සුල්ෆිකාර් අලිභූතෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සුල්ෆිකාර් අලිභූතෝ

ළමා කාලය[සංස්කරණය]

සුල්ෆිකාර් අලිභූතෝ ඉපදුනේ 1928 ජනවාරි 5 වැනිදා ඉන්දියාවේ ලර්කානා ආසන්නයේ පිහිටි සින්ද් හිදීය. ධනවත් ඉඩම් හිමියෙකු හා ජුනාගාද් ප්‍රාන්තයේ ඇමතිවරයෙකු වූ සර් ෂා නවාස් භූටෝ ඔහුගේ පියා වූයේය. මව වූයේ හින්දු ආගමික නාටිකාංගනාවකි. ඇය කිසිම දිනෙක නවාස් භූතෝ සමඟ විවාහ වූයේ නැත. ඔහුගේ අනියම් බිරිඳ වෙන්නට පෙර ඇය ජවහර්ලාල් නේරු ගේ පියා වූ මෝතිලාල් නේරු ගේ අනියම් බිරිඳව සිටියාය. උපතේදී සුල්ෆිකාර් ගේ නම වූයේ ගාසි රාම්ය. ෂා නවාස් ගේ බූදලයට උරුමකම් කියන්නට වෙනත් පිරිමි දරුවෙකු සිටියේ නැත. එම නිසා සුල්ෆිකාර් අලි වශයෙන් නම් කරන ලද ළමා භූතෝ ලර්කානා හි පිහිටි පවුලේ නිවසට වැද්ද ගනු ලැබිණි. එහිදී ඔහුට පවුලේ සිරිත් විරිත් කියා දෙන ලද අතර සාමාන්‍ය මුස්ලිම් අධ්‍යාපනයක්ද ලබා දෙන ලදී. එහෙත් මව ගේ අපකීර්තිමත් අතීතයත් ඔහුගේ මුල් කාලීන මුස්ලිම් නොවු තත්ත්වයත් නිසා මුස්ලිම් ජාතිකයන් අතර ඔහුට එතරම් තැනක් ලැබුණේ නැත. ඔහුට ඉහළ සමාජයට පිවිසීමට හැකි වූයේ එවකට පාකිස්තානු ජනාධිපතිව සිටි ජෙනරාල් අයුබ් ඛාන් ගේ ත්‍යාග ශීලීත්වයට පින් සිදුවන්නටය.

අධ්‍යාපනය[සංස්කරණය]

බොම්බායේදී සිය මූලික අධ්‍යාපනය හමාර කළ අලිභූතෝ තරුණයා 1947 දී දකුණු කැලිෆෝර්නියා සරසවියට ඇතුළත් වූයේය. පසුව ඔහු බර්ක්ලේ විශ්ව විද්‍යාලයට මාරු වූයේය. හාවර්ඩ් විශ්ව විද්‍යාලයටද තෝරාගනු ලැබුවත් ඔහු බර්ක්ලේහිම රැඳී ඉන්නට තීරණය කළේය. බර්ක්ලේ ශිෂ්‍ය සභාවට ඡන්දයෙන් තේරීපත්වූ ප්‍රථම ආසියාතිකයා වූයේ සුල්ෆිකාර් අලිභූතෝය. 1950 දී බර්ක්ලේ සරසවියෙන් දේශපාලන විද්‍යාව සඳහා බී.ඒ. උපාධිය ලබාගත් ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වී ගෞරව උපාධියක් ලබාගත්තේය.

දේශපාලනය[සංස්කරණය]

1953 දී ඔහුගේ බිරිඳ බේගම් නුස්රත් භූතෝ දියණියකට උපත ලබා දුන්නාය. පසු කාලයකදී පාකිස්තාන අගමැති තනතුර හෙබවූ බෙනාසීර් භූතෝ ඒ දියණියයි. ජෙනරාල් අයුබ්ඛාන් යටතේ දේශපාලන දිවියට පා තැබූ සුල්ෆිකාර්ට 1958 දී කැබිනට් මණ්ඩලයට එක්වීමට ඉඩ ලැබිණි. 1963 දී ඔහු විදේශ ඇමැතිවරයා ලෙස පත් වූයේය. 1967 දී රජයෙන් ඉවත් වූ ඔහු පාකිස්තානු මහජන පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1971 දී පාකිස්තානු ජනාධිපති බවට පත් වූ ඔහු 1972 අප්‍රේල් මාසයේදී යුද නීතිය ඉවත් කොට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේය. එම ව්‍යවස්ථාව මුස්ලිම් ජනතාව ගේ හිත ඇදී යන ආකාරයට සකස් කිරීමට ඔහු පරිස්සම් වූයේය. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන ගණනාවක් ජනසතු කළ හෙතෙම ඉඩම් හිමියන්ගෙන් බදු අයකර ගැනීමටද කටයුතු යෙදීය. 1973 දී සුල්ෆිකාර් අලිභූතෝ පාකිස්තානයේ අගමැති පදවියට පත් වූයේය. නැවතත් යුද නීතිය පැනවු ඔහු ඉස්ලාමීකරණ වැඩ පිළිවෙළක් ආරම්භ කළේය. මෙයින් භූතෝගේ ජනප්‍රියත්වයට විශාල පිටිවහලක් ලැබිණි. 1977 මාර්තු මාසයේදී පැවැත්වුණ මැතිවරණය සඳහා භූතෝගේ පක්‍ෂයට එරෙහිව පක්‍ෂ නවයක් සංවිධානය වී පාකිස්තාන් ජාතික පෙරමුණ වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේය. එහෙත් භූතෝ පරද්දන්නට එයට හැකි වූයේ නැත. විරුද්ධ පක්‍ෂ කළේ මැතිවරණය දූෂිත බවට භූතෝගේ පක්‍ෂයට චෝදනා කිරීමය. මෙයින් ඇති වූ ගැටුම් රට පුරාම ව්‍යාප්ත වී ගියේය. විරුද්ධ පාක්‍ෂික දේශපාලනඥයෝ් අත්අඩංගුවට ගනු ලැබූහ. තත්ත්වය කෙමෙන් කෙමෙන් නරක අතට හැරෙද්දී භූතෝ පාකිස්තානු ජාතික පෙරමුණු නායකයන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට කැමති වූයේය. බොහෝ කාලයක් දිග්ගැස්සුණ මෙය අවසානයේදී සමතයකට පත් වූයේ 1977 ජූනි මස අග භාගයේදීය. එකඟතාව ඇති වූ දිනට පසු දා සිටම යුද නීතිය පිළිබඳ වගකීම හමුදාවට පවරා දෙනු ලැබිණි. 1977 ජූලි 5 වැනිදා ජෙනරාල් මොහමඩ් සියා උල් හක් ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් සිදු වූයේය. එහිදී බලයෙන් පහ කරනු ලැබූ භූතෝ මාසයක් පුරා නිවාස අඩස්සියේ තබනු ලැබිණි. දින 90 ක් ඇතුළත නව මැතිවරණයක් පවත්වන බවට සියා පොරොන්දු වූයේය. එහෙත් ඔහු එම පොරොන්දුව ඉටු කිරීම දිනෙන් දිනම කල් දැමීය. භූතෝ සිටියදී මැතිවරණයක් පැවැත්වූවහොත් ඔහුගේ පක්‍ෂය කිසිම දිනෙක බලයට පත් නොවන බැව් මාධ්‍ය සාකච්ඡා මඟින් අවධාරණය කිරීමට සියා උල් හක් සමත් වූයේය. නිදහස් වීමෙන් පසුව භූතෝ සිය ආධාරකරුවන් පිරිවරාගෙන රට පුරා සංචාරය කරන්නට වූයේය. ඔහු මේ ගමන් සඳහා දුම්රිය යොදා ගත් අතර විවිධ දුම්රියපොළවලදී ප්‍රසිද්ධ රැස්වීම් ඇමතුවේය. බොහෝ දුම්රිය ගමන් ප්‍රමාද වූයේය. සමහර දුම්රිය දින ගණන් ප්‍රමාද වුණි. දුම්රිය නැවතුම්පොළවලට විශාල සෙනඟක් රැස්වූයේ සුල්ෆිකාර් ගේ දේශනවලට සවන් දීම පිණිසය. නැඟී එන භූතෝ බලවේගයට බිය වූ යුද හමුදා රජය ඔහුට දුම්රියෙන් සංචාරය කිරීම තහනම් කළේය.

අත්අඩංගුවට ගැනීම හා අසම්පූර්ණ චෝදනා[සංස්කරණය]

සැප්තැම්බර් 3 වැනිදා භූතෝ අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 1974 මාර්තු මාසයේදී දේශපාලන විරුද්ධවාදියෙකු වූ අහමඩ් රාසා කසුරිගේ පියා ඝාතනය කිරීමය. පාකිස්තානු මහජන පක්‍ෂයේ සාමාජිකයෙකු වූ 35 හැවිරිදි කසුරි වරක් පක්‍ෂය හැර දා ගියේය. එහෙත් එම පක්‍ෂයෙන්ම මැතිවරණයට ඉදිරිපත්වීමට ඔහුට වුවමනා වූ අතර පක්‍ෂය විසින් ඔහු ප්‍රතික්‍ෂෙප කරනු ලැබිණි. වරක් කසුරි සහ ඔහුගේ පවුලේ අයට සැඟවී පහර දෙනු ලදුව, එහිදී ඔහුගේ පියා මිය ගියේය. පසුව කසුරි පැවසුවේ පහර දුන් අයගේ ඉලක්කය වූයේ තමා බවත් මීට පෙර ද 15 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කොට ඇති බවත්ය. අත්අඩංගුවට පත් වීමෙන් දින දහයකට පසුව විනිසුරු සමාධානි විසින් භූතෝ නිදහස් කරනු ලැබුවේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ සාක්‍ෂි පරස්පර විරෝධී හා අසම්පූර්ණ බැව් සඳහන් කරමිනි. එම නඩු තීන්දුව සමාධානි ගේ අවාසියට හේතු වූයේය. ඔහු වහාම උසාවි කටයුතුවලින් ඉවත් කොට නීති අමාත්‍යාංශයේ කළමනාකරණ කටයුතුවල යොදවනු ලැබිණි.

අලි භූතෝ එල්ලා මැරීමට සියා උල් හක් තීරණය කරයි.

ඉහළ උසාවියට[සංස්කරණය]

දින තුනකට පසුව සියා විසින් නැවත වරක් භූතෝ අත්අඩංගුවට ගනු ලැබුවේ එම චෝදනාව ඉදිරිපත් කරමින් යුද නීතිය යටතේය. පකිස්තානු මහජන පක්ෂය භූතෝගේ ආධාරකරුවන් එකතුකොට රැස්වීම් පවත්වන්නට වූ කල සියා මැතිවරණය අවලංගු කළේය. පහළ උසාවියට ඉදිරිපත් කරනු වෙනුවට කෙළින්ම ලාහෝර්හි ඉහළ උසාවියට ඉදිරිපත්කොට භූතෝට චෝදනා එල්ල කරන ලදී. මෙසේ කරනු ලැබුවේ ඔහුට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදීම පිණිසය. ඔහුට ඇප නියම කළ විනිසුරුවරයා ඉවත්කොට ඒ වෙනුවට පස් දෙනකුගෙන් සැදුම් ලත් විනිසුරු මඬුල්ලක් පත්කරනු ලැබීය. මෙහි ප්‍රධානත්වය ඉසිලුවේ අගවිනිසුරු මවුලවි මුස්ටාක්ය. ඔහු භූතෝට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළේය. නඩු විභාගය මාස පහක්ම පැවැත්විණි. මේ නඩුවේදී භූතෝ නංවනු ලැබුවේ ඔහු වෙනුවෙන් විශේෂයෙන්ම පිළියෙළ කරනු ලැබූ විත්ති කූඩුවකටය. 1977 ඔක්තෝබර් 4 වැනිදා සාක්ෂි විභාගය ඇරඹිණි. ෆෙඩරල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මසුඩ් මහමුඩ් භූතෝට විරුද්ධව සාක්ෂි දුන්නේය. සියා විසින් බලය අල්ලා ගත් වහාම අත්අඩංගුවට ගනු ලැබ දෙමසක් සිරගත කොට තැබූ මහමුඩ් නිදහස් කරන ලද්දේ මේ සඳහාමය. කසුරි ඝාතනය කරන ලෙස භූතෝ අණ දුන් බවත් ඒ අනුව ෆෙඩරල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ඝාතන තැත සැලසුම් කරන ලද බවත් මහමුඩ් කීවේය. මේ හතර දෙනා අත්අඩංගුවට ගෙන සම විත්තිකරුවන් වශයෙන් උසාවියට ඉදිරිපත් කරනු ලැබිණි. ඔවුහු තමා කළ වරද පාපෝච්ඡාරණය කළහ. එහෙත් එක් සාක්ෂිකරුවෙක් පසුව සිය සාක්ෂිය වෙනස් කළේය. තමාට වද දී බලෙන් පාපෝච්ඡාරණය කරවනු ලැබූ බැව් ඔහු කීවේය. පසුදා මෙම සාක්ෂිකරුවා උසාවියේ දක්නට නොවිණි. ඔහු හදිසියේම “රෝගාතුර” වූ බැව් දැනගන්නට ලැබිණි. භූතෝ සක්ෂි දෙන්නට පටන් ගත්තේ 1978 ජනවාරි 25 වැනිදාය. එදින කිසිම නිරීක්ෂකයෙකුට උසාවියට ඇතුළුවීමට ඉඩ නොදෙන්නට අගවිනිසුරු මවුලවි මුස්ටාක් කටයුතු කළේය. භූතෝ මෙයට ප්‍රතිචාර දැක්වූයේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරමිනි. අගවිනිසුරු අගතිගාමී බවට චෝදනා කොට නඩු විභාගය නැවත පවත්වන ලෙස භුතෝ ඉල්ලා සිටියේය. විනිසුරුවරයා භූතෝගේ අතීතය සිහිපත් කරමින් ඔහුට නින්දා කළේය. ඔහුගේ ඉල්ලීමද ප්‍රතික්‍ෂෙප කරනු ලැබිණි. “මහත්වරුනේ එක්කෝ ඔහුගේ බෙල්ල නැත්නම් මගේ බෙල්ල" අණ දෙන නිලධාරීන්ගේ රැස්වීමකදී සියා විසින් කියන ලද බවද ප්‍රචලිත වූයේය.

මරණීය දණ්ඩනය[සංස්කරණය]

1978 මාර්තු 18 දා සුල්පිකාර් අලි භූතෝට මරණීය දණ්ඩනය නියම කරමින් නඩු තීන්දුව දෙනු ලැබිණි. භූතෝ අභියාචනාවක් ඉදිරිපත් කරන බවක් පෙනෙන්නට නොවීය. ඔහු රාවල්පිණ්ඩි මධ්‍යම බන්ධනාගාරයේ සිර කුටියක රඳවනු ලැබිණි. ඔහුගේ පවුලේ උදවිය අභියාචනයක් ඉදිරිපත් කළ අතර මැයි මාසයේදී එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග විය. මේ සඳහා සූදානම් වෙන්නට භූතෝට සතියක කාලයක් ලැබුණු අතර භූතෝ තමාට එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් ලියැවිල්ලක් පිළියෙළ කළේය. එහෙත් එය ප්‍රසිද්ධියට පත් කිරීමට සියා උල්හක් ඉඩ දුන්නේ නැත. අග විනිසුරු අන්වරැල් හක් 1978 ජූලි අග දක්වා උසාවිය විසුරුවා හැරියේය. එසේ කළේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් නව දෙනාගෙන් පස් දෙනෙකුම ලාහෝර් උසාවියේ තීන්දුවට එරෙහිවීම නිසාය. භූතෝට පක්‍ෂ වූ එක් විනිසුරුවරයෙකුට ජූලි මාසයේදී විශ්‍රාම ගැනීමට නියමිත විය. මේ නඩුව විභාග කිරීම සඳහා පත් කරන ලස අන්වරැල් හක් අගවිනිසුරුවරයා සියා උල්හක්ගේ සමීපතමයෙකු වූවා පමණක් නොව සියා රටින් පිට වූ අවස්ථාවලදී ජනාධිපති ධුරයේ ද වැඩ බැලීය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ භූතෝගේ අයිතිවාසිකම් රැක ගැනීමට ඔහුගේ නීතිඥයන්ට පුළුවන්කම ලැබිණි. 1978 දෙසැම්බර් 18 වැනි දා රාවල්පිණ්ඩි අධිකරණයේදී භූතෝ මහජනතාව ඉදිරියේ පෙනී සිටියේය. එදින උසාවිය අතුරු සිදුරු නැතිව පිරී තිබිණි. මේ වන විට ඔහුට මරණ දඬුවම නියම වී මාස 9ක් ගත වී තිබූ අතර පසුගිය දින 25 තුළම පිරිසිදු වතුරවත් නොලැබූණ බව ඔහු අධිකරණය හමුවේ පැවසීය. ඔහු කිසිදු සටහනක් නොබලාම දින 4ක් තිස්සේ උසාවියට කරුණු ඉදිරිපත් කළේය. අභියාචනා ඉදිරිපත් කිරීම 1978 දෙසැම්බර් 23 දා අවසන් වූයේය. 1979 පෙබරවාරි 06 දා එහි තීන්දුව ලැබුණේ භූතෝ වරදකරුවෙකු කරමිනි. භූතෝ පවුල විසින් පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එම පෙත්සම විභාගයට ගන්නා තුරු මරණ දඬුවම කල් දැමිණි. 1979 පෙබරවාරි 24 වැනි දා පෙත්සම විභාගයට ගත්තේය. භූතෝ නිදහස් කරන ලෙස ඉල්ලා ලෝකයේ බොහෝ රටවල නායකයෝ පණිවිඩ එවූහ. ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්, ප්‍රංශ ජනාධිපති ගිස්කාඩ් ඩි එස්ටයින් සහ ෆාඩ් රජු ආදීහු ද ඒ අතර වූහ. මේ අභියාචනා දේශපාලනඥයන් අතර පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බඳුයයි සියා ප්‍රකාශ කළේය. මේ අතරතුරේදී තමාගෙන් සමාව ඉල්ලුවහොත් ඔහු නිදහස් කරන බවට සියා බන්ධනාගාරයේ සිටින භූතෝ වෙත පණිවිඩයක් යැව්වේය. භූතෝ එය ප්‍රතික්‍ෂේප කළේ අවඥා සහගතවය. 1979 මාර්තු 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලදී. සියා උල් හක් භූතෝගේ මරණ දඬුවම ස්ථිර කළේය. මේ අවාසනාවන්ත දේශපාලනඥයා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ (අ)භාග්‍යය ලද අලුගෝසුවා වූයේ ටාරා මසීන්ය. ඔහු පකිස්තානයේ සිටින සුළුතර ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් එකකු වූයේය. 1979 අප්‍රේල් 4 දා භූතෝගේ දෑත පිටුපසට කොට ගැට ගැසූ ටාරා මසීන් ඔහුගේ ගෙලට තොණ්ඩුව දැමුවේය. “දෙවියන් වහන්ස, මට පිහිට වෙන්න. මම අහිංසකයි ” තොණ්ඩුව ගෙලට තදවීමට පෙර භූතෝගේ මුවින් පිට වූ අවසන් වදන් ඒවා බව 1979 අප්‍රේල් 05දා බී.බී.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. සුල්ෆිකාර් අලි භුතෝ නමැති මහා පුරුෂයා මරා දැමීම වෙනුවෙන් ටාරා මසීන්ට ඇමෙරිකානු ඩොලර් සියයකට සමාන දීමනාවක් පකිස්තානු රුපියල්වලින් ලැබිණි. භූතෝට මරණ දඬුවම ලබා දීම අසාධාරණයක් බව බොහෝ දෙනෙකුගේ අදහස වූයේය. ඊට කෙළින්ම සම්බන්ධ වූ හෝ අනුබල දුන් අයටද විවිධාකාර දුක් වේදනාවලට මුහුණ දෙන්නට සිදුවූ බව තතු දන්නෝ පවසති.

මෙයද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුල්ෆිකාර්_අලිභූතෝ&oldid=279139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි