Jump to content

රුසියානු විප්ලවය

විකිපීඩියා වෙතින්

රුසියානු විප්ලවය යනු ලොව අසිරිමත්ව සිදුවු විප්ලවයකි. ලෙනින් පැවසු පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයහි කලාව බව පසක් කරමින් සමාජවාදි විප්ලවයක් මඟින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ඉතාලි ජාතික දාර්ශනිකයකු වු අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසුවේ රුසියානු විප්ලවය යනු කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියට එරෙහිව කල විප්ලවයක් බවයි. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව රුසියාව යනු විප්ලවයක් සිදු විය හැකි යැයි සිතිය හැකි රටක් නොවීය. කාල් මාක්ස් පවා සිතුවේ ජර්මනිය තුල සමාජවාදි විප්ලවයක් ඇති විය හැකි බවයි. එසේ වුවද 1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය. වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානුවිප්ලවය නිසා හැකි විය.

රුසියාවේ පැවති සමාජ,ආර්ථික,දේශපාලන පසුබිම

[සංස්කරණය]

වානිජ ආර්ථිකයත් සමඟම ජාතික රාජ්‍ය වශයෙන් බලවත්ව නැඟි සිටි එංගලන්තය,ප්‍රංශය ආදි යුරෝපයේ සෙසු රාජ්‍ය හා සම කරන විට රුසියාව දේශපාලන,සමාජ,ආර්ථික වශයෙන් ඉතා දුර්වල තත්වයක පැවති රටකි.මධ්‍යතන යුගයේ සිටම වරින් වර එල්ල වු ලිතුවේනියන්,පෝලිස්,මොන්ගලියන්,ටාටර්, ආදි ආක්‍රමණික බලවේග රුසියාව දුර්වල කිරීමෙහිලා බෙහෙවින් හේතු විය. එහි දේශපාලන,සමාජ,ආර්ථික ක්‍රමය තුල වැඩවසම් ලක්ෂණ මුල් බැස ගෙන පැවතුණි.ව්‍යවස්ථාදායක,විධායක,අධිකරණ,යුද්ධමය ආදි වශයෙන් රාජ්‍ය අධිකාරිය දුර්වලව පැවති අතර සෙසු ප්‍රදේශ වැඩවසම් රදල ප්‍රධානින්ගේ අණසක යටතේ පැවතුණි.කාර්මික සහ වානිජ අංශවල දියුණුවක් නොවීමත් විද්‍යාත්මක,තාක්ෂණික,සමාජ,සංස්කෘතික වශයෙන් පැවති බරපතල පසුගාමි බවත් මේ අවධියේ කැපී පෙණුන අනෙකුත් ලක්ෂණ විය. මෙවැනි තත්වයක් රුසියාවේ පැවතිය ද 19 වන සියවසට පා තබන විට පැවති තත්වයෙහි වෙනස්කම් සිදුවනු දක්නට ලැබෙයි.මේ සම්බන්ධයෙන් මුල් පියවර තැබු පාලකයන් අතර 18 වන සියවසේ රුසියාව පාලනය කල මහා පීටර් රජු (1682-1725)මහා කැතරින් රැජිණ ද (1762-1796)හැඳින්විය හැක. මොවුන්ගේ පාලන කාලවලදි රුසියාවට එල්ල වු සතුරු ආක්‍රමණ මර්දනය කොට රුසියාවේ බලප්‍රදේශ පුළුල් කෙරිණි.රාජ්‍යයේ මධ්‍යගත බලය ශක්තිමත් කොට පරිපාලනයේ අඩුපාඩු මඟ හරිමින් බටහිර රාජ්‍යවලට සමාන සමාජ නවීකරණයක් අත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් මහා පීටර් හා මහා කැතරින් ආදීන් විසින් අනුගමනය කරන්නට යෙදුණත් ඔවුනට හෝ ඔවුන් ගෙන් පසුව බලය ලබා ගත් පිරිසට හෝ සමාජයේ මුල් බැස තිබුණු පසුගාමිත්වයට හෝ සමාජ අර්බුද වලට හෝ විසඳුම් ලබා දීමට නොහැකි විය.18 වන සියවස මැද භාගයේ රුසියානු ජන සමාජය පුලුල් වීමත් හේතු කොට ගෙන සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජ වශයෙන් ද බලවත් විෂමතා වලින් යුක්ත වු අසමාන ජන කොටස් එක් කොට තබා ගනිමින් මේ සා විශාල රාජ්‍යයක් මෙහෙයවීම පහසු නොවීය.මේ තත්වය යටතේ සාර්වරු ක්‍රමයෙන් ඒකාධිපතීත්වයට යොමු වෙමින් ස්වාධීනව ක්‍රියා කල වැඩවසම් ප්‍රධානින් තමන්ට නතු කර ගත්හ.රුසියානු ගතානුගතික පල්ලිය රජුට අවනත සංවිධානයක් පමනක් විය.වැඩවසම් ධූරාවලියේම පිළිබිඹුවක් වු නමුදු යුධ හමුදාව මේ වන විට රජුට බෙහෙවින් පක්ෂපාති කර ගැනිමට සාර් පාලකයෝ සමත් වුහ.නොදියුණු ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වු රටේ ජන සංඛ්‍යාවෙන් 97% ක් පමණ වු දිළිදු ජනතාව දහසකුත් වධ බන්ධනයන්ට කොටු කර තමන්ට අවනත රදල පන්තියේ සුපරීක්ෂාව යටතට පත් කරන ලදි.

රුසියානු ගොවි සමාජය,ප්‍රවේණි දාසයන් ලෙස සියලුම මිනිස් අයිතින් ගෙන් තොරව රදලයන්ගේ පෞද්ගලික දේපලක් විය.මොවුන් ගෙන් කැමති අයුරින් වැඩ ගැනිමටද දඩුවම් කිරීමටද මුදලට විකිණීමටද හුවමාරු කර ගැනිමටද අයිතිය රදලයන්ට තිබුණි.රුසියාව මුහුණ දුන් සමාජ අර්බුදය මැනවින් පිළිබිඹු කල බරපතල ප්‍රශ්නය වුයේ ගොවි සමාජයේ තත්වයයි.ප්‍රවේණි දාසයන්ට නැති යම් යම් අයිතිවාසිකම් රජයට අයත් ගොවීන්ට තිබුණද ඔවුහුද බරපතල ලෙස සමාජ අසාධරණයටද පීඩනයටද ලක්ව සිටි අතර රුසියාව හැරුණු විට සෙසු යුරෝපා රාජ්‍යවල ග්‍රාමීය ගොවීන්ගේ තත්වය මීට වඩා යහපත් විය. රදලයෝ ද පුජකයෝ ද රටේ සම්පත් වලින් බහුතර ප්‍රමානයක් අයිති කර ගෙන සිටි අතර ප්‍රවේණි දාසයන් ඔවුන්ගේ දේපලක් ලෙස පරිහරණය කරන ලදහ.

සාමාන්‍ය ජනතාවගේ තත්වය මෙසේ වුවද රුසියාව තුල වානිජ කාර්මික යන අංශවල දියුණුවක් 19 සියවස තුල ඇතිවනු දක්නට ලැබිණි.මේ නිසා මේවා ආශ්‍රය කර ගෙන නාගරික කම්කරු පන්තියක් බිහිවිය.එංගලන්තය,ප්‍රංශය ආදි සෙසු යුරෝපා රාජ්‍යවල කාර්මික විප්ලවය සමඟ ඇති වු ආර්ථික වර්ධනයට සමාන කල නොහැකි වුවද රුසියාවේ ආර්ථික වර්ධනයේ විශේෂ ලක්ෂණ කිහිපයක් විය.කාර්මික විප්ලවයේ බලපෑම ප්‍රමාද වී හෝ රුසියාවට ලැබුණේ විදේශ ආයෝජනයේ ප්‍රතිඵලයක් වශයෙනි.එහෙයින් රුසියාවේ ආර්ථික දියුණුව රටේ අභ්‍යන්තරිකව ඇති වු සමස්ථ සමාජ ආර්ථක පරිවර්තනයේ ප්‍රතිඵලයක් නොවීය.

විප්ලවයට පසුබිම සකස් වීම සහ සාර් පාලකයන් ඇති කල ප්‍රතිසංස්කරණ.

[සංස්කරණය]

රුසියාවේ පැවති සමාජ දේශපාලන අර්බුද වලක්වා ගැනිමට තිබු එකම ක්‍රමය වුයේ පුලුල් සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි.මේ සඳහා මහා පීටර් රජුගේ කාලයේ සිටම රුසියානු රාජ්‍යයත් සමාජයත් නවීකරණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි.මොහු ගෙන් පසුව පලමු වන ඇලෙක්සැන්ඩර් හා දෙවන ඇලෙක්සැන්ඩර් යන සාර්වරුන් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන ලදි. මොවුන්ගේ පාලන කාලවලදි සාම්ප්‍රදායික ආකාරයටම පාලනය ගෙන ගිය අතර සමාජය පන්තිමය වශයෙන් බෙදීමකට ලක්කර ඉහල පන්තීන්ට වරප්‍රසාද ලබා දීමට කටයුතු කරන ලදි.1881 මාර්තු මාසයේ දෙවන ඇලෙක්සැන්ඩර් රජු ප්‍රවේණිදාස විමුක්ති පනත හඳුන්වා දීම මඟින් වහල් භාවයේ සිටි සිවු කෝටියකට අධික ප්‍රවේණි දාසයන්ට නිදහස ලබා දුන්හ.මෙයට ප්‍රධාන හේතුව වුයේ රුසියාවේ කාර්මීකරණය සමඟ වර්ධනය වු ධනේශ්වර ක්‍රමය එවකට පැවති වැඩවසම් සමාජ ආර්ථික සම්බන්ධතාවල පරිවර්තනයක් බලාපොරොත්තු වීමයි.ලිබරල් අදහස් දැරු මධ්‍යම පන්තික උගත්තුද රැඩිකල් අදහස් දැරු පිරිස්ද ප්‍රවේණිදාස ක්‍රමය වහා අහෝසි කරන ලෙස දිගින් දිගටම සාර් පාලකයන්ට බලකර සිටියහ.මේ අවධියේ රුසියානු සමාජ ක්‍රමය උග්‍ර විවේචනයට හසු කල පුෂ්කින්,ටර්ගිනිව්,ආදි ලේඛකයෝ ද ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධව ප්‍රබල හඩක් නැගූහ.රුසියාව මේ වන විට සම්බන්ධව සිටි ක්‍රිමියානු යුද්ධය විසින්ද සැලකිය යුතු බලපෑමක් කරන ලදි. දෙවන ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිසංස්කරණ කෙරෙහි පැවති බලාපොරොත්තු බිඳ වැටී රට පුරා සමාජ අසහනයද ආර්ථික පීඩනයද දැරිය නොහැකි ලෙස වර්ධනය විය.ගොවීන්ගේ තත්වයද ඉතාම කණගාටුදායක විය. මේ අවධියේ රුසියාවේ සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල පෙරමුණ ගත්තේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්,විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු රැඩිකල් සටන්කාමි අදහස් දැරු තරුණ පිරිස්ය.බටහිර විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබා පැමිණි මොවුන් විවිධ දේශපාලන චින්තනවල ආභාෂය ලබා නිදහස,අයිතිවාසිකම්,ව්‍යවස්ථානුකූල පාලන ක්‍රම කෙරෙහි පැහැදි ප්‍රතිසංස්කරණාත්මක අදහස් ක්‍රියාවට නැංවීමට උත්සහා කලහ.සාර් පාලනය විසින් දැඩි පාලන පිළිවෙත් අනුගමනය කල අතර මේවාට විරුද්ධව නැඟි සිටි පිරිස් දැඩි මර්දනයට හසු කරන ලදි.

රුසියාවේ සමාජවාදි ව්‍යාපාරය.

[සංස්කරණය]

තුන්වන ඇලෙක්සැන්ඩර්ගේ පාලන කාලය 1881-1894 කෲර ප්‍රජා පීඩනකාරි පාලනයක් ගෙන ගිය අතර දෙවන ඇලෙක්සැන්ඩර් ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරුණු අය සිරගත කිරීම හා ඝාතනය වීම සිදු විය.මොවුන් අතර ලෙනින්ගේ වැඩිමහල් සහෝදරයාද විය.මේ අවධිෙය් ප්‍රතිසංස්කරණාත්මක අදහස් දැරු අය ඉවත් කර උග්‍ර ප්‍රතිගාමී අදහස් දැරු අය ඉහල පාලන බලය ගෙන පීඩාකාරී පාලනයක් ගෙන යන ලදි. විප්ලවවාදි ව්‍යාපාර සමාජ විරෝධි ව්‍යාපාර ලෙස සලකා ඒවා මර්දනය කරන ලදි.මේ හේතූන් නිසා ජනතා අසහනය ක්‍රමයෙන් සාර් පාලනයට විරැද්ධව නැඟෙන චණ්ඩ මාරුතයක් බවට පත් විය. මේ පසුබිම මත සමාජවාදි ව්‍යාපාරය රුසියාවේ ආරම්භ වෙයි.රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දුන් මුල්ම පුද්ගලයා ප්ලෙකානොව්ය.1883 මොහුගේ නායකත්වයෙන් බිහි වු "ශ්‍රම විමුක්ති" කණ්ඩායම මුල්ම මාක්ස්වාදී කණ්ඩායම බවට පත් විය.ලෙනින්ගේ ගුරුවරයා වූයේද මොහුය.මාක්ස්වාදි අදහස් විශ්ව විද්‍යාල සිසුන් හා නාගරික කම්කරු පන්ති අතර ව්‍යාප්ත විය.න්‍යයායෙන් ද භාවිතයෙන් ද මොවුහු මීට කලින් සිටි සටන්කාමී වූ නැරොදිනික්වාදීන් ගෙන් වෙනස් විය.සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව සමාජවදය බිහිවීමේ පූර්ව කොන්දේසියක් වු ධනවාදය මුහුකුරා යාම රුසියාවේ සිදු වී නැතැයි කියු නැරොදිනික්වරු ගොවීන් මුල් කොට ගත් විප්ලවයක් කෙරේ විශ්වාසය තැබූහ.එහෙත් ඒ වන විටත් ධනවාදය බිහි වී ඇතැයි සඳහන් කල ප්ලෙකානොව් ලිබරල් බුද්ධිමතුන් ද කම්කරුවන් ද අතර ගොඩ නැඟෙන සන්ධානයකින් විප්ලවය ජය ගත යුතු යැයිපෙන්වා දුන්හ.ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ව්ලැඩිමියර් ඉඩිඩ් ලෙනින් රුසියාවේ දේශපාලන වේදිකාවට මේ අවධියේ ප්‍රවිශ්ට වෙයි. ලෙනින්ට සිය සොහොයුරාගේ මරණය සාර් විරෝධි අදහස් ඇති කිරීමට හේතු විය.මාක්ස්වාදය පිළිබද හැදැරූ මොහු ඒ අනුව රුසියාවටම සුවිශේෂි වු කරුණු මත විප්ලවයක් කිරීමට හැකිය යන ස්ථාවරය දරන ලදි.1898 දී ලෙනින් ඇතුළු පිරිස එකතු වී රුසියානු කම්කරු සමාජවාදි පක්ෂය පිහිටුවන අතර පසුව මෙම පක්ෂයේ නායකයන්ගේ විප්ලවය පිළිබද අදහස් අනුව බොල්ශෙවික්(බහුතරය)හා මෙන්ශෙවික්(සුළුතරය)වශයෙන් බෙදී යන ලදි.ලෙනින්,මාර්ටොව්,ට්‍රොට්ස්කි සමාජවාදි පක්ෂය පිහිටුවීමෙහිලා මූලිකත්වය ගත්හ.මීට අමතරව වෙනත් අදහස් දැරු පිරිස් ද රුසියාව තුල සිටින ලදි.සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු සාර් පාලකයන්ගේ මර්දනයට මුහුණ දෙමින් කම්කරුවන්,ගොවීන්,තරුණයන්,ශිෂ්‍යයන් සංවිධානය කිරීම වේගවත් කරන ලදි. සයිබීරීයාවට පිටුවහල් කල ලෙනින් නැවත රුසියාවට පැමිණ "ගිණි පුපුර"(ISKRA)නමින් පුවත්පතක් පල කොට රුසියාවේ හා යුරෝපයේ මාක්ස්වාදීන් ප්‍රචාරය කරන ලදි.ලෙනින් විසින් ලියන ලද "කළ යුත්තේ කුමක් ද"(What is to be done)කෘතිය මඟින් ප්‍රකාශ කලේ මාක්ස්වාදය රුසියාවට ආවේණික ලෙස රුසියාවේ සුවිශේෂත්වයට අනුව ගලපා ගත යුතු බවයි. සම්භාව්‍ය මාක්ස්වාදි න්‍යයායට අනුව මාක්ස් පැවසුවේ සමාජවාදි විප්ලවය ධනවාදි විප්ලවයෙන් පසුව ඇති වන බවයි.ඉතිහායේ සිදු වීමට නියමිත දෙයක් ලෙස එනම් ධනවාදයෙන් පසුව සමාජවාදයට එළඹීම ඉවතහල ලෙනින් එය මිනිසුන් විසින් සංවිධානය කල යුත්තක් ලෙස හඳුන්වා දෙන ලදි.යුරෝපයේ මෙන් නොව රුසියාවේ ධනවාදි විප්ලවය හා සමාජවාදි විප්ලවය එකවර සිදුවන බව පැවසු ලෙනින් එය කම්කරුවන්ගේ නායකත්වයෙන් අන් සියළු සමාජ පීඩිත කොටස් ඒකරාශි කර පුළුල් සමාජ බලවේගයක් තුලින් ජයගත යුතු බව පිළිගැනීමට ප්ලෙකානොව් අකමැති විය.මැනවින් සංවිධානය වු මධ්‍යගත පක්ෂයක් යටතේ කම්කරුවන් සංවිධානය විය යුතුය යන ලෙනින් අවධාරණය කල අදහස ට්‍රොට්ස්කි,මාර්ටොව් යන අය නොපිළිගත්හ.මෙම මතභේදයේදී ලෙනින්ගේ අදහස පිළිගත් අය බොල්ශෙවික් ලෙසත් නොපිළිගත් පිරිස මෙන්ශෙවික් ලෙසත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය දෙකට බෙදුණහ.

1905 දී රුසියාවේ සිදුවු අසාර්ථක විප්ලවය.

[සංස්කරණය]

1900-1903 අතර කාලයේ ඇතිවු කර්මාන්ත අර්බුදය රුසියාවටද විශාල ලෙස බලපැවේය.විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගිය අතර රැකියා අහිමි වු දශලක්ෂ ගණන් කම්කරුවෝ තැන් තැන්වල කැරලි ගැසූහ.මෙම පිරිස් හමුදාව සමඟ ද ගැටුම් ඇති කර ගත්හ.1904 වන විට රුසියාවේ සාර් පාලනයට එරෙහිව ප්‍රබල නොසන්සුන්තාවක් ඇති විය.රුසියන් ජපන් යුද්ධයේදී රුසියාව පරාජය වීම මෙම තත්වය තවදුරටත් වර්ධනය වීමට බලපාන ලදි.මේ තත්වය මත සාර් පාලනයෙන් යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කරණ ලෙස ඉල්ලා සිටි අතර ඒ පිළිබද තැකීමක් නොකරන ලදි.1905 ජනවාරි 22වන දින සිට ඇරඹි වැඩවර්ජන රැල්ල සාර් පොලීසිය විසින් දරුණු ලෙස මර්දනය කර විශාල පිරිසක් මරා දමන ලදි.මෙයට නායකත්වය දුන් ට්‍රොට්ස්කි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර මෙය රුසියානු විප්ලවීය ව්‍යාපාරයට අළුත් අත්දැකීමක් එකතු කල සිද්ධියක් විය.

1905 රුසියානු නියෝජිත සභාව

[සංස්කරණය]

විප්ලව අවස්ථාවේ ප්‍රතිසංස්කරණ සඳහා උද්ඝෝෂණය කල පිරිස් ව්‍යවස්ථානුකූල පාලනයක් පිහිටුවා මහජන අයිතීන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින ලදි.මෙයට එකඟවූ අධිරජ්‍යයා ප්‍රථම නියෝජිත සභාව පීටර්ස්බර්ග් නගරයේදී කැඳවීය.ප්‍රකාශනයට අනුව පොරොන්දු ඉටු නොවු නිසා මෙය අසාර්ථක වී විසුරුවා හරින ලදි. දෙවන නියෝජිත සභාවද මාස තුනක් පමණ කෙටි කාලයකින් විසුරුවා හරින ලදි.මින් අනතුරුව රජය විශේෂ අණ පනත් පනවමින් මැතිවරණ නීති වෙනස් කල අතර විශාල පිරිසකගේ ඡන්ද බලය අහෝසි කර අධිරාජ්‍යයට පක්ෂපාති අය නියෝජිත සභාවට පත් කර ගන්නා ලදි.තුන්වන නියෝජිත සභාව 1907-1917 දක්වා වර්ෂ පහක් පැවති අතර එහි 410ක් වු මුළු නියෝජිතයන් ගෙන් 310ක්ම අධිරාජ්‍යයට පක්ෂපාති වු රදලයන් විය. 1912 සිට 1917 දක්වා ක්‍රියාත්මක වු හතරවන නියෝජිත සභාවේ බහුතරයද අධිරාජ්‍යයට පක්ෂපාති වීම නිසා රජයට විරුද්ධව අදහස් දැරුවෝ බල රහිත කුඩා කණ්ඩායමක් බවට පත්ව සිටියහ.

සාර් පාලනය බිඳ වැටීම හා 1917 ඔක්තෝබර් විප්ලවය.

[සංස්කරණය]

විසිවන සියවස මුල් දශකය වන විට රුසියාවේ පැවතියේ හැම අංශයකින්ම දුර්වල වු අස්ථාවර පාලනයකි.රටේ වර්ධනය වෙමින් පවතින අර්බුදවලට විසඳුම් ලබා දීමට සාර් පාලනයට නොහැකි බව ගොවි කම්කරු හා මධ්‍යම පන්තියේ විශ්වාසය විය.1914 පළවන ලෝක යුද්ධය ආරම්භ වීම මෙම තත්වය තව දුරටත් තීව්‍ර කිරීමට හේතු විය.1916 වන විට මෙම තත්වය තව දුරටත් අයහපත් වු අතර ආහාර හිඟය,පාන් මිල වැඩිවීම,සෑම අත්‍යවශ්‍ය භණ්ඩයකම මිල විශාල ලෙස ඉහල යාම නිසා සාමාන්‍ය ජනතාව පමණක් නොව හමුදා භටයන්ද කැරලි ගැසීමට පටන් ගත්හ.

සාර් පාලනය බිඳ දැමීම සඳහා 1917 ඔක්තෝබර් විප්ලවය ආරම්භ වන්නේ මේ අවධියේය. 1917 මාර්තු 9 වනදා තීරණාත්මක ලෙස ජනතාව වීදි බසිමින් පාන් ඉල්ලමින් උද්ඝෝෂණය කරන ලදි.මෙම උද්ඝෝෂණවලට සාර් අණ නොතකා හමුදා පිරිස්ද එකතු විය.මෙය රුසියාව පුරාම ව්‍යප්ත විය. බොල්ශෙවික්වරු මෙම ගැටුමට නායකත්වය දෙමින් ප්‍රධාන නගරවල සෝවියට් සභා නම් පාලන සංවිධාන පිහිටුවා පාලන කටයුතු පවරා ගත්හ.සාර් පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර රොමනොව් රාජ වංශයේ රාජ්‍ය පාලනය 1917 මාර්තු 15වන දින අවසාන විය.

1917 මාර්තු විප්ලවයෙන් පසුව ගොඩ නැඟෙන පාලනයේ ප්‍රධාන ලක්ෂණය වූයේ රටේ පාලනය පිළිබද කේන්ද්‍රීය වගකීම මධ්‍යම පන්තියෙන් පැමිණි සාමාජිකයන් ගෙන් යුක්ත වු තාවකාලික ආණ්ඩුවක් යටතට පත් කිරීමයි.සෝවියට් සභා විශේෂ පාලන ඒකකවලට මේවා පැවරිණි. රුසියාව සම්බන්ධවී සිටි පළමුවන ලෝක යුද්ධය නිසා රුසියාව මේ වන විට බෙහෙවින්ම පීඩාවට පත්වී සිටි අතර ලක්ෂ ගණනාවක් සොල්දාදුවන් අහිමි වී සිටි අතර තවත් විශාල පිරිසක් සිර කඳවුරුවල සිටියහ.ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ යුද්ධය නවතා සාමය ලගා කර ගැනීමයි.ගොවීන්ගේ අපේක්ෂාව වූයේ වගාවට ඉඩම් ලබා ගැනීම වු අතර කම්කරුවන් පැය අටේ වැඩ දිනය හා වේතන ඉහල දමා ගැනීමත් ආහාර සුලබ කර ගැනීම, සුබ සාධන පහසුකම් ලබා ගැනීම බලාපොරොත්තු විය.සෝවියට් සභා මේ සඳහා යම් යම් පියවර ගනු ලැබුවද ඒවා අසාර්ථක කිරීමට රාජ්‍ය පාලකයන් ක්‍රියා කලහ.මේ හේතුව නිසා තාවකාලික ආණ්ඩුවෙන් බලාපොරොත්තු වු කිසිවක් ලබා ගත නොහැකි වු නිසා සමාජ කොටස් අතර කලකිරීම හා නොසන්සුන්තාව වර්ධනය විය. මෙම අවධියේදී බොල්ශෙවික්වරු තීරණාත්මකව සංවිධානය වෙමින් ලෙනින් වටා සියළු පිරිස් ඒකරාශි කර ගැනීමට කටයුතු කලහ.මාර්තු විප්ලවය ධනේශ්වර විප්ලවයක් බවත් එතැනින් නොනැවති සමාජවාදි විප්ලවයක් ගොඩ නැඟීම දක්වා විප්ලවය ගෙන යායුතු බව ලෙනින් අවධාරණය කලහ. මොහු තම අදහස් "අප්‍රේල් න්‍යය"නම් ලියවිල්ලෙන් ඉදිරිපත් කලහ.තාවකාලික ආණ්ඩුව අස්ථාවර වෙමින් පැවති අතර විශාල පිරිසක් බොල්ශෙවික්වරු සමඟ එකතු විය.ලෙනින් හා ට්‍රොට්ස්කි අත්අඩංගුවට ගැනීමට උත්සහා කල අතර ලෙනින් රටින් පලා ගොස් සංවිධානගත කරන ලදි. මේ අතර වර්ධනය වෙමින් පැවති විප්ලව ප්‍රවාහයට සියළු දෙනාම එකතු වී සිටි අතර සැඟවී සිටි ස්ථානයක සිට ප්‍රකාශයක් කරමින් ලෙනින් කියා සිටියේ "දැන් අප බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට අනුකම්පාවක් නොදක්වනු ඇති බවයි"ආපසු රුසියාවට පැමිණ ලෙනින් ඔක්තෝබර් 24,25 විප්ලව දින ලෙස ප්‍රකාශ කොට සාර්වලට පහර දී බලය ලබා ගත්හ.

එදිනම සෝවියට් ජාතික කොන්ග්‍රසය රැස් වී ලෙනින්ගේ නායකත්වයෙන් යුත් මහජන කොමසාරිස්වරුන්ගේ සභාවට සෝවියට් දේශයේ බලය පැවරීය. එක් මධ්‍යස්ථානයක සිට මෙහෙයවන කුඩා සන්නද්ධ කල්ලියක් සටනකින් තොරව විප්ලවය සාර්ථක කර ගත්තේය.මෙසේ නව සමාජවාදි රාජ්‍යයක් ලෝකය තුල ස්ථාපිත විය.










මුලාශ්‍රය

[සංස්කරණය]

යුරෝපයේ ඉතිහාසය (ක්‍රි.ව 1500 සිට 1950 දක්වා)

රුසියානු විප්ලවය- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියසේන සෙන්දනායක

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රුසියානු_විප්ලවය&oldid=568534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි