ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
Rps stadium night t20.jpg
පිටිය පිළිබඳ තොරතුරු
පිහිටුම මාලිගාවත්ත, කොළඹ
ඛණ්ඩාංක 6°56′22.8″N 79°52′19.3″E / 6.939667°N 79.872028°E / 6.939667; 79.872028ඛණ්ඩාංක: 6°56′22.8″N 79°52′19.3″E / 6.939667°N 79.872028°E / 6.939667; 79.872028
සංස්ථාපනය 1986
ප්‍රේක්ෂක ප්‍රමාණය 35,000
අයිතිකරු ශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රියාකරු ශ්‍රී ලංකා ක්‍රිකට්
බදුකරුවෝ ශ්‍රී ලංකා ක්‍රිකට්
අන්ත නාම
ඛෙත්තාරාම අන්තය
ලකුණු පුවරු අන්තය
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගය 28 අගෝස්තු 1992: ශ්‍රී ලංකාවඕස්ට්‍රේලියාව
අවසන් ටෙස්ට් තරගය 23 නොවැම්බර් 2010: ශ්‍රී ලංකාවබටහිර ඉන්දීය කොදෙව්
පළමු එදිජා තරගය 9 මාර්තු 1986: ශ්‍රී ලංකාවපකිස්තානය
අවසන් එදිජා තරගය 31 ජූලි 2012: ශ්‍රී ලංකාවඉන්දියාව
පළමු වි20ජා 10 පෙබරවාරි 2009: ශ්‍රී ලංකාවඉන්දියාව
අවසන් වි20ජා 5 ඔක්තොම්බර් 2012: ඕස්ට්‍රේලියාවබටහිර ඉන්දීය කොදෙව්


ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය (ඉංග්‍රීසි: R. Premadasa Stadium , දෙමළ: ஆர். பிரேமதாச ஸ்டேடியம்; ඛෙත්තාරාම ක්‍රීඩාංගණය, රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය හෝ සරල ලෙසින් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ලෙසින්ද හැඳින්වෙයි) යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ, මාලිගාවත්තේ, ඛෙත්තාරාම පාරෙහි පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයකි [1]. ආරම්භයේදී මෙය ඛෙත්තාරාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ලෙස හැඳින්වූ අතර වර්ෂ 1994 දී මෙය ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය ආසියාවේ ඉදිකරනලද ප්‍රථම දිවා-රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගනය වීමයි. දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙය නවීකරනය කරනු ලැබූ අතර නරඹන්නන් 30000ක් සඳහා ඉඩ පහසුකම්ද නවීන තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය කුටි, ක්‍රීඩාගාර ආදිය ඇතුලත් කරනලදී.

ඉතිහාසය[සංස්කරණය]

මෙම ක්‍රීඩාංගනය තැනීමේ මුල් අදහස අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ය. 40000 කට අසුන් ගත හැකි කොන්ක්‍රීට් නිර්මාණයක් වූ මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගනයයි. මෙය මුලින්ම විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බී’ කණ්ඩායම සහ එංගලන්ත බී’ කණ්ඩායම අතර 1982 පෙබරවාරි 2 වෙනි දින පැවැත්වූ ක්‍රිකට් තරඟයෙනි. මෙම ක්‍රීඩාංගනයට යාබදව පිහිටි ඛෙත්තාරාම විහාරයට යාම පිණිස ඔරු භාවිතා කළ වගුරු බිමක මෙම ක්‍රීඩාංගනය තැනුනේය. ‍ මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.

පිටිය විස්තර[සංස්කරණය]

ටෙස්ට් ක්‍රිකට්[සංස්කරණය]

  • ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩිම කණ්ඩායම් ටෙස්ට් ලකුණු එකතුව වන්නේ ඉන්දියාවට එරෙහිව 1997 වසරෙහිදී ශ්‍රී ලංකාව වාර්තා කල ඉණිම අත්හිටුවන විට ලකුණු 952/6 වෙයි.
  • අඩුම ටෙස්ට් ලකුණු එකතුව වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2005දී බංග්ලාදේශය රැස් කළ ලකුණු 86 වෙයි.
  • 1997දී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය විසින් ලකුණු 340 ක් රැස් කරන ලදි. තවමත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙයයි.
  • මුත්තයියා මුරලිදරන් විසින් දවා ගත් කඩුළු 36 ක් ප්‍රමාණය, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි දවා ගෙන ඇති වැඩිම කඩුළු සංඛ්‍යාව වෙයි.
  • ඉනිමකදී හොඳම පන්දුයැවීමේ දක්ෂතාවය වන්නේ, 2005/06 තරග වාරයෙහි බංග්ලාදේශයට එරෙහිව මුත්තයියා මුරලිදරන් දවා ගත් 6/18 වෙයි.
  • තරගයකදී හොඳම පන්දුයැවීමේ දක්ෂතාවය වන්නේ, මුත්තයියා මුරලිදරන්ගේ 9/60 වෙයි.

එක් දින ජාත්‍යන්තර[සංස්කරණය]

  • වැඩිම එදිජා ලකුණු එකතුව වන්නේ, 2009 පෙබරවාරි 3 දිනදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ගත් 363/5 වෙයි.
  • මුත්තයියා මුරලිදරන් විසින් මෙහිදී කඩුළු 69 ක් දවා ගෙන ඇති අතර, එය ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහිදී එක් ක්‍රීඩකයෙක් විසින් දවා ගෙන ඇති වැඩිම කඩුළු එකතුව වෙයි.
  • 2013 තරග වාරයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර් සංගක්කාර විසින් රැස් කරන ලද ලකුණු 169, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙක් රැස් කර ඇති වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වෙයි.
  • ක්‍රීඩාංගණයක එදිජා තරග 100ක් සඳහා සත්කාරකත්වය සැපයීමේ වාර්තාව ශ්‍රී ලංකාව තුල පිහිටවූ පළමුවැන්න හා ලෝකය තුල සතරවැන්න ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙයි.
  • මෙම ක්‍රීඩාංගණයේදී ලසිත් මාලිංග විසින් එදිජා තුන් කඩුළු සාමාර්ථය (හැට් ට්‍රික්) දෙවතාවක් වාර්තා කර ඇත. 2011 ලෝක කුසලාන තරගාවලිය තුලදී පළමුවැන්න කෙන්යාවට එරෙහිව වාර්තා වූ අතර දෙවැන්න 2011 අගෝස්තු 22 දිනදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා විය.

විස්සයි20 ජාත්‍යන්තර[සංස්කරණය]

  • 2009 පෙබරවාරි 10 දිනදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරගය මෙහි පළමුවැන්න වෙයි.
ක්‍රිකට් තරග සඳහා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වැඩිම ප්‍රේක්ෂක පැමිණීමේ වාර්තා
අංකය කණ්ඩායම් තරග වර්ගය ප්‍රේක්ෂක පැමිණීම දිනය
1 ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය කොදෙව් වි20 ජාත්‍යන්තරය 34,900 7 ඔක්තොම්බර් 2012
2 ශ්‍රී ලංකාව එරෙහි නවසීලන්තය එක් දින ජාත්‍යන්තරය 34,750 29 මාර්තු 2011
3 ශ්‍රී ලංකාව එරෙහි පකිස්තානය වි20 ජාත්‍යන්තරය 34,200 4 ඔක්තොම්බර් 2012
4 ඉන්දියාව එරෙහි පකිස්තානය වි20 ජාත්‍යන්තරය 34,100 30 සැප්තැම්බර් 2012
5 නැගෙනහිර නාගස් එරෙහි ඌව නෙක්ස්ට් වි20 දේශීය 33,600 31 අගෝස්තු 2012
6 ශ්‍රී ලංකාව එරෙහි දකුණු අප්‍රිකාව වි20 ජාත්‍යන්තරය 33,050 2 අගෝස්තු 2013

ආශ්‍රිත[සංස්කරණය]