මිනිස් දත්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දත්
Teeth by David Shankbone.jpg
වැඩිහිටි මිනිසෙකුගේ දත්
Denticao.jpg
දත් වල පිටුපස පෙනුම මුඛය තුළින්
ලතින්(Latin) dentes
MeSH Tooth
Dorlands/Elsevier Tooth
1. දත 2. එනමලය 3. දන්තිනය 4. දන්ත කල්කය ::5. cameral පල්පය ::6. මුල කල්කය :7. බදාම :8. මස්තකය ::9. තුඩ ::10. නිඛාතිය :11. ග්‍රීවය :12. මුලය ::13. Furcation ::14. මුල අග්‍රස්ථය :::15. අග්‍රස්ථ ජිද්‍රය 16. විදුරුමස් නිඛාතිය
17. පරිදන්තය
 :18. විදුරුමස: ::19. free or interdental ::20. දාර  ::21. දන්තමුලජ :22. පරිදන්ත අස්ථිබන්ධය :23. දන්තමුලාජ අස්ථිය 24. වාහිනී සහ නහර: :25. දත් :26. පරිදන්ත :27. දන්තමුලජ නාලය හරහා දන්තමුලජය
ස්ථිර දත්වල දකුණු යටි අර්ධ වක්‍රය ඉහලින් දකින ආකාරය
තුන්වන චාර්වක දතක්.
දන්තමුලජ අස්ථිය තුළ මිනිස් දත් තිබෙන අයුරු ආදර්ශනය.
මිනිස් චාර්වක දතක හරස්කඩක්

මිනිස් දත් යනු මිනිස් මුඛය තුළ පිහිටි කුඩා, චුර්ණිකෘත, දැඩි, සුදට හුරු ව්‍යුහයන්ය. ඒවායේ යාන්ත්‍රික ක්‍රියාව(සැපීම) ආහාර ද්‍රව්‍ය කැපීම සහ ඇඹරීම මගින් ආහාර ගිලීමට හා ජිරණයට සුදානම් කරයි. දත් වල මුල් උඩු හනුව (උඩු හක්ක) සහ යටිහනුව (යටි හක්ක) තුළ ගිලී විදුරුමස මගින් ආවරණය වී පවතී. දත් නිර්මාණය වී ඇත්තේ විචල්‍ය ඝනත්වයක් හා දෘඩතාවක් ඇති පටක වලිනි.

දත් ක්‍ෂීරපායින්ට ඉතාම ලාක්‍ෂනික (සහ චිරස්ථිත) ලක්‍ෂණයකි. අනෙකුත් ක්‍ෂිරපායීන් මෙන්ම මිනිසාටද ද්විවාර දන්තිනයකි, එනම් ජිවිත කාලය තුළ කට්ටල දෙකක් ලෙස ඇතිවන දත් පවතී. සාමාන්‍යයෙන් පළමු දත් කට්ටලය (ළදරු දත්, කිරි දත්, ප්‍රාථමික දත්,පතනශීලි දත් ලෙසද ඒවා හැඳින්වේ) ඇතිවීම මාස 6 දී පමණ ඇරඹෙන නමුත් ඇතැම් ළදරුවන් ඉපදෙන විටම ඇසට පෙනෙන දතක් හෝ කිහිපයක් සහිතව උපදී. එවැනි දත් නවජ දත් ලෙස හඳුන්වයි. මාස හයේදී පමණ සිදුවන සාමාන්‍ය දත්න විදාරණය ඇතැම් විට වේදනාකාරී විය හැකිය.

දන්ත ක්‍ෂතිය යනු මුහුණෙහි, මුඛයෙහි සහ විශේෂයෙන් දත්වල, තොල් වල, හා පටක ආශ්‍රිතව සිදුවන ඉරීම් වේ.

ව්‍යුහ විද්‍යාව[සංස්කරණය]

දන්ත ව්‍යුහ විද්‍යාව යනු දතෙහි ව්‍යුහය අධ්‍යයනය කරන ව්‍යුහ විද්‍යාත්මක ක්‍ෂේත්‍රයකි. මේ යටතේ දතේ වර්ධනය, දෘශ්‍යමාණය, සහ වර්ගීකරණය අධ්‍යනය කරනු ලබන නමුත් දන්ත ඇවිරීම හෝ අනෙක් දත් සමග සබැඳියාව මේ යටතට අයත් නොවේ. දන්ත ව්‍යුහ විද්‍යාව දත් නම් කිරීම හා එහි ව්‍යුහය පිළිබඳව අදාල වන වර්ගීකරණ විද්‍යාවක් ලෙසද සැලකේ. මෙම තොරතුරු, දන්ත වෛද්‍ය වරයෙකුට ප්‍රායෝගිකව ප්‍රතිකාර කිරීමේදී හා දත් හඳුනා ගැනීමට හැකියාව ලබාදේ.

දන්ත මස්තකය යනු එනමළයෙන් ආවරණය වූ දන්ත ග්‍රීවය ඉහලින් පිහිටි ප්‍රදේශයයි.[1][2] මස්තකය බොහෝ දුරට සැදී ඇත්තේ කල්ක කුහරයකින් හා දන්තිනය මගිනි.[3] දත් විදාරණයට පෙර සිටම මස්තකය අස්ථිය තුළ පිහිටයි.[4] විදාරණයෙන් පසු, එය බොහෝ අවස්ථා වලදී දැකිය හැකිය. මස්තකය මෙන්ම, දන්තිනය දතේ මුලයෙන් විශාල කොටසක් නිර්මාණය කරයි. එහි කල්කමය නාල දැකිය හැකිය. දතකට දත් මුල් කිහිපයක් හෝ තනි මුලක් හෝ තිබිය හැකිය. රදනක දත් හා උඩු හනුවේ මුල් පුරස්චාර්වක හැර අනෙක් පුරස්චාර්වක දත් වලට තනි මුලක් ඇත. උඩු හනුවේ මුල් පුරස්චාර්වක දත් දෙකටත්, යටි හනුවේ චාර්වක දත් වලටත් මුල් දෙකක් පවතී. උඩු හනුවේ චාර්වක දත් වල මුල් තුනකි. අමතර දත් මුල් අතිරේක දත් මුල් ලෙස ව්‍යවහාර කෙරේ.

සාමාන්‍යයෙන් මිනිසාට ප්‍රාථමික දත් 20ක් ද (පතනශීලි, “ළදරු”, “කිරි”) ස්ථිර දත් 32ක්ද ඇත. දත් කෘන්තක, රදනක, premolarsපුරස්චාර්වක,[5] චාර්වක ලෙස වර්ග කළ හැකිය. කෘන්තක දත් මුලිකව අහාර ද්‍රව්‍යක් සැපීම යොදාගනී. චාර්වක දත මුලිකවම මුඛය තුළ ඇති කැඩූ ආහාර ඇඹරීම සඳහා යොදාගැනේ.

බොහෝ දත් අනෙක් දත් වලින් වෙන් කර හඳුනා ගැනීමට හැකි ලක්‍ෂණ වලින් යුක්තය. කිසියම් දතක් හඳුනා ගැනීම සඳහා භාවිතා වන සකුණු ක්‍රම කිහිපයකි. දැනට ව්‍යවහාරයේ පවත්නා සලකුණු ක්‍රම තුනක් නම් FDI ලෝක දන්ත සන්ධානයේ සකුණු ක්‍රමය, පොදු අංක යෙදීමේ ක්‍රමය, Palmer සලකුණු ක්‍රමය වේ. FDI ක්‍රමය ලොව පුරා භාවිතා වන අතර, පොදු අංක ක්‍රමය ඇමරිකාව පුරා විශාල වශයෙන් භාවිතා කෙරේ.

ප්‍රාථමික දත්[සංස්කරණය]

පතනශීලී දත් අතරින් දහයක් උඩුහණුවේ පිහිටා ඇති අතර දහයක් යටිහණුවේ පිහිටා ඇත. එනම් ප්‍රාථමික දත් 20කි. ප්‍රාථමික දත් වල දන්ත සුත්‍රය

2. 1. 2
2. 1. 2

ආකාර වේ. ප්‍රාථමික දත් කට්ටලයේ දෙවර්ගයක ඉදිරි දත්, මැදි දත් හා පසුපස දත් වේ. පසුකාලීනව සියලුම ප්‍රාථමික දත් ඒවායේ ප්‍රතිපුරණ මගින් ප්‍රතිස්ථාපනය වේ.

ස්ථිර දත්[සංස්කරණය]

ස්ථිර දත් 32ක් අතරින් උඩු හනුවෙහි 16ක් හා යටි හනුවෙහි 16ක් බැගින් පිහිටා ඇත.දන්ත සූත්‍රය වන්නේ

2. 1. 2. 3
2. 1. 2. 3

උඩු හනුවෙහි පිහිටා ඇති දත් වන්නේ උඩු මධ්‍ය ඉදිරි දත, උඩු පාර්ශවික ඉදිරි දත, උඩු රදනක දත,උඩු පළමු පුරශ්චාර්වක දත, උඩු දෙවන පුරශ්චාර්වක දත, උඩු පළමු චාර්වක දත, උඩු දෙවන චාර්වක දත සහ උඩු තෙවන චාර්වක දත වේ. යටි හනුවේ පිහිටා ඇති දත් වන්නේ යටි මධ්‍ය ඉදිරි දත, යටි පාර්ශවික ඉදිරි දත, යටි රදනක දත, යටි පළමු පුරශ්චාර්වක දත, යටි දෙවන පුරශ්චාර්වක දත, යටි පළමු චාර්වක දත, යටි දෙවන චාර්වක දත සහ යටි තෙවන චාර්වක දත වේ.තෙවන චාර්වක දත් සාමාන්‍යයෙන් “ඥාන දත්” ලෙස හැඳින්වෙන අතර ඒවා කිසිසේත්ම මුඛයෙන් පිට දමන්නේ හෝ සකස්වෙන්නේ නැත. කුමන හෝ අමතර දත් සෑදුනහොත්, උදාහරණයක් වශයෙන්, කලාතුරකින් සෑදෙන සිව්වන සහ පස්වන චාර්වක දත්,හැඳින්වෙන්නේ අමතර දත් (hyperdontia) ලෙසය.[6] hypodontia යනු සාමාන්‍ය දත් ගණනට වඩා වැඩි දත් ගණනක වර්ධනයක් සිදු වීමයි.

කොටස්[සංස්කරණය]

එනමලය[සංස්කරණය]

එනමලය යනු ශරීරයේ පිහිටා ඇති දෘඩතම හා වඩාත්ම ඛණිජ ද්‍රව්‍ය සහිත වූ කොටසයි. එය දත සකස්වන ප්‍රධාන පටක 4 අතරින් දන්තිනය, බදාමය සහ දන්ත කල්කය හැරුනුකොට ඇති අනිත් ප්‍රධාන පටකයයි.[7] සාමාන්‍යයෙන් එය දෘශ්‍යමාන වන අතර අනිවාර්යයෙන් මතුපිටට යටින් පවත්නා දන්තිනයෙහි අධාරය මත පවතී. එනමලයෙහි 96% ක් ම අඩංගුව ඇත්තේ ජලය සමග ඛණිජ වර්ග වන අතර ඉතිරියෙහි කාබනික ද්‍රව්‍ය අඩංගු වේ.[8] එනමලයේ සාමාන්‍ය වර්ණය දීප්තිමත් කහ පැහැයේ සිට අළුවන් සුදු පැහැය දක්වා වෙනස් වේ. එනමලයෙහි මතුපිටට යටින් වූ දන්තිනයක් නොමැති විට දත්වල කෙළවරවල පැහැය ඇතැම්විට යන්තම් නිල් පැහැයක් ගනී. එනමලය අර්ධ පාරභාසක නිසා දතෙහි පෙනුමට ප්‍රබල ලෙස බලපාන්නේ දන්තිනයෙහි වර්ණය සහ එනමලයට යටින් ඇති ඕනෑම ශක්තිජනක දන්ත ද්‍රව්‍යයක් ය. එනමලයෙහි ඝනකම දතෙහි මතුපිට මත වෙනස්වන අතර බොහෝවිට වඩාත්ම ඝනකමින් යුක්ත වන්නේ වකුටු වූ කොනෙහි දී, 2.5 mm පමණ, වන අතර තුනීම වන්නේ එහි දාරයෙහි දී ය. එනමලය ගෙවී යන අනුපාතය attrition ලෙස හැඳින්වෙන අතර එය සාමාන්‍ය සාධක මත අවුරුද්දකට මයික්‍රෝමීටර 8ක් වේ.

එනමලයේ ප්‍රධාන ඛණිජ ද්‍රව්‍ය වන්නේ ස්ඵටිකරූපී කැල්සියම් පොස්ෆේටයක් වන hydroxylapatite ය.එනමලයෙහි ඇති ඛණිජ ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් එහි ශක්තිමත්බවට පමණක් නොව එහි භංගුරබාවයට ද හේතු වේ. දන්තිනය සහ අස්ථිය මෙන් නොව, එනමලයෙහි සත්ව පටකවල ඇති ප්‍රෝටීන් විශේෂයක් වන කොලජන් අඩංගු නොවේ. ඒ වෙනුවට එයටම අනන්‍ය වූ ප්‍රෝටීන වර්ග දෙකක් වන amelogenins සහ enamelins ඇත. මෙම ප්‍රෝටීන වර්ග දෙකෙහි කාර්යභාරය සම්පූර්ණයෙන්ම වටහාගත නොහැකි වුවත් ඒවා එනමලයෙහි වර්ධනය සඳහා අනෙකුත් කෘත්‍යන් අතරින් සැකිල්ලක් ලෙස ක්‍රියාකරමින් උපකාරී වන බව විශ්වාස කරයි. [9]

දන්තිනය[සංස්කරණය]

දන්තිනය යනු එනමලය හෝ බදාමය සහ කල්ක කුහරයෙහි මැද ඇති ද්‍රව්‍යයකි. එය දන්ත කල්කයේ දන්ත සෛල හේතුවෙන් රහස්‍යව පිහිටා ඇත.[10] දන්තිනයෙහි නිමැවුම dentinogenesis ලෙස හැඳින්වේ. සවිවර,කහ පැහැගත් ද්‍රව්‍යය, බර අනුව 70%ක් අකාබනික ද්‍රව්‍යයන්ගෙන්ද 20%ක් කාබනික ද්‍රව්‍යයන්ගෙන්ද 10%ක් ජලයෙන්ද සෑදී ඇත.[11] එනමලයට වඩා දන්තිනය මෘදු නිසා එය ඉතා සීඝ්‍ර ලෙස දිරාපත් වන අතර නිසි ප්‍රතිකාර නොකළහොත් එය දත්වල කුහර සෑදීමටද හේතුවක් වේ. එසේ වුවද දන්තිනය ආරක්ෂක ස්ථරයක් ලෙස ක්‍රියා කරන අතර දතෙහි ශීර්ෂයට ආධාරකයක් වේ.

දන්තිනය ඛණිජ ද්‍රව්‍ය වලින් සැදුම්ලත්, සත්ව පටකවල ඇති ප්‍රෝටීන විශේෂයක් වන, කොලජන් ප්‍රෝටීන වල කාබනික අනුකෘතියකින් යුත් සම්බන්ධක පටකයක් වේ. දන්තිනයට කල්ක කුහරයෙහි සිට දන්තිනය හරහා බාහිර බදාමය හෝ එනමලයෙහි දාරය දක්වා පිටතට පැතිරෙන දන්තික නාලිකා නමින් හැඳින්වෙන අන්වීක්ෂීය නාලිකා ඇත.[12] මෙම නාලිකා වල විෂ්කම්භය කල්කය අසලදී මයික්‍රෝමීටර 2.5 ද මැද කොටසේදී මයික්‍රෝමීටර 1.2 දක්වාද දන්තික-එනමල් සන්ධිය අසලදී නැනෝමීටර 900 ක් දක්වාද අඩු වැඩි වේ.[13] සියුම් පාර්ශවික ශාඛා සහිත වුවත් එම නාලිකා කිසිවිටෙකත් එකිනෙක හා ජේදනය නොවේ. ඒවායේ දිග තීරණය වන්නේ දතෙහි අර්ධ විෂ්කම්භය මගිනි. මෙම දන්තික නාලිකාවල ත්‍රිමාණ සැකැස්ම තීරණය වන්නේ උපතිනි.

බදාමය[සංස්කරණය]

බදාමය දතක මූලය ආවරණය කරන ද්‍රව්‍යයක් වැනි වූ විශේෂිත අස්ථියකි.[10] එය ආසන්න වශයෙන් 45%ක් අකාබනික ද්‍රව්‍යයන්ගෙන්ද (ප්‍රධාන වශයෙන් hydroxyapatite),33%ක් කාබනික ද්‍රව්‍යයන්ගෙන් (ප්‍රධාන වශයෙන් කොලජන්) සහ 22%ක් ජලයෙන්ද සමන්විතය. බදාමය දතෙහි මූල අභ්‍යන්න්තරයෙහි සිමෙන්ති සෛල වෙතින් පහ කරනු ලබන අතර එය ඝනතම වන්නේ මූල කූටයෙහිදීය. එහි වර්ණය කහපැහැ වන අතර දන්තිනයට හා එනමලයට වඩා මෘදු වේ. බදාමයයේ ප්‍රධාන භූමිකාව වන්නේ ස්ථායී භාවය සඳහා පරිදුන්ත අස්ථිබන්ධය දතට සම්බන්ධ කිරීමේ මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමයි. බදාම-එනමල සන්ධියේදී බදාමය එහි සෛලීය සංරචක වල හිඟකම හේතුවෙන් සෛල රහිත වන අතර මෙම සෛල රහිත වර්ගය අවම වශයෙන් මූලයෙහි 2/3ක් ආවරණය කරයි.[14] වඩා පාරගම්‍ය ස්වරූපය වන සෛලීය බදාමයය මූල කූටයෙහි 1/3ක් පමණ ආවරණය කරයි.[15]

කල්කය[සංස්කරණය]

දන්ත කල්කය මෘදු සම්බන්ධක පටක වලින් පිරුණු දතෙහි මධස්ථ කොටස වේ.[11] මෙම පටකයෙහි, මූල අග්‍රයෙහි ඇති කුඩා කුහරයක් තුලින් දතට ඇතුල්වන රුධිර වාහිණී සහ ස්නායු අඩංගු වේ.[16] දන්තිනය සහ කල්කය අතර දාරය ඔස්සේ පිහිටන්නේ දන්තිනය නිමවුමේ ආරම්භය වන දන්ත සෛලයි.[11] කල්කයෙහි අඩංගු අනෙකුත් සෛල වන්නේ තන්තු සෛල, ප්‍රාක් දන්ත සෛල, macrophages සහ T වසා සෛලයි.[17] කල්කය ප්‍රසිද්ධව ඇත්තේ දතෙහි “ස්නායුව” ලෙසය.

වර්ධනය[සංස්කරණය]

යටි හනුවේ පළමු, දෙවන, තුන්වන චාර්වක දත් වල වර්ධනයේ විවිධ අවස්ථා වල විකිරණ රේඛයක්.

දත්වල වර්ධනය කළල සෛලවල සිට ක්‍රමයෙන් වර්ධනය වී මුඛය තුළට විදාරණයවීමේ සංකීරණ ක්‍රියාවලියකි. විවිධ ජීවී විශේෂ වලට දත් තිබුනද එම ජීවීන්ගේ දත් වර්ධනය මිනිස් දත් වර්ධනයට බොහෝ සෙයින් සමානය. නිරෝගී මුඛ පරිසරයක් පවත්වා ගැනීමට දත් වල එනමලය, දන්තිනය, සහ පරිදුන්තය යන සියල්ල ප්‍රාග් ප්‍රසව අවදියේ නියම අවස්ථා වල වර්ධනය වීම වැදගත් වේ. ප්‍රාථමික දත් ඇරඹීම ගර්භාෂයේ සති හය, අට කාලය තුළ සිදුවන අතර ස්ථිර දත් ඇරඹීම ගර්භාෂයේ විසිවන සතියේ සිට සිදුවේ.[18] මෙම කාල තුළදී දත් ඇතිවීම ඇරඹීම සිදු නොවුනහොත් කිසිදා දත් ඇතිවීම සිදුනොවේ.

දත් සෑදීම ආරම්භ වීමේ ක්‍රියාවලිය පිළිබඳව විශාල ප්‍රමාණයක් පර්යේෂණ සිදු කර ඇත. මුල් ජලක්ලෝම චක්‍ර වල ඇති සාධකයක් දත් වර්ධනය සඳහා වැදගත් වන බව පුළුල් ලෙස පිළිගෙන ඇති මතයකි..[19]

දත්වල වර්ධනය පොදුවේ අදියර කිහිපයකට බෙදිය හැකිය. ඒවා නම් අංකුර අවධිය, කිරුලස අවධිය, සීනු අවධිය සහ පරිනත වීමයි. දත් වර්ධනය සීග්‍රයෙන් සිදුවන ක්‍රියාවලියක් බැවින් වර්ධනය වන දතක් කිසියම් අවධියක පවතින බවට ස්ථිරව තීරණය කිරීම තරමක් අපහසුය.[19]

දත් අංකුර යනු දත් සාදන සෛලවල එකතුවකි. එය කොටස් තුනින් සමන්විත වේ. ඒවා එනමල අංගය, දන්ත පිටිකාව, සහ දන්ත කොෂ්ඨය වේ.[20] එනමල අංගය සෑදී ඇත්තේ පිටත එනමල් අපිච්ඡදය, ඇතුලත එනමල් අපිච්ඡදය, තාරකාකාර ජලිකාව සහ ස්ථර අතරමැදිය මගිනි.[20] ගැඹුරු පටක දක්වා ග්‍රෛවීය ලුප සෛල වල වර්ධනය හෙර්ට්විග්ගේ අපිච්ඡද කොපුව සාදයි. එය දත් මුලයේ ස්වරුපය තීරණය කරයි. දන්ත පිටිකාවේ සෛල වර්ධනය වී දන්ත සෛල සාදයි, එනම් දන්තිනය නිර්මාණය කරන සෛලවේ.[20] තවද දන්ත පිටිකාව හා ඇතුලත එනමල අපිච්ඡදය අතර මංසන්ධිය දන්ත මස්තකයේ හැඩය තීරණය කරයි.[21] දන්ත කෝෂය බදාමසෛල, අස්ථිජන්තුව, හා තන්තු සෛලවලට මතු වීමට ඉඩ ලබාදෙයි. බදාමසෛල දන්ත බදාම සාදයි. අස්ථිජන්තුව දන්ත මුලය වටා දන්තමුලජ අස්ථියට මතු වීමට ඉඩ ලබාදෙයි. තන්තු සෛල පරිදුන්ත අස්ථිබන්ධය සාදයි. එය දත් දන්තමුලජ අස්ථියට දන්ත බදාම මගින් සවිකරනු ලබයි.[22]

විදාරණය[සංස්කරණය]

සත් හැවිරිදියෙකුගේ යටි හනුවේ දත්, ප්‍රාථමික දත්"(වම)", නැති වූ ප්‍රාථමික දතක්"(මැද)" සහ ස්ථිර දතක් "(දකුණ)"

දන්ත විදාරණය, දත් මුඛය තුළට ඇතුල්වීම හා දැකිය හැකි තත්ත්වයට පත්වීම දත් වර්ධනයේ තවත් ක්‍රියාවලියකි. වර්ථමාන පර්යේෂණ වලට අනුව පෙනීයන්නේ පරිදුන්ත අස්ථිබන්ධය දත් විදාරණයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි. ප්‍රාථමික දත් විදාරණය මාස හයේ පමණ සිට අවුරුදු දෙක දක්වා කාලය තුළ සිදුවේ. අවුරුදු හයක් පමණ කාලය දක්වා ප්‍රාථමික දත් පුද්ගලයෙකුගේ මුඛයේ පවතී. මේ අතර කාලය තුළ පළමු ස්ථිර දතේ විධාරණය සිදුවේ. මෙම කාලයෙ ප්‍රාථමික හා ස්ථිර දත් වල සංකලනයක් ඇති බැවින් මෙය මිශ්‍ර අවධිය ලෙස හැඳින්වේ. මෙම මිශ්‍ර අවධිය අවසාන ප්‍රාථමික දත ඉවත්වී ඉතිරි ස්ථිර දත විදාරණය වීම දක්වා කාලය තුළ පවතී.

දන්ත විදාරණය සම්බන්දව ඉදිරිපත් වූ න්‍යායන් කිහිපයකි. ඒක න්‍යායක් නම් දන්ත මුලයේ වර්ධනය දත මුඛය තුළට තල්ලු කිරීමට හේතුවන බවයි.[23] දැනට බොහෝදෙනා පිළිගෙන ඇති මතය නම් පරිදුන්ත අස්ථි බන්ධය දන්ත විදාරණයට අවශ්‍ය වේගය සපයන බවයි.[24]

උපස්තම්භක ආකෘති[සංස්කරණය]

දන්ත විදාරණය දක්වන පටක විද්‍යාත්මක කදාව.
A: දත
B: වේලා
C: අස්ථිය
D: පරිදුන්ත අස්ථිබන්ධය

පරිදුන්තය දතෙහි උපස්තම්භක ආකෘතියයි. එය දත අවට පටක වලට සම්බන්ධ කරමින් ස්පර්ශයේ හා පීඩනයේ සංවේදනය ලබාදීමට වැදගත් වේ.[25] එය දන්ත බදාම, පරිදුන්ත අස්ථිබන්ධය, දන්තමුලජ අස්ථිය සහ වේලා පටකයකින් යුක්තවේ. මේ අතරින් දන්ත බදාම පමණක් දතට අයත් වේ. පරිදුන්ත අස්ථිබන්ධය, දන්ත මුලාජ අස්ථිය දන්ත බදාමට සම්බන්ධ කරයි. දන්තමුලජ අස්ථිය දන්ත මුලය වටකර සිටින අතර එය පොදුවේ ගර්තය හෝ කෙවෙනිය සාදිමට උපකාරීවේ. අස්ථිය වටකර වෙලා පටකය හෝ විදුරුමස පවති. එය මුඛයේ පහසුවෙන් හඳුනාගත හැකිය.

පරිදුන්ත අස්ථිබන්ධය[සංස්කරණය]

පරිදුන්ත අස්ථිබන්ධය යනු දන්ත බන්ධනිය දන්තමුලජ අස්ථියට සම්බන්ධ කරන විශේෂිත සම්බන්ධ පටකයකි. මෙම පටකය, අස්ථිය තුළදී දන්ත මුලය ආවරණය කර පවතී. එක් අස්ථිබන්ධයක් පළලින් 0.15-0.38 mm පමණ වන නමුත් කල්යත්ම එහි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ.[26] පරිදුන්ත අස්ථිබන්ධයේ කෘත්‍ය කිහිපයකි. ඒවා නම් දත අස්ථියට සම්බන්ධ කිරීම, දත නඩත්තු කිරීම, දත් සංචලනයේදී අස්ථිය සෑදීම හා ප්‍රතිශෝෂණය කිරීම, සංවේදනය සහ විදාරණය වේ.[22] ස්නායු තන්තු සැපයුම අස්ථි අග්‍රස්ථය හරහා දත තුළට පිවිසේ. ඉන් පසු ස්නායු ජාලයක් දත වටා සහ විදුරුමසේ මස්තකය වටා සාදනු ලබයි.[27] අහාර සැපීමේදී දත් මත ඇතිවන පීඩනය නිසා දත යන්තම් කෙවෙනිය තුළට චලනය වී එම පීඩනය පරිදුන්ත අස්ථිබන්ධය වෙත ලබාදෙයි. ඉන්පසු ස්නායු තන්තු එම ආවේගය පිලිබඳ තොරතුරු මධ්‍ය ස්නායු පද්දතිය වෙත යවනු ලැබේ.

දන්තමුලජ අස්ථිය[සංස්කරණය]

දන්තමුලජ අස්ථිය යනු දත වටා ගර්ථය සාදන හනු අස්ථියයි.[28] මිනිස් සිරුරේ අනෙක් අස්ථි මෙන් දන්තමුලජ අස්ථියද ජිවිත කාලය පුරා වෙනස් වීම්වලට භාජනය වේ. අස්තිජන්තුව අස්ථිය සාදන අතර බලයන් ක්‍රියා කරන ස්ථාන වල අස්ථි ත්‍රැට මගින් අස්ථිය විනාශ කරනු ලබයි..[25] දන්ත චිකිත්සාවක් මගින් දතෙහි චලනයක් ඇති කළහොත් සම්පිඩන බලයට යටත්වන අස්ථිය ආස්‍රිතව අස්ථි ත්‍රැට ප්‍රමාණය ඉහලයි. එමගින් අස්ථි ප්‍රතිශෝෂණය සිදුවේ. දන්තමුලජ අස්ථිය වෙත දත මගින් ඉන් ඉවතට ආතතියක් ඇතිවන විට ඒ ආස්‍රිතව අස්ථිජන්තු වැඩිවීම සිදුවේ. එනම් අස්ථිය වර්ධනය වේ.

විදුරුමස[සංස්කරණය]

විදුරුමස යනු හනු අස්ථිය ආවරණය කර පවතින ශ්ලේෂ්මල පටකයයි. විදුරුමස හා සංඝටිත අපිච්ජ පටක වර්ග තුනකි. ඒවා නම් වේලා, මංසන්ධික සහ නිඛාත අපිච්ඡද වේ. මෙම අපිච්ජද පටක තුන එක්වී දත හා මුඛය අතර ඇපිච්ඡද බොරිච්චිය සාදයි.[29] වේලා අපිච්ඡදය දත් සවිකිරීමට ඍජුවම දායක නොවේ. නමුත් එය මුඛය තුළ පැහැදිලිව දැකිය හැකිය.

දත් දිරායාම[සංස්කරණය]

විශදු ලපය[සංස්කරණය]

විශදු ලපය යනු විශාල බැක්ටීරියා ප්‍රමාණයක් දත් මත ඒකරාශිවී සාදන ජෛව පටලයකි.[30] විශදු ලප නිරන්තරයෙන් ඉවත් නොකළහොත් වේලාදාහය වැනි පරිදුන්ත ගැටළු ඇතිවිය හැකිය. කාලයත් සමග විශදු ලපය විදුරුමස මත අවසාදනය වී ටාටර් නම් ද්‍රව්‍ය සාදයි. ජෛව පටල සාදන ක්ෂුද්‍රජීවින් සම්පුර්ණයෙන්ම වාගේ බැක්ටීරියා වේ(ප්‍රධාන වශයෙන් [[en:streptococcus |Streptococcus හා නිර්වායු). ඒවායේ බැඳීම මුඛයේ තැනින් තැනට වෙනස් වේ. දන්තක්‍ෂතිය හා සම්බන්ධ ප්‍රධාන බැක්ටීරියාව Streptococcus mutans ය.

ඇතැම් බැක්ටීරියා මුඛයේ රැඳෙන සීනි හා පිෂ්ඨය වැනි ආහාර ද්‍රව්‍ය මත ජීවත්වේ. ඔක්සිජන් ප්‍රමාණය අඩුවූ විට ඒවා ලැක්ටික් අම්ලය නිෂ්පාදනය කරනු ලබයි. ලැක්ටික් අම්ලය එනමලයේ කැල්සියම් හා පොස්පරස් ද්‍රවණය කරනු ලබයි.[10][31] මෙම ක්‍රියාවලිය දත් දිරායාමට හේතුවේ. කේඨය ක්‍රමයෙන් අම්ල උදාසීන කරමින් දත් දිරන pH අගයට වඩා දත් අවට pH අගය ඉහල නංවනු ලබයි. ආහාර ගැනීම් අතර ප්‍රමාණවත් කාලයක් පවතීනම් දත් වලට වන බලපෑම අවම වේ. එම කාලය තුළ දත් වලට අලුත්වැඩියා විය හැකිය. ජෛව පටලය සිදුරු කර යාමට කේඨයට හකියාව නොමැති වුවද බැක්ටීරියා මගින් ඇතිකරන අම්ල උදාසීන කිරීමේ හැකියාව ඇත.

දන්තක්‍ෂතිය (සිදුරු සෑදීම)[සංස්කරණය]

පුරස්චාර්වක දතක සිදුවූ විශාල දිරායාමක්.

දන්තක්‍ෂතිය (සිදුරු සෑදීම) දත් දිරා යාම ලෙස හැඳින්වේ. මෙය ආසදක රෝගයක් වන අතර එහිදී දතෙහි ව්‍යුහයට හානි සිදුවේ.[32] මෙම රෝගය වෙදනාවට, දත් වැටීමට, හෝ ආසාදනයට හේතුවිය හැකිය. දන්තක්‍ෂතිය විශාල ඉතිහාසයකට උරුමකම් කියනුලබයි. එය ලෝකඩ, යකඩ, සහ මධ්‍යම යුග වල පමණක් නොව නව ශිලා යුගයේ සිටම පවතින රෝගයක් බව සාක්ෂි සහිතව පෙන්වාදී ඇත.[33] දන්තක්‍ෂතිය විශාල ලෙස වැඩිවීමට ප්‍රධාන සාධකය ආහාර පුරුදු වල වෙනසයි.[33][34] අද දන්තක්‍ෂතිය ලොව බහුලම රෝග වලින් එකක් ලෙස දැක්විය හැකිය. එක්සත් රාජධානියේ ළමා රෝග අතර බහුලම කල්පවතින රෝගය දන්තක්‍ෂතිය ලෙස හඳුනාගෙන ඇති අතර එය ඇදුම රෝගයට වඩා පස්ගුණයක් පමණ වැඩිය.[35] සමස්ථයක් ලෙස දත් දිරායාමේ අඩුවීමක් දකින රටවල එහි විෂම ව්‍යාප්තියක් ඇති බව හඳුනාගෙන ඇත.[36] එක්සත් රාජධානියේ හා යුරෝපයේ සමස්ථ ජනගහනයෙන් 20% පමණද දරුවන් ගෙන් 60-80% කගේ පමණද දන්තක්‍ෂතිය දැකිය හැකිය.[37]


දත් දිරායාමට හේතුවන්නේ සුක්‍රෝස්, ෆ්රක්ටෝස්, ග්ලුකෝස් වැනි පැසීමට ලක්විය හැකි කාබෝහයිඩ්‍රේට ඇතිවිට ඇතැම් අම්ල ස්‍රාවී බැක්ටීරියා ක්‍රියාකාරිත්වයෙනි.[38][39] මින් මුඛය තුළ ඇතිවන අම්ල දත් දිරායාමට හේතුවේ. එයට හේතුව දත් වල ඇති ඇතැම් විශේෂ සංයෝග අඩු pH අගයන් වලට සංවේදී වීමයි. දතෙහි දිරාගිය ප්‍රමාණය අනුව විවිධ ප්‍රතිකාර මගින් දතෙහි නියම ආකෘතියට, කෘත්‍යට, සුන්දරත්වයට, නැවත ප්‍රතිස්ථාපනය කළ හැකිය. නමුත් විශාල ප්‍රමාණ වලින් දත්වල ව්‍යුහය ප්‍රතිජනනය කිරීමේ ක්‍රමවේදයක් තවම හඳුනාගෙන නැත. ඒ වෙනුවට සෞඛ්‍ය සංවිධාන ක්‍රමානුකූල මුඛ සනීපාරක්‍ෂනය, පරිභෝජන රටා සංශෝධනය වැනි රෝග නිවාරන ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදෙයි.[40]

දත් ආරක්‍ෂා කිරීම[සංස්කරණය]

දත් බුරුසු දත් පිරිසිදු කිරීම සඳහා යොදාගනී.

මුඛ සනීපාරක්ෂාව යනු මුඛය පිරිසිදුව තබාගැනීම සහ දත් දිරායාම, වේලාදාහය, පරිදන්ත රෝගය, මුඛ දුර්ගන්ධය හා අනෙකුත් දන්තාබාධ වලින් වැළකීමට ඇති ක්‍රමෝපායයි. එයට වෘත්තීය හා පුද්ගලික ආරක්ෂාව යන දෙකම අඩංගු වේ. දන්ත වෛද්‍යවරුන් හා දන්ත සනීපාරක්ෂක නිලධාරීන් විසින් සාමාන්‍යයෙන් කරනු ලබන ක්‍රමවත් පිරිසිදු කිරීම මගින් සැලකිලිමත් දත් මැදීමකින් හෝ දත් අතර රැඳි රොඩු ඉවත්කිරීමකින් පවා නොනැවතී වර්ධනය වන ටාටර් (ඛණිජ සහිත වූ ඵලකය) ඉවත් කරයි. වෘත්තීමය පිරිසිදු කිරීම් වලදී විවිධ උපකරණ හෝ මෙවලම් භාවිතා කරමින් දතෙහි තැන්පත් ද්‍රව්‍ය බුරුල් කිරීම හා ගැලවීම මගින් දන්ත කාරම ගැලවීම සිදු කරයි.

දත් පිරිසිදු කිරීමේ අරමුණ වන්නේ වැඩිමනත් බැක්ටීරියා අඩංගු ඵලකය ඉවත් කිරීමයි.[41] සෞඛ්‍යාරක්ෂක වෘත්තිකයන් ඵලක සෑදීම හා ටාටර් සෑදීම වැලක්වීමට දිනකට දෙවරක් දත් මැදීම (උදයේදී හා හවස හෝ කෑමෙන් පසු) නිර්දේශ කරයි.[40] දත් බුරුසුව දත් අතරමැද ප්‍රදේශ හැර අනික් ස්ථානවල ඵලක ඉවත් කිරීමට සමත්ය. එමනිසා දත් අතර රැදි රොඩු ඉවත්කිරීම ද මුඛ සනීපාරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය වන බව සැලකේ. නිවැරදිව භාවිත කළහොත් දත් අතර රැඳි රොඩු දත් අතර සහ පරිදන්ත රෝගය නිතර ඇරඹෙන සහ දත් දිරීම වර්ධනය වන ස්ථානය වන විදුරුමස් රේඛාව මත ඇති ඵලක ඉවත් කරයි.

විද්‍යුත් දත් බුරුසු යනු මුඛ සනීපාරක්ෂාව සඳහා ජනප්‍රිය අත්වැලකි. අතින් කරන දත් මැදීමේදී අබාධිත තත්ත්ව නැති, මනා පුහුණුවකින් හා යහපත් අභිප්‍රායකින් යුක්ත පරිශීලකයාට ඉස්තරම් විද්‍යුත් දත් බුරුසුවකින් ලබාගන්නා වූ මුඛ සනීපාරක්ෂාව තරම්ම තෘප්තිමත් සනීපාරක්ෂාවක් ඉටුකරගත හැක. නමුත් නොපුහුණු පරිශීලකයන් ඒ ආකාරයේ යමක් ලබාගන්නේ කලාතුරකිනි. සෑම විද්‍යුත් දත් බුරුසුවක්ම එකලෙස ඵලදායී නොවන අතර හොද නිමැවුමක වුවත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ නිවැරදි භාවිතයෙනි. එනමුත් “විද්‍යුත් දත් බුරුසු, නිවැරදිව දත් පිරිසිදු කිරීමෙහි අසමත්කම හේතුවෙන් මුඛ සනීපාරක්ෂක ගැටළු ඇති පුද්ගයලන්ට උදවු වීමට නැඹුරුව පවතී”.[42] විද්‍යුත් දත් බුරුසුවෙහි වඩාත් වැදගත්ම වාසිය වන්නේ හුරුකම සම්බන්ධ ගැටලු ඇති රක්තවාත සන්ධිප්‍රදාහය ආශ්‍රිත දුෂ්කරතා සහිත පුද්ගලයන්ට ආධාරකයක් වීමේ හැකියාවයි.

ෆ්ලෝරයිඩ චිකිත්සාව යනු බොහෝවිට දත් දිරායාමට එදිරිව නිර්දේශිත ආරක්‍ෂිත ක්‍රමයකි. ජල ෆ්ලෝරයිඩකරණය සහ ෆ්ලෝරයිඩ සැපයුම දත් දිරායාම සිදුවීම පහත හෙලයි. ෆ්ලෝරයිඩ, hydroxyapatite ස්ඵටික එනමලයෙහි බැඳීමෙන් ඇතිවන දත් දිරායාම වැලකීමට උපකාරී වේ.[43] සංස්ථාපිත ෆ්ලෝරයිඩ එනමලය ඛණිජද්‍රව්‍ය රහිත භාවයට වඩා ප්‍රතිරෝධී කරන අතර එසේම දත් දිරායාමටද වඩා ප්‍රතිරෝධී වේ.[22] ෆ්ලොරයිඩ සහිත දන්තාලේප හෝ මුඛ සේදුම් දියර වැනි කාලෝචිත ෆ්ලෝරයිඩ දතෙහි මතුපිට ආරක්ෂාව සඳහා නිර්දේශිතයි. බොහෝ දන්ත වෛද්‍යවරු විසින් කාලෝචිත ෆ්ලෝරයිඩ විසදුම් එදිනෙදා පිරිසිදුකිරීම්වල කොටසක් ලෙස ඇතුළත්කර ඇත.

ප්‍රතිෂ්ඨාපනය[සංස්කරණය]

ප්‍රතිෂ්ඨාපනය කරන ලද පුරස්චාර්වකයක්.

දතක් පලුදුවූ විට හෝ විනාශ වූ විට විවිධ ප්‍රතිකර්ම මගින් නැවත එහි ව්‍යුහය ප්‍රතිෂ්ඨාපනය කළ හැකිය. ප්‍රතිෂ්ඨාපනය, වීදුරු සිමෙන්ති, සංරසය, රත්‍රන්, පිඟන් මැටි වැනි විවිධ ද්‍රව්‍ය මගින් සිදුකල හැකිය.[44] දතක සුදු කරන සුළු ප්‍රතිෂ්ඨාපනයක් “intracoronal ප්‍රතිෂ්ඨාපනය” ලෙස හැඳින්වේ. මෙය කෙලින්ම දත මත පිහිටුවීම හෝ lost-wax ශිල්පක්‍රමය බාවිතා කර සිදු කළ හැකිය. දතක විශාල ප්‍රදේශයක් හානිවී ඇති විටදී කෘතීම මස්තකයක් සවිකිරීම, කොපුවක් සවිකිරීම වැනි “extracoronal ප්‍රතිෂ්ඨාපන” ක්‍රමයක් භාවිතා කෙරේ.


දතක් නැතිවූ විට, කෘතීම දත් දැමීම, සේතුවක් යෙදිම, දතක් රෝපණය කිරීම හෝ ආදේශනයක් ලෙස සිදුකළ හැකිය.[45] කෘතීම දත් දැමීම මිල අඩුම ප්‍රතිකර්මය වන අතර දත් රෝපණය මිල ආධික ප්‍රතිකාර වේ. කෘතීම දත් දැමීමේදී සම්පුර්ණ දත් කට්ටලයක්ම ප්‍රතිස්ථාපනය කළ හැකි අතර එසේ නොමැති නම් කොටස් වශයෙන්ද දත් දැමීම සිදුකළ හැකිය. සේතුවේදී දතෙහි කුඩා හිඩැසක් ප්‍රතිස්ථාපනය කළ හැකි අතර යාබද දත් ප්‍රතිෂ්ඨාපනයට ආධාරක ලෙස යොදාගනී. දත් රෝපණය ඒක දතක් හෝ දත් මාලාවක් ප්‍රතිෂ්ඨාපනය සඳහා යොදාගත හැකිය. මෙය බොහෝ මිල අධික ක්‍රමයක් වුවද දතේ ස්වභාවය හා ක්‍රියාකාරිත්වය සලකා බොහෝදෙනා මේ සඳහා යොමුවේ.[46]

අසාමාන්‍යතා[සංස්කරණය]

A broken 1 upper front tooth showing the pink of the pulp.

දන්ත අසාමාන්‍යතා, පාරිසරික හා වර්ධනයේ බලපෑම් හේතු අනුව වර්ගීකරණය කළ හැක.[47] පාරිසරික අසාමාන්‍යතා ඇතිවන්නේ පැහැදිලි හේතු ඇතිව වුවත් ඇතැම් වර්ධනයේ බලපෑම් මත ඇතිවන අසාමාන්‍යතා පහල වන්නේ පැහැදිලි හේතු ඇතිව නොවේ. පාරිසරික බලපෑම් දත් වල වර්ධනය අතරතුරදී, වර්ධනයෙන් පසු දතෙහි ව්‍යුහය විනාශ කිරීම, වර්ධනයේ ඕනෑම අවධියක දී දත් වල පැහැය අවපැහැ ගැන්වීම හෝ දත විදාරණය වීමේ චර්යාව වෙනස් කිරීම සිදුවේ.

පරිසරය[සංස්කරණය]

දත් වර්ධනයේදී සිදුවන විකෘති[සංස්කරණය]

දත් වර්ධන සමයේදී යේදී සිදුවන පරිසර සාධක වල බලපෑම නිසා ඇතිවන විකෘති බොහෝ කාලයක් පවතී. ආරම්භයේදී එනමලය හා දන්තිනය ඛනිජකරණය වීමෙන් පසු ප්‍රතිජනනය වීමක් සිදු නොවේ. එනමල ක්‍ෂීනභවිත්වය අවශ්‍ය එමල ප්‍රමාණය නොසෑදීම නිසා ඇතිවන තත්වයකි.[48] මේනිසා දත්වල ආවාට හෝ ඇලි (දාර) ඇතිවිය හැකි අතර ඇතැම් විට එනමලය රහිත විශාල ප්‍රදේශද ඇතිවිය හැකිය. එනමලයේ පාරාන්ධතාවයේ විසිරීම එනමල ප්‍රමාණයට බලපෑමක් සිදුනොකරයි. නමුත් එය එහි මුහුණුවර වෙනස්කරයි. විකෘති වූ එනමලයෙහි අනෙක් දත් වලට වඩා වෙන්ස් පාරභාසකතාවක් ඇත. ට(ර්)නර් ගේ ක්‍ෂීනභවිත්වයේදී, ස්ථිර දතක එනමලය නැතිවියාම හෝ භ්‍රසිතවීම ප්‍රාථමික දතක සිදුවූ ආසාදනයක් මගින් සිදුවන බව ඉදිරිපත් කරයි. ක්‍ෂීනභවිත්වය antineoplastic චිකිත්සාවේ ප්‍රතිඵලයක් ලෙසද ඇතිවිය හැකිය. දන්ත ප්ලෝරෝසියාව යනු අධික ෆ්ලෝරයිඩ් අයන ප්‍රමාණයක් උකහාගෙන ඒවා කහ පාට, දුබුරු පාට හෝ කළුපාට පුල්ලි ලෙස පිහිටීමේ තත්වයකි. උපදංශය නිසා ඇතිවන එනමල ක්‍ෂීනභවිත්වය හචින්සන්ගේ දත් ලෙස ව්‍යවහාර කෙරේ. එය හචින්සන්ගේ ත්‍රිකයෙ එක් අංගයක් ලෙසද සැලකේ.[49]

වර්ධනයෙන් පසු සිදුවන හානි[සංස්කරණය]

දත් දිරායාම හැරුණු විට අනෙකුත් ක්‍රියාවලීන් මගින් සිදුවන දන්ත සංහරණය සාමාන්‍ය කායික විද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස සැලකුවද එය උග්‍ර ව්‍යාධි තත්වයක් දක්වා වුවද වර්ධනය විය හැක. ප්‍රතිවිරුද්ධ දත් මගින් සිදුවන යාන්ත්‍රික බලපෑම් මගින් දතෙහි ව්‍යුහයට හානිවීම දත් ගෙවී යාමයි.[50] දත් දිරීයාම පළමුකොටම බලපාන්නේ එනමලයට වන අතර පරීක්ෂා නොකළහොත් යටින් පවත්නා දන්තිනය දක්වා පැතිරිය හැකිය. අවසීරීම යනු ආගන්තුක ද්‍රව්‍යයක යාන්ත්‍රික බලපෑම් මගින් දතෙහි ව්‍යුහයට හානිවීමයි.[51] මෙම බලපෑම සිමෙන්ටම-එනමල සන්ධියෙන් පටන් ගතහොත් දතෙහි මෙම ප්‍රදේශයේ ඇති එනමලය ඉතා තුනී නිසා දතට හානි සිදුවන ක්‍රියාවලිය සීග්‍ර වේ. මෙවැනි ආකාරයේ දත ගෙවී යාමේ සාමාන්‍ය හේතුව වන්නේ දත් බුරුසුවක් භාවිතයේදී යොදන අධික බලයයි. ඛාදනය යනු බැක්ටීරියා ව්‍යාප්තියෙන් නොව අම්ල වල රසායනික ද්‍රවණය වීමෙන් දතෙහි ව්‍යුහයට හානි වීමයි.[52][53] අතික්ෂුධාව සහිත මිනිසුන්ගේ මුඛයෙහි දත්, වමනය හේතුවෙන් ආමාශයික අම්ල වලට නිරාවරණය වීම නිසා ඛාදනය හේතුවෙන් දන්ත සංහරණයේ ලකුණු පහළවිය හැක. ඛාදනය සිදුකරවන අම්ල වර්ග ඇතිවන තවත් වැදගත් ප්‍රභවයක් වන්නේ නිතර දෙහි යුෂ උරාබීමයි. ආනමන බලපෑම් හේතුවෙන් දතෙහි ව්‍යුහයට හානිවීම Abfraction ලෙස හැඳින්වේ. පීඩනයක් යටතේ දත් නැමීමෙන්,දත් එකිනෙක හා ස්පර්ශවන ලෙස සැකසීම අධිධාරණය නමින් හැඳින්වෙන අතර එය දතෙහි එක් පැත්තක ආතතියක්ද අනෙක් පැත්තෙහි තෙරපුමක්ද ඇතිකරයි. මෙමගින් ආතතිය ඇති පැත්තෙහි v හැඩති ආනතියක්ද තෙරපුම ඇති පැත්තෙහි c හැඩති ආනතියක්ද සෑදෙන බව විශ්වාස කරයි.දන්ත සංහරණය දත් මූලයන්ගේ හටගත්විට එම ක්‍රියාවලිය පල්පය තුළ ඇති සෛල මගින් සෑදුනහොත් අභ්‍යන්තර ප්‍රතිශෝෂණය ලෙස ද පරිදන්ත අස්ථිබන්ධයේ ඇති සෛල මගින් සෑදුනහොත් බාහිර ප්‍රතිශෝෂණය ලෙසද හැඳින්වේ.

දුර්වර්ණ වීම[සංස්කරණය]

බැක්ටීරියා රඳා පැවතීම, දුම්කොළ, තේ, කෝපි, හරිතප්‍රද බහුල ආහාර, ශක්තිජනක ඖෂධ වර්ග, වෙදකම් ආදියේ ප්‍රතිඵලයක් වශයෙන් දත් දුර්වර්ණ වීම සිදුවේ.[54] බැක්ටීරියා රඳා පැවතීම හේතුවෙන් දතෙහි වර්ණය කොළ පැහැයේ සිට කලු පැහැය දක්වාත් ඉන්පසු තැඹිලි පැහැය දක්වාත් විචලනය වන පැල්ලම් ඇති වේ. එමෙන්ම හරිතප්‍රද රැඳී ආහාර වලින්ද තඹ හා නිකල් වලට අධික නිරාවරණය හේතුවෙන් ද කොළ පැහැ ලප ඇති වේ. රසදිය මිශ්‍ර ලෝහ,සුලභ දන්ත ශක්තිජනක ද්‍රව්‍ය, දතෙහි යාබද ස්ථාන කලු හෝ අළු පැහැයට හරවයි. මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ගන්නා දියර වර්ගයක් වන Chlorhexidine, දීර්ඝ කාලීන භාවිතය දත් මත ඇති වේලා අසල බාහිර පැල්ලම් ඇතිවීමට රුකුලක් වේ. මෙය ඉවත් කිරීම සනීපාරක්ෂක නිලධාරියෙක්ට සාමාන්‍යයෙන් පහසු වේ. එසේම ශරීර පද්ධතියට සම්බන්ධ අක්‍රමිකතා ද දතෙහි දුර්වර්ණගැන්වීම සාදයි. සහජ එරිත්‍රෝපොයිටෙක් පෝපයිරියාව හේතුවෙන් රතු දුඹුරු පැහැ වර්ණයක් සාදමින් පෝපයිරින් දත් මත තැන්පත් වේ. නිල් පැහැයට දුර්වර්ණවීම අල්කප්ටෝනුරියාව සහ කලාතුරකින් පාර්කින්සන් ව්‍යාධිය හේතුවෙන් ද සිදුවේ. එරිත්‍රෝබ්ලාස්ටෝසිස් ෆේටලිස් සහ බිලිඅරි අට්‍රෙසියා යනු දත් වල බිලිවර්ඩින් තැන්පත් වීමෙන් කොළ පැහැ ගන්වන රෝග වේ. එමෙන්ම කම්පනය ද දතක් රෝස, කහ හෝ අළු පැහැයට හරවයි. රෝස සහ රතු දුර්වර්ණවීම ලෙප්රෝමටස් ලාදුරු රෝගීන් ආශ්‍රිතව පවතී. ඇතැම් ටෙට්‍රාසයික්ලින් වැනි ප්‍රතිජීවක ඖෂධ දත් ස්ථිර අවපැහැ ගන්වමින් දතෙහි ව්‍යුහයට සංස්ථාපිත වේ.

දන්ත විදාරණයේ විකෘති[සංස්කරණය]

දත විදාරණය ඇතැම් පාරිසරික සාධක මත වෙනස්විය හැකිය. විදාරණය වීම අකාලයේදී නතරකළහොත් එම දත ගැටීමක් සිදු වේ යැයි කියනු ලබයි. දත ගැටීමෙහි වඩා ප්‍රධාන හේතුව වන්නේ මුඛයෙහි දත ඒමට ප්‍රමාණවත් ඉඩක් නොමැති වීමයි.[55] අනෙකුත් හේතුන් වන්නේ ඉදිමුම, විසප්පු ගෙඩි, ක්ෂතිය සහ ඝන වූ අස්ථි හෝ මෘදු පටක වේ. දතක අන්කයිලෝසියාව හටගන්නේ එම දත ඒ වනවිටත් මුඛයෙහි විදාරණය වී ඇතත් සිමෙන්ටමය හෝ දන්තිනය දන්තමූලජ අස්ථිය සමග සංයුක්ත වී ඇති විටය.මෙය පුද්ගලයාගේ ස්ථිර දත මගින් ප්‍රාථමික දත ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට ප්‍රාථමික දත තවදුරටත් තබා ගැනීම සිදු කරයි.

ඉඩ පවත්වා ගැනීම පිනිස හෝ නැතිනම් ඉඩ නැතිකිරීම හේතුවක් කොට කිසියම් දත් ප්‍රමාණයක් විදාරණය ප්‍රමාද කිරීමට හෝ වේගවත් කිරීමට බලාපොරොත්තුවන දන්ත චිකිත්සකවරුන් විසින් ස්වභාවික විදාරණයේ ක්‍රියාවලිය වෙනස්කිරීමට උපක්‍රමයක් යොදාගෙන ඇත. ප්‍රාථමික දතක් එහි අනුප්‍රාප්තීය ස්ථිර දතෙහි මූලය එහි සම්පූර්ණ වර්ධනයෙන් 1/3 ක් දක්වා ලගා වීමට පෙර අද දැමුවහොත්, ස්ථිර දතෙහි විදාරණය පසුවිය හැක. විලෝම වශයෙන් ස්ථිර දතක මූලය 2/3 කට වඩා සම්පූර්ණව ඇත්නම් එම ස්ථිර දතෙහි විදාරණ වේගය වැඩිවේ. 1/3 සහ 2/3 අතර,විදාරණ වේගයට සිදුවන්නේ කුමක්දැයි හරිහැටි නොදනී.

වර්ධනයේ අක්‍රමිකතා[සංස්කරණය]

සංඛාවේ අසාමාන්‍යතාවන්[සංස්කරණය]

  • Anodontia යනු සම්පුර්ණයෙන්ම දත් නොමැතිවීමයි.
  • Hyperdontia යනු සම්මාන්‍ය දත් ගණනට වඩා දත් තිබීමයි.
  • Hypodontia යනු ඇතැම් දත්වල අඩුවකි. එය බොහෝවිට:
    • Hypodontia යනු ඒක දතක හෝ කිහිපයක වර්ධනයේ අඩුවයි.
    • Oligodontia යනු දත් 6ක් හෝ ඊට වඩා වැඩි ගණනක අඩුවයි.

ඇතැම් අවයව පද්ධති සම්බන්ද රෝගාබාධ නිසා hyperdontia ඇතිවිය හැකිය. ඒවා නම් Apert syndrome, Cleidocranial dysostosis, Crouzon syndrome, Ehlers–Danlos syndrome, Gardner syndrome, සහ Sturge–Weber syndrome.[56] එමෙන්ම ඇතැම් අවයව පද්ධති සම්බන්ධ රෝගාබාධ නිසා Crouzon syndrome, Ectodermal dysplasia, Ehlers–Danlos syndrome, Gorlin syndrome වැනි hypodontia ඇතිවිය හැකිය.[57]

ප්‍රමාණයේ අසාමාන්‍යතා[සංස්කරණය]

  • Microdontiaයනු සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා දත් ඇතිවීමේ තත්වයකි.
  • Macrodontiaයනු සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල දත් ඇතිවීමේ තත්වයකි.

තනි දතක ඇතිවන Microdontia ව බොහෝවිට ඉදිරි දත ආස්‍රිතව ඇතිවීමේ ප්‍රවනතාවක් ඇත. දෙනුවට වැඩි ප්‍රවනතාවක් ඇත්තේ තුන්වන චාර්වක දතෙහිය. Macrodontia තත්වය සියලුම දත් වලට ඇතිවීමට පිටියුටරි යෝධතාව සහ කේතු අතිප්ලස්මීයතාව හේතුවේ. මෙය hemifacial hyperplasia වේදී මුහුණේ ඒක පැත්තකට පමණක් ඇතිවිය හැකිය.

හැඩයේ අසාමාන්‍යතා[සංස්කරණය]

පථනශීලි දත් දෙකක සංයෝජනය.
  • Tooth Gemination|Gemination යනු වර්ධනය වන දතක් සම්පුර්ණයෙන් දත් දෙකක් ලෙස වෙන් වීමයි.
  • Tooth fusion|Fusion යනු වර්ධන සමයේදී යාබද දත් දෙකක එක්වීමයි.
  • Concrescence යනු වෙන්ව පිහිටි දත් දෙකක දන්ත බදාමෙන් එක්වීමයි.
  • Dens invaginatus, යනු ඒක දතක් තවත් දතක් තුළ පිහිටීමයි.
  • Ectopic enamel යනු එනමලය, දන්ත මුලය වැනි අසාමාන්‍ය ස්ථාන වල පිහිටීමයි.
  • Taurodontism යනු දතෙහි දේහය හා කල්ක කුහරය විවර්ධනය වීමයි. මෙය Klinefelter syndrome, Tricho-dento-osseous syndrome, Triple X syndrome, සහ XYY syndrome සමග සම්බන්ධකම් දරයි.[58]
  • Hypercementosis යනු දන්ත බදාම විශාල ප්‍රමාණයක් තැම්පත්විමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍ෂතිය, ප්‍රදාහය, කෝටි වෘද්ධිය, වාත දාහය, සහ පෙජෙට් ගේ අස්ථි රෝගය ඇතිවිය හැකිය.[58]
  • A dilaceration යනු දන්ත මුලයේ නැමීමකි. මේ නිසා වර්ධනය වන සමයේදී දත පිපිරීමට ලක්විය හැකිය.
  • Supernumerary roots යනු සාමාන්‍ය දන්ත මුල ප්‍රමාණය ඉක්මවා දත් මුල් පිහිටීමයි.

ව්‍යුහයේ අසාමාන්‍යතා[සංස්කරණය]

  • Amelogenesis imperfectaයනු දතක එනමලය කිසිම අයුරකින් නියම ආකාරයෙන් සකස් නොවීමයි.[59]
  • Dentinogenesis imperfecta යනු දතක දන්තිනය නිසි ආකාරයෙන් සකස් නොවීමයි. මෙය ඇතැම් විට osteogenesis imperfecta සමග සම්බධයක් පවතී.[60]
  • Dentin dysplasia යනු දන්ත මුලය හා කල්කය විකෘත්තියට ලක්වීමයි..
  • Regional odontodysplasia යනු එනමලය, දන්තිනය, සහ කල්කය ආබාධයට ලක්වීමයි.[61]

අමතරව කියවන්න[සංස්කරණය]


ලයිස්තු[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

සටහන[සංස්කරණය]

  1. Clemente, Carmine (1987). Anatomy, a regional atlas of the human body. Baltimore: Urban & Schwarzenberg. ISBN 0-8067-0323-7. 
  2. Ash 2003
  3. Cate 1998
  4. Ash 2003
  5. "Bicuspid teeth". The Medical Dictionary. Retrieved on 2013-02-21.
  6. Kokten G, Balcioglu H, Buyukertan M (2003). "Supernumerary fourth and fifth molars: a report of two cases". J Contemp Dent Pract 4 (4): 67–76. PMID 14625596. http://www.thejcdp.com/issue016/kokten/index_nlm.htm. 
  7. Ross 2002
  8. Cate 1998
  9. Cate 1998
  10. 10.0 10.1 10.2 Ross 2002
  11. 11.0 11.1 11.2 Cate 1998
  12. Ross 2002
  13. Cate 1998
  14. Cate 1998
  15. Cate 1998
  16. Ross 2002
  17. Walton, Richard E. and Mahmoud Torabinejad. Principles and Practice of Endodontics. 3rd ed. 2002. pp. 11–13. ISBN 0-7216-9160-9.
  18. Cate 1998
  19. 19.0 19.1 Cate 1998
  20. 20.0 20.1 20.2 Lab Exercises: Tooth development. University of Texas Medical Branch.
  21. Cate 1998.
  22. 22.0 22.1 22.2 Ross 2002
  23. Harris, Edward F. Craniofacial Growth and Development. In the section entitled "Tooth Eruption." 2002. pp. 1–3.
  24. Harris, Edward F. Craniofacial Growth and Development. In the section entitled "Tooth Eruption." 2002. p. 5.
  25. 25.0 25.1 Ross 2002
  26. Cate 1998
  27. Cate 1998
  28. Cate 1998
  29. Cate, 1998
  30. "Oral Health Topics: Plaque", American Dental Association. Page accessed April 2, 2007.
  31. Ophardt, Charles E. "Sugar and tooth decay", Elmhurst College. Page accessed April 2, 2007.
  32. Dental Cavities, MedlinePlus Medical Encyclopedia, page accessed August 14, 2006.
  33. 33.0 33.1 Epidemiology of Dental Disease, University of Illinois at Chicago. Page accessed January 9, 2007.
  34. Suddick RP, Harris NO (1990). "Historical perspectives of oral biology: a series". Crit. Rev. Oral Biol. Med. 1 (2): 135–51. doi:10.1177/10454411900010020301. PMID 2129621. 
  35. Healthy People: 2010. Html version hosted on Healthy People.gov website. Page accessed August 13, 2006.
  36. "Dental caries", from the Disease Control Priorities Project. Page accessed August 15, 2006.
  37. Touger-Decker R, van Loveren C (2003). "Sugars and dental caries". Am. J. Clin. Nutr. 78 (4): 881S–892S. PMID 14522753. 
  38. Hardie JM (1982). "The microbiology of dental caries". Dent Update 9 (4): 199–200, 202–4, 206–8. PMID 6959931. 
  39. Moore WJ; Moore, W.J. (1983). "The role of sugar in the aetiology of dental caries. 1. Sugar and the antiquity of dental caries". J Dent 11 (3): 189–90. doi:10.1016/0300-5712(83)90182-3. PMID 6358295. 
  40. 40.0 40.1 Oral Health Topics: Cleaning your teeth and gums. American Dental Association. Page accessed August 15, 2006.
  41. Introduction to Dental Plaque. Leeds Dental Institute, page accessed August 14, 2006.
  42. Thumbs down for electric toothbrush, BBC News, January 21, 2003. Page accessed January 23, 2007.
  43. Cate 1998
  44. "Oral Health Topics: Dental Filling Options", ada.org, page accessed May 8, 2007.
  45. "Prosthodontic Procedures", The American College of Prosthodontists. Page accessed May 16, 2007.
  46. "Dental Implants", American Association of Oral and Maxillofacial Surgeons. Page accessed May 16, 2007.
  47. Neville 2002
  48. Ash 2003
  49. Syphilis: Complications, Mayo Clinic. Page accessed January 21, 2007.
  50. "Loss of Tooth Structure", American Dental Hygiene Association. Page accessed April 25, 2007.
  51. "Abnormalities of Teeth", University of Missouri-Kansas City School of Dentistry. Page accessed April 25, 2007.
  52. Yip, KH; Smales, RJ; Kaidonis, JA (2003). "The diagnosis and control of extrinsic acid erosion of tooth substance". General dentistry 51 (4): 350–3; quiz 354. PMID 15055615. http://www.agd.org/library/2003/aug/200308_yip.pdf. 
  53. Gandara B.K., Truelove E.L. (1999). "Diagnosis and management of dental erosion". The journal of contemporary dental practice 1 (1): 16–23. PMID 12167897. http://www.jaypeejournals.com/eJournals/ShowText.aspx?ID=1427&Type=PAID&TYP=TOP&IN=~/eJournals/images/JPLOGO.gif&IID=121&isPDF=NO. 
  54. Neville 2002
  55. Neville, 2002
  56. Neville 2002
  57. Neville 2002
  58. 58.0 58.1 Neville 2002
  59. Amelogenesis imperfecta, Genetics Home Reference, a service of the U.S. National Library of Medicine. Page accessed April 1, 2007.
  60. Dentinogenesis imperfecta, Genetics Home Reference, a service of the U.S. National Library of Medicine. Page accessed April 1, 2007.
  61. Cho, Shiu-yin (2006). "Conservative Management of Regional Odontodysplasia: Case Report". J Can Dent Assoc. 72 (8): 735–8. PMID 17049109. http://www.cda-adc.ca/jcda/vol-72/issue-8/vol72_issue8.pdf. 

ප්‍රභව[සංස්කරණය]

  • Ash, Major M.; Nelson, Stanley J. (2003). Wheeler’s Dental Anatomy, Physiology, and Occlusion (8th ed. සංස්.). ISBN 0-7216-9382-2. 
  • Cate, A.R. Ten. (1998). Oral Histology: development, structure, and function (5th ed. සංස්.). Mosby. ISBN 0815129521. 
  • Neville, B.W.; Damm, D.; Allen, C.; Bouquot, J. (2002). Oral & Maxillofacial Pathology (2nd ed. සංස්.). W.B. Saunders. ISBN 0-7216-9003-3. 
  • Ross, Michael H.; Kaye, Gordon I. and Pawlina, Wojciech (2002). Histology: a Text and Atlas (4th ed. සංස්.). Baltimore: Lippincott Williams & Wilkins. ISBN 0683302426. 

හාහිර සබැඳුම්[සංස්කරණය]

සැකිල්ල:Tooth anatomy

"http://si.wikipedia.org/w/index.php?title=මිනිස්_දත්&oldid=314516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි