රෝග නිර්ණය සදහා අති ධ්වනි තරංග ස්කෑන් ක්‍රමයෙහි භාවිතයන්

විකිපීඩියා වෙතින්

මෙම ස්කෑන් ක්‍රමය වෛද්‍ය විද්‍යාවේ බහුල වශයෙන් භාවිතා වේ. මෙමගින් රෝග නිර්ණය කිරීමට හෝ අති ධ්වනි තරංගවල මගපෙන්වීම යටතේ චිකිත්සක ක්‍රමෝපායන් සිදු කිරීමට ද පුළුවන. (බයොප්සි ලබාගැනීම හෝ සිරුර අභ්‍යන්තරයෙහි තරල එක් රැස්වීමක් ඉවත් කිරීම සදහා) අති ධ්වනි තරංග ශිල්පීන් යනු රෝග නිර්ණය සදහා ස්කෑන් ක්‍රම සිදුකරන වෛද්‍ය වෘත්තිකයන්ය. ඔවුන් පාරනායකය නමින් හදුන්වන අතට ගත හැකි දණ්ඩක් වැනි කොටසක් භාවිතා කරන අතර එය සෘජුවම රෝගියා මත තබා එහා මෙහා ගෙනයා හැකිය. රෝගියා සහ පාරනායකය අතර සම්බන්ධතාවය මැනවින් පවත්වා ගැනීම සදහා ජෙලි වර්ගයක් භාවිතා කරනු ලබයි.

අති ධ්වනි තරංග භාවිතා කිරීම සිරුරෙහි මෘදු පටකවල ප්‍රතිබිම්භ ලබාගැනීම සදහා ඵලදායි වේ. වඩාත් පෘෂ්ඨීය ව්‍යුහයන් වන පේශි, ඛණ්ඩරා, වෘෂණ කෝෂ, පියයුරු සහ ළදරුවන්ගේ මොළය වැනි අවයව ඉහළ සංඛ්‍යාතයන් (7 – 18 MHz) භාවිතා කරමින් ප්‍රතිබිම්භ ගත කළ හැකිය. එමගින් වඩාත් හොද අක්ෂීය සහ පාර්ශ්වික විභේදනයක් ලබාගත හැකිය. අක්මාව හා වකුගඩු වැනි වඩාත් ගැඹුරින් පිහිටි ව්‍යුහයන් 1 – 6 MHz වැනි අඩු සංඛ්‍යාතයකින් ප්‍රතිබිම්භනය කළ හැකි අතර එමගින් අඩු අක්ෂීය සහ පාර්ශ්වික විභේදනයන් ලැබුණ ද විශාල විනිවිද යාමේ හැකියාවක් ඇත.

වෛද්‍ය විද්‍යාවේදී අතිධ්වනි තරංග භාවිතයෙහි උදාහරණ නම් :

  • හෘද රෝග පිළිබදව විද්‍යාවේදී
  • අන්තරාසර්ග පද්ධතිය පිළිබද අධ්‍යයන විද්‍යාවේදී
  • ආන්ත්‍රික රෝග පිළිබදව අධ්‍යනයේදී
  • කාන්තාවන්ගේ රෝග පිළිබදව අධ්‍යනයේදී
  • ගර්භණී මාතාවන්ගේ ප්‍රසව රෝග පිළිබදව අධ්‍යයනයේදී
  • අක්ෂි රෝග පිළිබද අධ්‍යයනයේදී
  • මෞත්‍ර රෝග පිළිබද අධ්‍යයනයේදී, උදා - රෝගියෙකුගේ මුත්‍රාශයේ ඉතිරිව පවත්නා මුත්‍රා ප්‍රමාණය පිළිබදව නිර්ණය කිරීම සදහා
  • පේශි සහ අස්ථි පද්ධතියෙහි රෝග පිළිබද අධ්‍යනයේදී. ඛණ්ඩරා, ස්නායු සහ අස්ථිවල මතුපිට
  • රුධිරවාහිණී අභ්‍යන්තරයෙහි ක්‍රියාකාරිත්වයන් සදහා අති ධ්වනි තරංග භාවිතය. උදා - අතිධ්වනි තරංග භාවිතයෙන් සිරුර තුළ තරල ඉවත් කිරීම සහ එන්නත් ලබාදීම.
  • බයෝප්සි ලබාගැනීම, සිරුරෙහි ඇති තරල ඉවත් කිරීම සහ ගර්භය තුළදී කළලයට රුධිර පාරවිලයනය කිරීම වැනි ක්‍රියාකාරකම් සදහා
  • සිරුරට යමිකිසි ඩයි වර්ගයක් ලබාදීමෙන් පසු අති ධ්වනි තරංග ස්කෑන් ක්‍රම ක්‍රියාත්මක කිරීම

සාමාන්‍ය භාවිතයේදී මෙම උපකරණ බොහෝ ප්‍රතිබිම්භන අවශ්‍යතාවයන් සදහා භාවිතා කරනු ලබයි. විශේෂ අවස්ථාවන්හිදී මෙහි භාවිතය සිදු කරනු ලබන්නේ විශේෂ පාරනායකයක් භාවිතයෙනි. විවිධ අධ්‍යයනයන් මගින් පෙනී ගොස් ඇත්තේ මෙම අතිධ්වනි තරංග උපකරණය යෝනි මාර්ගය තුළට, ගුද මාර්ගය තුළට හෝ අන්නස්‍රෝතය තුළට යොදා ප්‍රතිබිම්භ ඇති කිරීම සදහා විශේෂ වෙනස්කම් සිදු කළ යුතු බවයි.

ප්‍රසව වේදයේදී අති ධ්වනි ස්කෑන් ක්‍රම භාවිතා කරනුයේ ගර්භණී අවස්ථාවේ දී කළලයේ වර්ධනය පරීක්ෂා කර ගැනීම සදහාය.

ශ්‍රෝණිමේඛලාවේ සිදු කරන ස්කෑන් ක්‍රම මගින් එහි අන්තර් ගත අවයව පිළිබදව ප්‍රතිබිම්භ ලබාගත හැකිය. ඒවා නම් ගර්භාශය, ඩිම්භකෝෂ හෝ මුත්‍රාශයයි. පිරිමින් සදහා මේ ආකාරයට සිදු කරන ස්කෑන් ක්‍රමයක් මගින් මුත්‍රාශයේ සහ පුරස්ථ ග්‍රන්ථියෙහි සෞඛ්‍ය තත්ත්වය පිළිබද සොයා බැලීමට භාවිතා කරයි. මෙලෙස ශ්‍රෝණිමේඛලාවේ අති ධ්වනි ස්කෑන්ක්‍රම සිදු කළ හැකි ක්‍රම දෙකකි. ඒවා නම් බාහිරින් හෝ අභ්‍යන්තරයෙන්ය. අභ්‍යන්තරයෙන් සිදු කරනු ලබන ශ්‍රෝණි මේඛලාවෙහි අති ධ්වනි ස්කෑන් ක්‍රමය කාන්තාවකගේ නම් යෝනි මාර්ගය හරහා ද පිරිමියෙකුගේ නම් ගුද මාර්ගය හරහා ද සිදු කරනු ලබයි. උකුල ප්‍රදේශයෙහි පතුල සාදන පේශි පිළිබදව ඉහත ආකාරයේ ස්කෑන් ක්‍රමයක් මගින් ලබාගන්නා තොරතුරු මගින් අනෙකුත් ශ්‍රෝණිමේඛලාව තුළ පිහිටි අවයව හා අසාමාන්‍ය ව්‍යුහයන් අතර නිවැරදි සම්බන්ධතාවය පිළිබදව තොරතුරු ලබාගත හැකි අතර එමගින් එහි ඇති අවයවවල පහත් වීම්, නොදැනුවත්ම මුත්‍රා පහ වීම සහ මළපහ කිරීමේ අපහසුතා සදහා ප්‍රතිකාර කළ හැකිය.

උදර කුහරයේ සිදු කරන අති ධ්වනි තරංග ස්කෑන් ක්‍රම මගින් ඒ තුළ ඇති ඝන අවයව වන අග්න්‍යාසය, සංස්ථානික මහා ධමනිය, අපරමහා ශිරාව, අක්මාව, පිත්තාශය, පිත්ත ප්‍රණාල, වකුගඩු සහ ප්ලීහාවේ ප්‍රතිබිම්භ ලබාගත හැකිය. උපකරණය මගින් නිකුත් කරනු ලබන ශබ්ද තරංග බඩවැල්වල ඇති වාතය මගින් අවහිර කරනු ලබන අතර එබැවින් බඩ වැලවල්වල ප්‍රතිබිම්භ ලබාගැනීමට නොහැකි වේ. උණ්ඩුකපුච්ඡය ද උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති වූ අවස්ථාවන්හිදී පමණක් දැක බලාගත හැකිය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Medical_ultrasonography#Diagnostic_applications