Jump to content

ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවෙසක් උත්සවය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙසක් තොරණක් (කොළඹ)

වෙසක් මස පසළොස්වක තිථිය යෙදෙන දිනයේ[තහවුරු කර නොමැත] ආගමික හා සංස්කෟතික උත්සවයක් ලෙස ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දාන මය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුලත් වේ. විදුලි ආලෝකයෙන් ප්‍රභාවත් වුනු තොරණ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉදි කෙරෙති. මේවාට අනුග්‍රහ දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධක සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් (වෙසක් කූඩු) එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් ත්‍රිත්වයේ ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ. මෙම සතිය තුළ කොළඹට රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ විශාල ජනකායක් රැස්වෙති.

ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවයේ සම්ප්‍රදායන්[සංස්කරණය]

වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් වස් ගාථා සජ්ජායනා කළ යුතුය. බැතිමතුන් තෙල් , මල් , හඳුන් කූරු යනාදිය බුදුන් පුදට රැගෙන ආ යුතුය. මෙසේ පූජා කරන ලස්සන මල් මඳ වේලාවකින් වියලි පරවී යයි.හඳුන්කූරු දැවි අවසානවේ. එසේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් පවත්වනු ලැබේ. බැතිමතුන්ට ප්‍රාණ ඝාතයෙන් වැලකි සිටිමටද එදින නිර්මාංශ ආහාර ගැනීමටද නියම කෙරේ. සමහර රටවල් වල විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරිම සඳහා දින දෙකක් වෙන් කර තිබේ. එහි සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් යනාදිය රජයේ නියෝගයකින් එම දින දෙක තුල වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හරිනු ලබන්නේ නිදහස සංකේතවත් කිරීම පිණිසයි. සමහර බෞද්ධ බැතිමත්හු සුදු වස්ත්‍රයෙන් සැරසි අටසිල් සමාදන් වී ඒවා ආරක්ෂා කරමින් මුලු දවස පුරා විහාරස්තානයන්ගේ ගත කරති.

ඇතැම් බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව දෛනිකව ඒවා සුරකිමින් ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. කෙසේ වෙතත් ඔව්හු පසළොස්වක සහ අමාවක දිනයන් වැනි විශේෂ දිනයන්හි අතිරේක ශික්ෂාවන් සමාදන් වෙමින් නිහතමානි බව, අල්පේච්ඡතාවය, සදාචාරය සුරැකීම සඳහා ශික්ෂණයක් ලබති.

සමහර පන්සල්වල ළදරු බුදුරුවක් පූජාසනය ඉදිරියෙහි තැබු වතුර බේසමක් මත තබා බැතිමතුන්ට එම ප්‍රතිමාව වැසෙන සේ ජලය පිරවීමට ඉඩ දෙනු ලැබේ. මෙය බුදුන්ගේ උපතින් පසු දෙවියන් පැමිණ දිව්‍යයමය පූජෝපහාර පැවැත්වීම සංකේතවත් කරන්නකි.

අටසිල් යනු

  1. පර පණ නොනැසීම
  2. සොරකම් නොකිරීම
  3. කාම මිථ්‍යාචාරයෙන් වැළකිම
  4. මුසාවාදයෙන් වැලකීම
  5. මත් පැන් පානයෙන් වැළකීම
  6. අවේලාවේ අහාර ගැනීමෙන් වැලකීම
  7. නැටුම්, ගැයුම්, වැයුම් සහ ශරීරය විභූෂණයෙන් වැලකීම
  8. උස් ආසන, මහා ආසන, සුව පහසු ආසන වලින් වැලකීම

යනාදී ශික්ෂාවන් සමාදම් වීමයි.

භික්ෂුණ් වහන්සේලා විසින් දේශනා කරන ලබන බණ දහම්වලට බැතිමතුන් සවන් දීම අපේක්ෂා කෙරේ. මෙදින බෞද්ධ භික්ෂුණ් වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරති. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලදී කියා ඇති පරිදි සමගියෙන් ජීවත් වීමටත් අනෙකුත් ආගම් වලට සහ විශ්වාසයන්ට ගරු කිරීමටත් බෞද්ධයින්ට කියා දෙනු ලැබේ.

අනුනට සතුට උදා කිරීම

වැඩි හිටියන්ට, ආබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ටද සතුට ගෙන දීම සඳහා උත්සාහ කිරීමද වෙසක් සැමරුමෙන් අදහස් වේ. මෙදින මුලු රට පුරා තිබෙන පුණ්‍යායතන වලට බෞද්ධයෝ මුදල් තෑගි පිරිනමති. කෙනෙකුගේ බල කිරීමකින් තොරව සියලු දෙනා කැමැත්තෙන් කරනු ලබන වෙහෙර විහාර පන්සල් භූමි ආලෝකමත් කිරීම, තීන්ත ආලේප කිරීම, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිර්මාණය කර වර්ණ ගැන්වීම ආදි කටයුතු කෙරෙන වෙසක් සමය ඇත්තෙන්ම ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුණු කාලයකි. බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයීමට සැදැහැවත් බෞද්ධයෝ එකිනෙකා තරඟ වදිති.

බුදුනට උපහාර දැක්වීම

බුදුන් පිරිනිවන් පාන්නට සූදානම් වන මොහොතේදී ආනන්ද හිමියන් හඬා වැලපෙනු උන්වහන්සේ දුටුවෝය. එසේ හඬා වැලපීම නොකළ යුතු බවත්, ලෝක ස්භාවය තේරුම් ගත යුතු බවත් සියලු පවතින දේවල් නැසෙන සුලු බවත් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට පහදා දුන්හ. මෙම වියැකි යන තමාගේ සිරුර ගැන සිතා කණගාටු නොවන ලෙසත් මින් පසු ඔවුන්ගේ ගුරුවරයා වන බුදුන්ගේ දහම ගැන සිත යොමු කරන ලෙසත් බුදුන් වහන්සේ රැස්ව සිටි භික්ෂු පිරිසට අවවාද කළහ. ලොව පවතින සෑම දෙයක්ම වෙනස් වීමේ දහමට අනුව වැනසෙන බවත් ධර්මය සදාකාලික බවත් පහදා දුන්හ. තවදුරටත් බුදුන් වහන්සේ වදාළේ තමන්ට වැඳිය යුත්තේ හුදෙක් මලින්, සුවඳින්, පහනෙන් පමණක් නොවන බවත් තමන්ගේ ධර්මය අනුව ජීවත්වන්නේ නම් එය තමනට කරන වැඳීමක් වන බවත්ය. කෙනෙකු නැවත උතුම් ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගැනීමත්, මනස සංවර්ධනය කර ගැනීමටත් ආදරය කරුණාව පතුරවමින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය සහ මනුෂ්‍යත්වය දැක්වීමත් යනාදි කරුණු කිරීම වෙසක් සැමරුවා නම් වෙයි.