Jump to content

ලංකාව - පියමං කල මං පෙත්- 11 වන පරිච්ඡේදය

විකිපීඩියා වෙතින්

මහනුවර - නුවරඑළිය පාර, ගම්පොළ, සහ රම්බොඩ

[සංස්කරණය]

මහවැලි ගංගාව හා මහා මාර්ගය අතරවූ සිහින්, ප්‍රභාවත් හරිතවන් කුඹුරු හා ගෙවතු යාය මතවූ නිල් වන් අහස් කුසෙහි හිරු බබලද්දී මම ගම්පොළ දෙසට ධාවනය කලෙමි. දීප්තිමත් වර්ණයෙන් යුතු සරම් වලින් සැරසුණු ගම්මුන්, නොනවතින පෙරහැරක් මෙන්, මාර්ගය ඔස්සේ මහනුවර දෙසට ඇදෙනු දුටිමි. ක්‍රි.ව. 1350 දී ඔවුන් අනෙක් දෙසට, එනම් ගම්පොළ දෙසට පියමනින්නට ඇත්තේ, එකල රාජකීය අග නගරය වූයේ ගඟ-සිරි පුර ලෙසින්ද හැඳින්වුණු ගම්පොළ නිසාවෙනි. ගම්පොළ, සියවස් ගණනාවක් පුරාවට, පැල්පත් හා කුඹුරු යාය වලින් ද ඒ මත අණසක පැතිරවූ සුළු නිලධාරියෙකුගේ නිල නිවසෙන්ද හෙබියාවූ කුඩා කඳුකර ගමක්ව පවතින්නට ඇත. ඉන්පසු, කඳුකරය රැකගැනුමට රජුට ඇවැසි වූ විට, ටික කලකට, එහි නම ඉතිහාස පොතට පිවිසියේය. අරාබි දේශාටක ඉබන් බතුතා, මෙහිදී ක්‍රි.ව. 1347 දී, IVවන බුවනෙකබාහු රජු බැහැ දුටුවේය. ඔහුගේ දූත ගමන සාමකාමී එකක් වූ අතර සාරවත් සන්සුන් ගම්පොළ මිටියාවතට එය මොනවට ගැලපිණි.

1615දී, මැනුයෙල් මැස්කරේනස් හොමේම් යටතේ වූ පෘතුගීසි හමුදාව ගම්පොළ හරහා ගමන් කලේ මහනුවර ප්‍රදේශය ආක්‍රමණය කිරීම සඳහාය.

මහවැලි ගඟ මතින් වැටුනු පාළම මත සිටගත් මා, දකුණු දෙසින් නැගී සිටි නිල්වන් කඳු පෙළ දෙස නෙත් යොමු කලෙමි. දෙවන රාජසිංහ රජ මහනුවර සිංහාසනාරූඪ ව සිටි සමයෙහිදී, මෙම වල් වැදුනු කඳු ඔස්සේ ඇදුනු ඇතුන් ගේ පාදයන් ගෙන් තැලී පටු මං තැනුනු අතර, වන සිව්පාවුන් ගෙන් විය හැකි ගැහැට වලක්වාගනු වස් ගම්මුන් සැමවිට කුඹුරු වලින් නික්මීම සවස් වීමට පෙර සිදු කිරීමට වග බලා ගත්හ. නැපෝලියන්, එල්බා දිවයිනෙන් පැන යෑමට සමත් වූ දිනට පසු දින, එනම්, 1815 මාර්තු 2 වැනිදා මෙම ගම්මුන්ටම අසන්නට ලැබුනු කටකතාව වූයේ තම රජු පිටුවහල් කල බවත් මහනුවරදී ප්‍රකාශ පත්‍රයක් නිවේදනය කල බවත්ය. වසර දහයකට පසුව මෙම ගම්මුන්ගෙන්ම සමහරෙක් ගම්පොළ අසබඩ වන ලැහැබක ගස් පෙරැලීමට උදව් සපයන්නට ඇත්තේ, ජෝර්ජ් බර්ඩ් මහතා ලංකාවේ පළමු කෝපි වගාව පිහිටුවීමට කටයුතු සලසමින් සිටියදී විය යුතුය.

1846 දී මෙම මග ඔස්සේ මෙම පළාත පසු කොට ගමන් කල ටෙනන්ට් පැවසුවේ, ‘කඳුකරය අසිරිමත් ක්‍රියාශීලි බවක් හා උද්යෝගීමත් බවකින් වෙලී තිබුනා‍; ගස් කපන්නන්ගේ පොරෝ හඬ සැම පැත්තකින්ම සවනට පතිත වූ අතර, බෑවුම් වලින් නික්මුනු සුදු දුමාරය වලාකුළු දෙසට ඇදී ගියේ, ඇදහැලුනු ගස් කාෂ්ටක අව්වෙන් මැලැවී වියැලී ගිය පසු, ඇදහැලුනු ලී දඬු ගිනි රකුසාට පුද කෙරුමෙන් ලපටි කෝපි පැල සිටුවීමට ඉඩ සැලසූ නිසාවෙනි.’ ගම්පොළ දී මෙම ස්වල්ප ඇරඹුමෙන් වසර කිහිපයකට පසුව, ලොව උදය අහර ගන්නවුන්ගේ මහා පිපාසය විසින්, ඇතුන් හා දිවියන් කඳු මුදුනට පලවා හැර, සැතපුම් ගණන් මහා වනාන්තර විනාශ මුඛයට හෙලන ලදි; මෙම නිල්වන් කඳු මත කුඩා බංගලාවන් හා කෝපි-ගබඩාවන් දිස්වීමට සලසන ලදි; සැම තැනිතලාවක් ඔස්සේද සෑම දිය පහරක් මතින්ද සුදුවන් සිහින් මං මාවත් ඇදී යෑමට සැලසිණි; අවසානයේදී එය බෑවුම් සහිත දුර්ගය තරණය කරමින් දුම්රිය මග මහනුවර දක්වාද කඳුවැටිය මතින් ගම්පොළ දක්වාද ගෙන එන ලදි; එය විසින් කොළඹ කුඩා නැව්පොළ, පෙරදිග අගනා වරායක් බවට පෙරැලන ලදි.

දිගු කෝපි ගස් පේළි කඳු හෙල් තම අණසකට යටත් කර ගැනුම අවසන් වූයේ මහත් කෝපි අධිරාජ්‍යයට ලංකාවේ ඉඩම් අක්කර 176,000 කට වැඩි පමණක් ගොදුරු වීමෙන් අනතුරුවය.

එංගලන්තයේ බාල්දියක් මත සිටගත් කළු-ලෝගු පැලැඳි ‍ධර්ම දේශකයා සහ ජැමෙයිකාවේ බීමත් නීග්‍රෝ රැලක්, ලංකාවේ කෝපි වෙළෙඳාමෙහි අසාමාන්‍ය වර්ධනය හා සබැඳුනේ කෙසේදැයි වටහා ගැනුම දුෂ්කර විය හැක. කෙසේ වුවත්, පැවසෙන පරිදි, ජෝන් වෙස්ලි හා ඔහුගේ සහායක වයිට්ෆීල්ඩ් විසින් ඔවුන්ගේ වාග් චතූර්යයේ බලමහිමයෙන්, එංගලන්තයේ නගරයන්හි සේවය කල දහස් ගණන් අල්පශ්‍රැත පතල් කම්කරුවන් හා කම්හල් සුළු සේවකයන් වශිකෘත කරමින් දේශනාකර සිටියේ බීමත් කම දුරලා අගනා කෝපි පානයට ඇබ්බැහි වන ලෙසය. මෙසේ ඉල්ලුම සීඝ්‍ර වර්ධනයක‍ට ලක් වුනු අවදියෙහි, හදිසියේ ජැමෙයිකාවේ වහලුන් නිදහස ලැබීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් හී කෝපි වතු වල සේවය කිරීමට ඔවුන් ප්‍රකික්ෂේප කිරීමත් සමගම කෝපි සැපයුමෙහි එක් ප්‍රභවයක් මුළුමනින්ම නැවතීම නිසාවෙන් ලංකාවේ වෙළෙඳ පොළට ඉමහත් ඉඩ ප්‍රස්තාවක් මතු විය.



ආශ්‍රිත

[සංස්කරණය]

ඩබ්. ටී. කෙබ්ල්, සිලෝන් බීට්න් ට්‍රැක්, 1940, පිටු 344, සූරිය ප්‍රකාශකයෝ කොළඹ 10, ISBN 955-8425-27-3