සබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

හැඳින්වීම[සංස්කරණය]

සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්‍රධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉඳිකර ඇති මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින් රජුගේ අමාත්‍ය ආර්යකාමදේව විසින් තැනවූ බව සැලකේ. ඉන් අනතුරුව ශ්‍රී පරාක්‍රමබාහු, දෙවන රාජසිංහ හා දෙවන රාජසිංහ ආදී රාජ්‍ය සමයන්හිදී ප්‍රතිසංස්කරණය කරන ලද සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් උසුලයි. දේවාලය ආශ්‍රිත ව ගොඩනැගුණු පුද පූජා, වත්පිළිවෙත් හා සමාජීය කුල පරම්පරා ආදිය නිසා ඓතිහාසික වටිනාකම අතින් පමණක් නොව සංස්කෘතිමය වශයෙන් ද ආවේණික වටිනාකමක් ගෙන එයි. දේවාලය ආශ්‍රිත ව පවතින ප්‍රධාන සංස්කෘතිකාංග අතර දිනපතා පූජා හා කාර්තු පුජා වැදගත් වේ.


දුරුතු, බක් හා ඉල්මහ කාර්තු වලදී නැටුම්, ගැයුම්, වැයුම් වලින් තොරව හේවිසි ශබ්ද පූජාව පමණක් පවත්වමින් දේවාල ගොඩනැගිල්ල වටා ඉතා චාම් ලෙස පෙරහැර පවත්වන අතර ඇසළ කාර්තුවේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පෙරහැර පවත්වයි. එය ඇසළ මහ පෙරහැර වන අතර මෙම ලිපිය තුළින් සාකච්ඡා කෙරෙනුයේ ඇසළ මහ පෙරහැර හා ඒ ආශ්‍රිත වත්පිළිවෙත් හා විවිධ සංස්කෘතිකාංග පිළිබඳවයි.

ඇසළ මහ පෙරහැර[සංස්කරණය]

දඹදෙනි සමයේ දී සමන් දේවාලය ආරම්භ කළ ද ඇසළ පෙරහැරක් පැවැත් වූ බවට ප්‍රථම වරට වාර්තා වන්නේ හයවන පැරකුම්බා රාජ්‍ය සමයේදීයි. මේ කාලයේ ඇරඹි ඇසළ පෙරහැර සීතාවක රාජසිංහ සමය වන විට දළඳා පෙරහැරක් බවට පත්විය. ඒ වන විට තහවුරුව පැවති මතයක් වුයේ දළඳාව හිමි තැනැත්තාට රජකම් උරුම බවයි. ඒ අනුව සීතාවක රාජසිංහ රජු දෙල්ගමු විහාරයේ වැඩසිටි දළඳා වහන්සේ ඇසළ සමය වන විට සමන් දෙවොලට වැඩමවා පෙරහැර පවත්වා ඇත. මෙම පෙරහැර ඉතා සංවිධානාත්මකව පවත්වා ඇති බව දළඳා පෙරහැර කවි නම් කාව්‍ය සංග්‍රහයෙන් මනාව පිළිඹිබු වන බවත් මේ අනුව සමන් දේවාලයේ ඇසළ උත්සවය ක‍්‍රමවත් ව ආරම්භ කරන්නට ඇත්තේ හයවන වන රාජසිංහ රාජ්‍ය සමයේ දී බවත් මඩලගම වජිරබුද්ධි හිමි පෙන්වා දෙයි. (වජිරබුද්ධි හිමි, 2007) දළඳා වහන්සේ මහනුවරට වැඩම කරවීමෙන් පසු දේවාභරණ සමන් දෙවොලට වැඩමවා (පෘතුගීසීන්ගෙන් බේරා ගැනීමට ඉඩම්ගොඩ දෙවොලේ සගවා තිබූ දේවාභරණ) පළවන රාජසිංහ රජු විසින් විධාන කරන ලද ආකාරයට නැවත දළඳා පෙරහැර පැවැත්වීමට දෙවන රාජසිංහ රජු සමය වන විට හැකිවී ඇත. එතැන් සිට දේවාභරණ පෙරහැරේ වැඩම කරවමින් උත්සවාකාරයෙන් ඇසළ උත්සවය පැවැත්වීම අද දක්වාම දක්නට ඇත.


මෙලෙස ආරම්භ කළ ඇසළ පෙරහැර සෑම වසරක් පාසාම ඇසළ මස අමාවකදාට පසු දින ආරම්භ කර එදින සිට පසළොස්වක පෝය දිනට පසු දින දක්වා දින පහළවක් පෙරහැර පවත්වයි. පෙරහැර අවසන් කිරීම සඳහා ගෙවැදීමට සුභ මොහොතක් උදාවන තුරු ඇතැම් විට දිනක් දෙකක් ඉදිරියට පෙරහැර පවත්වයි.

මෙම ඇසළ උත්සවය පෙරහැර තුනකින් සමන්විත වෙයි.

  1. කුඹුල් පෙරහැර
  2. දෙවේලේ පෙරහැර
  3. මහ පෙරහැර

කුඹුල් පෙරහැර[සංස්කරණය]

වළං කඳක් ගත් අතවැසියෙකු සමග කුඹලා (වළං තනන්නා) කළස් දෙකක් අතින් ගෙන පෙරහැර ඉදිරියෙන් ගමන් කර හඳුන්කුනමේ කළස් දෙක තබා යෑම මෙම පෙරහැරේ ප්‍රධාන සිරිතයි. එබැවින් මෙයට කුඹල් පෙරහැර යයි කියනු ලැබේ. පෙරහැර පවත්වන දින පහළවෙන් පළමු දින පහ තුළ පවත්වන්නේ කුඹල් පෙරහැරයි. මෙම පෙරහැර හළඹ ගත් පත්තිනි දේවාලයේ පෙරහැර හා ආභරණ ගත් මහ දේවාලයේ පෙරහැර සමග එක්ව සුභ මොහොතින් පිටත් වී දෙවොලේ උඩ මළුවේ පමණක් ගමන්කර ගෙවදියි. දිය කැපීමේ දිනය ප‍්‍රමාද වන්නේ නම් මෙම පෙරහැර පවත්වන දින ගණන වැඩි කරයි. රාත්‍රී තේවාවට පෙර පෙරහැර අවසන් කළ යුතු අතර කුඹල් පෙරහැර තේවාවේ පෙරහැර යන නමින් ද හඳුන්වයි. ඉතා චාම් ලෙස පවත්වන මෙම පෙරහැරට දේවාභරණ එකක් පමණක් වැඩම කරවන අතර රාජකාරිකාරයන් පමණක් සහභාගී වෙයි.

වීදි පෙරහැර[සංස්කරණය]

කුඹල් පෙරහැරෙන් පසුව පවත්වන්නේ වීදි පෙරහැරයි. මෙය ද දින පහක් පැවැත්වේ. මහ දේවාලයේ ආභරණ රන් දෝලියකින් හා ඇතෙකු පිටින් ද පත්තිනි දේවාලයේ හළඹ දෝලියකින් ද ගෙන යයි. ආභරණ දෙකක් වැඩම කරවයි. මෙම පෙරහැරේ ගමන් මඟ වන්නේ දේවාලයේ සතර මායිමේ පිහිටි වීදී හතරයි.

  1. හුණුවල වීදිය
  2. ගම්පහේ වීදිය
  3. උඩ වීදිය
  4. බඩල් වීදිය


වීදි වල ගමන් කරන පළමු පෙරහැර මෙය නිසා මෙම පෙරහැරට වීදි පෙරහැර යයි කියයි. මෙම පෙරහැර දෙවේලේ පෙරහැර යන නමින්ද හඳුන්වයි. එයට හේතුව වන්නේ එය දිනකට දෙවතාවක් පවත්වන බැවිනි. දේවාලයේ කපු මහතා පුජා වස්තූන් රැගෙන හස්තියා පිට ගමන් කරන අතර මහ දේවාලයේ දෝලාව උඩුවියනක් යටින් රැගෙන යයි. පත්තිනි දේවාලයේ දෝලාවත් මෙම පෙරහැරේ ම ගමන් කරයි. වීදි සතරේ ගමන් කරන අතරතුර නැට්ටුවෝ සමන් දෙවියන් ගැනත් සමනළ සිරිපා සටහන ගැනත් ස්ත්‍රෝත‍්‍ර ගායනා කරන අතර නුග ගස ළඟ හා සිංහාසන මණ්ඩපය ළඟ මඳකට නවත්වා චාරිත‍්‍ර ඉටු කොට අවසානයේ දී දේවාලයට නැවත පැමිණෙයි.

මහ පෙරහැර[සංස්කරණය]

තුන්වැනි දින පහ තුළ පවත්වන්නේ මහ පෙරහැරයි. මුලින් පැවති කුඹල් පෙරහැර සහ වීදි පෙරහැර යන පෙරහැර දෙකටම වඩා උත්සවාකාරනේ මෙය පවත්වයි. මෙම පෙරහැරේ ද ගමන් මඟ වන්නේ දේවාලයේ සතර මායිම් තුළ පිහිටි වීදි හතරයි. මහපෙරහැර පෙරහැර පහකින් සමන්විත වෙයි.

  1. දළඳා පෙරහැර
  2. පත්තිනි පෙරහබිසෝ දෙවි පෙරහැර
  3. කුමාර දෙවි පෙරහැර
  4. මහ සමන් දෙවි පෙරහැර


පෙරහැරේ ඉදරියෙන් ම ගමන් කරන්නේ දළඳා පෙරහැරයි. සරසන ලද හස්තියා පිට ධාතු කරඬුව තබා ඉතා ගෞරවාන්විතව පෙරහැර අරඹයි. මහ පෙරහැර නැටුම් ගැයුම් වැයුම් වලින් පමණක් නොව විශාල අලි ඇතුන් සංඛ්‍යාවකින්ද සමන්විත වෙයි.

මහ පෙරහැරේ මුලින් ම ගමන් කරන දළඳා පෙරහැර පිටත්වීමට පෙර ඉටුකරන සිරිත් කිහිපයක් පවතී. හේවිසි පුජාව, තෙරුවන් නැමදීම, මඟුල් බෙර වාදනය, දළඳා වර්ණනාව ගායනය, කරඬුව පත්තිරිප්පුව දක්වා ගෙන ගොස් ඇතා පිට ඇති රන්සිව් ගෙයි තැන්පත් කරීම, පෙරහැර ඇරඹූ බව දැන්වීමට වෙඩිල්ලක් පත්තු කිරීම ආදී සිරිත් ඒ අතර ප‍්‍රධාන තැනක් ගනි.

දළඳා පෙරහැර පිටත්වීමෙන් පසු දේව පෙරහැර පිටත් වීමට සූදානම් වෙයි. ප්‍රථමයෙන් දේව නමස්කාරය ද පසුව වන්දිභට්ට ගායනය ද සිදු කරයි. ඉන් පසුව සිරිත් 24 ක් පවත්වයි. මඩලගම වජිර බද්ධි හිමි එම සිරිත් 24 පහත ආකාරයට හඳුන්වා දී ඇත.

01. ආලත්ති ගායනය

දැල්වූ පහන් අතැතිව තාලයට පා තබමින් ස්ත‍්‍රීන් විසින් ඉදිරිපත් කරන ආශිර්වාද ගායනය

02. දුම් තේවාව

පෙරහැර ගමන් කරන මාර්ගයට දුම් ඇල්ලීම.

03. සක් පීඹීම

04. කොම්බුව

කුකුළා හඬලන ආකාරයට පුරම්පේත්තුව පීඹිම මෙයින් අදහස් කරයි.

05. දවුල

සබරගමු නැටුම සඳහා යොදාගන්නා බෙරයයි. මෙය සබරගමුවට ආවේණික වූ වාදය භාණ්ඩයකි.

06. තම්මැට්ටම

දවුල් පදය ඇල්ලීමට තම්මැට්ටම සහය දෙයි.

07. හොරණෑ

08. කොඩි

පෙරහැරේ ගෙනයන ප්‍රධාන කොඩි අටකි.

09. පන්දම්

10. කුඩය

ශ‍්‍රී පාද ස්ථානයට අයත් ලෙස සැලකෙන රිදී කුඩය පෙරහැරේ ප්‍රධාන භාණ්ඩයකි. ඊට අමතරව මුතු කුඩ දෙකක් ද සමන්දෙවි හා කුමාර දෙවි පෙරහැරේ ගෙන යයි

11. පේලිය

පෙරහැරේ ගමන් කිරිමේදී ඇතිවන බාධා ඉවත් කිරීමත් නරඹන්නන් පෙරහැර මගට පිවිසීම වැළැක්වීමත් සිදු කරමින් පෙරහැර නිසි පරිදි හසුරුවන්නා පේළි විදානේය.

12. කවිය

පෙරහැරේ ගමන් තාලයට අනුව කවි කීම.

13. පියවිල්ල

පාවඩ එළීම

14. හඳුන් කිරිපැන්

රථය දක්වා පාවඩයට හඳුන් කිරිපැන් ඉසීම

15. දෝලිය

මෙයින් සමන් දෙවියන්ගේ බිසෝ දෙවියන් අදහස් කරයි. දේවිය වෙනුවට දෝලාවෙහි ආභරණ තැන්පත් කරයි.

16. වැඩවීම

සමන් දෙවියන් මාළිගයෙන් පිටතට වැඩම කරවීම මෙයින් අදහස් කරන අතර මෙහිදී සිදුවන්නේ ආභරණ රථයේ තැන්පත් කර රථය ඇඳගෙන යාමයි. ඒ සඳහා රථය දෙපැත්තේ වේවැල් දෙකක් බැඳ ඇති අතර ඒ සඳහා රාජකාරිකාරයන් දහ දොළොස් දෙනෙකු සම්බන්ධ වෙයි.

17. කුමාර දෙවි වැඩවීම

18. පළිහ දැනීම

දේව පෙරහැර තුන මාළිගාවෙන් පිටත්වෙන විට ඊට පිටු පසින් පලිහ දෙකක් දැරීම.

19. චාමර සැලීම


21. අව්අතු දැරීම

අව්ව වැළකීම සඳහා භාවිතා කරන උපකරණ

22. ආලත්ති

දෙවියන් දෙපසින් ආලත්ති සේවාව භාර කාන්තාවන් ආශීර්වාද ගායනය සිදු කරමින් ගමන් කිරීම.

23. මාණික්කෙලා

කාන්තාවන් විසින් ඉදිරිපත් කරන නැටුමකි.දේව පෙරහැර පිටුපසින් ගමන් කරයි.

24. මූලදෑනි

මහපෙරහැරේ අවසානයට ගමන් කරන්නේ මූලදෑනීන්ය.බස්නායක නිලමේ, මොහොට්ටාලවරුන්, ලේකම්වරු, විදානෙලා ආදී අය මෙලෙස ගමන් කරයි.

පෙරහැර ආරම්භ කිරීම - කප්සිටුවීම[සංස්කරණය]

සෑම දේවාලයක මෙන් ම පෙරහැර ආරම්භ කරන්නේ කප් සිටුවීම නම් චාරිත්‍රයෙනි.මීටරයක් පමණ දිගැති ලී දණ්ඩක් සිදුරු කරන ලද ගල් පුවරුවක සිටුවා එහි පොල් මලක් බැඳ පොල් ගෙඩි 2 ක් එල්ලා තැබීම කප්සිටුවීමේදී සිදු කෙරේ.මේ සඳහා යොදා ගන්නේ කිරි ගසක ලී දණ්ඩකි. උදා:- රුක් අත්තන කිරි ගස තෝරා ගෙන එය කැපීමට පෙර හදුන් කිරිපැන් ඉස පසුව කප් ගස කපා ගොක් කොළ ආදියෙන් සරසා පෙරහැරකින් වැඩම කරවා සිංහාසන මණ්ඩපයේ තැන්පත් කරයි.ඉන් පසු වියනක් යටින් හේවිසි හබ්ද පූජා ද සහිත පෙරහැරකින් කප් ගස සිටුවන ස්ථානයට වැඩම කරවයි.කප්ගස රැගෙන පෙරහැර සිංහාසන මණ්ඩපයෙන් පිටත් වන අවස්ථාවේ සමන් දේවාලය සහ පත්තිනි දේවාලයේ කපු මහත්වරුන් දෙදෙනා ඇතුළු පිරිසද පෙරහැරින් පැමිණ සමන් දේවාල අංගනයේදී කප රැගත්පෙරහැර සමඟ එක්වේ.මෙහිදී වළං කඳක් රැගෙන එන කුඹලා ද පෙරහැරට සම්බන්ධ වේ. අනතුරුව කප් සිටුවන ස්ථානයට පෙරහැර ගමන් කර, පිරුවටයකින් ඔතා ඇති කප් ගස ඉන්මුදා කප් සිටුවන පුද්ගලයා විසින් සුභ මොහොත උදාවත් ම කප් ගස සිටුවීම සිදු කරයි.


පෙරහැර අවසන් කිරීම - දිය කැපීම[සංස්කරණය]

ඇසළ උත්සවය අවසන් වන්නේ දිය කැපීමේ මංගල්‍යයෙනි.මහ පෙරහැර අවසන් වූ දා රාත‍්‍රියේ පිරිත් නිලය භාර හිමි වරුන් මහ දේවාලයට වැඩමවා පිරිත් දේශනාව ආරම්භ කරයි. ඒ අතරතුර දිය කැපීමට පෙර දේවාලයේදී සිදු කරනු ලබන චාරිත්‍ර එනම් දේවාභරණවලට පළදවා ඇති ඇඳුම් ගලවා ඉවත් කිරිම, දේවාභරණ පෙරහැරින් ගෙන ගොස් රථයේ තැනපත් කිරීම, රථය සිංහාසන මණ්ඩපය දක්වා පෙරහැරින් වැඩම කරවීම හා ආභරණ දෝලියෙහි තැන්පත් කිරීම ආදී සිරිත් ඉටු කරයි.


දිය කැපීම සිදු කරන්නේ කළු ගඟේ රත්මල් ඇල්ල නම් ස්ථනයේදීය. එය පිහිටා තිබෙන්නේ සමන් දේවාලයේ සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටි අංගම්මන නම් ගමේය. ගඟේ වතුර අඩු වැඩි වීම යන සාධකය හෝ වෙනත් බාධාවක් හෝ තිබුණහොත් මෙම දියකැපීමේ මංගල්‍ය ය සිදු කරන්නේ දේවාලයේ ඉදිරිපිට බෝඹූගල කන්ද පාමුල පිහිටි බොලපැන් ලිඳෙහිය. ගගේ වතුර අඩු අවස්ථාවක් උදා වුවහොත් ගඟ දිය අඩු තැන් වලින් ඔරු ඇඳගෙන යමට අලි ඇතුන්ද සූදානම් කරයි. දෙවියන්ට ආලින්ති ගායනය කරමින් හේවිසි වයමින් රත්මල් ඇල්ල දක්වා පෙරහැරකින් ගමන් කිරීම සිදු කරයි. මෙයට ගඟේ පෙරහැර යන නමද කියනු ලබයි. අඟුල් දෙකක් පෙරහැරේ ගමන් කරන අතර එම අඟුල් දෙකටම වහලවල් යොදා අලංකාරවත් ලෙස සරසා එක් අඟුලක සමන් දේවාලයේ දෝලාව ද අනෙකෙහි පත්තිනි දේවාලයේ දෝලාවද වැඩම කරවයි. දේව අඟුල රත්මල් ඇල්ලේ යාහැකි ඉහළම තැනට ගොස් කඹ වලින් බඳිනු ලබයි. ඉන් පසුව කපු මහතාත්, බත්වඩන රාළත්, අඟුල පදවන්නාත් පමණක් අඟුලේ රැඳී සිට අන් සියලු දෙනාම ගොඩ බිමට යැවීම සිඳු කරයි. දිය කැපීම කිසිදු බාහිර පුද්ගලයෙකුට නොපෙනෙන සේ වියන් බැඳ සිදු කරන අතර එය අවසන් වීමෙන් පසු වෙඩිල්ලක් පත්තු කර පෙරහැර ආපසු ගමන් ආරම්භ කරයි. ගඟ දෙපස සිටින ජනයා ගඟට බැස අඟුල දෙපසේ සිට පූජා පවත්වන අතර කපු මහතා සඳුන් නිලක තබා ආශිර්වාද කරනු ලබයි.


බැතිමතුන්ට ආශීර්වාද කරමින් ඉතා සෙමින් ආපසු ඇදෙන ගඟේ පෙරහැර කොටාඹේ තොටුපලට පැමිණි පසු ආභරණ ඇතු පිටින් ද දිය කපා ගත් ජලය සහිත කෙන්ඩිය දෝලාවෙන් ද වැඩම කරවයි. මෙම පෙරහැර ඉදිරියෙන් පෙළ ගස්වා ඇති මහ පෙරහැරට එකතුවේ. මහ පෙරහැරේ ඉදිරියෙන්ම සිටින ගරා යකුන් දෙදෙනා දේවාභරණ ගෙන එන ඇතු ලඟට ගොස් සෙත් ශාන්ති කළ පසු වෙඩිල්ලක් පත්තු කොට මහ පෙරහැර ගමන් අරඹයි. පසුව පෙරහැර දෙකම සිංහාසන මණ්ඩපය වෙත පැමිණෙන අතර ගෙවැදීමට නියමිත නැකත් වේලාව පැමිණෙන තුරු සිංහාසන මණ්ඩපයේ දේවාභරණ තැන්පත් කර විවේක ගනියි. පසුව නැකැත් වේලාව පැමිණි පසු සංහිඳේ වීදියේ ගමන් අරඹා දිය කැපු පෙරහැර දේවාලයට ගෙවදී. ඉන් අනතුරුව ගරායකුන් නැට්මක් පවත්වයි.දියකැපීමෙන් ලබා ගන්නා ලද ජලය ඊළඟ වර්ෂයේ දිය කැපීම දක්වා ආරක්ෂා කිරීමට දේවාලය තුළ තැන්පත් කරයි.මෙම දිය කැපීමේ මංගල්‍යය සමඟ ඇසළ උත්සවය නිමාවට පත්වෙයි.


දිය කැපීමට අගුල සැරසූ ආකාරය දැක්වෙන පැරණි කාව්‍යයක්

රුවන් කණක මුතු මැණික් ද බබලන පත්මරාග යන ජය සිහිලැල්
මෙවන් පසිඳු කළු ගංඟා ජල පිට මකර තොරණ සිංහාසන වල්
සවන් බිහිරි කර පොකුර' ඔගෝසා යනෙන කැළඹි ගඟ ඉදිරිය රැල්
සමන් දෙවිදු අඹ කෙළියට වැඩි තැන සැදුනි මෙවන් තිර දේව අඟුල්*


(ඥාණවිමල හිමි, 2001*

==පින්තූර එකතුව==කරමු


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • ඤාණවිමල,කිරිඇල්ලේ. සපරගමුවේ පැරණි ලියවිලි. නුගේගොඩ:මානව හිතවාදී ලේඛක පර්ශදය,2001
  • එම. සපරගමු දර්ශන. රත්නපුර:ශාස්ත්‍රෝදය යන්ත්‍රාලය, 1967
  • මාලිමගේ,අශෝක. සුමන සමන් දෙවියෝ. පිටකෝට්ටේ:කතෘ ප්‍රකාශන,2003
  • රත්නපාල,ඊ.එම්. සමන් දෙවියෝ. වරකාපොල:ආරිය ප්‍රකාශන,1992
  • රාජපක්ෂ,ශ්‍රියානි. සබරගමු මහ සමන් දේවාලය. කෝට්ටේ:කාශ්‍යප බණ්ඩාර,2001
  • වජිරබුද්ධි, මඩලගම. දේව පුරාණය සමන් දෙවිදු හා සමන් දෙවොල. බළංගොඩ:සුනිල් ශාන්ත වීරසේකර