තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි

විකිපීඩියා වෙතින්

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන ප්‍රථම මහානාහිමි (1753-1773 සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරව මහානායක)

ක්‍රිස්තු වර්ෂ 1700 වැන්නෙ හිදී මාතලේ තිබ්බටුවාව ග්‍රාමවරයෙහි තිබ්බටුවාව වලව්වේදී ජන්ම ලාභය ලද මුන් වහන්සේ බෝධි සත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ ශාසන පුනර්ජීවන ක්‍රියාදාමයට අනල්ප සහයක් සැලැස්වූ යතීන්ද්‍රයාණන් වහන්සේ නමකි. අපේ ඓතිහාසික රිදී විහාරය කේන්ද්‍රකොට ගෙන ගොඩ නැගුණු නොයෙක් සිය දහස් බුද්ධ පුත්‍රයින් වහන්සේලා තැනීමේ සද්කාර්යයෙහි නේතෘත්වය දරනා ලදුයේය. ඓතිහාසික රිදී විහාරයෙහි කටු කොහොල් හරවා ප්‍රතිසංස්කරණය කරවීම මෙන්ම බොහෝ බණ පොත් ලියවා තැබීම පමණක්ම නොව පනලියගල්ලෙනෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් බඳවා එම ස්ථානය පූජනීයත්වයට පත් කිරීම උන්වහන්සේගෙන් සිදුවූ ඉතා වටිනා ශාසනික මෙහෙවරකි.

පාලි භාෂා ප්‍රවීණයෙකු වූ මුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයට සන්නයක් සැපයූහ. ස්‍යාම දේශයෙන් ලක්දිවට උපසම්පදාව ගෙන ඒම පිළිබඳවද කරුණු ඇතුලත් ස්‍යාමෝප සම්පදා වත හා අප සර්වඥයන් වහන්සේගේ "සත්ථා" බුදු ගුණය මුල් කරගනිමින් ලිවූ "ශ්‍රී සද්ධර්මාව වාද සංග්‍රහය" ද මුන්වහන්සේ වෙතින් රැසැයුනු ග්‍රන්ථරත්නයෝය. තවද දඹදෙණි පණ්ඩිත පරාක්‍රමබාහු නරේශ්වරායාණන්ගේ පටන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා ගාථා අටසියයකින් යුතුව චූලවංශ අතිරේකය මුන්වහන්සේ රචනා කළහ. ඒඋන්වහන්සේගෙන් සැලසුනු අනල්ප ධර්මශාස්ත්‍රීය මෙහෙවරෙන්බිඳකි.

ක්‍රිස්තාබ්ධයෙන් 1753 හා1773 දක්වා කාලයෙහි මහා නායක පදවිය දැරූමුන්වහන්සේ කුඹුරුමුල්ලේ විහාරය (වත්මන් කුඹුරු ලෙන විහාරය), වැලිගල විහාරය, වේරගොඩ විහාරය, මොරතිහ විහාරය යන විහාරයන් මුන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයත්ය. පොල්පිතිගම ශ්‍රී සිද්ධාර්ථ අනුනායක, තිබ්බටුවාවේ සිද්ධාර්ථ කුඩා උන්නාන්සේ, යටවර සෝභිත, ඊරිමින්නේ විපස්සි, කඩුවෙල සෝභිත, ගම්පහේ සුමංගල, ඈගල්ලේ ඉන්දජෝති ආදී ස්වාමීන්ද්‍රයන්වහන්සේලා මුන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලාය. ඇතැම්විට මුන්වහන්සේ වෙතින් පැවිදිබව ලබා පොල්පිතිගම සිද්ධාර්ථ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුරුකොට උපසම්පත්තිය ලද හිමිවරුන්ද මේ අතර වෙත්. ඒ පිළිබඳව තව දුරටත් විමසිය යුතුව පවතී. මෙලෙස උත්තුංග ශාසනික මෙහෙයක නිමග්නවූ මුන්වහන්සේ ක්‍රිස්තාබ්ධයෙන් 1773 දී සිහි නුවණින් යුතුව අපවත්වූ සේක.