මොණරා සහ සෙබඩ

විකිපීඩියා වෙතින්
(සත්ව ලෝකයේ ආඩම්බරකාරයා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
සත්ව ලෝකයේ ආඩම්බරකාරයා - මොණරා

ශ්‍රි ලංකාවේ වියළි කලාපීය වනාන්තරවල ද ඉන්දියාවේද ගිනිකොන දිග ආසියාවේද ජීවත්වන ප්‍රමාණයෙන් විශාල පක්‍ෂියෙකි. පිරිමි පක්‍ෂියා මොණරා නමින්ද ගැහැණු පක්‍ෂියා සෙබඩ නමින්ද හඳුන්වයි. මොනරා ඉතා සිත්ගන්නාසුළු සත්වයෙක් වුවද සෙබඩ රුවැත්තියක්නොවේ. මොනර රූ සිරිය , විශාල පිල්කළඹ, වර්ණ පිහාටු, ඔටුන්න සහිත හිස, ආදියෙන් විචිත්‍රවත් වී ඇත. සෙබඩ ‍මොනරාට වඩා කුඩා වන අතර පිල් කළඹද කෙටිය.


සත්ව විද්‍යාඥයන් විසින් මොනරුන් වර්ග දෙකකින් වෙන්කරයි.මීට අමතරව සුදු මොනර වි‍ශේෂයක්ද වර්තමානයේ සොයාගෙන ඇත.

නිල්මොනරා



1. නිල් මොනරා (Blue Peacock)

ඉන්දියාවේ හා ශ්‍රි ලංකාවේ වනාන්තර වල දැකිය හැකිය.







2. කොළ මොනරා ( Green Peacock)

අග්නිදිග ආසියාවේ වනාන්තරවල දක්නට ලැබේ

කොළමොනරා



හිස් මුදුනේ පිහිටි ශිඛාව දිගින් වැඩිය. එය ඍජු ලෙස පිහිටා ඇත. නිල් මොනරුන්ගේ ශිඛාව කිරීටයක (Crown) ස්වරූපයක් පෙන්නුම් කරයි. නමුත් මෙවැන්නක් කොළ පැහැති මොනරුන්ගේ දක්නට නැත.






මොනරා අයත්වන්නේ සරණවි ගොත්‍රයටය. එම ගෝත්‍රයට අයත් ප‍ක්‍ෂි කුල හතක් බොහෝ ප්‍රදේශවලින් දැකගත හැකිය. ‍මෙම කුල හතෙන් එකක් වන සැවුල් (Phasianidae) කුලයට මෙම පක්‍ෂියා අයත්වේ. මෙම කුලයේ පක්‍ෂීන් ඇවිදීමට රුසියන්ය. මාංශ භක්‍ෂක සතුන් ‍මොවුන්ගේ ප්‍රියතම ආහාරයකි. නමුත් මොහු සර්වභක්‍ෂක‍යෙකි. ධාන්‍ය වර්ග , තණපත්, ශාකපත්‍රද ආහාරයට එක්කරගනි. කෑම හොයාගෙන උදේ වරුවේත්, ඉර බැසගෙන යන සැන්දෑවටත් පිටත්වෙයි. කුස හොදින් පුරවාගත්පසු මොවුන්ගේ ඉතිරි කාලය වැයකරන්නේ පිහාටු පීරිම, වැලි නෑම, වැනි කටයුතු වෙනුවෙනි. දිනකට කැලේ බොහෝදුරක් ඇවිඳීමට මොවුන් සමත්කම් දක්වයි. තම දිගු පිල් කළඹ හකුලා බිමට ඉහළින් සිටින සේ තබාගනී. සිය පියාපත් යුගලය නිතර පාවිච්චි නොකරයි. අත්තකින් බැසීමට වැනි කටයුත්තකට එය පාවිචිචි කරන අතර තමා ගමන් කරන මාර්ගයේ බාදාවක් මතුවූවිට දී ඊට ඉහළින් පියාඹා යෑමටද ඔවුන් පියාපත් යුගලය භාවිතා කරයි.



පියාපත් හකුළාගත්පසු
සුදු මොනරා

ශ්‍රි ලංකාවේ වෙසෙන මොනරුන්ගේ ප්‍රජනන සමය දෙසැම්බර් සිට මැයි මාසය දක්වා වු කාලයයි. පෙඳ පිහාටුත් වසරකට වරක් හැලෙන අතර ප්‍රජනන සමය එළඹෙන විට ඒවා නැවත වර්ධනය වේ. ප්‍රේම රංගනය හොඳින් දැක්වීම සඳහා වැඩුණු පිල් කළඹ අත්‍යාවශ්‍ය සාධකයකි. ශ්‍රි ලංකාවේ වාසය කරන මොනරුන් දෙසැම්බර් සිට මැයි මාසය දක්වා වු කාල සමය සිය ප්‍රජනන සමය ලෙසට තෝරාගැනීමට බලපාන්නාවු විශේෂ සාධකයක් ඇත. එනම් එම වකවානුවේ ආහාර පාන සුලභව වනාන්තරවල පැවතීමයි.




මොනර ප්‍රේමරංගනය




සෙබඩ බිත්තර දැමීම සඳහා ආරක්‍ෂාකාරී ලැහැබක් තෝරාගනී. ඉන් පසු ඇය විසින් තනාගත් වළක බිත්තර 3_5 ක් අතර ප්‍රමාණයක් දමයි. ඇතෑම් විට ඇය තම බිත්තර මත වියළි කොළ හා තණපත් අතුරා තිබෙන අවස්ථා ද ඇත. බිජුවක ප්‍රමාණය 69*55mm වේ. ලා දුඹුරු පැහැති බිත්තර ඔපවත්ය. බිත්තර මෝරා පැටවුන්ට එළියට ඒමට මසක පමණ කාලයක් ගතවේ. සෙබඩ ඇසුරේ පැටව් ඇති දැඩි වේ. සුන්දර පිල් කළඹ නිර්මාණය වීමට මොනර පැටවෙකුට වසර තුනක පමණ කාලයක් ගතවේ. මොනරාගේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පිල් කළඹේය.වැඩුණු මොනර පිල් කළඹක් මීටර් දෙකක් පමණ වේ. සෙබඩ හා සසඳන විට මොනරා ඉතා සුන්සරය. අවානක හැඩයක් ඇති පිල් කළඹ 1_1.5 ක් පමණ දිගින් යුතුය. පිහාටු 100 කට ආසන්න ප්‍රමාණක් පිල් කළඹේ ඇත. පිහාටුවක මුදුනේ නිල් හා කොට ලෝකඩ වර්ණයෙන් යුත් දීප්තිමත් ප්‍රාගක්‍ෂිය (ocellus) බැගින් ඇත. මෙම ප්‍රාගක්‍ෂිය හෙවත් ඇස් මොනරුන්ට සමානකම් ඇති ඇතෑම් පක්‍ෂීන් තුළද දක්නට ලැබේ.


උදා - ආගූස් පීසන්ට්

මලයාසියානු පීකොක්

පීසන්ට් ග්‍රේ පීකොක් පීසන්ට් සඳහන් කළ හැකිය.



මොනරපැටියා


මොනරුන් ගේ සුන්දර පිල් කළඹ සකස්වීම පිළිබඳව නූතණ විද්‍යාඥයන්ගේ පවා අවධානය යොමුවී තිබේ. පැරණි සිංහල ජන සමාජයේ මොනර පිල් කළඹ පිළිබඳව අපූරු ජනප්‍රවාදයකි. කුරුළු ගමේ මගුල් උත්සවයක් පැවත්වණි. එදින ලස්සනට සැරසීයාමට මොනරාට ඇඳුමක් නොතිබුනේය. අවසානයේ දී මොනරා අවිච්චියා සොයාගෙන ගියේය.


සිය පිල් කළඹ විහිදුවමින් ප්‍රේම ආලිංගනයේ යෙදෙන අවස්ථාවන්හිදි මොනර පිල් කළඹේ අපූර්වත්වය මනාව අත්විදිය හැකිය. සිය අභිජනන කාලය පැමිණෙන තෙක් මොනරුන් සමූහයක් වශයෙන් හැසිරෙයි. එහෙත් ප්‍රජනන කාලය එළඹුණු පසු වැඩුණු මොනරුන් රැලෙන් ඉවත්වෙයි. ඉන්පසු ඔහු තනිවම කුඩා බිම් තීරයක් වාස භුමිය ලෙස තෝරාගනී. එම ප්‍රදේශයට ‍සෙසු මොනරුන් ට ඇතුල්වීමට ඉඩ නොදේ. මේ අතර නෙමේරු මොනරුන් යාබද ස්ථාන -වල ගැවසේ.



මොනරා සෙබඩ සමඟ



එළිමහනේ ඇති තෝරාගත් භූමියට මොනරුන් අවතීර්ණ වන්නේ සෙබඩුන් අවට සිටින විටදීය. සෙබඩුන් අවට ඇත්තම් හෝ පෙනෙන තෙක්මානයේ සිටීනම් ඌ පිල් විහිදුවයි. එසේ නැත්නම් නාදකරයි. මෙම නාදය ඇසුණු සෙබඩ ඒ අසලට පැමිණෙයි. එවිට මොනරා පළමුව සිය පිල්කළඹ මඳක් සොලවයි. සිය ප්‍රේමරංගනයට සැරසෙනන්නේ ඉන් අනතුරුවයි. සෙබඩ ඉදිරියේදි අර්ධකවාකාර පිල්කළඹ ඉදිරිපසට ඇළ කරමින් ඉදිරියට පැමිණෙන විට සිය පිල්කළඹේ අලංකාරය තවතවත් වර්ණවත් කිරීමට ඌ සමත් වේ. පිල් චලනය කිරීමෙන් පිල් ආවරණය මතුපිට රැළි මාලා නැංවීමට මොනරා හපන්කම් පායි. මේ අවස්ථාව වන විටත් සෙබඩ හැසිරෙන්නේ මොනරාට අවධානයක් නොදක්වමිනි. සෙබඩ බිම පරීක්‍ෂා කරමින් ආහාර සොයන ආකාරායක් පෙන්නුම් කරයි. එයින්ද මොනරා අධෛර්යයට පත් නොවී මහත් ආඩම්බරයකින් යුතුව ප්‍රේමාන්විත රංගනයේ යෙදේ. සෙබඩ කිසියම් හෝ උනන්දුවක් දැක්වුවහොත් ඌ නැවත ඉදිරියට ඇඳෙන්නේ බිම ආහාරයක් සොයන්නාක් වැනි ආකාරයෙනි. එහා මෙහා හැසිරෙමින් කරන මෙම ගමන අවසානයේ දෙදෙනාම මුහුණට මුහුණ ලා සිටගනී ඉන්පසු පැත්තෙන් පැත්තට හැරෙමින් හෙමින් සීරුවේ මොනරා සෙබඩට ලං වේ.මෙවැනි අවස්ථාවන්හිදි "සට" "සට" හඬින් පිහාටු සොලවයි. මොනරුන්ගේ උත්කර්ෂවත් ප්‍රේමරංගනයේ මෙම අවස්ථාව පිළිබඳව සටහන් වන්නේ "ප්‍රහර්ෂය" ලෙසය. ඇතෑම් අවස්ථාවන්හිදි මොනරා සෙබඩට තම ප්‍රේමාන්විත ආරාධනය කරනුයේ ශබ්ද කරමින් පාද පිල්කළඹ ඉදිරියට ඇලකරමින් සහ සෙබඩ වෙත යුහුසුළුව ගමන් කිරීමෙනි. මෙම හැසීරීම දකින සෙබඩ මොනරාට අකමැතිනම් පැන දුවයි. නොඑසේනම් මෙනරාගේ ප්‍රේමාන්විත ආරාධනය පිළිගෙන බිම වාඩිවී සිය කැමැත්ත පලකරයි.



මොනරෙක් සිය අලංකාර පිල්කළඹ විහිදන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් පදනම්කරගෙනය.




01) වෙනත් මොනරුන්ට තර්ජනය කිරීමේ අරමුණින්

02)සෙබඩුන් සමඟ යුගල බැඳීම් ඇතිකරගැනීමේ අරමුණින්

03)සෙබඩුන්ට ලිංගික සබඳතා පැවැත්වීමට කෙරෙන ‍පෙළඹීමක් ලෙස




මෙම පරමාර්ථය අතුරින් තුන්වන පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් බහුලවම මොනරුන් පිල් විහිදීම සිදුකරනබව සත්ව විද්‍යාඥයන් අනාවරණය කර ඇත. මොනරුන්ගේ සෞන්දර්යාත්මක චර්යා රටා නැරඹීම ඉතා පරිස්සමින් කළ යුත්තකි. සියුම් ශබ්දයකට පවා කන්දීමේ හැකියාවත්, හෙඳින් අවට දර්ශනයවීමත් නිසා ඌට ලංවීම ඉතා අසීරුය. මිනිස් හෝඩුවාවක් දැණුනු විට,ඉක්මනින්ම පැනයාම මොනරාගේ පුරුද්දය. එසේවුවත් සත්ව උද්‍යානවල හා මිනිසුන් අතරේ වැඩෙන මොනරුන් එවැනි ප්‍රතිචාර දක්වන්නේ නැත. වන මොනරුන් මිනිසුන්ගේ සමීපත්වය නොරිස්සුවද විලෝපිත සතුන් කෙරේ එවැනි ප්‍රතිචාරයක් නොදක්වයි.දිවියා මොනරුන් ගොදුරුකර ගත්තද තමා අසළට දිවියා පැමැණෙනු දැක දැකත් නොසෙල්වී සිටින අවස්ථා දැක ඇතැයි දඩයම්කරුවන් පවසයි. තියුණු අන්දමට ශ්‍රව්‍ය හා ද්‍රෘශ්‍ය ඉන්ද්‍රීයන් පිහිටා තිබුනද අසාමාන්‍ය ස්ථානවලදී මොනරා ක්‍රියා කරන්නේ ඥානාන්විතව නොවේ. එම නිසා නිරන්තරව විලෝපීයන්ට ගෙදුරුවන අවස්ථා බොහෝය. මොනරා ඉතා සුන්දර සත්වයෙක් වුවද උගේ හඬ එතරම් මිහිරි නැත. හිමිදිරියේ හා සන්ද්‍යවේ "පී ආච්" "පී ආච්" යනුවෙන් නාද කරයි. ප්‍රජනන කාල සමයේදීත් වනාන්තර තුළින් මෙවැනි හඬවල් නිකුත් වේ. මොනරුන් පිළිබඳව අධ්‍යනයක යෙදුණු සත්ව විද්‍යාඥයන් ඔවුන් විවිධ අවස්ථාවලදී නංවන නාද එකොළහක් පමණ හදුනාගෙන ඇත.


මොනරා විවේකීව




අනාදිමත් කාලයක සිට මෙම අලංකාර පක්‍ෂියා පෙර අපර දෙදිග ජනයාගේ නිරතුරු අවධානයට යොමු විය.විශේෂයෙන් ඉන්දියාවේ හා ශ්‍රි ලංකාවේ ජනතාව මහත් භක්තියාදරයකින් යුතුව මොවුන්ට සැළකිල්ලක් දක්වයි. ඉන්දියානුවන්ට ඉතා සමීපවූ මොනරා මොවුන්ගේ ජාතික පක්‍ෂියාද වේ.විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය හින්දු ජනතාව ද මොනරාට දක්වන්නේ ගෞරවයකි.ඊට විශේෂ හේතුවක්ද වේ. එනම්, මොනරා කතරගමදෙවියන්ගේ වායනය වීමයි. ස්වාභාවික පරිසරයේ වැඩෙන සේ මේ අලංකාර පක්‍ෂියා ස්වභාදහමේ සුවිශේෂි නිර්මාණයකි.




මොනරාගේ පිටුපස




උපුටාගැනීම්......[සංස්කරණය]

"මිහිමඬල"

ශ්‍රි ලංකාවේ ප්‍රථම හා ප්‍රමුඛ ජාතික පාරිසරික_ විද්‍යා සඟරාව.

4 කාණ්ඩය,20 කලාපය, 2008_පෙබරවාරි,


මේ අඩවියත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මොණරා_සහ_සෙබඩ&oldid=92701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි