ලෝක ආර්ථික අර්බුදය

විකිපීඩියා වෙතින්

ඇමරිකා එක්සත් ජනපදය මුල් කර ගත් ලෝක ආර්ථික අර්බුදය

හැඳින්වීම[සංස්කරණය]

වර්තමාන ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කාලාන්තරයක් තිස්සේ පැවත ආ විවිධ සංකීර්ණ වු හේතු ගණනාවක ප්‍රතිඵලයකි.මෙම ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන් මූල්‍ය වෙළඳපලට කොටස් වෙළඳපලට හා විනිමය වෙළඳපලට බලපාන ලද අතර වර්තමානයේ මෙය අර්බුදයක් ලෙස ලෝකයේ සෑම රටකම පාහේ ව්‍යාප්ත වෙමින් පවතී.

නිවාස බුබුල[සංස්කරණය]

මූල්‍ය අර්බුදයට සමීපස්ථව බලපා තිබෙන්නේ ඇ.එ.ජ යේ නිවාස වෙළඳපල නිකුත් කල මිල සංඥාවන්ට එරට ආයෝජකයින් දැක් වූ වැරදි ප්‍රතිචාරයන්ය.1990 ගණන් වන විටත් ඇ.එ.ජ යේ නිවාස හිමිකම පැවතියේ 64% ක තරමි පහත අනුපාතයකය.මෙය නිවැරදි කිරීම සඳහා රජය නිවාස වෙළඳපලට නිවාස ප්‍රවර්ධන ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දෙනු ලැබීය.මේ සමගම නිවාස වෙළඳපලෙහි නිවාස සඳහා විශාල ඉල්ලුමක් ජනිත වූ අතර නිවාස සඳහා වෙළඳපල මිල ඉතා වේගයෙන් ඉහළ ගියේය.මේ ත‍ත්‍වය ඇමරිකා නිවාස උත්පාතය හෙවත් නිවාස බුබුල ලෙස හඳුන්වයි.මෙයට සම කාළීනව ඇමරිකානු ණය වෙළඳපලහි සැළකිය යුතු තරමේ ණය අතිරික්තයක්ද පැවතුනි. එම අතිරික්තය මුල් අවස්ථා වේදී ඉතා පහසුවෙන් හා ලාභදායීව නිවාස ඉදිකිරීමි ‍ක්‍ෂෙත්‍රයේ යොදනු හැකි විය. නිවාස ඉල්ලුම් කරුවන් බොහොමයක් ඔවුන්ගේ ආදායමින්,රැකියාවෙන්,ඇප සුරැකුමින් හෝ වත්කම් හිමිකමෙන් ණය පැටිකිරියෙන් බැංකු ණය සඳහා සුදුස්සන් නොවී සිටියහ.

අවිධිමත් බැංකු ණය[සංස්කරණය]

එනම් බැංකු ණයට සුදුසුකම් ලත් ආයතන හෝ පුද්ගලයන් විසින් ප්‍රාථමික උකස් ණය වෙළඳපලෙන් පළමුව ණය ලබා ගෙන නිවාස ගොඩනැගිලි ක්‍ෂෙත්‍රයේ ආයෝජනය කරනු ලැබු අතර,දෙවනුව එම නිවාස අනුප්‍රාථමික උකස් වෙළඳපලක බැංකු ණයකට නුසුදුසු ආර්ථික ඒකක වලට උකස් ණය පදනමින් අලෙවි කරනු ලැබීය.මෙම අනුප්‍රාථමික උකස් වෙළඳපලේ අනුගමනය කරනු ලැබු ණය ක්‍රමයන් නම්‍ය,නව්‍ය හා අවදානමින් ඉහළ ඒවා විය.

නිවාස බුබුල පිපිරීයාම[සංස්කරණය]

2000 වසර ආරම්භ වන්නේ නිවාස බුබුල පිපිරීයාමට හේතු සාධක රාශියක් පෙරදැරි කර ගෙනය.උදාහරණයක් ලෙස 2008 ජූලි මාසය වන විට තෙල් බැරලයක උපරිම මිල ඩොලර් 147ක් ලෙස නියම විය.ඒ හේතුවෙන් රට තුල උද්ධමනයක් ඇති වු අතර පාරිභෝගික වියදම් ඉහල ගියේය.කර්මාන්තයන්හි නිමැවුම් ඒකකයක පිරිවැය වර්ෂය තුල හය ගුණයකින් ඉහළ ගිය අතර මෙම පීඩනය සමනය කරගනු ලැබුවේ ශ්‍රම සේවා නියුක්තිය කප්පාදු කිරීමෙනි.2008 ජනවාරි සිට අගෝස්තු දක්වා රැකියා අහිමි වූ පුද්ගලයින් ගණන ඇ.එ.ජ ය තුල 605000ක් විය.මේ තත්‍වය තුල නිවාස සඳහා ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ ගොස් නිවාස වෙළඳපල හැකිළීමකට භාජනය විය. නිවාස මිල පහත වැටීමේ වේගය කොතෙක්ද යත් නිවාස සඳහා වෙළඳපලෙහි නියම වු මිල එම නිවෙස් සඳහා වු උකස් වටිනාකටත් වඩා බෙහෙවින් පහළ අගයක් විය.පාඩු පිට නිවෙස් අලෙවි කිරීමට සූදානම් නොවු මුදල් ආයෝජනය කළ පුද්ගලයින් ඔවුන් ලබාගත් බැංකු ණය පැහැර හරින්නට විය.මේ හේතුවෙන් බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන දැඩි ද්‍රවශීලතා හිඟයකින් පෙළුණු අතර ක්‍රමයෙන් බංකොලොත්භාවයට පත් විය.උදාහරණයක් වශයෙන් 2008ජූලි 17 වන දින උකස් වෙළඳපලහි ආයෝජනය කළ බැංකු,ඩොලර් බිලියන 435ක අලාභයක් වාර්තා කර තිබුනි.

මූල්‍ය සමාගම් බිඳ වැටීම[සංස්කරණය]

නිවාස ණය ලබා ගැනීමේ දී යම් හෙයකින් ණය මුදල ගෙවා ගැනීමට නොහැකි වුව හොත් එම ණය මුදල ගෙවන බවට අදාල මූල්‍ය ආයතනයට රක්‍ෂණ සමාගම් සිය රක්‍ෂිතයා වෙනුවෙන් පොරොන්දුවක් ලබා දේ.ණය නොගෙවීම තුල බිහිවු ණය උගුල හේතුවෙන් දිගින් දිගටම රක්‍ෂණ සමාගම් වලට රක්‍ෂිතයන්ගේ ණය ආපසු ගෙවීමට සිදු විය.මේ හේතුවෙන් අවසානයේ දී රක්‍ෂණ සමාගම්ද බංකොලොත්භාවයට පත් විය.බංකොලොත්භාවයට පත් වූ උකස් බැංකු අතර Indimac,Lehman Brothers දැක්විය හැකිය.

කොටස් වෙළඳපල බිඳ වැටීම[සංස්කරණය]

කොටස් වෙළඳපල කෙරෙහි අවධානය යොමු කරන විට න්‍යායාත්මකව විග්‍රහ කිරීමේ දී කොටසක ඉපයීමේ හැකියාව,කොටසක වෙළඳපල මිල හා ආයෝජනයේ විශ්වාස මට්ටම මත රඳා පවතින බව පොදුවේ පිළිගන්නා කරුණකි.මූල්‍ය අර්බුදය හේතු වෙන් ආයෝජකයන්ට ආයෝජන පිළිබඳ විශ්වාසය පහල වැටුණු අතර තම තැන්පතු ආපසු ලබා ගැනීම හේතුවෙන් කොටස් වෙළඳපල බිඳ වැටුණි.උදාහරණයක් වශයෙන් නදර්න් රොක් සමාගමේ තත්‍වය දැක්විය හැක.මෙම සමාගම බ්‍රිතාන්‍ය බැංකු වලින් ණය මුදලක් ලබා ගැනීමට යාම නිසා තැන්පත් කරුවන් සැක කලේ ඔවුන් බංකොලොත්බාවයට පත්ව ඇති බවයි.එම නිසා ඔවුන් තමන්ගේ තැන්පතු ඉවත් කර ගත් අතර කොටස් මිල පහල යාමට එය හේතු විය.බෙයාර් ස්ටීමන් සමාගමේ අවුරුද්දකට පෙර කොටසක මිල ඩොලර් 150කි.මූල්‍ය අර්බුදයේ බලපෑම හේතුවෙන් එය ඩොලර් 2 දක්වා පහත වැටුණි.

විනිමය වෙළඳපල බිඳ වැටීම

විනිමය වෙළඳපල තත්‍වය විග්‍රහ කිරීමේ දී විදේශ විනිමය අවප්‍රමාණය වීම ප්‍රධාන සාධකයක් ලෙස සැලකිය හැකිය.නමුත් විනිමය අවප්‍රමාණය වීම ඩොලරයට සාපේක්‍ෂව සළකන විට අනෙකුත් රටවල විශාල වශයෙන් සිදුවී ඇත.උදාහරණයක් ලෙස ඩොලරයට වඩා යුරෝ,ස්ටාර්ලින්,පවුම් වැනි මුදල් වල අවප්‍රමාණය වීම දැක්විය හැකිය.මෙයට ප්‍රධාන හේතුව ලෙස ආර්ථික විද්‍යාඥයින් දක්වන්නේ ඩොලරය ප්‍රධාන ගණුදෙනු මාධ්‍යයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක් වී තිබීමයි.අනෙක් අතට යුරෝපීය රටවල මුදල් විශාල වශයෙන් අවප්‍රමාණය වී තිබෙන්නේ එම රටවල ‍ගෙවුම් ශේෂය ප්‍රාග්ධන ගිණුම මත විශාල වශයෙන් රඳා පැවතීමයි.ආයෝජන ගලා ඒම මත ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තීරණය වීමත් ඒ මත විනිමය අනුපාතය තීරණය වීමත් මෙයට ප්‍රධාන හේතුවයි.

තුන්වන ලෝකයට වන බලපෑම

කෙසේ වුවද වර්තමානය වන විට මෙම ලෝක ආර්ථික අර්බුදය දියුණු රටවලට මෙන්ම තුන්වන ලෝකයේ රටවලටද ව්‍යාප්ත වී ඇත.විශේෂයෙන්ම මෙම රටවල කෘෂි අපනයන,ඇඟළුම්,සංචාරක වැනි ‍ක්‍ෂෙත්‍ර දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතී.ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල පහළ යාම ඇතැම් විට වාසි සහගතය.නමුත් මෙම තත්‍වය ගල්ෆ් කලාපයේ රටවල ආදායම අඩු වීමට ‍හේතු වන බැවින් තුන්වන ලෝකයේ රටවල ශ්‍රම අපනයනට එය අහිතකර ලෙස බලපානු ඇත.එමෙන්ම විදේශ ආයෝජන,ණය ආධාර සම්බන්ධයෙන්ද දියුණු වෙමින් පවතින රටවලට අහිතකර තත්‍වයක් ඇති කරයි.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_ආර්ථික_අර්බුදය&oldid=593246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි