ආටානාටිය සූත්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.

සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.

සූත්‍රයෙහි සිංහල තේරුම මෙසේය

1.මා විසින් මෙසේ අසන ලදී:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹැ ඔබ ආදරයෙන් වැඳ එකත් පස් වැ හුන්හ. (ඔවුන් පිරිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථාව නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එක් පසෙක හුන්හ.

2. එක් පසෙක හුන් ම වෙසවුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදැති යක්කු වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හීන තෙ ඇති යක්කු ද වෙත් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙද ඇති යක්කු ද වෙත් ම ය.

වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණූ වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළැක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි (කීයේ ය). භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.

3. ඉක්බිති වෙසවුණු මහ රජ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන, ඒ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:

4. “පසැස් ඇති සිරිමත් වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා.

සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා,

බාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.

යමෙක් සියලු දුක් දුරැ ලන මේ ධර්මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා,

ලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විවසුන් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති, මාත්‍රාභාණි වූ (මුසවා කේලාම් ඈ නො කියන) ඒ ක්ෂීණාස්‍රවයෝ,

5. දෙව්මිනිස්නට හිත වූ (මෙත් පතුරුවන), විද්‍යා හා චරණධර්මයෙන් සම්පූර්ණ වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා,

මහා රශ්මි මණ්ඩලයක් ඇති, ආදිත්‍යසඞ්ඛ්‍යාත සූර්ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැගෙන කල්හි රාත්‍රියත් අතුරුදහන් වේ ද,

යම් දිගෙක හිරු නැඟි කල්හි දහවලැ යි කියනු ලැබේ ද, ඒ දිගැ, පිවිසුණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශයය වෙයි.

මෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කියයි.

ගන්ධර්වයනට අධිපති වූ, නම් වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හේ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම්ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි.

ඔහුට (ඉන්ද්‍ර යන) එක් ම නමක් ඇති පුත්තු ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්.

ඔහුද සූර්යබන්ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක,

‘පුරුෂාජානේයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂොත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි කිය අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති, මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි කියම්හ (අසම්හ). ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.

6. කලුරිය කළාහු (මළ සිරුරු) යම් දෙසකට ‘ගෙන යනු ලැබෙත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටු මස් කන්නවුන් සේ පිටුපා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ, සොර වූ කපට වූ (අපරාධකාරී) ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් වා’ යි කියනු ලැබෙත් ද,

ඒ යම් දිශාවක් යශස්වී මහරජෙකේ පාලනය කෙරෙයි ද, ඒ මෙයින දකුණු දිග යැ යි මහ ජන තෙමේ කියයි.

එ දෙසෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත අලවා වෙසෙයි.

ඔහුට එක්ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්ද්‍ර නම් වූ මහ බලැති ඔව්හු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.

ඔහු ද සූර්යබන්ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ පුරුෂොත්තමයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී, එහෙයින්,

‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ ප්‍රශ්න වශයෙන් කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳිම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිම්හ’ යි (ඔහු උත්තර දෙත්).

7. මහ රස්මඬුලු ඇති, ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,

යම් දිනකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලැශයය වෙයි.

මෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙස යැ යි මහ ජනයා කියයි.

නාගයනට අධිපති වූ, නම් විසින් විරෑපාක්ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් සිත් අලවා එහි වෙසෙයි.

ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදි. මහ බලැති ඉන්ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.

ඔහු ද සූර්යබන්ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති, බුදුරජුන් දැක,

‘ආජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂොත්තමයාණනි, ඔබට නමස්කාර වේ’ වා යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ, විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.

8. යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්‍රාදීන්හි) මමත්වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති මිනිස්සු උපදිත්.

ඔහු ධාන්‍ය බිජුවට නො වපුරත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලැබෙත්. ඒ මිනිස්සු නො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභොග කරත්.

කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳ ඇති සහල් සැළියෙක බහා පිසැ එයින් ගෙන බොජුන් වළඳත්.

එහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.

ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

ඒ වෙසවුණූ රජු ගේ පරිවාරක යක්ෂයෝ එලැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්.

යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද වෙත්. එ රජුව අහසැ මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, පරකුසිනාටා යැ යි නගරයෝ වූහ.

එයින් (ඒ පරකුසිතනාට නුවරින්) ඉඳුරා උතුරුදිගැ කපීවන්ත නම් නුවරෙක් ද, එයින ඔබ්බෙහි ජනොඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවතිය නම් නුවරෙක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද, අන්‍ය ආලකමන්දා නම් රාජධානියෙක් ද ඇත. නිදුකාණනි, කුවෙර මහ රජුගේ රජදහන විසාණා නම, එ හෙයින් කුවෙර මහ රජ වෙස්සවණ (වෙසවුණු) යැ යි නම් කරනු ලැබෙයි. එහි තතොලා, තත්තලා, තතොතලා, ඔජසී. තෙජසී. තතොජසී, සූර, රාජ, සුරරාජ, අරිෂ්ට, නෙමි. අරිෂ්ටනෙමි යන නම් ඇති (දොළොස්) යක් රැටියෝ කරුණු විමසා පවසත්.

යම් පොකුණෙකින් දිය ඇද ගෙන මෙඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාශයයෙක් ද එහි වෙයි. එහි තෙරැ යකුන් රැස් වැ හිඳුනා භගලවතී නම් රුවන් මඩුවෙක් වෙයි.

එහි (ඒ මඩුව හාත්පසැ) විවිධ පක්ෂිසමූහයන් ගෙන් යුක්ත වූ, මොනරුන් ද කොස්ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනොඥ නාදයෙන් උන්නාදිත වූ, නිති පල දරන වෘක්ෂයෝ වෙත්.

මෙහි පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන (ජීවජීවක නම්) පක්ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්ෂීහු ද. වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, ඒ පොක්ඛරසාතක නම් පක්ෂීහු ද වෙත්.

මෙහි ගිරවුන්ගේ ද සැළළිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්ෂීහු ද මෙහි හැසිරෙත්. මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියම් විල නිරතුරු හොබනේ ය.

10. යශස් ඇති ඒ කුවෙර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මේ තැනින් උතුරු දෙස යැ යි මහජන තෙමේ කියයි.

නම් විසින් කුවෙර යැ යි ප්‍රකට වූ, යක්ෂයනට අධිපති වූ, හෙ තෙම් යකුන් විසින් පෙරටු කැරැ ගන්න් ලද්දේ, නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.

ඔහුට එක් නම් ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී. ඔහු ඉන්ද්‍ර යන නම ඇති මහා බලැති එක් අනූ දෙනෙකි.

ඔහු ද සූර්යබන්ධු වු, ක්ලෙශනිද්‍රායෙන් පිබිදුණු මහත්ත්ව ප්‍රාප්ත, පහ වූ බියැති බුදුරජුන් දැක, ‘ආජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා. උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කොට) කියම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ අපි වඳිමු, විද්‍යා චරණ දෙකින් සම්පූර්ණ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිමු’ යි ඔහු උත්තර දෙත්.

11. නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තීය පිණිස, රැක්ම පිණිස, නොවෙහෙසීම පිණිස, සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙය ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්ථ ව්‍යංජනයෙන් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්,

යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂපෝතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍රයෙක් හෝ යක්ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගන්ධර්වයෙක් හෝ ගන්ධර්වියක් හෝ ගන්ධර්ව පෝතකයෙක් හෝ ගන්ධර්වපෝතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍රයෙක් හෝ ගන්ධර්ව පාරිෂද්‍යයෙක් හෝ ගන්ධර්ව පරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපොතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලොහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.

12. නිදුකාණන් වහන්ස, නපුරු වූ, සතුරු වූ, කළ දැයට වැඩියක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස් නො ම පිළිගනිත්. වරම්රජුන් අයත් සෙනෙවියන් ගේ බස් ද නො ම පිළිගනිත්. වරම්රජුන් යටතැ සිටිනා යක් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් ගේ බස දු නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්.

නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපතී රජු ගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජු ගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් වචනත් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරු මගධාධිපති රජුහු ගේ සතුරෝ නමැ යි කියනු ලැබෙත් ද, එසේ ම නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයත් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුනගේ සතුරෝ යැ යි කියනු ලබත්.

13. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක් දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පර්ෂත්හි වූයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝ නේ වී නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මුදා (අත් නො හරී) යැ” යි දැනවියැ යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

14. (එසේ දැන්වියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක් සෙනෙවියනට ද යත්:

ඉන්ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්දන ය, කාමශ්‍රෙෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය, ප්‍රණාද ය, ඔපමඤ්ඤ ය, දෙව් සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්ධර්ව ය, නළ ය, රාජ ය, ජනර්ෂ්භ ය, සාතාගිර ය, හෙමවත ය, පූර්ණක ය, කරතිය ය (කාර්තීකෙය ය), ගුඩ ය. ගොපාල ය, සුප්පගෙධ ය, හිරිනෙත්ති ය, මන්දිය ය, පඤ්චාල චණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, වර ය, දීර්ඝ ය, තව ද සෙරීසක ය යන මොවුනට ය.

15. මේ යක්ෂයනට ද මහා යක්ෂයනට ද යක්ෂ සෙනාපතීනට ද මහා යක්ෂ සෙනාපතීනට ද,

‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙමේ මට ආවිෂ්ට වේ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැ යි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ’ යි දැන්වියැ යුතු, හඬා නඟා කියැ යුතු.

නිදුකාණන් වහන්ස, මේ මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රකවරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත ය.

නිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ.

‘මහ රජුනි, තෙපි යම් ගමනකට දැන් කල් වේ යැ යි සලකන්නහු ද,

ඒ ගමන කරනු ලැබේ වා’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

16. ඉක්බිති සතර වරම් මහරජහු හුනස්නෙන් නැගී, සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කුද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනක් සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වන්සේ දිසාවට දොහොත් නමා, එහි ම අතුරුදහන් වූහ. ආතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වූවාහු, එහි ම අතුරුදහන් වූහ.

පළමු බණවර නිමියේ ය.

16. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් භික්ෂූන් බණවා මෙසේ වදාළ සේක:

මහණෙනි, මේ ගත වූ රාත්‍රියෙහි සතර වරම් මහරජුහු මහත් යක්ෂ සේනායෙන් ද මහත් ගාන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද සතර දිගැ රකවල් තබා, සතර දිගැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුරකරුවන් රඳවා, රෑ (පෙර යම) ඉක්මි කල්හි, විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිහජුකුළු පව්ව එකලු කොට, මා කරා එළැඹිය හ. එළැඹැ මා සාදර වැ වැඳ, එක් පසෙක හුන්හ. (ඔවුන්ගේ පිරිවර වූ) යක්කු ද ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ එක් පසෙක හුනහ. ඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිත රැඳැවිය යුතු වූ, කථාව නිමවා, එක් පසෙක හුන්හ, ඇතැම් කෙනක් මා දිසාවට දොහොත් නමා පසෙක හුන්හ, ඇතැම් කෙනක් නම් ගොත් අස්වා පසෙක හුන්හ, ආතැම් කෙනෙක් නිහඬ වැ පසෙකැ හුන්හ.

17. මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය:

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නොපහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නොපැහැදුණ හු ම වෙත්. ඒ කවර හෙයින් ද? යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. මුසවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසනා සේක. මත්බවට හා පමාවට හා කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්නාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසාවායෙන් නො වැළැක්කාහු ම ය, මත්බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය. ඔවුනට (භාග්‍යවතුන් වහන්සේ ගේ) ඒ දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ.

වහන්ස, යම් කෙනෙක් අල්ප ශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමඩ සුදුසු වූ, අරණ්‍ය වන ප්‍රස්ථයන් ද, බොහෝ දුරැ සෙනසුන් ද සෙවිත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය.

වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේගේ සස්න කෙරෙහි නො පහන් වූ, ඒ (යට කී) සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස, මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ ගුප්තිය පිණිස, ආරක්ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව’ යි (කීයේ ය.)

මහණෙනි, මම් නිහඬ වැ ඉවැසීමි.

18. මහණෙනි, ඉක්බිති වෙසවුණු මහ රජ මා ඉවැසූ නියා දැන, එ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:

“පසැස් ඇති සිරිමත් වූ, විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා. සෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා.

බාහිත පාපී වූ, වැස නිමැ වූ මඟබඹසර ඇති, කොණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.

යමෙක් සයලු දුක් දුරු ලන මේ ධර්මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා.

ලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විමැසුම් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති මාත්‍රභාණී වූ ඒ ක්ෂීණාස්‍රවයෝ,

19. දෙව්මිනිස්නට හිත වූ, විද්‍යා හා චරණධර්මයෙන් සම්පූර්ණ වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති, යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා.

මහා රශ්මි මණ්ඩලයක් ඇති ආදිත්‍ය සංඛ්‍යාත සූර්ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැඟෙන කල්හි රාත්‍රියක් අතුරුදහන් වේ ද,

යම් දිගෙක හිරු නැඟී කල්හි දහවලැ යි කියනු ලැබේ ද, එ දිගැ පිවිසිණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාසය වෙයි. 8.

මෙසේ එහි එය නදී ජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කිය යි. 9.

ගාන්ධර්වයනට අධිපති වූ, නාම වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හෙ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි. 10.

ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැයි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්. 11.

ඔහු ද සූර්යබන්ධු වූ කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක,

‘පුරුෂාජානෙයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂොත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,

‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි අසම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ,’ යි ඔහු කියත්,

කලුරිය කළාහු යම් දෙසකට ‘ගෙන යනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටුමස් කන්නවුන් සේ පිටු පා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ සොර වූ කපට වූ ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද,

ඒ යම් දිශාවක් යශස්වී මහ රජෙක් පාලනය කරයි ද, ඒ මෙයින් දකුණු දිග යැ යි මහ ජන තෙමේ කිය යි.

එ දෙයෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත් අලවා වෙසෙයි.

ඔහුට එක් ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්ද්‍ර නම් වූ මහ බලැති ඔහු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.

ඔහු ද සූර්ය බන්ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු, බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානෙය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂොත්තමයාණනි, ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ (ප්‍රශ්න වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි (ඔහු උත්තර දෙත්.)

21. මහ රස් මඬුලු ඇති ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,

යම් දිගකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශය ය වෙයි.

මෙසේ එහි එය පිවිසි නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙසැ යි මහජනයා කිය යි.

නාගයනට අධිපති වූ, නම් විසින් විරුපාක්ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් නෙත්සිත් අලවා එහි වෙසෙයි.

ඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.

ඔහු ද සූර්ය බන්ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්වයට පැමිණි, පහ වූ බිය ඇති බුදුරජුන් දැක,

‘ආජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂොත්තමයාණනි ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.

‘ඔබ නිපුණා වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසනලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්, විද්‍යාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.

22. යම් දිග්භාගයෙක ඉතා දැකුම්කලු මහාමේරු පර්වතය වෙයි ද, එහි සිත්කලු වූ උතුරුකුරුව වෙයි. එහි මමත්වය නැති. ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහ නැති මිනිස්සු උපදිත්.

ඔහු ධ්‍යාන බිජුවට නො වපුරවත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලබත්. එ මිනිස්සු නො සාන ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභොග කෙරෙත්.

කුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳැති සහල් සැළියෙක බහා පිසැ, එයින් ගෙන බොජුන් වළඳත්.

එහි යක්කු එළ දෙන එක් කුරැති වාහනයක් කොට ගෙන දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොට ගෙන, දෙසින් දෙසට යෙත්.

ගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.

කුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්, කුමරකු වානහ කොට ගෙන, දෙසින් දෙස යෙත්.

ඒ වෙසවුණු රජු ගේ පරිවාරක යක්ෂයෝ එළැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍යයාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්. යශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රසාද ද සිවිගෙවල් ද වෙයි.

එ රජුට අහසැ මොනවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසීනාටා ය, නාටපුරියා ය, පරකුසිතනාටා යැ යි නගරයෝ වෙත්.

එයින් (ඒ පරකුසිතනාටා නුවරින්) ඉඳුරා උතුරු දිගැ කපිවන්න නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනොස නම් නුවරෙක් ද, අන්‍ය නවනවති ය නම් නුවරෙක් ද අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද ආළකමන්දා නම් අන්‍ය රාජධානියෙක් ද ඇත.

23. නිදුකාණනි, කුවේර මහ රජුගේ රජදහන විසාණා නම. එහෙයින් කුවේර මහ රජ වෙස්සවණ යැ යි නම් කරනු ලැබෙයි.

එහි තතෝලා, තත්තලා, තතෝතලා, ඕජසී. තේජසී, තතෝජසී, සූර, සූරරාජ, අරිට්ඨ, නෙමි, අරිට්ඨනෙමි යන නම් ඇති යක්රැටියෝ කරුණු විමසා පවසත්.

යම් පොකුණෙකින් දිය ඇද ගෙන් මෙඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාසයෙක් ද, එහි වෙයි. එහි තෙරැ යකුන් රැස්වැ හිඳුනා භගලවතී මඩුවෙක් වෙයි.

එහි හාත්පසැ විවිධ පක්ෂි සමූහයන් ගෙන් යුක්ත වූ, මොණරුන් ද කොස් ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනොඥ නාදයෙන් උන්නාදිත වූ, නිති ඵල දරන වෘක්ෂයෝ වෙත්.

මෙහි ඒ පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන, (ජීව ජීවක නම්) පක්ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්ෂීහු ද, වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, පොක්ඛරසතක නම් පක්ෂීහු ද වෙත්.

මෙහි ගිරවුන්ගේ ද සැළලිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්ෂීහු ද, මෙහි හැසිරෙත්, මෙසේ හැම කල්හි ඒ කුවෙරයා ගේ පියුම් විල නිරතුරු හොබනේ ය.

යශස් ඇති ඒ කුවෙර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මෙතැනින් උතුරු දෙස යැ යි මහජනයා කිය යි.

නම් විසින් කුවෙර යැ යි ප්‍රකට, යක්ෂාධිපති වූ, හේ යකුන් විසින් පෙරටු කරන ලද්දේ නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.

ඔහුට එක් නම ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී, ඉන්ද්‍ර යන නම ඇති, මහබලැති ඔහු එක් අනූ දෙනෙකි.

ඔහු ද සූර්යබන්ධු වූ, ක්ලෙශනිද්‍රායෙන් පිබිදුණු, මහත්ත්වප්‍රාප්ත වූ, පහ වූ බිය ඇති බුදුරජුන් දැක, ‘ආජානෙය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.

‘ඔබ නිපුණ වූ සර්වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කිරීම් වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු උත්තර දෙත්.

24. ‘නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තිය පිණිස රැක්ම පිණිස නො වෙහෙසීම පිණිස සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙ ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්ථව්‍යංජන විසින් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්, යක්ෂයෙක් හෝ යක්ෂිණියක් හෝ යක්ෂපෝතකයෙක් හෝ යක්ෂපොතිකාවක් හෝ යක්ෂමහාමාත්‍රයෙක් හෝ යක්ෂපාරිෂද්‍යයෙක් හෝ යක්ෂපරිවාරකයෙක් හෝ, ගාන්ධර්වයෙක් හෝ ගාන්ධර්වියක් හෝ ගාන්ධරවපෝතකයෙක් ගාන්ධර්වපෝතිකාවක් හෝ ගාන්ධර්වමහාමාත්‍රයෙක් හෝ ගාන්ධර්වපාරිෂද්‍යයෙක් හෝ ගාන්ධර්වපරිවාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ; නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපෝතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාග පාරිෂද්‍යයෙක් හෝ නාග පරිවාරකයෙක් හෝ, මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රදවිෂ්ට වූ සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ, මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙතැ සිටින්නේ ද, උන්නහු වෙතැ ඉඳුනේ ද, හොත්තහු වෙතැ හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයා මගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය; නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කට හැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් යැටිකුරු කොටැ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට හෝ පළන්නාහු ද වෙත්.

25. නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ, කළ දැයට වැඩියක් කරන අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහ රජ දරුවන් ගේ බස් නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්. නිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපති රජුගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජුහු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරහු මගධාධිපති රජහු ගේ සතුරෝ නමැ යි කියනු ලබත් ද, එසේ ම නිදුකාණන් වහනස්, නපුරු වූ සතුරු වූ, කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුනගේ බස් නො පිළිගනිත්. වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්. වරම් මහ රජුන් අයත් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ යි කියනු ලබත්.

26. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක්දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිවාරකයෙක් හෝ, නාගයෙක් හෝ නාගිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ, මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වෙෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, හෝ සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝනේ වී නම් හෝ, මේ යකුනට මහ යකුනට, යක් සෙනෙවියනට, යක් මහසෙනෙවියනට, ‘මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිංසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මෙ යක් තෙමේ මා නො මුදා (නො අත්හරි), යැ යි දැන්විය යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.

27. (එසේ කියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක්සෙනෙවියනට ද? යත්:

ඉන්ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්දන ය, කාමශ්‍රෙෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය, ප්‍රණාද ය, ඔපමඤ්ඤ ය, දෙව්සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්ධර්ව ය, නළ ය, රාජ ය, ජනර්ෂහ ය, සාතාගිරි ය, හෙමවත ය, පූර්ණක ය, කරතිය ය, ගුඩ ය, සීවක ය, මුචලින්ද ය, විශ්වාමිත්‍ර ය, යුගන්ධර ය, ගොපාල ය, සුප්‍රරොධ ය, හිරිනෙත්ති ය, මන්දිය ය, පඤ්චාලචණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, චර ය, දීර්ඝ ය, තව ද සෙරීස්ක ය යන මොවුනට ය.

28. මේ යක්ෂයනට ද මහා යක්ෂයනට ද යක්ෂ සෙනාපතියනට ද මහා යක්ෂ සෙනාපතියනට ද,

‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙම් ආවිෂ්ට වැ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ මා වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැයි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ යි දැන්වියැ යුතු, හඬ නඟා කියැ යුතු.

නිදුකාණන් වහන්ස, මේ, මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රක වරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ආටානාටිය පිරිත ය.

නිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ.

මහ රජුනි, යම ගමනකට දැන කලැ වේ යැ යි සලකන්නහු ද, ඒ ගමන කරනු ලැබේ වා’ යි මම් කීමි.

29. මහණෙනි, එ කල්හි සතර වරම් මහ රජදරුවෝ හුනස්නෙන් නැඟි මා සාදර වැ වැඳ, පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කු ද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ පැදකුණු කොට, එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ. සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් මා දිසාවට දොහොත් නමා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එහි ම අතුරුදහන් වූහ.

30. මහණෙනි, ආටානාටිය පිරිත උගනිවු. මහණෙනි, ආටානාටිය පිරිත පුහුණු කරවු. මහණෙනි, ආටානාටිය පිරිත සිතැ දරවු. මහණෙනි, ආටානාටිය පිරිත වැඩ ඇසුරු කෙළේ වේ. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රකවරණ පිණිස, නොවෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්ෂූහු ආරාධිත සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

----- ආටානාටිය සූත්‍රය නිමාව-----

"https://si.wikipedia.org/w/index.php?title=ආටානාටිය_සූත්‍රය&oldid=443796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි