සෙන් බුදු දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සෙන් බුදු දහම හා සෙන් දහම වශයෙන් හදුන්වන්නේ ඒකදේශයක්ම පමණි. "සෙන්" යනු ජපන් වචනයකි. "චං" යන චීන වදනට අනුව මෙය නිර්මාණය වී තිබේ. චීනයේ "චං" පදය නිර්මාණය වන්නේ සංස්කෘත "ධ්‍යාන" යන වචනාර්ථය ආශ්‍රයෙනි. ථෙ‍රවාදයේ ධ්‍යන වශයෙන් හදුන්වන්නේ "ගැඹුරු මානසික අවස්තාවකට තාවකාලිකව පත්වීමයි". මේ ක්‍රියාවලිය භාවනාව ආශ්‍රිත වුවකි. භාවනාව තුළ අංශ දෙකකි. ‍සමථ හා විපස්සනා වශයෙන් එය හදුන්වයි. ගැඹුරු මානසික අවස්ථාවකට තාවකාලිකව පත්වී‍මේ ක්‍රියාවලිය "සමථ" භාවනාව වශයෙන් හදුන්වයි. "ධ්‍යන" යනු එයයි. සමථ යනු සිත තැන්පත් කිරීමයි. සංවර කිරීමයි. මෙය තාවකාලික වශයෙන් සිදුකිරීම මෙහි ඇති විශේෂ ලක්‍ෂණයයි. ඒ අනුව ධ්‍යාන මගින් පරමාර්ථ සත්‍ය අවබෝධ කිරීම දුෂ්කර වේ.

බුදු දහම ඉන්දියාවේ සිට චීනයට ව්‍යාප්ත වු පසු ධ්‍යන යන වචනයට පුළුල් අර්ථයක් ගැබු වී තිබේ. භාවනාවේ ඒකදේශයක් වශයෙන් ධ්‍යන ඉන්දියාවේ ව්‍යවහාර කළත් චීනයේ දී සමස්ථ භාවනාවම ධ්‍යන විෂයෙහි අන්තර්ගත විය. චීනයට ගෙනගිය බුදු දහමේ ප්‍රධානම අංගය වශයෙන් හදුන්වන්නේ භාවනාවයි. චං ආගමේ මුලිකාංගයයි. චං ආගමික ඉගැන්වීම් ජපානයට ගිය විට එය "සෙන්" බවට පත් විය.

සෙන් බුදු දහමේ මුලික ලක්‍ෂණයකි ධර්ම ග්‍රන්ථ භාවිතා නොකිරීම. චීනයේ ධර්ම ග්‍රන්ථ සම්පුර්ණයෙන් ඉවත් කළ අතර ජපානයෙදී සෙන් ආගම අංශ දෙකක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කර ගනී. ඒ "රින්සයි සෙන් හා ඩෝගන් සෙන්" වශයෙනි. කො‍ටසක් ධර්ම ග්‍රන්ථ භාවිතා කළ අතර අනෙක් කෙටස ධර්ම ග්‍රන්ථ ආශ්‍රයෙන් සම්පුර්ණයෙන් ඉවත් විය.

බුදු දහම චීනයට ගෙන ගිය විට බුදු දහමේ දාර්ශනික හා තාර්කික අංශයට දැඩි රුචිකත්වයක් දැක්වු අතර ආධ්‍යාත්මික අංශයට එතරම් නැඹුරු නොවීය. ලෞකික ජීවිතය‍ට නැඹුරැ වී ඇත. මේ නිසා චීනයේ භික්‍ෂු සමාජය මුලික භික්‍ෂු සමාජයේ ස්වරැ‍පයෙන් වෙන් වී තබේ. චීන භික්‍ෂුව සාමාජීය ක්‍රියාවන් හි නිරත වු අතර ධර්මය වෙත කෙටි කාලීන නැඹුරුවක් දැක්වීය. සෙන් බුදු දහමේ දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයකි අල්ප වචන භාවිතය. භික්‍ෂුන් වචනය අවම වශයෙන් භාවිතා කළ අතර ධර්ම දේශනා ඉතා කෙටි විය. සෙන් බුදු දහම වචනවලට විරුද්ධ නොවේ. ඔවුන් විරැද්ධ වන්නේ වචන භවිතා කිරීම නිසා ඇතිවන සංකල්ප නිර්මාණයටයි. සෙන් දහමේ ලක්‍ෂණය නම් වචන ආශ්‍රයෙන් සංකල්ප තනා ගැනීමෙන් වැලකී සිටීමයි. කල්පනා ලෝකය නිර්මාණය කිරීමෙන් දුරැ‍වී සිටීමයි.

සෙන් යනු පරමාර්ථ සත්‍ය අව‍බෝධ කිරීමයි. පරමාර්ථ යනු නිර්වාණය අවබෝධ කිරීම වේ. ථෙරවාද හා මහායාන දෙකෙහිම අරමුණ නිවන් දැකීමයි. එය මේ ආත්මයේ හෝ අනාගත ආත්ම භවයකදී හෝ සිදුවිය යුත්තක් සේ බෞද්ධයෝ කල්පනා කරති. එහෙත් සෙන් ආගමිකයින්ගේ මුලික අරමුණ වන්නේ මේ ආත්මයේදීම ඒ තත්වයට පත්වීමයි.

සෙන් බුදු දහම ඉතා කෙටි සංවාද වලින් පිරි කතාපුවත් රැසකින් අන්තර්ගතයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජිවිතය ආශ්‍ර‍යෙන් දාර්ශනික අවබෝධය ලබාගැනීමට උත්සාහ දරයි. එදිනෙදා සාමාන්‍ය ජිවිතය යන්නට පර්යාය වදනකි ‍"සෙන්". මිනිසාගේ ආධ්‍යත්මික අංශය මෙන්ම සංස්කෘතික අංශය වෙතටද යොමු වු අවධානයක් ඇති ඉගැන්වීමකි‍, සෙන් බුදු දහම.

"https://si.wikipedia.org/w/index.php?title=සෙන්_බුදු_දහම&oldid=12059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි