සිදුකරන දිනය නිසාත් ආගමික වශයෙන් මෙන් ම ඓතිහාසික අංශයෙන් ද ශ්‍රේෂ්ඨ දිනයක් වශයෙන් මේ දවස සැලකිය හැකි ය.

අමතර අවධානයට

[සංස්කරණය]


පූර්වප්‍රාප්තිකයා
ඉල් පසළොස්වක පෝය
ඇසළ පසළොස්වක පෝය අනුප්‍රාප්තික
දුරුතු පසළොස්වක පෝය
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_පසළොස්වක_පෝය&oldid=754738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි