ශ්‍රී වර්ධන
සයවන පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1412 සිට 1467 දක්වා අඛණ්ඩව රාජ්‍ය විචාලේ ඔහු තුළ තිබූ රාජ්‍ය තාන්ත්‍රික නුවණත් පින්මහිමයත් නිසාවෙනි. මේ රජුට දාඨාවංශ රන් මැණිකේ කීරවැල්ලේ යන නමින් අග්‍ර මහේශිකාවක් වූවාය. වැලන්ටයින් පවසන පරිදි කීරවැල්ල සීරිමාන්න අදිකාරම්ගේ දුවණිය වූ ඇය සහ ඇයගේ සොයුරියවූ ස්වර්ණවතී කුමරියද රජ වාසලේ ඇති දැඩි වූ බව සඳහන්ය. මේ කීරවැල්ලේ බිසව පිරිමි දරුවෙකු නොලබාම රෝගාතුරව මියගියේ තුරුණු වියේදීමය.ඇයට ප්‍රතිකාර කිරීමට මව්කිරි දුන් ගම අදත් කිරිගම් පමුණුව යන නමින් ප්‍රසිද්ධය. එසේම යාගහෝම කිරීම පිණිස බමුණන් ගෙන්වා නතර කර සිටි ගම හෝමාගම නමින්ද ප්‍රසිද්ධ වී ඇත.බිසව මිය යාම නිසා ද පිරිමි දරුවකු නොමැති වූ නිසාද රජුගෙන් පසුව ප්‍රතිරාජ තනතුරට සුදුස්සෙකු නොවීය. මහා සංඝරත්නය මේ පිළිබඳව කතිකා කොට ගෙන රජුට යළිත් බිසවක් යෝජනා කරන ලද්දේය. ඒ දඹදෙණි රජ පෙළපතිනි. දෙවන පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන අමාත්‍ය එසේම බෑණනුවන් වූ ප්‍රතිරාජ නොහොත් ශ්‍රීවර්ධන අමාත්‍යවරයාගේ සෙංකඩගල ශ්‍රීවර්ධනපුරය ගොඩ නැගූ) පරපුරේ කාන්තාවක් යයි සැළකෙන ඇය නමින් මධුරා නොහොත් මිහිරි දේවිය විය. රජු ඇයට බෙහෙවින්ම ආලය කළේය. දෙදෙනාගේ ප්‍රේමාලිංගන සිදු වූ ස්ථානය වර්තමාන මිරිහානයි. (මිහිරි යහන) මේ පින්වත් රජ කුමරියට පුත් කුමරෙක්ද උපන්නාය. ඔහු ද ශ්‍රීවර්ධන නමින් ප්‍රකට විය.රජ වාසලේ සිටි විදේශික බලවේග නියෝජනය කරන පිරිසගෙන් මධුරා බිසවට සිදුවූ වෙනස්කම් නිසා ඇය සිය පුත්‍රයා සමග තම පරපුරට උරුමකම් ඇති පස්යොදුන්කෝරළයට පැමිණ නවාතැන්ගත් බව ජනප්‍රවාදයේ සඳහන්ය. වැඩිවියට පත් ශ්‍රී වර්ධන කුමරුට සයවන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිරාජ තනතුර පිරිනමා පස්යොදුන් කෝරළයේ පාලනය බාර දුන්නේය. මේ නිසා මේ කුමරු කැකුළන්දොළ ශ්‍රීවර්ධන ප්‍රතිරාජ නොහොත් ප්‍රභූරාජ නමින් චිර ප්‍රසිද්ධ විය.