X-15

විකිපීඩියා වෙතින්

රොකට් ජවයෙන් ගුවන්ගත වූ X-15 වූ කලි අමෙරිකානු අධිවේගී පර්යේෂණ ගුවන් යානයකි. 1959 – 1968 අතර කාලය තුළ වාර 199 ක් ගුවන් ගැන්වුණු එය ඉතා ඉහළ වේගයන් හා උන්නතාංශයන් අත්කරගත්තේ ය. මිනිසකු රැගත් මිසයිලයක් බඳු වූ මෙම යානය ගුවන් ගැන්වුණේ එය B-52 ගුවන් යානයකින් අඩි 45,000 ක, එනම් කිලෝමීටර් 14 ක පමණ උසක ට ගෙන ගොස් මුදා හැරීමෙනි. ඉන් පසු විනාඩි 15 ක පමණ පියාසර කාලයක් තුළ එය කිලෝමීටර් 100 පමණ උන්නතාංශයක ට නංවා ආපසු ගොඩ බස්සවන ලදි. මෙවන් පරීක්ෂණ පියාසැරියකින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ අධිධ්වනික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක ට ඉතා ඉහළ වායුගෝලයේ ප්‍රවර්තනය වීමට ඇති හැකියාව යි. මේ පර්යේෂණ මඟින් ලැබුණු දත්ත අමෙරිකා එක්සත් ජනපදයේ පසුකාලීන ගුවන් හා අභ්‍යවකාශ යානා නිර්මාණය සඳහා යොදා ගන්නා ලදි.

X-15 න් තැනුණේ යානා තුනක් පමණි. ඒවා සියල්ල ම ලොස් ඇන්ජලීස් හි පිහිටි නෝර්ත් අමෙරිකන් ඒවියේෂන් සමාගමේ නිෂ්පානදයෝ වෙති.


නිර්මාණය[සංස්කරණය]

මෙම ගුවන් යානය සැලසුම් කෙරුණේ සීමාන්තික තත්ත්වයන් යටතේ පියාසර කිරීම ට ය. ඒ අනුව එය සතුව තාක්ෂණික විශේෂතා රැසක් තිබුණි. වායුගෝලය තුළ සාමාන්‍ය වායුගතික පෘෂ්ඨ මඟිනුත් වායුගෝලයෙන් පිට දී රොකට් මෝටර් මඟිනුත් මෙම ගුවන් යානය හැසිරවිණි. එහි බඳ නිමවා තිබුණේ ඉන්කොනෙල්-X නමින් හැඳින්වෙන අධික තාපය ට ඔරොත්තු දෙන නිකල් (Ni) පාදක කරගත් මිශ්‍රලෝහයෙනි. මෙමඟින් යානය වායුගෝලයේ ගහන ස්ථරවල ට නැවත ඇතුළු වන විට ජනිත වන තාපයෙන් එය සුරැකිණි.

"https://si.wikipedia.org/w/index.php?title=X-15&oldid=471301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි