විරාගය (කෘතිය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(විරාගය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

විරාගය සිංහල සාහිත්‍යයේ සුවිශේෂි සළකුණක් තැබූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත නවකතාවකි. වික්‍රමසිංහයන්ගේ සියළු කෘතීන්ට පොදු වූ පැරණි ගැමි සමාජය පිළිබඳ ඔහුගේ සමාජ දෘෂ්ඨිය මෙයින්ද යම් තරමකින් සංකේතවක් කෙරේ.

සිංහල නවකතා මඟින් බිහි කෙරුණු චරිතයන් අතරින් වැඩිම විවේචනයන්ට හා වැඩිම දෝෂාරෝපනයන්ට ලක්වූ චරිතයක් වේ නම් ඒ විරාගයේ 'අරවින්ද' යි. 1965 දී මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියා පලකරන ලද 'නවකථාංග හා විරාගය' කෘතියේ ද දිගු පරිච්ඡේදයක් අරවින්දගේ චරිතය විවේචනය සඳහා වෙන් කොට ඇත. එමෙන්ම සාහිත්‍ය විවේචකයන්ගේ සිට විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් 'අරවින්ද' ගේ චරිතය විවිධ අයුරින් අරුත් ගන්වා ඇත.

'විරාගය' මූලික වශයෙන් ගලා යන්නේ අරවින්ද නම් එක් පුද්ගලයෙකුගේ ස්වයං ආත්ම විවේචනයක් ලෙසය. එය ඔහුගේ මරණින් පසු එය කියවන 'සැමී' විසින් සංස්කරණය කොට ඉදිරිපත් කරන්නක් සේ නවකතාවෙහි දැක්වේ.

"කවර මනුෂයෙකුගේ චරිතයෙහි වුවද චරිතයෙහි අංග එකිනෙකින් වෙන් කොට හැඳිනගත නොහැකි දේදුන්නක් වැන්නයි අරවින්දගේ සංකීර්ණ චරිතයෙහි එක් අංගයක් වත් නිශ්චය වශයෙන් හඳනාගත නොහැකි වූ මම සිතුවෙමි. දේදුන්නෙහි වර්ණ එකිනෙක වෙන් කොට හැඳිනගැනීමට වෑයම් කරන්නා මිරිඟුව ඔස්සේ ගිය එකකු මෙන් වෙහෙසෙයි" - පිටුව 4, පළමු පරිච්ඡේදය (විරාගය)

"අරවින්ද තමාගේ මව්පියන්ටත් සහෝදරියටත් දැඩි ලෙස ඇල්ම කළේය. එහෙත් ඔවුන්ගේ වුවද හොඳගති මෙන් නරක ගති මිනිහෙකුගේ මළකඳ කපා පිරික්සන ව්‍යවච්ඡේඥයකු මෙන් ඔහු හෙළි කරයි. ඔහු තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන්ද අහුමුළු වල සැඟවුණු අශෝභන තැන්ද හෙළි කරනුයේ පාපෝච්ඡාරණයෙන් ආත්ම ශුද්ධිය පතන්නෙකු ලෙසිනි" - පිටුව 11, පළමු පරිච්ඡේදය (විරාගය)

"ඔහු බුද්ධියට වඩා දියුණු කල හැඟීම් ඇත්තෙක් යි මට නිසැකවම වැටහිණි. ඔහු අනුන්ට දැක ගත හැකි සේ කෝප නොවීය; ශෝක නොවීය; ඔහු තමාගේ දයාව, කරුණාව, ආදරය වචනවලට නඟා කටින් පිට නොකළේය. එහෙත් ඔහු අප මෙන් කෝප වන්නෙක් විය. කෝපය නැඟුණු වහාම ඔහු එය අනුකම්පාවට හරවා ගත්තේය. කෝපය වුවද ආදරය වුවද මැඩ ගන්නට වෑයම් කරන්නා සිතින් පීඩා විඳියි. අරවින්ද ගෑනියකට ආලය නොකරන, කෝප නොවන කෙළෙසුන් මැඩ ගත්තෙකු ලෙස ජීවත් වූයේ තමාගේ ඇතුලු හදට වද දීමෙන් බව නිසැකය. අරවින්දගේ චරිතය හාරා ගරා එහි ඇති තිරුවාණ ගල් හා බොරළු මෙන්ම මැණික් ද සෙවීමට මා තුළ දැඩි කුහුලක් හට ගත්තේය" - පිටුව 5, පළමු පරිච්ඡේදය (විරාගය)

අරවින්දගේ චරිතය කියවීමකින් තොරව විරාගය කියවිය නොහැක. අරවින්දගේ චරිතය තනිකමෙන් පෙළුණු හා තර්ක බුද්ධියේත්, ව්‍යවහාරයේත් ඝට්ටනයන් හේතුවෙන් ජීවිතය කෙරෙහි දැඩි උදාසීනත්වයක් දැක්වූයෙකු ගැන හෙළි කරයි. විරා‍ගයේ ඇති අනෙක් චරිත අතරින් මේනකා, සරෝජනී, සිරිදාස හා බතී ප්‍රධාන වෙති. අරවින්දගේ චරිතය බොහෝ විට හැඩ ගැසෙන්නේත්, ගලා යන්නේත් ඔවුන් මූලික කොටගෙන ඔවුන් වටාය.

"මගේ ජීවිතයේ හතරමං හන්දිය සරෝජනී නිසා උපන් ආලයයි. ගතයුත් මඟ නිශ්චය කොට දැඩි සිතින් ඒ මඟ ගැනීමට තරම් ධෛර්්යයක් මට නොවීය. සරෝජනී සිරිදාස හා විවාහ වූ පසු මා විසින් ගතයුතු දෙමඟින් එකක්වත් ගැනීමට වුවමනා නිර්භයත්වයෙන් මම හීනයෙක් වීමි. වලට වැද හෝ අරමකට වී අපිස් ලෙස ජීවත් වීමට නිර්භයබවකුත් දැඩි සිතකුත් වුවමනාය. මම ඒ දෙකින්ම තොර වූවෙක්මි." - පිටුව 190, (විරාගය)

තමන්ගේ නිවස සොයුරිය විසින් අත්පත් කර ගනිද්දීත්, තමන් ප්‍රෙමකරන තරුණිය අනෙකකු විසින් විවාහ කර ගනිද්දීත් ඔහු ඒ සියල්ල උපේක්ෂාවෙන් ඉවසීය. තම නිවසේ මෙහෙකාරියගේ දියණියට තම වියදමින් උගන්වා පසුව ඇයව විවාහ කරදුන් ඔහු ඊට එරෙහිව වූ සමාජ අපවාදයන් කෙරෙහි නෑසු කන්ව සිටියේය. අවසානයේ ඒ හේතුවෙන්ම සිතින් හා කයින් දුර්වල අයෙකු විය. නමුත් අවසානයේදී ඔහු මියයන්නේ ඒ හේතුවෙන් ඇතිවූ කළකිරීමෙන් නොවේ. ජීවිතය අවසාන භාගයේදී ඔහු මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් වූ සනාතන සත්‍යයක් සාක්ෂාත් කර ගනියි.

"බතීත් සරෝජනීත් පිළිබඳ මගේ හැඟීම මැරෙන්නට යන පක්ෂියෙකු මෙන් අත්තටු සලතියි මට සමහර විට හැ‍ඟේ. නොතින් ආසාව මට දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතුවෙයි. මගේ ආත්ම විශ්වාසය නැතිවිය. තැණවතීගෙන් සාත්තු ලබමින් මා ජීවත් වූ කාලය මරු කතරක ජීවත්වීමක් ලෙස හැ‍ඟේ. මගේ ලෙඩේ සුව නොවේ. එහෙත් කරුණාව, දයාව, ඇල්ත යන ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කල කිරීම දුරු විය. මා වඩාත් කලකිරුණේ බතී නිසාය. ඈ නිසාම මගේ කලකිරීම තුනී විය. මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූ කලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ." - පිටුව 201, (විරාගය)

ආශ්‍රිත සැබැඳුම්[සංස්කරණය]

මාර්ටින් වික්‍රමසිංහ නිල වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=විරාගය_(කෘතිය)&oldid=425702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි