ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය

ආදර්ශ පාඨය“යො ගිලානං උපට්ඨෙයිය
සො මං උපට්ඨෙයිය“
සංස්ථාපනය1960 මාර්තු
වර්ගයරාජ්‍ය නොවන සංවිධාන
ලියාපදිංචි අංකය - 41204
මූලස්ථානය120, ඩබ්ලියු.ඒ.ඩී. රාමණායක මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව.
වෙබ් අඩවියwww.saukyadana.lk

ශ්‍රි ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය වෛද්‍යාධාරයට සහ ප්‍රජා සංවර්ධනයට කැපවූ රජය පිළිගත් (1963 අංක 04 දේශීය ආදායම් පනත) අන්තර්ජාතික ආධාර නොළබන දේශීය ස්වේච්ඡා සේවා ව්‍යාපාරයකි. 1960 වර්ෂයේදී වෛද්‍ය. වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ස්වේච්ඡා සේවා ව්‍යාපාරය වර්තමානය වන විට ශ්‍රී ලංකාව පුරා විහිදුණු ප්‍රබල සංවිධානයකි. ප්‍රධාන වශයෙන් ප්‍රථමාධාර කටයුතු සහ සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධව ක්‍රියාත්මක වේ. මේ වන විට ස්වේච්ඡා සේවක සේවිකාවන් 6000ක් පමණ සම්බන්ධ වී තම නොමසුරු සේවය ලබා දෙන අතර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 12ක සාර්ථකව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඉතිහාසය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

ලක්වැසි ජනතාවගේ පමණක් නොව විදේශීය ජනතාවගේ පවා ඉමහත් භක්ත්‍යාදරයට ලක් වූ ශ්‍රී පාදය උඩවැඩියා මල් ගැනද ප්‍රසිද්ධය. ශ්‍රී පාදයේ උඩවැඩියා මල් නෙලීමට සහ ශ්‍රී පාද වන්දනා කිරීමට 1959 මාර්තු මාසයේ මැදින් පොහෝ දින තරුණ වෛද්‍යවරයෙකු වූ වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා මහතා ප්‍රමුඛ පිරිසක් අති දුෂ්කර රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද කඳු තරණයේ යෙදිණි. වන්දනාකරුවන්ට කඳු තරණයට ඇති එකම බලවේගය බුදු බැතියෙන් පිරී ගිය චිත්ත සන්තානයේ පවතින ආත්ම ශක්තිය පමණකි. එනමුත් ඔවුන්ගේ ආත්ම ශක්තිය කෙතරම් ප්‍රබල වුවද ලෙඩ රෝග වලින් සහ අනතුරුවලින් ඔවුනට එල්ල වූ තර්ජන අනන්තය, අප්‍රමාණ ය.

ගමන් අපහසුව නිසාත්, අධික සීතල නිසාත්, මාර්ගයේ පවතින දුෂ්කරතාවය නිසාත් කලට වේලාවට ආහාර නොලැබීම නිසාත් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ බැතිමතුන් අති විශාල සංඛ්‍යාවක් ශ්‍රී පාද තරණයේ යෙදුණු වෛද්‍ය ලක්ෂ්මන් ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම එදා දුටූහ. ඔවුන්ගෙන් බොහෝමයක් උණ, වමනය, උදරාබාධ ආදියෙන්ද, කුඩා දරුවන් බොහෝ දෙනෙකු වලිප්පුවෙන්ද, අදික සීත නිසා ඇතිවන පපුවේ කැක්කුම්වලින්ද, වෙහෙස මහන්සිය නිසා ඇති වූ ශාරීරික වේදනාවෙන්ද, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, පාචනය වැනි තත්ත්ව වලින් පෙළුණු වැඩිහිටියන් හා ළමුන් අති විශාල සංඛ්‍යාවක් ඉතාමත් අසරණව වැතිර සිටිනු මොවුන් විසින් දක්නා ලදි.

මෙසේ අසරණ වූ දස දහස් සංඛ්‍යාත බැතිමතුන්ට නොමිලේ ස්වේච්ඡාවෙන් පිහිට වීමට එදා ශ්‍රී පාද වන්දනාවේ ගිය වෛද්‍ය පිරිස උත්සුක විය. ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට රැගෙන ගිය ඖෂධවලින් අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබීය. ශ්‍රී පාද කඳු තරණය කළ නොහැකිව අසරණව වැටී සිටි මහලු වැඩිහිටියන් මේ තරුණ වෛද්‍යවරු පිරිස විසින් තම කර පිටින් ශ්‍රී පාද කඳු මුදුනට රැගෙන ගොස් ඔවුනට වන්දනාමාන කිරීමේ අවස්ථාව සළසා දුන්හ. මෙවැනි රෝග පීඩාවන්, අනතුරු හා දුර්වලතා නිසා අසරණ වූ ජනතාවට ප්‍රථමාධාර හා වෛද්‍යාධාර සැපයීම, සියක් වරක් සිරිපා වන්දනා මාන කිරීමට වඩා පින් බලයක් ලැබෙන්නක් බව ඔවුහු අවබෝධ කර ගත්හ.

1960 වසරේදී මාර්තු මස “ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය“ නමින් ස්වේච්ඡා සංවිධානය ආරම්භ කරමින් ශ්‍රී පාදයේදී නල්ලතන්නිය, ගඟුලතැන්න, ඉඳිකටුපාන, ආඬියාමලතැන්න, හා මළුව යන ස්ථාන වල ප්‍රථම සංවිධානාත්මක සෞඛ්‍යදාන කඳවුර පවත්වනු ලැබීය. මෙම මංගල කඳවුරට වෛද්‍යවරුන්, සහකාර වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ව්‍යාපාරයේ පුහුණු ස්වේච්ඡා සේවක සේවිකාවෝ සියයක් පමණ සහභාගී වී අසරණ රෝගීන්ට කරුණාව, මෛත්‍රිය පෙරදැරි කොට ගෙන පිහිට විය.

වර්ධනය[සංස්කරණය]

එදා පටන් අද දක්වා ම ශ්‍රී පාදයේ වෛද්‍යාධාර කඳවුරු පවත්වමින් රෝගීන් දස දහස් ගණනකට පිහිට වෙමින් ස්වේච්ඡා සේවයේ නිරත වීම අතිශයෝක්තියක් නොවේ. එදා ඉතා ම සුළුවෙන් ආරම්භ වූ සෞඛ්‍යදාන ව්‍යාපාරය අද ගම් නියම්ගම් සිසාරා විහිදී පැතිරී ගිය දිස්ත්‍රික් සංවිධාන, ප්‍රාදේශීය සංවිධාන, පාසල් සෞඛ්‍යදාන ඒකක රාශියකින් සමන්විත දේශයේ ඉතාමත් ප්‍රබල ස්වේච්ඡා සේවා ව්‍යාපාරයකි.

කරුණාව, මෛත්‍රිය, මුදිතාව හා උපේක්ෂාව පෙරදැරි කර ගෙන අවිහිංසාවාදී ව ප්‍රථමාධාර හා වෛද්‍යාධාර කටයුතු වල නියැලෙන සෞඛ්‍යදාන ව්‍යාපාරය අප රට නිජබිම කර ගෙන ශ්‍රී පාදස්ථානයේ දී සම්බුදු හිමි පාමුල ආරම්භ කළද ජාති, ආගම්, කුල මල, පක්ෂ භේද, සියල්ල ම දුරු කළ සෑම ජාතිකයෙකු ම, සෑම ආගමිකයෙකු ම සාමාජිකත්වය දරණ දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් වී තිබේ.

සෞඛ්‍යදාන ව්‍යාපාරයේ අරමුණු[සංස්කරණය]

  • සෞඛ්‍ය හෙවත් නිරෝගී කම ප්‍රදානය හෙවත් දානය කිරීම වූ කලී මිනිස් ජීවිතයේදී කළ හැකි උසස් ම පරිත්‍යාගයකි. කඳුලින් සුසුමින් හා වේදනාවෙන් ජීවත්වන ප්‍රජාව සුවපත් කිරීම එහි අරමුණයි.
  • සෞඛ්‍යදානයේ යෙදෙන්නෝ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මුළුමණින්ම බැහැර කරන හෙයින් සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය පමණක් උරුම කර ගනී.
  • සේවයේ යෙදෙන විට තම කාලයත්, ශ්‍රමයත්, ගතත්, සිතත් අන්‍යයන් උදෙසා කැප කිරීමේ පිළිවෙතෙහි සම වැදී සෞඛ්‍යදානයට ඇප කැප වීම.
  • ප්‍රතිලාභ ලැබිමේ චේතනාවෙන් මුළුමණින් ම බැහැර වන බැවින්, කළකිරීමක් හෝ කණගාටුවක් කිසිලෙසකවත් ඇති නොවේ.
  • සමාජයීය, දේශපාලනික, ආගමික හෝ ජාතික පදනම ගොඩනැංවීම සඳහා සෞඛ්‍යදානයෙන් ලැබිය හැකි කිසිදු පිළිසරණක් නොමැත. සමස්ථ ලෝකයාට පොදු සාධාරණ හැඟීම් තුළින් සෞඛ්‍යදාන දර්ශනය ජනිත වී ඇත.

සේවාවන් පිළිබඳව[සංස්කරණය]

  • ශ්‍රි ලංකාවේ තරුණ තරුණියන්ට ප්‍රථමාධාරය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම
  • ප්‍රථමාධාරය සහ සෞඛ්‍ය සම්බන්ධව පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සහ පුහුණුව ලබා දීම
  • ස්වභාවික ආපදා/ ස්වභාවික විපත් වලදී ආධාර ලබා දීම
  • සමාජ සුබසාධන වැඩසටහන්, අධයාපනය සහ ආහාර වැනි ක්ෂේත්‍ර වල
  • උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩා විඳි පුද්ගලයින් සඳහා මානසික සෞඛ්‍ය නැංවීම.

මෙම සියළුම සේවාවන් නොමිලයේ ලබා දීම ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ඇති සුවිශේෂීත්වය වේ

සෞඛ්‍යදාන ගීතය[සංස්කරණය]

සේවකයිනි ස්වේච්ඡා - අපසැම සෞඛ්‍යදානයේ
සමඟිව සතුටින අසරණයින් වෙත යොදවමු ශ්‍රමය අපේ...//

ගිලනුන් හට අප සැමා - මෙත් කරුනා වඩවා
සුවසෙත යහපත සළසන්ටා යමු යමු ඉදිරියටා...//

සේවකයිනි ස්වේච්ඡා...

සේවකයිනි අප සැමා පසුබට නොවී කිසිදා
දිරි දෙමු ව්‍යාපාරය අපගේ දියුණුව සලසන්ටා...//

සේවකයිනි ස්වේච්ඡා...

සෞඛ්‍යදාන ප්‍රතිඥාව[සංස්කරණය]

සෞඛ්‍යදාන ව්‍යාපාරයේ නාමයෙන් හා මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් සේවයට කැපවීමට මම දිවුරා පොරොන්දු වෙමි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමටද, අසරණ රෝගීන්ට සේවය කිරීමටද කැමැත්තෙන් ම සේවයට හා උදව් වීමට ඉදිරිපත් වීමටද දිවිහිමියෙන් බැඳී සිටිමි.
ජාති - ආගම් - කුල, දේශපාලන භේදයකින් තොරව, සේවය කිරීමට මම පොරොන්දු වෙමි.
සේවයෙන් ලැබෙන සතුටින්ම සෑහීමකට පත්වන මා කිසියම් පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් හෝ ආත්මාර්ථකාමී පරමාර්ථයක් ඉටුකරගැනීමට ව්‍යාපාරයේ නාමයෙන් කිසිසේත් බලාපොරොත්තු නොවෙමි.
අවශ්‍ය සෑම අවස්ථාවකදීම සේවයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටින අතර මාගේ දැනුම වැඩිදියුණු කර ගැනීමට, සේවා මට්ටම නංවාලීමට, අධයාපන වැඩකටයුතු වල නොකඩවා යෙදිමට පොරොන්දු වෙමි.
සෞඛ්‍යදාන නවකයින් යහමඟ යැවීමට හා ඔවුන් හට ක්‍රමවත් පුහුණුවක් ලබා දීමට මම බැඳී සිටිමි. විනයගරුක, යුක්තිගරුක, ආචාරශීලී, පරහිතකාමී සේවක සේවිකාවන් වී ජාතිකාභිමානයෙන් හා දේශප්‍රේමීත්වයෙන් යුතුව සේවය කිරීමට මම දිවුරා පොරොන්දු වෙමි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-12-22 at the Wayback Machine.
  2. සෞඛ්‍යදාන පාඨමාලා අත්පොත