ශ්‍රී ලංකාවේ දාගැබ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ලාංකික ස්තූප වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
රුවන්වැලි සෑය
ස්තූප වර්ග

ඉතා ඈත අතීතයේ පටන් සිංහල සංස්කෘතිය හඳුන්වන්නේ ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් මුල්කරගත් සංස්කෘතියක් ලෙසයි. සිංහල බෞද්ධයන්ගේ ආගමික සංකේත අතර මුල්ම තැනක් දාගැබ හිමිකරගන්නා බව මින් පැහැදිලිය. සිංහල බෞද්ධයන් ස්තූප වන්දනාව බෞද්ධ ආගම ඉතා ඇත අතීතයේ සිට ම කරගෙන ආ පූජා විධි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. සිංහල භාෂාවෙන් ස්තූපය විවිධ නම් වලින් හඳුන්වා දී ඇත. දාගැබ, තුඹ හෝතුබ, වෙහෙර, චෙත හා සෑය සිංහලෙන් ස්තූප හැඳින්වු නම් විය. පාලියෙන් ථුප, ඵලුක, චෙතිය, ධාතු හෝ ගබ යන නම් වලින් ස්තූප හඳුන්වා දී ඇත. ස්තූප යනු ගොඩනැගීම යන අරුත් අන්වර්ථ වන බව ඉන්දියානු සාහිත්‍යයට අනුව දැක්විය හැක. ස්තූප නැමඳීම තුළින් බෞද්ධයන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් ඉමහත් ආශ්වාදයක් ලබන බවද ඉන් ඔවුන් තුළ ඉමහත් භක්තියක් හටගන්නා බවද බොදු අප කාහටත් ‍නොරහසකි. මෙහිදී අප ස්තූප නමඳින්නේ ජීවමාන බුදුන්වහන්සේ නමදින්නාක් මෙන් දැඩි භක්තියකිනි.දුටුගැමුණු

බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටින අවධියේ සැරියුත්-මුගලන් අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු වස් ස්තූප ඉදි කළ බව "විභජ්ජවාදී සර්වාස්තිවාදී" බෞද්ධ නිකායට අයත් මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. පශ්චාත් කාලීනව බුද්ධ, ප්‍රත්‍යක බුද්ධ, අර්හත්ත, චක්‍රවර්තී මහාරාජ යන සතර කොට්ඨාශ වලට අයත් පුද්ගලයින්ගේ ධාතු තැන්පත් කොට ඔවුනට ගෞරව සම්මාන දැක්වීමට අතීත බෞද්ධ ජනතාව අමතකකොට නොමැත. එහිදී ගම්‍යමාන වන ප්‍රධාන කරුණ නම් බොදු ජනතාව ඉතිහාසයේ පටන්ම ධාතු නිධන් කොට ස්තූප තනවා වන්දනාමාන කිරීමට දැඩි කැමැත්තක් දක්වා ඇති බවය. තවද මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව "මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි" මේ බව සඳහන්ව ඇත. එමෙන්ම පැරණි ඉන්දීය බෞද්ධයින් ස්තූප යොදා ගනු ලැබුවේ තම ආගමික කතෘ වරුන්ට ප්‍රණාමය දැක්වීම උදෙසාය. අප මහා ‍ගෞතමයන් වහන්සේද තමාට පෙර බුදුබවටපත් කාශ්‍යප බුදුන්වහන්සේ උදෙසා ස්තූපයක් කොට පූජා කළ බව ඓතිහාසික කරුණුවල සඳහන්ය.

කිරිවෙහෙර ස්තූපය



දෙවනපෑතිස් රජ දවස ඇතිවූ මහින්දාගමනයත් සමඟ ලාංකික ස්තූප ගොඩනැගීම ක්‍රමවත් බවට පත්විය.මෙකී මහින්දාගමනයත් සමඟ බොදුජන ජීවිත‍යේ විශාල පුනරුදයක්, පෙරළියක් ඇතිවිය. මෙය ලාංකික ජන සංස්කෘතිය, කලා ශිල්ප වලට එකලෙස බලපෑවේය.ලාංකික ස්තූප කෙරෙහිද මෙම තත්‍ව‍‍ය නොවෙනස්ව පැවතිණි.

බෞද්ධ ස්තූපයක කොටස්.JPG

ඓතිහාසික කරුණු අනුව ලංකාවේ ප්‍රථම ස්තූප ලෙස මහින්ද මහරහතන්වහන්සේගේ සැලසුමකට අනුව දේවානම්පියතිස්ස රජු අතින් ඉදිවූ අනුරාධපුර ථූපාරාමය හැඳින්විය හැක. නමුත් ස්ථූපයේ ඓතිහාසික විකාශය අනුව චෛත්‍ය කර්මාන්තය ථූපාරාමයෙන් ඔබ්බට විහිද යන බව දැකිය හැක.ඒ අනුව මහියංගනය සහ තිරියාය ලංකාවේ ප්‍රථම දාගැබ් 2 ලෙස සැලකිය හැකි බව ඇම්:එච්: සිරිසෝම මහතා ප්‍රකාශ කරයි. මුල්කාලීනව ලාංකික ස්තූප එතරම් විශාල නොවු අතර ක්‍රි:ව:2 වන ශතවර්ෂය වන විට විශාල ස්තූප තැනීමට යොමු වූ බවට රුවන්මැලි මහා සෑය කදිම නිදසුනකි. භාරතයේ හෝ අන් රටක දක්නට නොලැබෙන ඉතා විශිෂ්ඨ අංගයක් ලාංකික ස්තූපවලට එකතුවී තිබේ. ඒ වාහල්කඩයි. ලාංකික ස්තූපවලට එකතුවූ අනෙක් වැදගත්අංගය නම් වටදාගෙයයි. එය ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සඳහන් කළ හැක. කෙසේවුවද අනුරාධපුර ථූපාරාමයට අනතුරුව මිහිඳු මහරහතන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත්‍ කොට උත්තිය රජතුමා විසින් මිහින්තලය අම්බස්තල චෛත්‍යය ඉඳි කරන්නට යෙදුණි. සම්බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි බුදුරජාණන්වහන්සේ ලක්දිව කැලණියට වැඩි සේක. කිත්සිරිමෙවන් රජ දවස කැලණි විහාරය තනවා නිමකරන ලදී. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව ඒ ක්‍රි:ව: 301-328 අතර කාලයේය. අනතුරුව බුදුරජාණන්වහන්සේගේ වම් හකුවේ වම් දළදාව නිදන්කොට කාවන්තිස්ස රජු විසින් තිස්සමහාරාම චෛත්‍යය ඉදිකොට ඇත. කතරගම කිරිවෙහෙර ස්තූපය හා සබැඳි ජනප්‍රවාදයක් නම්, අද්‍යතනයේ කිරිවෙහෙර ස්තූපය ඉදිකර ඇති ස්ථානයේ වරක් පන්සියයක් මහරහතන්වහන්සේලා මහාසමාපත්තියට සමවැදී ධර්මය දේශනා කළ බවත් එවිටම මහපොළව දෙදරවා එම ස්ථානයේ මතු ආරක්‍ෂාව සඳහා "මහාඝෝෂ" නම් දෙව්රජකු පහළවූ බවත් වංශ කතා තොරතරු හෙළි කරයි. මෙහි එන "මහාඝෝෂ" නම් දෙව්රජ කතරගම දෙවියන්යැයි ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන්වේ.


පසුකාලීනව එළාර රජු සමඟ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්නට යෙදුණු දුටුගැමුණු රජතුමා විසින් අනතුරුව රුවන්මැලි මහා සෑය ඉදිකරන්න ලදී' ස්වර්ණමාලී නොහොත් රත්නවල්ලි යන දෙවඟනක් මූලික කරගෙන මෙම ස්තූපය ස්වර්ණමාලී චෛත්‍යය නොහොත් රත්නවල්ලී හෝ රුවන්වැලි චෛත්‍යය නමින් එකල සිට ප්‍රචලිතය.

සද්ධාතිස්ස රජු විසින් ලක්දිව දකුණු දෙස දීඝවාපී ස්තූපය ඇතුළු තවත් ස්තූප රැසක් බිහිකර ඇත.

වළගම්බා රජතුමා ගිරිනිගණ්ඨයා සිහිවීම පිණිස අභයගිරි චෛත්‍ය සාදා නිමකරවන ලදී. අනුරාධපුර පිහිටි දක්‍ෂිණ ස්තූපයද මෙම රජතුමා විසින්ම නිර්මාණය කරවන ලද්දකැයි බොහෝ දෙනාගේ මතය වේ.


එමෙන්ම ක්‍රි:ව: 67-69 රාජ්‍ය කාලය තුළ ලංකාවේ අනුරාධපුර රාජ්‍ය කරවන ලද්දේ මහාදාටික මහානාග රජතුමාය. හෙතෙම ගෘහනිර්මාණය පිළිබඳ හසල දැනුම ඇත්තෙකි. හෙතෙම මිහින්තලය පර්වතය මුදුනේ "මහා සෑය" නම් චෛත්‍යයක් තනවනලදී. වසභ රජුද මෙ‍ම කාලයට සමගාමීව ස්තූප රැසක් ඉදි කළ අතර ථූපාරාමය සඳහා චෛත්‍ය ගෘහයක්ද එතුමාවිසින් තනවන ලදී. මෙම කාලසීමාව තුළම ගෝඨාභය රජතුමා විසින් අත්තනගල්ලේ චෛත්‍යයක් ඉදි කළ බවත් පැවසේ.

සමස්ථ ඉදිකිරීම ගඩොලින් නිමවා ඇති ආසියාවේ විශාලතම ස්තූපය වන ජේතවනාරාම යෝධ නිර්මාණය මහසෙන් රජතුමා විසින් සාදා නිමකරවන ලදී.

බෞද්ධ ස්තූපයක කොටස්[සංස්කරණය]

  1. චූඩා මාණික්‍යය
  2. කොත
  3. කොත් කැරැල්ල
  4. හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
  5. ගර්භය
  6. වාහල්කඩ
  7. පේසා වළලු
  8. සලපතල මළුව
  9. වැලි මළුව
  10. සඳකඩ පහන

ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ස්තූප වර්ග[සංස්කරණය]

අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රය‍ට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.

01.ධාන්‍යාකාර[සංස්කරණය]

අභයගිරිය ස්තූපය.

වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- කැලණි ස්තූපය.

අභයගිරිය ස්තූපය. ජේතවනාරාම ස්තූපය.

පොළොන්නරුව දෙමළ මහා සෑය.

02.පද්මාකාර[සංස්කරණය]

නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-කොට වෙහෙර ධාතු ගර්භයෙන් හමුවූ චෛත්‍යය.

පොළොන්නරුව දෙමළ මහා සෑය. (මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව)


03.ඝණ්ටාකාර[සංස්කරණය]

ථූපාරාමය

ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.

උදා:-11 සියවසට අයත් මහියංගණය ස්තූපය. (රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව) අනුරාධපුර ථූපාරාම ස්තූපය.


04.බුබ්බුලාකාර[සංස්කරණය]

රුවන්මැලි මහාසෑය

දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-ක්‍රි:පූ:2වන සියවසට අයත්රුවන්මැලි මහාසෑය. පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය. රන්කොත් වෙහෙර.


05.ඝඨාකාර[සංස්කරණය]

කළයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.මේ ආකාරයේ චෛත්‍ය හැඩය තිබ්බතයේ බෙහෙවින් ජනප්‍රිය ය.

උදා:-තිස්සමහාරාමයෙන් මේ ආකාරයේ ධාතු කරඬුවක් හමුවී ඇත. සිතුල්පව්ව ස්තූපය. සෝමාවතිය ස්තූපය. මඟුල්මහාවිහාරය ( යන මේ ත්‍රිත්ත්‍වයම මීට අයත් බව රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයයි.)

06.ආම්ලාකාර[සංස්කරණය]

නෙල්ලි ගෙඩියක හැඩය ගන්නා ස්තූප මේ ඝණයට අයත් වේ.

උදා:-දැදිගම කොට වෙහෙරින් හමුවූ ස්තූපය. (මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව)

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ගද දක්නට ලැබේ,[සංස්කරණය]

07.අණ්ඩාකාර:- බිත්තරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:-රුවන්මැලි සෑයෙන් මෙවැනි ස්තූපයක් හමුවී ඇත.(මහාචාර්ය චන්‍ද්‍රා වික්‍රමසිංහ මහතාගේ මතයට අනුව)

08.පලාජස්ඩවාකාර :- ළූණු ගෙඩියක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.

උදා:- නැදිගමපල ස්තූපය. (රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව)

09.චතුරස්‍රාකාර:- සමස්ථ ඉදිකිරීම චතුරස්‍රාකාරව/හතරැස්ව ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.

උදා:-බුරුමය ස්වේදගොන් පැගෝඩා.(බෞද්ධ රටවල මෙම ස්තූප පැගෝඩා නමින් හඳුන්වයි.) අනුරාධපුර නකා වෙහෙර.

10.සිලින්ඩරාකාර:- සිලින්ඩරයක හැඩයට සමස්ථ ස්තූපයම ගොඩනැගීම මෙ‍ම චෛත්‍ය වල විශේෂතත්‍වයයි.

උදා:- අම්පාර දිස්ත්‍රික්කයේ කුඩුම්බිගලින් මේ ආකාරයේ ස්තූපයක් හමුවූ බව විමල් ජයරත්න මහතාගේ මතයයි. ඉන්දියාවේ කුසිනාරා නුවර සම්බුද්ධපරිනිර්වාණය සිදුවූ ස්ථාන‍යේමේ ආකාරයේ චෛත්‍යයක් දක්නටලැබේ.

ස්තූප කිහිපයක් පිළිබඳ සාරාංශයක්[සංස්කරණය]

ස්තුප‍යේ නම ඉදිකළ කාලය ඉදි කළ පුද්ගලයා ස්තූපයේ උස ස්තූපයේ පරිධිය
අනුරාධපුර කිරිබත් වෙහෙ‍ර ක්‍රි:පූ:250-210 දෙවනපෑතිස් රජු අඩි30 අඩි425
ථූපාරාමය දෙවනපෑතිස් රජු අඩි63 අඩි185
රුවන්මැලි මහා සෑය ක්‍රි:පූ:161-137 දුටුගැමුණු රජු අඩි338 අඩි339
මිරිසවැටිය ස්තූපය දුටුගැමුණු රජු අඩි60 අඩි339
අභයගිරිය ක්‍රි:පූ:89-77 වළගම්බා රජු අඩි245 අඩි115
ලංකාරාමය වළගම්බා රජු - අඩි142
දකුණූ දාගැබ වළගම්බා රජු - අඩි578
මිහින්තලය සේල චෛත්‍යය ක්‍රි:ව:09-21 මහානාග රජු අඩි150 අඩි700
මිහින්තලය කණඨක චෛත්‍යය ක්‍රි:පූ:119 ලජ්ජිතිස්ස රජු අඩි40 අඩි425
සේරු විල මංගල චෛත්‍යය කාවන්තිස්ස රජු - අඩි100 අඩි280
ජේතවන දාගැබ ක්‍රි:ව:276-303 මහසෙන් රජු අඩි232 අඩි910
පොළොන්නරුව කිරි වෙහෙර ක්‍රි:ව:1153-1186 1වන පරාක්‍රමබාහු රජු අඩි95 අඩි280
පොළොන්නරුව පබළු වෙහෙර - රූපවතී බිසව අඩි40 අඩි350
පොළොන්නරුව රන්කොත් වෙහෙර ක්‍රි:ව:1187-1196 නිශ්ශංක මල්ල රජු අඩි 180 අඩි550

මේනයින් බලන කල බුදු දහම මෙලොව පහල වූ දා පටන්ම ස්තූප යන්න බෞද්ධ ජන ජීවිතය හා බැඳෙන්නකි. මිහිඳු මාහිමි ලක්දිවට වැඩම කළදා පටන්ම මෙකී ස්තූප බෞද්ධ ජනී ජනයාගේ වන්ඳනාවට, නිර්මාණයට බඳුන් විණි. විහාරයකින්, ආරාමයකින් වියුක්ත වූ ගමක් නගරයක් මෙ සිරිලක තුළ දැකිය නොහැක්කා සේම මෙකී විහාරාරාම කිනම්හෝ ආකෘතියකට අයත් ස්තූපයකින් වියුක්ත වන්නේ නොවේ.

පාදක සටහන්[සංස්කරණය]

  • "බෞද්ධ ස්තූප මූලාරම්භය සහ විකාශනය පිළීබඳ මත කිහිපයක්",ඇම්:ඒ: චන්දන රණවීර, සිළුමිණ පුන් කලස,2010/04/18.
  • "බෞද්ධ ස්තූප", රාජ් මාමා, විජය ,2002/08/06.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_දාගැබ්&oldid=429131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි