අංකෙලිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පානම පත්තිනි දේවාලයේ පිහිටා ඇති අං ගහ

පැරණි සිංහල සමාජයෙන් පැවතගෙන එමින් අදටත් ශේෂ නොවී පවතින අං කෙළිය, දොඩන් කෙළිය, පොල් කෙළිය සහ මල් කෙළිය යන ජන ක්‍රීඩාවන් ආගමික ක්‍රීඩා වශයෙන් හඳුනාගත හැකි ය. මෙයින් අං කෙළිය උඩරට ප්‍රදේශයට විශේෂිත වූ පූජා විධියක්‌ ලෙසට හඳුනා ගත හැකි ය. අං කෙළිය පැවැත්වෙන ස්‌ථාන හඳුනාගැනීම සහ ඒවා නොයෙක්‌ නම් වලින් හඳුන්වාදීම සිදූ වූ අතර පසුකාලීනව සමස්‌ථ ග්‍රාම නාම බවට ද පත් වූ බව පෙන්නුම් කෙරේ. අද ලංකවේ අපට හමුවන අංකෙළි මැඩිල්ල, අං කුඹුර, අං පිටිය ආදී ග්‍රාම නාම ඊට නිදසුන් ලෙස දැක්‌විය හැකි වේ. එසේම සුප්‍රසිද්ධ ඇම්බැක්ක යන ග්‍රාම නාමය සෑදී ඇත්තේ මෙම අංකෙලිය ආශ්‍රිතව බව පැවසේ. අංකෙලියේදී භාවිතා වන ගෝන අඟ විශාල එකක් වන විට එයට 'බැක්ක' යනුවෙන් හඳුන්වනු ලැබේ. අං+බැක්ක = අංබැක්ක වී පසුකාලීනය ව්‍යවහාරයෙන් මෙය "ඇම්බැක්ක" බවට පත් වී ඇත[1] .

ආගමික පසුබිම[සංස්කරණය]

නොයවා වැඩියයි මල් ආසනය ට
සෙල්ලන් සිරිකත පිහිටයි අපහ ට
පේකර අං තිබ්බා ඔබෙ නාමෙ ට
මල් පත්තිනි වැඩියයි අං කෙළිය ට

ආගමික මුහුණුවරක් ගන්නා මෙම ජන ක්‍රීඩාව ආරම්භයේදී දෙවියන්ට ආරාධනා කිරීමෙන් පසු ආරම්භ කරන අතර ක්‍රීඩකයන් දෙපිල බෙදීමෙන් පසු දෙපිලට අයත් කොටස්‌වල මල් පැලක්‌ බැගින් සාදා කපු මහතකුගේ ආධාර ඇතිව ක්‍රීඩා භාණ්‌ඩ පවා දෙවියන්ට කැප කර පුද පූජා පවත්වා ක්‍රීඩාව ආරම්භ කිරීම පැරැණි චාරිත්‍රානුකූලව සිදු වේ. එවැනි අවස්‌ථාවලදී එම දෙවියන් ක්‍රීඩාවට හවුල් වෙතැයි විශ්වාස කෙරේ. මෙම අං කෙලිය ගම්වල පැතිරෙන වසන්ගත රෝග කාල වලදී විශේෂයෙන් පවත්වනු ලබන්නේ පත්තිනි දේවිය යැදීම හා පිහිට ලැබීම සඳහා ය. එයින් ගමට හෝ ප්‍රදේශයට වැළදී ඇති වසන්ගත හෝ බෝවන රෝග වලින් ආරක්ෂා වීමට හැකියාවක් ඇතැයි විශ්වාස කෙරෙයි.

මූලික චාරීත්‍ර[සංස්කරණය]

පානම පත්තිනි දේවාල භූමියේ පිහිටා ඇති වලි ගහ හෙවත් හෙණ කදහා සිටුවන වල

තමන්ට වැළදෙන වසංගත රෝග වලින් ආරක්ෂා වීම පිණිස සතියකට වැඩි කළක් කරනු ලබන මෙම අං ඇදීම නොහොත් අංකෙලිය දවසේ සවස් වරුවේ සිදු කරනු ලැබේ. උඩු පිල සහ යටි පිළ යනුවෙන් දෙපිලකට බෙදී කරනු ලබන මෙම ක්‍රීඩාවේදී යටි පිළට ජය ලැබීම දේව නියමය වන බව විශ්වාස කරයි. යටි පිල ජයග්‍රහනය කිරීම ගමට හෝ ප්‍රදේශයට යහපත් බව පිළිගැනේ. අං කෙලිය ආරම්භ කිරීමට ප්‍රථම තම තම පිළේ කපුරාල විසින් මෙසේ කවි වලින් යාතිකාවක් කරනු ලැබේ.

රණ කෙලි කෙලියේ දෙවිඳුගේ නාමෙට
පදකද කවි කිව්වේ ඔබගේ නාමෙට
පත්තිනි මව පැන්නද ගිනි ජාලෙට
දෙවොල් පතිනි වැඩියයි අංකෙලියට
කොසඹේ වෙල දෙවි වැඩියයි මෙරඟට
සියලු රෝග දුරු වෙයි තෙද සුන්කොට
ඉපදුණු දා අප බාරයි ඔබහට
අප බාරයි කොසඹැවල නිරුඳුට

තරඟ ක්‍රමවේදය හා රීති[සංස්කරණය]

මෙම ක්‍රීඩාව සඳහා විශාල අං කූට්ටමක් අවශ්‍ය ය. මේ සඳහා විශාල ගෝන අං කූට්ටමක් ප්‍රථම දෙබලය ලෙස තෝරා ගනී. "හොඳ කදහා" නමින් වූ ශක්තිමත් කඳකට අමුණන අං දෙක ඉරාගත් මී හරක් අං වලින් සකස් කරන සිහින් පටිවලින් බැඳ සාදා ගන්නා ඉතා ශක්තිමත් පටියකට බැඳ ගනියි. සාමාන්‍යයෙන් මේ සඳහා භාවිතා වන්නේ ගෝන අං තට්ටුවක් වුවද සත්කෝර‍ලයේදී අංදරලී මුල් වලින් සාදා ගත් අං භාවිතා කරයි. ඇතැම් විට මෙය සියඹලා අරටුවකින් සකස් කර ගනී.

අං ගහ නමින් හඳුන්වන ශක්ති සම්පන්න ගසක් පිහිටි අං පිටියේ දී උඩුපිල හා යටිපිල මුණ ගැසේ. මෙම ගසට යාර එකහමාරක් පමණ ඈතින් දිගැටි හතරැස් වලක් කපා එය පැති ලෑලි වලින් වසා, ඔප කරන ලද පොල් කඳක ගෝලකාර උල උඩට සිටින සේ සිටුවනු ලැබේ. අදින කඹ පොට පොල් කඳ මැදින් යැවීම පිණිස එහි සිදුරක් ඇත. මේය "හෙණ කදහා" හෙවත් "වලි ගහ" නමින් හඳුන්වනු ලබන අතර එය එහාට මෙහාට පහසුවෙන් වැනීම පිණිස වල දිගින් වැඩි විය යුතු ය. මින් පසු දෙපිලේ අය පිළියෙල කර ගත් අං රැගෙන එති. හැම අඟකම මූලය හරස් අතට ලීයක් බැඳ ඇත. අඟේ මුල හා කඳේ මුලටත් හේ රැහැ නැමැත් ශක්තිමත් විශාල වැල් වළලු කීපයක් යොදා ගනී. එයින් වැලක් ගෙන එහි එක් කොණක "හෙණ කඳහා" හිල මැදින් හා අං ගහේ රැහැ වළල්ලෙන් ගෙන මද්දක් ගසනු ලැබේ. ඒ මන්ද පහළ කෙලවරින් අං මෝල ඇතුල් කර හරස් කරනුයේ අඟ අදින විට ගැලවී නොයනු පිණිස ය. උඩුපිල කණ්ඩායමේ අඟෙහි අං මෝල මදු වළල්ලෙන් අනිත් කෙලවරින් ඇතුල් කර හරස් කරනු ‍ලැබේ. යටිපිලේ අඟත් මෙලෙසම අං ගහේ වැල් වළල්ලට යා කෙරේ. ඉන් පසු අං දෙකම එකට ගැට ගසා ඒ වළලු මත අයෙක් පා දෙපසින් තබා සිට ගනුයේ ගස්සමින් කඹ අදින විට දෙපැත්ත හෙණ කඳ වැනීමේ දී අං දෙක එකිනෙක ගැලවීම වැලැක්වීම පිණිස ය.හෙණ කදේ හාරා ඇති විදමන තුළින් කඹය ඇද දෙපිලේම අය එකතුවී එක පැත්තකට කෑකෝ ගසමින් කඹය අදිති. මෙසේ කඹය අදිද්දී ඇදීම නවතා අං පුපුරා ඇත්දැයි බලති. එවැන්නක් දැනගත් වහාම අඟ හිමි පිළට පරාජය හිමිවේ.

පරාජය ලබන පිළට ආවැඩීම[සංස්කරණය]

අංකෙලියට සූදානම් කරන ලද සිටවන ලද හෙණ කදහා සහ වලි ගසක්

මෙම තරඟයේ තවත් විශේෂත්වයක් වන්නේ පරාජය ලබන තරඟකාරී පිළට ජයග්‍රාහක පිළ විසින් ආශිර්වාදාත්ම සෙත් කවි විශේෂයක් ගායනා කිරීමයි. මේවා පරාජිත පිළට ආවඩන කවි ලෙස ජන වහරේ භාවිතා වේ.

දියෙන් මෙතෙරට ගොඩ බැල පන්දූ
පඩුවස් දෙවිඳුන් දෙවිදොස් බින්දූ
අත ගසමින් පිඹිදෙන ලුණු බන්දූ
මලේ නිරිදු උඩුපිල අග බින්දූ
අංග පිටියක් සරසාලා
සත්දවසක් අං කෙළලා
පෙරහැර පැන් වත් කරලා
මෙලෙසින් උවදුරු හැරලා
හොඳද පුතේ හෝයියෝ
අංකෙලියා හෝයියෝ
උඩුපිලයෝ බලන් පුතෝ
අං ඇද්දා මොටද පුතෝ
බැරි අංකෙලි මොටද පුතේ
ඔහේ වරම් කොයිද පුතේ
අංපිටියට වරෙව් පුතේ
මූට නමක් කියමු පුතේ
පිං බත යයි කියමු පුතේ
තරහා වෙන්න එපා පුතේ
වස් යන්නයි බැන්නේ පුතේ
සෙල්ලමටයි කිව්වේ පුතේ
මේ පිටියට එන්න වරම්
මේ කෙලි පුද ගන්න වරම්
මතු කෙලියට එන්න වරම්
මේ පිටියෙන් යන්න වරම්

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

  1. http://topsinha.blogspot.com/2009/12/ambakke-devalaya-wooden-creater-of-sri.html
"https://si.wikipedia.org/w/index.php?title=අංකෙලිය&oldid=180526" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි