වර්ජිනියා වුල්ෆ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වර්ජීනියා වුල්ෆ්
උපත ඇඩ්ලින් වර්ජිනියා ස්ටීවන්
25 ජනවාරි 1882(1882-01-25)
කෙන්සිංටන්, ලන්ඩනය, එංගලන්තය, එරා
විපත 28 මාර්තු 1941(1941-03-28) (වයස 59)
ඌස් නදිය, ලුවිස්, නැගෙනහිර සසෙක්ස්, එංගලන්තය අසබඩ
වෘත්තිය නවකතාකරු, නිබන්ධක, ප්‍රකාශක, විචාරක
සංගණ්‍ය කෘතිය(න්) ටු ද ලයිට්හවුස්, මිසිස් ඩැලොවේ, ඔර්ලන්ඩෝ: අ බයෝග්‍රෆි, අ රූම් ඔෆ් වන්ස් ඕන්
කලත්‍රයා(යන්) ලෙනඩ් වුල්ෆ්
(වි. 1912–1941; ඇයගේ මරණය)

ඇඩ්ලින් වර්ජිනියා වුල්ෆ් ( 25 ජනවාරි 1882 – 28 මාර්තු 1941) යනු විසිවන සියවසෙහි අග්‍රගණ්‍ය නව්‍යවාදී සාහිත්‍යමය තැනැත්තන් අතුරින් එක් අයෙකු ලෙසින් සැලකෙන ඉංග්‍රීසි ලේඛිකාවකි.

යුද්ධ අතරමැද කාලයේදී, වුල්ෆ් ලන්ඩන් සාහිත්‍යමය සමාජයෙහි සැලකිය යුතු තැනැත්තියක් වූ අතර බ්ලූම්ස්බරි කණ්ඩායමෙහි සාමාජිකාවක්ද වූවාය. ඇයගේ ඉතාමත් ජනප්‍රිය කෘතීන් අතර වූයේ මිසිස් ඩැලොවේ (1925), ටු ද ලයිට්හවුස් (1927) සහ ඔර්ලන්ඩෝ (1928) යන නවකතාද, එහි ජනප්‍රිය ආප්ත වාක්‍යය වූ , "අ වුමන් මස්ට් හෑව් මනි ඇන් අ රූම් ඔෆ් හර් ඕන් ඉෆ් ෂී ඊස් ටු රයිට් ෆික්ෂන්" ("ප්‍රබන්ධ කතා රචනය කිරීමට නම් ගැහැණියකට මුදල් සහ ඇයගේම වූ කාමරයක් තිබිය යුතුයි") හා සමගින් පොතක් තරම් දිගු රචනයක් වූ අ රූම් ඔෆ් වන්ස් ඕන් (1929) ද විය.

මුල් දිවිය[සංස්කරණය]

ජූලියාගේ නැන්දණියවූ ජූලියා මාගරට් කැමරන්, විසින් රචිත වුල්ෆ් ගේ මව වූ ජූලියා ස්ටීවන්ගේ ඡායාරූපමය ආලේඛ්‍ය චිත්‍රය

ශ්‍රීමත් ලෙස්ලි ස්ටීවන් සහ ජූලියා ප්‍රින්සප් ස්ටීවන් (විවාහයට පෙර ජැක්සන්) ට දාව 1882 දී ලන්ඩනයෙහිදී වර්ජීනියා වුල්ෆ් මොලාව බිහි වූයේ ඇඩ්ලින් වර්ජිනියා ස්ටීවන් යන නමිනි.

වර්ජිනියාගේ පියා, ශ්‍රීමත් ලෙස්ලි ස්ටීවන් (1832–1904), යනු සංගණ්‍ය ඉතිහාසඥයෙක්, ලේඛකයෙක්, විචාරකයෙක් සහ කඳු නගින්නෙක් විය.[1] හෙතෙම ජාතික චරිතාපදාන ශබ්දකෝෂය යන කෘතියෙහි සංස්කාරක වූ අතර, වුල්ෆ්ගේ පසුකාලීන පර්යේෂණාත්මක චරිතාපදාන කෙරෙහි මෙම කෘතිය බලපෑම් එල්ල කලේය.

වර්ජිනියාගේ මව ජූලියා ස්ටීවන් (1846–1895) යනු ඉන්දියාවෙහිදී ආචාර්ය ජෝන් සහ මාරියා පැට්ල් ජැක්සන්ට දාව උපන් කීර්තිමත් රූප සුන්දරියක් විය. ඇය, කීර්තිමත් ඡායාරූපශීල්පිනියක් වූ ජූලියා මාගරට් කැමරන් විවාහයට පෙර පැට්ල් ගේ ලේලියද වූවාය. සිය මව හා සමගින් පදිංචිය වෙනස් කොට එංගලන්තය වෙත පැමිණි ජූලියා, එහිදී එඩ්වඩ් බර්න්-ජෝන්ස් වැනි ප්‍රාග්-රාෆියලයිට් චිත්‍රශිල්පීන් සඳහා නිරූපිකාවක් ලෙසින් කටයුතු කලාය.[2]

22 හයිඩ් පාක් ගේට්, කෙන්සිංටන් හි වූ සාක්ෂර සහ වැදගතුන්ගේ ආශ්‍රය සහිත ඔවුන්ගේ ගෘහස්තයෙහිදී ඇයගේ දෙමව්පියන් වෙතින් වුල්ෆ් අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ දෙම්ව්පියන් එක් එක් දෙනා පෙරදී විවාහ වී සිට වැන්දඹු බවට පත්වූ අයවළුන් වූ අතර එම නිසාම ගෘහස්තයෙහි විවාහ තුනක දරුවන් ජීවත් වූහ. ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ හර්බට් ඩක්වර්ත් ගෙන් ජූලියා හට ජෝර්ජ්, ස්ටෙලා, සහ ජෙරල්ඩ් ඩක්වර්ත් නමින් දරුවන් තිදෙනෙක් සිටියහ. ලෙස්ලි පළමුව විවාහව සිටියේ, විලියම් තැකරිගේ දියණිය වූ හැරියට් මේරියන් (මිනි) තැකරි (1840–1875) හා සමගින් වන අතර, ඔවුනට ලෝරා මේක්පීස් ස්ටීවන් නමින් සිටි එක් දියණිය මානසිකව අබල බවට ප්‍රකාශ කෙරී, 1891 දී මානසික ආබාධිතයන් සඳහාවූ ආයතනයකට යොමු කෙරෙන තෙක් පවුල සමග ජීවත් වූවාය.[3] ලෙස්ලි සහ ජූලියා එක්ව වැනෙසා ස්ටීවන් (1879), තෝබි ස්ටීවන් (1880), වර්ජිනියා (1882), සහ ඒඩ්රියන් සටීවන් (1883) නම් දරුවන් සතර දෙනෙක් ලදහ.

සංස්කාරකයෙකු, විවේචකයෙකු, සහ චරිතාපදානකරුවෙකු ලෙසින් ශ්‍රීමත් ලෙස්ලි ස්ටීවන්ගේ ප්‍රභූත්වය හා විලියම් තැකරි හා ඔහුගේ පැවැති සම්බන්ධතා හේතුවෙන්, වික්ටෝරියානු සාහිත්‍යමය උසස් සමාජයෙහි ආභාෂයන් පිරි පරිසරයක ඔහුගේ දරුවන් ඇති දැඩි කරනු ලැබිණි . හෙන්රි ජේම්ස්, ජෝර්ජ් හෙන්රි ලුවිස්, සහ ඇයගේ ගරු ඥාන පියා, ජේම්ස් රසල් ලොවෙල්, යන්නන් නිවෙස වෙත ආ ගිය අමුත්තන් අතුරින් සමහරක් වූහ. ජූලියා ස්ටීවන්ද වැදගත් නෑදෑ මිත්‍රයන් සහිත වූවාය. මැරි ඇන්ටොනෙට්ගේ පරිවාරක ස්ත්‍රියකගෙන් පැවත එන ඇය,[තහවුරු​ කරන්න] ස්ටීවන් ගෘහස්තය වෙත ආ ගිය තවද ආගන්තුකයෙකුවූ ඇයගේ නැන්දණියද වූ ජුලියා මාග්‍රට් කැමරන්ද ඇතුළු ප්‍රාග්-රාෆියලයිට් චිත්‍රශිල්පීන් හා මුල් යුගයෙහි ඡායාරූපශීල්පීන් හමුවේ පෙනී සිටි නිරූපිකාවන් ලෙසින් වික්ටෝරියානු සමාජයෙහි නමක් දිනා සිටි රූප සුන්දරියන්ගෙන් සැදුනු පවුලකින් පැවත ආවාය. මෙම ආභාෂයන්ට පූරක වශයෙන් පැවැතියේ ස්ටීවන්ගේ නිවසෙහි වූ මහත්වූ පුස්තකාලය වන අතර මෙය ආශ්‍රයෙන් වර්ජිනියා සහ වැනෙසා හට සම්භාව්‍ය කෘතින් සහ ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වන ලදි. ගැහැණු ලමුන්ට මෙන් නොව, ඔවුන්ගේ සොහොයුරන්වූ ඒඩ්රියන් හා ජූලියන් (තෝබි) යන දෙදෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙත යොමු කොට විධිමත් අධ්‍යාපනය ලබා දෙන ලද අතර, මෙම වෙනස් සැලකීම පිළිබඳව වර්ජිනියා අමනාපය දැක්වීය. සොහොයුරන්ගේ කේම්බ්‍රිජ් සම්බන්ධතා වලින් සෙහොයුරියන් වක්‍ර ප්‍රතිලාභ ලැබුයේ පිරිමි ලමුන් විසින් ඔවුන්ගේ නව පාණ්ඩිත්‍ය මිතුරන් ස්ටීවන්වරුන්ගේ විසිත්ත කාමරයට කැඳවාගෙන ආ බැවිනි.[තහවුරු​ කරන්න]

එඩ්වඩ් බර්න්-ජෝන්ස්, 1866 විසින් ආලේඛණය කෙරුණු ජූලියා ප්‍රින්සෙප් ස්ටීවන්

වුල්ෆ්ගේ මතක සටහන් අනුව, ඇයගේ මහත් සෙයින් විචිත්‍ර ලමා කල මතකයන් ලන්ඩනය පිළිබඳ ඒවා නොව 1895 දක්වා සෑම ගිම්හානයක්ම ගත කිරීමට පවුල විසින් භාවිතා කල කෝන්වෝල්හී, සෙන්ට් අයිව්ස් පිළිබඳ ඒවා විය. ටොලන්ඩ් හවුස් නම්වූ ස්ටීවන්වරුන්ගේ ගිම්හාන නිවහන, පෝර්ත්මින්ස්ටර් බොක්කට මුහුණ ලා තිබූ අතර, සුළු වෙනස්කම් සහිතව එය දැනුදු එතැන පවතියි. මෙම පවුල් නිවාඩු ගතකිරීම් පිළිබඳ මතකයන් හා භූදර්ශනයන් ගැන සංකල්පනයන්, විශේෂයෙන්ම ගඩ්‍රීවී ප්‍රදීපාගාරය පිළිබඳ මතකයන්, වුල්ෆ් විසින් පසුකාලීන වර්ෂයන්හී රචිත ප්‍රබන්ධයන්, වඩාත් සංගණ්‍ය ලෙසින් ටු ද ලයිට්හවුස් කෙරෙහි ආවේදනයන් සැපයීය.

වර්ජිනියා 13 වසරක් වියැති වෙත්ම, 1895දී ඇයගේ මවගේ හදිසි වියෝව සහ වසර දෙකකට අනතුරුව ඇතිවූ ඇයගේ අඩ-සොහොයුරිය ස්ටෙලාගේ මරණය, වර්ජිනියා අත්විඳි බොහෝ ස්නායු භංගත්ව අතුරින් පළමුවැන්න ඇතිවීමට හේතුකාරක විය. එසේවුවද, 1897 සහ 1901 අතරතුර, ග්‍රීක්, ලතින්, ජර්මන් භාෂා සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන පාඨමාලා (සමහරක් උපාධි මට්ටමෙහි) කිංස් කොලේජ් ලන්ඩන් හී කාන්තා අධ්‍යයනාංශය වෙතින් හැදෑරීමට ඕ සමත් වූ අතර, මෙය තුලින්, කාන්තා උසස් අධ්‍යාපනයෙහි මුල් ප්‍රතිසංස්කරණවාදීන් අතුරින් සමහරක් වූ ක්ලාරා පේටර්, ජෝර්ජ් වෝර් සහ ලිලියන් ෆේත්ෆුල් (කිංස් කාන්තා අධ්‍යයනාංශයෙහි විදුහල්පති සහ දුම්නැව් කාන්තාවන් අතුරින් එකෙකු ලෙසින් ගැනුණු) වැන්නන් හා සම්බන්ධකම් පැවැත්වීමට ඇය වරම් ලද්දීය.

1904 දී සිදුවු ඇගේ පියාගේ මරණය හමුවේ ඇය වඩාත් මානසික රෝගී තත්වයකට පත් වුවාය.

මෙම මානසික විෂාදීය තත්වයට තම මව්පියන්ගේ මරණයන් මෙන්ම ඇයට තම අඩ-සොහොයුරන් දෙදෙනාවූ ජෝර්ජ් හා ජෙරල්ඩ් ඩක්වර්ත් යන දෙදෙනාගෙන්ම මුහුණපෑමට සිදුවු ලිංගික බලපෑම්ද හේතු විය. මෙම සිදුවීම් ඇයගේම ‘ අ ස්කෙච් ඔෆ් ද පාස්ට් ’ නම් කෘතියේ අන්තර්ගත වේ.

වර්ජිනියා විවාහපත් වුයේ ප්‍රකට ලේඛකයකු වු ලෙනඞ් වුල්ෆ් සමඟය. ඒ 1912 දීය.

වර්ජීනියා ඇගේ අවසාන නවකතාවේ (බිට්වීන් ද ඇක්ට්ස්) අනුපිටපත ලිවීමෙන් අනතුරුව වඩා දරුණු විෂාදය තත්වයකට ගොදුරුවිය. යුද්ධය, ලන්ඩන් හි තම නිවාස විනාශයට පත්වීම සහ තම මිතුරකුගේ වෙනස් වීම් වැනි තත්ව නිසා ඇය වඩවඩාත් දරුණු මානසික රෝගී තත්වයකට පතුවුවාය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය 1941 මාර්තු 28 වන දින තම කබා සාක්කු වල පාෂාණ පුරවාගෙන ‘ඌස්’ නම් නදියේ ගිලී සිය දිවි නසා ගත්තාය.

සටහන්[සංස්කරණය]

  1. ඇලන් බෙල්, "ස්ටීවන්, සර් ලෙස්ලි (1832–1904)", ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් නැෂනල් බයෝග්‍රෆි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, සැප් 2004; මාර්ගගත සංස්, මැයි 2006
  2. ජූලියා ප්‍රින්සෙප් ස්ටීවන් පිළිබඳ ස්මිත් කොලේජ් පුස්තකාල චරිතාපදානය
  3. රොබට් මෙයර්, 1998, කේස් ස්ටඩීස් ඉන් ඇබ්නොර්මල් බිහේවියර්, ඇලින් ඇන්ඩ් බේකන්
"http://si.wikipedia.org/w/index.php?title=වර්ජිනියා_වුල්ෆ්&oldid=251322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි