ආකාස කුසුම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ආකාස කුසුම්
Akasa Kusum (Flowers of the Sky)
143x200-images-stories-newstext-Art-Akasa Kusum finalposter.JPG
Movie poster for Akasa Kusum (Flowers of the Sky)
අධ්‍යක්ෂණය කලේප්‍රසන්න විතානගේ
නිෂ්පාදනය කලේඑච්. ඩී. පේ‍්‍රමසිරි (සරසවි සිනෙරූ) ඉන්දියාවේ ඒ සරික්කාරි ප‍්‍රසාද්
රඟ පාන්නේමාලිනී ෆොන්සේකා
දිල්හානි ඒකනායක
නිම්මි හරස්ගම
කෞශල්‍යා ප්‍රනාන්දු
ජයනී සේනානායක
Release date
2008 ඔක්තෝම්බර් (බූසෑන්)
2009 අගෝස්තු (ශ්‍රී ලංකාව)
Running time
මිනිත්තු 90
Countryශ්‍රී ලංකාවශ්‍රී ලංකාව
Languageසිංහල


ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද ආකාස කුසුම් වූ කලී මානව සබඳතාවන් වියෝවූ සමාජයක සෝකී රිද්මය ද සංස්‌කෘතික වංග ගිරියක අතරමං වූ පරපුරකකේදවාචකය ද ගැඹුරින් විදහා දක්‌වන සිනමා නිර්මාණයකි.

සන්ධ්‍යා රාණි නම් වූ හුදෙකලා නිළි රැජිනිය හා ඇගේ යොවුන් දියණියගේ ද්වන්ද ගැටුම ඔස්‌සේ ගලා යන චිත්‍රපටයට යටින් කැරොකේ නටන සමාජයත්, යුද පීඩනයේ විනාශයත් ඒ සියල්ල මතුපිට සිදුවන උත්ප්‍රාසයෙන් යුතු නාටකයත් අපට දැක ගත හැකිය. ප්‍රසන්න ආසියානු සිනමාවේ සියත් ලකුණු පිරිසිඳ දැන් සිනමාලංකාරය හා සිනමා වියරණය මැනවින් භාවිත කරන සිනමාකරුවකු බව ද එමගින් තහවුරු කරයි.

සන්ධ්‍යා රාණිගේ ජීවිතය දරිද්‍රතාවයෙහි පමණක්‌ නොව අපේක්‍ෂා භංගත්වයෙහි ද කාන්තාරයකි. සිය විචිත්‍ර සිනමා තාරකා යුගය සිහිනෙන් ගෑ සුවඳක්‌ මෙන් ගිලිහී ගිය ඕ සිය දියණියගෙන් වියෝවී හදවතින් හඬා වැළපෙන අභාග්‍ය සම්පන්න ගැහැණියකි. සිය සමාජ හා ගෘහ වගකීම් නමැති රැහැණින් බැඳුණු ඇය තමන්ගේම සිරකාරියකි. ජනප්‍රියත්වයෙන් ගිලිහී ගිය තරුවක්‌ ලෙස ඇය ගෙවන ජීවිතය දුක්‌බරය. ඇය පැටිස්‌ විකුණමින් ද සිය නිවසෙහි කාමරයක්‌ කුලියට ලබා දෙමින් ද මුදලක්‌ සපයා ගන්නීය.

සන්ධ්‍යා රාණිගේ ආත්මීය හුදෙකලා බව දුරලන දුබල පහන් සිල ශාලිකා ය. එහෙත් ඇයද විතැන් වූ ලියකි. ඇගේ යෞවනය හප කළ සල්ලාලයෙක්‌ ඇයට සංස්‌කෘතික බණ දෙසනු අපි උත්ප්‍රාසයෙන් බලා හිඳිමු. සන්ධ්‍යා රාණිගේ දියණිය ප්‍රියා සිය මවගෙන් පළිගැනීමට තරම් ප්‍රචණ්‌ඩ ලියක්‌ වී අවසානයේ ඒඩ්ස්‌ රෝගිනියක්‌ බවට පත් වේ.

ප්‍රසන්න, සන්ධ්‍යා රාණිගේ පරපුර හා ශාලිකාගේ හා ප්‍රියාගේ පරපුර ඉතා සියුම්ව ද, සිනමාරූපීවද අනාවරණය කරයි. සන්ධ්‍යා රාණි සිනමා තාරකාවක්‌ වීම සඳහා සිය දියණිය හා කුටුම්බය ද බිඳ ගනී. ළමා විය සමඟ ඉතිරි වූ අම්මාගේ සිහිනය ප්‍රියාට කාලයාගේ ඇවෑමෙන් වෛරයක්‌ බවට පෙරළෙයි. ඇය එයින්ම සිය විනාශයට ද දොරගුළු හැර ගන්නීය.

ආකාස කුසුම් චිත්‍රපට නාමාවලිය සමගම ඡායාමාත්‍රව දිස්‌වන්නේ සම්භෝගය නිරූපණය කෙරෙන නොපැහැදිලි රූපාවලියකි. අනතුරුව වැසි බිඳු තැවරුණු මෝටර් රියකි. ඒ සමඟ වැසි වැටෙයි. ඒ අතරින් සන්ධ්‍යා රාණිගේ සමීප රූපය දිස්‌වේ. ඇය පිටරට ජීවත්වන සොහොයුරියකගෙන් ලද ලිපියක්‌ කියවමින් සිටින්නීය. සන්ධ්‍යා රාණිගේ මෙහෙකාරිය ලීලා පැටිස්‌ සාදමින් සිටින අතර ඇගේ නිවසින් පිටතට එන තරුණ යුවළක්‌ ප්‍රේක්‍ෂකයාට හමුවේ. ඉනික්‌බිතිව එය ඡේදනය වන්නේ විසිතුරු විදුලි බුබුළුවලින් සමන්විත ජනාකීර්ණ අගනුවර වීදියකටය.

සන්ධ්‍යා රාණි සොයා එන ඇගේ අනෙක්‌ නැගණිය ජීවන බරින් මිරිකී ගිය ගැහැනියකි. දීග දෙන වයසේ දියණියන් සිටින ඇය එන්නීද අක්‌කාගේ රීරි මාංශම හූරා කෑමටය. ඇය සෘජුවම පවසන්නී අක්‌කාගේ නිවස වල් ගැහැනුන්ගේ ගුබ්බෑයමක්‌ බවය. එහෙත් එසේ උපයන මුදල් ඇය භාරගනී. වරක්‌ ඇය සමඟ ද උදහස්‌ වන සන්ධ්‍යා රාණි සිය මේසය මත තිබෙන කෑම බීම හා බඩු මුට්‌ටු ද පෙරළා දමන්නීය. එහිදී ඇය අස්‌වසාලන්නී ද ශාලිකා ය. ශාලිකා ද කුල ගෙය බිඳගත් නන්නත්තාර වූ නිළියකි.

සිනමාකරුවා මූලිකවම මෙම ස්‌ත්‍රී චරිත නාට්‍යමය ආකාරයෙන් චිත්‍රපටය පුරාම ඉතා ශූර ලෙස හසුරුවයි. සන්ධ්‍යා රාණි මදුවිතට හුරු වී සිටියි. ඇයගේ මිතුරිය පූසා නිතරම ඇඟ දැවටෙයි. මේ සියලු ලකුණු ඔස්‌සේ ප්‍රසන්න, සන්ධ්‍යා රාණි මෙන්ම ශාලිකා හඳුනාගැනීමේ යතුරු අපට ලබාදෙයි. ශාලිකා හා සන්ධ්‍යා රාණි එක්‌ව සන්ධ්‍යා රාණිගේ ජීවිත කවුළුව හැර දෙති. ජනප්‍රිය නළුවන් සමඟ පෙම් ජවනිකා මැවූ ඒ අතීතය ඇයට ප්‍රසන්නය. පැහැපත්ය. වරක්‌ ශාලිකා හා සන්ධ්‍යා රාණි පැරැණි පෙම් ගීයක්‌ ද ගයති. එය සිනමාරූපී ලෙස සන්ධ්‍යා රාණි හඳුන්වා දීමකි.

සන්ධ්‍යා රාණි නමැති සිය මව ප්‍රථම වරට දියනිය වන ප්‍රියා දැක ගන්නේ රූපවාහිනී වැඩසටහනකදීය. සන්ධ්‍යා රාණිගේ යුගයත්, ශාලිකා වැනි ඊළඟ පරපුරේ යුගයත් අතර වෙනස සිනමාකරුවා අනාවරණය කරන්නේ එබඳු රූපමය නිරZEපණයන්ගෙනි. නව පරපුරේ ව්‍යාජ සංස්‌කෘතික ගොහොරුව මත උඩින් උඩින් දෙපා තබා යන චරිත සිනමාකරුවා අපට පෙන්වා දෙයි.

සන්ධ්‍යා රාණි හා ප්‍රියා නමැති මව හා දියණියගේ කේදවාචකය ඉතා ප්‍රබලව ප්‍රසන්න මතු කරයි. මේ බරපතල දුබලතා මෙන්ම ප්‍රබලතා ඔහු සියුම් රේඛාවකින් අපට විදහා දක්‌වයි. මානව සබඳතා බිඳී යැමත් සංස්‌කෘතික හා සමාජ පවුරු මත වැටී සිඳී යන ජීවිතවල අඳුරක්‌ ප්‍රසන්න ප්‍රබලව ද ගැඹුරින් ද අපගේ අවධානයට යොමු කරවයි.

ප්‍රියා විසින්ම කරනු ලබන අනාවරණයකට අනුව ඇයත් පියාත් පිටරටක ජීවත් වෙති. බිරිඳ (අම්මා) නැති සොවින් පියා බීමත්ව මියයයි. මවගේ විවිධ රූප සටහන් පුවත්පත් වලින් කපා අලවන ප්‍රියා එක්‌ දිනක්‌ ඒවා රැගෙන මව වන සන්ධ්‍යා රාණිගේ නිවසට භාර දී යන දසුන ප්‍රේක්‍ෂකයා දකී. අනතුරුව ඇය දුරකථනය මගින් මවට දොස්‌ නගන්නීය. සන්ධ්‍යා රාණිගේ හුදෙකලා නිවසත් සමඟ ප්‍රියා සැරිසරන කැරොකේ සමාජ ශාලා රූප පෙළ ප්‍රසන්න මැනවින් ඡේදනය කරමින් මේ චරිත දෙක රැගෙන යන අයුරු ද අගනේය. ප්‍රියා බමන මතින් නටන ලියන් හා තරුණයන් සමඟ සිටින මොහොතක සන්ධ්‍යා රාණි ඇය සොයා යන්නීය. සිය මව දුටු ඕ ක්‍ෂණිකව උද්වේගයෙන් මත්ව තමා අසල සිටි අයෙක්‌ සිපගන්නා අයුරු ඇය දකින්නීය.

මවක්‌ හා දියණියක්‌ අතර ස්‌නේහය බිඳී ගිය ජීවිත ඔවුන්ටම ශාපයක්‌ වන අයුරු ආකාස කුසුම් තුළ මනාව රූපයට නංවා තිබේ. ප්‍රියා ගබ්සාවකට යැමත් අනතුරුව ඒඩ්ස්‌ රෝගිනියක ලෙස මිය යැමත් චිත්‍රපටය තුළ නිරූපණය වේ.ඒඩ්ස්‌ රෝගිනිය පිළිබඳ රෝහල දක්‌වන ප්‍රතිචාර ඉතා දුර්වලය. මෙය ප්‍රසන්න අතින් ගිලිහී ගිය අවස්‌ථාවක්‌ සේ මම දකිමි. ඇගේ පාදඩ ජීවිතයේ අවසානය එබඳු විනාශයක්‌ බව සංකේතාත්මකව කීමකට වඩා රූපමය මාධ්‍යයෙන් කීම නිවැරැදිය. එහෙත් එම රූපරාමු පෙළ ප්‍රබල නැත. ඒඩ්ස්‌ රෝගිනිය හා රෝහල ද සමාජය ද සාමාන්‍ය ද?

සන්ධ්‍යා රාණි ජනප්‍රියත්වයේ හිනි පෙතට නැග සිටින විට ඇය හඟවන්නී තමා අවිවාහක බවත්, තමාට දියණියක්‌ නැති බවත් ය. එහෙත් ඇය අනතුරුව ප්‍රියා සොයා යන්නී ඒ වරදට වන්දි ගෙවීමට මෙන් ය. මෙම ලුහුබැඳීම ඔවුන්ගේ සදාකාලික වෙන් කිරීම ඉක්‌මන් කරන අයුරු අපි දකිමු. තාරුණ්‍යය හා ජීවිත සැඳෑව වෙන වෙනම දකිද්දී සන්ධ්‍යා රාණිගේ එම වෙනස්‌වීම පිළිගත හැකිය.

ප්‍රියා මවට දක්‌වන වෛරය ද තර්කානුකූලය. ඕ මව කැමති සියල්ලටම අකමැතිය. මවගෙන් පළිගැනීම සඳහාම හිතුවක්‌කාර හා නාස්‌තිකාර පාදඩ ජීවිතයකට ද ඇය මාරු වන්නීය. සත්තකින්ම මේ දෙදෙනාම ජීවිත වංකගිරියක අතරමං වූවෝ ය. සමාජ සංස්‌කෘතික බලවේග නමැති සැඩ පහරට හසු ව ගලා යන ඔවුන්ගේ ජීවිත අපගේ ඇසට කඳුළක්‌ ද නංවයි. ප්‍රසන්න ජීවිතය හා සමාජ සත්තාව හඳුනාගත් විදග්ධ සිනමාකරුවෙකි. ඔහු මේ චරිත හසුරුවන්නේ එයට උචිතම සංස්‌කෘතික පසුබිමකය. ව්‍යාජ බොල් සංස්‌කෘතික හර පද්ධතියක ගොදුරු බවට පත්වන යෞවනය මෙන්ම මුල් සිඳගත් පරම්පරාවක අතරමං වීම ද ප්‍රසන්න ප්‍රබලව හඟවයි.

මෙගා ටෙලි නාටක හා කැරොකේ නටන සමාජ ශාලාවල රැඟුම් ද ගැයුම් ද, ඝෝෂාවක්‌ ලෙස නැගෙයි. යුද්ධය රූපවාහිනියෙන් අසන ප්‍රවෘත්තියක්‌ පමණි. ලොතරැයි ඇදීම් ද අනෙක්‌ සියලු ක්‍රියාකාරකම් ද ඔහේ සිදුවෙයි. අකම්පිත සමාජයක අපි වල්මත්ව සිටින්නෙමු. මාතෘ ප්‍රේමය දාරක ප්‍රේමය ඒ සමාජය තුළ සාමාන්‍ය දේවල් ය. සියලු මානව ගුණදම් විකිණී යන දේවල්ය. විදුලි පහන් දිදුලන වීදි, ගොඩනැගිලිවලින් ගහණ වටපිටාව මේ සියල්ල අපගේ සන්සුන් ජීවිත රිද්මය බිඳ දමා තිබේ. කුසුමක්‌ තියේ නම් ඒ අහසෙහි පමණි. එහෙත් ආකාස කුසුම් යනු අපට ස්‌පර්ශ කළ නොහැකි මිරිඟුවකි. කුමක්‌ද එහි ඵලයෘ

ආකාස කුසුම් චිත්‍රපටය සමඟ ප්‍රසන්න විතානගේ ආසියානු කලාපයේ විශිෂ්ට සිනමා අධ්‍යක්‍ෂවරයකු ලෙස තහවුරු වෙයි. මාලිනි ෆොන්සේකාගේ රංගනය අති විශිෂ්ටය. ජීවිතය ශෝකාන්තයක්‌ බවට පත් වුවද, ස්‌ත්‍රිත්වය හා මානුෂිකත්වය මනාව සංකලනය වූ ගැහිනියක අපට හමුවෙයි. ඇය භාව ප්‍රකාශනයෙහිලා දක්‌වන කුසලතාdව අසාමාන්‍යයි. සිය රංග පෞරුෂයෙහි උදාරත්වය ද දීර්ඝ පරිචය ද ප්‍රසන්නට නිර්ලෝභීව දන් දෙන මාලිනී ආසියාවේ අග්‍රගණ්‍ය රූපණ ශිල්පිනියක ලෙස අපගේ හද බැඳ ගන්නී විස්‌මිත ලෙසය.

මාලිනී හැරුණු විට නිම්මි හරස්‌ගම ප්‍රබල රංගනයක්‌ ඉදිරිපත් කරයි. කැරොකේ සංස්‌කෘතික අඳුර මැද යෙහෙළියන් සමඟ ඇය ගෙවන ජීවිතය අප තුළ සංවේග දනවයි. ඇයට ගොරතර මරණයක්‌ ද හිමි වෙයි. මනුෂ්‍යත්වයට හිමිවිය යුතු දයාව, ආදරය නොලද යුවතියකගේ ජීවිතය ඇය මැනවින් ප්‍රතිනිර්මාණය කර ඇත. සිය අනන්‍යතාව බිඳ ගත් සමාජ සංස්‌කෘතියක ගොදුරක්‌ වීමට ඇය වුවමනාවෙන් ම ජීවිතයට ඉඩ දෙන්නීය.

චිත්‍රපටයෙහි රූප රචනය ඉතා විශිෂ්ටය. දෙබස්‌ ඉතා සකසුරුවම් ලෙස භාවිත කළ අයුරු ද අගය කළ යුතුය. ලීලා මෙන් රඟන ජයනිට චිත්‍රපටය පුරාම ඇත්තේ දෙබස්‌ කීපයකි. ශාලිකාගේ භූමිකාව ද සන්ධ්‍යා රාණිට ආලෝකයකි. ඇය ද අතරමං වූ සමනලියකි. මහින්දපාලගේ කැමරාව ප්‍රසන්නගේ සිනමා ආඛ්‍යානයට අපූර්ව ජීවයක්‌ මෙන්ම පරිසමාප්ත බවක්‌ ද ලබා දී තිබේ.

චිත්‍රපටයේ සංගීතය ද චරිත හා අවස්‌ථා නිර්මාණයට ආලෝකයක්‌ වූ බව ද කිව යුතුය. ලක්‍ෂ්මන් ජෝශප්ගේ තේමා සංගීතය හා මුසුවන ආරම්භක රූපාවලිය සිනමාරූපී බවින් ඉහළ වියමනක්‌ මවයි. ගීතය ද භාවමය ගුණයෙන් යුතුය. චිත්‍රපටයේ රිද්මයට හානි නොවන ලෙස සිය ආඛ්‍යානය ගොඩනගා ගැනීම ප්‍රතිභාපූර්ණ සිනමාකරුවකුගේ ගුණයකි.

චිත්‍රපටයේ දුබලතා[සංස්කරණය]

මව සහ දියණිය අතර ඇතිවන සබඳතාව හා එහි ෙ€දාත්මක අවසානය අධ්‍යක්‍ෂවරයා අතින් එක්‌තරා ප්‍රමාණයකට ලඝූ වී ති‍බේ. ප්‍රියාගේ මරණයෙන් මව තුළ ඇතිවිය යුතු කම්පනය එහි නැත. ඇය සිය මිණිබිරිය දෝතින් රැගෙන එතරම් සහනයකින් ළය සැහැල්ලු කර ගන්නී ද? සමාජ හා සංස්‌කෘතික බලවේග විසින් නන්නත්තාර කරන ලද ජීවිත හා හැසිරීම් ප්‍රේක්‍ෂක හද ප්‍රබලව කම්පා කරවන අයුරු චිත්‍රපටය පුරාම දැනේ. එහෙත් "මං දැන් නිදහස්‌" යනුවෙන් කුළු ගන්වා ඇති අවස්‌ථාව ලිහිල් ය. එය මව් සෙනෙහස උතුරා ගිය ගැහැනිය සමඟ යා නොදේ.

ආසියානු ජන සමාජයට ඔරොත්තු නොදෙන තරමටම ගෝලීය ධනවාදයේ පීඩනය ලැබී තිබෙන බව ද ආකාස කුසුම් තුළින් විශද වේ. සිය සංස්‌කෘතික අනන්‍යතාව විනාශ කරගත් ඒ සමාජය තුළ ගැහැනිය වඩාත් ෙ€දවාචකයක්‌ බවට පත්ව සිටින්නීය. නාට්‍යමය උත්ප්‍රාසයකින් මේ සමාජ කුණුපය සිනමාකරුවා අනාවරණය කරයි. හැඟීම්, වැළපීම්, සුසුම් වේදනා, පළිගැනීම් වලින්ම ජීවිතය පිරී තිබේ. ප්‍රියාට අත්වන ගොරතර මරණය ඒ සමාජයේ අවසානය සංකේතවත් කරන අතර සන්ධ්‍යා රාණිගේ පරපුරෙහි වල්මත් ස්‌වරූපය ද අපි දකිමු. ජීවිතය මොනතරම් සංකීර්ණ ද?


මේවාද බලන්න[සංස්කරණය]

රැජනගේ ඔටුන්නට තවත් මැණිකක් කාලය රංගනයෙන් විතානගේ කතා කරයි

"https://si.wikipedia.org/w/index.php?title=ආකාස_කුසුම්&oldid=392757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි