රූපවාහිනී සංස්ථාව සහ තවත් අයට එදිරිව බෙන් රත්නායක නඩුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සහ වෙනත් අයට එරෙහිව බෙනට් රත්නායක

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

විනිශ්චයකාර ජේ. ප්‍රනාන්දු, විනිශ්චයකාර ජේ. වඩුගොඩපිටිය සහ විනිශ්චයකාර ජේ. ගුණවර්ධණ

ශ්‍රේෂ්ඨාධිකරණ අයැදුම් අංක (මූ.අ) 867/96 1998 පෙබරවාරි 18, 25 හා මැයි 26.

මූලික අයිතිවාසිකම් - රූපවාහිනියේ විකාශනය පිණිස අර්පනය කරණ ලද ටෙලිචිත්‍රපටියක් ප්‍රතික්ෂේප කිරීම - ටෙලිචිත්‍රපටි තෝරා ගැනීම පිණිස සාධාරණ හා විෂයමූල ක්‍රමවේදයක් නොමැති වීම - ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය

පෙත්සම්කරු විසින් ඔහු පවසන පරිදි රුපියල් මිලියන 2.3 ක් වැය කරමින් “මකර විජිතය“ නම්වූ සිංහල ටෙලිචිත්‍රපටියක් නිෂ්පාදනය කරන ලදී. 1 වන වගඋත්තරකාර සංස්ථාව විසින් පෙත්සම්කරුගේ ටෙලිචිත්‍රපටිය, එම වර්ගයේ ටෙලිචිත්‍රපටි සඳහා වූ “ජනප්‍රියම වේලාව“ වන, එනම්, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්තපතින්දා දිනවල පව 8.30 සිට පව 9.00 දක්වාවූ වේලාව තුළදී, එය විකාශනය කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. විවිධ මණ්ඩල විසින් අවස්ථා තුනකදී මෙම ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කර ඇත. ඒ සෑම අවස්ථාවකටම අදාළ තීරණ පෙත්සම්කරුට අහිතකර විය. එනමුදු, මණ්ඩලයේ සාමාජිකයින් කව්ද, ඔවුන්ව පත්කර ඇත්තේ කෙසේද, ඔවුන් විසින් අනුගමනය කරනු ලබන්නාවූ ක්‍රමවේදය කුමක්ද, ඔවුන් විසින් යොදා ගනු ලබන නිර්නායකයන් මොනවාද, චිත්‍රපටිය ගැන ඔවුන්ගේ මත මොනවාද හා තීරණයට හේතු මොනවාද යන්න ගැන ඔහුව දැනුවත් කර නොමැත.

තීරණය: 1 වන වගඋත්තරකරු සතුව තිබෙන ස්ථාපිත බලතල පරම, නිර්බාධිත හෝ සමාලෝචනයට ලක්කළ හැකි එවා නොවේ: ඒවා බලපැවැත්වෙන්නේ මහජනයාගේ සුභසිද්ධිය තකා භාරයක් වශයෙන් වන අතර, ඒවා අත්තනෝමතිකව, චංචල හෝ අසාධාරණ අයුරින් යොදාගත නොහැක. ගුවන් තරංග මහජන දේපලක් වන අතර, ඒවා මහජනයාගේ සුභසිද්ධිය උදෙසා උපයෝගී කරගනු ලබන බව තහවුරු කර ගැනීමට රජය බැඳී සිටින අතර, එය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ටෙලිචිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම සඳහා සුදුසුද යන්න හා එසේ නම්, එය පෙන්විය යුතු වේලාවන් තීරණය කිරීම උදෙසා සාධාරණ හා විෂයමූල ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ කාර්යය සඳහා 1 වන වගඋත්තරකරු බැඳී සිටියි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් වලට පටහැනිව යමින් මෙම බැඳියාව කඩකර, උල්ලංඝනය කර තිබේ. ආශ්‍රේය නඩු:

1. Red Lion Broadcasting Co. v. FCC (1969) 395 US 367. 2. Secretary, Ministry of lnformation v. Cricket Association of Bengal AIR 1995 SC 1236, 1282, 1306. 3. Fernando v. SLBC(1996) 1 Sri LR. 157.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකිරීම සම්බන්ධයෙන් සහන සඳහා අයැදුමකි. පෙත්සම්කරු වෙනුවෙන් සංජීව ජයවර්ධන පෙනී සිටියි.

වගඋත්තරකරු වෙනුවෙන් රාජ්‍ය නීතිඥ එන් පුල්ලේ සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කෝලිත ධර්මවර්ධණ පෙනී සිටියි.

විනිශ්චය ප්‍රකාශ කිරීම කල් දමන ලදී. 1998 ජූනි මස 11.

විනිශ්චයකාර ප්‍රනාන්දු. පෙත්සම්කරු විසින් “මකර විජිතය“ නම් කථාංග 22 කින් යුත් වූ සිංහල ටෙලිචිත්‍රපටියක් ඔහු පවසන පරිදි රුපියල් මිලියන 2.3 ක් වැය කරමින් නිෂ්පාදනය කර තිබේ. 1 වන වගඋත්තරකාර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් ඔහුගේ ටෙලිචිත්‍රපටිය එම වර්ගයේ ටෙලිචිත්‍රපටි විකාශනය කරනු ලබන “ජනප්‍රියම වේලාව“ (එනම්, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල පව 8.30 සිට පව 9.00 දක්වාවූ වේලාව) තුළදී විකාශනය කිරීම ප්‍රතික්ෂේප කිරීම යනු 12 (1) හා 14 (1) (අ) වගන්තීන් ප්‍රකාර ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු පැමිණිලි කරයි.

පෙත්සම්කරු විසින් සිය පෙත්සමෙන් ඉල්ලා ඇති සහන අතර ඔහුගේ ටෙලිචිත්‍රපටිය සඳහා ජනප්‍රියම වේලාව ප්‍රතික්ෂේප කිරීම යනු ශූන්‍යතාවයක් බවට හා ජනප්‍රියම වේලාව තුල විකාශනය කිරීමට එහි යෝග්‍යතාවය ගැන තීරනය කිරීමට 1 වන වගඋත්තරකාර සංස්ථාවට අයිතියක් නොතිබුන බවට තීරණ ප්‍රකාශනයන් ලබාගැනීම හා එය ජනප්‍රියම වේලාව තුල විකාශනය සඳහා නිර්දේශනයක් ලබාගැනීම අඩංගු විය. එසේ වුවද, ජනප්‍රියම වේලාව තුල විකාශනය සඳහා එම ටෙලිචිත්‍රපටිය යෝග්‍යද යන්න එහි හරය මත තීරනය කිරීමට අධිකරණයට සිදුවන බව පෙත්සම්කරුගේ උගත් නීතිඥයා පිළිගන්නා ලදී : එය මෙම අධිකරණයේ කාර්ය භාරයක් නොවේ. ඒ වෙනුවට ඔහු විසින් ඉල්ලා සිටියේ, පෙරාතුව ප්‍රකාශයට පත්තර තිබූ නිර්නායකයන්ද ඇතුළුව සාධාරණ හා විෂයමූල ක්‍රමවේදයක් නොමැතිවීම නිසා ජනප්‍රියම වේලාව ප්‍රතික්ෂේප කිරීමෙන් කෙලවර වූ ක්‍රමවේදය යනු 12 (1) වගන්තිය උල්ලංඝනය කිරීමක් බවට තීරණ ප්‍රකාශනයන් ලබා ගැනීම, වන්දි ප්‍රදානයක් හා ජනප්‍රියම වේලාව තුල විකාශනය සඳහා ටෙලිනාට්‍ය තෝරාගැනීමට නිර්නායකයන් නියම කර ප්‍රකාශයට පත්කරන මෙන් සහ ටෙලිචිත්‍රපටි (“මකර විජිතයද ඇතුළු) එම නිර්නායකයන් සපුරන්නේදැයි නිර්නය කිරීම පිණිස ස්වාධීන හා පරිමිත සමාලෝචන මණ්ඩලයක් පිහිටුවන මෙන්, 1 වන වගඋත්තරකරුට නිර්දේශනයක් නිකුත් කරන ලෙසයි. පෙත්සම්කරු 1985 සිටම ටෙලිචිත්‍රපටි නිෂ්පාදනයේ නියැලී සිටි බව, 1986 හා 1995 අතර ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ටෙලිචිත්‍රපටි පහක් 1 වන වගඋත්තරකරු විසින් භාරගෙන විකාශනය කර තිබෙන බව, ඒවායින් දෙකක කථාංග පහලවකට වඩා තිබුන බව, ජනප්‍රියම වේලාව තුල විකාශනය සඳහා 1 වන වගඋත්තරකරුගේ ගාස්තු හා අයකිරීම් පියවිය හැකි “මකර විජිතය“ සඳහා සුදුසු අනුග්‍රාහකයෙකුගේ සහාය ඔහුට තිබුන බව හා, එක් කථාංගයකට රු 500/- බැගින්වූ අවශ්‍ය සමාලෝචන ගාස්තුව පෙත්සම්කරු විසින් 1 වන වගඋත්තරකරුට 96.01.03 දින ගෙවා එම ටෙලිචිත්‍රපටිය සමාලෝචනයට නිසි අයුරින් ඉදිරිපත් කරන ලද බව ගැන ආරවුලක් නොමැත.

එම ටෙලිචිත්‍රපටිය ප්‍රථමයෙන්ම 96.01.16 හෝ ආසන්නතම දිනයකදී පුද්ගලයින් තිදෙනෙක් (“පූර්ව දර්ශන මණ්ඩලය“) විසින් සමාලෝචනය කර තිබේ. 1 වන වගඋත්තරකරුගේ අධ්‍යක්ෂක ජෙනරාල් වන, 2 වන වගඋත්තරකරුගේ 97.08.26 දිනැති දිවුරුම් ප්‍රකාශය අනුව, “විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, කලාකරුවන්, නාට්‍යවේදීන් හා සංගීතඥයින් යනාදීන් අතරින්“ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පත්කරනු ලබන පුද්ගලයින් තිදෙනෙකුගෙන් ටෙලිනාට්‍යයක් සඳහා වූ “පූර්ව දර්ශන මණ්ඩලය“ සමන්විතය. “මකර විජිතය“ සඳහාවූ පූර්ව දර්ශන මණ්ඩලය සමන්විත වූ පුද්ගලයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ මණ්ඩලය විසින්ද, නැතහොත් අන් අයෙක් විසින්ද යන්න ඔහු කියා නැත. ප්‍රතිඵලය ගැන පෙත්සම්කරුට නිල වශයෙන් දන්වා නොමැත. අධ්‍යක්ෂක (වැඩ සටහන්) වූ 13 වන වගඋත්තරකරුගෙන් ඔහු 96.01.23 දින විමසූ විට, ඔහු විසින් අදාල ගොනුව ගෙන්වා ගෙන තිබෙන අතර, සංස්කරණය කලහොත් මිස, එම ටෙලිචිත්‍රපටිය විකාශනය උදෙසා ප්‍රතික්ෂේප කල බව එහිදී අනාවරණය වී තිබේ.

13 වන වගඋත්තරකරුට පෙත්සම්කරු විසින් එම දිනය තුලදීම අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව, එම ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කිරීම පිණිස “අභියාචන මණ්ඩලය“ වෙත යොමුකර තිබේ. මෙය පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත අතර, 2 වන වගඋත්තරකරුට අනුව, ඔවුන්ව නම් කළ යුතුව තිබුනේ අධ්‍යක්ෂක ජෙනරාල් විසිනි. ඔවුන්ව නම් කරන ලද්දේ කවුරුන්දැයි මෙහිදීද ඔහු විසින් පවසා නොමැත. ජනප්‍රියම වේලාවෙන් බැහැරව එය විකාශනය සඳහා අනුමත කර තිබෙන බැව් 13 වන වගඋත්තරකරු විසින් 96.01.29 දිනැති ලිපිය මගින් පෙත්සම්කරුට දන්වා තිබේ.

96.01.31 දිනැති ලිපිය මගින් පෙත්සම්කරු විසින් නැවතත් අභියාචනයක් කර තිබේ. මෙවර එසේ කර ඇත්තේ 2 වන වගඋත්තරකරු වන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙතය. පිළිතුරක් නොලද බැවින්, 1993 දෙසැම්බර් මස පිහිටුවා ගන්නා ලද ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (Telemakers' Guild) වෙත ඔහු විසින් පැමිණිලි කර තිබේ. එහි විධායක කොමිටි සාමාජිකයින් විසි එක් දෙනාගෙන් දහඅට දෙනෙක් එම ටෙලිචිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව එකඟව ඇත්තේ එය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැති බවයි. දීර්ඝ සාකච්ඡා දෙකකින් පසු (පැහැදිලිවම 95.08.30 හා 95.09.18 දින වන අතර, මේ ගැන මම පසුව සඳහන් කරන්නෙමි) ටෙලිචිත්‍රපටියක යෝග්‍යතාවය නිර්ණය කල යුත්තේ කුමන පදනමක් මතද යන්න ගැන එකඟත්වයට පැමිණි බව සහ “මකර විජිතය“ ප්‍රතික්ෂේප කිරීම අයුක්ති සහගත හා අසාධාරණ බව සඳහන් කරමින් එම සංගමය විසින් 8 වන වගඋත්තරකාර සභාපතිවරයා වෙත විරුද්ධත්වය පා ඇත. පෙත්සම්කරු පවසන්නේ 13 වන වගඋත්තරකරු වෙත දුරකථන ඇමතුම් කීපයක් දීමෙන් පසු 96.03.20 දින 13 වන වගඋත්තරකරු විසින් ඔහුට පවසා ඇත්තේ එම ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කිරීම පිණිස උසස් මණ්ඩලයකට තවම යොමුකර නොමැති බවයි. එවිට ඔහු 2 වන වගඋත්තරකරු හමුවී ඇති අතර, ඔහු පවසා ඇත්තේ පෙත්සම්කරු සමග කථා කිරීමට ඔහුට වේලාවක් නොමැති බවයි. තමාට අශික්ෂිත ලෙස සැලකූ බව පැමිණිලි කරමින් පෙත්සම්කරු වහාම ඉන් පසු 96.03.20 දිනැති ලිපිය මගින් ඔහුට දන්වා ඇත. පී 21 දරන 96.03.22 දිනැති ලිපිය මගින් ජනප්‍රියම වේලාවෙන් බැහැරව එම ටෙලිචිත්‍රපටිය විකාශනය සඳහා “උසස් අභියාචන මණ්ඩලය“ විසින් අනුමත කර තිබෙන බැව් 13 වන වගඋත්තරකරු විසින් පෙත්සම්කරුට දන්වා තිබේ. වගඋත්තරකරුගේ ආස්ථානය වනුයේ 1 වන වගඋත්තරකරුගේ අධ්‍යක්ෂකවරයෙකු වන 5 වන වගඋත්තරකරු හා 6 වන වගඋත්තරකරු වන ඊ එම් ජී එදිරිසිංහ මහතාගෙන් සමන්විත ද්විපුද්ගල මණ්ඩපයක් විසින් 96.03.09 හෝ ආසන්නතම දිනකදී එම ටෙලිචිත්‍රපටිය නැරඹූ බවයි. එසේ වුවද, ඔවුන්ව පත්කරන ලද්දේ කව්රුන්දැයි 1 වන වගඋත්තරකරු විසින් පවසා නොමැත.

සියළු අවස්ථා තුනේදීම මණ්ඩලයේ සාමාජිකයින් කව්රුන්ද, ඔවුන්ව පත්කරන ලද්දේ කෙසේද, ඔවුන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කුමක්ද, ඔවුන් විසින් යොදාගනු ලබන නිර්නායකයන් මොනවාද, “මකර විජිතය“ ගැන ඔවුන්ගේ මතය කුමක්ද හා ඔවුන්ගේ තීරණයට හේතුව කුමක්ද යන්න ගැන පෙත්සම්කරුට දන්වා නොමැත.

96.03.22 දිනැති පී 21 ලිපිය ලැබීමෙන් පසු, 96.03.26 දිනැතිම ලිපි තුනක් පෙත්සම්කරු විසින් යවා තිබේ. 1 වන වගඋත්තරකරු විසින් තමාට අසාධාරණ අයුරින් සලකා තිබෙන බව පැමිණිලි කරමින් පී 24 වූ ප්‍රථම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය හා සංචාරක කටයුතු ඇමතිවරයාටය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන් සතියකට පමණ පසු - ඔහු විසින් ඇමතිවරයාට පැමිණිලි කල බව බොහෝ දුරට 1 වන වගඋත්තරකරු විසින් දැනුවත් වීමෙන් පසු - 2 වන වගඋත්තරකරු විසින් 96.03.26 දිනැති පී 25 ලිපිය මගින් ඔහුට කියා පා ඇත්තේ සමාලෝචන (පූර්වදර්ශනය) මණ්ඩලය, අභියාචන මණ්ඩලය හා උසස් අභියාචන මණ්ඩලය වශයෙන් වූ ස්ථර තුනකින් යුත් සමාලෝචන ක්‍රියාවලියක් සාමාන්‍ය ක්‍රමවේදය බව, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (Telemakers' Guild) විසින් එයට එකඟවූ බව සහ එම සංගමය විසින් නම්කල පුද්ගලයින්ද එම මණ්ඩලවලට පත්කල බවය. 96.04.30 දිනැති ලිපිය මගින් අමාත්‍යාංශ ලේකම් විසින් 8 වන වගඋත්තරකරුගෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවා තිබුනි. වාර්තාවක් යවා නැත.

දෙවැන්න වූයේ ජනප්‍රියම වේලාව තුල “මකර විජිතය“ විකාශනය කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු ගැන විපරම් කරමින් 2 වන වගඋත්තරකරු වෙත යැවූ පී 22 වේ. හේතු දක්වමින් කල්පසු වූ පිළිතුරක් 2 වන වගඋත්තරකරු වෙතින් පෙත්සම්කරුට ලැබී ඇත්තේ, අමාත්‍යාශයේ ලේකම් විසින් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා සිටීමෙන් පසුව සති හයකට අනතුරුවය. එම පිළිතුර 96.04.08 දක්වා පසු දාතම් කර ලැබී ඇත්තේ 96.05.15 දින (96.05.13 දින මුද්‍රාව සහිත ලිපි කවරයක) බවට වූ පෙත්සම්කරුගේ සම්ප්‍රකාශය 2 වන වගඋත්තරකරු විසින් සිය දිවුරුම් ප්‍රකාශයේ ප්‍රතික්ෂේප කර නොමැත.

තෙවැන්න වූයේ “මකර විජිතය“ විකාශනය සඳහාවූ කාල තීරුව විශේෂණය කරන මෙන් 13වන වගඋත්තරකරු වෙත යැවූ පී 23 වේ. 96.05.06 දින යැවූ සිහි කැඳවීමද නොතකා මෙය කිසිම දිනක ඉටුවී නොමැත.

1 වන වගඋත්තරකාර මණ්ඩලයේ ලේකම් විසින් පොදු වැඩ සටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යවා ඇති 95.09.04 දිනැති සන්දේශයක් (2ආර්2) 2 වන වගඋත්තරකරු විසින් සිය දිවුරුම් ප්‍රකාශය තහවුරු කිරීම උදෙසා ඉදිරිපත් කර තිබේ. 95.08.18 දින මණ්ඩල රැස්වීමේ වාර්තාවේ පහත දැක්වෙන උද්ධෘතය එහි ප්‍රතිනිර්මානය කර තිබුණි:

“...(පොදු වැඩ සටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සංදේශයේ) එහි සඳහන්ව ඇත්තේ, පෙර මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු ගෙන් සමන්විත මණ්ඩලයකින් දැනට මෙම ටෙලිනාට්‍යය පූර්ව දර්ශනයට ප්‍රථමයෙන් ලක්කරන බව, එය ප්‍රතික්ෂේප වුවහොත් නිෂ්පාදකයාට අභියාචනය කල හැකි බව..." එවිට එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුතු වෙනත් මණ්ඩපයක් විසින් පූර්ව දර්ශනය කරන බව.... (නැවතත් ප්‍රතික්ෂේප වුවහොත්) විකාශනය කිරීම පිණිස අදාළ ටෙලිනාට්‍යය පිළිගන්නා ලෙස සමහර නිශ්පාදකයින් ඉන් අනතුරුව රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන්ට බලපෑම් කිරීමට අපේක්ෂා කරති. අවසාන තීරණයක් ගැනීම උදෙසා උත්තරීතර අභියාචන මණ්ඩලයක් පත්කිරීම පොදු වැඩ සටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් යෝජනා කර තිබේ.

බාහිර නිෂ්පාදකයින් විසින් ගෙනඑනු ලබන සෑම ටෙලිනාට්‍යයක්ම පහත දැක්වෙන අයුරින් පූර්ව දර්ශනය විය යුතු බව රූපවාහිනී සංස්ථාව තීරණය කර තිබේ :

ප්‍රථමයෙන්ම : පොදු වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් නම්කරනු ලබන පූර්ව දර්ශන මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකුගේ මණ්ඩලයක් මගින් නැරඹිය යුතුය. නිෂ්පාදකයා විසින් අභියාචනය කලහොත් : පොදු වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් නම් කරනු ලබන පූර්ව දර්ශන මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකුගේ වැඩිමනත් මණ්ඩලයක් මගින් නැරඹිය යුතුය.

නිෂ්පාදකයා විසින් වැඩිමනත් අභියාචනයක් කලහොත් : අවශ්‍ය නම් පමණක් අවසාන තීරණයක් ගැනීම පිණිස තෙවන මණ්ඩපයක් පත්කිරීමේ අයිතිය සංස්ථාවේ විධායක සාමාජිකයින් සතුව තබා ගනු ලැබේ. "මෙම මණ්ඩලයේ සාමාජිකයින්ව පත්කරනු ලබන්නේ සංස්ථාව විසින් වන අතර, සංස්ථාවේ සාමාජියෙකුද එයට ඇතුලත් විය යුතුය.“ 2ආර්2 ලේඛණයේ අත්අකුරින් ලියන ලද සටහනක් තිබෙන අතර, එහි වැදගත්කම පැහැදිලි වූයේ පසුව පමනි.

           “(පොදු වැඩසටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ටෙලිනිස සමග අප පැවැත්වූ සාකච්ඡාවලට අනුකූලව මෙම තීරණය සමාලෝචනය කල යුතුවේ.“

සිංහලෙන් “ටෙලිනිස" යනු Telemakers Guild යන ඉංග්‍රීසි පදයේ සිංහල අක්ෂර පරිවර්තනයයි. සමීක්ෂණ මණ්ඩල වාර්තාව හා (පොදු වැඩ සටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සන්දේශය 2 වන වගඋත්තරකරු විසින් ඉදිරිපත් කර නොමැත.“

කලින්ද සඳහන් කල පරිදි ලේකම්වරයාට කිසිම වාර්තාවක් යවා නොමැත. එවිට ටෙලිනිස විසින් 96.6.7 දින ඇමතිවරයාට ලිපියක් යවා ඇත. එවිට පෙත්සම්කරු පවසන පරිදි “ගරු ඇමතිවරයා විසින් නම් කරනු ලබන අමාත්‍යාංශ නිලධාරීන්ට බැලීම පිණිස "මකර විජිතයේ" තවත් පිටපතක් එවන මෙන් සුමනා පෙරේරා නමැති මහත්මියක් දුරකථනය මගින් ඔහුගෙන් ඉල්ලා ඇත“. ඔහු එකඟවී තිබේ. පෙත්සම්කරු විසින් 1 වන වගඋත්තරකරුට එන්තරවාසියක් යැවූ අතර, ඇමතිවරයාගේ ක්‍රියා මාර්ගයට එය බාධාවක් වියහැකි බව ලේකම්වරයා විසින් ඔහුට දැන්වීමෙන් පසු එය ඉල්ලා අස්කර ගෙන ඇත. ඉන් අනතුරුව ලේකම්වරයා ඔහුට දන්වා ඇත්තේ මෙසේය:

“මකර විජිතය නරඹා ‍ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ගරු ඇමතිවරයා විසින් නිලධාරීන් තිදෙනෙකුව නම් කර තිබේ. එසේ වුවද, මේ සම්බන්ධයෙන් රූපවාහිනී බලධාරීන් එයට විරෝධය පා තිබේ. එවිට ගරු ඇමතිවරයා පුද්ගලයින් 10 දෙනෙකු නම් කර, ඔවුන් අතුරින් තිදෙනෙකු තෝරාගෙන මකර විජිතය නැරඹීමට ඔවුන්ට ඉඩදී, ‍ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන මෙන් රූපවාහිනී බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. මෙයටද, රූපවාහිනී බලධාරීන් විසින් ප්‍රතිරෝධය පා තිබෙන අතර, සිය අධ්‍යක්ෂක මණ්ඩලය ලවා එය නැරඹීමට ඔවුන් විසින් ප්‍රති-අර්පණයක් ඉදිරිපත් කල අතර, එයට ගරු ඇමතිවරයා විසින් අවසානයේදී එකඟත්වය පල කරන ලදුව, ඔහුගේ කැමැත්ත 96.08.16 දින පී 29 මගින් දන්වා තිබේ.“

මෙම සම්ප්‍රකාශ 2 වන වගඋත්තරකරු විසින් සිය දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. අමාත්‍යාංශයේ යෝජනා කිසිවක් ගැන ඔහු සඳහන් කර නොතිබුන අතර, අදාල ලිපිලේඛණද ඉදිරිපත් නොකලේය. ඔහු ඉදිරිපත් කර තිබුනේ 8 වන වගඋත්තරකරු විසින් ලේකම් වෙත යවා තිබුන 96.08.09 දිනැති ලිපිය පමණක් වන අතර, එහි සඳහන්ව තිබුනේ 1වන වගඋත්තරකරුගේ මණ්ඩලය විසින් අවසාන තීරණය ගැනීම වඩා හොඳ බවයි. එසේ වුවද, එම ලිපියේ "ඇමතිවරයා යෝජනා කරන ලද අතිරේක නම්“ ගැන සඳහනක් කර තිබූ බැවින්, ඒ අනුව එය පෙත්සම්කරුගේ අනුවාදය තහවුරු කළේය.

එනමුදු, ඇමතිවරයාගේ 96.08.16 දිනැති ලිපියට පවා කඩිනම් පියවර ගෙන නොතිබුණි. පෙත්සම්කරු විසින් නැවතත් 96.10.01 දින ඇමතිවරයාට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල 8 වන වගඋත්තරකාර සභාපතිවරයා වෙත 96.10.09 දින යොමුකර තිබේ. සභාපතිවරයා විසින් 96.10.12 දිනැති වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන්නේ එයට පසුව පමණක් වන අතර, එහි සඳහන්ව තිබුනේ මණ්ඩලයේ සාමාජිකයින් හත්දෙනා අතුරින් පස්දෙනෙක් එම ටෙලිචිත්‍රපටිය නැරඹූ බවත්, ඔවුන්ගේ ඒකමතිය තීරණය වූයේ “මකර විජිතය“ කිනම් හෝ වේලාවක් තුලදී විකාශනයට නුසුදුසු එකක් බවයි. මෙහි පිටපතක් පෙත්සම්කරුට යවා නොතිබුන අතර, එය ඉදිරිපත් කරන ලද්දේ මෙම නඩු විභාගයේදී පමණි.

එම ටෙලිචිත්‍රපටිය නැරඹීමෙන් පසු, ජනප්‍රියම වේලාවෙන් බැහැරව විකාශනය සඳහා සුදුසු බවට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඇමතිවරයාට වාර්තාවක් ඉදිරිපත්කර තිබෙන බව ලේකම් විසින් 96.11.01 දිනැති ලිපිය මගින් පෙත්සම්කරුට දන්වා තිබුණි. නමුත් එම වාර්තාව හා ලේකම්ගේ ලිපිය අතර නොසීහුම ගැන කිසිම කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොතිබුණි.

තවත් පුදුම සහගත කරුණක් වන්නේ, එම ටෙලිචිත්‍රපටිය ජනප්‍රියම වේලාවෙන් බැහැරව විකාශනයට සුදුසු බවට (උසස් අභියාචන මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන්) මෙයට පෙර නිගමනය කල 5 වන වගඋත්තරකරු, එය සිය සහෝදර මණ්ඩල සාමාජිකයින් සමග නැරඹීමෙන් පසු ඔහුගේ මතය වෙනස් කිරීමය. මේ සඳහා ඔහු මෙතෙක් කිසිම කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැත.

සමාලෝචන මණ්ඩල එකකට හෝ කීපයකට සිය නාමයෝජිතයන්ව පත්කල යුතුයයි ටෙලිනිස විසින් (95.08.30 හා 95.09.18 දින පවත්වන ලද සාකච්ඡාවලදී) යෝජනා කලද, 1 වන වගඋත්තරකරු එයට එකඟවී නොමැති බව විභාගයේ මුල් අවස්ථාවේදී උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විසින් සැලකර සිටියේය. ඒ අනුව, සමාලෝචන මණ්ඩල තුනෙන් එකකටවත් ඔවුන්ගේ නාමයෝජිතයන්ව පත්කර නොමැති බව ඔහු සැල කලේය.

විසඳිය යුතු ප්‍රශ්ණ කීපයක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ආස්ථානයේ‍, ප්‍රතිවිරෝධතා නොවූවද, බරපතල අසංගතතාවයන් තිබෙන බව දෙවන දින (98.02.24) විභාගයේදී පෙනී ගියේය:

1. කිසියම් හෝ සමාලෝචන මණ්ඩලයක ටෙලිනිස නියෝජනයට විශේෂිතව, ටෙලිචිත්‍රපටි සමාලෝචනය ගැන ටෙලිනිස සමග කිසියම් එකඟත්වයකට එළඹ සිටියේද‍, සහ එසේ නම්, එවැනි ගිවිසුමක් 1 වන වගඋත්තරකරුගේ මණ්ඩලය විසින් අනුමත කර තිබුනේද?

2. 1 වන වගඋත්තරකරු විසින් ස්ථාපිත කර තිබුන සමාලෝචන ක්‍රමවේදය.

3. “මකර විජිතය“ සම්බන්ධයෙන් එවන් ගිවිසුමක් (අදාල පරිදි) සහ/හෝ එවන් පිලිගත් ක්‍රමවේදයන් උල්ලංඝණය වී තිබේද?

4. පෙත්සම්කරු විසින් කියාපාන පරිදි ඇමතිවරයා විසින් යෝජනා ඉදිරිපත් කලේ ද සහ එසේ නම්, මණ්ඩලය විසින් ඒවා සැලකිල්ලට ගෙන තිබුනේ ද?

අප හට පෙනීගියේ කරුණු ගැන හා මෙම ප්‍රශ්න වලට අදාල ලේඛණ සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරු, එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂකවරුන් සම්පූර්ණ හා නිරවද්‍ය එළිදරව් කිරීමක් කර නොමැති බවයි. ඒ අනුව, පහත දැක්වෙන ලේඛණ ඉදිරිපත් කරන මෙන් රෙජිස්ට්‍රාර්වරයා විසින් 98.03.09 දින අපගේ නියෝගය 1 වන වගඋත්තරකරු වෙත යවා ඇත:

(i) (අ) “මකර විජිතය“ නම් ටෙලිචිත්‍රපටිය විකාශනය සඳහා තෝරා ගැනීමට පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර තිබෙන අයැදුම් හා අභියාචනා, (ආ) එම ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කිරීම පිණිස පත්කරන ලද මණ්ඩල හා (ඇ) එම මණ්ඩල විසින් ගෙන ඇති තීරණවලට අදාල සියළුම මණ්ඩල වාර්තා හා මණ්ඩල ලේඛණ.

(ii) (අ) 95.08.18 දින මණ්ඩල වාර්තාවේ සඳහන් “පූර්වදර්ශණ මණ්ඩලයේ“ සාමාජිකයින්ට හා (ආ)“මකර විජිතය“ සමාලෝචනය කල මණ්ඩල තුනේ සාමාජිකයින්ට නිකුත් කරන ලද සියළුම පත්වීම් ලිපි.

(iii) (අ) විකාශනය උදෙසා ටෙලිචිත්‍රපටි සමාලෝචනය කිරීම හා තෝරාගැනීම පිණිසවූ ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ටෙලිනිස අතර 95.08.30 හා 95.09.18 දින පවත්වන ලද සාකච්ඡාවලට හා (ආ) විකාශනය උදෙසා ටෙලිචිත්‍රපටි තෝරාගැනීම පිණිස පනවා තිබුන ක්‍රමවේදයට අදාල සියළුම මණ්ඩල වාර්තා හා මණ්ඩල ලේඛණ. (( පොදු වැඩ සටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සන්දේශය හා 95.08.18 දින මණ්ඩල වාර්තාවද මෙයට ඇතුලත් විය යුතුයි)

(iv) 95.08.18 දින පැවැත්වූ සාකච්ඡාවේ වාර්තාව

(v) (අ) එම ටෙලිචිත්‍රපටිය විකාශනය කිරීම ගැන ජනමාධ්‍ය හා සංචාරක කටයුතු ඇමතිවරයා සමග ගනුදෙනු කරන ලද ලේඛන හා (ආ) මණ්ඩලයේ සියළුම සාමාජිකයන් විසින් එය නැරඹිය යුතුයයි ගන්නා ලද තීරණය හා එසේ නැරඹීමෙන් පසු මණ්ඩලයේ තීරණයට අදාල සියළුම මණ් ඩල වාර්තා හා මණ්ඩල ලේඛණ

(vi) 1996 මාර්තු සිට නොවැම්බර් දක්වාවූ කාලසීමාව තුල මාධ්‍ය හා සංචාරක කටයුතු අමත්‍යාංශය සමග එකී ටෙලිචිත්‍රපටිය ගැන ගනුදෙනු කරන ලද සියළුම සන්නිවේදන. (අමාත්‍යාංශ යොමුව MTA/M/RCසහMTA/M/RC/52වේ).

“සොයාගත හැකි ලියවිලි“ 98.03.26 දිනැති මෝෂම මගින් වගඋත්තරකරුගේ ලියාපදිංචි නීති උපදේශක විසින් භාරදෙන ලදී. මණ්ඩල වාර්තා දෙකක් පමණක් ඉදිරිපත් කරන ලදී. 96.09.13 දිනැති අංක 528.03.01 දරන වාර්තාව (සංස්ථාවේ සාමාජිකයන් විසින් ටෙලිචිත්‍රපටිය පූර්වදර්ශණය කල යුතු බවට ඇමතිවරයා විසින් ඔහුට විධානය කල බව 8 වන වගඋත්තරකරු විසින් සංස්ථාවට දැන්වූ බව හා අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමට සාමාජිකයන් විසින් එකඟවීමට තීරණය කල බව එහි සටහන්ව තිබුණි) සහ අංක 529.06.06 දරන වාර්තාව (එම පූර්වදර්ශණය සඳහා දිනයක් වෙන් කිරීම). අමාත්‍යාංශයේ ලිපි තුනක් (1996 ජූනි මස දාතමින් යුත් දෙකක් හා 96.07.31 දිනැති එකක්) ඉදිරිපත් කර තිබුණි. තුන් වැන්නෙන් පැහැදිලි වන්නේ එම දාතමින්ම යුත් වෙනත් ලිපියක් තිබුන බව වුවද, එය නොදී වැළකී සිට ඇත. පෙත්සම්කරු විසින් (සුළු තොරතුරු ගැන ඔහු නිවැරදි නොවුවද) සාරානුකූලව සම්ප්‍රකාශිත පරිදි ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යම් යෝජනා කීපයක් ගැන අමාත්‍යාංශ ලිපිවල සඳහන් වේ. ඒවායින් පෙන්වන්නේ මෙම කරුණ පිළිබඳව 2 වන වගඋත්තරකරුගේ අපලාපනය අසත්‍ය බවයි. තවද, ඇමතිවරයාගේ යෝජනා කිසිම දිනක හෝ මණ්ඩලයේදී සභාගත කල බව පෙන්වීමට කිසිම මණ්ඩල වාර්තාවක් හෝ මණ්ඩල ලේඛණයක් ඉදිරිපත් කර නොතිබුණි; ඒවා 8 වන වගඋත්තරකරු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ ආස්ථානය වූයේ (96.08.09 දිනැති ඔහුගේ ලිපියේ සඳහන් පරිදි) අවසාන තීරණය ගත යුත්තේ මණ්ඩලය විසින් බවයි. 96.08.16 දිනැති සිය පිළිතුර මගින් ලේකම් 8 වන වගඋත්තරකරු වෙත හුදෙක්ම දන්වා තිබෙන්නේ එම ක්‍රියා මාර්ගය ඇමතිවරයා විසින් අනුමත කර ඇති බවයි. එම නිසා, මෙම ටෙලිචිත්‍රපටිය මණ්ඩලය විසින් පූර්වදර්ශනය කල යුතු බවට ඇමතිවරයා විසින් ඔහුට විධානය කල බවට 8 වන වගඋත්තරකරු විසින් මණ්ඩලයට කර ඇති ප්‍රකාශය, ලේඛණ සාක්ෂිවල ප්‍රබලත්වය මත්තේ එම නිසා................................................ ??????

මෝෂමේ තවදුරටත් සඳහන්ව ඇත්තේ:

“පහත දැක්වෙන ලේඛණ අප හට ඉදිරිපත් කිරීමට නොහැක. ..........එම නිසා එවැනි ලේඛණ කිසිදා තිබී නොමැත........“

නොපවත්වන ලේඛණ වශයෙන් ලැයිස්තු ගත කර තිබුන ඒවා අතර (අ) “මකර විජිතය“ නම් ටෙලිචිත්‍රපටිය විකාශනය සඳහා තෝරාගැනීමට පෙත්සම්කරු විසින් ඉදිරිපත්කර තිබෙන අයැදුම් හා අභියාචනා, (ආ) එම ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කිරීම පිණිස පත්කරන ලද මණ්ඩල හා (ඇ) විකාශනය උදෙසා ටෙලිචිත්‍රපටි සමාලෝචනය කිරීම හා තෝරා ගැනීම පිණිස වූ ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ටෙලිනිස අතර 95.08.30 හා 95.09.18 දින පවත්වන ලද සාකච්ඡාවලට අදාල සියළුම මණ්ඩල වාර්තා හා මණ්ඩල ලේඛණ විය.

තවද, 2ආර්2 ලේඛණයේ ‍(පොදු වැඩසටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සන්දේශය හා 95.08.18 දින මණ්ඩල වාර්තාව ගැන විශේෂිතව සඳහන් කර තිබුනද, ඒවා ඉදිරිපත් කිරීමට අසමත් වීම ගැන කිසිම නිදහසට කරුණක් ඉදිරිපත් නොකෙරිණ. වගඋත්තරකරුවන්ට අවශ්‍යවූයේ ඒවාද නොපැවැත්වෙන ලේඛණ වශයෙන් අධිකරණය විසින් විශ්වාස කරනු ලැබීම බව අනුමානවේ.

සමාලෝචන මණ්ඩල පත්කිරීමේ ක්‍රමවේදය වූයේ “සාමාජිකයින්ට පහසු දිනයක් හා වේලාවක් නියම කර ගැනීම පිණිස මණ්ඩලයේ සාමාජිකයින්ව දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීම“ බව මෝෂම තේරුම් කර දීමට උද්දේශිතව තැත් කර තිබේ; සම්බන්ධ කරගත යුත්තේ කිනම් පිළිවෙලක් යටතේ කිනම් සාමාජිකයන්වද යන්න තීරණය කරන්නේ කව්රුන්දැයි පැහැදිලි කර නොමැත; විශේෂයෙන්ම අහඹුවක් වශයෙන් සාමාජිකයන් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටියහොත්, කැඳවිය යුත්තේ කවුද? 95.08.18 දින මණ්ඩල වාර්තාවේ සඳහන් පූර්වදර්ශන මණ්ඩලයේ සාමාජිකයින්ට නිකුත් කර තිබූ පත්වීම් ලිපි ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටින ලදී. මණ්ඩලය විසින් සාමාජික සංචිතයක් පත්කරනු ලැබුවද, ඔවුන්ගේ පත්වීම් ගැන ශේෂයක් වත් නොතබමින් මණ්ඩල සෑදී ඇත්තේ ඉතාම අවිධිමත් ලෙස බව හැඟීම පෙන්නුම් කරයි. ඊළඟ නඩු විභාග දිනයට පෙර මාස දෙකක් ගත වුවද, ඉදිරිපත්කර ඇත්තේ 96.08.02 හා 96.11.01 යන දිනවල නිකුත් කරන ලද “උසස් අභියාචනා මණ්ඩලයට“ අදාල පත්වීම් ලිපි දෙක පමණක් වූ අතර, ඒවා නිකුත් කර ඇත්තේ මෙම නඩුවට වැදගත් වන දිනවලට පසුව බැවින් ඒවා පැහැදිලිවම අදාල නොවේ.

98.05.26 දින නඩුව නැවත ඇරඹුන විට මණ්ඩප පත්කිරීම පිණිස එකඟවූ ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින සාක්ෂිවලට උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ගේ අවධානය අපි යොමු කලෙමු : 8 වන වගඋත්තරකරු (හා අනිකුත් නිලධාරීන්) හා ටෙලිනිස අතර (94.12.14 දින පවත්වන ලද) සාකච්ඡාවක් සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරුගේ වාර්තාවේ ටෙලිනිස නාමයෝජිතයින් සිව් දෙනා අතරින් එක් සාමාජිකයෙකු තුන් සාමාජික සමාලෝචන මණ්ඩලයට ඇතුලත් වන බවට සටහන්ව තිබීම ; වෙනත් ටෙලිචිත්‍රපටියක් සම්බන්ධයෙන් සමාලෝචන මණ්ඩලයේ තීරණය යවමින් එය ස්වාධීන මණ්ඩලයක් බව සඳහන් කරන 13 වන වගඋත්තරකරු විසින් පෙත්සම්කරු වෙත එවා තිබුන 95.03.09 දිනැති ලිපිය; සහ 8 වන වගඋත්තරකරු (හා අනිකුත් නිලධාරීන්) හා ටෙලිනිස අතර 95.08.30 හා 95.09.18 දින පවත්වන ලද වැඩිමනත් සාකච්ඡා සටහන්වල, සමාලෝචන මණ්ඩලයට නියෝජිතයින් නම් කිරිම වෙනුවට ටෙලිනිස විසින් යෝජනා කර ඇත්තේ එය විසින් අභියාචන මණ්ඩලය සඳහා නාම යෝජනා කරන බව වාර්තාවී තිබීම. ටෙලිනිස සටහන්වල එකඟත්වයක් වාර්තාවී තිබුණද, 1 වන වගඋත්තරකරුගේ වාර්තාව සඳහන් කරන්නේ යෝජනාවක් පමණක් වුවද, සමාලෝචන මණ්ඩල නියෝජන සම්බන්ධයෙන් එයට පෙර එකඟත්වයක් තිබුන බව පදනම්ව වාර්තා දෙකම සකස් කර තිබේ. ටෙලිනිස විසින් යෝජනා කරන ලද නම් පහ වාර්තා දෙකේම සටහන් වී ඇත. පෙනෙන සත්‍යය නම් පී 26 දරන 96.03.26 දිනැති 2 වන වගඋත්තරකරුගේ ලිපිය ටෙලිනිස විසින් නම්කරන ලද පුද්ගලයින් සියළුම මණ්ඩලවල සිටි බව සඳහන් කරන බැවින්, සාකච්ඡා දෙකේම ප්‍රතිඵලය වී ඇත්තේ එකඟත්වයකින් කෙලවරවීම යන්න බව අපි පෙන්වා දුන්නෙමු.

අසම්පූර්ණ උපදෙස්වල අවාසියේ බරින් පැහැදිලිවම පීඩාවී සිටි උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, එම කාරණාය ගැන අනනුකූල සැලකිරීම් කලේය. නම් යෝජනා කිරීම ගැන එකඟත්වයක් නොතිබුන බවත්, තිබී ඇත්තේ යෝජනාවක් පමණක් පෙන්වීමට ඔහු විසින් ප්‍රථමයෙන්ම තැත් කරන ලදී. 94.12.14 එකඟත්වය හා 96.03.26 දිනැති පී 25 ලේඛණය අභිමුඛවූ පසු සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ප්‍රකාශ හා එකඟත්ව සංස්ථාවේ තත්‍ය ප්‍රතිපත්තිය පිළිඹිඹු නොවන බව තර්ක කරමින් ඔහු එවිට කියා සිටියේ ඇත්ත වශයෙන්ම කිසිම මණ්ඩලයකට කිසිම ටෙලිනිස නාමයෝජිතයෙකුව පත්කර නොමැති බවයි. පසුව ඔහු තර්ක කලේ එකඟත්වයට පැමිණ ඇත්තේ, 1 වන වගඋත්තරකරු විසින් මණ්ඩලවලට කරනු ලබන පත්කිරීම සඳහා සංචිතයකට නම් කිරීම බවත්, සෑම මණ්ඩලයකම ටෙලිනිස නාමයෝජිතයෙකු ඇතුලත් වන බවට සුරක්ෂණයක් එහි නොතිබුන බවත්ය. ‍(පොදු වැඩ සටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සන්දේශය හා 95.08.18 දින මණ්ඩල වාර්තාව තුලින් (මේ දෙකම 2 ආර් 2 ලේඛණයේ සඳහන් වේ.) කිසිම සැකයකින් තොරව මෙම ප්‍රශ්ණය විසඳිය හැකිව තිබුන බව අපි පෙන්වා දුනිමු. අවසානයට, ඔහු සැලකර සිටියේ ත්‍රි පුද්ගල මණ්ඩලයට ටෙලිනිස නාමයෝජිතයෙකු ඇතුලත් වුවද, අනිත් දෙදෙනාගෙන් බහුතරයක් පිහිටෙන බැවින් වෙනසක් ඇති නොවන බවයි. ඒකමතිකත්වයක් නොතිබුනහොත් ඒ දෙදෙනා නොවරදවාම ඔවුනොවුන් සමග එකඟවීම හා ටෙලිනිස නාමයෝජිතයා සමග එකඟ නොවීම පිළිගැනීම තුල්‍යමාන වීමකි ! එලෙස පුරෝකථනය කලහැකි ප්‍රතිඵලයකින් කෙළවරවන ක්‍රමවේදයක් ගැන අදහස් දැක්වීම අනවශ්‍ය දෙයකි.

සොයාගත නොහැකි ලේඛණ ගැන විපරම් කිරීමට හා ඒවා සවස සැසියේදී ඉදිරිපත් කිරීමට උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වැඩිමනත් අවස්ථාවක් ඉල්ලා සිටියේය. පව 2.30 ට පමණ සන්දේශ දෙකක් හා මණ්ඩල වාර්තා කීපයක් ඉදිරිපත් කරණ ලදී. එම ලේඛණ වගඋත්තරකරුගේ ආස්ථානයේ ව්‍යාජ භාවය එළිදරව් කරන අතර, ඒවා යටපත් කිරීමට හේතුවද පැහැදිලි කරනු ලබයි.

‍(පොදු වැඩසටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්ගේ සන්දේශයෙහි දිනය වූයේ 98.05.26 යි. එහි සඳහන්ව තිබුනේ මෙසේය:

“..........සංස්ථා මණ්ඩලයේ එක් සාමාජිකයෙක්, ටෙලිනිසඑක් සාමාජිකයෙක් හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පූර්වදර්ශන මණ්ඩලයේ එක් සාමාජිකයෙකුගෙන් සමන්විත උසස් අභියාචන මණ්ඩලයක් නම් කිරීම අපි යෝජනා කරමු......“

(පොදු වැඩ සටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෙත 95.09.04 දිනැති අංක 2132 ලැබුන පසු, මම කලින් සඳහන් කරන ලද පිටසන තබා ඇත. ඔහු විසින් ඉන් අනතුරුව කරන ලද 95.09.15 දිනැති වැඩිමනත් පිටසන ඉදිරිපත් කරන ලදී. “උසස් අභියාචන මණ්ඩලයක්“ පත්කිරීමට එමගින් අනුමැතිය අපේක්ෂා කල අතර, 95.08.30 දින ටෙලිනිස විසින් යොජනා කරන ලද එම නම් පහම ලැයිස්තු ගතකර තිබේ.

95.11.17 දිනැති මණ්ඩල වාර්තා ඉදිරිපත් කරන ලදී. 5 වන, 7 වන,8 වන,9 වන,10 වන හා 12 වන වගඋත්තරකරුවෝ සහ වගඋත්තරකරුවෙකු නොවූ එක් අධ්‍යක්ෂකයෙක් පැමිණ සිටියහ. “උසස් අභියාචන මණ්ඩලය“ ගැන පහත දැක්වෙන තීරණයට එළඹ තිබේ:

“........ටෙලිනිස විසින් ඉදිරිපත් කර තිබුන නම් ලැයිස්තුව සභාගත කරන ලදී. මණ්ඩප සාමාජිකයෙකු වශයෙන් මහාචාර්ය ජේ බී දිසානායකව සාමාජිකයන් විසින් නම් කරන ලද අතර, තීරණයක් උදෙසා උසස් අභියාචන මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන සෑම ටෙලිනාට්‍යයක් සඳහාම එවන් අභියාචන මණ්ඩලයක් පහත දැක්වෙන මණ්ඩපයෙන් සාමාජිකයින් දෙදෙනෙකු හා සංස්ථාවේ එක් සාමාජිකයෙකුගෙන් සමන්විත විය යුතුය........“

ටෙලිනිස නාමයෝජිතයින් පස් දෙනාව හා මහාචාර්ය ජේ බී දිසානායකව අනුමත කරන ලදී. 96.02.27 දිනැති මණ්ඩල වාර්තාව අනුව, ටෙලිනිසට නොදන්වා මණ්ඩලය විසින් තව නම් හතරක් අභිප්‍රාය කර තිබෙන අතර, ඊ එම් ජී එදිරිසිංහ මහතා එයින් එක් අයෙකි. එම වාර්තාව 96.03.08 දින ස්ථිර කර ඇත. මකර විජිතය ගැන ක්‍රියාකල “උසස් අභියාචන මණ්ඩලය“ සඳහාවූ දෙපුද්ගල මණ්ඩලය ස්ථාපිත කිරීමට අදාල කිසිම මණ්ඩලික තීරණයක් වගඋත්තරකරුවෝ ඉදිරිපත් නොකලෝය; එසේ වුවද, 96.03.09 දින මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ඊ එම් ජී එදිරිසිංහ මහතා සහභාගී වී තිබේ. එම මණ්ඩලය නම් කරන ලද්දේ කවුරුන්දැයි ඇසූවිට, අධිකරණයට පැමින සිටි සංස්ථා නිලධාරීන්ගෙන් විමසා උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පවසා සිටියේ ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙකු බවයි. පෙත්සම්කරුගේ 96.01.31 දිනැති අභියාචනය කඩිනමින් විභාගයට ගත්තේ නම්, 95.11.17 දින අනුමත කරන ලද මණ්ඩපයේ දෙදෙනෙකු මණ්ඩලයට ඇතුලත් විය හැකිව තිබුණි. මෘදු ලෙස පවසනුයේ නම්, 96.03.08 වන දිනය පසුවන තෙක් අභියාචනය ගැන සලකා බැලීම ප්‍රමාද කිරීමේ ප්‍රතිඵලය වී ඇති, 95.11. 17 දින අනුමත කරන ලද නාමයෝජිතයින් හයදෙනාම බැහැරවීම හා එයට දිනකට පමණක් පෙර සිය පත්වීම ස්ථිර කරන ලද අයෙකු ඇතුලත් වීම, අවාසනාවන්ත දෙයකි. “උසස් අභියාචන මණ්ඩලය“ පත්කිරීමේ මණ්ඩලය සතු බලය නිලධාරියෙකු විසින් පැහැර ගැනීම හා එහි ප්‍රතිඵලය වූ අභියාචනය ගොනු කර බොහෝ කල් ගතවූ පසු මණ්ඩලයට ඇතුලත් කරන ලද වෙනත් අයෙකු ඇතුලත් කිරිම ක්‍රමවේදයේ සාධාරණත්වය හා අපක්ෂපාතී භාවයට වළ කැපීමකි.

95.08.18, 95.09.01 හා 95.09.15 දිනවල මණ්ඩල වාර්තාද ඉදිරිපත් කරන ලදී. මෙයින් පෙන්නුම් කලේ ටෙලිනිස සමග ඇතිවූ සාකච්ඡා ගැන මණ්ඩලය විසින් සලකා බලා ඇත්තේ ඒවා ක්‍රියා කිරීමේ අදහසින් බවද, (පොදු වැඩ සටහන්) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් පූර්වදර්ශන මණ්ඩලය සඳහා යෝජිත නම් අඩංගු සන්දේශයක් යවා ඇති බවත්ය. එසේ වුවද, 98.03.26 දිනැති මෝෂමෙහි සඳහන්ව තිබුනේ එම විෂයයන්ට අදාල වාර්තා නොතිබෙන බවයි. තෝරා ගැනීම සම්බන්ධයෙන් නිර්නායකයන් පැනවීම මණ්ඩලයේ සැලකිල්ලට භාජනය වෙමින් පවතින බවද, මේ වන විට ඒවා අවසන් කර ඇති බව අනුමාන කල හැකි බවද ඒවායින් පෙන්නුම් කර ඇත.

96.10.12 දිනැති 8 වන වගඋත්තරකරුගේ වාර්තාව කිසිම දිනක හෝ මණ්ඩලය විසින් සලකා බැලූ බව තහවුරු කිරීම උදෙසා මණ්ඩල වාර්තා ඉදිරිපත් කර නොමැත.

පෙත්සම්කරුගේ ටෙලිචිත්‍රපටිය සමාලෝචනය කිරීම ගැන, අමාත්‍යාංශයේ යෝජනා, වගඋත්තරකරුවන්ගේ අධියාචන හා ලේඛණ ඉදිරිපත් කිරීම සඳහා මෙම අධිකරණයේ නියෝගය සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරු හා එහි අධ්‍යක්ෂකවරු හා නිලධාරීන් සම්පූර්ණයෙන්ම හා නිරවද්‍ය ලෙස කරුණු එළිදරව් කිරීමට අසමත් වීම නිසා අදාල කරුණු සම්බන්ධයෙන් විස්තරාත්මක සඳහනක් කිරීම අවශ්‍යවේ; තවද, අධිකරනය විසින් උචිත පූර්වානුමිතිවලට එළඹෙන බව පැහැදිලි වන තෙක් කරුණු අවනිදේශනය කිරීම හා ලේඛණ යටපත් කිරීම ඔවුහු දිගටම කරගෙන ගියහ. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලය වූයේ මෙම නඩුකරයේ කටයුතු දිග්ගැස්සීම හා වියදම් වැඩිවීමය. වගඋත්තරකරුවන්ගේ ලියාපදිංචි නීති උපදේශකවරයා නිසි සැලකිල්ල හා සම්ප්‍රජන්‍යතාවය යෙදුවේද යන ප්‍රශ්ණයද පැන නගී. උදාහරණයක් වශයෙන්, කැඳවා තිබුන බොහෝ ලේඛණ කිසිම දිනක තිබුන ඒවා නොවන බවට අධිකරණය නොමග යවන සුළු පිරිසැරුම් ප්‍රකාශ කිරීමට පෙර අවම වශයෙන් වාර්තා පොත් ගෙන්වා පරීක්ෂා කිරීමට තිබුණි.

ටෙලිනිස සමග ගිවිසුමක් තිබුන බව; මණ්ඩලය විසින් එය සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කල බව; එම ගිවිසුම හා මණ්ඩලය විසින් ස්ථාපිත කර ඇති ක්‍රමවේදය ප්‍රකාර “උසස් අභියාචන මණ්ඩලය“ මණ්ඩලය විසින් නම් කරනු ලබන පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත විය යුතුවූ බව; එයින් දෙදෙනෙක් 95.11. 17 අනුමත කරන ලද මණ්ඩලයෙන් විය යුතු බව; 96.02.27 දින මණ්ඩලය ව්‍යාප්ත කිරීම නිසි දෙයක් බව උපකල්පනය කලද, ටෙලිනිස සමග ඇතිවූ ගිවිසුමේ හරය වී ඇත්තේ අවම වශයෙන් එක් අයෙක් හෝ නාමයෝජිතයින් අතරින් විය යුතු බව; එම ගිවිසුම රහසින් කර ඇරීම මණ්ඩලයට කල නොහැකි බව; සහ මණ්ඩලය හැර වෙනත් අයෙකු විසින් නම්කර තිබූ බැවින්, ද්විපුද්ගල මණ්ඩපය කුමන අයුරකින් හෝ නිසි පරිදි ස්ථාපිතව නොතිබුන බව මම තීරණය කරමි. පූර්වදර්ශන මණ්ඩලයේ හා අභියාචන මණ්ඩලයේ සාමාජිකයන් නිසි අයුරින් පත්කර ඇති බව පෙන්වීමටද වගඋත්තරකරුවන් විසින් අසමත්ව ඇත. මෙලෙස, සියළුම ක්‍රමවේදයිත සුරැකිතාවයන් සැලකිල්ලට ගෙන නොමැත. තවද, 95.11.17 දින තීරණයට සහභාගී වුවද, 8 වන වගඋත්තරකරු (සභාපති) හා 5 වන, 7 වන, 9 වන හා 12 වන වගඋත්තරකරුවන් ඔවුන්ගේම පිළිගත් ක්‍රමවේදය උල්ලංඝණය කිරීම අනුඥානුමත කර ඇතිවා පමණක් නොව, අදාල ටෙලිචිත්‍රපටිය ඔවුන් විසින්ම උද්දේශිතව සමාලෝචනය කිරීම තුලින් “උසස් අභියාචන මණ්ඩලයේ“ ස්වාධීන කාර්ය භාරයන් පැහැර ගෙන තිබේ. තවද, තමන්ගේම රීති උල්ලංඝණය කිරීමට වැඩිමනත් වශයෙන් මණ්ඩලයේ කටයුතු කෙලෙසන, පැහැදිලි කර නොමැති කාරණා තිබේ : පැහැදිලි කිරීමකින් තොරව 5 වන වගඋත්තරකරු සිය මතය වෙනස් කිරීම තුලින් සිය සහෘදයන්ගේ මාර්ගයට අවතීර්ණ වීම සහ ලේකම් විසින් පෙත්සම්කරු වෙත යවා තිබුන මණ්ඩලයේ තීරණය 96.10.12 දිනැති 8 වන වගඋත්තරකරුගේ සන්නිවේදනයට වෙනස් වීම.

මෙම නඩුවේ ගැ‍ටළුව වනුයේ, කල්ඇතිව පනවා තිබුන පැහැදිලි හා නිශ්චිත මාර්ගෝපදේශ හා නිර්නායකයන් මත රූපවාහිනියේ විකාශනය කිරීම සඳහා ටෙලිචිත්‍රපටි තොරා ගැනීම පිණිසවූ සාධාරණ හා විෂයමූල ක්‍රමවේදයක ආරක්ෂාවක හිමිකම, 121 (1) වගන්තිය ප්‍රකාරව පෙත්සම්කරුට තිබේද යන්නයි. හුදෙක්ම මූල්‍යමය දෘෂ්ඨි කෝනයකින් බැලූකල, සිය චිත්‍රපටි රූපවාහිනියේ විකාශනය නොකරනුයේ නම්, චිත්‍රපටි නිෂ්පාදනය කරන අයට බරපතල පාඩුවක අවදානම තිබේ. මෙයට බාහිරව, සංස්කෘතික හෝ කලාත්මක දෘෂ්ඨි කෝනයකින් බැලූකල, යෝග්‍ය චිත්‍රපටි රූපවාහිනියේ විකාශනය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිෂ්පාදක ප්‍රෙක්ෂක යන දෙපාර්ශ්වයටම අගතිගාමීවේ. ක්‍රමවේදය හා නිර්නායක සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵලය වන්නේ නීතියේ සමාන ආරක්ෂාව ප්‍රතිෂේධනය වීමේ නැඹුරුවයි.

1 වන වගඋත්තරකරු සතුව තිබෙන ස්ථාපිත බලතල, බොහෝ ස්ථාපිත බලතල මෙන්, පරම, නිර්බාධිත හෝ සමාලෝචනයට ලක්කල හැකි එවා නොවේ; ඒවා බලපැවැත්වෙන්නේ මහජනයාගේ සුභ සිද්ධිය තකා භාරයක් වශයෙනි; තවද, ඒවා අත්තනෝමතික, චංචල හෝ අසාධාරණ අයුරින් යොදාගත නොහැක. රූපවාහිනී විකාශනය හා ගුවන් විදුලි විකාශනය සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරු වැනි සථාපිත ආයතනයක් සතු බලතල, මුද්‍රිත මාධ්‍ය වැනි වෙනත් මාධ්‍යවලට වඩා විශාලතර වන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි විකාශනය සඳහා තිබෙන සංඛ්‍යාත කෙතරම් සීමිතද කිවහොත්, ඒවා මත මෙහෙයවීමේ වරප්‍රසාදය දිය හැක්කේ පුද්ගලයින් අල්ප දෙනෙකුට පමනක් වන අතර, එම වරප්‍රසාදය සතු අය මහජනයාගේ අයිතිවාසිකම් හා ලබැඳියාවන් කෙරෙහි සංවේදී වීමේ විශාලතර බැඳියාවකට යටත්ය. ගුවන් තරංග මහජන දේපලක් වන අතර, ඒවා මහජනයාගේ සුභසිද්ධිය උදෙසා උපයෝගී කරගනු ලබන බව තහවුරු කර ගැනීමට රජය බැඳී සිටී. ප්‍රනාන්දු එරෙහිව ශ්‍රීලංගුවි සංස්ථාව(3) නඩුවේදී මවිසින් උපුටා දක්වන ලද Red Lion Broadcasting Co.v. FCC(1) හා Secretary, Ministry of lnformation v. Cricket Association of Bengal(2) යන නඩු දෙකම සමග සසඳා බලන්න. Cricket Association of Bengal නඩුවේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම රජයට මෙසේ විධානය කර තිබේ: “ගුවන් තරංග පාවිච්චි කිරීම පාලනය කිරීමට හා නියාමනය කිරීමට සමාජයේ සියළුම කොටස් හා ලබැඳියන් නියෝජනය වන ස්වාධීන ස්වයං පාලිත අධිකාරියක් පිහිටුවීමට වහාම පියවර ගැනීම“

1 වන වගඋත්තරකරු (හා එහි අධ්‍යක්ෂකවරු හා නිලධාරීන්) වෙත ගුවන් තරංග ඔස්සේ විකාශනය කිරීම සම්බන්ධයෙන් පවරා තිබෙන බලතල දරා තිබෙන්නේ මහජනයා වෙනුවෙන් භාරයක් වශයෙන් බව, ඒවා ක්‍රියාත්මක කල යුතුව තිබුනේ මහජන සුභසිද්ධිය සඳහා බව සහ, එය වෙත ඉදිරිපත් කරන ටෙලිචිත්‍රපටියක් විකාශනය සඳහා යෝග්‍යද යන්න හා, එසේ නම් විකාශනය කරනු ලබන වේලාවද නිර්නය කිරීම සඳහා සාධාරණ හා විෂයමූල ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට මෙම කාර්යය සඳහා එය බැඳීසිටි බවද, තීරණය කරමි. මෙම බැඳියාව බරපතල අයුරින් උල්ලංඝණය වී තිබේ.

12 (1) වගන්තිය යටතේ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් 1 වන, 2 වන, 5 වන, 7 වන,8 වන,9 වන හා 12 වන වගඋත්තරකරුවන් විසින් උල්ලංඝණය කර ඇති බවට තීරණ ප්‍රකාශයක් ඔහුට ප්‍රදානය කරමි; “මකර විජිතය“ සම්බන්ධයෙන් 1 වන වගඋත්තරකරුගේ මණ්ඩලයේ තීරණය නිශ්ප්‍රභ කරමි; තවද, පෙත්සම්කරුගෙන් කිසිම වැඩිමනත් ගාස්තුවක් අය නොකර, අද දින සිට එක් මාසයක් ඇතුලත, 95.11. 17 දින මණ්ඩල තීරණය අනුව සංශෝධණය කරන ලද (පෙත්සම්කරුගේ අභියාචනය අවස්ථාවේදී බලාත්මකව තිබුන තීරණයන් වන) 95.08.18 දිනැති මණ්ඩල තීරණය ප්‍රකාරව ස්ථාපිත “උසස් අභියාචන මණ්ඩලය“ විසින් අදාල නිර්නායක නිශ්චිත කිරීමෙන් පසු, එම ටෙලිචිත්‍රපටිය අවසාන සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස, මම 1 වන වගඋත්තරකරුට විධානය කරමි.

14 (1) (අ) වගන්තියද කඩකර තිබෙන බව පෙත්සම්කරු කියාපායි. අද දින අප විසින් නිකුත් කරනු ලබන නියෝගය අනුව එම ආයාචනය සලකා බැලීම අනවශ්‍යවී ඇත. කෙසේ වුවත්, සිය ටෙලිචිත්‍රපටිය අනිකුත් රූපවාහිනී නාලිකාවලින් එකක් මගින් විකාශනය කරවා ගැනීමට පෙත්සම්කරුට හැකියාව තිබුන අතර, එක් ටෙලිචිත්‍රපටියක් සඳහා ජනප්‍රියම වේලාව වෙන් කිරීම 1 වන වගඋත්තරකරු විසින් ප්‍රතික්ෂේප කිරීමෙන්, අනාගත ටෙලිචිත්‍රපටිවලටද එම සැලකිල්ලම ලැබේයයි අදහස් නොකෙරේ.

වෙනත් සහන පිළිබඳ ප්‍රශ්ණය ගැන මම උත්සුකව සැලකිලිවත් වුනෙමි. (අ) 96.10.14 දිනැති බැංකුවේ ලිපිය අනුව වාර්ෂිකව 24% ක පොලියක් අඛණ්ඩව උපචිතවන මහජන බැංකුවෙන් රු.2,145,000/= ක මුදලක් ලබාගෙන තිබීම නිසා පැහැදිලිවම පෙත්සම්කරු සැලකිය යුතු මූල්‍යමය පාඩුවකින් පීඩා විඳ ඇත. එම පාඩුව තවත් උග්‍රවී ඇත්තේ ඔහුගේ අභියාචන ගැන ක්‍රියා කිරීමට හා ඇමතිවරයාගේ යෝජනා කඩිනම්ව සලකා බැලීමට වගඋත්තරකරුවන්ගේ ප්‍රමාදයයි. එපමනක් නොව, ඔවුන්ගේ අසතුටුදායක අධියාචන හා ලේඛණ ඉදිරිපත් කරන ලෙස මෙම අධිකරණය දුන් නියෝගයට ඔවුන්ගේ වංක ප්‍රතිචාරයද හේතුවකි. එලෙස, 1996 පෙබරවාරි මස ඔහුට ලැබිය යුතුව තිබුන අවසාන තීරණය 1998 ජූලි මස, එනම්, මාස 28 කට පසු ඔහුට ලැබෙනු ඇත. ඒ සමගම, සිය අධියාචන සංශෝධනය කිරීම පිණිස පෙත්සම්කරු මාස හයකට අධික කාලයක් මිඩංගු කර තිබේ. මාස 20 ක ප්‍රමාදය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට වගකීම පැවරීම සාධාරණයයි මම සිතමි. (ආ) ඒ සමගම, ජනප්‍රිය වේලාවෙන් බාහිර වේලාවන් තුලදී මෙම ටෙලිචිත්‍රපටිය විකාශනය කරනු ලැබුවේ නම්, පෙත්සම්කරුට සිය පාඩුව අඩුකර ගතහැකිව තිබුන මුත්, ලබාගත හැකි වේලා තීරුව සම්බන්ධයෙන් ඔහුගේ විපරමට පිළිතුරු නොදීමෙන් වගඋත්තරකරුවන් විසින් ඔහුට එම අවස්ථාව ප්‍රතිෂේධනය කර තිබේ. (ඇ) තවද, ඉහත දක්වා ඇති පරිදි අදාල කඩකිරීම් හිතාමතා නොකල දෙයක් නොවන බව වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය පෙන්වයි. සලකා බැලීමට ප්‍රමාණවත් කාලයක් තිබියදීත් ඔවුන්ගේම රීති පසෙකට දමා සාටෝප ලෙස ක්‍රියාකර ඇත. එම නිසා වන්දි මුදල වැඩිකිරීම අවශ්‍යවේ. (ඈ) අනිත් අතට, අදාල ටෙලිචිත්‍රපටිය නිසියාකාරව සමාලෝචනයට භාජනය වූයේ නම්, නිශ්චිතව හෝ සමහර විට ජනප්‍රිය වේලාවන් තුලදී පවා විකාශනය කිරීම සඳහා එයට අනුමැතිය ලැබීමේ හැකියාවක් තිබුන බව අපට උපකල්පනය කල නොහැක‍: එය හුදෙක්ම සිදුවිය හැක්කක් මිස වෙන කිසිවක් නොවේ. එසේ වුවද, සාධාරණ ක්‍රමවේදයක් මගින් නීතියේ සමාන ආරක්ෂාවට පෙත්සම්කරුට තිබෙන අයිතිය කඩවී ඇත. (ඉ) එම ටෙලිචිත්‍රපටිය විකාශනය සඳහා මනා තත්වයක තවම තිබෙන බව හා එය කල්ඉකුත් වී නොමැති බව පෙත්සම්කරුගේ උගත් නීතිඥයා ප්‍රකාශ කලේය. එම නිසා, උපචිත වන පොලිය සැලකිල්ලට ගතයුතු වුවද, එම ටෙලිචිත්‍රපටිය නිෂ්පාදනය කිරීමට ගිය පිරිවැය සැලකිල්ලට ගතයුතුයයි මම නොසිතමි.

සියළුම කරුණු සැලකිල්ලට ගනිමින්, ප්‍රමාද වුවහොත් වාර්ෂිකව 24% බැගින් ගණනය කල වැඩිමනත් පොලියත් සමග 1 වන වගඋත්තරකරු විසින් 98.06.30 දිනට හෝ එයට පෙර ගෙවිය යුතු රු.1,000,000/-ක මුදලක් සාධාරණ වන්දියක් වශයෙන් මම පෙත්සම්කරුට ප්‍රදානය කරමි.

නඩු ගාස්තු ගැන බැලූ කල, කඩකිරීමෙන් කෙළවර වී ඇත්තේ හා මෙම නඩුවේ වියදම් හා ප්‍රමාදයන්ට දායක වි ඇත්තේ 2 වන, 5 වන, 7 වන,8 වන,9 වන හා 12 වන වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපයයි. අන් අයට වඩා, දෝෂාරෝපිතව ඇත්තේ 2 වන හා 8 වන වගඋත්තරකරුවන්ය. එම නිසා, එක් අයෙක් රු.7,500/= බැගින් වූ මුදලක් පෞද්ගලිකවම 2 වන හා 8 වන වගඋත්තරකරුවන් විසින්ද, එක් අයෙක් රු.2,500/= බැගින් වූ මුදලක් පෞද්ගලිකවම 5 වන, 7 වන,9 වන හා 12 වන වගඋත්තරකරුවන් විසින්ද, ගාස්තු වශයෙන් පෙත්සම්කරුට ගෙවන ලෙස මම නියෝග කරමි. එපරිද්දෙන්, පෙත්සම්කරුට නඩු ගාස්තු වශයෙන් මුලුමනින් රු.25,000/= ක මුදලක් ලැබෙනු ඇත.

ජනප්‍රියම වේලාව තුලදී හා ඉන් පිටත රූපවාහිනී විකාශනය සඳහා ටෙලිචිත්‍රපටි තෝරා ගැනීම උදෙසා වූ ක්‍රමවේදය හා නිර්නායකයන් ගැන, අදාල පරිදි විවිධ වර්ගයේ ටෙලිචිත්‍රපටි සම්බන්ධයෙන් ප්‍රභේදනය කරමින්, ස්වකීය රූපවාහිනී නාලිකාව මගින්, භාෂා තුනෙන්ම ප්‍රචාරය ලබා දෙන ලෙස මම වැඩිමනත් වශයෙන් 1 වන වගඋත්තරකරුට විධානය කරමි; 1998 ජූලි සිට දෙසැම්බර් දක්වා අවම වශයෙන් මසකට වරක් හෝ පව 7.00 හා 9.00 අතර පහසු වේලාවක් තුලදීද, ඉන් අනතුරුව ක්‍රමවේදය හෝ නිර්නායක සංශෝධනය වන සෑම අවස්ථාවකදීම 1 වන වගඋත්තරකරු විසින් සම්පූර්ණ විස්තර විකාශනය කල යුතුයි.

විනිශ්චයකාර වඩුගොඩපිටිය - මම එකඟ වෙමි. විනිශ්චයකාර ගුණවර්ධණ - මම එකඟ වෙමි.

සහන ප්‍රදානය කරණ ලදී.