‍ෆිසික්ස් එන්ජින්

විකිපීඩියා වෙතින්

ෆිසික්ස් එන්ජින් (සිංහල තේරුම - භෞතික විද්‍යා එන්ජිම) යනු ස්කන්ධය, ප්‍රවේගය, ඝර්ෂණය සහ වාත ප්‍රතිරෝධය වැනි විචල්‍ය ඇසුරෙන් නියුටෝනියානු භෞතික විද්‍යා ආකෘති අනුරූපණය කරන පරිගණක වැඩ සටහනකි. එමගින් සැබැ ජීවිතයේදී හෝ මවාගත් ලෝකයක විවිධ තත්ත්ව යටතේ ඇති විය හැකි ආචරණයන් ආසන්න තත්වයට අනුරූපණය කල හැක. මෙය ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක අනුරූපණ සහ වීඩියෝ ක්‍රිඩා සඳහා භාවිත වේ.

විස්තර[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් තත්කාලීන සහ අතිශය නිරවද්‍ය ලෙස භෞතික විද්‍යා එංජින් කාණ්ඩ යුගලක් පවතියි. මේ අතරින් අතිශය නිරවද්‍ය භෞතික විද්‍යා එන්ජින් (හෙවත් ගතික අනුරූපක) සදහා අතිශය නිරවද්‍ය ලෙස භෞතික විද්‍යාත්මක ගණනය කිරීම් සිදු කිරීම සදහා වඩා විශාල සැකසුම් බලයක් අවශ්‍ය වෙයි. මේවා සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන්නේ විද්‍යාඥයන් සහ පරිගණක සජීවිකරණ චිත්‍රපට නිර්මාපකයින් විසිනි. නමුත් වීඩියෝ ක්‍රිඩා සහ අනෙකුත් අන්තර් ක්‍රියාකාරී පරිගණක ක්‍රියාවලි සදහා භාවිතා වන භෞතික විද්‍යා එන්ජින් වීඩියෝ ක්‍රිඩාවට ප්‍රතිචාර දැක්වීම සදහා නිෂ්චිත කාලයක් තුළ ගණනය කිරීම් සිදු කල හැකි තරම් සිය ක්‍රියාවලීන් සරළ කොට ගත යුතුවේ. මෙහිදි නිරවද්‍යතාව ඩාත් පහළ මට්ටමකට ගෙන ඒම මගින් ක්‍රිඩාව ඉදිරියට ගෙනයාමට තරම් ප්‍රමාණවත් සීඝ්‍රතාවයකින් ගණනය කිරීම් සිදු කළ යුතුය. මෙය තත්කාලීන භෞතික විද්‍යා එන්ජිම නම්වේ. තාත්වික බව ඉහළ නැංවීම සදහා පරිගණක ක්‍රිඩා වල භෞතික විද්‍යා එන්ජින් භාවිතා වෙයි.

භෞතික විද්‍යා එන්ජිමක මූලික කොටස් යුගලක් පවතියි. ඉන් එකක් ගැටුම් අනාවරණක පද්ධතියයි. අනෙක අනුරූපණය කෙරෙන වස්තුව මත ක්‍රියාකරන බලයන් විසදීම සදහා වගකියන සත්‍ය භෞතික විද්‍යා අනුරූපණ කොටසයි. භෞතික විද්‍යා අනුරූපණ සදහා ප්‍රධාන ක්‍රියාමාලා ත්‍රිත්වයක් පවතියි.

  • දණ්ඩන ක්‍රමවේද - මෙහිදි පොදුවේ අන්තර් ක්‍රියාවන් ස්කන්ධ - දුනු පද්ධති ලෙස ආකෘති කරණය කෙරෙයි. මේ ආකාර භෞතික විද්‍යා එන්ජින් විරූපක හෝ මෘදු වස්තූන් සම්බන්ධ භෞතික විද්‍යා ක්‍රියා සදහා වඩාත් ප්‍රචලිත වෙයි.
  • සංරෝධ මත පදනම් වු ක්‍රම වේද - මෙහිදි භෞතික විදයා නියම ඇස්තමේන්තු කෙරෙන සංරෝධ සමීකරණ විසදීම සිදු කෙරේ.
  • ආවේග මත පදනම් වු ක්‍රම - වස්තු අන්තර් ක්‍රියා සදහා මෙහිදි ආවේගයන් යෙදීම සිදු කෙරේ.

අවසාන වශයෙන් ඉහත ක්‍රම වේදයන් සංයෝජනය මගින් ලැබෙන දෙමුහුන් ක්‍රම වේදයන් භාවිත කිරීමේ හැකියාවක් ද පවතියි.

"https://si.wikipedia.org/w/index.php?title=‍ෆිසික්ස්_එන්ජින්&oldid=472394" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි