සිරි ගුනසිංහ

විකිපීඩියා වෙතින්
(සිරි ගුණසිංහ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
සිරි ගුනසිංහ
උපතේදී නමබැරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුණසිංහ
උපත1925 පෙබරවාරි 18
ශ්‍රී ලංකාව
මරණයMay 25, 2017(2017-05-25) (වයස 92)
ජාතිකත්වයශ්‍රී ලාංකික
ක්ෂේත්‍රයපද්‍ය කලාව, නවකතාකරණය, කලා විචාරය, කලා ඉතිහාසය, චිත්‍ර කලාව
පුහුණුවසිලෝන් යුනිවර්සිටි කොලීජිය සහ පසුව ලංකා විශ්ව විද්‍යාලය
කෘතීන්මස් ලේ නැති ඇට(1956), හෙවනැල්ල (1960), සත් සමුදුර (1968) සහ තවත් කෘති


සිරි ගුනසිංහ (1925 පෙබරවාරි 18 - 2017 මැයි 25) අග්‍රගණ්‍ය සිංහල කවියෙකි, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයෙකි, කලා විචාරකයෙකි. නිදහස් සිංහල කවියේ නැඟීම උදෙසා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක් ද විය. එසේ ම ලේඛනයේ දී මූර්ධජ ණ සහ ළ අක්ෂර ඉවත ලූ ඔහු සිය නම භාවිත කළේ ගුණසිංහ වශයෙන් නො ව ගුනසිංහ වශයෙනි.

මුල් සමය[සංස්කරණය]

1925 පෙබරවාරි 18 වැනි දා ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලද සිරි ගුනසිංහ මුලින් ගමේ බෞද්ධ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල පාසැලකින් ද අනතුරු ව රුවන්වැල්ල ප්‍රදේශයේ ද්විභාෂා පැසැලකින් ද, පසු ව ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද පාසැල් අධ්‍යාපනය ලැබී ය.[1] මහින්ද විද්‍යාලයේ දී ඔහු සමග එක පෙළෙහි අධ්‍යාපනය ලද සිසුන් අතර පසු ව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් බවට පත් වූ නන්දදාස කෝදාගොඩ, විනී විතාරණ, සිරිමල් රණවැල්ල හා ධර්මසේන අරම්පත්ත ද කීර්තිමත් මාධ්‍යවේදියකු බවට පත් වූ එඩ්වින් ආරියදාස ද වූහ.[2] ඉන් පසු (1942 දී ලංකා විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු) යුනිවර්සිටි කොලීජියට ඇතුළත් ව සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමර්ථ්‍යයක් සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය ලබා එහි ම සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ ය.

සංස්කෘත භාෂාව හැදෑරීම, තර්කනය හා සංවිධිතභාවය පිළිබඳ හැඟීමක් සිය කාර්යයන්ට ලබා දුන් බව ඔහු පසු කලෙක ආවර්ජනය කළේ ය.[3] එසේ ම ඔහුගේ ශාස්ත්‍රීය උත්සුකය පැරණි සම්භාව්‍ය චිත්‍ර කලාව වෙත හා කලා ඉතිහාසය වෙත ද යොමු විය.

වෘත්තීය ජීවිතය[සංස්කරණය]

1970 වන තුරු (මුලින් ලංකා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වුණු) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ ගුනසිංහ පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. 1970 සිට කැනඩාවේ පදිංචි ව සිටි ඔහු එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය. සිරි ගුනසිංහ 2017 මැයි 25 දින අභාවප්‍රාප්ත විය. [4]

නිර්මාණකරණය, ලේඛනය හා විචාරය[සංස්කරණය]

පද්‍ය[සංස්කරණය]

කවියකු වශයෙන් මෙන් ම විචාරකයකු ලෙස ද ඔහු මුල සිට ම කවිය පිළිබඳ රැඩිකල් අදහස් දරා සිටියේ ය. 1949 වසරේ ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල සමිතිය ප්‍රකාශයට පත් කළ අරුණ සඟරාවෙහි ඇතුළත් වූ ආ පසුව නමැති පද්‍යය සහ 1951 දී එම සංගමය විසින් ම පළ කෙරුණු පියවර සඟරාවෙහි ඇතුළත් වූ ඊයේ සොඳුර නමැති පද්‍යය සිංහල භාෂාවෙන් පළ වූ නිසඳැස් හා නිදහස් පද්‍ය සම්ප්‍රදායේ සන්ධිස්ථාන විය. පසු ව මේ පැදි දෙක ද ඇතුළත් ව 1956 දී මස් ලේ නැති ඇට නමැති පද්‍ය සංග්‍රහය නිකුත් වූ අතර මෙය කරුණු කිහිපයක් නිසා විශාල ආන්දෝලනයන්ට තුඩු දුන්නේ ය. සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රයට අනුකූල ව රචනා නොකිරීම, සිංහල සාහිත්‍ය සම්ප්‍රදායෙහි සුපුරුදු උපමා රූපක ආදිය බැහැර කොට සම්ප්‍රදායෙන් "පිටස්තර" උපමා ආදිය උපයෝගී කරගැනීම, මේ රචනාවන්ගෙන් ප්‍රකට වන ජීවන දෘෂ්ටිය පාරම්පරික සිංහල සංස්කෘතියට පටහැණි වීම යන චෝදනා මේ කෘතියෙහි විවේචකයෝ ඊට එල්ල කළහ.[5] ඊට ප්‍රථම ජී. බී සේනානායක "ගද්‍යයට ද පද්‍යයට ද අතර වන නිබන්ධ" වශයෙන් හඳුන්වමින් මේ ස්වරූපයේ නිදහස් නිර්මාණ කිහිපයක් 1946 පළ කරන ලද පලිගැනීම නම් කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කළ ද "නිසඳැස්" යන පදය මුල් වරට පද්‍ය විශේෂයක් හැඳින්වීම සඳහා භාවිත කෙරුණේ සිරි ගුනසිංහගේ මස් ලේ නැති ඇට කෘතියේ පිට කවරයෙහි ය.

ඉන් පසු පළ වූ අබිනික්මන සහ රතු කැකුල යන පද්‍ය සංග්‍රහ දෙක මස් ලේ නැති ඇට කෘතියෙන් ආරම්භ වූ නිදහස් පද්‍ය ආකෘතිය මෙන් ම නව්‍ය අන්තර්ගතයන් ගවේෂණය කිරීමේ නැඹුරුව අතින් ද ඉදිරියට ගමන් කිරීමකි.

පද්‍ය චිචාරය[සංස්කරණය]

ගුනසිංහ 1950 දී The Observer Annual සඟරාවට ලියූ The New Note in Contemporary Sinhalese Poetry නමැති ලිපිය නූතන කාව්‍ය විචාරයේ වැදගත් සන්ධිස්ථානයකි. එහි දී ඔහු එවක ස්ථාපිත ව ද ජනප්‍රිය ව ද පැවති "කොළඹ කවිය" ක්‍රමානුකූල විවේචනයට පාත්‍ර කළ අතර එම ප්‍රවණතාවේ නිශේධාත්මක පැති පෙන්වා දුන්නේ ය.[6] මීට අමතර ව දිණමිණ පුවත් පතට සැපයූ සිංහල කවියේ අනාගතය[7], නව ලේඛකයින්ගේ කවි[8] වැනි ලිපි මගින් නව පරපුරේ කවීන් මුහුණ දෙන සම්ප්‍රදාය, නවීනත්වය, සංස්කෘතිය හා කලා නිර්මාණකරණය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් හෙතෙම අදහස් දැක්වී ය. "සෑම අලුත් සංකල්පයක් ම සෑම අලුත් අත්දැකීමක් ම ප්‍රකාශ කිරීම සඳහා අලුත් යෙදුමක් අවශ්‍ය බව" කියා සිටි ඔහු සාහිත්‍යකරුවා අතීතයෙන් ලැබී ඇති සම්ප්‍රදායයන් ස්වල්පයෙන් තෘප්තිමත් වන්නේ නම් ඔහු "සිය ක්ෂේත්‍රයෙන් විශාල කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙකි" යි සඳහන් කළේ ය.[9],[10]

නවකතා[සංස්කරණය]

1960 වසරේ පළ කළ හෙවනැල්ල නවකතාව ද එවැනි ම ආන්දෝලනයක් ඇති කළේ ය. එහි වස්තු විෂය, භාෂා ශෛලිය හා තාක්ෂණය පිළිබඳ ප්‍රසාදාත්මක විචාර මෙන් ම විරෝධාත්මක විවේචන ද එක සේ පළ විය. මුල් ම වරට විඥානධාරා රීතිය සිංහල නවකතාවක් තුළ භාවිත වූයේ මෙහි දී බැව් සැලකේ.[11] හෙවනැල්ල නවකතාවේ දෙවැනි කොටස ලෙස රචිත මන්දාරම පළ වූයේ 1994 දී ය.[12]

චිත්‍ර කලාව, පොත් කවර හා රංග වස්ත්‍ර නිර්මාණය[සංස්කරණය]

වියුක්ත චිත්‍ර ශිල්පියකු වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ පැවැත්වුණු චිත්‍ර ප්‍රදර්ශනවල දී සිය කෘති ප්‍රදර්ශනය කළ අතර එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යය ඇතුළු විවිධ වේදිකා නාට්‍යවලට රංග වස්ත්‍ර නිර්මාණකරුවකු වශයෙන් සම්බන්ධ විය. ඔහුගේ චිත්‍ර ශිල්පී දක්ෂතා පොත් කවර නිර්මාපකයකු වශයෙන් විශාල කීර්තියක් අත් කර දීමට ද ඉවහල් විය.

චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යක්ෂණ[සංස්කරණය]

විචාරක ප්‍රසාදය මෙන් ම සරසවි සම්මාන ගණනාවක් ද දිනූ සත් සමුදුර චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සහ එක ම සිනමා කෘතිය විය. පසු කලෙක ගුත්තිල කාව්‍යය සංගීතමය ටෙලි නාට්‍යයකට නඟා අධ්‍යක්ෂණය කළේ ය.

කෘති[සංස්කරණය]

පද්‍ය[සංස්කරණය]

නවකතා[සංස්කරණය]

  • හෙවනැල්ල
  • මන්දාරම
  • මිරිඟුව ඇල්ලීම

චිත්‍රපට[සංස්කරණය]

ශාස්ත්‍රීය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Siri Gunasinghe felicitated: Legend of an epoch" Daily News, Wednesday, 7 April 2010. සිරි ගුනසිංහ සමග සම්මුඛ සාකච්ඡාව ඉෂාරා ජයවර්ධන [1]
  2. සමාජය විචාරපූර්වක නම් මාධ්‍යයට අන්තගාමී වෙන්න බැහැ - එඩ්වින් ආරියදාස සමග සම්මුඛ සාකච්ඡාව, සිළුමිණ, 2007 දෙසැම්බර් 16, සාකච්ඡා සටහන සුනිල් මිහිඳුකුල [2]
  3. Siri Gunasinghe felicitated: Legend of an epoch" Daily News, Wednesday, 7 April 2010. සිරි ගුනසිංහ සමග සම්මුඛ සාකච්ඡාව ඉෂාරා ජයවර්ධන [3]
  4. Prof. Siri Gunasinghe Passes Away [4]
  5. ධර්මදාස, කේ. එන්. ඕ, "මස් ලේ නැති ඇට" හා නූතන සිංහල කාව්‍යය, ගුනසිංහ, සිරි, මස් ලේ නැති ඇට, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. ISBN 955-20-2716-0 viii පිටුව
  6. ධර්මදාස, කේ. එන්. ඕ, "මස් ලේ නැති ඇට" හා නූතන සිංහල කාව්‍යය, ගුනසිංහ, සිරි, මස් ලේ නැති ඇට, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. ISBN 955-20-2716-0 x පිටුව
  7. ගුනසිංහ, සිරි, සිංහල කවියේ අනාගතය, දිනමිණ, 1959 නොවැම්බර් 16
  8. ගුනසිංහ, සිරි, නව ලේඛකයින්ගේ කවි, දිනමිණ අතිරේකය, 1962 පෙබරවාරි 5
  9. ගුනසිංහ, සිරි, වර්තමාන සිංහල සාහිත්‍යයේ භාෂාව, වීමංසා, 1966 අංක 9, 32-38 පිටු
  10. ධර්මදාස, කේ. එන්. ඕ, "මස් ලේ නැති ඇට" හා නූතන සිංහල කාව්‍යය, ගුනසිංහ, සිරි, මස් ලේ නැති ඇට, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. ISBN 955-20-2716-0 x-xi පිටුවල උද්ධ්‍රැත ය.
  11. බාලසූරිය, සෝමරත්න, සංඥාපනය, හෙවනැල්ල, සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 1994. ISBN 955-552-099-2 xi පිටුව
  12. ගුනසිංහ, සිරි, මන්දාරම, සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, කොළඹ, 1994. ISBN 955-552-101-8


"https://si.wikipedia.org/w/index.php?title=සිරි_ගුනසිංහ&oldid=444055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි