අනාර්කලී

විකිපීඩියා වෙතින්
(අනර්කලී වෙතින් යළි-යොමු කරන ලදි)
ජහාන්ගීර් සහ අනාර්කලී.
පාකිස්ථානයේ ලාහෝර් නගරයේ පිහිටි අනාර්කලීගේ සොහොන්ගැබ විය හැකි යැයි සැක කෙරෙන ගොඩනැගිල්ල.

අනාර්කලී (උර්දු: انارکلی (ෂාහ්මුඛි); Anārkalī ) (අර්ථය: දෙළුම් කැකුළ) හෙවත් ෂරීෆ් උන්-නිසා[1] යන උපන් නාමයෙන් හෝ නදීරා බෙගම් යනුවෙන් හැඳින්වෙන්නේ ජනප්‍රවාදගත වහල් යුවතියකි. බොලිවුඩ් චිත්‍රපටයක් වන මූඝල්-ඉ-අසාම් තුළ දැක්වෙන්නේ මූඝල් යුගයේ දී, අක්බර් අධිරාජයා විසින් ඇයව බිත්ති දෙකක් අතර පණපිටින් වළලා දමන ලෙස නියෝග කළේ පසුව ජහාන්ගීර් නමින් රාජ්‍යත්වයට පත් කිරුළහිමි සලීම් කුමරු සහ ඇය අතර තිබූ අසම්මත ප්‍රේමය නිසාවෙන් බවයි. සාක්ෂි සහ මූලාශ්‍ර මඳ හෙයින්, ඇතැමුන් විසින් විශ්වාස කරන්නේ අනාර්කලීගේ කථාව මුළාවක් බවයි. එයට හේතු ලෙස ඔවුහු ඇගේ යැයි පැවසෙන සොහොන්ගැබක් සහ දේහය දක්නට ලැබීම දක්වති. අනාර්කලීගේ කථාපුවත අක්බර්නාම හෝ තුසුක්-ඉ-ජහාන්ගීරී යන ග්‍රන්ථවල සඳහන් නොවේ. පළමුව මෙය සඳහන් වන්නේ ඉංග්‍රීසි සංචාරකයකු සහ වෙළෙන්දකු වූ විලියම් ෆින්ච්ගේ දින සටහන් පොතෙහි ය. ඔහු 1608 අගෝස්තු 24 දින ඉන්දියාවට පැමිණ ඇත.[2][3] මෙම කථාව මුලින්ම රචනා කරන ලද්දේ අබ්දුල් හලීම් ෂරාර් නම් ඉන්දියානු ලේඛකයා විසින් වන අතර, එම ග්‍රන්ථයේ පළමු පිටුවේ ඔහු රචනා කොට ඇත්තේ එය ප්‍රබන්ධයක් බවයි. එසේවුව ද, ඇගේ කථාව සාහිත්‍යය, කලාව සහ සිනමාව තුළට අනුවර්තනය කොට ඇත.

අනාර්කලීගේ සිදුවීමේ සත්‍යතාව පිළිබඳ විද්වතුන් අතර විවිධ මතභේද ඇත. ‍ඒ පිළිබඳ විවිධ පරස්පර මත පවතියි.

සලීම් කුමරුගේ පෙම් පුවත පිළිඳ රචනා කළ පැරණිතම බටහිර ලේඛකයන් වන්නේ බ්‍රිතාන්‍ය සංචාරකයන් වූ විලියම් ෆින්ච් සහ එඩ්වර්ඩ් ටෙරී ය. 1611 පෙබරවාරියේ දී විලියම් ෆින්ච් ලාහෝර් වෙත පැමිණියේ (අනාර්කලීගේ මරණය සිදුවූවා යැයි පැවසෙන වර්ෂයෙන් වර්ෂ 11කට පසුව) නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම වෙනුවෙන් බයානාහි දී ඔහු මිලටගත් ඉන්ඩිගෝ අලෙවි කිරීම සඳහායි. 17වන සියවසේ මුල්කාලයේ රචති ඔහුගේ වාර්තාවේ පහත තොරතුරු සඳහන් වේ.

අනාර්කලී යනු දනියල් කුමරුගේ (අක්බර්ගේ තෙවන පුත්‍රයා) මෑණියන් වූ අතර, ඇය සහ සලීම් කුමරු (ජහාන්ගීර්) අතර පෙම් සම්බන්ධතාවක් පැවතිණි. මෙම සම්බන්ධතාව දැනගැනීමෙන් පසුව, අක්බර් අධිරාජයා මෙම ආර්යාව සිය මාලිගයේ බිත්ති අතර සිරගත කිරීමට නියෝග කොට ඇත. එහි දී ඇය මියගොස් ඇත. ජහාන්ගීර් රජු සිය ප්‍රේමයේ සංකේතයක් ලෙස ඇය වෙනුවෙන් අලංකාර ශෛලමය සොහොන්ගැබක් තැනවී ය.

නූතන මාධ්‍ය තුළ නිරූපණ[සංස්කරණය]

අනාර්කලී ඉන්දියානු, බංගලාදේශ සහ පාකිස්ථාන ග්‍රන්ථ, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවක් සඳහා තේමා වී ඇත. ඇය පිළිබඳ පැරණිතම සහ ප්‍රකටම ඓතිහාසික නාට්‍යය වන අනාර්කලී රචනා කරන ලද්දේ 1922දී ඉම්ටියාස් අලි තාජ් විසින් උර්දු භාෂාවෙනි. මෙම නාට්‍යය ඇසුරෙන් තැනූ Loves of a Mughal Prince චිත්‍රපටය 1928දී ඉන්දියාවේ මුදාහැරිණි. මෙහි අක්බර් ලෙස චරිත නිරූපණය කළේ තාජ් ය.[4] 1953 ඉන්දියානු චිත්‍රපටයක් වූ අනාර්කලී තුළ අනාර්කලීගේ චරිතය නිරූපණය කළේ බීනා රායි විසිනි. පාකිස්ථානයේ අනාර්කලී නම් ලද තවත් චිත්‍රපටයක් 1958දී මුදාහළ අතර එහි ප්‍රධාන චරිතය නූර් ජෙහාන් විසින් නිරූපණය කරන ලදී.[5] පසුව 1960දී, කේ. අසීෆ්ගේ අග්‍රගන්‍ය චිත්‍රපටයක් වූ මූඝල්-ඉ-අසාම් චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරිණි. මෙහි අනාර්කළීගේ චරිතය නිළි මධුබාලා විසින් ද, සලීම් කුමරුගේ චරිතය දිලීප් කුමාර් විසින් ද නිරූපණය කරන ලදී. 2003දී ඉෂ්ක් (ආදරය) යන තේමාවෙන් මුදාහළ ෂොආයිබ් මන්සූර්ගේ කෙටි සංගීත වීඩියෝ මාලාවේ අනාර්කලීගේ චරිතය නිරූපණය කළේ ඉමාන් අලි විසිනි.

2013දී, ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වූ ජෝධා අක්බර් තුළ ඇගේ චරිතය නිරූපණය කළේ හීනා පර්මාර් විසිනි. එහි අනාර්කලීගේ කුඩා කාලය සානියා තෞකීර් විසින් නිරූපණය කරන ලදී.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Glover, William (January 2007). Making Lahore Modern, Constructing and Imagining a Colonial City. Univ Of Minnesota Press. ISBN 978-0816650224.
  2. "WHAT IS THE TRUTH ABOUT ANARKALI?". සම්ප්‍රවේශය 2013-09-05.
  3. "Legend: Anarkali: myth, mystery and history". සම්ප්‍රවේශය 2013-09-05.
  4. "Loves of a Moghul Prince" imdb
  5. "Anarkali (1958)" imdb
"https://si.wikipedia.org/w/index.php?title=අනාර්කලී&oldid=409339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි