ලුණුගම ලෙන් වෙහෙර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පිහිටීම[සංස්කරණය]

කොළඹ සිට කැලණිය, මල්වාන, දෙකටන හරහා කිරිඳිවැල මාර්ගයේ පුටුපාගල මංසන්දිය පසු කොට කිලෝමීටර්යක් (සැකපුම් 0.6 ක්) යනවිට හමුවන පැපෙ‍ාල්ගස්දෙනිය හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් දෙකක් (සැකපුම් 1.25 ක්) මග ගෙවා මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය. එසේ ‍නොමැතිනම් කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ලෙන් හැරී පූගොඩ හරහා කිරිඳිවැල මාර්ගයේ කිලෝමීටර් 6 ක් (සැතපුම් 3.72 ක්) ගිය පසු වම් අතට ඇති ගල්පොතුගොඩ මාර්ගයේ කිලෝමීටර් 3.5 ක් (සැතපුම් 2.2 ක්) යනවිට මෙම විහාරය හමුවේ.

පරිපාලන කොට්ඨාශ[සංස්කරණය]

වර්තමාන පරිපාලන කොට්ඨාශ බෙදීම අනුව බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පහල ලුණුගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ හෙවත් පුරාණ කෙ‍ාට්ඨාශ බෙදීමට අනුව ගම්පහ දිසාවේ, සියනෑ කෝරළයේ, ගඟබඩ පත්තුවේ පිහිටි ඓතිහාසික ලුණුගම ග්‍රාමයේ, දකුණු මායිමේ මෙම සිරි පැරකුම්බා රාජමහා විහාරය පිහිටා ඇත.

බස්නාහිර - ගිණිකොණ දිසානුගතව කිලෝමීටරයක් (සැකපුම් 0.6 ක්) පමණ දුරකට විහිදෙන මීටර විසිපහක් ( අඩි 80 ක්) පමණ උස ගල් තලාවකට මායිම්ව පිහිටි මෙම මනරම් ලුණුගම ගම් පියසට උතුරු දෙසින් මණ්ඩාවලද, ඊසාන දෙසින් පැල්පිට හා අනුරාගොඩද, නැගෙනහිර දෙසින් කුමාරිමුල්ල හා පූගොඩද, ගිණිකොණ දෙසින් ගල්පොතුගොඩ හා කපුගොඩද, දකුණු දෙසින් වානළුවාව හා ඉන්දොලමුල්ලද, නිරිත දෙසින් පැලහැලද, බටහිර දෙසින් පුටුපාගලද, වයඹ දෙසින් කෑරගලද පිහිටා ඇත.

භූගෝලීය පිහිටීම[සංස්කරණය]

උතුරු අක්ෂාංශ 060 55’ හා බටහිර දේශාංශ 800 05’ හි ද මුහුදු මට්ටමේ සිට මීටර් 60 ක් (අඩි 200 ක්) පමණ උසකින් ද ‍ලුණුගම සිරි පැරකුම්බා රාජමහා විහාරය පිහිටා ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ලිඛිත ඉතිහාසය[සංස්කරණය]

මහාවංශයට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 1953 (සද්ධර්මරතනාකරයට අනුව 1958) කට පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 1410 (සද්ධර්මරතනාකරයට අනුව 1415) දී කෝට්ටේ රජවූ ශ්‍රී පරක්‍රමබාහු හෙවත් සිරි පැරකුම්බා හෙවත් හයවන පරාක්‍රමබාහු රජතුමා, ලුණුගම ලෙන් විහාරයක් කරවූ බව ඔහුගේ රාජ්‍ය වර්ෂයෙන් හත්වැන්නෙහි එනම් ක්‍රිස්තු වර්ෂ 1417 (සද්ධර්මරතනාකරයට අනුව 1422 විය හැකිය) දී ඔහුගේම අනුමැතියෙන්, පූජ්‍යපාද ධම්මදින්නාචාර්යය විමලකීර්ති හිමියන් විසින් රචනාකරන ලද ‘සද්ධම්මරතනාකරය’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

                           . (සද්ධම්මරතනාකරය, ධර්මකීර්ති, කේ. ඇල්., 1912, විඥාපනය ii සහ මහා වංශය, වීරසේකර, ගුණපාල, 1955, පරි 91,583)

“....... අප බුදුන් පිරිනිවී එක්වාදහස් අටපනස් වනු පොසොන් මසට ලක් සසුන් පිහිටි එක්වා හත්සිය දෙවිසි අවුරුද්දක් පිරුණේය. එකල්හි ශාක්‍ය කුල පරම්පරානුගත අමිත ශ්‍රී වික්‍රමාන්විත පරාක්‍රමබාහු නම් මහරජතෙම ශ්‍රී ලංකද්වීපයෙහි රාජශ්‍රීයට පැමිණියේය. ................ ශ්‍රී පරාක්‍රමබාහු මහරජතෙම ......................... කුසලට ආකර වූ ත්‍රිවිධරත්නය හස්තප්‍රප්තකොටගෙන දන්තධාතූන් වහන්සේට තුන්මාල් ප්‍රාසාදයක් හා මහත් මණ්ඩපයක් කරවා රන්කොත් පළඳවමින් ...................... , ....................... සමන්ත කූට පර්වතයෙහි ජින වර චරණ ලාංඤඡනය නමස්කාර කරනු පිණිස යන එන්නවුන් අන්තරාමාර්ග කාන්තරයෙහි යාත්‍රාසනාදීන් විඳගන්නා ව්‍යසන අසා අම්බලමක් එතැන්හි කරවා .................... සපරගමු විහාරගෙයි ඔත්පිළිමගෙය මුල්පිස කරවා, තවද කැලණි විහාරයේ මහා චෛත්‍ය සුන්බුන් තැන් ප්‍රකෘතිවත් කොට ........................... අභිනවද ගම්බිම් පුදමින් විහාර දේවාලයන් වර්ධනය කොට, තවද පැපිලියානෙහි ............................ ස්වකීය මාතා නාමයෙන් අමුතු පිරිවෙනක් අස්වා උවමනා කප්පිය පරිෂ්කාර පනවා නිරන්තරයෙන් සංඝයා වහන්සේ වස්වා කුල වර්ධනය කෙරෙමින්, තවද ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා බෝ මැඩ වජ්‍රාසනාරූඩව දිවසෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප පිහිටුවා විහාර තත්‍රැප්පාදිය පුදමින් මතු වර්ධනය වන ලෙස සලස්වා, තවද අත්තනගලු විහාරයෙහි දෙමහල් සාංඝික සංඝාරාමයක්ද, දාගැබක්ද ................. තවද දොරණගොඩ විහාරයෙහි ..................... පිහිටි දාගැබ ජරාවාස හරවා ....................” (සද්ධම්මරතනාකරය, ධර්මකීර්ති, කේ. ඇල්., 1912, පරි 12, 295 - 298)

ලුණුගම විහාරය සම්බන්ධව හමුවන ප්‍රධානම හා ප්‍රභලම සාධකය මෙම ඓතිහාසික ලේඛණයයි.

මීට අමතරව ලුණුගම සිරි පැකුම්බා විහාරස්ථානය සම්බන්ධව හා අවට ප්‍රදේශ සම්බන්ධව පවත්නා ජනප්‍රවාද ද, අවට පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ද මෙම ස්ථාන‍ෙය් ඉතිහාසය පිළිබඳව සමාලෝචනයකදී සැලකිල්ලට ගත හැකි සාධක වේ.


කෑරගල පිරිවෙන[සංස්කරණය]

ලුණුගම විහාරට ඉතා සමීපව බටහිර දෙසින් පිහිටි කෑරගල පද්මාවතී පිරිවෙන කෝට්ටේ යුගයේ පැවති ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් බවත්, විශාල වශයෙන් සංඝයා වහන්සේලා වැඩසිටි බවත් කෝට්ටේ යුගයේම රචිත හංස සන්දේශයට අනුව සිතාගත හැකිය. මෙම භූමියේ ඇති සෙල් ලිපි දෙකට අනුව සිරිසඟබෝ ශ්‍රී විජයබාහු (හතර වන විජයබාහු - ක්‍රි.ව. 1285 - 1287, හෝ පස්වන විජයබාහු - ක්‍රි.ව. 1347 දක්වා - විය හැකිය - මහාවංශය) රජතුමගේ සමයේ අර්ථනායක හා දළ‍ෙසන්ගමු යන දෙදෙනා, අලගක්කෝණාරයන්ගේ (තුන්වන වික්‍රමබාහු - ක්‍රි.ව. 1351ට පසු සමයක් - රජ සමයෙහි ජයවර්ධන කෝට්ටේ නමින් රාජධානියක් ඉදිකළ ප්‍රභූ රාජයෙක් යැයි ද, පසුව පස්වන භුවනෙකභාහු ලෙස රජ වූයේ මොහුයැයිද කියවේ - මහාවංශය) සොහොයුරිය වූ පද්මාවතී කුමරියට වැඳ පුදා ගැනීම සඳහා කරවූ බවත්, හයවන පරාක්‍රමබාහු රජ තුමා මෙම පිරිවෙනට අවට ගම් පූජා කළ බවත් කියවේ. (ගම්පහ දිස්ත්‍රික්කය, ආචාර්ය ඩයස්, මාලනී, පරි 26, 229)


ජනප්‍රවාද[සංස්කරණය]

ලුණුගම හා අවට ප්‍රදේශයේ පිහිටි ස්ථාන පිළිබඳව ඇති ජනප්‍රවාද ලුණුගම ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී සැලකිලිමත්විය යුතුය.

ලුහු ගම - ලුණුගම[සංස්කරණය]

වළගම්බා රජතුමා (පැමිණ) වහ වහා (රාජකාරියක් සඳහා) පිටව ගිය ගම ‘ලුහු ලුහු ගම’  ‘ලුහුගම’, කට වහරේදී ‘ලුණුගම’ වූ බව ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.)

ලුණුගං කන්ද[සංස්කරණය]

පෘතුග්‍රීසීන් සමග පැවති සටනකදී සිංහල හමුදා සැඟව සිට පහරදුන් ස්ථානයක් බවත්, බැලුන් ගලක් ලෙස භාවිතා කළ බවත් ප්‍රදේශයේ පවතින ජනමතයකි. (විශ්‍රාමලත් විදුහල්පති එචි.පී.රණතුංග මයා.)

කෑරගල පිරිවෙනට ඇති සම්බන්ධය[සංස්කරණය]

කෑරගල පිරිවෙනේ නේවාසික භික්ෂූන් වහනසේලාගේ වන්දනාමාන කිරීම සඳහා ලුණුගම විහාරයක් කරවූ බව ප්‍රදේශයේ පවතින එක් ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.)

වානළුවාව[සංස්කරණය]

වසභ රජතුමා කරවූ වැවෙහි වාන කැඩී ගිය (සිඳලූ) පසු වැව තිබූ ප්‍රදේශය ‘වාන සිඳලූ වැව’  ‘වාන ලූ වැව’  ‘වානලුවාව’ වූ බව ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.) මංඩාවල අලගක්කෝණාර නැමති ප්‍රභූවරයාගේ සහෝදරිය වූ පද්මාවතී කුමරියට ‘මංඩාවිල’ ගමේ මාළිගාවක් කරවා ඇත. මංඩාවිල පසුව මංඩාවල වී ඇත. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162)

අනුරගොඩ[සංස්කරණය]

පද්මාවතී කුමරියට වැඳ-පුදා ගැනීම පිණිස කෑරගල කරවූ විහාරය විවෘත කිරීමට පැමිණි හයවන පරාක්‍රමභාහු රජතුමා දින කිහිපයක් එහි නතරවී සිට අනුර නැකතින් නැගෙනහිර ‍ෙදසට ගොස් නතර වූ තැන අනුරාගොඩ නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162)

පූගොඩ[සංස්කරණය]

රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිස නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162)

අමුණුකුඹුර[සංස්කරණය]

අනුරාධපුරයෙන් පළාවිත් මාළිගාතැන්නේ සැඟව සිටි වළගම්බා රජතුමාට හා සේනාවට ආහාර පිණිස වගා කළ අමුණක කුඹුර, අමුණුකුඹුර නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 163)

දොම්පෙ[සංස්කරණය]

දැහැමි සිරිසබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්‍රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්‍රදේශය පසු කලෙක දොම්පෙ නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 157)

අවට වැදගත් ඓතිහාසික ස්ථාන[සංස්කරණය]

ලුණුගම අවට ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථාන රාශියක් ඇති අතර ලුණුගම පිළිබඳව අධ්‍යනය කිරීමේදී එම ස්ථානවල ඓතිහාසික වැදගත්කම සලකා බැලීම වටී.

මණිඅක්ඛිත නැමති නාග ග්‍රෝතික රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුරජානන්වහන්සේ දානය වැළඳීම සඳයා වැඩ සිටි රත්න මණ්ඩපය මැදි කොට චෛතියක් කරවූ බවත්, උන්වහන්සේ කැලණි ග‍ඟේ දිය ස්නානය කළ බවත් නානකඩධාතුව මැදි කර එගොඩ කැළණියේ චෛත්‍යක් කරවූ බවත් ඉතිහාසයේ කියවේ. දේවානම්පියතිස්ස රජ සමයේ රුහුණේ මාගම රජ කළ මානා රජුගේ පුත්‍රයා වූ යටාලතිස්ස කැලණියේ රජකම් කළේය. යටාලතිස්සගේ පුත්‍රයා ගෝඨාභය මාගමද ඔහුගේ පුත් කැලණිතිස්ස කැලණියේද රාජ්‍ය කරවූහ. මුහුද ගොඩගලා කැලණිතිස්ස රජතුමා ජීවිතක්ෂයට පත්වීම නිසා කැලණියේ උප රාජධානිය අවසන් විය. පසුව දුටුගැමුණු රාජ සමයේ (ක්‍රි. පූ. 161-137) භික්ෂූ මධ්‍යස්ථානයක්ව පැවතිනි. එසේම කණිට්ඨතිස්ස (ක්‍රි. ව. 167-186), වෝහාරිකතිස්ස (ක්‍රි. ව. 209-231), පළමුවැනි වික්‍රමබාහු (ක්‍රි. ව. 1111-1132), නිශ්ශංකමල්ල (ක්‍රි. ව. 1187-1196), තුන්වන විජයබාහු (ක්‍රි. ව. 1232-1236), දෙවන පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1236-1270), ආදී රාජ යුගවලදී කැලණිය ආශ්‍රිතව වැදගත් සිදුවීම් වූ බව වංශ කථාවල සඳහන් වේ. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 50-57) මීට අමතරව වාරණ, මැදදේගම, පිළිකුත්තුව, කොස්කඳවල, දංගල්ල, අත්තනගල්ල, මාළිගාතැන්න, කෑරගල, සමනබැද්ද, අලවල මහකන්ද, කොස්සින්න, වෑබඩ, මාහොල්ඔළුව, ආදී ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන රාශියක් ලුණුගම අවට පිහිටා ඇත.

විහාරය[සංස්කරණය]

බෞද්ධ සිද්ධස්ථානයක් අංග සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය ශාරීරික, පාරිභෝගික හා උද්දේශික යන ත්‍රිවිධ වන්දනා ස්ථාන වන චෛත්‍ය, බෝධිය හා පිළිම ගෙය යන ත්‍රිවිධ විහාරාංගයන්ගෙන්ම සමන්විත ලුණුගම සිරි පැරකුම් රජමහා විහාරය වර්තමානයේ ප්‍රදේශයේ ප්‍රචලිත විහාරස්ථානයකි.

දොම්පෙ, දෙකටන, දෙල්ගොඩ, පූගොඩ, කිරිඳිවැල ආදී අවට පිහිටි ගම්, නියන් ගම් හා නගරවල ‘ලුණුගම පන්සල’ නමින් ප්‍රසිද්ධ මෙම ස්ථානයට මේවන විට අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක් අයිතිව ඇත. උතුරු හා නැගෙනහිර දෙදිසාවෙන් ප්‍රධාන මාර්ගයටද, දකුණු දෙසින් වෙල් යායටද, බස්නාහිර දෙසින් ගල් තලාවකටද මායිම්ව පිහිටා ඇති මේ භූමියේ සාරවත් පොල් වගාවක් ඇත.

ධර්ම ශාලාව[සංස්කරණය]

උතුරු දෙසින් හා නැගෙනහිර දෙසින් ප්‍රවිශ්ඨ මාර්ග දෙකක් ඇති අතර, උතුරු ප්‍රවිශ්ඨ මාර්ගයේ මීටර් 100 (අඩි 330) ක් පමණ එනවිට දකුණු පසින් ධර්ම ශාලාව පිහිටා ඇත. පැත්තක දිග මීටර් 18.3 (අඩි 60) ක් වූ ආයත චතුරශ්‍ර ගොඩනැගිල්කි. වරින් වර ප්‍රතිසංස්කරණය කර ඇති මෙම ගොඩනැගිල්ලේ වඬිම්බුවේ සඳහන්වන පරිදි මෙම ගොඩනැගිල්ල ක්‍රි. ව. 1884 දි ඉදි කළ හෝ ප්‍රතිසංස්කරණය කළ හෝ බව අනුමාන කළ හැකිය.

ලෙන් පිළිම ගෙය[සංස්කරණය]

මෙම ධර්ම ශාලාව අභියසින් බස්නාහිර දෙසට ගමන් කරන විට මීටර් 0.15 (අඟල් 6) බැගින් උස ගල් පඩි 45 කින් සමන්විත පඩිපෙලක් හමුවේ. ධර්ම ශාලව පිහිටි බිමේ සිට විහාර මළුවට උස මීටර් 6.75 ක් (අඩි 22.15 ක්) පමණ වේ. මෙම මළුවේ වම් පසට වන්නට ලුණුගම සිරි පරකුම් රජමහා විහාරයේ විශේෂිතම වූ අංගය වන ඓතිහාසික ගල් ලෙන පිහිටා ඇත. උසින් මීටර් 15.25 ක් (අඩි 50 ක්) පමණ වූ මෙම විශාල ගල් ලෙන පළලින් මීටර් 20 ක් (අඩි 65.5 ක්) පමණ වේ. අධ්‍යනය කළ මෙම වකවානුවේ ද, එනම් ක්‍රි. ව. 2008 ද ඉදිකිරීම් සිදුවෙමින් පවතින නව විහාර මන්දිරය ඇතුලත වරින් වර ප්‍රතිසංස්කරණයන්ට භාජනය වූ පැරණි ලෙන් විහාරය පිහිටා ඇත.

ඝණ්ඨාර කුළුණ හා බෝධීන් වහන්සේ[සංස්කරණය]

මෙම විහාර මන්දිර‍ෙය් සිට ඉදිරිය බලන විට වම් පසින්, විහාරය අභියසම ඝණ්ඨාර කුළුණක්ද, ඒ අසලම මීටර් 15 ක් (අඩි 50) පමණ ප්‍රදේශයක් වසගෙන නැගී සිටි බෝධීන් වහන්සේ නමක්ද වේ.

චෛත්‍යය[සංස්කරණය]

ඝණ්ඨාර කුළුණ හා බෝධීන් වහන්සේ අතරින් ඉදිරියට යනවිට මීටර් 7ක් (අඩි 23 ක්) පමණ උසින් පිහිටි මළුවක ඉදිකිරීම් අවසන් නොවූ විශ්කම්භය මීටර් 3.65 ක් (අඩි 12 ක් ) පමණ වූ චෛත්‍යයකි. මෙහි ඉදිකිරීම් මීට වසර 10 කට පමණ ‍ෙපර ආරම්භ වූ බවට දැනගන්නට ලැබිනි.

දිය කඳුර[සංස්කරණය]

උතුරු පිවිසුම් මාර්ගයෙන් ඉදිරියට යනවිට විහාරස්ථාන භූමිය හරහා ගලා යන දිය කඳුරකි. මෙම දිය කඳුර වියලි කාලයේ පවා නොසිඳී පවතින බව දැනගන්නට ලැබිනි. මෙම දිය කඳුර මෙන්ම ලුණුගම කඳුවැටියෙන් ඇරඹී, වසර පුරාම අනවරතව ගලනා දිය කඳුරු කිහිපයක්ම ලුණුගම පංසල අවට තිබේ. ඒවා අතරින් ‘ලුණුගම පීල්ල’ නමැති කුඩා දිය ඇල්ල දැඩි නියඟයකදි පවා නොසි‍ඳෙන බවට ප්‍රකටය.

ගල් තලාවේ පඩිපෙල[සංස්කරණය]

විහාරස්ථාන භූමිය මධ්‍යයට වන්නට ඇති වැලිමළුවට නැගෙනහිර පිවිසුම් මාර්ග‍ෙයන්ද පිවිසිය හැකිය. එම මළුවේ සිට බස්නාහිර දෙසින් මීටර් පණහක් (අඩි 160 ක්) පමණ ඔබ්බෙන් වූ ගල් තලාවක මනාව සකස්කරන ලද පඩිපෙලක් ඇත. මෙම පඩිපෙල, ඒ ඔස්සේ වානළුවාව ගම් පියසට වැටී තිබූ මාර්ගයේ ශේෂ වූ කොටසක් බව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මතයයි.

පොත්ගුල[සංස්කරණය]

නැගෙනහිර ප්‍රවිශ්ඨය අභිමුවෙහිම ඇත්තේ ක්‍රි.ව. 1959 දී ඉදි කරන ලද බව සඳහන්වන දෙමහල් පොත්ගුලයි. ප්‍රතිසංස්කරණය කළ යුතු තත්වයේ පවතින මෙම ගොඩනැගිල්ලේ වටිනා ධර්ම ග්‍රන්ථ රාශියක් තැම්පත් කොට ඇත.

සංඝාවාසය[සංස්කරණය]

ඉහත සඳහන් කළ වැලිමළුවේම උතුරු ප්‍රවිශ්ඨය අභිමුවෙහි අභිනව සංඝාවාසය පිහිටා ඇත. මැද මිදුලක් සහිතව ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ඉතා හොඳ තත්වයේ පවතී.

දෙවන ගල්ලෙන[සංස්කරණය]

එම සංඝාවාසයට පසුපසින් මීටර් 100 ක් (අඩි 330 ක්) පමණ ඔබ්බෙහි ගල් තලාව ආසන්නයේ වෙන් වෙන්ව පිහිට ගල් කුළු කිහිපයකි. ඒ අතර ඇති එක් ගල් ලෙනක් පළලින් මීටර් 6 ක් (අඩි 19.7 ක්) පමණ වන අතර මීටර් 3 ක් (අඩි 9.8 ක්) පමණ උසකදී කටාරමක් කොටා ඇත.

එම කටාරම ආසන්නයේ ‘844 ක්’ හා ‘ශු ක ව’ ලෙස කියවිය හැකි අක්ෂර පේලි දෙකක් දක්නට ලැබේ. එම ලෙනට දකුණු දෙසින් පිහිටා ඇති ගල් කුළක කොටසක් ඉන් ගැලවී බිම පතිතව ඇති සෙයක් පෙනේ. එම ‍ෙකාටසේ හැඩය සලකා බලන කල එය ගැලවී වැටීමට ප්‍රථම එම ගල් කුළද ලෙනක ස්වරූපය ගත් බව පෙනේ.

ලෙන් කටාරම්[සංස්කරණය]

මෙම ගල් ලෙනෙහි කටාරම් කොටා තිබූ බවත් ඒවා අභිනව විහාර කර්මාන්ත වලදී විහාරයේ වහලයටත් සිවිලිමටත් අතර තිබෙන බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ. එසේම මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන්ගේ Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ sites at Kelani Valley Basin නැමැති ලේඛනයේද ලුණුගම පිහිටි ලෙන් දෙකෙහිම කටාරම් ඇති බව සඳහන් වේ. දෙවන ගල් ලෙනෙහි ඇති කටාරම ප්‍රදේශයේ හමුවන අනෙක් කටාරම්වලට වඩා වෙනස් ශෛලියක් ගනී. එබැවින් මෙම කටාරම කොටූ කාලය පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් කළ යුතුය.

ශිලා ලේඛණ[සංස්කරණය]

‍ලුණුගම දෙවන ගල් ලෙනෙහි ‘8 4 4 ක්’ හා ‘ශු ක ව’ ලෙස කියවිය හැකි අක්ෂර පේලි දෙකකි. මෙයින් කිය වෙන්නේ “ශුද්ධ වූ ශක වර්ෂ 844 දී” යන්න විය යුතුය. ශක වර්ෂ ආරම්භ වන්නනේ ක්‍රිස්තු වර්ෂ 78 දීය. ඒ අනුව ශක වර්ෂ 844 යනු ක්‍රි. ව. 922 වේ. මේ පොළොන්නරුවේ රජ කළ හතරවන කාශ්‍යප රාජ සමයයි (ක්‍රි.ව. 912-929). මේ සමයේ රුහුණේ සිටි මිහිඳු නම් ප්‍රාදේශීය රජ කෙනෙකු ගැන සඳහන් වේ. ඒ සමයෙහි ඔහු ප්‍රදේශය සුඛිත මුදිත කළ බවත් විහාරාම ප්‍රතිසංස්කරණය කරවූ බවත් කියවේ. (මහා වංශය, පරි 52, 384) ඒ අනුව ක්‍රි. ව. 922 කාලයේද ලුණුගම ලෙන් ආශ්‍රිතව යම් වාස්තු නිර්මාණයක් කළේද යන මතය සාකච්ඡා කළ යුතුය. මෙහි ඇත්තේ ‘1844’ නම් (‘1’ මැකී ගොස් ඇත්නම්) ඒ ක්‍රි.ව. 1922 විය යුතුය. මේ යුගය ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවී විශාල ලෙස විහාරාරාම ප්‍රතිසංස්කරණ කළ කාලයයි. ලුණුගමට ආසන්නයේ පිහිටි සමනබැද්ද, ගනේගොඩ රජමහා විහාරයේ ද ක්‍රි.ව. 1920 දී ප්‍රතිසංස්කරණ කර ඇති බැවින් ලුණුගමද යම් ප්‍රතිසංස්කරණ සිදුවන්නට ඇතැයි නිගමනය කළ හැකිය. (බණ්ඩාරනායක,එස්, සෝමදේව, ආර්, 1999, 237-244). එසේම අවධානයට භාජනය කළ යුතු අනෙක් කරුණ වන්නේ ලුණුගම ඇති විශාල ගල්ලෙනෙහි අභිලේඛණ නොමැති වීමයි. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන්ගේ Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ sites at Kelani Valley Basin නැමැති ලේඛනයේද ලුණුගම පිහිටි එක් ලෙනකවත් අභිලේඛණ ඇති බවක් සඳහන් නොවේ. (අභිනව විහාර කර්මාන්තයේදී, විහාර ගෙයි වහලයට හා සිවිලිමට අතර කොටසට සැඟවී යම් අභිලේඛණයක් ඇත්දැයි දැනගන්නට නොමැත).

චිත්‍ර හා මූර්ති[සංස්කරණය]

සද්දම්මරතනාකරයෙහි සඳහන් වන පරිදි මෙහි වැඩ උන් පිළිමයක්, සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප ඒ දවස කරවා ඇත. වර්තමානයේ ද එම විස්තරයේ සඳහන් පරිදිම උසින් යුක්ත වූ වැඩ උන් පිළිමය, ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන අංගය ලෙස දක්නට තිබේ. එසේම වැඩ උන් පිළිමය දෙපසින් නාථ හා මෛත්‍රිය ප්‍රතිමා දෙක පිහිටා ඇත. වැඩ සිටි පිළිමය අභිමුවෙහි සිටිනා විට වම් පසින් සිටි පිළිමයක්ද දකුණු පසින් සැතපෙන පිළිමයක්ද ඇත. මෙම ප්‍රතිමා ගෘහයෙහි පිළිම පිහිටා තිබෙන ආකාරයෙහි විශේෂත්වයක් ඇත. පිළිම ගෙයක්තුල සැතපෙන පිළිමය, හිටි පිළිමය හා වැඩ උන් පිළිමය යන පිළිම වහන්සේලා තුන්නම ස්ථාපනය කරනවිට, සැතපෙන පිළිමය සඳහා බොහෝ විට තෝරගෙන ඇත්තේ දිගින් වැඩි අංශයයි. එහෙත් මෙම පිළිම ගෙයි සැතපෙන පිළිමය ඇත්තේ පටු බිත්තියක් දිගේය. සැතපෙන පිළිමයක් නොමැතිව හිටි පිළිමයක් හෝ වැඩ උන් පිළිමයක් විහාර ගෙයි කරන්නේ නම් එය ද්වාර අභිමුවෙහි ස්ථාපනය කරයි. මෙම පිළිම ගෙයිද වැඩ උන් පිළිමය මූළික වන පරිදි ද්වාර අභිමුවෙහි පිහිටුවා ඇත. එසේම මෙම බුද්ධ ප්‍රතිමා තුනෙහි ශෛලීන් සලකා බැදීමේදී ප්‍රධාන වශයෙන් ශෛලීන් දෙකක් ඇති බව හඳුනා ගත හැකිය. සැතපෙන පිළිම‍ෙය් හා හිටි පිළිමයේ මුහුණ, සිවුරේ රැලි, සිවුර 20 වන සියවසේ මෙන්ම වර්තමානයේද ඉදිකරනු ලබන බුද්ධ ප්‍රථිමාවල ලක්ෂණ පෙන්වයි. වැඩ උන් පිළිමයේද ශීර්ෂ කොටසේ ඇත්තේද අනෙක් පිළිම වහන්සේලාගේ ශීර්ෂ කොටස් වලට සමාන ලක්ෂණය. එසේම වැඩ උන් පිළිමයේ ශීර්ෂය ශරීරයේ අනෙක් කොටස් සමග ප්‍රමාණ අනුපාතිකව නොගැලපේ. ශීර්ෂය කුඩා බවක් පෙනේ. ශීර්ෂපත තුනම සමාන ලක්ෂණ සහිත ඒවාය. මේ ආකාරයේ ශීර්ෂපත ගම්පල හෝ නුවර යුග වල දක්නට නොමැත. ශීර්ෂයේ තරමට ප්‍රමාණයෙන් සමාන, විශාල ශීර්ෂපත දක්නට ඇතතේ පසුකාලීන නිර්මාණවලදීය. එහෙත් වැඩ උන් පිළිමයේ ශරීර කොටසේ ලක්ෂණයනට සමාන ලක්ෂණ සහිත පිළිම ගඩලාදෙණියේ හා ලංකාතිලක විහාරයේ දී දක්නට ලැබේ. මේවා ගම්පොල යුගයේ කරවූ ඒවාය. එසේම මෙම ප්‍රතිමා ගෘහයේ ඇති සියළුම ප්‍රතිමා ඉතා දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්තය. ඒවා නවීන තින්තාලේප බව හඳුනා ගත හැකිය. මෙම කරුණු සලකා බැලීමේදී, හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් කරවනු ලැබූ හිටි පිළිම දෙකත්, වැඩ උන් පිළිමයේ ශීර්ෂ කොටසත් හායනය වීම නිස‍ා පසු කාලයේ (බොහෝ විට ධර්ම ශාලාව කරවූවායැයි අනුමාන කරන 1844 දි හෝ ලංකාවේ විශාල බෞද්ධ පුනරුදයක් ඇතිවූ 1920 - 1930 දශකයේ) නව හිටි පිළිමයක්, සැතපෙන පිළිමයක් හ වැඩ උන් පිළිමයේ ශීර්ෂය කරන්ට ඇතැයි නිගමනය කළ හැකිය.

සාහිත්‍යමය මූලාශ්‍ර[සංස්කරණය]

ලුණුගම සිරි පැරකුම්බා රජමහා විහාරයේ පුරාවිද්‍යාත්මක පසුබිම සාකච්ඡා කිරීමේදී සාහිත්‍යමය මූලාශ්‍ර හමු වන්නේ හයවන පර‍ාක්‍රමබාහු හෙවත් ශ්‍රී පරාක්‍රමබාහු හෙවත් සිරි පැරකුම්බා රජුගේ යුගයෙනි. හයවෙනි පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍යමය කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා මෙන්ම බුද්ධ සාසනය ආරක්ෂා කිරීම සඳහා බොහෝ සෙයින් උනන්දු වූහ. ශ්‍රී ලාංකීය රාජ්‍යයේ අයිතිය පිළිබඳ සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ සඳහා තුන් මහල් ප්‍රාස‍ාදයක් කරවූහ. ජරා වාසව විනාශ වෙමින් පැවති ස්ථාන පිළිසකර කරවූහ. අභිනව විහාරාරාම කරවූහ. අම්බලන්, විශ්‍රාම ශාලා වැනි මහජන උපයෝගීතා ගොඩනැගිලි කරවූහ. ස්වභාවික උවදුරු මෙන්ම බෞද්ධ විරෝධී ආක්‍රමිණිකයින්ගෙන් පැමිණි උපද්‍රව හේතුවෙන් විනාශ වෙමින් පැවති කැලණිය ‍ෛචත්‍ය, අත්තනගල්ල, දොරණගොඩ, ගඩලාදෙනිය, ලංකාතිලකය, මහියංගනය ආදී ස්ථාන ශ්‍රී පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ හා තත්වය වැඩි දියුණු කරවූ ස්ථාන වේ. තම මෑණියන් නමින් කරවූ පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන ප්‍රමුඛව ශාස්ත්‍රීය අධ්‍යාපනයේ දියුණුව සඳහා පිරිවෙන් රාශියක් කරවූහ. එසේම, එම පිරිවෙන්හි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ සාසනික අවශ්‍යතා සඳහා මෙන්ම, මහජනතාවගේ වන්දනාමාන සඳහා අභිනව විහාරාරාම කරවූහ. (සද්දම්මරතනාකරය, පරි 12, 297, 298)

ඒ අතර කියවෙන අපගේ ප්‍රස්තුතය වන ලුණුගම ලෙන් විහාරය, සිරිපැරකුම්බා රජතුමා අභිනවයෙන් ඉදි කළ ස්ථානයක්ද, නො එසේනම් ප්‍රතිසංස්කරණය කළ ස්ථානයක්ද යන වගට නිගමනයකට, අප විසින් පරිශීලනය කළ සාධක භාවිතයෙන් එළඹිය නොහැකි විය.

කාල සංසන්දනය[සංස්කරණය]

මෙම ඓතිහාසික තොරතුරු සලකා බැලීමේදී පළමුවම ලෙන් විහාරය කරවූ කාලයත්, ඒ පිළිබඳව වාර්තා කර ඇති ලේඛණය කරවූ කාලයත් සංසන්දනය කළ යුතුය. මහා වංශයට අනුව හයවන ශ්‍රී පැරකුම්බා රජතුමා රජ පැමිණියේ බුද්ධ වර්ෂ 1953 (ක්‍රි. ව. 1410) දීය. (මහා වංශය, පරි 91, 583) සද්දම්මරතනාකරයෙහි බුද්ධ පරිනිර්වානයෙන් වසර 1958 ට පසුව රජ වූ බව සඳහන් වේ. එනම් ක්‍රි. ව. 1415 දී බවය. (සද්දම්මරතනාකරය, පරි 12, 295) එම නොගැලපීම කෙසේ වුවද මේ සටහන් අනුව එළඹිය හැකි නිගමනය වන්නේ, සිරි පැරකුම්බා රජතුමා මෙම ලෙන් විහාර කර්මාන්තය කරවූයේ ක්‍රිස්තු වර්ෂ 1410 පසුව යන්නයි. එසේම ලෙන් විහාර කර්මාන්තය පිළිබඳව කියවෙන පූජ්‍යපාද ධම්මදින්නාචාර්යය විමලකීර්ති හිමියන් විසින් රචනාකරන ලද ‘සද්ධම්මරතනාකරය’ ග්‍රන්ථය බුද්ධ වර්ෂ 1965 දී කරවන ලද්දකි. එනම් ක්‍රිස්තු වර්ෂයෙන් 1422 දීය. (සද්දම්මරතනාකරය, විඥාපණය, ii) ලුණුගම ලෙන් විහාර කර්මාන්තය පිළිබඳව ක්‍රි. ව. 1422 දී ලියන ලද ග්‍රන්ථයක සඳහන් වීමට නම් එම කර්මාන්තය ඊට ප්‍රථම සිදුවිය යුතුය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වනුයේ “..... තවද ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා බෝ මැඩ වජ්‍රාසනාරූඩව දිවසෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප පිහිටුවා විහාර තත්‍රැප්පාදිය පුදමින් ..... ” යනුවෙන් සඳහන් වන විහාර ඉදිකිරීම ක්‍රිස්තු වර්ෂ 1410 - 1422 යන කාල පරාසය තුල සිදුකර ඇති බවය.

එසේම මෙම ලෙන් විහාරය ඉදිකොට ඇත්තේත්, ඒ පිළිබඳ තොරතුරු වාර්තා කොට ඇතිතේත් (සද්දම්මරතනාකරය රචනා කොට ඇත්තේත්) වසර 7 ක් වැනි කෙටි කාලයක් පරාසයක් තුල බැවින් හා එම ඉදිකිරීම කරවූ අයගේ ( හයවන පරාක්‍රමබාහු රජතුමාගේ) ඇනවුමින් හෙවත් ඉල්ලීමෙන් කළ ලේඛනයක සඳහන් වී තිබීම නිසාත් මෙහි ඇති තොරතුරු වඩාත් නිවරදි බවට සැලකිය හැකිය.

ස්ථානය නිගමනය[සංස්කරණය]

‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ලුණුගම ලෙන් විහාරය අපගේ අධ්‍යනයට භාජනය වූ ස්ථානයමද යනවග සලකා බැලීම ද කළ යුතුය. ලුණුගම ලෙන් විහාරය පිළිබඳව කියවෙන වෙනත් කොටසක් සද්දම්මරතනාකරයෙහි නැතුවාක් මෙන්ම, විස්තර සඳහන් වන කොටසෙහි ද ස්ථානය හඳුනා ගැනීමට කිසිදු සටහනක් හෝ ගමන් විස්තරයක් හෝ නොමැත. කරුණු එසේ වුවද මෙම ස්ථාන සංසන්දනය කළ හැකි සාධක දෙකක් තිබේ. ඒවානම් මිනුම් සංසන්දනය හා චිත්‍ර හා මූර්ති සංසන්දනය වේ. ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන මිනුම් හා වර්තමානයේ ඉතිරිව ඇති කොටස් වල මිනුම් සංසන්දනය කිරීමෙන්, ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ස්ථානය හා මෙම ස්ථානය එකම ස්ථානය බවට නිගමනයකට පැමිණිය හැකිය. එසේම ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන චිත්‍ර හා මූර්ති පිළිබඳ තොරතුරු වර්තමානයේ චිත්‍ර හා මූර්තිවල ඉතිරිව ඇති කොටස් සමග සංසන්දනය කිරීමෙන්, ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ස්ථානය හා මෙම ස්ථානය එකම ස්ථානය බවට නිගමනයකට පැමිණිය හැකිය.

මිනුම් සංසන්දනය[සංස්කරණය]

වරින් වර සමාජයේ මතු වූ බෞද්ධ ප්‍රබෝධය නිසා සැදැහැ සිතින් සිදු කළ විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීම්වලදී මෙම ලෙන් විහාරයේද වෙනස්කම් සිදුකෙරී ඇත. එසේ වුවද වර්තමානයේ දක්නට ලැබෙන විහාර ගෙයද ප්‍රමාණ වලින් සද්දම්මරතනාකරයෙහි දැක්වෙන ප්‍රමාණයන්ට හොඳින් ගැලපේ. වර්තමානයේ පිළිම ගෙය දිගින් අඟල් 300 ක් (සෙන්ටි මීටර් 760 ක්) වේ. පළලින් අඟල් 220 ක් (සෙන්ටි මීටර් 560 ක්) වේ. සද්දම්මරතනාකරයෙහි සඳහන් වන්නේ “....... දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක්......” ලෙසය. එනම් දිග රියන් 10 ක් හා පළල රියන් 6 ක් වන බවයි. වර්තමානයේ භාවිතයේ ‍ෙනාමැති මිණුම් ඒකකයක් වන රියනට අඟල් 24 කි (සෙන්ටි මීටර් 61 කි). (වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය, අප්පුහාමී, හරමානිස්, 1937, 57) රියනට අඟල් 18 ක් ලෙස සලකන අවස්ථාද ඇත. එහෙත් ඒ ප්‍රමාණය සැලකීම සඳහා ප්‍රමාණවත් සාධක හමු‍ නොවේ. එබැවින් රියන අඟල් 24ක් ලෙස ගත්විට මෙම පිළිම ගෙයෙහි දිග අඟල් 240 ක් (සෙන්ටි මීටර් 610 ක්) හා පළල අඟල් 146 ක් (සෙන්ටි මීටර් 370 ක්) විය යුතුය. එය කුඩා අවකාශයක් වන අතර වර්තමානයේ ඇති ප්‍රමානයන්ට ද ‍ෙනාගැලපේ. එ‍ෙහත් සද්දම්මරතනාකරයෙහි පිළිම‍ෙයහි උස දක්වා ඇත්තේ “...වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා ..” ලෙසය. එහි සඳහන් වන ඒකකය වඩු රියන වේ. (එකම වාක්‍ය ඛණ්ඩයක දැක්වෙන මෙම මිණුම් ඒකක දෙකම එකක් ලෙස - එනම් වඩු රියන ලෙස සලකා බැලේ) වඩු රියන ද අද වන විට සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වූ ඒකකයක් වුවත් ජ්‍යෙතිශ්ශාස්ත්‍රයේ වාස්තු විද්‍යා ග්‍රන්ථයන්හි වඩු රියන පිළිබඳව සඳහන් වේ. මය නම් පුරාණ වාස්තු විද්‍ය ඍෂිවරයාගේ ‘මය මතය’ නම් ග්‍රන්ථයේ වඩුරියන පිළිබඳව මෙසේ දැක්වේ. “යහපත් ලෙසින් සිඳගත් මගුල් කප ගෙන මනිනා වඩු රියන මෙලෙසට ගනු ඇඳින දකුණෙන් එක් රියන් වියතක් සිව්ඟුලෙන මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින” (ගෘහ නිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාව, විජේදාස, පී.බී., පරි 1,5)

ඒ අනුව වඩු රියන යනු අදාල වාස්තු කර්මාන්තයේ හිමිකරුගේ හෝ එය කරවන්නාගේ සුරතේ රියනක් එනම් වැලමිටෙන් නවා ඇඟිලි දිගහල අතේ මැදඟිල්ලේ මුදුනේ සිට වැලමිටේ පහළ කෙලවර දක්වා දිගත්, සුරතේ වියතක් එනම් අත්ල විදාහලවිට මාපටඟිල්ලේ කෙලවරේ සිට සුළඟිල්ලේ කෙලවර දක්වා දිගත්, සුරත් මාපටඟිල්ලේ අග පුරුක් හතරක දිගත් එකතු කළ විට ලැබෙන දිග වේ. මේ අනුව උස අඩි 5 ක් (සෙන්ටි මීටර් 150 ක්) හෝ 6 ක් (සෙන්ටි මීටර් 180 ක්) වන පුද්ගලයකුගේ වඩු රියන අඟල් 28 ක් ‍(සෙන්ටි මීටර් 71.12 ක්) හෝ 29 ක් (සෙන්ටි මීටර් 73.66 ක්) වේ. එහෙත් සූර්ය වංශයේ උපන් පරාක්‍රමබාහු රජතුමාගේ සුරතෙන් වඩු රියන අඟල් 30 ක් (සෙන්ටි මීටර් 76.2 ක්) පමණ වන්නට ඇතැයි නිගමනය කළ හැකිය.


ඒ අනුව ගත්විට සද්දම්මරතනාකරයෙහි සඳහන් පරිදි පිළිම ගෙයෙහි දිග අඟල් 300 ක් (සෙන්ටි මීටර් 760 ක්) හා පළල අඟල් 180 ක් (සෙන්ටි මීටර් 460 ක්) වේ. එයින් දිග වර්තමාන දිග හා සැස‍ඳේ. පසුව කරන ලද ප්‍රතිසංස්කරනයකදී පිළිම ගෙයෙහි ඉදිරි බිත්තිය වෙනස් කර ඉදිකරන්නට ඇතැයිද, ඒ අවස්ථාවේදී ප්‍රතිමා ගෘහයේ පළල වැඩි වන්නට ඇතැයිද නිගමනය කළ හැකිය. මෙම ලෙනෙහි ඇති වැඩ උන් පිළිමය අඟල් 58 ක් (සෙන්ටි මීටර් 147ක්) උස වේ. “...වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා ..” ලෙස සද්දම්මරතනාකරයෙහි දැක්වෙන අයුරින් උස අඟල් 60 ක් (සෙන්ටි මීටර් 152 ක්) වේ. ඒ අනුව මෙම උස ද ගැලපේ. (ප්‍රතිසංස්කරණ වලදී ශීර්ෂ කොටස අළුතින් ඉදිකළ බවටත්, එය තිබූ ප්‍රමාණයට වඩා කුඩා වී ඇති බවටත් සාධක හමුවේ. 4.5 චිත්‍ර හා මූර්ති උප පරිච්ඡේදය බලන්න)

ප්‍රාග්භාරය[සංස්කරණය]

සද්දම්මරතනාකරයෙහි සඳහන් වන්නේ “ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා ...” ආදී ලෙසය. මෙහි ‘ප්‍රාහ්භාරාන්තරයෙහි’ යනු ප්‍රාග්භාර අන්තරායහි යන්නයි. ප්‍රාග්භාරය යනු ‘පර්වතය ඉදිරියට නෙරා යාමෙන් වූ ගුහාව’ යන්නයි. (ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ද්විතීය භාගය,665) එය සාමාන්‍යයෙන් ‘ගල් ලෙන’ ලෙස සඳහන් වන ගල් ගුහාවකට වඩා විශාලත්වයෙන් හා ඉදිරියට නෙරා ඒමෙන් වැඩි ගල් ගුහාවන් සඳහා යොදන නාමයකි. ලුණුගම සිරි පරකුම්බා පිරිවෙනෙහි ප්‍රශ්තුත ගල් ගුහාවද ප්‍රමාණයෙන් හා ඉදිරියට නෙරා ඒමෙන් විශාල ගල් ගුහාවකි. මෙම ගල් ගුහවේ, පිළිම ගෙය පිහිටි මළුවේ සිට ඉදිරියට නෙරා ඇති කොටස දක්වා උස මීටර් 15.54 ක් (අඩි 51ක්) වේ. මුළු ලෙනේ දිග මීටර් 19.15 ක් (අඩි 63ක්) වේ. ගලෙන් ආවරණය ප්‍රදේශය ගල් බිත්තියේ සිට ඉදිරියට මීටර් 9.60 ක් (අඩි 31.5ක්) වේ. මේ අනුව සලකා බලන කල මෙම ගල් ලෙන ඉතා විශාල හා පර්වතය ඉදිරියට නෙරා ඒම නිසා ඇතිවූ ගල් ගුහවෙක් හෙවත් ප්‍රාහ්භාරයක් බව පැවසිය හැකිය.

මූල ඓතිහාසික යුගය[සංස්කරණය]

මිහින්තලය, රජගල වැනි වියලි කලාපයේ පිහිටි, ලංකාවේ මූල ඓතිහාසික යුගයට අයත් ඓන්ද්‍රීය බෞද්ධ විහාරාරාම හා සමාන වූ ස්ථාන 33 ක් පමණ තෙත් කලාපයට අයත් පහල කැලණි ගංගා ද්‍රෝණියේ දක්නට ලැබේ. මේවා අතරින් සමනබැද්ද, ඇඹුල්ගම, ලෙනවර, ලෙනෙගම්පොල හා අස්මඩල ‍මෙන්ම ලුණුගම ද ඉතා සුවිශේෂී ආවේණික ලක්ෂණ වලින් හෙබි ස්වාභාවික ලෙන් විහාර වේ. එක්වරම පොළොවෙන් උත්සන්න වූ කඳු බෑවුමක වූ මළුවක පිහිටා ඇති මෙම ගල් ගුහා අතරින් ලුණුගම හා අස්මඩල පිහිටා ඇත්තේ මධ්‍ය මට්ටමේ වූ තැනිතලාවකය. (The Excavation at Samanabedda Ganegoda Raja-Maha Viharaya: an early historic monastic site in the lower-Kelaniya basin, Somadeva, R, Adikari, G, Solangaarachchi, R, Gunawardhana, P, 1996) මෙලෙස ලෙන්විහාර ලෙස සමාන ලක්ෂණ වලින් යුක්ත, එකම ප්‍රදේශයක එකිනෙකට ආසන්නව පිහිටි මෙම ලෙන් එකම යුගයේ බෞද්ධ භික්ෂූ ආරාම ලෙස පවතින්නට ඇතැයි නිගමනය කළ හැකිය. එම ලෙන් විහාර අතරින් ලුණුගමට ඉතා ආසන්නව පිහිට සමනබැද්ද ලෙන් විහාරය පිළිබඳව ඓතිහාසික විස්තරයක්, ගඩලාදෙණි විහාරයේ වැඩ විසූ දෙවෙනි ධර්මකීර්ති සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සද්ධර්මලංකාරය කෘතියෙහි ‘සමණගාම වස්තු’ ලෙස දක්වා ඇති අතර එම විස්තරයට අනුව අනුරාධපුරයේ උත්තිය රජතුමා (ක්‍රි.පූ. 201 - 191) රාජ්‍ය කරන කාලයේ සෑගිරියේ වාසය කළ භික්ෂූන් වහන්සේලා 12 නමක් ශ්‍රමණග්‍රාමයට වැඩම කළ බවක් කියවේ. (සමනබැද්ද රජමහා විහාර පුරාවත, පූජ්‍ය දීපානන්ද හිමි, පාළුගම). මේ අනුව ලුණුගම ලෙනද තත් යුගයේ සංඝයාවහන්සේලා වැඩසිටි ස්ථානයක් ලෙස නිගමනය කළ හැකිය.

ප්‍රාග් ඉතිහාසය[සංස්කරණය]

ප්‍රාග් ඓතිහාසික යුගය; පුරා ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, පශ්චම ශිලා යුගය හා නව ශිලා යුගය වශයෙන් ප්‍රධාන කොටස් 4 ට බෙදා අධ්‍යනය කරයි. මෙහි පුරා ශිලා යුගය නැවත පහල පුරා ශිලා යුගය, මධ්‍ය පුරා ශිලා යුගය හා ඉහල පුරා යුගය යනුවෙන් අනු කොටස් 3 ට බෙදා ඇත. ලංකාවේ පැරණිම සාධක හමුවන්නේ මධ්‍ය පුරා ශිලා යුගයෙනි. ඒ මීට වසර 125,000 ට පෙර කාල නිර්ණයක් සහිත ගල් ආයුධ කිහිපයක් හා මිනිස් හිස් කබලක කොටස් කිහිපයකි. (දැරණියගල, පී, 1958 සහ ආචාර්ය අබේරත්න, එම්.) එහෙත් අදට වසර 40,000 ක සිට වසර 1,800 ක කාලයකට ගැනෙන ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් යැයි කාල නිර්ණය කළ පුරාවිද්‍යාත්මක සාධක රාශියක් ලංකාව පුරා විහිදුනු, 100 කට අධික පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇත. සිතුල්පව්ව, පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලි ලෙන, සීගිරි අසල පොතාන හා අලිගල, බෙල්ලන්බැඳිපැලැස්ස, ඌව පළාතේ තෙලුල්ල, කෑගල්ල අසල දොරවක් කන්ද මෙන්ම ලුණුගම අවට පිහිටි අවිස්සාවේල්ලේ අස්මඩල, වාරණ, පිළිකුත්තුව හා මාලිගාතැන්න ආදී ස්ථානයන්හි කළ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ලබාගත් මිනිස් ඇට සැකිලි, ආයුධ, ආහාර විධි සම්බන්ධ සාධක මගින් මෙම යුගය පිළිබඳ පැහැදිලි මතයක් ප්‍රකාශ කර ඇත. (අධිකාරී,ජී, තන්තිලගේ,ඒ, 2006). මෙම ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ කළ අධ්‍යනයන්‍ වලදී සොයාගෙන ඇත්තේ, ආදි මානවයා වාසය සඳහා තෝරා ගත් ගල් ගුහා ආසන්නයේ ආයුධ සකස් කරගත් පර්යන්ත ගල් සහිත ස්ථානද, පානය සඳහා නොසි‍ෙඳන ජල මූලාශ්‍රද තිබූ බවයි. ලුණුගම ගල් ගුහාව ආසන්නයේද මෙවැනි පර්යන්ත ගල් කුළු කිහිපයක්ම ඇති අතර, ගල් ගුහාව අසලින්ම ගලා බසිනා දිය කඳුර මෙන්ම ඊට ඉතා ආසන්නයේ පිහිටි ලුණුගම පීල්ල ඔවුන්ගේ ජල මූලාශ්‍ර වූවා විය හැකිය. වසර 600 ක පමණ ලිඛිත ඉතිහාසයක් ඇති මෙම දීර්ඝ කාලීන පූජා භූමියේ මතුපිටින් කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් සොයා ගැනීම අසීරු වුවද, විධිමත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක කැණීමක් කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ස්ථානයක් ලෙස ලුණුගම සිරි පැරකුම් රජ මහා විහාරය හැඳින්විය හැකිය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • අප්පුහාමි, හරමානිස්, වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය, 1937
  • දේවප්‍රිය, එස්, ගම්පහ දිසාව, 2000
  • මහාවංශය (සිංහල අනුවාදය), 1955, වීරසේකර, ගුණපාල, කොළඹ
  • විජේදාස, පී. බී., ගෘහනිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාව
  • ශ්‍රාස්ත්‍රවේදී දීපානන්ද හිමි, පාළුගම, සමනබැද්ද රජමහා විහාර පුරාවත,
  • ශ්‍රී ලංකාවේ මොසොලිතික යුගයේ අවසානය පිළිබඳ නව ප්‍රවේශයක්, අධිකාරී, ජී, අර්ජුන තන්තිලගේ, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2006
  • ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ද්විතීය භාගය
  • සද්දම්මරතනාකරය, 1912, ධර්මකීර්ති, කේ. ඇල් (සංස්)
  • සුරවීර, ඒ.වී., ගම්පහ දිස්ත්‍රික්කය සමාජ සංස්තෘතික ගවේෂණ, 1999, සංස්කෘතික දෙපාර්තමේන්තුව
  • Prof. Gunawardana, P, Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ at Kelani Valley Basin, An unpublished Report
  • Somadewa, R, Gamini Adikari, R. Solongaarchchi, P. Gunawardana, The Excavation at Samanabedda Ganegoda Rajamaha Viharaya: An early Historic Monastic Site in the Lower Kelaniya Basin, An unpublished Report
  • Sri Lanka 1:50,000 Map Sheet No. 67, 2001, Survey Department
"https://si.wikipedia.org/w/index.php?title=ලුණුගම_ලෙන්_වෙහෙර&oldid=440640" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි