Jump to content

විකිපීඩියා:සැකිලිදත්ත

විකිපීඩියා වෙතින්

චන්ද්‍රයා


චන්ද්‍රයා හෙවත් සඳ, පෘථීවියේ චන්ද්‍රිකාව හෙවත් පරිවාර ග්‍රහයා වේ. එහි විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් 1/4 කි. පරිමාව 1/50 කි. පෘථිවියේ ස්කන්ධය චන්ද්‍රයාගේ ස්කන්ධය මෙන් 81ක් ගුණයකි. චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි. චන්ද්‍රයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර 384,403 km කි. චන්ද්‍රයාගේ සාමාන්‍ය ගමන් වේගය 3700kmph කි. පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක එක් ගමන් වාරයක් නිම කිරිමට චන්ද්‍රයාට දින 27 ක්, පැය 7ක්, මිනිත්තු 43 ක් හා තත්පර 11.5 ක් ගත වේ. චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන හෙයින් එහි ආලෝකවත් වන කොටස ප්‍රමාණයෙන් වෙනස් වේ. සඳේ දීප්තිමත් කොටස විවිධ හැඩයෙන් යුතු වේ. පුරහද හෙවත් පසළොස්වක දිනදී, සද දීප්තිමත් වෘත්තයක් සේද, අටවක දිනකදී සදෙන් අඩක් දීප්තිමත්ව ද, පෙනෙනු ඔබ දැක ඇත. සදෙහි දීප්තිය අධික ලෙස අපේ ඇසට දැනුන ද අවකාශයට පරාවර්තනය කරනුයේ,ඒ මතට පතිත වන ආලෝකයෙන් සියයට 7 ක් පමණි.


අතීත ආකාශ නිරීක්‍ෂකයන් විශ්වාස කළ පරිදි සදෙහි අදුරු පැත්ත සාගර හෝ දීප්තිමත් පැත්ත ගොඩබිම හෝ නොවේ. චන්ද්‍රයාගේ මතුපිට පිළිබඳව දැනට කර ඇති නිරීක්‍ෂණ අනුව එය ආවාට, කදු වැටි, තැනිතලා, විභේද වැනි භූ ලක්‍ෂණ වලින් සමන්විත වේ.සඳේ ඇති විශාලතම ආවාටය ලෙස සැලකෙන බේලි 295 km ක් පළල සහ 3960 km ක් ගැඹුරුය. විශාලතම මුහුද වූ මාර් ඉම්බ්‍රිඅම් 1200 km ක් පළලය.එහි ඇති උසම කන්ද 6100 m ක් උසය.එය ලෙයිබෙනිට්ස් හා ඩොඑර්පල් වැටි අතරේ චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නව පිහිටා තිබේ. චන්ද්‍රයාගේ ආවාට නිර්මාණය වී ඇති ආකාරය විවිධාකාරය. ඒවා චන්ද්‍රයා නිර්මාණය වූ මුල් කාලයේදී ඇති වූ අධිප්‍රවේගයෙන් යුතු උල්කාපාත හෝ කුඩා ග්‍රහාංශු වලින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

චන්ද්‍රයාගේ උපත හා එය නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එයින් එක් මතකයට අනුව චන්ද්‍රයා පෘථිවියෙන් පැලී, වෙන් වී එහි කක්‍ෂය වටා භ්‍රමණය වේ. සඳේ ඝනත්වය සහ පෘථිවියේ හරස් හෝ ඉහළ උප ස්ථරයේ පාෂාණවල ඝනත්වය සමාන වීම එම මතයට එක් සාක්ෂියකි. තවත් මතයකින් කියවෙනුයේ පෘථිවිය, චන්ද්‍රයා හා සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු සියලු ම වස්තූන් විශාල වලාකුළක් ලෙස එකට කොටු වී තිබූ බවත්, පසුව ඒවායින් බොහොමයක් මධ්‍යයට එක් වී සූර්යයා නිර්මාණය වූ බවත් ය. තෙවැනි මතයෙන් චන්ද්‍රයා, සෞරග්‍රහ මණ්ඩලයට පිටතින්ද, පෘථිවියට ඉතා ඈතින්ද නිර්මාණය වූ බවත් පසු කලෙක දී පෘථිවියේ ස්ථිර කක්‍ෂයට ඇද ගන්නට ඇති බවත් කියවේ.

19 වැනි හා 20 වැනි සියවස්වල දී දුරදක්න ආධාරයෙන් චන්ද්‍රයාගේ ආලෝකවත් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු රැස්කර ගත හැකි විය. සෝවියට් ලුනික් 111 අභ්‍යවකාශ යානය මගින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත පිළිබඳව ප්‍රථම වරට 1959 වර්ෂයේදී ඡායාරූප රාශියක් ලබාගැනුණි. එම ඡායාරූපවලින් පැහැදිලි වූ කරුණක් වූයේ චන්ද්‍රයාගේ අදුරු පැත්ත ද ආලෝකවත් වී ඇති පැත්තට සමාන බවයි. චන්ද්‍රයාගේ මතුපිට සෑම තැන්හිම ආවාට විසිරී තිබෙනු දක්නට ලැබිණි. ඒවා ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවායේ සිට ඉතා කුඩා ඒවා දක්වා විය. එක්සත් ජනපදයේ රැන්ජර් 7,8,9, සහ ඕර්බිටර් 1 (1964) හා ඕර්බිටර් 2 (1966) අභ්‍යවකාශ යානා මගින් ඉහත අදහස් සනාථ කෙරිණි. ඒ අනුව චන්ද්‍රයාගේ මතුපිට මීටරයකට වඩා වැඩි විෂ්කම්භයෙන් යුතු ආවාට ට්‍රිලියන 3ක් පමණ තිබෙන බව වාර්තා විය.

එක්සත් ජනපදය හා සෝවියට් දේශය විසින් 1960 ගණන්වල දී අභ්‍යවකාශගත කළ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා මගින් චන්ද්‍රයාගේ පාෂාණ රැස් කරන ලදි. එම පාෂාණ පරීක්‍ෂා කිරීමෙන් පැහැදිලි වූයේ, චන්ද්‍රයා වසර 4,600,000,000 ක් පමණ පැරණි බවත් එය පෘථිවිය හා සම වයසේ හෝ ඇතැම් විටෙක සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයින් තරමටම පැරණි විය හැකි බවත් ය. ඇපලෝ 11, 12, 14, සහ 17 යානා ඇසුරින් චන්ද්‍රයාගේ මතු පිටින් පාෂාණ හා පස් කිලෝ ග්‍රෑම් 384 ක් පරීක්‍ෂණ සදහා පෘථිවියට ගෙනවිත් තිබේ. එසේම ටෝරස් ලිට්රෝ නිම්න ප්‍රදේශයේ 35 km ක් ප්‍රදේශය පැය 22 ක් තිස්සේ අධ්‍යයනය කරන්නට ද යෙදුණි.