හිඳගල රජමහා විහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හිඳගල රජමහා විහාරය නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති විහාරය හා ආරාමය මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ මහා මාර්ගයේ සිට කි.මී.11ක් පමණ දුරින් මහනුවර ගලහා මාර්ගයේ කඳු බෑවුමක මෙම විහාරස්ථානය පිහිටා ඇත. මහ පාර මට්ටමේ සිට මීටර 50 පමණ සීඝ්‍ර බෑවුමක් පසු කිරීමෙන් මෙම විහාරස්ථානයට ළඟා විය හැකිය. විහාරයේ ඇතැම් නෂ්ටාවශේෂ ලෙනට එහා ඉහළ කඳු මුදුනෙහි දක්නට ඇත. භික්ෂූන් වහන්සේලා වැඩ සිටින වර්තමාන ලැඟුම් ගෙවල් විහාර මන්දිරයට පහළින් පිහිටි බිම් කණ්ඩියක ඉදිකොට ඇත. අතීත බෝධිඝරයක් පිළිබඳව ලෙනට මීටර 20ක් පමණ උස් බිමෙහි ඇති ගිරි ලිපියක සඳහන් වේ. මෙම විහාරය භූමිය සඳහා නුවරඑළිය කඳු වැටියෙන් මහනුවර මිටියාවතෙන් වෙන්කරන හන්තාන කන්දේ දකුණු බෑවුම යොදාගෙන ඇත. මෙහි දකුණු මිටියාවත ඔස්සේ මහවැලි ගඟ ගලා බසී.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

හිඳගල ආරාමයේ ඉතිහාසය‚ පසු අවධියක ප්‍රතිමා ගෘහයකට පරිවර්තනය කරන ලද කටාරමක් සහිත විශාල ලෙනක් පැවතීමෙන් යටත් පිරිසෙයින් ක්‍රිස්තු වර්ෂයේ ආරම්භය දක්වා ඈතට දිවෙන බව පිළිගැනේ. එසේ නමුත් හිඳගල ඉතිහාසය මෙහි ඇති ගිරි සෙල්ලිපි දෙකෙන් පැහැදිලි වන අන්දමට හයවන හෝ හත්වන සියවසට පමණ අයත් වේ. මෙයින් වඩාත් පැරණිම සෙල්ලිපිය වන්නේ හත්වන සියවසට අයත් සේ සළකන ශිලා ලේඛනය මෙම විහාර භූමියේ බෝධිඝරයක් ඉදිකිරීම ගැන සඳහන් වීමයි. පර්වත බෑවුමෙහි ඇති අක්ෂර වින්‍යාස අනුව හත්වන සියවසේ යැයි සැළකිය හැකි ශිලා ලිපිය කොටස්වලට කැඩී ගොස් ඇත. හත්වන සියවසේ ලා දින වකවානු පෙන්විය හැකි පැරණි සිතුවම් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ වර්තමාන විහාර මන්දිරයේ සිට පර්වත පෘෂ්ඨයේ ඇති ශෛලීය ලක්ෂණ පදනම් කොට ගෙනය. හිඳගල යන වර්තමාන නාමය ඉන්ද්‍රසාල ගුහා යන්නෙන් බිදී ආ බව පරණවිතානගේ අදහසයි.

හිඳගල විහාරස්ථානයේ මීළඟ වර්ධනීය අවධිය වශයෙන් මහනුවර යුගය හඳුනාගත හැකිය. එසේ නමුත් මෑතකාලීන විහාරය ආරම්භය කවදාද යන්න පිළිබඳව ස්ථීර සාධක නැත. මෙම විහාරස්ථානයේ දහ නවවන සියවසට එපිට කාලයක් ගැන වාර්තා වන ලේඛන කිසිවක් ලබා ගැනීමට නැත. වර්තමාන විහාර මන්දිරයේ දක්නට ලැබෙන සිතුවම් ශෛලියෙන් මෙන්ම වර්ණ රටාවෙන්ගෙන්ද ඉතා මෑතක සිතුවම් බව පෙනී යයි. ජෝන් ඩොඩ්ලි ආණ්ඩුකාරයාගේ නියමයක් පරිදි සඟවා තිබූ තැනින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ආපසු මහනුවරට වැඩමවාගෙන එන ගමනේදී හිඳගල විහාරයේ එක් දිනක් වඩා හිඳුවන ලදී. මේ නිසා ද එම පාලන සමයේ හිඳගල විහාරස්ථානය සුවිශේෂී තැනක් ලබාගෙන ඇත.

ආරාම සැලැස්ම[සංස්කරණය]

හිඳගල විහාරස්ථානය විශාල කඳු බෑවුමක් මත පිහිටා ඇති නිසා විහාරයට ලඟා වීමට උස් පඬිපෙල් නැඟීමට සිදුවේ. මහා පාර අයිනේ ඉදිකර ඇති දොරටුව ඉතාමත් දර්ශනීය වේ. මෙයින් මෙම විහාරස්ථානයේ පවතින ‍ඓතිහාසික බව පැහැදිලිවම දක්නට ලැබේ. මෙම පඬිපෙලේ මඳ දුරක් ගිය විට භික්ෂූන් වහන්සේලාගේ වර්තමාන ලැඟුම් ගෙය දැකබලා ගත හැකිය. එතැනින් තව දුරක් ඉදිරියට ගිය විට ඉහළ මළුවට මෙන්ම ලෙන් විහාරයට ඇතුල් විය හැකිය. විහාර මළුවට මඳක් පහළින් දොරටුවක් හා ඝණ්ඨා කුළුණ දැකගත හැකිය. විහාර මලුවට අභිබවා නැඟී ඇති මහා ගල් පර්වත කුක්ෂියෙහි සිතුවම් අඳින ලද ප්‍රධාන විහාර මන්දිරය පිහිටා ඇත. ‍ ගල් පර්වතයේ කටාරමට පහළින් හිඳගල විහාරස්ථානයේ පැරණිම සිතුවම් දක්නට ලැබේ. ඒවා බොහෝ සෙයින් විනාශයට පත් වී ඇත. ලෙන් විහාර මන්දිරය උළු සෙවිලි කළ දැව වහලක් සහිත පිට බරාඳයකින් සමන්විත වන අතර එහි ඉකුත් වසර සියයට අයත් සිතුවම් මෙහි දක්නට ලැබේ. පැරණිම සිතුවම් ඇත්තේ නැගෙනහිරට මුහුණලා ඇති විහාර මන්දිර අභ්‍යන්තරයේය. බිත්තිවලින් වටවූ කුටියෙක සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් එහි දක්නට ලැබේ. විහාර මළුවට උතුරු දෙසින් බෝධීන් වහන්සේ වැඩසිටී.

සිතුවම් සැකැස්ම[සංස්කරණය]

අනුරාධපුර යුගයේ සිට පැවත එන හිඳගල විහාරස්ථානයේ පැරණිම සිතුවම් නූතන විහා මන්දිරයට උඩින් පිහිටි මහා ගල් පෘෂ්ඨයේ ආරක්ෂා වී ඇත. වඩා පසු කාලයකට අයත් අනෙක් සිතුවම් විහාර මන්දිරයේ ඇතුළත හා පිටත බිත්ති අලංකාර කරයි.

ලෙන් විහාර මන්දිරය[සංස්කරණය]

ලෙන් විහාර මන්දිරය නැගෙනහිරට මුහුණලා සිටී. මකර තොරණකින් උළුවස්ස නිර්මාණය කර තිබෙන අතර මංගල ලක්ෂණ සම්මත පූර්ණඝට අතින් ගත් සුද්ධාවාස බ්‍රහ්මයින් දෙදෙනෙක් හා ස්වකීය සත්ව වාහන කැටුව සිටින ඉන්ද්‍ර හා මහා බ්‍රහ්ම දෙදෙනාත් උසුලාගෙන සිටින‚ නෙලා සායම් කරන ලද රුප විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබේ. මකරුන්ට ඉහළින් කඩු ළෙලවමින් සැරිසරන දේවතාවෝ දෙදෙනෙක් සහ පස්බිමේ වළාකුලු අතර රැඳී සිටින අල්පේශාඛ්‍ය දේවතාවෝ කිහිපදෙනෙක් සිටිති. කඩු අතට ගෙන සිටින ආරක්ෂකයෝ දෙදෙනා දොරටුව දැලේ සිටින අතර ඔවුන් වටා ඇති ඉඩ ප්‍රමාණය සතුන්ගේ හා සිංහයන්ගේ රුප ඇතුළු මල් ලියවැල් වලින් අලංකාර කොට තිබේ. දොරබාවෙහිත් මල් හා ලියවැල් මෝස්තර සහිත දැව පනේල දැකිය හැකිය. හක් පිඹින්නන්ගේ රුප දොරටුව දෙපසෙහි වන අතර අසුන් ගෙන සිටින දේවතාවකු රැගත් පනේලයෙහි යතුරු කවුළුව පිහිටා ඇත. එමෙන්ම විජිනාපත් රැගෙන සිටින කාන්තාවන් පිරිවර කොටගෙන දේවතාවා අලංකාර මාළිගාවෙක අසුන් ගෙන සිටී.

බටහිර බිත්තිය[සංස්කරණය]

1937 වර්ෂයේ අලුත්වැඩියා කොට සායම් ආලේප කරන ලද මේ විහාරස්ථානයේ ප්‍රධාන පිළිම වහන්සේ එහි බටහිර බිත්තිය ඉදිරියෙහි තැන්පත් කරනු ලැබ ඇත. උතුරු බිත්තියේ කෙළවරට ආසන්නව දැනට මෙහි ඇති ප්‍රතිමා වහන්සේට වඩා විශාල වූ පෙර පැවති බුද්ධ ප්‍රතිමාවේ ප්‍රභාමණ්ඩලයේ කොටසක් හා පද්ම පාද පීඨිකාවක් තිබෙනු දැකිය හැකිය.

දකුණු බිත්තිය[සංස්කරණය]

බෑවුම් බිත්තියේ ඉහළ කොටස වෙන්වී තිබෙන්නේ විතර්ක මුද්‍රා ලක්ෂණ විදහාපාමින් පෙරට මුහුණලා වැඩසිටි ඉරියව්‍වෙන් සිතුවම් කරනු ලැබ ඇති බුද්ධ රුපය සඳහාය. බිත්තියේ පහළ කොටස පනේලයක් හා විෂ්ණු දෙවියන් පිළිබිඹු කරන රුපයක් ඇත.

උතුරු බිත්තිය[සංස්කරණය]

මෙහි රුප පේලි දෙකක් සිතුවම් කර ඇත. එම රුප පේලි දෙකක් සිතුවම් කර ඇත්තේ බුදු පිළිම දෙකෙන් එකක් පපුව හරහා බැඳගත් අත් ඇති වැඩිහිටි ඉරියව්වේන්ද අනෙක වැඩහොත් ඉරියව්වෙන්ද වශයෙන් ද වැඳගෙන සිටින රුපය.

නැගෙනහිර බිත්තිය[සංස්කරණය]

නැගෙනහිර බිත්තිය දොරකඩද එහි උතුරු භාගයේ කුඩා බිලයකට හා සිතුවම් තීරු හතකටද ඉඩ සලස්වා ඇත. ඉහළම තීරුවල සොළොස්මස්ථාන හා වැඩහිඳින බුද්ධ රුප පේලියක් දැකිය හැකිය. දොරටුව මුදුනෙන් ආරම්භ වන පරිදි එහි දකුණු පැත්තේ තීරුවල වෙස්සන්තර ජාතකය නිරුපණය කරනු ලැබ ඇත. ලියවැල් සංලක්ෂණය ඇතුළත් පළල් සිතුවම් පටියක් දිගටම ඇදී යන ආකාරයට මෙම දර්ශනවලට පහළින් නිරුපණය වෙයි. දොරටුව උතුරෙන් ඇති සිතුවම් තීරු දෙකක දහම්සොඬ ජාතක කතාව හා චුල්ලධම්මපාල ජාතකය පිළිබිඹු කරනු ලැබේ.

පිටත නැගෙනහිර බිත්තිය[සංස්කරණය]

මෑත යුගයට අයත් විශාල සිතුවම් පනේල දෙකක් දොරටුව උතුරෙන් ඇති බිත්ති කොටසේ වෙයි. ඉහළ පනේලය සිදුහත් කුමරුන් ආලාරකාලාම උද්දකරාමපුත්ත තවුසන් හමුවීම‚ නේරංජන ගංතෙරෙහි ස්වකීය ප්‍රථම ශ්‍රාවකයන් පස්දෙනා සමඟ තවුස්දම් පුරමින් සිටීම‚ සුජාතාවන්ගේ දන් පිළිගැන්වීම යන සිද්ධි පිලිබිඹු කරයි. පහළ පනේලය මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් පාත්‍රය උඩු ගං බලා පා කර හැරීම‚ කුස තණ පිළිගැන්වීම හා වජ්‍රාසනය පැනවීම ඇතුළත් අතුරු දර්ශන හා බුද්ධත්වය ලැබිමේ සිද්ධියත් පිළිබිඹු කරයි. මේ බිත්තියේ දකුණු භාගයේ සිතුවම් තීරු හතරක් වෙයි. ඉහළම තීරු දෙකෙහි අර්ථ නිරුපණ සහිත සොළොස්මස්ථාන පිළිබිඹු‍ කොට තිබේ. සිත්තරුන් තිදෙනෙකුගේ නම් මෙම සිතුවම්වල ලේඛන ගත කර ඇත. පහළ සිතුවම් තීරු දෙකෙහි බුද්ධ චරිතයේ සිද්ධි නිරුපණය කෙරෙන දර්ශන ඇත. මේවායේ අනුපිළිවෙළ හඳුනාගත හැකිවන්නේ දකුණේ සිට නැගෙනහිරටයි.

පිටත දකුණු බිත්තිය[සංස්කරණය]

දකුණු බිත්තියේ නැගෙනහිර කොටසෙහිද සිතුවම් තීරු හතරක් දක්නට ඇත. ඉහළ තීරු දෙකක සොළොස්මස්ථානවලට වෙන් වී ඇත. පහළ තීරු දෙක බුද්ධ චරිතයේ සිද්ධිවලට වෙන්වී තිබේ. දෙවනුව සඳහන් කල සිතුවම් පන්තිය තුසිත දෙව්ලොව වැඩ සිටින මතු බුදුවන බෝධිසත්වයන් පිළිබිඹු කරයි.


වස්තු විෂය[සංස්කරණය]

මෙම විහාරස්ථානයේ විශිෂ්ටතම සිතුවම්වලින් එක් සිතුවමක් ලෙස තපස්සු භල්ලුක වෙලඳ සොහොයුරන් දෙදෙන විසින් බුදුන් වහන්සේට ප්‍රථම දානය පිළිගැන්වීමයි. අනෙක නම් ඉන්ද්‍රශාල ගුහාවේදී ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් බුදුන්ව බැලීමයි. මෙම සිතුවම් දෙක හත්වන සියවසට අයත් වෙයි. බුද්ධ චරිතය විදහා දැක්වෙන ලංකාවේ දැනට ඇති පැරණිම සිතුවම වශයෙන් මෙම සිතුවමට විශේෂ ස්ථානයක් හිමි වේ. මෙම විහාරයේ සිතුවම් දෙස බලන විට බුද්ධත්වය ලැබීම නිරුපණය කරන සිතුවම් ප්‍රමුඛස්ථානයක් ගන්නා බව පැහැදිලිවම අවබෝධ කරගත හැකිය. ඒ අතර • බුදුවරුන් විසින් විවරණ දෙනු ලැබීම • බුද්ධත්වයෙන් පසු සත් සතිය නිරුපණය • සොලොස්මස්ථාන • ජාතක කථා නිරුපණය කිරීම පිට බිත්තිවල සිතුවම් නිර්මාණය කර ඇත්තේ පසුකාලයේදීය. පිට බිත්ති සිතුවම්වලට බුද්ධ චරිතයේ ඇතැම් සිද්ධි‚ සොලොස්මස්ථාන සහ නිරයේ දර්ශන තේමාවන් වී ඇත. ලෙන් විහාර මන්දිරයට පිවිසෙන දොරටු මුදුනෙහි තාවතිංස දෙවිලොව අධිපති නිරුපණය කරන සිතුවමක් ඇත.


කාලය[සංස්කරණය]

පර්වත පෘෂ්ඨයෙහි දක්නට ලැබෙන පැරණිම සිතුවම් හත්වන සියවස සමීප අවධියකලා සැළකිය හැකි සෙල්ලිපිය අයත් කාල වකවානුවටම අයත් බව එම සිතුවම් ශෛලිය අනුව නිගමනය කළ හැකිය. මෙම විහාරස්ථානයේ වර්තමාන සිතුවම් ක්‍රි.ව. 1820න් පසු ඒවා යැයි සැලකේ. නමුත් ප්‍රභාමණ්ඩලයේ ඉතිරි වී ඇති කොටස‚ මුලින්ම තනන ලද සැතපෙන පිලිම වහන්සේගේ සිරිපතුල්‚ ජාතක කථා නිරුපණය මුල් අවධියට අයත් ලෙස සැලකේ.

එමෙන්ම බිත්ති පාමුල ක්‍රි.ව.1820ට පූර්ව කාලීන කිවහැකි බිතුසිතුවම් ස්තරයක් හඳුනාගත හැකිය. මෙම විහාරයේ බෝහෝ සිතුවම්වලට පසුකාලීනව වර්ණ යොදා ඇත. පියන් තලයේ මාර යුද්ධය‚ බුද්ධ රුපය හා දකුණු බිත්තියේ රහතන් වහන්සේලාගේ රුප යළි සායම් කිරීමේ යුගයට අයත් වේ. බරාඳයේ ඇති සිතුවම් එහි ඇති අභිලේඛනයකින් හා වෙනත් සාක්ෂිවලින් ක්‍රි.ව.1917ට අයත් යයි දින නිර්ණය වී තිබීමෙන් මෙම විහාරස්ථානයේ සතු ඉපැරණි බව හඳුනාගත හැකිය. සිතුවම් සායම් කරනු ලැබූ අවස්ථාවේම චිත්‍ර ශිල්පීන්ගේ නම් ලේඛනගත කිරීමෙන් එම චිත්‍ර ශිල්පීන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. වාර්තා වී ඇති ආකාරයට ලෙන් විහාරයේ අවසන් වරට අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලැබුවේ ක්‍රි.ව.1937දීය. මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරන විට සැතපෙන පිළිම වහන්සේ වෙනුවට කුඩා පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම නිසා නැවතත් පිළිම වහන්සේගේ රැස් වළල්ල හා පසුතල දර්ශන සකස් කිරීමට සිදුවිය.

වර්ණ[සංස්කරණය]

හිඳගල විහාරස්ථානයේ හත්වන සියවසේ සිතුවම්වලින් අනාවරණය වන්නේ කහ‚ රතුවන් දුඹරු‚ කොළ හා සුදු යන වර්ණයන් බහුල වශයෙන් භාවිතා කර ඇති බවයි. සිතුවම්වල රේඛා දක්වා ඇත්තේ රතුවන් දුඹරු පැහැයෙනි. ලෙන් විහාරයේ අභ්‍යන්තර සිතුවම් උදෙසා භාවිතා කර ඇතිතේ මහනුවර යුගයේ භාවිතා කරනු ලැබූ සාම්ප්‍රදායික වර්ණ රටාවය. මෙම වර්ණ රටාව භාවිතා කරනු ලැබුවද තද නිල් පැහැය තරමක් ඉස්මතු වී පෙනෙන ආකාරයෙන් යොදාගෙන ඇති බව හඳුනාගත හැකිය. මෙම තත්වය දහ නවවන සියවසෙන් පසුව වර්ණ ගැන්වූ සිතුවම්වල පැහැදිලිවම දැකගත හැකිය. නමුත් සමහර සිතුවම්වල විශේෂ ලක්ෂණයක් හඳුනාගත හැකිය. එනම් මිනිස් සිරුරේ මාංශ පේශීන් උළුප්පා දැක්වීම උදෙසා විවිධ වර්ණ රටාවන් යොදාගෙන තිබීමයි. තාත්වික වර්ණ හා ජායාවන් යොදා ගැනීමට ගත් උත්සහයක් වියන්තලයේ කෙළවරේ හා සැතපෙන පිළිම වහන්සේට ඉහළින් අඳින ලද සිතුවම්වලින් හඳුනාගත හැකිය. බරාඳයේ බාහිර සිත්තම් කර ඇති සිතුවම්වලින් හිරියල් වර්ණයේ හා දුඹුරුවන් හරිත වර්ණයෙන් ප්‍රකට වර්ණ ප්‍රභේදයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකිය.

ශෛලිය[සංස්කරණය]

හිඳගල විහාරස්ථානයේ මුල් යුගයේ සිතුවම් අජන්ටා හා බාදාම්හි මෙන් පශ්චාත් ගුප්ත යුගයට අයත් සිතුවම්වල ශෛලියට සමාන බවක් හඳුනාගත හැකිය. නමුත් ඒවා ශ්‍රී ලාංකික බව රැකගනී. හිඳගල විහාරස්ථානයේ බුද්ධ රුප සාම්ප්‍රදායික බුද්ධ ප්‍රතිමා මෙන් නොව ආඛ්‍යාන ශෛලියෙන් යුතු නම්‍යතාවයක් හා ස්වාධීන බවක් නිරුපණය කරනු ලැබේ. ලෙන් විහාර අභ්‍යන්තරයේ ඇති සිතුවම් මහනුවර සම්ප්‍රදාය අනුගමනය කළද නෙළුම් මල ඉදිරිපත් කර ඇත්තේ තාත්වික අයුරිනි. ශාක වර්ගයන් නිරුපණය කර ඇත්තේද මහනුවර චිත්‍ර සම්ප්‍රදායට අනුකූලවය.

මූලාශ්‍ර[සංස්කරණය]

  • චුට්වග්ස් නන්දන‚ ප්‍රෙමතිලක ලීලානන්ද‚ රොලන්ඩ් සිල්වා‚ 1990‚ ශ්‍රි ලංකා බිතුසිතුවම් හිඳගල‚ ශ්‍රි ලංකා පුරාවිද්‍යා අධිකාරිය‚ ශත සංවත්සරික ප්‍රකාශන‚ මධ්‍යම අරමුදල‚ කොළඹ.
"https://si.wikipedia.org/w/index.php?title=හිඳගල_රජමහා_විහාරය&oldid=399627" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි