Jump to content

හත්ථිකුච්චි පබ්බත

විකිපීඩියා වෙතින්

   ඉරහඳ නොදුටු පොකුණේ පුරාවෘත්තය

      ෴ හත්ථිකුච්චි පබ්බත

   දේවානම්පියතිස්ස රජ දවස ඉදිකරන ලද ශෛලමය විහාර සංකීර්ණය වන හත්ථිකුච්චිය ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලෑව ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇත. කුරුණෑගල - අනුරාධපුර පාරේ 43 වෙනි සැතපුම් කණුව අසලින් බටහිරට දිවෙන මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගිය විට දණ නවාගත් විශාල හස්ථියෙකුගේ හැඩයෙන් යුත් ගල් පව්ව නිසා හත්ථිකුච්චි යන නම් ලද මෙම විහාර බිමට පිවිසිය හැකිය.

   පොහොය ගෙය, බුදු මැඳුර, තෙමහල් ධාතු මන්දිරය, වටදාගෙය, බෝධිඝරය, දාන ශාලාව, පොකුණු 16ක්, චෛත්‍ය 8ක්, කටාරම් කෙටූ ලෙන් 38ක් හා සෙල්ලිපි 68ක් පමණ නෂ්ටාවශේෂ විසිර පවත්නා අක්කර 300ක පුදබිම උකුස්සන්, රිලවුන්, වඳුරන්, කොබෙයියන් හා මුව පොව්වන් වැනි සතුන්ගේ පාරාදීසයක් වන බැවින් ද හිත නෙත සනසන ඉසව්වක් ය.

   මෙහි පවතින බෝධිඝරය ලෝකයේ කිසිම තැනක දකින්නට නොලැබෙන සුවිශේෂත්වයකින් යුක්තය. බෝධිඝරයේ මල් අසල දෙකක් අතර ගඩොලින් ඉදිකරන ලද අඩි තුනක් උස, අඩි අටක් පමණ දිග ඉදිකිරීමක් ඇති අතර එක් පසක කවාකාර ශෛලමය ස්ථම්භයක් තබා ඇති මෙය සිරිසඟබෝ රජු මිහිදන් කර ගෞරව දැක්වීමට සැකසූ ස්ථානය ලෙස සැළකේ.

   තම පියා වන සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් රාජත්වයට පත් වන සිරිසඟබෝ රජු කුඩා කල පටන්ම ලෞකික ජීවිතයට ඇල්මක් නොතිබූ ධාර්මික අයෙකු විය. රජකමට බොහෝ ලොල් වූ සිත් ඇති තම මයිලනුවන් වන ගෝඨාභය කුමරුට දෙවසරක ඇවෑමෙන් රජකම පැවරූ සිරිසඟබෝ රජු ඉසුරුමුණියේ සිට දකුණු දෙසට පිටත්වී සැතපුම් 13ක් දුර ගෙවා පා ගමනින් ආ තැන හමුවන හත්ත වනගල්ලේ පර්වත මස්ථකයේ ලෙන තුළට පිවිස භාවනායෝගීව වාසය කර ඇත.

තම අයියන්ඩිය නැවත පැමිණ රජකම ගනීවි යැයි සිතූ ගෝඨාභය රජු සිරිසඟබෝ හිස ගෙන එන අයෙකුට රන් කහවණු දහසක් දෙන බවට අඬබෙරයක් රට පුරා යවා ඇත.

එකල අනුරාධපුරයේ ගැමියෙක් ගමනක් පිටත්ව කුසගිනි වූ නිසා තම බත් මුල ආහාරට ගැනීමට අතරමඟ හමුවූ පර්වත ලෙනට පිවිසී විට භාවනායෝගීව ඉන්නා තාපසයෙකු දැක තම බත්පතෙන් කොටසක් පූජා කර තමා ද ආහාර ගෙන අවසන තවුසා සමඟ කෙටි පිළිසඳරක යෙදෙන කල්හී ගෝඨාභය රජුගේ අඬබෙරය හේතුවෙන් රට පුරා මිනීමැරුම් සිදුවන බවත් මිනිසුන් සිරිසඟබෝ හිස ලෙස නොයෙක් මිනිසුන් මරා හිස් රැගෙන වාසලට එන බවත් තවුසා සමඟ පැවසීය. එකල්හි තමා නිසා රට නරකාදියක් වීම වලක්වා ගතයුතු බවත් තමා සිරිසඟබෝ රජු බවත් මේ හිස රැගෙන වාසලට යන්නැයි මගියාට පවසා සිරිසඟබෝ රජු තම හිස කඳෙන් වෙන් කර ලබාදී ඇත.

සිරිසඟබෝ හිස රැගෙන වාසලට පැමිණි මගියා රැගෙන ආවේ තම අයියන්ඩියගේම හිස බව වටහාගත් ගෝඨාභය රජු තමා කොයි සිට පැමිණෙන්නේ දැයි මගියා ගෙන් විමසා හත්ත වනගල්ලේ ඇත්කුස් නොහොත් හස්ථිකුච්චි පව්ව පාමුල සිරිසඟබෝ රජුගේ සිරුර වැටී තිබුණ ස්ථානයේ ම මිහිදන් කර බෝධිඝරය තැනවූ බව වංශකතාවන්හී දැක්වේ.

   සිරිසඟබෝ රජු භාවනායෝගීව වාසය කළ ලෙන තුළ පිහිටන ඉරහඳ නොදුටු පොකුණ හත්ථිකුච්චියේ පවතින තවත් පුදුමයක් ය. මෙම පොකුණට වසරේ කිසිම කාලයක ඉරේවත් හඳේ වත් ඡායාව වැටෙන්නේ නැත. ඇත්තෙන්ම එම ලෙන තුළ සිට කෙනෙකු පහළට වැටෙනවා නම් ඒ වැටෙන්නේ බෝධිඝරය පිහිටි ස්ථානයටම ය.

   හත්ථිකුච්චියේ මීළඟ පුදුමය ' සමබර පව්ව ' යි. ගල් පර්වතයක් මත සිරස් අතට පිහිටන මේ උසැති ගල්කුළ ස්වාභාවික පිහිටීමක් ද නැතිනම් මිනිසා විසින් සකස්කරන ලද්දක් ද යන්න පිළිබඳ තවමත් නිෂ්චිත පරීක්ෂණ සිදුකර නැත. මෙය අතීත යුධ උපක්‍රමයක් වන ගල් උගුලක් බව සමබර පව්ව සම්බන්ධව ඇති එක් මතයකි.

   ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස දක්වා කාලය තුළ ඉතාම සශ්‍රීක බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් හත්ථිකුච්චි විහාරය අඛණ්ඩව පැවති බව පුරාවිද්‍යාත්මක සාධක හෙළිකරයි. හත්ත වන ගල්ල, අතිතුචි, ඇත්කුස්, හස්ථිකුච්චි වැනි බොහෝ නම් වලින් විවිධ කාලයන් හී හඳුන්වන ලද හත්ථිකුච්චි විහාරයේ මහනුවර යුගයට අයත් ලෙන් විහාරයක් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද සහිතව නිරුපද්‍රිතව පවතී. " රාජාංගනය හත්ථිකුච්චි පබ්බත විහාරය සහ සිරි සංඝබෝධි බෝධිසත්ව " යන මෑත කාලීන මතභේදාත්මක පරීක්ෂණ ග්‍රන්ථය අධ්‍යනයෙන් හත්ථිකුච්චි විහාරය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සපයාගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=හත්ථිකුච්චි_පබ්බත&oldid=471122" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි