අමරසිරි දොඩංගොඩ

විකිපීඩියා වෙතින්

අමරසිරි දොඩංගොඩ උපන්නේ 1941 ඔක්‌තෝබර් 18 වැනිදා ගාල්ලේ දොඩංගොඩදීය.ඒ ව්‍යාපාරිකයකු වූ විලියම් අප්පුහාමිට සහ පුණ්‍යාවතී ගුණසේකරට දාව ය. බද්දේගම ගිනිමල්ලේගහ කුකුලලාවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු බද්දේගම රත්නසාර විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තෘතීයික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 1963 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය ලබා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය. ඉන්පසුව 1960 දශකයේ අග භාගයේදී අධ්‍යාපන නිලධාරියෙකු ලෙස රජයේ සේවයට එක් වූ අතර ඉන් අනතුරුව 1971 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් විය. ඔහු විවාහ වී දරුවන් දෙදෙනෙකු සිටියේය.

දේශපාලන දිවිය[සංස්කරණය]

1971 සිට දකුණු ලංකාවේ රැඩිකල් දේශපාලන චරිතයක් වූ ඔහු බද්දේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කර, බද්දේගම ආසනයට තරග කර 1983 දී පාර්ලිමේන්තුවට පිවිසි අතර 1989 දී ගාල්ල බහු මන්ත්‍රී ආසනයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1993 දී ඔහු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අත්හැර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අවස්ථාවේදීය. වසර 17කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත රජයට පැමිණි 1994 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස යළි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දේශීය වෛද්‍ය, සමුපකාර, වෘත්තීය පුහුණු, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ඇතුළු විවිධ අමාත්‍ය ධුර දැරීය. ඔහු 2005 දී අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ඔහු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැඩි ආධාරකරුවෙකු විය.

මුල් දේශපාලන දිවිය[සංස්කරණය]

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 1964 වර්ෂයේදී උපාධිධාරීයකු ලෙස ඉන් බැහැර වූ එතුමා තෝරා ගනු ලැබුවේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය සිය මූලධර්මය කරගත් බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පවතින සමාජ විෂමතාවයන් දුරු කරලීමේ අපේක්ෂාවෙන් හේ චීන කොමියුනිස් මතය දරමින් එය සාක්ෂාත් කරගන්නට කැපවෙමින් ‘ගිනිපුපුර’ සංවිධානය හා එක් වී ක්‍රියාකාරී ගුරුවරයකු ලෙස පිරිවෙන් අධ්‍යාපනය ලබන තරුණ පරපුරට දැනුම නොඅඩුව ලබා දුනි. අනතුරුව නීතිය හැදෑරූ ඔහු 1977 වර්ෂයේදී මහ මැතිවරණයට වාමාංශික එක්සත් පෙරමුණෙන් අක්මීමන ආසනයට තරග කළේය. පසුව 1983 දී බද්දේගම අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර ජය ලබා පාර්ලිමේන්තුවට ගියේය.

එදා හයෙන් පහක බලයක් සහිත ව පැවැති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආණ්ඩුවට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ඔහු මහජන හඬ අභීතව ඉදිරිපත් කළ කැපී පෙනෙන චරිතයක් විය. සටන්කරුවකු විය. 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙවන වරට පාර්ලිමේන්තුවට පිවිසි දොඩන්ගොඩ මහතා ඊට වසර හතරකට පසු එනම් 1993දී එයින් සමුගත්තේ පක්ෂ නායකත්වය කරන ලද ඉල්ලීමකට අනුවය. ඒ එම වසරේ දකුණු පළාත් සභා මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරග කිරීමටය.

දකුණු පළාත් සභාව[සංස්කරණය]

එම පළාත් සභා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද 138536ක් ලබා වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක් සහිතව ජය අත්කර ගත්තේ දකුණු පළාතේ මන්ත්‍රී ආසන 55 න් 28ක් සහිතවය. ඒ 1993 මැයි 18 වන දිනය වේ. එවකට පාලක එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වූ අල්හාජ් බාකීර් මාකර් මහතා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය හා කැමැත්ත දිනා සිටී අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමති තනතුරට පත් කරනවා වෙනුවට හිටපු ප්‍රධාන ඇමැති එම්. එස් අමරසිරි මහතාට නැවත දෙවන වරටත් මහ ඇමතිකම බාර දුන්නේය.

ආණ්ඩුකාරවරයා ගත් තීරණයට එරෙහිව දොඩංගොඩ මහතා නීතියේ පිහිට පැතිය. ත්‍රිපුද්ගල අභියාචනාකරන විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වූයේ අමරසිරි දොඩංගොඩ මහතාට මහ ඇමතිකම හිමිවිය යුතු බවයි. එහෙත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට තිබුණද ආණ්ඩුකාරවරයා අතුරුදහන්ව ඇත. ඒ වන විට බේරුවල නිවසේ සිටිය ආණ්ඩුකාරවරයා මාතලේ බලා පිටත්ව ගොස්ය. එහෙත් ආණ්ඩුකාරවරයා සැඟවී සිටි තැන සොයා ගැනීමට එදින සවස් වන විට දොඩන්ගොඩ මහතාට හැකි විය. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අද දින පළාතෙන් බැහැරව සිටින නිසා පසු දින තම කාර්යාලයට පැමිණ දොඩංගොඩ මහතාට දිවුරුම් දිය හැකි බවයි.

ඒ 1993 ඔක්තෝබර් 12 වැනි දිනය. ප්‍රධාන ඇමැති ධුරයේ දිවුරුම් දීමට පෙර අමරසිරි දොඩංගොඩ මහතා ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ දකුණු පළාත් මන්ත්‍රී කණ්ඩායම ගාල්ල, මිනුවන්ගොඩ ගුණරත්න බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු දිවුරුම් දීම සඳහා ආණ්ඩුකාර කාර්යාලය යෑමට පිටත් විය.

මේ වන විට මුළු ගාල්ලේම මාර්ග බාධක යොදා ආරක්ෂාව තරකර තිබුණි. එසැණින්ම ගාල්ල පොලිසිය හරහා ආණ්ඩුකාර බාකිර් මහතා දොඩන්ගොඩ මහතාට ලිපියක් මගින් දැනුම් දුන්නේ අද දින තමා නිවාඩු බවයි. දිවුරුම් දීමේ උත්සවයට මහින්ද රාජපක්ෂ මහතාද ගාල්ලට ළඟා විය. තත්ත්වය දැනගත් මහින්ද රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක විය. එතුමා සමග දොඩන්ගොඩ මහතා, ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායමට රිචඩ් පතිරණ මහතාද එක්වීය

සියලු දෙනාම ආණ්ඩුකාර කාර්යාලය බලා පිටත් විය. සියලුම පිරිස ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැමිණ කාර්යාලයේ දොර ඉබි යතුරු කඩා දොර විවෘත කර ආණ්ඩුකාරවරයා වෙතට පැමිණ දොඩංගොඩ මහතා දිවුරුම් දෙන තෙක් මෙතනින් එක අඟලක්වත් නොසැලෙන බවට පැවසීමත් සමග ආණ්ඩුකාරවරයාට අමරසිරි දොඩංගොඩ මහතා ප්‍රධාන ඇමති තනතුරේ දිවුරුම් දෙනවා හැර වෙන කිසිවක් කළ හැකි නොවිය.

මෙම ජයග්‍රහණයෙන් පසු උදම් වු ජනතාව 1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණයට පත් කළහ. එම මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මනාප ලැයිස්තුවේ පළමු වෙනියා ලෙස ඔහු ජයග්‍රහණය කළේ මනාප ඡන්ද 176151 ක් ලබාගනිමිනි. 1994 මහ මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ස්වදේශ කටයුතු, සමූපකාර, පළාත් සභා හා දේශීය වෛද්‍ය ඇමති වූයේ දොඩංගොඩ මහතායි. දොඩංගොඩ මහතා දේශීය වෙදකම ප්‍රචලිත කිරීමට කොතෙක් කටයුතු කරාද යන්න ඔහුට ශ්‍රාවස්තියේ වෙදමහතා යනුවෙන් ද නමක් පටබැඳී තිබුණි.

පසු කාලීන දේශපාලනය[සංස්කරණය]

2004 මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගතව තරඟ කළ නිසා එම මැතිවරණයෙන් වැඩිම මනාප ස්ථාන ජනතා විමුක්ති පෙරමුණට හිමිවූ අතර දොඩංගොඩ මහතාට හිමි වූයේ පස් වන ස්ථානයයි.

පවුල[සංස්කරණය]

නීතීඥ මාලති මාලා මාඉටිපේ මහත්මිය සමග විවාහව සිටි අමරසිරි දොඩංගොඩ  මහතාගේ දෙටු පුතනුවන් විදෙස් ගතව  ගුවන් යානා ඉංජිනේරුවකු ලෙස සේවය කරනු ලබන අතර, පරිගණක විද්‍යාවෙන් පශ්චාත් උපාධි හිමි, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉසුරු දොඩංගොඩ එතුමන්ගේ කනිටු පුත්‍ර රත්නයයි.       

"https://si.wikipedia.org/w/index.php?title=අමරසිරි_දොඩංගොඩ&oldid=613178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි