ලාංකීය සිත්තර සමාජය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ලාංකීය සිත්තර සමාජය යනු ඉපැරැණි ලංකාවේ ජීවත්වූ පලපුරුදු හා විශිෂ්ට චිත්‍රශිල්පී සමාජයයි.

මල් පුජාව.jpg

ලාංකේය සිත්තර සමාජය පිළිබඳ පුරාතන යුගයේ පටන් අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රයන් හි තොරතුරු සඳහන් වේ.සිතුල්පව්ව අභිලේඛනය තුළ වඩ්ඪක හා වඩ්ඪකී ලෙසින් ද පෙරියකටු ලිපියෙන් කැටයම් කරුවන් පිළිබඳ සඳහන් වීමක්ද විලච්චියේ කොරළයේ බිල්ලවගලින් චිත්‍ර ශිල්පියෙකු පිළිබඳව තොරතුරුද හෙළි වේ.

මධ්‍යතන යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ අතර ද සිතුවම් කලාව හා චිත්‍රශිල්පීන් පිළිබඳව යම් යම් තොරතුරු ඇතුළත්ය.සද්ධර්මරත්නාවලිය,පූජාවලිය, චූලවංසය, නිකාය සංග්‍රහය, සද්ධර්මාලංකාරය, මයුර සංදේශය හා තිසර සංදේශය ඒ අතර ප්‍රමුඛ වෙයි.

පෙර සඳහන් කළ පරිදි මහනුවර යුගය වන විට සිතුවම් කලාවේ නව නැඹුරුතාවක් දක්නට ලැබේ. සම්භාව්‍ය සම්ප්‍රදායයෙන් චූල සම්ප්‍රදායයට පරිවර්තනය වීමේ අවධිය ලෙස මෙම යුගය හැදින්විය හැකිය.එය එක් අංශයකින් ජන කලා විශේෂාංගයක් ලෙස සාමාන්‍යකරණය වීම සමග රාජධානිය පැතිරුණු ප්‍රදේශයෙන් පිට පවා ශිල්පීන් සිටි බවත් ඔවුන් විහාරාරාම සිතුවම් කළ බවත් මේ යුගයේ අභිලේඛන හා සාහිත්‍ය මූලාශ්‍ර ඔස්සේ පෙනී යයි.

මහනුවර යුගයේ අභිලේඛන හා වෙනත් මූලාශ්‍ර මඟින් හෙළි වන සිත්තර සමාජය[සංස්කරණය]

මහනුවර යුගයට අයත් ලංකාතිලක ශිලා ලිපිය, ලංකාතිලක තඹ සන්නස, ගඩලාදෙනි ශිලා ලිපිය, මඩවල ගිරිලිපිය, දෙගල්දොරුව සන්නස, දඹුලූ විහාර තුඩපත, මැටියගනේ සන්නස, මැදවල විහාර තඹසන්නස, මැදවල විහාර පිං වට්ටෝරුව තුළින් මහනුවර යුගයේ සිතුවම් කලාව සම්බන්ධ සිත්තරුන්, එකී සිත්තරුන් උදෙසා දුන් වරප්‍රසාද හා දීමනා පිළිබඳවත්, සිතුවම් කර්මාන්තය උදෙසා අනුග්‍රහකත්වය ලබාදුන් රජුන්, ප්‍රභූන් පිළිබඳවත් බොහෝ තොරතුරු හෙළි වේ.

ගංඟාරාම විහාර සෙල් ලිපියෙහි උදාරතර පූජෝත්සවයෙන් එහි නැඟ කොත් මිලියනය කොට චිත්‍රකාරාදීන්ට දුනමනා විඥානක අවිඥානක වස්තු ප්‍රදානයෙන් සිත් සතුටු කරවා ලෙසින් ශිල්පීන් සඳහා ලබා දුන් වරාප්‍රසාදයන් පිළිබඳව දැක්වේ. මෙයින් චිත්‍රකාරාදීන් සඳහා සෑහෙන තරමේ සමාජ තත්ත්වයක් පැවති බව පෙන්නුම් කෙරේ. එමෙන්ම ප්‍රභූ ජනයාගේ අනුග්‍රහය මත සිතුවම් ගොඩනැගුණාය යන මතයද මේ ඔස්සේ යම්තාක් දුරට ස්ථාපනය වෙයි.

සාහිත්‍යම මුලාශ්‍ර වන චූලවංසය,දළ වංසය,විදුරජාතක කතාව,මන්දාරම් පුවත, සුළු රාජාවලිය, නීලකොබෝ සන්දේශය, ගණදෙවි හෑල්ල ආදියේ මහනුවර යුගයට අයත් සිතුවම්කරණයන්, එකී ක්‍රියාවලිය සිදු වූ ආකාරයත්, සිත්තරුන්ගේ දායකත්වයත් ඒ සඳහා පෙරළා ඔවුන්ට පුද පඩුරු ලැබීම් ආදියත් පිළිබඳව තොරතුරු සඳහන් වේ. ගණදෙවි හෑල්ලෙ හි තරුණ ගණේෂට මාළිගයක් සෑදීම පිළිබඳව මෙසේ සදහන් වේ. බිත්ති මැටි පදලමින් සුනු පදනම්ලා ඔසින් මකර රුව හංසයින් ගවර දිවි සිංහයන් මොනරු හා ගිරවුනුත් කොඛෙයියන් හා කුකුළනුත් පරවි සොඳ කොවුලනුත් ඇඳ බිත්ති වල මෙසින් සිත්තරකු ගෙන්වනා ආසනේ තබමිනා උඩු වියන් බඳිමිනා වටතිරද අඳිමිනා

ගණේෂට සෑදූනු මාළිගයෙහි ඇඳි සිතුවම් පිළිබඳවත් එසේ සිතුවම් ඇදීම උදෙසා සිත්තරාට කරනු ලැබූ ඇගයීම්ද මෙයින් පසක් වේ. නීලකොබෝ සෙඳස ද සිතුවම් පිළිබඳ මෙසේ දෙස් දෙයි.

ඛෙලෙන් සුරා වූ විස්කම් පුර වැද අසල කලෙන් සුරානේ සිග වග සිතුවම් නුදුල පලෙන් සිරි කදුරු රුක වෙත හිඳ නොසෙල පොළොන්නරු වෙලෙස සැදි අම්බලම බල

පල බර කදුරු රුක මත හිඳ විස්කම් දෙවි පුතුගේ බලයෙන් නිම කළ ලෙස පෙනෙන චිත්‍ර කර්මාන්තයෙන් යුතු පොළොන්නරු වෙලේ අම්බලමේ සිතුවම් දකින ලෙසින් කරන ආරාධනයක් මෙහි වෙයි. සිතුවම්කරණයන් හි ස්ථාන ගත වීම පිළිබඳව අනාවරණයක් ද මෙහි වෙයි.

අනෙකුත් මූලාශ්‍ර ඔස්සේ විහාරාරාම හා දේවාලයන් හි සිතුවම් පිළිබඳව දැක්වෙතත් නීලකොබෝ සදෙස අම්බලමක ඇඳ තිබූ සිතුවම් පිළිබඳව තොරතුරක් සපයයි.අම්බලමක තුළ පවා විස්කම් දෙවි පුතු බලයෙන් නිම කල ලෙසින් පෙනෙන තරමට අලංකාරික සිතුවම් කරණයක් පැවතියේ නම් එකල සිතුවම් කලාව කෙරෙහි පැවති නැඹුරුතාවයෙහි තරම එයින් වටහා ගැනීමට පුළුවන.

සුළු රාජාවලියෙන් චිත්‍රකාරාදීන්ට හස්ති රත්න පණහක දී බරපැන් දී ඔවුන් සතුටු කරවා ලෙසින් දක්වා තිබීමෙන් එවකට සිත්තරුන් වෙත ශිල්පකර්ම උදෙසා ලබා දුන් වරප්‍රසාදයන් පෙන්නුම් කෙරේ.මෙලෙසින් සිතුවම් කරුවන්ට පුදපඩුරු නොමසුරු ලෙස දීමට තරම් තදනන්තර අනුග්‍රහකයින් තුළ පැවති සිතුවිල්ල හුදෙක් එම සිතුවම් කෙරෙහි පැවති පැහැදීම ද ඔවුන්ගේ කලා රසඥතාවයේ මනෝහර බවද යන්න විමසිය යුතු වේ.

අනුග්‍රහකයින් පිළිබඳව අතීත කථාවන් හැදෑරීමේදී මහනුවර යුගයද පුරාණ භාවිතයන් එලෙසම පවත්වාගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වේ.

මේ යුගය වන විට ආරාම සෑදීම සඳහා මූලිකත්වය ගන්නා ලද රජුන් ප්‍රභූන් හෝ අනෙකුත් පුද්ගලයින් පින් රැස්කර ගැනීමේ අභිලාශයෙන් කරන ලද පින්කම් හි නියම පින ලබා ගැනීමේ අටියෙන් කටයුතු කළ බැව් පෙනේ.එසේ නියම පින ලබා ගැනීමට නම් ශ්‍රමය සඳහා නිසි වැටුප් සියලූ කාර්මිකයන් වෙත ලබා දී සිත් සතුටු කළ යුතුය.කාර්යය සඳහා යන වියදමද නොදරයි නම් පිනේ නියම ඵලය නොලැබේය යන විශ්වාසය ඔවුන් තුළ තිබුණු බැව් පෙනේ.

පින් ලබා ගැනීමේ අරමුණින් වූවද මෙලෙස දීමනා හා වරප්‍රසාද ලබා දෙමින් සිත්තරුන් දිරිමත් කරවීම සිතුවම් කර්මාන්තය උදෙසා ශිල්පී ඒකරාශී වීමටත්,එම කාර්යයෙහි තත්පර වීමටත් සහ තවදුරටත් ශිල්පය ප්‍රගුණ කර වීමටත් අභිප්‍රේරණයක් විය.එයින් කිසි විටෙක සිත්තරුන් පුද පඩුරු උදෙසා සිය ශිල්පය ප්‍රගුණ කළ බව නොකියවේ.


වියන් චිත්‍ර.jpg

මහනුවර සම්ප්‍රදායේ සිත්තරු[සංස්කරණය]

සිත්තරුන් අයත් වූයේ නවන්දන්න කුලයටය.ජනවංසය මේ කුලයේ ප්‍රභේද දෙකක් දක්වයි.ඒ එක් ප්‍රභේදයක් සිත්තරුන්ය.මොවුන් කඹුරන් ලෙස හැදුවනු ලැබු අතර ඔවුන් ඉන්දියානු වෙරළින් ගෙන එන ලද කාර්මිකයින් බවට විශ්වාසයක් පවතී.නවන්දන්න කුලයේ ඉහළ පැලැන්තියට සිත්තරුන් අයත් වූ අතර ගෘහ නිර්මාණ ශිල්පීන් රන් හා රිදී වැඩකරුවන්,පිත්තල වැඩ කරුවන්,ඇත් දත් හා දැව කැටයම් කරුවන් සමඟ සමානත්වයක් ගනු ලැබුවද වඩුවන් සමඟ සහභෝජනයක් නොවීය.

සිත්තරුන් ගල්ලද්දන් ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන ලදී.ගල්ලද්දන් ලෙස හැදින්වීම ගම්ලද්දන් යන්න සාමාන්‍ය ව්‍යවහාරයට පත් වීමේ ප්‍රතිඵලයක් වන්නට ඇත.මොවුහු දාසය හා දාහත් වන සියවස් වල වාසය කළ රඡ්දරුවන් විසින් ලංකාවට ගෙන්වා ගන්නා ලද පාණ්ඩ්‍ය හා වෙනත් ඉන්දියානු කාර්මික ශිල්පීහු බව රැල්ෆ් පීරිස්ගේ මතයයි.මේ පිළිබඳව සෝමතිලකගේ මතය වන්නේ පෙර සියවස් වල ඉන්දියාවෙන් ගෙන්වන ලද කාර්මිකයන්ද මේ යුගයේ සිටින්නට ඇති නමුත් ඒ පිළිබඳව නිවැරදි සාක්ෂි සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවයි.එමෙන්ම දේශිය කාර්මිකයන්ද සිය පරම්පරාවන් උසස් කොට දැක්වීම උදෙසා භාරතීය ආභාෂයන් හේතු විරහිතව ඈදා ගැනීමට උත්සහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවන්නට ඇත.

ඇතැම් සිත්තර පරම්පරාවන් දේවානම්පියතිස්ස තරම් ඈතට සබඳතාවයක් ඇති බවට ඔවුන් තුළ විශ්වාසයක් පවතී.මේවා යම්තාක් දුරට භාරතය මත ගොඩ නැගුණු යැපුම් මානසිකත්වයෙහි ප්‍රතිඵලයක් ලෙසින් දැක්වීමටද පුළුවන.

සිත්තර පදවි[සංස්කරණය]

සිත්තර පදවි අතර ශිල්පාචාර්යකු වීම ඉහළ තලයක පැවතුණි.ශිල්පාචාර්ය යනු පස්වැදෑරුම් ශිල්පයෙහි විශේෂ දස්කම් ලැබූවෙකු වෙයි.චිත්‍ර ශිල්පය, ගණිතය,නැකැත් ශාස්ත්‍රය,විචිත්‍ර කර්මාන්ත(කැයටම්)හා ආභරණ සෑදීමට නිපුණ ශිල්පීන් මේ සඳහා තෝරා ගැනුණි.වක දෙකකින් ආරම්භ කර තිරිඟ තලයෙන් අවසන් කරන මෙම පාඨමාලාව ඉතා සංකීර්ණය තුන්දන් වැඩ නම් ව්‍යාප්ත මෝස්තර ක්‍රමය නිරූඨ හැඩ අභ්‍යාස හා අතිරේක අධ්‍යාපනයෙන් කියවීම ලිවීම හා ගණිතය තුළින් ප්‍රමාණ සමික්ෂණයද හුරුවේ. බුද්ධරූප ලක්ෂණ හා පරිමාණ දැන ගැනීමට සාරිපුත්‍රය ද දේව ප්‍රතිරූප නිරූඨ සත්ත්ව රූප සඳහා රූපාවලිය ද සූසැට ආභරණ ලක්ෂණ හා දාගැබ් ආදියෙහි විස්තර දැනගැනීමට වෛජයන්තියද මෙම ශිල්පීන් අධ්‍යයනය කළ යුතු විය.ශිල්පාචාර්යයවරු මහනුවර යුගයේ රාජ්‍යය සම්මානලාභීහු වූහ.නළල් පටිය රජු විසින් පැළදීම ශිල්පීන් ලැබූ ඉහළතම ගෞරවය විය.මේ අතර රාජකීය ඇඳූම් පැළදුම් ප්‍රදානයද උසස්ම සම්මානයක් විය.ගංඟාරාම විහාරයේ වැඩ නිම කළ ශිල්පියාට රාජ වස්ත්‍රයක් කිර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් තෑගි කරන ලදී.

මේ අතර සිත්තරු ශිල්පීය ප්‍රගුණතාවය අනුව රජ වාසලට අනුයුක්තව කොට්ටල් බද්ද හා පට්ටල් හතර ලෙසින් ආයතනගතව සිටියහ.

කොට්ටල් බද්ද කාර්යාංශය[සංස්කරණය]

රජවාසලේ අවශ්‍යතාවයන් උදෙසා ඇති කරනු ලැබූ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේන්තු තුදුසක් විය.එහි සිත්තරු අයත් දෙපාර්තමේන්තුව කොට්ටල් බද්ද කාර්යාංශය විය.

නවන්දන්න කුලයට අයත් වූවන්ගෙන් සමන්විත වූ මෙම කාර්යාංශය මහනුවරට අයත් සෑම පළාතකම පිහිටුවා තිබුණි.මෙය පාලනය කරන ලද්දේ දිසාවන් හැර අන්පෙදෙස් රජු විසින් පත් කරන ලද කොට්ටල් බද්ද නිළමේ නම් නිලධාරී දෙදෙනෙකු විසිනි.දිසාව තම සහයට සාමාන්‍යයෙන් කාර්මික කුලවලට අයත් කොට්ටල් බද්දේ විදානේ කෙනෙකු පත් කර ගත් අතර බොහෝ විට සිත්තරු මෙම නිළයට පත් වූහ.කොට්ටල් බද්ද කාර්යංශය සඳහා සිත්තරු පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විය.

පට්ටල් හතරේ කාර්මිකයෝ[සංස්කරණය]

ඉහළ පැළැන්තියට අයත් (රන් හා රිදී වැඩකරුවෝ සිත්තරු ඇත්දත් කැටයම්කරුවෝ ආදීහු)කාර්මිකයන්ගෙන් රජු උදෙසා වැඩකරන්නාවුන් පරම්පරාගත උරුමවාසිකම් හිමිවන්නාවූත් අනෙකෙකුට ඇතුළත් විය නොහැකි පට්ටල් හතර නම් කාර්මික ශ්‍රේණියට අයත් වූහ. මෙකී පට්ටල් හතර මුලින් ආභරණ පට්ටලය ලෙසින් පමණක් තිබූ අතර පසුව එය රන් කඩු පට්ටලය,ඔටුනු පට්ටලය,ආභරණ පට්ටලය හා සිංහාසන පට්ටලය ලෙස සතරකට ඛෙදුණි. සිත්තරුන් අයත් වුයේ සිංහාසන පට්ටලයටය.එසේ වූවද ඇතැම් අවස්ථාවන් හී දී තමාට භාරදෙන කාර්ය අනුව කාර්මිකයන් එක් පට්ටලයකින් අනෙක් පට්ටලයට මාරු වූ බව පෙනේ.

පට්ටල් හතරේ ස්ථානයක් ගැනීම ප්‍රධාන කාර්මික පවුල් වල ප්‍රවේණියක් විය. සේවය සඳහා රජු විසින් ත්‍යාග ලෙස පිරිනමන ලද ඉඩම් ශිල්පීන් සතු විය. ශිල්පීන්ගේ දක්ෂතා මත නින්දගම් ලැබීම සිදු වූ අතර නවන්දන්ත කුලය ගොවිගම කුලයට පහත් වූවද අනෙක් පන්තියේ කුල අතර ඉහළින් පිහිටි කුලයක් විය.කලාකරුවන්ගේ දක්ෂතාවය මත පටබැඳි නාම ද ලබා දුණි.එය මූලාචාරී යන ගෞරව නාමයයි.කොට්ටල් බද්දේ සිත්තරු පට්ටල් සතරේ මූලාචාරීන් යටතේ සිටියහ.මොවුහු රටේ මිනිස්සු,පටබැන්දෝ ලෙස නම් කරනු ලැබූ අතර රජුට හා රජ පෙළපතට පමණක් පහළින් සිටියහ.විදානේවරු පවා සිටියේ මොවුනට පහළිනි.

සිත්තර පරම්පරා[සංස්කරණය]

කාර්මිකයන්ට භුක්තිය සඳහා ලබා දුන් නිලපංගු මගින් ඔවුන් ගේ සේවය තව දුරටත් ධෛර්යමත් කළ අතර මෙම දීමනාවන් පිළිබඳව සඳහන්ව ඇති තුඩපත්, සන්නස්, අභිලේඛන තුළින් එකල ප්‍රමුඛ සිත්තරුන් හා සිත්තර පරම්පරා පිළිබඳව තොරතුරු ඒකරාශි කර ගත හැකි වේ.

උල්ලූදුපිටියේ සිත්තර පරම්පරාව මහනුවර යුගයේ සිටි සිත්තර පරම්පරා අතර ප්‍රසිද්ධ එකකි. උල්ලූදුපිටියේ සිත්තර පවුල කොටස් දෙකකින් යුතු විය. කුඹුරේ ගෙදර හා වෙද ගෙදර වශයෙනි. උල්ලූදුපිටියේ සිත්තර පවුලේ ජනප්‍රියතම සිත්තරා රාජේශ්වර ශිල්පාචාරීවරයාය. ක්‍රි.ව 1593 පළමුවන විමලධර්මසූරිය රජු කාලයේ ඡේතවනාරාමයේ සිතුවම් සම්බන්ධයෙන් ඔහු සන්නසක් ලබාගෙන ඇත. කුළුගම්මන සිය පත්තුවේ උල්ලූදුපිටියේ පිහිටි ........ ඉඩමක් හා හේන් තුනක් කිසිදු අරෝවියවුලක් නැතිව භූක්ති විඳිනා සේ උල්ලූදුපිටියේ රාජේශ්වර සිත්තර ආචාරියාට දෙවා වදාරන ලදී.

තවද මාතලේ හුළංගමුවේ සින්තර රම්බඩ උන්නානේ තඹ සන්නසක් ප්‍රදානය ලෙස ලබාගෙන ඇත.ඔහු උල්ලූපිටියේ හා නිලගම පරම්පරා සමඟ සමීප ඥාති සබඳතාවක් හිමි අයෙක් විය.නිලගම සිත්තර පරම්රාව පිළිබඳව ඇත්තේද දීර්ඝ ඉතිහාසයකි.මහනුවර යුගයේ සිතුවම් අතර මූලිකත්වයක් දරණ දෙගල්දොරු විහාර සිතුවම් ඇඳීමේ කාර්යයෙහි ලා නිලගම පරපුරෙන් ආ පුද්ගලයෙකු ලෙස සැලකෙන නිලගම පටබන්දා මූලිකව කටයුතු කර ඇත. මෙම කාර්යයට කොස්වත්තේ හින්තර නයිදේ,දෙව්රගම්පල සිල්වත්තැන හා තවත් නම් සඳහන් නොවන ශිල්පීන් තිදෙනෙකු ද සහය දුන් බව සෝමතිලකගේ මතයයි. මෙහි සත්‍යතාව ඔප්පු කිරීමේ නොයෙකුත් දුෂ්කරතා පැවතිය ද සිත්තර කර්මාන්තයෙහි යෙදුනු ශිල්පීන් කණ්ඩායමක් සිටි බවත් ඔවුන් එක්ව කටයුතු කළ බව මින් පෙන්නුම් කෙරේ. මේ අතර නිලගම පරම්පරාව පිළිබඳව සෝමතිලක මෙසේ දක්වා සිටියි.

මහනුවර ගංඟාරාම සිතුවම් ඇඳීම සඳහා සහභාගී වී ඇත්තේ නිලගම අභරණ අප්පුය.නිලගම පරපුරේ බලවන්වල බෝධිනාරායක බුවනෙකබාහු නම් චිත්‍රිචාර්යෙකුට කීර්ති ශ්‍රී රාජසිංහ රජු තුඩපත් දීම පිළිබඳව තොරතුරු අනාවරණය වේ.මේ අනුව රාජකීය සම්මානයට පාත්‍රවූ සිත්තර පරම්පරාවක් ලෙස නිලගම සිත්තර පරම්පරාව දැක්විය හැකිය.

දහ අටවන සියවසේ අවසානභාගයේහි අති ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා දෙවරගම්පල සිල්වත්තැන විය.කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747 - 1781) යුගයේ දී දෙගල්දොරුව,රිදී විහාරය හා අන්‍ය විහාර වල සිතුවම් කළ ආචාරී කුලයට අයත් අනුසම්පන්න භික්ෂුවක් ලෙසින් ප්‍රසිද්ධියට පත් වූවෙකි.

මේ යුගයේ දී සියම් නිකාය පැවතුණු අතර ගොවිගම කුලයට අයත් නොවූවන් භික්ෂූන් ලෙස නොසලකන බැවින් ඔහු දෙවරගම්පල සිල්වත්තැන ලෙසින් හදුන්වන ලදී. හෙතෙම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අසල දෙවරගම්පල අසල ගමේ උපන් තැනැත්තේකු බව කියනු ලැබේ.හිරියාලේ නයිදේ, දේවේන්ද මූලාචාරී,කොස්වත්තේ සිත්තර නයිදේ,නිලගම පටබැන්දා,වෑත්තෑවේ හිමි හා කටුවන හිමි,දෙව්රගම්පල සිල්වන්තානගේ සමකාලීන ශිල්පීහු වෙති.

ප්‍රාදේශිය වශයෙන් ද සිත්තරුන් විසිරි සිටි බව මේ යුගයට අයත් ලේඛන මූලාශ්‍ර භාවිතයේ දී පෙනී යයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයට ආසන්න දනාගම දත්තසිංහ මූලාචාරීන්,ගොඩිගමුවේ හින්තර ගෙදර හා දේවනාරායන හිත්්තරගෙදර ප්‍රසිද්ධව පැවති අතර දේවනාරායන පෙළපත් භාවිතා කළ සිත්තර පවුල් අරණායක ප්‍රදේශයේ හබලක්කාව,දුල්දෙණිය ආදී ගම්හි ජීවත් වූහ.මහනුවර කිරිවවුලේ දේවනාරායක හිත්තර ගෙදර, යාලේගම හිත්තර ගෙදර,නිලවල දේවනාරායක හිත්තර ගෙදර ලෙසින් පවුල් ව්‍යාප්තව පැවතණි.

මහනුවර යුගයේ ශිල්පීන්ගේ නමෙහි අගට නයිදේ යන පදය එක් කර තිබේ.එය ඇතැම් විට ගෞරවාර්ථය දැක්වීම සඳහා යොදා ගත්තක් විය හැකිය. දෙල්දෙණියේ හිත්තර නයිදේ,කුඹේපිටියේ පටබැඳි විදානේ,බොධිරානායක චිත්‍රාචාරීන්ගේ කපුරු නයිදේ,හිරියාලේ නයිදේ,වඩුගොඩ විජේපාල මුහන්දිරම්ලාගේ නෙත්තා නයිදේ,කොස්වත්තේ හිත්තර නයිදේ මේ කාලයේ ප්‍රසිද්ධ ශිල්පීන් විය.සිත්තර පවුල් සඳහා දේශියන් පමණක් නොව දකුණු ඉන්දියානු සම්භවයක් ද පැවති බව පෙනේ.සෝමාරායන,පුෂ්පාරායන ආදී දමිළ නාම භාවිතය ද මේ කාලයේ ද්කනට ලැබේ.එසේම සිංහල නම් සඳහා දෙමළ නාමයන් ද මිශ්‍ර වීම දක්නට ලැබේ.පොන්න නයිදේ එලෙස භාවිත වූ නාමයකි.චිත්‍ර ශිල්පයෙහි නිමග්න වූව ද නිශ්චිත පරම්පරාවකට අයත් නොවන ශිල්පීන් ද මේ යුගයෙහි විය.නාගොල්ලේ හින්තර නයිදේ,මැදසියපත්තුවේ ඉඹුල්පිටියේ සිටි හිත්තර නයිදේ,කඩපල්ල කෝරළයේ හිත්තරේ,දඹව හිත්තරනයිදේ,උඩංගමුව වසමේ හපුවිද හිත්තර නයිදේ,ගන්නෝරුවේ හිත්තර මුදහම්දිරම් ආදීන් ඊට අයත් වූවෝ වෙති. මෙලෙස මහනුවර යුගය පාරම්පරිකව පැවතෙන කාර්මික ශිල්පීන්ගේ පවුල්වලින් ද එසේම පරපුරකට අයත් නොවන සිත්තරු ද වශයෙන් ඉතා පුළුල් ලෙසින් සිතුවම් ශිල්පීය විහිදී ගිය යුගයක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලාංකීය_සිත්තර_සමාජය&oldid=377262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි