Jump to content

සල්පිටි කෝරළය

විකිපීඩියා වෙතින්

කෝට්ටේ අගනුවර ආශ්‍රිතව තිබුණු සල්පිටි කෝරළේ, පටන් ගන්නේ කොළඹ කොටුව අසලිනුයි. වර්තමාන ස්ථාන අනුව බැලුවම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් බේරේ වැවේ වතුර මුහුදට ගලන ඇළ මාර්ගය අසලින් පටන් අරගෙන එක් පසෙකට මුහුද මායිම් කරගෙන මොරටු ගඟ නැත්නම් බොල්ගොඩ කළපුවේ ජලය මුහුදට වැටෙන තැන දක්වාම මුහුද සල්පිටි කෝරළයේ බටහිර මායිමයි. නැඟෙනහිර පැත්තෙන් ආසන්න වශයෙන් සල්පිටි කෝරළේ මායිම වර්තමාන ලකුණු අනුව කිව්වොත් බේරේ වැව එක් පසෙකට මායිම්ව කොල්ලුපිටිය හා බම්බලපිටිය, කුරුඳුවත්තෙන් වෙන්වන මායිම දිගේ දකුණට කුරුඳුවත්ත හා තිඹිරිගස්යාය වෙන්කරන මායිම දක්වා එනවා. එතැනින් කුරුඳුවත්ත හා තිඹිරිගස්යාය වෙන්කරන මායිම දිගේ හීන් ඇළ දක්වා එනවා. හීන් ඇළ දිගේ නාරාහේන්පිට හා බොරැල්ල වෙන්කරන මායිම හදාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලින් ඇවිත් උතුරු පැත්තට ඒ හීන් ඇළ දිගේම ගිහින් රාජගිරියෙ ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉස්සරහින් ශ්‍රී ජයවර්ධනපුර මාවත පසුකර ආයුර්වේද රෝහලට නැඟෙනහිරින් රාජගිරිය බොරැල්ල පාර පනිනවා. ඉන් පසුව ඔබේසේකරපුර පහුකරලා වටෙන් හීන් ඇළ දියවන්නාවට සම්බන්ධ වෙන ඇළ දිගේම ඇවිත් රාජගිරිය අයි.ඩී.එච්. පාර පැනලා දියවන්නා වැවට වැටෙනවා.

දියවන්නාව දිගේම ඇවිත් පාර්ලිමේන්තුව පහු කරලා කිඹුලාවල හන්දිය පැත්තෙන් දියවන්නාව දිගේ ඇවිත් පන්නිපිටියෙ ලියනගොඩ වෙල්යායේ වතුර දියවන්නාවට ගලන ඇළ දිගේ ඇවිත් බොරැල්ල කොට්ටාව පාරේ පොල්වත්ත හා කළල්ගොඩ හන්දි දෙක අතර තියෙන බෝක්කුව පහු කරනවා. ඊට පස්සෙ පන්නිපිටිය හෝකන්දර පාරේ ලියනගොඩ වෙල්යාය මැද්දෙන් තියෙන ඇළ දිගේ ඇවිත් පන්නිපිටියෙ පෝරගොඩැල්ලේ වෙල්යායෙ ඉස්මත්තට එනවා. ඊට පස්සෙ වගුරුබිමක් ඔස්සේ කොට්ටාව ආනන්ද විදුහල පිටිපස්සෙන් ඇවිත් ආනන්ද විදුහලත් කොට්ටාව හන්දියත් අතරින් බොරැල්ල පාර පනින මායිම් රේඛාව හයිලෙවෙල් පාර පනින්නේ කොට්ටාවෙ ලාෆ්ස් සුපර් මාර්කට් එක පහු කරනකොටම මහල්වරාව පැත්තට තියෙන බෝක්කුව යටිනුයි. එතැනින් පස්සෙ මේ මායිම යන්නෙ කොට්ටාවත් දිගන ගමත් අතර වෙල්යාය ඉස්මත්තෙන් කොට්ටාව නගරයත් බංගලාවත්ත කොටසත් අතරිනුයි. ඒ විදියට සල්පිටි කෝරළේ මායිම කොට්ටාව ධර්මපාල විදුහල හා පින්හේන හන්දිය අතරින් හොරණ පාර පැනලා මාකුඹුර  වෙල්යායේ කොට්ටාව ආසන්න හරියෙන් මත්තෙගොඩ විද්‍යාදීප විදුහල මායිමෙන් ඇවිත් යළිත් ආපහු හොරණ පාර පැනලා මත්තෙගොඩ ගමත්, මාඹුල්ගොඩ හා බ්‍රාහ්මණගම කියන ගම් වෙන්කරන වෙල්යාය මැද ඇති ඇළ දිගේ ඇවිත් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගොස් දීපංගොඩ ඇළට සම්බන්ධ වෙනවා.

දීපංගොඩ ඇළ දිගේ ඉහළට යන සල්පිටි කෝරළේ මායිම නියඳගල හා මාගම්මන ගම අතර ඇති වෙල්යාය ඔස්සේ, අපේ මාඹුල්ගොඩ දූවේ පුරාණ විහාරස්ථානයේ ඉඳන් බැලුවම පේන දුරින් සල්පිටි කෝරළේ මායිම් රේඛාව උතුරු දෙසට විහිදෙනවා. එහෙම ගිහින් මාගම්මන හා උඩුවන ගම් මායිම දිගේ දියගම කිරිවත්තුඩුව ගම් සල්පිටි කෝරළේට ඇතුළු කරගෙන කිරිවත්තුඩුව හා තලගල වෙන්කරන මායිමෙන් හොරණ පාර හරහා ගොස් කෝරලඉම හන්දියෙන් හොරණ-කොළඹ මාර්ගය පැනලා ගිහින් එතැන වෙල්යායෙ ජලය බොල්ගොඩ කළපුවට ගලා බසිනා ඇළ මාර්ගය දිගේ බොල්ගොඩ කළපුවට වැටී එතැනින් බොල්ගොඩ කළපුව හරහා මොරටුව පාලම හා පානදුර එගොඩඋයන පාලම යටින් මුහුද දක්වා ගමන් කරනවා.

මේ විදියට මායිම් වී ඇති සල්පිටි කෝරලය උඩුපත්තුව හා පල්ලෙපත්තුව විදියට පත්තු දෙකකට බෙදලා තියෙනවා. මේ පත්තු දෙකට උඩුපත්තුවට ගම් 25කුත් පල්ලෙපත්තුවට ගම් 80කුත් විදියට ගම් 105ක් අතීතයේ අයත් වුණා. වර්තමානය අනුව බැලුවොත් තිඹිරිගස්යාය, කෝට්ටේ, දෙහිවල, රත්මලාන, මොරටුව, කැස්බෑව, මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සම්පූර්ණයෙන්ම අයිති වන්නේ සල්පිටි කෝරළයටයි. සල්පිටි කෝරළේ උඩුපත්තුවට අයිති මාගම්මන, දියගම කිරිවත්තුඩුව, කහතුඩුව, කිරිගම්පමුණුව, මත්තෙගොඩ ආදී වශයෙන් ගම්  25ම අයත්වන්නේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

"https://si.wikipedia.org/w/index.php?title=සල්පිටි_කෝරළය&oldid=721086" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි