සාකච්ඡාව:ගම්පහ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී"


එදා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට වතුර ගිහිල්ලා . ආයෙත් වැහි කාලේ ඇවිල්ලා .

උසාවිය ඉස්සරහා හැමදාම අවුවේ වේලි වේලි ඉන්න සුදු ඉරි අයියලා දෙන්නා මේ මහ වැස්සෙත් වෙනදා වගේම නොසැලී ඉන්නවා. වැහි කබා පෙරවගත්තු උන් දෙන්නා නිකම් හැරී පොටර් ෆිල්ම් එකේ මන්තර ඉස්කෝලේ ඉන්න ගුරුවරු වගේ . කොයිතරම් වැස්සත් උන් දෙන්නා කොහොමද රාජකාරිය නොකර ඉන්නේ ?. අවුව, වැස්ස රෑ දහවල් එකයිලුනේ උන්ට.!

"ආ..! සඳරු මලේ කොහේද මේ වැස්සේ ?"

ලොකු ට්රැෆික් අයියා මගෙන් එහෙම ඇහුවෙ ! ඌ හැමදාමත් මගෙන් කොම්පියුටර් ඉගන ගන්න එන බුදු ෆිට් එකක් නිසා .

"මේ අහරෙට යනවා අයියේ ! මම එතනින් ඉක්මනට කැපුනා .”

ටවුමට ආපු මම ටවුම සිසාරා යන්න බැල්මක් හෙළුවා .මගේ ඇස් කෙනෙක්ව දැකගන්න ආසාවෙන් බලාන ඉන්නවා !

ටවුන් එකේ ඔරලෝසු කණුවට දකුණු පැත්තට වෙන්න ලොකු අන්දර ගහක් තියනවා . කෙළින්ම බැලුවාම නම් තියෙන්නේ වැව . ඉදිරියෙන්ම මැර බුවාලා ඉන්න යකඩ බජාර් එකත් . ඒ අසලම බස් නැවතුම්පලත් පේන්න තියනවා . ඒත් මගේ ඇස් හෙවුවේ එවුවයිං එකක්වත් නෙවේ .මම පණ දාගෙන මගේ බෝල ඇස් කරකවමින් හෙවුවේ එයාව .

ධනංජනීව!

වම් පැත්තේ අන්දර ගහ යට කුඩයක් ඉහළගෙන , තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කතා බහ කරමින් ඉන්න ධනංජනීව අන්තිමේදී මට හමු වුණා . එකි තවමත් මාව දැකලා නැහැ ! . ඒකිගෙයි මගෙයි අතර පරතරය මීටර් සීයකට වැඩියි . කලිසමේ චූ කරගන්න පොඩි සන්දියේදී පටන් දැන අඳුනගත්තු නිතර නිතර හමු වුණු . අසල් වැසි ගෙදර ධනංජනී කෙල්ලව මට මහ වැස්සක් මැදදී විතරක් නෙවේ . සහරා කාන්තාරේ චන්ඩ වැලි කුණාටුවක් මැද්දෑවේ වුණත් අඳුනගත්තැහැකි ඒ විතරක් නෙවි. තිත්ත කළුවරක, කෙල්ලෝ සීයක් අතර හැංඟිලා හිටියත් මට ධනංජනීව අඳුනගන්න පුළුවන් .

මම අඩියට දෙකට වම් අත පැත්තෙන් තිබුණු ෂෙඩ් එකට දිවුවා .

“මචං මේ කුඩේ පොඩ්ඩක් තියාගනිංකෝ මම එන ගමං ගන්නම්” . මම එහම කීවම එතන තෙල් ගහන මගේ මිත්රයා හිතන්න ඇති මට පිස්සු හැදීගෙන එනවා කියලා

සයිඩ් බෑග් එකත් පිටිපස්සට කරගෙන උඩ සාක්කුවේ තිබුණු ෆෝන් එකත් ඒකටම ඔබාගෙන . මහ වැස්සෙම ධනංජනී ඉන්න දිහාවට දිවුවා . ඒත් ඒතරම් වේගෙන් නම් නෙවෙයි ටිකක් හෙමින් . මම ලැසිම ලැසිම ලැසි ගමනින් ඒ කෙල්ලෝ ඉන්න තැනට කිට්ටු වුණා . ළඟට කිට්ටු වුණාම වේග ටිකක් වැඩි කළා .

“අනේ සඳරු මොකටද තෙමීගෙන ආවේ ? ඉක්මනට එනවා මෝඩයෝ කුඩේ ඇතුළට .”

ඉබ්බා දියේ දැම්මාම මොනවාදෝ කීවලු ! මමත් කුඩේ යටටම රිංගුවා එතකොටම ධනංජනීගේ යෙහෙළියෝ දෙන්නා එයාට අත වනලා යන්න පිටත් වුණා.අන්තිමේදී මමයි එයයි කුඩේ යට තනි වුණා .පහළින් ගලාන යන කුණු කාණුවේ ගන්ධස්සාරේ ධංජනීගේ කොලොන් එකේ සුවඳට යටපත් වුණා .මගෙ හිතේ සතුට උතුරනවා !

එක ලඟ ගෙවල් දෙකක ජීවත් වුණත් . නිතර දෙවේලේ හමුවුණත් ඉස්සර නිතරම මේ වගේ කුඩේ යටින් ගමන් බිමන් ගියත් අපි ආයේමත් මේ වගේ ලං වුණේ කොයිතරම් කාලෙකට පස්සෙද ? මගෙ බඩ බොක්ක කූල් වෙලා ගියා .ඒත් ඒ වැහි වතුර වල සීතලට නම් නෙවෙයි .

මේ කතාව පටන්ගත්තේ මම මහ වැස්සේ ලොකු කුඩයක් යටින් එන සීන් එකෙන් නම් නෙවෙයි . කතාව පටන්ගත්තේ එදා උදේ හයට විතර !

ඒ මොහොතේ මම ඇඳේ පෙරළිලා හොඳටම බුදි . සීතල නිසා ඔළුවේ ඉඳන් පොරවං හිටපු මට ෆෝන් එක රිං වෙන එක මහම මහ කන්දොස් කිරියාවක්ම වුණා . කීප වතාවක්ම ෆෝන් එක දිහා බලනෙවත් නැතුව ෆෝන් එක කට් කරලා දැම්මත් තුන් වෙනි වතාවේ මම ෆෝන් එක දිහාවේ බැලුවා කවුද මේ තදියම් කාරයා කියලා හිතෙන් බනින ගමන් . ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ Dani කියලා වැටිලා තියනවා දැක්කා විතරයි මගේ නිදිබර සෝමාරි ගතිය අතුරුදන් වෙලා ගියා .

“හලෝ“

"ඔයා අද වැඩට යනවද ?”

“ඇයි ධනී ?”

මේ..! මට බඩු වගයක් ගන්න තියනවා . අනුත්තරාටයි, සඳමාලිටයි අද වෙන ගමනක් යන්න තියනවාලු ඉතින් ඔයාට බැරිද පැයකට මගෙත් එක්ක ටවුන් එකට යන්න එන්න .

"මම එන්නම්”

“ඔයා එහෙනම් ටවුමට එන්න මම ඔරලෝසු කණුව ගාව ඉන්නම් .”

ඒ ඉරිදා දවසක් . අනිත් අයට නිවාඩු වුණාට ඉරිදා කියන්නේ මට වැඩ වැඩිම දවස . ඒත් මේ කෙල්ලගේ ඉල්ලිම අහක දාන්න මට ඒ මොහොතේ හිත හදාගන්න නම් බැරිවුණා . ඒ මමත් අනිත් එවුං වගේම මනුස්ස පරාණයක් හින්දා වෙන්නැති..! සීතලේම වතුර බාල්දි දහයක් දොළහක් නාගත්තු මම බස් එකක එල්ලිලා පැය භාගයක් ඇතුළත ටවුන් එකට ගියා . ධනංජනීව මුණ ගැහුණා . ඉතින් මම නතරවුනේ එයාගේ කුඩේ යට .

ධනංජනී මගෙන් උදවුවක් ඉල්ලුවේ අවුරුදු දෙකකට විතර පස්සේ .ඉතින් කොහොමටවත් ඒ උදවුව නොකර ඉන්න මට පුළුවං කමක් තිබුණේ නෑ . ධනංජනී කියන්නේ මම ජීවිතේ වැඩිම කාලයක් ඇසුරු කරපු කෙල්ල. මගේ ළඟින්ම හිටපු කෙල්ල. අපි දෙන්නට තිබුණේ හරිම සුන්දර ළමා කාලයක්. මගේ ගෙවල් ගාවම තමයි ධනංජනීලෑ ගෙවල් තිබුණේ . ඒකි පොඩි කාලේ කොයි වෙලේ බැලුවත් හිටියේ මගෙත් එක්ක .මමත් එහෙමයි ඒකිත් එක්කම හිටියා . ටිකක් ලොකු වුණාමත් අපි දෙන්නා එකට හමු වුණා , නිතර කතා බහ කළා. එත් කලින් තිබුණු ලෙංගතු කම අපි දෙන්නා අතරින්ම ටික ටික ඈත්වෙලා තිබුණා . ඔය කාලෙදී මම ධනංජනීට පපුව පිරෙන්නම ආදරේ කරා . ඒත් ඒ ආදරේ මම කවදාකවත් එළියට දැම්මේ නෑ .

මේ පහුගිය දවසක දංනජනීලෑ අම්මා සහ මගේ අම්මා දෙන්නා අපි දෙන්නව ජෝඩු කරන්නත් පොඩි උත්සාහයක් ගත්තා . ඒත් ඒ වෙනකොට ධනංජනී සහ මම හිටියේ පොඩි හිත් අමනාපෙකින් ඒ වගේම . ඒක නිසා මම කෙළින්ම ඒ යෝජනාවට පයින් ගැහුවා ඊට පස්සේ මට ආයෙමත් ධනංජනීව හමුවුණේ මේ කුඩේ යටදී ..

ඔලුවේ වතුර ලේන්සුවෙන් පිහින ගමන් මම හොරැහින් ධනංජනී දිහෑ බළුවා .දෙයියනේ ඒකි ලස්සන වෙලා . කොණ්ඩෙත් ලස්සනට කඩා හැලෙනවා . මේ වගේ කෙල්ලක් එක්ක කුඩේ යටින් යන මාව දකින කොල්ලෝ මට ඉරිසියා කරාවි !. ඒ තරම්ම ධනංජනී ලස්සනයි. දකින ඕන කොල්ලෙක්ගේ බැල්ම පැහැරගන්න තරම්ම ඒකි ලස්සනයි. ඒත් මම මේ කෙල්ලට ආසා කළේ මේකි හොටු පෙරාගෙන මඩ ගාගෙන සොල්ලම් කරන පුංචි කාලෙදීමයි..

"අපි යමුද ?”

මගේ කල්පනා ලෝකේ සවාරිය ඉවර වුණේ . ධනංජනී එහෙම ඇහුවට පස්සෙයි

"සඳරු ඔයා අද වැඩට යනවා නේද ? “

"නෑ අද මට එන්න වෙන්නේ නෑ අසනීපයි කියලා මම උදෙන්ම කෝල් එකක් දුන්නා . “

"බොරු කියන්න දන්නෙම නෑ !

"නැතුව බෑ නේ කෙල්ලෙක් එක්ක ටවුන් ආවා කියලා නිවාඩු ගන්නයැයි"

"ඒකත් ඇත්ත . “

"ඉතින් ඔයාට මොනාද ගන්න තියන බඩු . මිරිස් ගල් , වංගෙඩි වගේ බර දෙයක් ගෙදර ගෙනියන්න ඕන ඇති ඒකනේ ඔයා මට එන්න කීවේ . “

"ඒව නම් නෑ ඒත් මට බඩු ගොඩක් ගන්න ඕන"

"තාත්තගේ පඩියට විදින්න ලැජ්ජ නැද්ද ?”

"අහන්නකෝ ලබන මාසේ මම බඳිනවා .! ඉතින් බඩු ගන්න තියනවා .”

මහ හඬින් ගොරවලා අකුණක් ගැහුවා .හැබැයි ඒ වැහි බර අහසේ නම් නෙවේ මගේ පපුව ඇතුළේ.එහෙනම් ඒකද අවසානේ ?

ධනංජනීගේ කටින් පිටවුණු ඒ කියත් පටියක් වගේ තියුණු උත්තරේට . මාව සම්පූර්ණයෙන්ම ගොළු වුණා . හිත කඩාගෙන වැටුණා .එක අතකින් මට මෙහෙම වෙන්න ඕන . හැමදේකටම වැරදි කාරයා මම . මම කවදාවත් මගේ ආදරේ එයාට කියලා නෑ .එයාලෑ ගෙදරින් යෝජනාවක් ගෙනාවම ඒකටත් පයින් ගැහුවා . ඉහළට ඇද ගත්තු හුස්මක් හෙමිහිට පහළ දාන අතරේ මම හිත හදාගත්තා .

අපි දෙන්නම රෙදි කඩයක් ඇතුළට ගියා . එළියේ මහ වැස්සක් වහිනවා . අහසත් අඬනවාද මන්දා ? ධනංජනීගේ මූණෙන් අමුතු දුකක්වත් අමුතු සතුටක් වත් පේන්නේ නම් නෑ .ධනංජනී පැයක් විතර ඒ කඩේ ගත කරලා රෙදී මීටර කීපයක් අරගත්තා .

“මේවා ජනෙල් දොරවල් වලට දාන්නයි ගත්තේ” . එයා එහෙම කියනවා .

ඊළඟට ධනංජනීගේ දෙපා නතර වුණේ රත්තරන් බඩු කඩේක.

"මේ ඔයා මේවත් ගන්න සල්ලි ගෙනාවද ?”

"අපෝ නෑ අම්මා මට කිවුවා ඩිසයින් එකක් තෝරගෙන එන්න කීවා මම මේ ඒකට යන්නේ . “

"මම එළියේ ඉන්නම් . ! “

"හ්ම් ඔයාගේ කැමැත්තක්"

ධනංජනී එතනත් පැයක් විතර ගත කළා . කිසිම රත්තරන් බඩුවක් මිලට ගත්තේ නැතත් කඩේ තිබුණු හැම අස්සක් මුල්ලක් නෑරම එයා අවුස්සලා බැලුව බව නම් මම දැක්කා . ඊට පස්සේ අපි ආයෙමත් පිටත් වුණා .ධනංජනීගේ අතේ තිබුනු බර රෙදි මල්ල මම අතට ගත්තා . කෙල්ලෙකුට බර පටවලා කෝමද ?

"දැන් ඉතින් මට වෙඩින් කියන්නේ නැද්ද ?” හිතේ ඇවිලෙන කෝටියක් දුක් ගින්දර තද කරන් මම එහෙම ඇහුවේ එන්න කියලා කීවත් නොගිහින් ඉන්න කලින්ම තීරණය කරගෙනමයි.

"මොකද නැත්තේ ? තවම කාඩ් ගහලා නෑ මම ඔයාට වෙනම කියන්නයි හිටියේ . “

"දැන් ඉතින් කිවුව නේ ආයේ කාඩ් ඕන නෑ"

ධනංජනී නිහඬ වුණා .ඔන්න එතකොටම ධනංජනීගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා .

“අනේ මේ කුඩේ පොඩ්ඩක් අල්ලගන්න”

ධනංජනී එයාගේ හෑන් බෑක්කේ අවුස්සන්න ගත්තා . එයා බෑග් එක අස්සේ අත දාගෙන එහේට මෙහේට දඟලන දිහා මම ආසාවෙන් බලාන හිටියා .මේ තමයි අවසාන වතාව ආයේ මම මැරෙන තුරාවට මේ කෙල්ලට මේ තරම් ළඟින් ඉන්න බැරි වේවි .මේ සුවඳ මට විඳගන්න බැරිවේවි .අවුරුදු දහසයක් පරණ සම්බන්ධයක අවවසානයට මම ටික ටික කිට්ටු වෙලා .

"හලෝ …… ඔවු ඔවු ………ආවා ආවා .. හ්ම් ..හ්ම් "

ඕක තමයි එයාගේ කෙටි දුරකථන සංවාදය ..ඊළඟට වෙන්න යන දේ මට ඉවෙන් වගේ දැනුණා . කමක් නෑ මම බබා වගේ ඉන්නම් ..මම එහෙම හිතන ගමන් හිත හදාගන්න ලොකු උත්සාහයක යෙදුණා .

"මේ මේ සඳරු . අයියා මට බෑංක් එක ගාවට එන්න කියනවා මම යන්නද ?”

"එයා බෑංක් එකේද වැඩ . ?”

"ඕ "

"යමු මමත් එන්නම් මේ බඩු ටික ගෙනියන්නත් එපෑය "

"අනේ එපා සඳරු ඒක හරි නෑ එයා ටිකක් වෙනස් ඔය ටික මම ගෙනියන්නම් "

"එහෙමද ? එහෙනම් මේ ටික ගන්නකෝ මම යන්නම් .”

හිතේ තිබුණු ආදරයයි ඒ ආදරය උඩටම වැටුණු වෛරයයි . ලැජ්ජාවයි මේ තුනම වහින වැස්සට හේදිලාම පලයං කියලා හිතාගෙන මම කුඩෙන් එළියට ආවා. මොරසූරන මහ වැස්ස මැදටම.

"සඳරු මම ඔයාව එහා පැත්තට ගිහින් දන්නම් තෙමෙන්න ඕන නෑ "

"නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..”

බෑග් එකේ තියන ෆෝන් එක තෙමෙන්නේ නැති බව මට විශ්වාසයි . මම ආපු පාර දිගේ වැස්සෙම ඇවිදගෙන ගියා . “තව වැස්ස වැඩි වෙයං තව වැඩිවෙයං” මම හිතෙන් මිමිනුවා .

මට හිතෙනවා මම ජීවිතේ කොහේ හරි තැනක් වරද්ද ගත්තා කියලා . ඒත් ඒ වරද ආපහු හදන්නවත් ඒ වරද මොකද්ද කියලා හිතන්නවත්. මට පුළුවන් කමක් නෑ . මම ධනංජනීව අවුරුදු ගාණක්ම ඇසුරු කළා . කාලයක් පපුව පිරෙන්න ආදරේ කළා තව කාලයක් වෛර කළා .අපි දෙන්නගේම ගෙවල් වල උදවිය හිතුවේ අපි දෙනට දෙන්නා දෙන්නා ආදරේ කරාවි කියලයි .ඒත් එහෙම වුණේ නෑ. දැන් මට ඒ කෙල්ලට ආයේ බනින්නවත් අවස්ථාවක් නෑ . ලබන මාසේ දවසක ඒකි වෙන ගෙදරක පදිංචියට යාවි . කමක් නෑ මම ආයේ ඒකිට වෛර කරන්නෙත් බැඳගෙන ආදරේ කරන්නෙත් නෑ .

එදා ඒ වැටෙන වැස්සේ තෙමීගෙන යන අතරේදී මම තීරණය කළා ධනංජනීගේ මගුල් ගෙදර නොගිහින් ඉන්න . කෙල්ලෙක් නිසා දුක් වෙන කෙනෙක් නම් නෙවෙයි මම ඒ වුණත් මේ ලියන මොහොතෙත් මේ ගතවුණු සතිය පුරාමත් මගේ පපුව ඇතුළේ දඟලන අමුතුම හැඟීමට දෙන්න නමක් නම් මට හිතාගන්න බෑ ..! මම හැම අතකින්ම හිරවෙලා . මට පපුව පිරෙන්න ආදරේ කරන කෙල්ලෙක් මට දැන් ඉන්නවා ඉතින් ආයේ ධනංජනීට ළංවෙන්නත් මට බෑ .

දවසක්දා මම මටම පොරොන්දු වුණා ධනංජනීට කලින් මම කසාද බැඳලා ඒකිගෙන් පලි ගන්නවා කියලා . ඒත් පැරදුනේ මම .පරාජය භාරගත්තු මම මම මේ පැතුම කරන්නේ පිරිසිදු හිතකින් නම් නෙවේ නොකර බැරි නිසා.මගේ හිතේ දුකක් නෑ මේ ලිපිය ලීවෙත් මේ මාසෙට ලිපි හතක් නොතිබුණොත් ඒක අඩුවක් වගේ දැන නිසාම විතරයි .

සුබ මංගලම් ධනංජනී ..!!!

ප/ලි . හඬන සිත නිවන මල්පැනි නැතුව බැරි හැඩයි . !

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ගම්පහ&oldid=184876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි