ආර්.කේ. නාරායන්

විකිපීඩියා වෙතින්

- උපත-1906 ඔක්තෝබර් 10 ඉන්දියාවේ චෙන්නායිහි දී

- රැකියාව-නවකතා රචකයෙකු, කෙටිකතා රචකයකු සහ නිබන්ධන රචකයකු වේ.

- ඔහුගේ නිර්මාණ අයත් වන කාණ්ඩයන්-ප්‍රබන්ධ, පුරාණ කතා, ප්‍රබන්ධමය නොවන ග්‍රන්ථ

- වැදගත් නිර්මාණ-Swami and the Friends (1935)

R.K. නාරායන් (1906 ඔක්තෝබර් 10 – 2001 මැයි 13) හෙවත් රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි අයියර් නාරායන්ස්වාමි ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ රචනයෙහි යෙදුණු ඉන්දියානු කතුවරුන් අතර ඉතා සුප්‍රසිද්ධ කතුවරයෙකු වේ.

නාරායන් විසින් රචනා කරන ලද බොහෝ ග්‍රන්ථයන් තුළ ඉන්දියානු ජීවිතයෙහි ගුණාංග පැහැදිලිව නිරූපණය වන අතර ඒවා තුළ ඔහුටම ආවේණික රචනා ශෛලියක් දැක ගත හැක. මෙම ගුණය ඔහුගේ ප්‍රථම නවකතාව වූ Swami and the Friends (1935) නම් ග්‍රන්ථයේ පටන්ම දැක ගත හැක. ඇතැම් විට නාරායන් ඇමරිකානු කතුවරයෙකු වූ විලියම් ෆෝක්නර් සමඟ සංසන්දනය කරනු ලැබේ. ඔවුන්‍දෙදෙනාගේම ග්‍රන්ථ මානවවාදී පදනමක් මත සාමාන්‍ය ජීවිතයේ සතුට සහ ශක්තිය වර්ණනා කෙරෙන ආකාරයේ ඒවා වේ.

නාරායන් වයස අවුරුදු 94ක් වන තෙක්ම ජීවත් වූ අතර වසර 50කට බොහෝ වැඩි කාලයක් ග්‍රන්ථ රචනා කිරීමෙහි නිරත වීමට ඔහු සමත් විය. ඔහුගේ වයස අවුරුදු 87 වන තෙක්ම ඔහු තම ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම සිදු කරන ලදී. ඔහුගේ ග්‍රන්ථ අතරට නවකතා 14ක් සහ කෙ‍ටි කතා සංග්‍රහයන් 5ක් අයත් වේ. ඒ හැරුණු විට චිත්‍රාධාරයෙන් ගමන් විස්තර දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් ද ඉන්දියානු වීර කාව්‍ය ඇසුරෙන් නිර්මාණය කරන ලද සංක්ෂිප්ත ප්‍රබන්ධ නොවන කතා සංග්‍රහ කිහිපයක් ද My Days නමින් නිබන්ධනයක් ද ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ආර්.කේ._නාරායන්&oldid=464981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි