නත්තල
| නත්තල | |
|---|---|
ප්‍රදර්ශනය කර ඇති නත්තල් සැරසිලි. |
|
| මෙලෙසද හැඳින්වේ | ක්‍රිස්තූන් වහන්සේගේ දේව මෙහෙය උප්පත්තිය නත්තල් උත්සවය උප්පත්ති මංගල්‍යය |
| සමරනු ලබන්නේ | ක්‍රිස්තු භක්තිකයන් බොහෝ ක්‍රිස්තු භක්තික නොවන්නන්[1] |
| වර්ගය | ක්‍රිස්තියානි, සංස්කෘතික |
| වැදගත්බව | ජේසුන් වහන්සේගේ සාම්ප්‍රදායික උපන් දිනය |
| දිනය | දෙසැම්බර 25 ජනවාරි 6 ( ආර්මේනියාවේ සහ ආර්මේනියානු විසිරිතයෙහි බොහෝ කොටසක්) ජනවාරි 19 (න.ශෛ.) ආර්මේනියාවේ කොටස් වල සහ ජෙරුසලෙමෙහී සහ ශුද්ධවූ දේශයෙහි ආර්මේනියන් වරු ජනවාරි 7 (න.ශෛ.)[2] (බොහෝමයක් නැගෙනහිර ඕර්තඩොක්ස් සහ සමහරක් පෙරදිග ඕර්තඩොක්ස් සභාවන්‍හී)[3] |
| ව්‍රතයන් | ත්‍යාග දීම, දේව මෙහෙයයන්, පවුල් සහ අනෙකුත් සාමාජීක එක්රැස්වීම්, සංකේතාත්මක සැරසිලි |
| ආශ්‍රිත වන්නේ | මංගලම් කීම, ආගමන කාලය, රජවරුන්ට ප්‍රත්‍යක්ෂවීමේ මංගල්‍යය, බව්තිස්ම ස්ථාපන මංගල්‍යය |
නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති.
පටුන |
[සංස්කරණය] නිරුක්තිය
නත්තල යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන්නේ Christmas (ක්‍රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්‍රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්‍ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්‍රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව, (chi) යන ඉංග්‍රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.
[සංස්කරණය] ඉතිහාසය
[සංස්කරණය] ක්‍රිස්තුන් වහන්සේගේ පහළවීමට පළමු (Pre-Christian) සම්භවයන්
බොහෝ සංස්කෘතීන් හී අවුරුද්ද පුරා පවත්වන උත්සව අතරින් සම්ප්‍රදායක් ලෙස වඩාත් ම ජනප්‍රිය වූයේ ශීත සෘතුවේ දී පවත්වනු ලබන එක්තරා උත්සවයකි. මෙයට හේතුව වූයේ ශීත කාලයේ දී ගොවිතැන් කටයුතු අඩු වීම සහ උතුරු අර්ධ ගෝලයේ පවත්වනු ලබන ශීත සෘතු සූර්යනියුක්තියෙන් පසු ජනතාව විසින් දීර්ඝ දිනයන් මෙන් ම කෙටි රාත්‍රියන් ද බලාපොරොත්තු වීමයි. නූතන නත්තලේ මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර වලට ඇතුළත්වන ක්‍රියාවන් සමහරක් නම්: රෝමානු උත්සවයකින් (Roman Saturnalia) පැවත එන තෑගි බෙදා දීම සහ සිනහ උපදවන ක්‍රියා කිරීම; රෝමානු අලුත් අවුරුද්දෙන් පැවත එන අලංකාර තුරුලිය, ආලෝක පහන්, පින් කටයුතු; ජර්මානු උත්සවයකින් (Teutonic Feasts) පැවත එන යූල් කොට (Yule Log) සහ විවිධ ආහාර වර්ග යි. මෙම චාරිත්‍ර සැකසී ඇත්තේ පහත සඳහන් උත්සව ආදි විවිධ ශීත සෘතු උත්සව වලින් බව කියැවේ.
[සංස්කරණය] නැටාලිස් සොලිස් ඉන්වික්ටි ( Natalis Solis Invicti)
රෝමානු ජාතිකයින් විසින් දෙසැම්බර් 25 වන දින "ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි" ( Dies Natalis Solis Invicti) යන නමින් උත්සවයක් පවත්වා තිබේ. මෙහි තේරුම වන්නේ "අපරාජිත හිරුගේ උපන්දිනය" යන්නයි. මෙහි දී යෙදෙන සොල් ඉන්වික්ටස් (sol invictus) යන යෙදුම නිසා, සිරියානු හිරු දෙවියෙකු වන එලා ගේබල් (Elah-Gabal); ඕරලියන් අධිරාජ්‍යයාගේ (Emperor Aurelian) දෙවියන්; පර්සියානු සම්භවයකින් යුත් මිත්‍රාස් (Mithras) නම් වූ සොල්දාදුවන්ගේ දෙවියන් වැනි හිරු දෙවියන් රැසකට ඔවුන්ට වන්දනා කල හැකි විය.
එකල ශීත සෘතු සූර්යකාන්තිය බිඳ වැටුණු දිනය ලෙස දෙසැම්බර් 25 වන දා සලකා තිබේ. (වර්තමාන කාලයන්ට අනුව මෙම දිනය දෙසැම්බර් 21 හෝ 22 වන දා යෙදේ) එදින සූර්යයා අපරාජිත බව සනාථ වී, ක්ෂිතිජයේ උතුරු දෙසට ගමන් කරන බව කියැවේ. බොහෝ ක්‍රිස්තියානි කතෘවරුන් විසින් සූර්යයාගේ මෙම නැවත ඉපදීම, ජේසුස් වහන්සේගේ නැවත ඉපදීමට සම්බන්ධ කර ඇත.
[සංස්කරණය] යූල්
මිථ්‍යාදෘෂ්ටික විශ්වාස වලින් යුත් ස්කැන්ඩිනේවියාව, දෙසැම්බර් මස අග සිට ජනවාරි මස මුල දක්වා යූල් නමැති ශීත සෘතු උත්සවයක් සමරා තිබේ. එහි දී යූල් කොටන් ගිනි දල්වා ඇති අතර ඒවා තෝර් නමැති ගිගුරුමේ දෙවියන් (God of thunder) හට ගෞරවය දැක්වීම පිණිස සිදු කර ඇත. මෙම ජාතිකයින් විසින් මේ හා සබැඳි බොහෝ චාරිත්‍ර පවත්වා ඇති අතර, ඔවුහු තවමත් නත්තල් උත්සවය "යූල්" යන නමින් හඳුන්වති.
[සංස්කරණය] ක්‍රිස්තියානි සම්භවයන්
ජේසු තුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දින හා සම්බන්ධ වී ඇත්තේ ඇයි දැයි තවමත් සොයාගෙන නැති කරුණකි. බයිබලයේ නව ගිවිසුමේ ද මෙය පිළිබඳ නියත දිනයක් සඳහන් වන්නේ නැත. නත්තලේ දින දොළස (The Twelve Days of Christmas) ලෙස අප හඳ්‍රන්වන්නේ නත්තල් දිනයට පසු, එනම් දෙසැම්බර් 26 වන දින සිට ඇති දින දොළසයි.
[සංස්කරණය] ජේසුස් වහන්සේගේ උප්පත්තිය
මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය තුමිය නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල් කතාව ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ගේ අනුශාසනා මත බිහි වූවකි. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට ඉපදුණු බව මෙම අනුශාසනා වල කියැවේ. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලෙනක දී (stable) සිදුවූ බව කියැවෙන නමුත් බයිබල් අනුශාසනා වලට අනුව එය ගව ඔරුවක දී (manger) සිදුවී ඇත. ආදිකාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගවලෙන සහ ගව ඔරුව එකම ගුහාවක පිහිටා ඇත. (එය අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහළින් පිහිටා තිබේ). දේවදූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. ඉන්පසු ඔවුන් බිළිදු ජේසු තුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම ද වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර පිහිටා තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.
සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත ( Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්‍රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්‍රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුව වැදගත් වේ. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.
[සංස්කරණය] නත්තල් සීයා සහ තෑගි ගෙනෙන අනෙකුත් අය
නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්‍රොස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි. ඔහු 1863 පටන් සෑම වසරකදී ම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති අතර, 1880 දශකයේ දී අප අද හඳුනන ප්‍රතිරූපය නිම කර ඇත. මෙම රූපය 1920 දී ප්‍රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයාට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත. ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇති අතර, ලා බෙෆානා නම් කාන්තාව (ඉතාලි ජනප්‍රවාදයේ පැවත එන චරිතයකි) ආවීර්භාවයේ සන්ධ්‍යා කාලයේ දී තෑගි ගෙන තිබේ. ඇය ජේසු බිළිඳා වෙත තෑගී ගෙනෙන අතරේ දී අතරමං වූ බව කියැවේ. දැන් ඇය සෑම දරුවෙකුට ම තෑගි ගෙන එන බවට විශ්වාස කෙරේ. විවිධ සංස්කෘතීන් වල නත්තල් සීයාගේ සහායකයන් ලෙස මිට්ටන් හඳුන්වා ඇති අතර ඔවුන් විසින් තෑගි සාදනු ලබන බව පැවසේ.
ඇතැම් ලතින් ඇමරිකානු රටවල් වල පවතින සංස්කෘතියට අනුව, නත්තල් සීයා තෑගී සාදා ජේසු බිළිඳා හට බාර දෙන අතර, ජේසු බිළිඳා එම තෑගී දරුවන් අතර බෙදා හරින බව කියැවේ. මෙම කතාව සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස සහ වර්තමාන ගෝලීයකරණයේ සංසන්දනයක් ලෙස සැලකේ.
[සංස්කරණය] නත්තල් ගස සහ අනෙකුත් සැරසිලි
නත්තල් ගස බොහෝ ලෙස හඳුන්වනු ලබන්නේ මිථ්‍යාදෘෂ්ටික සම්ප්‍රදායේ සහ සදාහරිත අතු හා ගස් වන්දනා යාගයක ක්‍රිස්තියානිකරණයක් ලෙස ය. වර්තමාන නත්තල් ගසේ සම්ප්‍රදාය 18 වන සියවසේ දී ජර්මනියේ දී ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය මාර්ටින් ලූතර් ආරම්භ කල බවට සමහරු තර්ක කරති. ජර්මනියේ සිට මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාලට් රැජින විසිනි. ඉන්පසු වික්ටෝරියා රැජින ගේ කාල වකවානුවේ දී ඇල්බට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දෙන ලදී. එම කාලයේ දී ම ජර්මානු සංක්‍රමිකයින් විසින් එම සම්ප්‍රදාය ඇමරිකා එක්සත් ජනපදයට ද හඳුන්වා දී ඇත. නත්තල් ගස්, විදුලි බුබුලු සහ විසිතුරු සැරසිලි වලින් අලංකාර කරනු ලැබේ. 19 වන සියවසේ සිට පොයින්සෙටියා (poinsettia) නැමති ශාක වර්ගය නත්තල සමග සම්බන්ධ වී ඇත. හොලී (holly), මිසල්ටෝ (mistletoe), රතු ඇමාරිලිස් (red amaryllis) සහ නත්තල් පතොක් (Christmas Cactus) මෙම උත්සව සමයේ දී විශේෂිත අනෙකුත් ශාක වර්ග වේ. නත්තල් ගස සමග ගේ දොර ද, මෙම ශාක වර්ග වලින් සැරසිය හැක. තව ද මල් වඩම් සහ සදාහරිත ශාක අතු ද මේ සඳහා භාවිතා කල හැක.
ඕස්ට්‍රේලියාව, උතුරු සහ දකුණු ඇමරිකාව සහ යුරෝපයේ සමහර ස්ථාන වල නිවෙස් ඉදිරිපිට විදුලි බුබුලු සහ වෙනත් නත්තල් සැරසිලි වලින් අලංකාර කිරීම සම්ප්‍රදායකි. මෙම රටවල් වල නගර සභා සමහර අවස්ථා වලදී මේ සඳහා තම අනුග්‍රහය ද ලබා දෙයි. බටහිර ලෝකයේ දී තෑගි එතීම සඳහා ආගමික නත්තල් තේමා වලින් සහ විවිධ වර්ණයන්ගෙන්යුත් කඩදාසි නිපදවනු ලැබේ. නත්තල් ගම්මාන (Christmas Villages) සාදා ප්‍රදර්ශනය කිරීම බොහෝ නිවෙස් වල සිරිතකි. සීනු, ඉටිපන්දම්, සීනි කූරු (candy canes), දිගු මේස් (stockings), මල් වඩම් සහ දේවදූතයින් තවත් නත්තල් සැරසිලි කිහිපයකි. මෙම සැරසිලි ඉවත් කෙරෙනු ලබන්නේ නත්තල් දිනයෙන් පසු දොළොස්වන රාත්‍රියේ දී හෙවත් ජනවාරි 5 වන දිනයේ දී ය.
[සංස්කරණය] නත්තල් මුද්දර
බොහෝ ජාතීන් විසින් නත්තල් කාලයේ දී අනුස්මරණ මුද්දර නිකුත් කර ඇත. තැපැල් පාරිභෝගිකයෝ මෙම මුද්දර නත්තල් කාඩ්පත් යැවීම සඳහා භාවිතා කරති. මුද්දර එකතු කරන්නන් අතර නත්තල් මුද්දර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. මෙම මුද්දර සාමාන්‍ය තැපෑල සඳහා භාවිතා කල හැකි අතර එය මුළු අවුරුද්ද පුරා ම වලංගු වේ. ඒවා සැලකිය යුතු ප්‍රමාණයකින් නිපදවන අතර, ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස මුල දී අලෙවි කෙරෙනු ලැබේ. 1898 දී ඉම්පීරියල් පැන්ස තැපැල් ගාස්තුවේ (Imperial Penny Postage Rate) ආරම්භය සංකේතවත් කිරීම සඳහා කැනේඩියානු මුද්දරයක් නිකුත් කර ඇත. මෙම මුද්දරයේ ලෝක ගෝලයේ සිතියමක් පෙන්වා ඇති අතර "XMAS 1898" ලෙස අභිලේඛනයක් ද එහි පහල අඩංගු වේ. 1937 දී ඕස්ට්‍රියාව "නත්තල් සුභ පැතුම් මුද්දර" (Christmas greeting stamps) දෙකක් හඳුන්වා දී ඇත. එම මුද්දර වල රෝස මලක් සහ රාශි චක්‍රය නිරූපණය කෙරේ. 1939 දී බ්‍රසීලය විසින් අර්ධ-තැපැල් මුද්දර හතරක් නිකුත් කර තිබේ. රජ තුන් කට්ටුව සහ බෙත්ලෙහෙම් තරුව, දේවදූතයා සහ දරුවා, දකුණු කුරුසය සහ දරුවා, සහ මව හා දරුවා යන තේමාවන් මෙම මුද්දර වල අඩංගු වේ. ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවය (The U.S Postal Service) මගින් සෑම වසරකදී ම ආගමික මුද්දරයක් සහ ලෞකික මුද්දරයක් නත්තල උදෙසා නිකුත් කෙරේ.
[සංස්කරණය] නත්තලේ අර්ථශාස්ත්‍රය
ලෝක වාසී බොහෝ ජනතාවට ආර්ථික උනන්දුව ඇතිකරන විශාලම දේ වන්නේ නත්තලයි. මේ කාලයේ දී සිල්ලර වෙළෙඳසැල් වල චමත්කාරජනක ලෙස විකුණුම් ප්‍රමාණය වැඩි වේ. ජනතාව තෑගි බෝග, නත්තල් සැරසිලි හා අනෙකුත් අවශ්‍ය දේ මිල දී ගන්නා අතර, වෙළෙඳසැල් ද නව භාණ්ඩ බොහොමයක් හඳුන්වා දෙති. ඇමරිකා එක්සත් ජනපදයේ නත්තල් තෑගි බෝග මිල දී ගැනිමේ සමය ආරම්භ වන්නේ ඔවුන්ගේ ප්‍රශංසා කිරීමේ දිනයට (Day of Thanksgiving) පසුවයි. නමුත් ඇමරිකානු වෙළෙඳසැල් බොහොමයක් ඔක්තෝබර් මස මුල දී පටන් නත්තල් භාණ්ඩ විකිණීම ආරම්භ කරති.
බොහෝ පළාත්වල, නත්තල් දිනය, ව්‍යාපාර හා වෙළෙඳ කටයුතු සඳහා අවම ක්‍රියාකාරිත්වයක් දක්වන දිනය ලෙස සැලකේ. සෑම ආකාරයේ ම වෙළෙඳසැල් සහ ව්‍යාපාර මෙදින (අවුරුද්දේ වෙනත් කිසිම දිනයකට වඩා) වසා තිබෙන අතර, විවිධ කර්මාන්ත වල කටයුතු ද අත්හිටුවනු ලැබේ. එංගලන්තය සහ වේල්ස් යන රටවල පනවා ඇති 2004 නත්තල් දින වෙළෙඳාම් කිරීමේ පනත (Christmas Day (Trading) Act 2004) මගින් විශාල ව්‍යාපාර වල නත්තල් දිනයේ දී වෙළෙඳ කටයුතු කිරීම නවත්වනු ලබයි. ස්කොට්ලන්තය ද මෙවැනි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු වල නිරත වේ. චිත්‍රපටි බෙදාහරින ශාලා වැඩි මිල ගණන් වලින් යුත් චිත්‍රපටි ද මෙකල නිකුත් කරයි. ඒවා අතර නත්තල් චිත්‍රපටි, මනඃකල්පිත චිත්‍රපටි සහ වැඩි නිෂ්පාදන වටිනාකමක් ඇති නාට්‍යයන් ද අන්තර්ගත වේ.
නත්තල් කාලයේ දී මෙම තෑගි බෙදා දීමේ කටයුතු නිසා, ක්ෂුද්‍ර ආර්ථික න්‍යාය යටතේ එය අතිරේක බරක් වී ඇති බව ආර්ථික විද්‍යාඥ විශ්ලේෂණයක දී ගණනය කර ඇත. මෙම අලාභය, තෑගි දෙන තැනැත්තා එම තෑග්ග වෙනුවෙන් යොදන දේ සහ තෑග්ග ලබන තැනැත්තා එය තමන් මිල දී ගතහොත් වියදම් කරන මුදල අතර වෙනස ලෙස ගණන් බලනු ලැබේ. 2001 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් බවට නිමානය කර ඇත. මෙම විශ්ලේෂණයේ ඇති සංකීර්ණ සාධක නිසා, එය වර්තමාන ක්ෂුද්‍ර ආර්ථික න්‍යායයේ තිබිය හැකි සංවරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යොදා ගැනේ. වෙනත් අතිරේක බර නැතහොත් මෙම අලාභයන් අතර, නත්තල නිසා පරිසරයට ඇති බලපෑම් ද තිබේ. ඒ සඳහා ද්‍රව්‍යමය තෑගි උදාහරණයක් ලෙස ගත හැක. එම තෑගි නිසා නඩත්තු හා ගබඩා පිරිවැයක් ආරූඪ වන අතර ඒවා පරිසරයේ තැන් තැන් වල ගොඩගැසීම් වලට ද ලක්වේ.
[සංස්කරණය] විශේෂ කරුණු
| වෙනත් නම් | ක්‍රිස්තු තුමන්ගේ පූජාව (Christ's Mass), උප්පත්තිය (Nativity), ශරීරයකින් ලොව පහළ වීම (Incarnation), යූල් ටයිඩ්(Yule Tide), නොයෙල් (Noel), ශීත සෘතු පාස්කුව(Winter Pascha) |
| පිළිපදින්නන් | ක්‍රිස්තියානි ජනයා,සමහර ක්‍රිස්තියානි නොවන ජනයා |
| වර්ගය | ක්‍රිස්තියානි, සංස්කෘතික |
| සුවිශේෂතාවය | ජේසුස් වහන්සේගේ උප්පත්තිය |
| දිනය | දෙසැම්බර් 25 (Western Christianity), ජනවාරි 6 (Armenian Apostolic Church), ජනවාරි 7 (Eastern Orthodox churches) |
| චාරිත්‍ර | ආගමික මෙහෙයයන්, තෑගි දීම, පවුල් මුණගැසීම්, ගස් සැරසීම |
| සම්බන්ධ වෙනත් තේමා | මංගලම් කීම (Annunciation), ශරීරයකින් ලොව පහළ වීම (Incarnation), ආගමනය (Advent), ආවිර්භාවය (Epiphany), ස්වාමීන් වහන්සේගේ බව්තීස්ම ස්නාපනය (Baptism of the Lord), ශීත සෘතු සූර්යනිවෘත්තිය (Winter Solstice) |
[සංස්කරණය] රූප ගැලරිය
[සංස්කරණය] තවත් බලන්න
[සංස්කරණය] නත්තල් කාලය
- නත්තල් රැය Christmas Eve
- මුළු ලොව පැතිරි නත්තල Christmas worldwide
- උත්සව සමය Holiday season
- නත්තලයේ දින දොළස Twelve days of Christmas
- කිතු දහම Christianity
[සංස්කරණය] ආශ්‍රිත සහ සටහන්
- ↑ ක්‍රිස්මස් ඈස් අ මල්ටි ෆේත් ෆෙස්ටිවල්—බීබීසී නිවුස්. සම්ප්‍රවේශණය සැප්තැම්බර් 30, 2008.
- ↑ රැම්සි, ජෝන්. "ද ග්ලෝරියස් ෆීස්ට් ඔෆ් නැටිවිටි: 7 ජැනවරි? 29 කියක්? 25 ඩිසෙම්බර්?". කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච් නෙට්වර්ක්. http://www.copticchurch.net/topics/coptic_calendar/nativitydate.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 17, 2011.
- ↑ 3.0 3.1 "ක්‍රිස්මස් ඉන් බෙත්ලහෙම්". http://www.sacred-destinations.com/israel/bethlehem-christmas.
[සංස්කරණය] වැඩිදුර කියවීම සඳහා
[සංස්කරණය] ඉංග්‍රිසි මූලාශ්‍ර
- The Origins of Christmas, by Joseph F. Kelly (August 2004: Liturgical Press) ISBN 978-0-8146-2984-0
- Christmas Customs and Traditions, by Clement A. Miles (1976: Dover Publications) ISBN 978-0-486-23354-3
- There Really Is a Santa Claus: The History of St. Nicholas & Christmas Holiday Traditions, by William J. Federer (December 2002: Amerisearch) ISBN 978-0-9653557-4-2
- The Birth of Christ", by Peter Sammons (May 2006: Glory to Glory Publications) (UK) ISBN 0-9551790-1-7
